ගිනි බෝලයක් බවට පත්ව තිබෙන ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ වැඩසටහන

 

දැන් ආණ්ඩුවේ ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ වැඩ සටහන තිබෙන්නේ ලොකු අවුලකය. 19 සම්මත කරගත්තද ඉන් ලැබෙන්නට යන්නේ හොඳ ප‍්‍රතිඵලයක් නොව අංගවිකල ප‍්‍රතිඵලයකි. ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ වැඩසටහන මහා අවුලක් බවට පත්ව තිබෙන්නේ ඇයි?

මීට පෙර කොයි කවර කාලයකදීවත් දකින්නට නොලැබුණු ආකාරයකට සංවිධානාත්මක පුරවැසි ව්‍යාපාරවල බලපෑම දේශපාලන තලය කෙරෙහි එල්ලවෙමින් තිබෙන ආකාරය සේ ම දේශපාලන පක්ෂ එම පුරවැසි ව්‍යාපාරවල බලපෑමට නතුවී තිබෙන ආකාරය පසුගිය ජනාධිපතිවරණයේදී හොඳින් පෙන්නුම් කළේය. එය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමේ අරමුණ වෙනුවෙන්ද එම ව්‍යාපාර කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. එය සමාජයේ තවදුරටත් වර්ධනය වීමට නියමිත යහපත් නැඹුරුවක් ලෙස සැලකිය හැකිය.

පසුගිය ජනාධිපතිවරණයේදී විරුද්ධ පක්ෂ එකතුව ඉදිරියට ගෙනා ප‍්‍රතිසංස්කරණ වැඩසටහන සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයෙන් ණයට ගන්නා ලද වැඩසටහනක් ලෙස සැලකිය හැකිය. එය ලංකාවේ පුරවැසි ව්‍යාපාරයක් ජාතික දේශපාලන තලය කෙරෙහි බලපෑමට තමන්ට තිබෙන හැකියාව ඉහළම මට්ටමකින් පෙන්නුම් කරන ලද අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ පිළිගත් හා ප‍්‍රකට නායකයා සෝභිත හිමියන් වුවත් එම ව්‍යාපාරයට දායක වූ පුද්ගලයන් අතර පිළිගත් උගතුන් හා වෘත්තීයවේදීන් සැලකිය යුතු පිරිසක් සිටියෝය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි කියන මතය ජනතාව අතර ප‍්‍රචලිත කිරීමෙහිලා මෙම ව්‍යාපාරය ඉතා වැදගත් හා ප‍්‍රශස්ත කාර්යභාරයක් ඉටු කළේය. එහෙත් එම ව්‍යාපාරය එම කාරියට සීමා නොවී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන උපාය මාර්ගික වැඩසැලැස්මක්ද රටට ඉදිරිපත් කළේය. එම වැඩසැලැස්ම එම ව්‍යාපාරයේ ක‍්‍රියාකාරීන් එකට එකතු වී සාකච්ඡුා කොට සකස් කරගන්නා ලද වැඩ සැලැස්මක් ලෙස සැලකිය හැකිය. එය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම එක තනි කරුණකට සීමාවිය යුතුයි කියන අදහසේ ඉඳිමින් සකස් කරන ලද වැඩසටහනකි. ඒ අදහසේ යෝජකයා ලෙස සැලකෙන්නේ මාක්ස්වාදී න්‍යායවාදියකු හා විදුලි ඉංජිනේරුවකු වූ ආචාර්ය කුමාර් ඬේවිඞ්ය. මෙම ව්‍යාපාරය සකස් කරන ලද ප‍්‍රතිසංස්කරණ වැඩසටහනට අනුව ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස තරග කළ යුත්තේ දේශපාලනඥයකු නොව විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල සහාය ඇතිව ස්වාධීන පුද්ගලයෙකි. පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයගෙන තිබෙන පාර්ලිමේන්තුවේ සහාය ඇතිව හය මසක කාලය තුළ 18 වැනි සංශෝධනය සමග ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට 17 වැනි සංශෝධනය බලගන්වා පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයට ඉඩදී ගෙදර යා යුතුය. පොදු අපේක්ෂකයාගේ කාර්යභාරයද ඉන් අවසන් වන්නේය. එම ප‍්‍රධාන කරුණු තුන ඇතුළත් 19 වැනි සංශෝධනය වශයෙන් ඉදිරිපත් කළයුතු ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක්ද එම ව්‍යාපාරයට තිබුණේය. එම කෙටුම්පත සකස් කළ පුද්ගලයා වනුයේ වර්තමාන ජනාධිපතිගේ ව්‍යවස්ථා සම්පාදන උපදේශකයා වශයෙන් ක‍්‍රියා කරන ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්නය.
මුලදී මෙම ව්‍යාපාරයේ පිළිගත් මතය අනුව ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන සීමිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම සඳහා විරුද්ධ පක්ෂවල සහාය ඇතිව පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට සිටි සුදුසුම පුද්ගලයා ලෙස සැලකුණේ සෝභිත හිමියන්ය. විරුද්ධ පක්ෂවල සහාය තමන්ට ලැබෙන්නේ නම් පොදු අපේක්ෂක වශයෙන් ජනාධිපතිවරණයට තරග කොට ප‍්‍රතිසංස්කරණ වැඩසටහන සම්පූර්ණ කොට හය මාසයකින් ගෙදරයෑමේ වගකීම භාරගන්නට තමන් සූදානම් බව සෝභිත හිමියන්ද ප‍්‍රකාශ කර තිබුණි.

පහුගිය ජනාධිපතිවරණයේදී විරුද්ධ පක්ෂ එකතුව කරළියට ගත්තේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ ශුද්ධ න්‍යාය පත‍්‍රය නොවූවත් එය සුළු අංග කිහිපයක් අලූතෙන් එකතු කොට තනා ගත් එම න්‍යාය පත‍්‍රයේම නව සංස්කරණයක් ලෙස සැලකිය හැකිය. සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ මුල් ප‍්‍රතිසංස්කරණ වැඩසටහනට ඇතුළත්ව තිබූ ප‍්‍රධාන කාරණා තුනම එනම් 18 වැනි සංශෝධනය සමග ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම හා 17 වැනි සංශෝධනය බලාත්මක කිරීම – ඊට ඇතුළත්ව තිබුණි. ජනාධිපතිවරණයට තරග කළේ ස්වාධීන අපේක්ෂකයකු වෙනුවට දේශපාලන අපේක්ෂකයකු වුවද පොදු අපේක්ෂකයා තමන් ක‍්‍රියාවට නගන්නට යන වැඩසටහන ලෙස රටට ඉදිරිපත් කළේද ජයග‍්‍රහණයෙන් පසු ක‍්‍රියාවට නගන්නට උත්සාහ කළේද එම වැඩපිළිවෙළය. අවසානයේ එම වැඩසටහන ක‍්‍රියාවට නගන්නට ගොස් ජයග‍්‍රාහී පිල මහා අවුලකට තල්ලූ කිරීමට හේතුවිය. එම අවාසනාවන්ත තත්ත්වයට තියුණු ලෙස කරුණු සලකා බැලීමකින් තොරව අනුන්ගේ වැඩසටහනක් ණයට ගත් දේශපාලන නායකයන් පමණක් නොව ක‍්‍රියාවට නැගිය නොහැකි මනෝරාජික වැඩසටහනක් සම්පාදනය කොට රටට දායාද කළ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයද වගකිව යුතුය.

එය ජනාධිපති ක‍්‍රමයට එරෙහිව මහජන මතයක් ඇති කිරීමෙහිලා වැදගත් හා ප‍්‍රශස්ත කාර්යභාරයක් ඉටු කළ පුරවැසි ව්‍යාපාරයක් අතින් සිදුවූ බරපතළ දේශපාලන වරදක් ලෙස සැලකිය හැකිය. විධායක ජනාධිපති ක‍්‍රමය නමැති මර උගුලෙන් ජාතිය ගලවා ගැනීම සඳහා හොඳම වැඩසටහන තිබෙන්නේ තමන්ටයැ’යි ජාතියට ඒත්තු ගැන්වීමට එම පුරවැසි ව්‍යාපාරය සමත් විය. එහෙත් ජාතියේ පිළිගැනීමට හේතුවූ එම උපාය මාර්ගික ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ක‍්‍රියාවට නගන්නට ගොස් ජාතිය විමුක්තිය අත්පත් කරගන්නා වෙනුවට දැන් ඉන්නේ මහා අවුල් ජාලයකය. එය එසේ වූයේ තමන්ට ලැබුණු හරි වැඩපිළිවෙළක් හරියාකාරව ක‍්‍රියාවට නගන්නට ජාතිය අසමත් වූ නිසා නොවේ. ජාතියට ලබාදෙන ලද උපාය මාර්ගික වැඩසටහනේ තිබුණු බරපතළ දෝෂ නිසාය. මෙම උපාය මාර්ගික ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ නියම නිර්මාතෘවරුන් කව්දැයි දැන් ජනතාවට මතක නැත. ඔවුන්ගේ හාස්‍යය සේ ම කෝපයද එල්ල වී තිබෙන්නේ එම ප‍්‍රායෝගික නොවන මනෝරාජික වැඩසටහන ක‍්‍රියාවට නගන්නට මෝඩ උත්සාහයක යෙදී සිටින නායකයන්ටය. එහෙත් සිදුවී තිබෙන එම වරදේ වැඩි වගකීම යායුතුව තිබෙන්නේ එම වැඩසටහන නිර්මාණය කළ පුරවැසි ව්‍යාපාරයටය.

මෙය සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයට තිබෙන සමාජ පිළිගැනීම නැති කිරීමේ දුෂ්ට අරමුණින් කරන විවේචනයක් ලෙස නොසැලකිය යුතුය. සමාජ දේශපාලනය කෙරෙහි බලපෑම් කරන ඕනෑම සමාජ දේශපාලන ව්‍යාපාරයක් ඒ මගින් සමාජය කෙරෙහි ඇති කරන හොඳ නරක ප‍්‍රතිඵල අනුව ඒවා ප‍්‍රශංසාවට හෝ විවේචනයට ලක්විය යුතුය. එවැනි ව්‍යාපාරයක් තමන් අතින් සිදුවන බරපතළ වැරදිවලදී මහජනයාට කරුණු පැහැදිලි කරදීම ඉතා වැදගත්ය. වර්තමාන ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ විෂයේදී මෙම ව්‍යාපාරය අතින් සිදුවී තිබෙන මෙම බරපතළ වරද තවමත් ඔවුන්ට නොපෙනුණේ නම් එයද බරපතළ වරදක් වන අතර බරපතළ වරදක් සිදුවී තිබෙන බව පෙනී පෙනී ඒ ගැන කතා නොකර නිශ්ශබ්දව සිටින්නේ නම් එය ඊටත් වඩා බරපතළ වරදකි. සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ සඳහා රටට හඳුන්වා දෙන ලද උපාය මාර්ගික ප‍්‍රවේශය මහා අවුලක් ඇති කිරීමට හේතුවී තිබේ නම් ඒ ගැන හොඳින් කරුණු සොයා බලා මහජනයාට ස්වයං විවේචනාත්මකව කරුණු පැහැදිලි කිරීමේ යුතුකමක් හා වගකීමක් එම ව්‍යාපාරයට ඇත්තේය.

මෙම ව්‍යාපාරය තමන්ගේ උපාය මාර්ගික ප‍්‍රතිසංස්කරණ වැඩසටහන රටට ඉදිරිපත් කළ වහාම වාගේ එම ප‍්‍රවේශය හා චින්තනය ගැන බරපතළ විවේචනයක යෙදීමට මට සිදුවිය. මගේ මතය වූයේ මතුපිටින් බලන විට එය ලස්සන වැඩසටහනක් වුවත් එය ප‍්‍රායෝගික නොවන රට මහා අවුලකට තල්ලූ කිරීමට හේතුවිය හැකි මනෝරාජික වැඩසටහනක් බවය. මා ඒ ගැන කරන ලද ප‍්‍රසිද්ධ විවේචනයේදී ඊට බලපෑ තර්ක ගණනාවක් තිබුණි. ඒවා සැකෙවින් මෙසේය. 1. 1978 ව්‍යවස්ථාව සකස් කර ඇත්තේ ජනාධිපති ක‍්‍රමයක් සඳහා වන නිසා එම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සරල සංශෝධනයක් මගින් ජනාධිපති ආණ්ඩු ක‍්‍රමය නැති කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් ඇති කළ නොහැකිය. (2) ව්‍යවස්ථාවක් එකවිට මුළුමනින් හදාගන්නවා වෙනුවට කෑලි ක‍්‍රමයට හදාගැනීම සුදුසු නැත. (3) ජනාධිපති ක‍්‍රමය තුළ පාර්ලිමේන්තුවද දූෂිත වී ඇති බැවින් පාර්ලිමේන්තුවේ දූෂිත ස්වරූපය වෙනස් කිරීමට හේතුවන ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමෙන් තොරව ජනාධිපති ක‍්‍රමය පමණක් ප‍්‍රතිසංස්කරණ කිරීමෙන් මුළු මහත් ආණ්ඩු ක‍්‍රමයම අවුල් ජාලාවක් බවට පත්විය හැකිය. (4) ජනාධිපති කොතරම් බලවත් වුවත් නීති සම්පාදන බලය ඇත්තේ පාර්ලිමේන්තුවට වන නිසා ජනාධිපතිවරණයෙන් ජනාධිපති වරයා පරාජය කළද පාර්ලි මේන්තුවේ වැඩි බලයක් තිබෙන්නේ පරාජිත ජනාධිපතිවරයාගේ පාර්ලි මේන්තු මන්ත‍්‍රී කණ්ඩායමට වන නිසා ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මැතිවරණයකට ගොස් නව පාර්ලිමේන්තුවක් ඇතිකර ගැනීමෙන් තොරව පරණ පාර්ලිමේන්තුව කෙරෙහි විශ්වාසය තබා ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ඇති කරන තැනකට යෑම විශ්වාසදායක ක‍්‍රමයක් වන්නේ නැත. එම පාර්ලිමේන්තුව ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වැඩසටහනට ආධාර නොකරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළහොත් සමස්ත ප‍්‍රතිසංස්කරණ වැඩටසටහනම මහා අවුලක් බවට පත්වන්නේය.
වර්තමාන අර්බුදයට පාදක වී තිබෙන සිව්වැනි තර්කය දැන් අපට සලකා බැලිය හැකිය. සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ පිළිගත් පොදු මතය වී තිබුණේ පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු පරණ පාර්ලිමේන්තුව විසුරුවා නොහැර පරණ පාර්ලිමේන්තුවේ සහාය ඇතිව හය මාසයක කාලයක් තුළ 19 වැනි සංශෝධනය සම්මත කරගත යුතු බවය.

එම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න බහුතර බලය තිබුණේ ජනාධිපති රාජපක්ෂ නියෝජනය කළ ශ‍්‍රීලනිපයටය. ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අත්‍යවශ්‍යය. සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ පමණක් නොව තමන්ගේ වැඩසටහන් ඇතිව හෝ නැතිව එම රැුල්ලට එකතු වූ අන් සියලූ ව්‍යාපාරවලද පිළිගත් පොදු විශ්වාසය වී තිබුණේ පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු පරණ පාර්ලිමේන්තුව බාධා කිරීමකින් තොරව ප‍්‍රතිසංස්කරණ වැඩසටහන සම්මත කරගැනීමට සහාය දෙනු ඇති බවය. එහෙත් ඊට වෙනස්ව මගේ මතය වූයේ පරණ පාර්ලිමේන්තුව කෙරෙහි විශ්වාසය තැබීම සුදුසු නොවන බවත් ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් ජයග‍්‍රාහකයා පාර්ලිමේන්තු බලයද තමන් වෙත හිමිකර ගැනීම අත්‍යවශ්‍ය බවත්ය. වැරදිලාවත් ජයග‍්‍රාහකයාගේ ප‍්‍රතිසංස්කරණ වැඩසටහනට පරණ පාර්ලිමේන්තුවේ සහාය නොදෙන පිළිවෙතක් අනුගමනය කළහොත් ඊළඟට කරන්න යන්නේ කුමක්ද යන ප‍්‍රශ්නයද මම බැ?රුම් ලෙස මතු කළෙමි.

එහෙත් මාගේ විවේචනය හෝ විචාරය සාධාරණ ලෙස සලකා බලන තැනකට යෑමට අවශ්‍ය කරන බුද්ධිමය හික්මීම මෙම ව්‍යාපාරවලට නොතිබුණේය. මා මතු කළ ප‍්‍රශ්නය ඕනෑම කෙනෙකුට තේරුම්ගත නොහැකි සංකීර්ණ ජ්‍යාමිතික ප‍්‍රශ්නයක් නොවූ අතර ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි සරල අංක ගණිතමය ප‍්‍රශ්නයක් විය. එහෙත් තමන් ගොඩනගා ගෙන සිටි සුන්දර සිහිනය අත්හැරීමට හේතුවන නැවත සලකා බැලීමකට යෑමට ඔවුහු කැමති නොවූහ. ජාතිය කීකරු බැටලූ රැුලක් සේ මෙම ව්‍යාපාර පසුපස ගමන් ගනිමින් තිබුණේය. එම විශේෂ සමාජ වටාපිටාව විසින් ඔවුන් තුළ තිබිය යුතු නිහතමානීභාවය නැති කොට ඔවුන් ආදානග‍්‍රාහී හා උද්දච්ච බවට පත්කර තිබුණේය.

රටේ පළපුරුදු දේශපාලකයන්ද මෙම උපාය මාර්ගික ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ධාතු කරඬුවක් මෙන් සිය හිස මත තබාගත්තේ තියුණු පරීක්ෂාවකට ලක් කිරීමකින් තොරවය. මෙම ව්‍යාපාරය කරළියට ගෙනා මතවාදයට ලැබී තිබුණු අතිවිශාල සමාජ පිළිගැනීම නිසාම විවේචනාත්මක සලකා බැලීම්වලට කිසිදු ඉඩක් නොතිබුණි. එහෙත් මෙම මනෝරාජික වැඩසටහන ක‍්‍රියාවට නගන්නට දරන උත්සාහය තුළ ඇතිවී තිබෙන අවුල අතිිවිශාලය. එකඟතාව ලබාගැනීම සඳහා කප්පම් දෙන්නට සිදුවූ අතර කප්පම් ගෙවීමෙන් පසු ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ඔවුන්ට අවශ්‍ය ලෙස විකෘති කිරීමට සිදුවිය.

ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසු තාවකාලික ආණ්ඩුවක් හදාගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට ගියේ නම් ස්ථාවර නව ආණ්ඩුවක් ඇතිකර ගන්නට ඉඩ තිබුණා සේ ම ව්‍යවස්ථාවට කෑලි අලවන ප‍්‍රතිපත්තියකට නොගොස් විධිමත් ලෙස නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනිීමටද පුළුවන් වන්නට ඉඩ තිබුණි. ඒ වෙනුවට සිදුවූයේ රාජ්‍ය බලයෙන් අර්ධයක් ලැබීමෙන් පසු ඉතිරි අර්ධය හිමිකර ගැනීමෙන් තොරව තිබුණු පාර්ලිමේන්තුව මත පදනම් වී ප‍්‍රතිසංස්කරණ දිනාගැනීමට උත්සාහ කිරීමය. සමස්ත ප‍්‍රතිසංස්කරණ වැඩසටහනම අවුලක් බවට පත්වී ජයග‍්‍රාහකයන්ද හාස්‍යජනක තත්ත්වයකට ඇද වැටුණේය. මේ තත්ත්වයට මහ පොළොවේ පැළ කළ නොහැකි බීජ නිපදවූ පුරවැසි ව්‍යාපාරයද එම බීජ පරීක්ෂාවට ලක් කිරීමකින් තොරව ඒවා කෙරෙහි විශ්වාසය තබා එම බීජ මහ පොළොවේ පැළ කරන්නට ගිය දේශපාලකයන්ද වගකිව යුතුය.