චෞර පාර්ලිමේන්තුව වෙනුවට මෛත‍්‍රී ව්‍යවස්ථාදායකයක්

අජිත් පැරකුම් ජයසිංහ

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම කල් ගොස් තිබේ.
19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාද කරන්නට තිබුණු දිනයේ ඇති වූයේ අනවශ්‍ය කලබලයකි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුවත් නො වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් කටඋත්තරයක් ගන්නට කැඳවී යයි ඔහුගේ ගෝලබාලයෝ පාර්ලිමේන්තුවේ බිම ලැගගෙන කලබල කළ හ.
මහින්ද රාජපක්ෂට එරෙහිව ඕනෑ තරම් නඩු ගොනු කළ හැකි ය. හෙල්පිං හම්බන්තොට හරහා සුනාමි අරමුදල් වංචා කිරීම පිළිබඳ නඩුව වුවත් නැවත ගොනු කරන්නට පුළුවන. තමන් වැරදි කළ බව, සොරුන් ආරක්ෂා කළ බව ඔහුගේ ම මුඛයෙන් පවසයි. එහෙව් තත්ත්වයක් තුළ නීතිමය විසංවාදයක් පැවතිය හැකි, එහෙත් නියත වශයෙන් ම සදාචාර විරෝධී, තිස්ස අත්තනායකට දුන් අල්ලස මේ මොහොතේ මතු කර ගැනීම ඇත්තෙන් ම ගැටලූවකි.

එය 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීම සඳහා ගෙන ආ එකක් බව ඇතැමෙක් සැක කරති. 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මහින්ද රාජපක්ෂට නැවත බලයට පත් වීමට තිබෙන මාර්ග සියල්ල වැසී යයි. එජාපය මුලින් ගෙනා යෝජනා ඔස්සේ අගමැතිට බලය ලැබෙන නිසා, පාර්ලිමේන්තුවට පත් වී, අගමැතිකම අරගෙන, ජනාධිපති පඹයකු බවට පත් කර, නැවත බලයට පත් වන්නට මහින්ද සිහින දුටුවේ ය. එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවෙන් අගමැති රාජ්‍ය නායකයා වන්නේ නැත. ඒ නිසා මහින්දට ඒ පාර වැසී හමාර ය.

එසේම, තුන්වන වරට ජනාධිපති ධුරයට තේරී පත් වීම සඳහා 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්දට අවස්ථාවක් නො ලැබේ.
19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම පිළිබඳ අකැමැති බලවේගය ලෙස දැකිය හැක්කේ රාජපක්ෂ කල්ලියයි. විමල් වීරවංශ පාටියේ වීරකුමාර දිසානායක අපේ‍්‍රල් 21දා ද 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට ඉඩ නො දෙන බවට ස්වර්ණවාහිනියට වහසි බස් දෙඩුවේ ය. විමල්වත් එසේ එළිපිට කියන්නට තරම් ඉදිරිපත් නො වේ. මන්ද, එය රටේ දැවෙන අවශ්‍යතාවක් බව කවුරුත් දන්නා බැවිනි.

තෘෂ්ණාධික පුද්ගලයකු වූ මහින්ද රාජපක්ෂ තවත් සය වසකින් නැවත ජනාධිපති වන්නට සිහින දකිනවා විය හැකි ය. ඒ වන විට තමන් තවත් මහලූ බව තෘෂ්ණාව නිසා ඔහුට මතක් නො වන බව පෙනේ. බලයෙන් ගිලිහී ගිය පසු ඔහු මහලූ වී ඇති තරම අනුව තව හය වසරකට පසු නැවත ජනාධිපති වීමට ඔහුට හැකි ද යන්න සැක සහිත ය. එහෙත්, මෝහයෙන් මුළා වූවන්ගේ මනස අන්ධ ය.

ජනාධිපතිවරයා හදිසියේ මිය යාම පවා රාජපක්ෂවාදීන් විසින් සලකා බලන බව පෙනේ. මන්ද, ඔහුට මඳක් අසනීප වූ අලූත් අවුරුදු දිනවල රාජපක්ෂවාදී සමාජ මාධ්‍ය බලකාය ඔහුට නිව්මෝනියාව වැළඳී ඇති බව කියමින් ඔහුගේ මරණය ගැන කතා කළ හ. ලක්ෂ 62ක ජනවරමින් බලයට පත් වූ ජනාධිපතිවරයාට පරාජය වූ මහින්ද රාජපක්ෂ යනු දින සීයක් යන්නත් පෙර ආපසු තනතුර තමන්ට දෙන්නැයි ඉල්ලා සිටින තරම් තෘෂ්ණාධික, ලජ්ජා විරහිත පුද්ගලයෙකි. ඔහුගේ හා ඔහුගේ පවුලේ අයගේ කැරැුට්ටුව ගැන දන්නා නිසා ජනාධිපතිවරයා සිය ආත්මාරක්ෂාව ගැන වැඩිපුර සැලකිලිමත් විය යුතු ය.

මේ සියලූ කලබැගෑනි මැද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පාඩුවේ වැඩ කරගෙන යමින් සිටියි. ඔහු අනවශ්‍ය තරම් සන්සුන් ය. 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ඔහුට අවශ්‍යතාවක් නැති බව ඇතැමෙක් කියති. එහෙත්, සිය බලතල බොහෝ දුරට ඉවත් කර, අගමැතිවරයාට බලය පැවරෙන, එජාපය විසින් සකසන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයටත් ඔහු අනුමැතිය දුන්නේ ය.

මුළු බලයම සියතට ගුලි කර ගැනීමේ උවමනාවක් ජනාධිපති මෛත‍්‍රීපාලට නැති බව ඔහු ක‍්‍රියාවෙන් ඔප්පු කර තිබේ. දැන් යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායකයත්, ව්‍යවස්ථාදායකයත් අතර සැලකිය යුතු බලය බෙදා ගැනීමක් සිදු වේ.

මහින්ද රාජපක්ෂගේ බත්බැලයන්ගේ බලය සහිත පාර්ලිමේන්තුවකින් 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නො වීම බරපතළ ගැටලූවක් කර නො ගත යුතු ය. ඔවුන් නෙරපා හරින ලද පාර්ලිමේන්තුවකින් මෙම සංශෝධනය සම්මත කර ගත හැකි ය. එහෙත්, පැරණි ක‍්‍රමය යටතේ තවත් මහ මැතිවරණයක් පැවැත්වීම සමාජ අපරාධයකි. 19වන සංශෝධනයට හා මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන 20වන සංශෝධනයකට උපකාර නො කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මෙම සමාජ අපරාධයට වගකිව යුතු ය.

කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ විසින් දූෂ්‍ය කරන ලද දේශපාලන ක‍්‍රමයක් හා දේශපාලන ප‍්‍රජාවක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීම සඳහා සීමිත ආඥාදායකත්වයක් පාවිච්චි කිරීම අසාධාරණ නැති බව දැන් සිදු වන දේවලින් පෙනේ. රාජපක්ෂගෙන් පසු ලංකාව යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පදනම් බිඳී ගිය දේශයක් බව දැන් තහවුරු වෙමින් තිබේ.

ශිෂ්ට සමාජයක නම් සොරුන්, විමර්ශන යාන්ත‍්‍රණයන්ගේ පමාවට ඔලොක්කු කරන්නේ නැත. විමර්ශනයක් සඳහා අදාළ බලය සහිත ආයතනයකට කැඳවූ විට සැකකරුවන් එයට එරෙහිව උද්ඝෝෂණ කරන්නේ නැත. රටේ නීති හදන ආයතනය වන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් නීති විරෝධී ලෙස අපරාධකරුවන්ට මුක්තිය ඉල්ලා කලබල කරන්නේ නැත.

අනෙක් පැත්තෙන් මේ සියල්ල අසාර්ථක ලෙස ආවරණය කර ගන්නට හදන්නේ ජාතිවාදයෙනි. රටේ නීතියේ ආධිපත්‍යය පිහිටුවීමට හා දූෂණයට එරෙහිව පියවර ගැනීම සිංහල විරෝධී කුමන්ත‍්‍රණයක් ලෙස පෙන්වන්නට රාජපක්ෂවාදීහු උත්සාහ කරති. මේවා කරන්නේ දෙමළ කැරැුලිකරුවන්ට එරෙහිව සටන් කර සිංහල ආධිපත්‍යය යළි පිහිටුවූ නායකයාගෙන් පළිගැනීමට යයි ඔවුහු තර්ක කරති. එතැනිනුත් නතර නො වී ජනාධිපති මෛත‍්‍රී හා අගමැති රනිල් වික‍්‍රමසිංහ වැනි අය කොටි සංවිධානයේ හා එයට සහයෝගය දෙන ජාත්‍යන්තර ප‍්‍රජාවගේ කොන්ත‍්‍රාත්තුවක් ඉටු කරන පිරිසක් ය යන සාවද්‍ය මතය පැතිරවීමට ද ඔවුහු කටයුතු කරති.

ජාතිවාදය යනු ලංකාවේ දූෂ්‍ය කරන ලද සමාජයට පහසුවෙන් ගිල්විය හැකි හලාහළ විසකි. එවැනි පසුබිමක් තුළ ජාතිවාදය සමග සටන් කිරීම පහසු නැත. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදය හා ආගමික අන්තවාදය යනු ලාංකීය සමාජයේ අභිවෘද්ධියට බලපාන ප‍්‍රධාන ගැටලූවයි. ජාතිවාදය හමුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්වභාවයෙන් ම දුබල ය. ඒ නිසා ද ලංකාවේ ජාතිවාදය පරාජය කිරීම විෂයෙහි සීමිත ආඥා දායකත්වයක් සාධාරණී කරණය වේ. දැනටමත් ජාතිවාදය හා වෛරී ප‍්‍රකාශන සඳහා දැනටමත් දී තිබෙන ප‍්‍රකාශනයේ නිදහස උවමනාවට වැඩිය. දිවයින වැනි පුවත්පත් නිදසුන් ලෙස සැලකිය හැකි ය.

රට තුළ ගොඩනැගෙමින් තිබෙන අස්ථාවරත්වයට දිගට ඇදී යාමට ඉඩ දිය නො හැකි ය. මේ වන විට ලංකාවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ අනාවැකි දෙවරක් පහත හෙළා තිබේ. නාස්තිකාර මෙගා ව්‍යාපෘති නතර කිරීම කෙටිකාලීනව ආර්ථික වර්ධන වේගයට බලපෑවත්, එය දිගුකාලීනව යහපත් දෙයකි. එහෙත්, මේ වන විට පවතින අස්ථාවරත්වය ආයෝජක විශ්වාසය පළුදු කිරීමට හේතු වී තිබේ. භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවේදී සිදු වූ ගැටලූව වැනි හේතු මත තත්ත්වය තවත් නරක අතට හැරී තිබේ.

2010 වසරේ ජනමතය නියෝජනය කරන පාර්ලිමේන්තුවකින් පශ්චාත් මහින්ද යුගයට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සිදු කර ගත නො හැකි ය. ඒ නිසා 19වන සංශෝධනය සම්මත වුණත්, නැතත්, අස්ථාවරත්වය තවදුරටත් ඇදී යන්නට ඉඩ නො දී පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්විය යුතු ය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහ පාලනය, නීතියේ ආධිපත්‍යය, දූෂණ දුරලීම වැනි අරමුණු වෙනුවෙන් 2015 ජනවාරි අටවැනිදා වූ එකතු වීම සියලූ අසමගිකම් ඉවත ලා, පොදු අරමුණක් වෙනුවෙන් ඉදිරියට ගෙන යා යුතු ය. ඉහත කී අභිමතාර්ථවලට අමතරව, ජනතාව නො රවටන, දීර්ඝකාලීන අරමුණු සහිත පැහැදිලි ආර්ථික ප‍්‍රතිපත්තියක් රටට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා මුල පිරිය යුතු ය. පක්ෂ දේශපාලනය වෙනුවට අරමුණක් මත පදනම් වන දේශපාලනය ඉදිරියට ගත යුතු ය. ඉදිරි මහ මැතිවරණයේදී සොරුන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා ජන බලවේගයක් ගොඩනැගිය යුතු ය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;