රාවය

හිටපු ඊජිප්තු ජනාධිපති විසි අවුරුද්දක් ඇතුළට

හිටපු ඊජිප්තු ජනාධිපති විසි අවුරුද්දක් ඇතුළට

ඊජිප්තුවේ මහජන ඡන්දයෙන් තේරී පත් වු ප‍්‍රථම ජනාධිපති මොහමඞ් මෝර්සිට ඊජිප්තු අධිකරණයක් විසින් පසුගියදා විසි අවුරුදු සිර ද`ඩුවම් නියම කරන ලදි. ජනඝාතනය ඇතුළු චෝදනා හයක් ඉදිරිපත් ව තිබුණු නමුත් ජනඝාතන චෝදනාවෙන් නිදහස් කරනු ලැබීම නිසා සිරද`ඩුවම් පමණක් නියම විය. ඔහුට මරණ ද`ඩුවම නියම වන්නට බොහෝ දුරට ඉඩ ඇති බව මීට දින කිහිපයකට පෙර පවා මාධ්‍යවල පළ වී තිබිණි.

මොහමඞ් මෝර්සි ඊජිප්තුවේ ජනාධිපතිධුරයට පත්වන්නේ 2012 වසරේ පැවති එරට ජනාධිපතිවරණයේ දෙවන වටයේ ප‍්‍රතිඵල අනුව ය. දින පැවති ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයන් 6 දෙනකු ඉදිරිපත් වු අතර කිසිවකුට 50% ඉක්මවා ඡන්ද ලබා ගත නොහැකි වූයෙන් – වැඩිම ඡුන්ද ලබාගත් මෝර්සිට ද ලැබුනේ 25% මඳක් වැඩි සංඛ්‍යාවකි. දෙවනි වටය පවත්වන ලදි. එහි දී මෝර්සි 51.7%ක් ලබා ගත්තේ ය. ඒ අනුව 2012 ජුනි 30 දින ඔහු ජනාධිපතිධුරයේ දිව්රුම් දුන්නේ ය.
ඒ ඊජිප්තුවේ පැවැත් වූ ප‍්‍රථම ජනාධිපතිවරණයයි. ඊට පෙර එරට පාලනය කරන ලද්දේ 1981 ඔක්තෝබර් 14 දින බලයට පැමිණි හොස්නි මුබාරක් නම් හිටපු උපජනාධිපතිවරයා විසිනි. එරට ගුවන් හමුදාපතිධුරය දැරූ ඔහුු උපජනාධිපති ලෙස පත් කර ගන්නා ලද්දේ එවකට ජනාධිපති අන්වර් සදාත් විසිනි. සදාත් අනපේක්‍ෂිත අයුරින් ඝාතනය වූ අතර ව්‍යවස්ථාවට අනුව ජනාධිපති විය යුතු වූයේ උපජනාධිපති ය.

තමාට එරෙහිව නැගී ආ පොදුජන උද්ඝෝෂණය නිසාවෙන් 2011 පෙබරවාරි 11දා ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්වන බව මුබාරක් නිවේදනය කළේ ය.
හමුදාව මැදිහත් වී වහාම පාලනය අතට ගත් අතර එතෙක් පැවති ව්‍යවස්ථාව වෙනස්්කොට නව ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා ලදුව ජනාධිපතිවරණයක් පවත්වන ලදි. ඊට පෙර ජනාධිපතිවරයා තෝරා ගන්නා ලද්දේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වරුන්ගේ ඡන්දයෙනි. එරට ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් තුනෙන් දෙකකගේ ඡන්දයෙන් ජනාධිපතිවරයා තෝරාගනු ලැබිණි. එහෙත් අපේක්‍ෂකත්වය පිළිබඳ සැමවිට ම සීමා පැවති හෙයින් බලයේ සිටින ජනාධිපතිවරයා ම පාර්ලිමේන්තුව විසින් තෝරා ගන්නා ලදි. මේ ක‍්‍රමයේ වෙනසකට ගොස් ජනාධිපතිවරයා පොදු ජන ඡන්දයෙන් තෝරා ගත යුතු ආකාරයට 2005 ව්‍යවස්ථාව වෙනස් කරන ලද නමුත් සිය ප‍්‍රතිවාදී අපේක්‍ෂකයා සිරගත කිරීමෙන් මුබාරක් එය එකලා සටනක් බවට පත්කර ගත්තේ ය.

ඊජිප්තුව මුස්ලිම් බහුතරයක් සහිත රටක් වන අතර රාජ්‍යාගම ලෙස සැලකෙන්නේ සුන්නි ඉස්ලාම් ය. එහෙත් රාජ්‍ය පාලනයේ දී එය නිරාගමික විය. 1980 දී පොදු සමාජයට අදාළ ව සහ පවුල් සංස්ථාව පවත්වාගෙන යාමට අදාළ ව ඉස්ලාමයට අනුකූල නීති කිහිපයක් ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදි. 1953 දී ජනරජයක් බවට පත් වීමෙන් පසු එරට පාලනය කළ නගුයිබ්, නසාර්, සදාත් සහ මුබාරක්ගේ පාලන සමය තුළ ඉස්ලාමය රාජ්‍යපාලනයට මැදිහත් වුණේ නැත. එහෙත් මෝර්සිගේ සමයේ එය වෙනස් වුණේ් ය. මුස්ලිම් සහෝදරත්වය විසින්පාලනය සියතට ගන්නා ලද අතර රටේ පවතින නීතියට අනුගත ඔවුන්ගේ ප‍්‍රතිසංස්කරණ ජනතා විරෝධයට බඳුන් විය. ඒ අනුව ඊජිප්තු විප්ලවයේ දිශාව වෙනස් විය.

මුස්ලිම් සහෝදරත්වය යන කෙටි නමින් හැඳින්වෙන මුස්ලිම් සහෝදර සමාජය නම් සංවිධානය 1928 වසරේ ඊජිප්තුවේ පිහිටුවා ගන්නා ලද්දේ ඉස්ලාම් ශාස්ත‍්‍රවන්තයකු වූ හසන් අල්-බන්නා විසිනි. ඔවුන්ගේ දැක්ම පස්වැදෑරුම් ප‍්‍රතිපත්තියකින් සමන්විත ය. ‘අල්ලා අපගේ අරමුණය, කුරාණය ව්‍යවස්ථාව ය, මොහමඞ් නායකයා ය, ජිහාඞ් මාර්ගය ය, අල්ලා වෙනුවෙන් මරණයට පත්වීම අපගේ පැතුම ය.’ යනු ඒවා වේ. ඔවුන්ගේ නීතිපොත සුන්නා වේ. සුන්නි නිකාය සුන්නාහි එන නීති අනුගමනය කරයි.

පෙර සඳහන් පරිදි ඊජිප්තුව නිරාගමික ව්‍යවස්ථාවක් යටතේ පාලනය වූ අතර ආගමික, ලිංගික සහ ජනවාර්ගික පදනමින් දේශපාලන පක්‍ෂ කි‍්‍රයාත්මක වීමට එරටේ ඉඩක් නොතිබුණු හෙයින් මුස්ලිම් සහෝදරත්වයට ඍජුව දේශපාලන කි‍්‍රයා කාරකම්වල නියැ ළෙන්නට අවසරයක් නොවී ය. තමන් සාධාරණ හා සාමකාමී සංවිධානයක් ලෙස හඳුන්වා ගනු ලැබුවත් එය ඊජිප්තුවේ මතු නොව බහරේන්, රුසියාව, සිරියාව, සවුදි අරාබිය, එක්සත් අරාබි එමයිරේටය ඇතුළු රටවල් විස්සක පමණ තහනම් සංවිධානයකි. ඒ නිසා ඔවුන් දේශපාලනය කළේ නිදහස් සාධාරණ පක්‍ෂය ලෙසිනි. මොහමඞ් මෝර්සි මුස්ලිම් සහෝදරත්වයේ සාමාජික යකු වන අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ එම පක්‍ෂයෙනි.

අරාබි වසන්තය ලෙස සිංහලට නැගෙන Arab Spring නම් පොදු ජනතා නැගී සිටිම් ඇරඹුණේ 2010 දෙසැම්බර් 28 දින ටියුනිසියාවෙනි. අරාබි කරයේ මතු නොව ලිබියාව, ඊජිප්තුව වැනි අෆි‍්‍රකානු රටවලට ද පැතිර ගිය මෙම කැරලි නිසා ඒ රටවල දිගු කලක් තිස්සේ බලය අල්ලා ගෙන සිටි බලවත් නායකයන්ට පවා සිංහාසන හැරයන්නට සිදු විය. ලිබියාවේ ගඩාෆි ඝාතනය කරන ලද්දේ කෲර ලෙසිනි.

මේ රටවල පොදු ජනයා පාලකයන්ට එරෙහිව නැගී සිටියේ තමන් පීඩාවට පත් කළ නායකයන් පලවා හැර යුක්තියුක්ත සාමකාමී රටක් අපේක්‍ෂාවෙනි. එහෙත් විප්ලවවලින් පසු බලය අල්ලා ගත් කණ්ඩායම් පෙර තිබුණාටත් වඩා දුර්දාන්ත පාලනයකට ඒ රටවල් ඇදගෙන ගියෝ ය. ඒ නිසා ඒවායේ ආර්ථික පිරිහිණි. නැවත ජනයා පීඩාවට පත්වීම ඇරැුඹිණි. මේ නිසා දැන් උදාවී ඇත්තේ අරාබි ශිශිරය Arab Winter ලෙස උපහාසාත්මක ව හැඳින්වේ. (ඒ අනුව නම් යට කී සිංහල පරිවර්තනය නිවැරදි ය.)

ඊජිප්තුවේ සිදු වූයේ ද එය ය. මුස්ලිම් සහෝදරත්වය බලය අල්ලා ගත් අතර ඔවුන් ශාරියා නීති තදින් කි‍්‍රයාත්මක කරන්නට යෑමේ දී ජනතාව ඉන් පීඩාවට පත් වූහ. ඔවුන්ට ආගමික විනා ආර්ථික දර්ශනයක් නොවිණි. ජාත්‍යන්තරය සමග සබඳතා පවත්වන්නට උත්සාහ කළත් එසේ කරන ආකාරය මෝර්සිගේ ආණ්ඩුව දැනසිටියේ නැත. මුස්ලිම් සහෝදරත්වයට ළැදි කටාර් රාජ්‍යය ඊජිප්තුවේ ආයෝජන කරන්නට ඉදිරිපත් වු නමුත් සවුදි අරාබිය දැක්වූයේ ඇල්මැරුණු උනන්දුවකි.
මෝර්සි වැඬේ වරද්දාගත් තවත් තැනක් නම් සිරියාවේ අසාද්ගේ ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නට සිය හමුදාවලට නියෝග කිරීමයි. එහෙත් එරට හමුදා පිළිිපදින්නේ ජනාධිපතිවරයාගේ නියෝග නොව එරට සන්නද්ධ හමුදාවල ඉහළ මණ්ඩලයේ නියෝග ය. එහි නායකයා ව සිටි ෆීල්ඞ් මාෂල් අබ්දෙල් ෆාටා අල්-සිසි එය ප‍්‍රතික්ෂේප කළේ සිය දේශසීමාවෙන් පිටත සටන් කරන්නට සිය හමුදාවලට නියෝග කළ නොහැකි ය යන රෙගුලාසිය අනුව ය.

මෝර්සිගේ අකාර්යක්‍ෂම පාලනය සහ මුස්ලිම් සහෝදරත්වයේ දැඩි බලපැම් සහිත ආගමික ක‍්‍රියාකාරකම් හේතුවෙන් පීඩාවට පත් ව සිටි ජනතාව එවර මෝර්සිට එරෙහිව වීථි බැස්සෝ ය. ඒ 2013 ජුනි 30දා ය. ඉන්පසු සිදු වු කඩිනම් පියවර කිහිපයකින් පසු හමුදා කවුන්සිලය මෝර්සි ඉවත් කොට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස එරට ව්‍යවස්ථා කටයුතු අධිකරණයේ ප‍්‍රධානියා වූ අද්ලි මන්සුර් පත් කළේ ය. ඔහු 2014 ජුනි දක්වා අන්තර්වාර පාලනයේ ජනාධිපති විය. ඒ කාලය තුළ ව්‍යවස්ථාව වෙනස් කොට ජනාධිපතිවරණයක් පවත්වන ලද අතර අබ්දෙල් ෆාටා අල්-සිසි හමුදා සේවයෙන් ඉවත්ව ජනාධිපතිවරණයට තරග කොට ජයගත්තේ ය.
ඉනික්බිති මුස්ලිම් සහෝදරත්වයට එරෙහිව නඩු පවරන ලද අතර මෝර්සිට පසුගියදා අච්චු කරනු ලැබුවේ ඒ අනුව ය.

මෝර්සිට මේ විපත සිදු වූයේ පොදු ජනහ`ඩට සවන් නොදීමේ විපාකය ලෙසිනි. මිනිසුන් අරගල කරන්නේ තමන් පාලනය කරන ඒකාධිපතියන්ට විරුද්ධව මිස තවත් එවැනි ජනපීඩක කණ්ඩායමක් පත් කරගන්නට නොවන බව ඔහු වටහා ගත්තේ නැත.