රාවය

චීන පාකිස්තාන බරාඳය

චීන පාකිස්තාන බරාඳය

චීනය සහ පාකිස්තානය අතර පසුගිය සතියේ ‘චීන පාකිස්තාන ආර්ථික බරාඳය’ නම් ගිවිසුමකට අත්සන් තැබිණි. චීනය මෙහි ආයෝජනය කරනු මුළු මුදල අමෙරිකානු ඩොලර් බිලියන 46කි.
මේ සඳහා චීන ජනාධිපති ක්‍ෂි ජිං පිං 20දා පාකිස්තානයට පැමිණ දෙදිනක් එහි ගත කළේ ය.

මෙහි මූලික ව්‍යාපෘතිය වන්නේ බටහිර චීනයේ ක්ෂින්ජියැං පළාතේ කාන්ගර් නගරයේ සිට පාකිස්තානයේ බ්ලොචිස්තාන ප‍්‍රාන්තයේ ප‍්‍රකට ග්වාදාර් වරාය නගරය දක්වා දිවෙන කිලෝ මීටර් 3,300 දිගැති අධිවේගී මාර්ගයයි.
මේ චීන ජනාධිපතිවරයකු පාකිස්තානයට පැමිණි ප‍්‍රථම අවස්

ථාව ලෙස වාර්තාගත ය. එසේ ම මෙය චීනයේ තවත් වැදගත් ව්‍යාපාරික අපේක්‍ෂාවක් මල් ඵල ගැනීමකි.
දැනටමත් චීනය ග්වාදාර් වරාය සංවර්ධනය කරයි. අදියර තුනකින් යුත් ඒ සංවර්ධන ව්‍යාපෘතිය 2003 වසරේ ඇරඹිණි. වරාය ගැඹුරු කිරීම මෙන් ම යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම එයට අයත් විය. දෙවන අදියරේ දී වරාය නගරයක් සහ ධීවර ගම්මානයක් ඉදිකිරීම ඇරැුඹිණි. තුන්වන අදියර වන්නේ ග්වාදාර් නගරය පාකිස්තානයේ වාණිජ අගනගරය බවට පරිවර්තනය කිරීමේ සැලැස්ම ය.

පර්සියානු බොක්කේ මුවවිට පිහිටා ඇති ග්වාදාර් උණුසුම් දිය සහිත ගැඔුරු වරායක් වන අතර උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත්කමකින් යුක්ත ය. මේ වරාය සංවර්ධනයෙන් පසු එහි සිට ක්ෂින්ජියැං වෙත දිවෙන මාර්ගය නිම කිරීමෙන් චීනයට අත්වන ප‍්‍රයෝජන රාශියකි.

ස්වාභාවික ෆොසිල ඉන්ධන නිධි නොමැති හෙයින් චීනයට සිය ඉන්ධන අවශ්‍යතාව සම්පූර්ණයෙන් ම පිරිමසා ගන්නට සිදු වන්නේ ආනයනයෙනි. මේ සඳහා වර්තමාන ක‍්‍රමය වන්නේ තෙල් අපනයන වරායකින් ඒවා ෂැංහයි වෙත මුහුදෙන් ප‍්‍රවාහනය කෙරුමයි. නැව් මගේ දිග නාවික සැතපුම් 15,000ට අධික ය. නැවක ගමනට මාස තුනකට වැඩි කාලයක් ගතවේ. එසේ ම එය අනාරක්‍ෂිත මුහුදු ගමනකි. මේ නැව් නිරන්තරයෙන් මුහුදු කොල්ලකරුවන්ගේ ප‍්‍රහාරවලට ලක්වේ. එසේම චීනය කියන පරිදි දේශපාලනමය සතුරන්ගෙන් ද ඉඳහිට ප‍්‍රහාර එල්ල වනු ඇත. ෂැංහයි වරායට නැව සේන්දු වූවායින් පසු අභ්‍යන්තර ප‍්‍රවාහනයට ද සැහෙන මිලක් සහ කාලයක් වැයවෙයි.
මේ සියලූ කරුණු සලකා බලන විට ග්වාදර් වරාය දක්වා තෙල් නැව් මගින් ගෙනවුත් එතැන් සිට ගොඩබිම් මාර්ගයෙන් චීනයට ප‍්‍රවාහනය කළ හැකි නම් ඉතා විශාල මුදලක් ඉතිරිවන බවත්, ආරක්ෂක වශයෙන් අනතුරුදායක බව අඩු බවත් පැහැදිලි ය.

මේ සියල්ලට ම වඩා මෙහි තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, ආසියාවට කේන්ද්‍රීය බලය වීමේ අමෙරිකානු ප‍්‍රයත්නයට ඉන් තරගයක් එල්ල වීමයි. එනයින් චීනයට මෙය ඉතා වැදගත් වන අතර පාකිස්තාන අග‍්‍රමාත්‍යවරයා මේ වනවිටත් පිළිගෙන ඇති පරිදි මේ දීර්ඝකාලීන සැලසුම්වලින් අන් කවර හෝ ව්‍යාපෘතියකින් ලැබුණාට වඩා ප‍්‍රතිඵල පාකිස්තානයට ලැබෙනු ඇත.