රාජපක්‍ෂලා නෙවෙයි නම් හොරකම් කළේ කවුද?

බැසිල් රාජපක්ෂ මහතා බන්ධ නාගාරගතවූ පුවතත්, ඉන්පසු සුපුරුදු පරිදි රෝහල්ගතවූ පුවතත් මේ වනවිට ජනප‍්‍රිය කතාය. ප‍්‍රභූවරයකු බන්ධනාගාර ගතවූ සැණින් රෝහල් ගතවීම අද මෝස්තරයක් වී ඇත. ඒ මෝස්තරයේ අලූත්ම රටාව බැසිල් රාජපක්ෂය.

ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්වූ පළමු නිමේෂයෙන්ම විදේශගතවූ බැසිල් රාජපක්ෂ එතැන් පටන් දින සියය අවසන් වන තෙක් රැුඳුණේ ඇමරිකා එක්සත් ජනපදයේය. බැසිල් රාජපක්ෂ විදේශගත වීමත් සමගරාජපක්ෂලා හමාරයැ’යි ද බැසිල් පමණක් රට පැන බේරුණායැ’යි බොහෝ දෙනා අනුමාන කළහ. එහෙත් සැලකිය යුතු මට්ටමේ කිසිවක් මෙතෙක් සිදු නොවුණි.

රාජපක්ෂලා උගුලේ හිරකිරීම ලේසි පහසු කටයුත්තක් නොවන බව පැහැදිලිය. මෙය එක්තරා විදිහකට බැසිල් රාජපක්ෂගේ නැවත පැමිණීමට හේතුභූත වූවාද විය හැකිය. නොබෝදා ලංකාවට පැමිණෙන බැසිල් රාජපක්ෂ පිළිගන්නට ඒකරාශි වන ජනයාගෙන්ද ඒ බව පැහැදිලිය. පැදුරටත් හොරා කුරුබිලියෙන් රට පනින බැසිල් නැවත ලංකාවට එනුයේ අණබෙර ගසා ජනයා පෙරටු කොටගෙනය. ඒ පැමිණ ඔහු කියනුයේ කුමක්ද?

‘රාජපක්ෂලා සතපහක් හොරකම් කරලා නැහැ’ යන්නය. ඇත්තටම දැන් හොරකු සොයා ගැනීම නොමළ ගෙයකින් අබ මිටක් සොයනවාට වඩා වෙහෙසකර කටයුත්තකි. සතපහක් සොරකම් නොකළ බව කී බැසිල් රාජපක්ෂ පහුවදා අත්අඩංගුවට ගෙන මැයි පස්වැනිදා තෙක් බන්ධනාගාර රෝහලට පිටත් කර යැවිණි.
හිටපු ආණ්ඩුවේ ප‍්‍රබලම පුරුකක් වූ බලකණුවක් වූ බැසිල් බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්නේ ඇයි? අප ලිහාගත යුත්තේ එයයි.
මාර්තු 30 වැනිදා බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙසට කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේය. ඒ බැසිල් රාජපක්ෂගේ නීතිඥයා වූ යූ.ආර්. ද සිල්වා විසින් අධිකරණය ඉදිරියේ ගොනු කොට තිබූ මෝසමක් ප‍්‍රතික්ෂේප කරමිනි. මෙම මෝසම ගොනුකොට තිබුණේ අධිකරණය විසින් මූල්‍ය අපරාධ විමර්ශන අංශය වෙත බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණි විගස අත්අඩංගුවට ගන්නා ලෙසට කලින් කර තිබූ නියෝග ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමිනි.

රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රබලතම බලකණුවක් වූ බැසිල් අතීතයේ එජාප සාමාජිකයකු වුවද දිගු කාලයක පටන් ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කළේය. ඔහු නැවත ලංකාවට ගොඩ බසිනුයේ 2005 ජනාධිපතිවරණයේදීය. ආ සැණින් සහෝදරකමට ජනපති මහින්ද රාජපක්ෂගේ උපදේශකයකු වන බැසිල් උපදෙස් දීමෙහිලා ජගතෙක්ද බවට පත්වේ. අප එසේ කියනුයේ මහින්දට පසු නිල නොලත් යුව රජ බව බැසිල් තම හැකියාවන් හරහා ප‍්‍රකට කිරීමත් සමගය. අද මහින්ද ළඟ කෑමොර දෙන දේශපාලකයන්ගේ සිට විපක්ෂයේ සියල්ල පාහේ එදා බැසිල් ළඟදී නිවට නියාලූ කුක්කෝ වූහ. එයට හේතුව උපදේශකයා ලෙස එන බැසිල් ඉන්පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක බවටද පත්වන බැවිනි. ඒ සියලූ ඔටුනු පළන්දනුයේ මහින්ද රාජපක්ෂය. ඒ බැසිල් තරම් අනෙක් අය විශ්වාස නැති බැවිනි. රාජපක්ෂලා සැමට බැබලෙන්නට බැසිල් රුකුලක් වුණා නොඅනුමානය. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් බිලීබෑම මෙන්ම විපක්ෂය භේද බින්න කිරීමේ මහ මොළකාරයාද බැසිල් විය. ඒ නිසාම ඉබේටම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ ‘ගේම්කාරයා’ බවට බැසිල් පත්විය. විරුද්ධ පක්ෂ සමග ඞීල් දැමීමේ මොළකාරයා ඔහුය. මහින්ද රාජපක්ෂ ළඟට යන සියල්ල මුලින් යා යුත්තේ බැසිල් හරහා විය. බැසිල් යුව රජුම විය. යුද්ධයෙන් පසු ගෝඨාභයද චරිතයක් වන අතර ඔහු ආරක්ෂක උපදේශකයා වන විට බැසිල් මහින්දගේ දේශපාලන උපදේශකයා විය. මේ මුහුණු දෙකම මහින්ද රාජපක්ෂ සාධකය ඉහළට ගෙනෙන්නට ලොකු මෙහෙයක් කළේය.
2010 වසරේදී ක‍්‍රියාකාරී දේශපාලනයට බසින බැසිල් එකල පැවති මහ මැතිවරණයේදී ගම්පහට තරග කරමින් ගම්පහ දිස්ත‍්‍රික්කයේම වැඩිම මනාපලාභියා බවට පත්විය. ඒ සියලූ අපේක්ෂකයන් තමාට පෙර බැසිල්ට මනාපයක් දෙන්නැ’යි කියන තැනට තම අධිකාරිය තහවුරු කරගන්නට බැසිල් සමත් විය. ගම්පහ වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු එන බැසිල් එතැන් පටන් මහා කෙරුමකු බවට පත්විය. තිරය පිටුපස ගෙන ගිය රංගනය ඔහු එළිපිටම කරන තැනට පත්විය. ජනපති මහින්ද රාජපක්ෂද බැසිල්ට කළගුණ සලකනු පිණිස ඔහු වෙනුවෙන්ම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නමින් අමාත්‍යාංශයක් පිහිටුවා එය බැසිල්ට තෑගි කළේය. එය බලසම්පන්න අමාත්‍යාං ශයක් විය. බැසිල් වෙනුවෙන්ම උපන් අමාත්‍යාංශයක් විය.

බැසිල් රාජපක්ෂට අයත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වපසරිය සුළුපටු නොවීය. බිම් මට්ටමේ ව්‍යාපෘතිවල සිට මහා පරිමාණ ව්‍යාපෘති දක්වා කාර්යයන් ඊට අයත් විය. ඒ සියල්ලෙහි මහා කෙරුම් පාන්නට ඔහුට හැකිවිය. ඒ සඳහා නිදහස ශක්තිය මහින්ද රාජපක්ෂ බැසිල්ට ලබාදී තිබුණි.

ටෙන් පර්සෙන්ට්

මේ කෙරුවාවත් සමග බැසිල් රාජපක්ෂ ව්‍යාපාර කේන්ද්‍රයේ ‘මිස්ටර් ටෙන් පර්සෙන්ට්’ ලෙස ජනප‍්‍රිය විය. ඒ පිළිබඳ පුවත කරළියට එනුයේද විදේශිකයකුගේ සට හනකිනිි. එක්සත් ජාතීන්ගේ මෙරට හිටපු නියෝජිතයෙකු වන ගෝර්ඩන් වයිස් සිය ඔයැ ක්‍්ටැ නමැති මතක සටහන් කෘතියෙහි බැසිල් හඳුන්වනුයේ ‘මිස්ටර් ටෙන් පර්සෙන්ට්’ ලෙසය.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙනුයේ අලූතින් පටන් ගන්නා ව්‍යාපෘති සඳහා සියයට දහයක කොමිස් මුදලක් ලබාගන්නා බවය. එය අනිවාර්යයෙන් ඉල්ලා සිටින මුදලක් බවට එකල ප‍්‍රසිද්ධ වී තිබුණි. එකල දේශපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ රහසක් වූ මෙය රාජපක්ෂලාගේ කනට ගිය කල ඔවුන් ඒ පිළිබඳ ප‍්‍රසිද්ධියේම කීවේ තම පවුලට බොරු චෝදනා නගන බවය. අදද මේ පවුල කියනුයේ ඒ කතාවමය.

දිවි නැගුම

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැ’යි පැවසෙන මූල්‍ය අක‍්‍රමිකතා බැසිල් රාජපක්ෂට එරෙහිව ඇති ප‍්‍රබලම චෝදනාවය. එම දෙපාර්තමේන්තුවේ සිදුවී තිබෙන රුපියල් මිලියන 6,500කට වැඩි මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධව බැසිල්ට චෝදනා එල්ල වේ.
ලංකා බැංකුවේ බත්තරමුල්ල ශාඛාවේ දිවි නැගුම දෙපාර්තමේන්තුව සතුව තිබූ ගිණුමක රුපියල් මිලියන 4681ක මුදල වියදම් කළ ආකාරය මේ අතර ඇති ප‍්‍රධාන සැකයය.

ස්ථාවර තැන්පතු අංක 76488889 දරන ගිණුමේ තැන්පත් කොට තිබූ එම මුදල 2014 දෙසැම්බර් 31 වැනිදා එම බැංකුවේම අංක 3417925 දරන දිවි නැගුම ජංගම ගිණුමකට මාරු කොට විවිධ පුද්ගලයන්ගේ නම්වලට චෙක්පත් ලියමින් එම මුදල ගිණුමෙන් ඉවත් කොට ගෙන තිබේ. එසේම එම ස්ථාවර තැන්පතුවට අදාළ රුපියල් මිලියන 36.6ක පොලී මුදලක්ද එම ජංගම ගිණුමට ගෙන ඉවත් කොට ගෙන තිබේ.

මීට අමතරව බොරැුල්ල ලංකා බැංකුවේ දිවි නැගුම අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නමින් තිබෙන අංක 7041562 දරන ගිණුමෙන් 2014 දෙසැම්බර් 22 වන දින රුපියල් මිලියන 580ක් හා රුපියල් මිලියන 771ක් ලෙස අවස්ථා දෙකකදී රුපියල් මිලියන 1351ක් සැකසහිත ආකාරයට ඉවත් කරගෙන ඇත. එම ගිණුමෙන් 2014 දෙසැම්බර් 09 දින රුපියල් මිලියන 70ක් හා 225ක් ලෙස අවස්ථා දෙකකදී රුපියල් මිලියන 295ක මුදලක් ඉවත් කරගෙන තිබේ. එම මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරන්නට ඇත. බන්ධනාගාර රෝහල දක්වා බැසිල් රැුගෙන යන්නේ එම ප‍්‍රශ්න කිරීම් බවද ස්ථිරය.

හර්ෂගේ සොයා ගැනීම්

මේ අතර නොබෝදා හර්ෂ ද සිල්වා ඇමතිවරයා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ සිදුකළ අක‍්‍රමිකතා ගණනාවක් පිළිබඳ තොරතුරු තමා සතු බවය. ඊට උදාහරණ ලෙස ඔහු එම අමාත්‍යාංශය විසින් දියත් කොට තිබූ නාන ළිං සංවර්ධන වැඩසටහන දැක්වීය. අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ මෙම නාන ළිඳක් සඳහා උපරිම රුපියල් 30,000-50,000 අතර මුදලක් වැයවන බව ගණන් බලා ඇතිමුත් ඒ සඳහා රු. ලක්ෂ 5 බැගින් වාර්තාගත කොට ඇති බවය. සුළු පරිමාණ ව්‍යාපෘතිවලින් මේ ලෙස මුදල් ගසා කා ඇත්නම් මහා පරිමාණ ගැහිලි කොහොම ඇත්ද යන හාස්‍යජනක ප‍්‍රශ්නාර්ථය ඉතිරි කළ හර්ෂ ඇමතිවරයාට දැන් ඒ ප‍්‍රශ්න ජනතාව හමුවේ විසඳීමට කාලය එළැඹ ඇත. ඒ සඳහා ප‍්‍රශ්නගත අය පැමිණ ඇත.

බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නට තීන්දු කිරීමත් සමග ඒ සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය වුව ලබාගැනීමට තීන්දු විය. ඒ හේතුවෙන් බැසිල් ලංකාවට ආවායැ’යි කිව හැකිය. අනෙක් අතට පසුගිය මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ලද පරාජයට එකම වගකිවයුත්තා බැසිල් බව එම පාර්ශ්වයේම හඬ විය. ඒ සියලූ හේතු සාධක හමුවේ බැසිල් එක් දෙයක් තේරුම් ගත්තා විය යුතුය. එනම් යහපාලන යකා කියන තරම් කළු නැති බවය. පළමු පැයේදීම විදෙස් ගතවන ඔහු දින සියය අවසානයේ එන්නේ ශබ්ද නගාගෙනය. කිසිවකට මුහුණදීම භයානක නැති බව මේ අය දනී.
බැසිල් රාජපක්ෂ බන්ධනාගාර ගතකිරීමෙන් රාජපක්ෂලාගේ සියලූ පව් සේදෙන්නේ නැත.

බැසිල් ගේම්කාරයකු, ඞීල්කාරයකු වූයේ නිකං නොවේ. ඒ රාජපක්ෂලාගේ පැවැත්මටමය. එසේ නම් බැසිල් යනු තනි පුද්ගලයෙක්ද? බැසිල් නමට ඈඳුණු රාජපක්ෂ නාමය මේ සියල්ල අතර නොපවතීද?
අල්ලස් කොමිසමට යෑම, මාධ්‍ය ඉදිරියේ චෝදනා නැගීම, උසාවි යෑම, බන්ධනාගාර ගතවීම, ගතවූ සැණින් රෝහල් ගතවීම, ටික දිනකට පසු ඒ හා හූවත් අහවර වීම යන සියල්ල මේ මොහොතේ ජනතාව ඉදිරියේ ඇති නොවැදගත් කතා බවට පත්වෙමින් පවතී. මාධ්‍යයට නම් මේවා අපූරු සංදර්ශනය. එහෙත් මේ ප‍්‍රශ්න පොළොවේ නැති බව පෙනේ. අමතක නොකළ යුත්ත නම් බැසිල් යනු රාජපක්ෂ පාලන සමයේ එම පාලනයේ දේශපාලන මොළකරුවා බවය. මේ නැවත පැමිණීම මද්දුම බණ්ඩාර පන්නයේ වීරකමක්ද යන්න නැවත සිතිය යුතුය. 2005දී මෙරටට පැමිණ මහින්දගේ ආණ්ඩුවේ මහ මොළකාරයා වන බැසිල්ට දින සියයට පසු පැමිණ මද්දුම බණ්ඩාර වීමටත් බැරිකමක් නැත. ඔහු ආ සැණින් මාධ්‍යයට කීවේ රාජපක්ෂලා සතපහක් සොරකම් නොකළ බවයි. එසේ නම් හොරකම් කළේ කවුද?