නවීන් නා ගනී ද?

හොඳම ක‍්‍රීඩා ඇ ම ති වෙන්නට ගොස් නරකම ක‍්‍රීඩා ඇමති වූ මහින්දානන්ද අලූත්ගමගේ කැපූ වළේ නවීන් දිසානායක දහවලේ වැටී ඇති අයුරු පෙනේ. වළෙන් ගොඩඒම වෙනුවට වළ හාරාගෙන ඇතුළටම යන්නට නවීන් ද දතකමින් සිටී. මෙහිදී පෙනෙන්නට ඇත්තේ තමා ලෝක අමාරුවක වැටී ඇතැ’යි නවීන් හිතාමතාම අමතක කරන බවය. මහින්දානන්ද මෙන්ම නවීන්ද අඬුව තියෙද්දීම අත පුච්චා ගන්නට රුසියෙකු බව ඔවුන්ගේ ක‍්‍රියාකලාපයන් පෙන්වා දේ.
මහින්දානන්ද කැපූ පතුරමට ඇඳුමක් මසාගෙන ඇති නවීන් එම ඇඳුම ඇඟලා ගෙන බරපතළ විහිළුවක් බවට පෙරළෙමින් තිබේ. මේ කවුරු හිනස්සන්නද?
ක‍්‍රීඩා සංගම් තනතුරු සිව් වසරකට සීමා කිරීමේ සීමා මායිම අලූත්ගමගේ කළ වැඩකි. අද එය නවීන් ක‍්‍රියාත්මක කරන විට ඔහුද නවීන්ට ගල් ගසමින් සිටී. නවීන් ක‍්‍රියාත්මක කිරීමට නියමිත මෙම නීතියෙන් ක‍්‍රීඩාවේ කාබාසිනියන් රොත්ත බුරුත්තම නායයෑමට ලක්වන්නේය. ඒ නිසා අද සියල්ලෝ නැතිවන බූදලය රැුකගන්නට වෙහෙසෙති. එය මෙරටින් මෙන්ම ජාත්‍යන්තරයෙන්ද කරගන්නට වලිකති.

වොලිබෝල් ක‍්‍රීඩාවේ විනාශකාරයකු වන ඩිලාන් පෙරේරා වොලිබෝල් සංගමයට පැමිණ දස වසර පනී. ඔහු සෑම වසරකම මේ වසර අවසාන වසර ලෙස හඬ නගයි. එය අද මුදලට හෙට ණයට මෙනි. ඩිලාන් සභාපතිකම අත නොහරී. මෙවරද ඔහු තරග වැදීමට නියමිත විය. එහෙත් සිව් වසර ඔහුට හරස් වී ඇත. ඔහුට පමණක් නොව ඔහුගේ කුලයටම මෙම තහනම අදාළය. ඒ නිසා මෙයින් ගොඩ ඒමට තව බොහෝ සංගම්වල මෙවැනිම විනාශකාරයන් එකතු කරගෙන ජනපති මෛත‍්‍රීපාල සිරිසේන හමුවීමට මේ දිනවල කතිකා කරගෙන සිටී. ජනපති ලවා නවීන්ගේ බල බිඳීමත් ඒ හරහා සිව් වසර විනාශ කිරීමත් එකම අරමුණ වී ඇත.

එයින්ද නොනවතින ඔවුහු එදා නරකයි කී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහායද අයදිති. අලූත්ගමගේ කාලයේදී දේශපාලන හිතවත්කමට ඔලිම්පික් සභාපති වන්නට සියලූම ජඩකම් කළ ඩිලාන් පෙරේරා ප‍්‍රමුඛ සංගම් බහුතරය අද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහාය පතති. එදා තමාට එරෙහිව එල්ල වන චෝදනාව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට සැලකිරීම හේමසිරි ප‍්‍රනාන්දු කළ වරදක් බව දුටු මොවුන් එදා කීවේ ජාත්‍යන්තර නීතියට වඩා වටිනුයේ රටේ නීතිය බවය. අද දෙපැත්ත මාරු වීමේ විනාශකාරයන්ද ජාත්‍යන්තර වී ඇත. ඔවුහු ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයේ සහය පතති.

නවීන් දිසානායක මහතාගේ එකම තේරීම ක‍්‍රිකට් වූ නිසා ඔහු ඇමතිකමෙන් වැඩි කලක්ම ක‍්‍රිකට්වලටම කැපවුණි. අද ඔහු පත් කළ ක‍්‍රිකට් අතුරු කමිටුව ඔහු කළ ලොකුම මෝඩකම බවට පෙරළෙමින් තිබේ. ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත් කළේ හිටපු ක‍්‍රිකට් පරිපාලකයන්ගේ දූෂිත ක‍්‍රියාකලාපයට එරෙහිව බවය. එහෙත් එසේ කියා පත් කළ අතුරු කමිටුවේ සුජාතබවද අද ගැටලූසහගතය. නවීන්ට අනුව ඔහු පත් කළ කමිටුව සුපිරිය. සිදත් වෙත්තමුණි හොඳ මහත්මයකු විය හැකිය. ඔහු මීට පෙරද අතුරු කමිටුහි තනතුරු දරා ඇත. එහෙත් ක‍්‍රිකට්වලට කළ කෙංගෙඩියක් නොපවතී. එවැනි පිළුණු චරිත හරහා දෙන නැවුම් බවක් වේද? අනෙක් අතට දූෂිත ක‍්‍රිකට් පරිපාලකයන් අතර සිටි නුෂ්කි මොහොමඞ් අතුරු කමිටුවේ ද සිටියි. එයින් පෙනෙන්නේ නවීන්ගේ වැඩවලද මහින්දානන්දගේ වැඩවලද වෙනසක් නැති බවය. නුෂ්කි මොහොමඞ් යනු නවීන්ලාගේ දිගුකාලීනම පවුලේ ගජ මිතුරෙකි. නුෂ්කි මොහොමඞ් සුදනා වන්නේ ඒ නිසාය. අනෙක් අතට අතුරු කමිටුවක් පත් කළයුත්තේ ඇයිද යන්න ක‍්‍රීඩා පනතේ පැහැදිලිව සඳහන්ය. එය ඇමතිවරුන්ගේ හිතූ මනාපයට කළ නොහැකිය. එවිට ජාත්‍යන්තරය තුළ මෙරට ක‍්‍රීඩාව හෑල්ලූ වේ. ක‍්‍රිකට් නව නීතියට අනුව ඔවුහු අතුරු කමිටු පිළිනොගනිති. ඔවුන් පිළිනොගන්නා තත්ත්වයක් තුළ එය කිරීම හරහා ඔවුන් ලබාදෙන මුදල් මෙරටට ගලා ඒම වැළකේ. අයිසීසීය මේ දිනවල එම අනතුරු ඇඟවීම කී‍්‍රඩා අමාත්‍යාංශයට දැනුම් දී ඇත. අප වැඩ කරන්නේ අපේ නීතියකට අනුව මෙන්ම ඔවුන් වැඩ කරනුයේද ඔවුන්ගේ නීති රාමුවකටය. එබැවින් මේ සෙල්ලම් සැහැල්ලූවෙන් කළ හැකි නොවේ.

අයිසීසී අනතුරු ඇඟවීම එක් පසෙකින් තබද්දී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අනතුරු ලිපිය තවත් පසකින් වේ. ඒ අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ පටලැවිල්ලද ඒ ආකාරයෙන්ම පවතී. මහින්දානන්ද අලූත්ගමගේ, හේමසිරි ප‍්‍රනාන්දු ඉවත් කිරීමට ගත් වෙහෙසේදී කට්ටියටම ගිමන් හරින්නට වූයේ ජාත්‍යන්තර ඔලිම්පික් මූලස්ථානයේදීය. එහිදී අවසාන එකඟතාව වූයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ එකඟතාවලට අනුව වැඩ කිරීමය. එදා එකඟතා යනු අද නවීන් අවුලවාගෙන දඟලන ප‍්‍රශ්නමය. එබැවින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නැවතත් බොහෝ ඉක්මනට නවීන් දිසානායකට රතු එළිය දල්වනවා නියතය. ඔවුන්ට වැදගත් වන්නේ ඔවුන් සමග වූ එකඟතාවලට එකඟවීමය. එය අලූත්ගමගේද දිසානායකද ඔවුන්ට අදාළ නොවේ. නවීන් දිසානායක අද එම උගුලේ සිරවී සිටී.

ක‍්‍රීඩා අමාත්‍යාංශයට ක‍්‍රීඩාව පිළිබඳ දැනුම් ඇත්තන් පත්කර ගැනීම ක‍්‍රීඩා ඇමති කෙනකු කළයුතු පළමු රාජකාරියය. එහෙත් නවීන් දිසානායක ඊට බොහෝ කල් ඇරීය. අද එහි විපාක ඔහු තනිවම භුක්ති විඳිමින් සිටී. රටක නීතිය එම රටේ ක‍්‍රීඩා නීතියටද වලංගුය. එය ජාත්‍යන්තරය තුළ ඒත්තු ගැන්විය හැකි දැනුම් ඇත්තන්ද සිටීම එපරිදිම වැදගත්ය. නවීන් දිසානායක මහතා ජාත්‍යන්තර ක‍්‍රීඩා සංගම් සමග ගනුදෙනු කරද්දී එය කරන්නේ තමාගේ හෝ මහින්දානන්දගේ එහෙයියන්ගේ දැනුමින් නම් මේ විපාක ඔහු භුක්ති විඳිය යුතුමය. අලූත්ගමගේගේ මෝඩ ක‍්‍රියා කලාපයත් නවීන්ගේ උද්දච්ච පිළිවෙතත් පෙන්වනුයේ රටේ ක‍්‍රීඩාවේ බංකොළොත් බවේ තරම විනා වෙන කුමක්ද?

සිව් වසරක නීතිය අනාගතයට බලනොපවත්වන පරිදි ගෙන එමින් මේ විනාශකාරයන්ට තව වසර දෙකක් ලැග සමුගන්නට මේ වාරයේ පමණක් අවසර දීම එක අතකින් නවීන්ට ගැළවෙන්නට හැකි එකම මගය. ඒ හරහා මේ නීතිය ක‍්‍රියාත්මකවීම ඉන්පසු ඉබේටම සිදුවේ. අනාගත සුබ සිද්ධිය තකා දෙවසරක් ඉවසීම මේ මොහොතේ කාලෝචිත පියවරකි. ඒ මෙරට සංගම් හොර රැුලට බියෙන් කරන දේකට වඩා මෙරට ක‍්‍රීඩාව වෙනුවෙන් කරන වගකීමකි.
ඒ සියල්ල අතර තමාට හිමි බලයක්ද ඇති බව නවීන් පිළිගත යුතුය. අඬුව තබාගෙන අත පුච්චා නොගන්නැ’යි අපි නවීන්ට මතක් කරමු.