තොටලඟ තොරණ අස හැටතුන් වසක භක්ත්‍යාදරය

 

නිලංගලා, ජනකලා හිටියේ උසට උසේ ඇති. පුවක්කොට වැටෙන්න නොදී බදාගෙන. සිහින් උස වළවල් අඩි කිහිපයක් යට කපා පුවක්කොට සමබරව සිටුවන එක ලෙහෙසි වැඩකුත් නෙමෙයි. අවුරුදු ඉවර වෙච්ච ගමන් වෙසක් නිසා තොරණේ වැඩත් ලහි ලහියේම පටන්ගන්න සිද්ධවෙලා. සමහරු දිගු පුවක් කඳන් කර තබාගෙන පාර දිගේ එනවා. තවත් අය ඒවා මිම්ම බල බලා කපනවා. පුවක්කොට ගේන්න හිටවන්න භූමිය තලා පෙළා හදාගන්න කටයුතු බාරගෙන වැඩකරන කවුරුත් කඩිසරව කඩි වගේ වැඩ. බලන් ඉන්න අය කවුරුත් නැහැ. හැමෝම මොකක් හරි වැඩක. ධෛර්යත්, ආදරයත්, භක්තියත් ඒ හැම මුහුණකම සටහන් වෙලා තිබුණා. මේ කාගේත් හැම සුසුමකම ඒකායන පරමාර්ථය වෙලා තිබුණේ තොරණ.

අපි හිටියේ වැඩ ආරම්භ කර තිබුණු තොටළඟ තොරණ ළඟ. මේ අවුරුද්දේ තොටළඟ තොරණ චූලෝදර මහෝදර කතාව ගැනයි. ඉතිං ලොකු උදරයක් ඇති හා පොඩි උදරයක් ඇති ප‍්‍රධානීහු දෙදෙනකු මැණික් පුටුව පිළිබඳ මඩනා ලද ආශාවෙන් යුතුව ද්වන්දව යුද්ධයකට කල් බලති. බුදුන් වහන්සේ තැබූ තැබූ පයින් පොළොව සනහ සනහා ඒ අතරින් වඩිති. තාම ඒ පින්තූර කරළියට ඇවිත් නැහැ. ඒවාත් කොහේ හරි තොටළඟ භක්ති වන්තයකුගේ ගෘහ අභ්‍යන්තරයෙහි ඉවසීමෙන් ලක ලෑස්ති කෙරෙනවා ඇති.

පළමු තොරණ

‘තොටළඟ අපේ මුල්ම තොරණ හැදුවේ 1952 මැයි මාසේ. මට මතකයි අපේ අමරේ අයියා බෙලෙක් තහඩු තොරණ හදපු විදිහ. අඩි 12ක් විතර පළල අඩි 15ක් උස තිබුණා. පරණ බෙලෙක් තහඩුයි ලී කොට ටිකකුයි හොයාගෙන එයා තනියම තමයි තොරණ හැදුවේ. පසු කාලෙක විශාල තොරණක් නිර්මාණය වෙලා තියෙන්නේ 1956 අවුරුද්දේ. මහ භද්‍රකල්ප කතාව තමයි ඉදිරිපත් කෙරුවේ. නිලංගයි, ජනකයි කොටන් අත නෑරම කතාවට එක්වුණා.
මුල්ම විශාල තොරණ අඩි 110ක් පළලයි. අඩි 80ක් උසයි. දින 21ක්ම මහ ජනතාවට ප‍්‍රදර්ශනය කෙරුවා. ඒ කාලේ වෙනකොට එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහත්තයා අගමැති. එතුමා හෙළිකොප්ටරයෙන් ඇවිල්ලා අපේ තොරණට මල් ඉස්සා. ඒ මාසෙම අපේ ගමට රජ මගුල්.’
මේ අවුරුද්දේ තොටලඟ තොරණ මහ ජනතාවට ඉදිරිපත් කරන්නේ 63 වැනි වතාවට කියලයි සංවිධායකයො කියන්නේ. අවුරුදු 63ක් කියන්නේ හරියටම පරම්පරා දෙකක්. ඒක ඔප්පු වෙන කතාවක් සංවිධායකයන්ගෙන් කියවුණා.

කොල්වින් පීරිස්

බණ්ඩාරනායක මහත්තයා 1956 මුල්ම තොරණට හෙළිකොප්ටර යෙන් මල් දැම්මාට පස්සේ ඊළඟ අවුරුද්දේ ඉඳලා මොකද වූණේ කියලා මම ඇහැව්වේ තොරණ සංවිධායකයන්ගෙන්. අද තොටලඟ තොරණ සම්පූර්ණයෙන්ම කරට අරගෙන වැඩ කරන්නේ නිලංග පීරීස්. නිලංග වැඩ මූලිකයා. ඔහුට උපදෙස් දෙන්න සහයට ජනක හෙට්ටිආරච්චි, ප‍්‍රදීප්, චන්ද්‍රසේන පෙරේරා සහ තවත් පිරිසක් ඉන්නවා.
තොරණ ඉතිහාස කතාව ගැන ජනක හෙට්ටිආරච්චි අපිත් එක්ක කියපු කතාවයි මේ.

කටු තොරණේ සැළසුම හදන්ඩ ඉස්සර ලංකාවේ හිටියේ එකම වැඩ කාරයෙක් විතරයි. ඒ තමයි කොල්වින් පීරීස්. අද තොරණ කටයුතු කරට අරගෙන වැඩ කරන නිලංග පීරිස්ගේ තාත්තා තමයි කොල්වින් පීරිස්. කොල්වින් අයියා අද ජීවතුන් අතර නෑ. හැටේ දශකයේ ඉඳලා 2010 වෙනකම්ම ලංකාවේ වැඩි හරියක්ම තොරණවලට කටු තොරණ නිර්මාණය කෙරුවේ කොල්වින් අයියා. කොල්වින් අයියාගෙන් බිහිවෙච්ච ගෝලයෝ අද රට පුරාම කටු තොරණ හදනවා.

කටු තොරණ

කටු තොරණ කියන්නේ මහ තොරණේ සැළැසුමයි. තොරණෙ උස සහ පළල ඇතුළු පරිමාණය මේ කටු තොරණින් පෙන්නුම් කරනවා. තොරණට අවශ්‍ය පුවක් කොට ගණන දැන ගන්නේ මේ කටු තොරණ සැළසුමෙන් කියලා තමයි ජනක හෙට්ටිආරච්චි කිව්වේ. කටු තොරණට අනුව මහ තොරණ සම්පූර්ණයෙන්ම හදලා රූප රාමු සවි කෙරුවාට පස්සේ එකම පුවක් කොටයක්වත් එලියට පෙනෙන්න බැහැ.

මහ තොරණේ ශක්තිමත් භාවය ආරක්ෂා කරගන්න කටු තොරණ දිහා බලලා බොහෝ පියවර ගන්න පුළුවන් කියලා තමයි ජනක කියන්නේ. මීට අනුව තොරණ අභ්‍යන්තරේට හුළං පොදක්වත් ඇතුලූ නොවෙන්න හැදුවාම ඕනෑම හුළඟකට කුණාටුවකට තොරණ කඩා වැටෙන්නේ නැහැ. තොරණ සැකිල්ල ඇතුළට හුළං බැදුවොත් තමයි අවදානම් තත්ත්වයක් ඇති වෙන්නේ.

කඩා වැටීම්

අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවෙක් හදාවඩා ගන්න කොච්චරනම් වෙහෙස මහන්සි වෙනවද. ඒ දෙපල තමන්ගේ දරුවා වෙනුවෙන් නොවිඳිනා දුක් විඳලා හරි දරුවා ලොකු මහත් කර ගන්නවා. එහෙව් දරුවෙක් බලාපොරෙත්තු නැති විදිහට අඩු වයසින් අනතුරකට ලක්වෙලා ජීවිතක්ෂයට පත්වුණොත් මොන තරම් දුකක්ද.
තොටලඟ තොරණ වසර 63 ඇතුළත අවස්ථා තුනකදී කඩා වැටුණු බව තොරණ සංවිධාන කමිටුවේ චන්ද්‍රසේන පෙරේරා කිව්වා.
අපි තොරණ හැදුවාම මහජනතාව වෙනුවෙන් දින 15-20ක් අතර කාලයක් ප‍්‍රදර්ශනය කරනවා. දින 15ක් හෝ 20ක් කියන්නේ ලොකු කාලයක්. දින 2-3ක් අතර කාලයක් ප‍්‍රදර්ශනය කරපු අවස්ථාවනුත් තිබුණා.

තොරණ වැටුණු පළමුවෙනිම අවස්ථාව වුණේ 1984 අවුරුද්දයි. අපි තොරණ හදන්න පටන් ගත්තු දා ඉඳලාම තද හුළං එක්ක වර්ෂාව තිබුණා. ඒ අවුරුද්දේ අපිට තොරණ ප‍්‍රදර්ශනය කරන්න පුළුවන් වුණේ හරියටම දින 9ක් විතරයි. 10වැනි දවසේ උදේ පාන්දරින්ම ආපු තද හුළඟයි වැස්සයි එක්කම තොරණ කඩාගෙන වැටුණා. වෙසක්් තොරණ බලන්න එන සෙනඟට වඩා විශාල ජන ගඟක් එන්නේ තොරණ කඩා වැටුණාහමයි. හරියට මිනිහෙක්ගෙ මළ ගමට සෙනග එනවා වගේ.
දෙවෙනි වරට තොරණ කඩා වැටී තිබෙන්නේ 2003 අවුරුද්දේදී. සංවිධායකයෝ කියන්නේ තොරණ ඇතුලට හුළං බදන්නේ නැති විදිහට හැදුවොත් තොරණ වැටෙන්නේ නැති බවයි. නමුත් ඊටත් අභියෝග කරමින් තොරණ බිමට ඇදලා දාන්න හුළඟට හැකි වී තියෙනවා. තොරණ කටු සැකිල්ල ඇතුලට හුළං බදලා ඇල්ලූවොත් ඒක තොරණට දරාගන්න බැරිවෙන බවයි චන්ද්‍රසේන අයියා කියන්නේ. තොරණ කඩාන් වැටුණාහම අපේ මුළු ජිවිතේම ඉවර වුණා වගේ දැනෙනවා.
තොටලඟ තොරණේ දෙවෙනි අයිතිකාරයා හෙවත් නිලංග පීරිස් තොරණ වෙනුවෙන් ඒ අය කරන ජීවිත කැප කිරීම විස්තර කෙරුවේ මෙන්න මෙහෙමයි.
ගැබිණි අම්මෙකුට එයාගේ බබාව හම්බවෙන්න රෝහලට ඇතුල් කෙරුවාට පස්සේ කිසිම අතුරු ආන්තරාවක් නැතිව දරුවත් එක්ක පරිස්සමට ගෙදරට එනකම්ම ස්වාමිපුරුෂයාටයි අනිකුත් ඥාතීන්ටයි නිදහසක් සැනසීමක් නැහැ වගේම තොරණ හදන්න පටන් ගත්ත දා ඉඳලාම සම්පූර්ණයෙන්ම මහජනතාවට ප‍්‍රදර්ශනය කරලා ගලවලා ඉවත්කරනකම්ම අපිට හරිහමන් නින්දක් නැහැ.

අපේ තොරණ තුන්වැනි වතාවට කඩන් වැටුනේ 2005 අවුරුද්දේදී. ඒ අවුරුද්දේ තොරණ මහජනතාවට ප‍්‍රදර්ශනය කරන්න හැකිවුණේ හරියටම දින තුනයි. හතරවැනිදා උදේ 8.20ට විතර තොරණ ඇදගෙන වැටුනා.

දින 15ක් 20ක් විතර පෙන්වන තොරණක් දින තුනකින් අවසන්වීම ගැනත් මම නිලංගගෙන් ඇහැව්වා. නිලංග ඒකට බොහොම ධෛර්ය සම්පන්න උත්තරයක් දුන්නා.
මේ අවුරුද්දේදී දවස් තුනෙන් කඩන් වැටුනාම ඒ කෑලිත් එකතුකරගෙන අපි නැගිට්ටා. නැවතත් තොරණ හදලා මහ ජනතාව වෙනුවෙන් පොසොන් එකට ප‍්‍රදර්ශනය කෙරුවා.

වියදම

තොරණ වියදම සම්පූරණයෙන්ම දරන්නේ තොටලඟ ශ‍්‍රී වෛශාඛ්‍ය තොරණ සමිතිය. එදා ලක්ෂ එකහමාරෙන් දෙකෙන් ආරම්භ කරපු මේ කටයුත්ත අද සංකීරණ තත්ත්වයට ඇවිත්. මේ අවුරුද්දේ ලක්ෂ 27ක් ඇස්තමේන්තු කරලා තියෙනවා. මහ ජනතාවට තොරණ ප‍්‍රදර්ශනය කරන්න සල්ලි වැඩිපුරම ලැබෙන්නේ තොටලඟ ගමේ පොල සාමාජිකයන්ගෙන්.

ශී‍්‍ර වෛශාඛ්‍ය තොරණ සමිතිය පොළේ වෙළඳාම් කරන හැම කෙනෙකු ගෙන්ම දිනපතාම කීයක්හරි මුදලක් එකතු කරනවා. හැම වෙළෙන්දෙක්ම තොරණ වෙනුවෙන් අඩුම ගානේ රුපියල් 10ක්වත් දෙනවා. මේ විදිහට රුපියල් 10-20 එකතු කරලා අවුරුද්දකට ලක්ෂ 25ක් 30ක් එකතුකර ගන්න පුළුවන්ද කියල ප‍්‍රශ්නයකුත් ඕනෑම කෙනෙකුට ඇතිවෙන්න පුළුවන්. ඒ ගැනත් මම නිලංග පීරිස්ගෙන් ඇහැව්වා.

මේ පොළේ වැඩිහරියක්ම ඉන්නේ සුළු පරිමාණ වෙළඳාම් කරන අයයි. ඒ අය අතරිනුත් ගොටුකොළ මිටියක් කණ්කුන් මිටියක් විකුණන අපේ අම්මලාත් හැමදාම ඒ අයට හැකි විදිහට කීයක් හරි මුදලක් දෙනවා. ඊටත් අමතරව අපිට මේ වැඬේට වාර්ෂිකව උදව් කරන අයත් ඉන්නවා. ඒ පුද්ගලයන් ජාති ආගම් බේද කිසිම කාරණයක් සැලකිල්ලට ගන්නේ නැතුව උදව් කරනවා. මේ අවුරුද්දේ මේ වෙනකොට චිත‍්‍ර ශිල්පියාට රුපියල් ලක්ෂ 6කුත් විදුලි ශිල්පියාට ලක්ෂ 8කුත් ලබාදීමට තියෙනවා.
තොරණ ප‍්‍රදර්ශනය කරලා සම්පූර්ණයෙන්ම අවසන් වුණාට පස්සේ එහි අයිතිය විදුලි ආලෝක ශිල්පියාට පැවරෙනවා. තොරණ අලෙවි කරන වගකීම දරන්නේ ඔහුයි. අලෙවි කරලා ලබන මුදලින් තොරණ සමිතියට සියයට දහයක් ලැබෙනවා.

තොරණ සංවිධායකයන් කියන විදිහට තොටලඟ තොරණට හොඳ ඉල්ලූමක් තියෙන බව පේනවා. පසුගිය අවුරුදු දෙකේදීම තොටලඟ තොරණ ප‍්‍රදර්ශනය කරලා තියෙන්නේ තංගල්ලේදී.

පාන්දර හය දක්වා

සවස 6.30 රාත‍්‍රි 7 වනවිට තොරණ විවෘත වෙනවා. පසු දා අලූයම 6 වෙනකම්ම සෙනග වැල නොකැඞී බලන්න එනවා. අනුරධපුරය පොළොන් නරුව වගේම යුද්දෙට පෙරත් යුද්දය අවසන් වුණාමත් උතුරු නැගෙනහිර ඉඳලාත් ජනතාව එනවා. දුර පළාත්වලින් එන අය තොටලඟ තොරණින් වෙසක් බැලීම පටන් ගන්නවා එහෙමත් නැත්නම් කොළඹ හැමතැනම වෙසක් බලලා එළිවෙන ජාමෙට තොටලඟට එනවා. ඒ නිසාම අලූයම 6 වනතුරුම තොරණ නිවාදමන්නෙ නැහැ.

වෙසක් කලාප

අවසන් වශයෙන් මම ඇහැව්වේ වර්තමානයේ තොරණ ඉදිකිරීමේදී තියෙන දුෂ්කරතා හා අභියෝග ගැනයි. ඒ සම්බන්ධව බොහොමත්ම කලකිරුණු ස්වභාවයෙන් ජනක හෙට්ටිආරච්චි උත්තර දුන්නේ මෙහෙමයි. බුදුන් වහන්සේගේ තෙමඟුල සමරණ උතුම් වෙසක් මංගල්‍ය අපේ රටේ මාධ්‍ය ආයතන සූදුවක් බවට පත් කරලා. වෙසක් මංගල්‍ය කියපු ගමන්ම කට අරින්නේ මේ රටේ ජනමාධ්‍යයි. කොළඹ ටවුමක් වටකරලා කොටු කරලා තහඩු ගහලා ‘වෙසක් කලාප’ නමින් මහා සුදු පිටියක් පටන් ගන්නවා.

වෙසක් උත්සවය ජාවාරමක් සූදුවක් බවට පත්කරලා තියෙන විදිහට මේ රටේ වෙන කිසිම ආගමික ජාතික උත්සවයක් සූදුවක් බවට පත්වෙලා නැහැ. මේ සූදුවට වැය කරන්නෙ අහිංසකයන්ගෙ සල්ලි නෙවෙයි. කුඩු, එතනෝල් ජාවාරම් කාරයන්ගේ සල්ලි.
වෙසක් කලාපයක් ඇතුලට යන මිනිස්සුන්ට වෙසක් උත්සවයේ තේරුම අර්ථය හෝ ආගමික මුහුණුවර දකින්න ලැබෙන්නේ නැහැ.

ඇගයීමක් නෑ

බෞද්ධ ශාසන අමාත්‍යංශයයි මේ රටේ අනිකුත් පළාත් පාලන ආයතනයි එකතුවෙලා වෙසක් පහන් කූඩු තරග පවත්වනවා. ලක්ෂ ගණනින් මිලියන ගණනින් ඒවාට තෑගි බෝග දෙනවා. අවුරුදු හැටක් හැත්තෑවක් තිස්සේ මේ රටේ තොරණ් හදන මිනිස්සුන්ට මේ බෞද්ධ ශාසන අමාත්‍යංශය මොනවාද කරලා තියෙන්නෙ කියලත් තොටළඟ තොරණ සමිතියේ සංවිධායකයො ප‍්‍රශ්න කරනවා.
ඒ කවුරු උදව් නොකළත් තොටළඟ තොරණේ සංවිධායක යන්ගේ ක‍්‍රියාවලිය භක්ත ්‍යාදරයෙන් පිරී තිබුණා. හැමෝම දාහයෙන් පිරි වතින් යුතුව අනලස්ව වැඩ. බුදුන් මනසින් දකින්න සහ අවබෝධ කරගන්න ඒ මහන්සිය ප‍්‍රමාණවත්.