නීල හොරු අල්ලන ශූර නීතිවේදියා මාටින් කෙනී

ප‍්‍රභාෂ්වර

ජැක් පෝවේ, ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි. මූල්‍ය උපදේශකයකු හා ශුභාරංචිය පතුරුවන පල්ලියේ දේශකයකු වන ආර්ට් ෆර්ඩින් නමැත්තා, ජැක්ට මුණගැසුණේ 2001 වසරේ ගිම්හාන ඍතුවේදීය. ඉතා වැදගත් පෙනුමකින් හෙබි ආර්ට් ෆර්ඩින්, ‘ට‍්‍රැඩෙක්ස්’ නම් වූ විදෙස් විනිමය හා අදාළ ගනුදෙනු මෙහෙයවන කීර්තිමත් ආයතනයේ හිමිකරු බව ජැක් දැනගත්තේ ඔහුගේ සමීප මිතුරකුගේ මාර්ගයෙනි. ‘ට‍්‍රැඩෙක්ස්’ ඉතා සාර්ථක මූල්‍ය ව්‍යාපාරයක් බව තවත් කිහිප දෙනකුගෙන් අසා තහවුරු කරගත් පසුව, ජැක් හෝවේ තම ඉතුරුම්වලින් ඩොලර් ලක්ෂ ගණනක් ට‍්‍රැඩෙක්ස්හි ආයෝජනය කළේ ඉහළ මාසික පොලියක් උපයාගැනීමේ අභිලාෂ යෙනි. වසර දෙකක් යනතුරු කිසිදු අවුලක් නොමැතිව ජැක් ෂෝවේට සිය පොලී ආදායම නොකඩවා ලැබුණු අතර ට‍්‍රැඩෙක්ස්හි ගිණුම් වාර්තා පිරික්සූ ඔහුට පෙනී ගියේ ආයතනය දිනෙන් දිනම දියුණු වන බවයි. එහෙත් වසර 2003දී ආර්ට් ෆර්ඩින් ට‍්‍රැඩෙක්ස් ආයෝජකයන් 327 දෙනාට පෞද්ගලිකවම ලිපි යවමින් ඔවුන් කම්පනයට පත් කරන අසුබ ආරංචියක් සන්නිවේදනය කළේය. එනම්, ට‍්‍රැඩෙක්ස් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය වන සුසාන් ලොක් ආයතනය සතුව තිබූ සියලූ ධනය සූක්ෂ්ම ලෙස පිල්ලි ගසා ඇති වගයි. ට‍්‍රැඩෙක්ස්හි සල්ලි ආයෝජනය කර තිබුණේ මහා ධන කුවේරයන් නොව සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්ය. මෙකී මූල්‍ය අක‍්‍රමිකතාව නිසා එහි ආයෝජකයන්ට අහිමිව ගිය මුළු මුදල් ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 21ක් පමණ විය. අසුබ පණිවුඩය ලද 2003 මාර්තු මාසය වනවිට ජැක් ෂෝවේ 59 වැනි වියේ පසුවූ අතර ඔහුට යළිත් යමක් හරි හම්බ කරගැනීම පිණිස කාලයක් ඉතිරිව තිබුණේය. එහෙත් සැන්ටා ක‍්‍රස්හි විසූ 84 හැවිරිදි ටෙඞ් හා ඩොලොස් ලෑන්ඞ්කැමර් යුවළ තම ජීවිත කාලය පුරාම ඉතිරි කළ මුදල වූ ඇමරිකන් ඩොලර් 150,000 ට‍්‍රැඩෙක්ස්හි ආයෝජනය කර තිබුණි. එහෙයින් මෙම මූල්‍ය වංචාව විශ‍්‍රාම ජීවිතයේ අපේක්ෂිත සුවය ඔවුන්ගෙන් සැහැසි ලෙස උදුරා ගනු ලැබීය.

නීතිඥ සහාය පැතීම

ආයෝජකයන් සතු සියලූ මුදල් ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය විසින් වංචා කළායැ’යි කියමින් ආර්ට් ෆර්ඩින් තම ඇඟ බේරාගැනීමට තැත් කළත්, එම වචනය විශ්වාස කිරීමට මැලිවූ ආයෝ ජකයන් කිහිපදෙනකු එකට එක්ව ජාත්‍යන්තර මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂඥයකු වන නීතිඥ මාටින් කෙනී මුණගැසීමට තීරණය කළහ. සිය කාර්යාලය බි‍්‍රතාන්‍ය වර්ජින් දූපත්වල පවත්වාගෙන යන මාටින් කෙනී, නෛතික බංකොළොත්භාවය ප‍්‍රකාශ කොට ලිස්සා යෑමට ඔන්න මෙන්න කියා තිබූ ට‍්‍රැඩෙක්ස් ආයතනයට එරෙහිව කැලිෆෝනියා වාණිජ අධිකරණයේ වහ වහා නඩුවක් ගොනු කළේ මහලූ හා විශ‍්‍රාමික ආයෝජකයන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරදීමේ අවංක අරමුණෙනි. ප‍්‍රථමයෙන්ම ට‍්‍රැඩෙක්ස් අධිපති ආර්ට් ෆර්ඩින් යන එන තැන් සොයා බැලීම සඳහා ඇමරිකානු රහස් ඔත්තු සේවයේ හිටපු දක්ෂ නිලධාරියකු යොදා ගැනීමට මාටින් කෙනී පියවර ගත්තේය. ෆර්ඩින්ගේ බැංකු ගිණුම් වාර්තා, දුරකතන සංවාද සහ ඔහු සතු වත්කම් පිළිබඳ තොරතුරු ඉතා සූක්ෂ්ම ලෙස සොයා ගැනීමට වසර 1 1/2ක පමණ කාලයක් වැය කිරීමට මාටින් කෙනීට සිදුවූ අතර එම කාලය අතරතුර ‘ට‍්‍රැඩෙක්ස්’ නඩුවද කැලිෆෝනියා වාණිජ උසාවියේ ඇසෙමින් පැවතුණි. ඉතා සංකීර්ණ සහ රබර් මෙන් ඇදෙන මෙවැනි නඩු නිමිති භාරගැනීමට බහුතරයක් නීතිවේදීන් මැලිකමක් දැක්වූවත්, මාටින් කෙනී ට‍්‍රැඩෙක්ස් ආයෝජකයන් වෙනුවෙන් වාණිජ උසාවියේ පෙනී සිටියේ ඉදිරි දැක්මක්, මනා සැලසුමක් සහ දැඩි ආත්ම විශ්වාසයක් ඇතිවය.

කෙනීගේ මෙහෙයුම

කැනඩාවේ සැස් කැෂ්වෙන් නගරයේ මධ්‍යම පාන්තික පවුලක හැදී වැඩුණු මාටින් කෙනී කර්කශ අත්දැකීම්වලින් තෙම්පරාදු වූ අයෙක් විය. විදුහල්පතිවරයකු වූ කෙනීගේ පියා නීති විද්‍යාල නිවාඩු කාලයේදී තෙල් ආකරයක කම්කරු රැුකියාවක නියැලීම සඳහා ඔහු පොළඹවන ලද්දේ රළු ජීවිතය යනු කුමක්දැ’යි ඒ හරහා තම පුත‍්‍රයාට වටහාදීම උදෙසාය. පැය 12 සිට 14 දක්වා දිවෙන අතිදුෂ්කර වැඩමුරවල දවස් 7ක් නොකඩවා යෙදීම සැබැවින්ම කටුක අත්දැකීමක් වුවත්, ඊටත් වඩා අමාරු කාර්යය වූයේ නාහෙට නාහන අතිදඩබ්බර ස්ථිර කම්කරුවන් සමග කරට කර වැඩ කිරීමයි. හොස්ස අගින් මැස්සා යන්නට බැරි අන්දමේ දරුණු පුද්ගලයන් වූ මොවුන්ගෙන් තාවකාලික කම්කරුවන් වූ කෙනී වැනි අයට හැමවිටම විවිධාකාරයේ තර්ජන ගර්ජන එල්ලවීම නොවැළැක්විය හැකිවිය. එහෙත් තෙල් ආකරයේ සේවා අත්දැකීම පසුකලෙක නීතිඥ වෘත්තියේ නියැලෙමින් හොරු ඇල්ලීම සඳහා මහත් පන්නරයක් සැපයූ වග මාටින් කෙනී අවධාරණය කරයි. ආර්ට් ෆර්ඩින් වෙත එලූ දැල වඩාත් ඉක්මනින් තද කළ යුතුයැ’යි කෙනීට වැටහුණේ ‘මෙයින්’ නගරයේ විසූ ට‍්‍රැඩෙක්ස් ආයෝජකයකු, සිය මුදල් ප‍්‍රශ්න තවදුරටත් දරාගත නොහැකිව සියදිවි නසා ගැනීමත් සමගය. අධිකරණ වෛද්‍ය විද්‍යාව ප‍්‍රගුණ කළ තොරතුරු තාක්ෂණවේදියකු යොදවා ට‍්‍රැඩෙක්ස් පරිගණක පද්ධතිය තුළට රහසිගතව රිංගීමට මාටින් කෙනී ක‍්‍රියා කළ අතර ආර්ට් ෆර්ඩින් විසින් මකා දැමූ ඉලෙක්ට්‍රොනික පණිවුඩ සියල්ලම යළි පාදා ගැනීමට මෙමගින් ඔහුට හැකියාව ලැබුණි. එම ඊමේල් හොඳින් පිරික්සීමේදී අනාවරණය වූයේ නමක් රහිත ක්‍රෙඩිට් කාඞ්පත් හරහා සුඛෝප භෝගී නිවාස, සැප බෝට්ටු හා කාන්තා ඇසුර මිලදී ගැනීමට ආර්ට් ෆර්ඩින් තම ආයෝජකයන් සතු මුදල් අතදිග හැර වියදම් කර ඇති බවයි.

නාස්තිය හා දූෂණය

ඩොමිනිකන් රාජ්‍යයේ වෙසෙන 18 හැවිරිදි තරුණියක 61 හැවිරිදි ආර්ට් ෆර්ඩින් විසින් විවාහ කරගෙන ඇති බවද ට‍්‍රැඩෙක්ස් අරමුදල්වලින් ඇයට සැප පහසු තට්ටු නිවාසයක් සින්නක්කරව තෑගි කොට ඇති බවද සොයා ගැනීමට මාටින් කෙනී සමත් විය. මේ ළාබාල යුවතිය බැලීම සඳහා ෆර්ඩින් ගමන් කර තිබුණේ පුද්ගලික ගුවන් යානයකිනි. ආයෝජකයන්ගේ මුදල් මිලියන ගණනින් කාබාසිනියා කළ ආර්ට් ෆර්ඩින් කෙතරම් අංකුට්ටෙකුද කිවහොත්, මේ සියලූ වංචාසහගත ගනුදෙනුවල වගකීම, තම ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය වූ සුසාන් ලොක් මත පටවා හෙතෙම අත සෝදා ගත්තේය. අවසානයේදී සියලූ ලියකියවිලිවලට අත්සන් තැබූ සුසාන් ලොක්ට කැලිෆෝනියා අධිකරණය විසින් 2006 වසරේදී වසර 10ක සිරදඬුවමක් නියම කරන ලදි. ට‍්‍රැඩෙක්ස් අරමුදල් යොදවා ෆර්ඩින් විසින් මිලදී ගත් සියලූ වත්කම්වල තොරතුරු 2007 වසර අවසානයට පෙර උසාවිය වෙත ලබාදීමට මාටින් කෙනීට හැකියාව ලැබුණි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ආර්ට් ෆර්ඩින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කැලිෆෝනියා පොලිසිය ක‍්‍රියා කළේය. ඔහුගේ සියලූ වත්කම්, මාටින් කෙනීගේ නීතිඥ සමාගමද ඇතුළත් භාරකාර මණ්ඩලයකට පැවරූ උසාවිය ආර්ට් ෆර්ඩිනන්ට මාස 18ක සිරදඬුවමක් නියම කළේය. ජැමෙයිකාවේ හා ඩොමිනිකන් රාජ්‍යයේ තිබූ දේපළ භාරකාර මණ්ඩලයේ මැදිහත්වීම හරහා විකුණා ඇමරිකන් ඩොලර් මිලියන 17ක් ආයෝජකයන් වෙත ආපසු ලබාදීමට මාටින් කෙනී සමත් විය. තමා ට‍්‍රැඩෙක්ස්හි ආයෝජනය කළ ඇමරිකන් ඩොලර් 150,000 අහිමිව පාරට වැටෙන්නට ආසන්නව සිටි ටෙඞ් ලෑන්ඞ්කැමර්ට අධිකරණ නියෝගය හරහා ඩොලර් ලක්ෂයක් පමණ නැවත හිමිවිය. ටෙඞ්, මාටින් කෙනීව හඳුන්වන්නේ මහලූ ආයෝජකයන්ව බං කොළොත්භාවයෙන් බේරාගත් අපේ කාලයේ රොබින්හුඞ් ලෙසය.

දූෂිතයන් හඹායෑම;

ලෝක හොරුන් ඉතා සූක්ෂ්ම ලෙස නීතියේ රැුහැනට හසුකර ගැනීම සඳහා මාටින් කෙනී නීතිඥ සමාගම විශිෂ්ට වෘත්තිකයන් 27 දෙනකු සිය ආයතනය තුළ සේවයේ යොදවා තිබේ. ඇඟිලි සලකුණු හා අත්අකුරු විමර්ශන විශේෂඥයන්, අධිකරණ වෛද්‍යවරුන්, ගෝලීය අධිකරණ සීමා අතික‍්‍රමණය කළ හැකි සුපිරි නීතිවේදීන්, හිටපු සී.අයි.ඒ. නියෝජිතවරුන් හා මනෝ වෛද්‍ය විශේෂඥයන්ද මෙකී 27 දෙනා අතරට ඇතුළත්ව සිටීමෙන් පෙනී යන්නේ දූෂිතයන් හඹායෑම නම් විෂයේදී මාටින් කෙනී කෙතරම් ඉදිරියෙන් සිටිනවාද යන්නයි. පෙර දැනුම්දීමකින් තොරව මූල්‍ය වංචාකරුවකුගේ දේපළ හා ලියකියවිලි පිරික්සීමේ අයිතිය නීතිඥ සමාගමකට හිමිවන ඇන්ටන් පිලර් සහ නෝවිච් පාමකල් නම් ආඥා අධිකරණවලින් ලබාගැනීම සම්බන්ධයෙන් මාටින් කෙනී පෙන්වා ඇති දක්ෂතාව අසමසමය. ප‍්‍රථමයෙන් මූල්‍ය හොරදෙටුවන් සතු ජාත්‍යන්තර වත්කම් හෙළිදරව් කරගැනීම, දෙවනුව ඒවා පාවිච්චියට ගැනීමේ ඉඩකඩ අහුරාලීම, තෙවනුව අදාළ වස්තුව ඈවර කිරීමේ අයිතිය අධිකරණ තීන්දුවක් හරහා තමන් වෙත ලබාගැනීම මාටින් කෙනී සහ නීතිඥ සමාගමේ පරිචයයි. කැනේඩියානු පල්හොරකු වූ ජේම්ස් බ්ලෙයාර් විසින්, ඇමරිකානු විශ‍්‍රාමිකයන් වෙතින් ටෙලි වෙළෙඳාම් ලොතරැුයියක් හරහා පිල්ලි ගසා ගත් ඇමරිකන් ඩොලර් මිලියන 240න් 200ක් ඔවුන් වෙත ආපසු ලබාදීමට මාටින් කෙනී සමත් වූයේ වසර 5ක් පුරා ඇදී ගිය දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය. පැපුවා නිව්ගිනියාවෙන් සහ කැරිබියන් දූපත්වලින් බ්ලෙයාර් මිලදී ගෙන තිබූ ඉඩකඩම් හා නිවාස වෙන්දේසි කොට මෙම මුදල ආපසු ලබාගැනීමට කෙනී සමත් විය. කෙනී තම සියලූ ගාස්තු සේවා ලබන්නන්ගෙන් අය කරන්නේ තක්කඩියන් වෙතින් සෑහෙන මුදල් කන්දරාවක් ආයෝජකයන්ට ලැබෙන්නට සැලැස්වූ පසුවය. බියක් සැකක් නැතිව මාටින් කෙනී සමග එක්ව හොරුන්ට එරෙහිව නඩු පැවරීමට ලොව බොහෝ පිරිස් එක්වන්නේ මෙකී පහසුව සැලකිල්ලට ගනිමිනි.

ක්‍රෙසී සම්මානය හිමිවීම

ස්ටැන්ෆෝඞ් මූල්‍ය සමාගම් සමූහයේ අධිපති, රොබට් ඇලන් ස්ටැන්ෆෝඞ් ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ පදිංචිව සිටි ධන කුවේරයෙකි. රොබට් සතු විවිධ සමාගම්වල මුදල් ආයෝජනය කළ ඇමරිකානු මධ්‍යම පාන්තිකයන්ගේ සංඛ්‍යාව 22,000කි. මොහු ආයෝජකයන්ගෙන් පිල්ලි ගැසූ ඇමරිකන් ඩොලර් බිලියන 08න් 07ක්ම ස්ටැන්ෆෝඞ් සතු විවිධ වත්කම් ඈවර කොට ආපසු ලබාගැනීමෙන් නොනැ වතුණු කෙනී 2012 මාර්තු 06 වැනිදා ෆෙඩරල් අධිකරණය හරහා රොබට්ට වසර 110ක සිරදඬුවමක්ද පැනවූයේය. බ‍්‍රසීලයේ හිටපු මැති ඇමතිවරුන් විසින් වංචා කරනු ලැබ, ඉනික්බිති ලොව විවිධ ස්ථානවල රහසිගතව සඟවා තැබූ ඇමරිකන් ඩොලර් බිලියන 12ක්, කෙටි කලක් ඇතුළත ජාත්‍යන්තර අධිකරණ මෙහෙයුමක් ඔස්සේ ආපසු බ‍්‍රසීල රජය වෙත ලබා දුන්නේද මාටින් කෙනීය. එපමණක් නොව, ඊජිප්තුවේ හිටපු ඒකාධිපති හොස්නි මුබාරක් විසින් හොරකම් කළ ධනස්කන්ධය නැවත සොයා ගැනීම හා අදාළ නීතිමය කොන්ත‍්‍රාත්තුව ලෝක බැංකුව මගින් භාර දුන්නේද ඔහුටය. එදා මෙදා තුර ඔහු අත ගැසූ ජාත්‍යන්තර මූල්‍ය වංචා නඩු හා සම්බන්ධ (පිල්ලි ගැසූ* වත්කම්වලින් 2/3ක්ම ආපසු ලබාගැනීමට මාටින් කෙනී සමත්ව තිබේ. වරලත් වංචා විමර්ශකයන්ගේ ජාත්‍යන් තරය විසින් පිරිනමනු ලබන ‘මූල්‍ය හොරු ඇල්ලීමේ විශිෂ්ටයාට හිමිවන ක්‍රෙසී සම්මානය’ 2014දී දිනාගත්තේ මාටින් කෙනී විසිනි. රාජපක්ෂ රෙජීමය පැවති සමයේදී ශ‍්‍රී ලංකාව උලා කෑ පල් හොරු රැුළ යළිත් එතුමා බලයට ගෙන ඒමට තැත් කරන මේ වකවානුවේදී ඔවුන් නොපමාව අල්ලා සිපිරිගෙට යැවීම සඳහා මාටින් කෙනීගේ විශේෂඥ සහයා ලබාගැනීමට නව මෛත‍්‍රී ආණ්ඩුව කටයුතු යොදන්නේ නම් එය ඉතා කාලෝචිතයැ’යි මෙහි සඳහන් කරනු වටී.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;