දේශපාලකයන්ට බන්ධනාගාරය අකැපද?

 

හිටපු අමාත්‍යවරයකු වූ බැසිල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලට පිටත්කර හැරීමත්, ඉන්පසු ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුලූ කිරීමත් සාමාන්‍ය අයුරින් සිදුවිය. මෙරට දේශපාලකයකු, දේශපාලකයකුගේ බිරිඳක්, ඉහළ නිලයක් දරණ පුද්ගලයකු බන්ධනාගාරයට නියම වුණොත් ඔහු හෝ ඇය කෙළින්ම යන්නේ රෝහල වෙත බව අද වනවිට සමාජයටම නොරහසක් වී ඇත. ඒ තරමට මේ තත්ත්වය සැහැල්ලූ වූයේ ඇයි? මේ තරම් සැහැල්ලූ වන්නේ ද අවසානයේ නීතියම නොවේද?
අත්අඩංගුවට ගන්නා මුල් අවස්ථාවේදී මොවුන් සෑම අධිකරණයට එන්නේ යන්නේ ජාතික විරුවන් මෙන් අත ඔසවමින් ආචාර සමාචාර කරමිනි. විද්‍යුත් මාධ්‍ය සහ සෙසු මාධ්‍ය ඉදිරියේ නළුවන් වන මොවුන් මාංචු පවා ප‍්‍රදර්ශනය කරනුයේ ඔටුනු ලෙසිනි. එහෙත් බන්ධනාගාරයට නියම වූූ සැණින් අඩපන වන මොවුන් ඉන්පසු යන්නේ රෝද පුටුවලිනි. ඒ රෝහල වෙතය.

රෝහල් ගතවන සිරකරුවන් පොලිස් ආරක්ෂාව ඇතුව මංචු රහිතව සිටීම සාමාන්‍ය ක‍්‍රමවේදය වේ. දරුණුම ගණයේ අපරාධකරුවකු නම් ඔහුව ඇඳට තබා මාංචු දැමීම සිදුකරන බව බන්ධනාගාර ආරංචිය. ඒ අනුව රොහල් ගතවන්නට වුව නීතිය ඒකාකාර විය යුතුය. ඒ අපරාධකරුවාගේ තත්ත්වය අනුවය. කොළඹ ජාතික රෝහලේ 22 වාට්ටුවේ ප‍්‍රතිකාර ලබන හැට එක් (61) වයසැති 0.97330 අන්දිරිස් නම් සිරකරුවා බරපතළ පිළිකා තත්ත්වයෙන් පෙළෙන්නෙකි. මොහු දොස්තවරයා පරීක්ෂා කරන අවස්ථාවේදීත් යකඩ විලංගු සහිතව තබන බව පැවසේ. ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රඥාප්තිය හා අප රටේ පිළිගත් කරුණු මත රෝගියා පරීක්ෂා කිරීමේදී සහ ප‍්‍රතිකාර කිරීමේදී විලංගු ඉවත්කළ යුතු වුවත් ඒ අයිතිය මේ සිරකරුට නොමැති බව පැවසේ. ඒ බන්ධනාගාර කොමසාරිස්ගේ ලිඛිත අවසර නැති නිසාය. ඒ සම්බන්ධයෙන් චක‍්‍ර ලේඛයක් ඇති බවද පැවසේ. (අංකDGHS/Prisan$2013-19/2013-19 හා 2014/28)

මෙම උදාහරණය බන්ධනාගාරයේ නීතිය අකුරට ක‍්‍රියාත්මක වීම පෙන්වීමට නොව එක් එක් අයට ෙෙ ෙෙ ප‍්‍රමාණය කිරීම සඳහාය. බන්ධනාගාරයට එන සිරකරුවාගේ වත් පොහොසත්කම් මත, බල පුළුවන්කාරකම් මත අපරාධයේ ස්වභාවය වෙනස් වේ. දරුණුම ගණයේ අපරාධකාරයකු නම් සිරකරුවා බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ සහාය මත රෝහලේ 3 වාට්ටුවේ දිගු කලක් රැුඳෙන බව පැවසේ. බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ ඇතැම් පිරිස් වරදාන වරප‍්‍රසාද මත ඕනෑම අපරාධකාරයකු ලෙඩකු කර රෝහලේ තබාගැනීමේ ප‍්‍රතිපත්තියක්ද මෙහි ඇති බව ප‍්‍රසිද්ධ රහසකි. මෑතකදී බන්ධනාගාර ගතවන රවී වෙත්තසිංහ රෝහලේ සිටිනුයේද ලෙඩෙක් ලෙස නොව රජෙක් ලෙස බව බන්ධනාගාර ආරංචි පවසයි. ඒ මුදල් බලයෙනි.

මේ අමුතු නීති එකවර නිර්මාණය වන්නේ කෙසේද? විමල් වීරවංශගේ බිරිඳ ඇවිදගෙන විත් ට්‍රොලියක ගියේ් අසාධ්‍ය තත්ත්වයේය. ඇයට ඇප ලැබෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වන බවට මතුවන මානුෂික පැත්ත සලකාය. සිරගෙදර සිටින අය නිසා ඒ හැම පවුලකම දරුවන්් අනාථ වන්නේය. එය අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ශෂී වීරවංශට පමණක් අමුතු මානුෂික බැල්මක් ඇයි? මේ සියල්ල හරහා නීතිය කෙරෙහි ඇති විශ්වාසයෙන් සාමාන්‍ය මිනිසුන් දුරස් නොවන්නේද?
මේ අතර අලූත්ම රංඟනය බැසිල් රාජපක්ෂය. ඔහු බන්ධනාගාරගත වන්නේ සිනහා වෙවී වීරයකු මෙන්ය. ඉන්පසු දින බන්ධනාගාර රථයෙන්ද කඩිමුඩියේ බසින ඔහු එකවරම රෝද පුටුවට වැටේ. අවසානයේ බන්ධනාගාරයේ රෝහලේ නොව කොළඹ ගෙවන වාට්ටුවෙහි නතර වේ. දිනක් සිරගෙදර රෝහලේ සිටින බැසිල් රාජපක්ෂ වෙනුවෙන් එක් වාට්ටුවක සෙසු රෝගී සිරකරුවන් ඉවත් කළ බවක් එම වාට්ටුවට නව විදුලි පංකා ඇතුලූ පහසුකම් ලබාදෙමින් සුවිශේෂී වරප‍්‍රසාද ලබා දුන් බව පැවසේ. ඒ එක් දින සැපසේ ගත කළ බැසිල් රාජපක්ෂ පහුවදා රෝද පුටුවේ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවට යන්නේ අසාධ්‍ය ලෙඩකු පරිද්දෙනි. බැසිල් සමග අත්අඩංගුවට ගන්නා සෙසු නිලධාරීන් දෙපළ බැසිල් රාජපක්ෂ සමග කොතරම් යාවජීවව රාජකාරී කර ඇත්දැයි වැටහෙන්නේ බැසිල් රාජපක්ෂට හෘදයාබාධයක් හටගන්නා විට මොවුන් දෙපළටද හෘදයාබාධ ඇති වීම නිසාය. මේ තිදෙනාම ජාතික මහා රෝහලේ ගෙවන වාට්ටුවලට ඇතුලූ වන්නේ හදවත් රෝගීන් ලෙසය. මිනිහෙක් ලෙඩ වන්නට ගතවෙන්නේ කොතරම් පුංචි කාලයක්ද යන්න ඉන්ම ගම්‍ය වේ.

ජාතික රෝහලේ ගෙවන වාට්ටුවල ගෙවන ජීවිත සිරගත ජීවිත නොවන බව එස්.බී. දිසානායක මහතාගෙන් ටක්කෙටම දැනගත හැකිය. එකල ඔහු බලන්නට යන අවස්ථාවල ඔහු සිටි කුමාර ලීලාව මාධ්‍යවල පළ විය. ඔහු සමග රෝහලේ විස්කි බී විනෝද වූ අයත් වූහ. ජාතික රෝහලේ ගෙවන වාට්ටුව විවේක ගැනීමේ විනෝද වීමේ තැනකි. එස්.බී. එහි ගත් විනෝදය අද ඊට එහා යමින් බැසිල් ගනිමින් සිටී. මේ නීතියේ අඩුපාඩු නොවේ නම් වෙන කුමක්ද?

මේ ආණ්ඩුවේ කම්බහොරු බුරුතු පිටින් හෙට දවසේ හසුවුවද ඔවුන්ව බන්ධනාගාර ගත කළද අවසානයේ තත්ත්වය මෙබඳුය. එසේ නම් නීතියෙන් සාධාරණයක් ඉටුවන්නේද? බන්ධනාගාර ගත වන්නකුුට හටගන්නා රෝගී තත්ත්වයන් මත රෝහල්ගත කළ හැකිය. බන්ධනාගාර රෝහලෙහි බැරි විට ජාතික රෝහලටත් ඇතුළත් කළ හැකිය. ඒ සියල්ල සිදුවන නීත්‍යානුකූල ස්වරූපයක් පවතී. මේ හොර ලෙඞ්ඩු ද එනුයේ ඒ ක‍්‍රමවේදයටමය. එවිට අධිකරණයට දියහැකි පිළිතුරක්ද රෝහල් ගත කිරීමේ නියෝගයයි. එහෙත් ඉන්පසු ලෙඩාගේ තත්ත්වය සලකා ඔහු රෝහලේ සිටිය යුතු ද නැතිද යන්න කඩිනමින් සලකා නොබැලේ. ඒ යාන්ත‍්‍රණය දුර්වලය. ඒ අනුව බන්ධනාගාර ගත කළ කාලය අහවර වනතෙක් මොවුන් රෝහලේය.

බැසිල් රාජපක්ෂගේ සිරගත වීම ගැන ආඩම්බර වන මහින්ද රාජපක්ෂ කියනුයේ මාත් හිරේ හිටියා. බැසිලූත් ගිහින් ආපුදෙන්. එතකොට තමයි අත්දැකීම් ලැබෙන්නේ යන්නය. හෙට දිනයේ බැසිල් රාජපක්ෂ එළියට ආ සැණින් ලෙඩ පහව ගොස් වීරයකු ලෙස හැසිරෙනවා නියතය. ජනතාව වෙනුවෙන් සිරගෙයි ලැග්ග අයකු ලෙස හංවඩු ගැසෙනවා සහතිකය. එහෙත් එවිට කිසිවකු බැසිල් බන්දනාගාරයේ මිස රෝහලේ සිටියා යැයි නොකියනු ඇත. අද සැවොම කියනුනයේ එස්.බී.හිරේ ගිය බවය. එස්.බී. හිරේ නොව රෝහල් ගත වූවා පමණි. මේ විකෘති කම සමාජයට විගඩමක් වී ඇතිමුත් ඒවාට පිළියම් නොපවතී. එය ආශ්චර්යයෙද යහපාලනයේද එසේමය. එය එසේම වන්නට ඉඩ හරිනුයේ හෙට දවසේ මොන පාලනයක් යටතේ වූව එය එසේම විය යුතු නිසාය. බන්ධනගාරගත වන්නට සිටින බොහෝ අයට රෝහල්වලට යාටම අවැසි නිසාය. මේ ක‍්‍රමවේදය අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් පොදු විය හැකිය. එය මොන පක්ෂයටත් අදාළ ය. ප‍්‍රභූුන්ට ඇති අයිතියකි.

මේක ලෙඩක් – එස්.ජී. පුංචිහේවා

මේක ලෙඩක්. මෑත කාලයේදී බෝවෙච්ච ලෙඩක්. දූෂිත ආන්ඩුවලින් බෝවුණ ලෙඩක්. දැන් නම් සුව කරන්න බැරි මට්ටමේ ලෙඩක්. මේක මනජනයාට දාන ලෙඩක්. කාටහරි බන්ධනාගාරගත වුණහම ලෙඩක් තියෙනවා නම් නීතීඥයන් මාර්ගයෙන් ඒ පිළිබඳ අධිකරණයට දැනුම්දෙන්න පුළුවන්. ඒ සඳහා වෛද්‍ය වාර්තාත් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳ සලකා බලා මහේස්ත‍්‍රාත්ට පුළුවන් ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුලූ කරන්න. සාමාන්‍ය පිළිවෙල එම රෝහලේ වෛද්‍යවරු මදිනම් ලෙඬේ ස්වභාවයත් සැලකිල්ලට ගෙන මහ රෝහලට යවන්න පුළුවන්. මේක තමයි සාමාන්‍ය පිළිවෙල. හැබැයි අද දේශපාලකයන් ඒ අයගේ නෝනලා, හිතවත්තු මේ හැමෝම බන්ධනාගාර ගත වෙච්ච ගමන් රෝහල් ගතවෙනවා. මේක වංචාවක් බව මේ රටේ පොඩි ළමයටත් වැටහෙනවා. මේ අය ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇවිල්ලා සැපසේ ඉන්නවා. මේ වෙලාවේ මේ ආණ්ඩුවත් දන්නවා මේ වෙන්නේ වංචාවක්, බොරුවක් කියලා. ඒත් ඔවුන් ඒ පස්සේ නොයා ඉන්නවා. ඒක හොඳ දෙයක් විදිහටයි මම දකින්නේ. ඒ මොකද ඒකත් මේ අය හිතන්න පුළුවන් ආණ්ඩුව පන්න පන්නා පළිගන්නවා කියලා. ලෙඩ වෙලාවත් ඉන්න දෙන්නේ නැහැ කියලා.

නීතිමය ක‍්‍රමවේදයට රෝහල්ගත වෙන්න පුළුවන් වගේම ඒ පිිළිබඳ නිතර පරීක්ෂා කරලා ලෙඬේ තත්ත්වය අනුව නැවත බන්ධනාගාරගත කරන්නත් පුළුවන්. ඒත් මේ වෙලාවේ දෙවැනි එක වෙන්නේ නැහැ.

හැබැයි මේකේ නිතර නරක තත්ත්වයක් තමයි මේ හරහා ජනතාවට ඒත්තු ගැන්වෙනවා. මෙරට නීතිය ක‍්‍රියාකරන්නේ දෙවිදිහකට කියලයි. පොඞ්ඩන්ට එක විදිහකුත්, ලොක්කන්ට තව විදිහකුත් කියලා ඒත්තු ගැන්වෙනවා. ඒක තමයි මේ සිද්ධි හරහා එළියට එන්නේ.

රෝහලේ ගෙවන වාට්ටුවකට දාලා වියදම් කරන්න පුළුවන් නම් හෙට වෙලේ සුදාටත් ඒ අවස්ථාව දෙන්න ඕන. ඔහුටත් වියදම් කරන්න පුළුවන්නේ. මේ නීතිය වැරදි විදිහට භාවිතා කිරීමේ ප‍්‍රතිඵල. මේක අද ඊයේ ඇතිවෙච්ච දෙයක් නෙවෙයි. හිටපු පාලකයන් කරපු වැරදි. මේ අය නීතිය හෑල්ලූ කළා. අදත් ඒ නිසා මේ තත්ත්වය පවතිනවා. අද වෙන්නේ අපි අයාලේ ගිය පුරුදු ක‍්‍රියාත්මක වෙනවා. අර කතාවක් තියෙනවනේ ජම්මෙට වඩා වැඩිය පුරුද්ද ලොකුයි කියලා. ඒ වගේ මේ වෙලාවේ නීතියට වැඩිය පුරුදු ලොකු වෙලා තියෙනවා. ඒවා ඉදිරියේදී හරියයි.