19 යථාර්ථය

 

ජාතික යහපත, ජාතික සමගිය, පොදුජන නිදහස යන අර්ථයෙන් ගත් විට නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිට වඩා හොඳය. පාර්ලිමේන්තු බහුතරයක් නැති රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවද තිබුණු ආණ්ඩුවට වඩා හොඳය. 19 දර්ශනයද තිබුණු ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයේ දර්ශනයට වඩා හොඳය. රටක් වශයෙන් අප මීට පෙර ජීවත් වූයේ දේශපේ‍්‍රමී සැරසිලිවලින් ආවරණය කරන ලද අශීලාචාර ගල්ගුහාවකය. පසුගිය ජනාධිපතිවරණයේදී මහජනතාව ඒ අශීලාචාර ගල්ගුහාවෙන් එළියට ආවේය. පූර්ණ ශීලාචාරාත්වයකට ළඟාවීමට තව ලොකු දුරක් ගමන් කළ යුතුව ඇතත්, මොන හේතුවක් නිසාවත් පරණ අශීලාචාර ගල්ගුහාවට ආපසු ගමන් නොකළ යුතුය. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදීද පරණ අශීලාචාර බලවේග මොන වේශයකින් ආවද ඒවා පරාජය කිරීමේ යුතුකමක් හා වගකීමක් මහජනතාවට ඇත්තේය.

ගල්ගුහාවෙන් එළියට

ශීලාචාරාත්වය කරා යන ඉදිරි මග ඉතා පැහැදිලි ව්‍යාකූලභාවයෙන් තොර නිරවුල් තත්ත්වයක තිබෙන්නේයැ’යි කිව නොහැකිය. අශීලාචාර ගල්ගුහාවෙන් එළියට ඒම සඳහා කෙරුණු නිදහස් අරගලයට නායකත්වය දුන් නායකයන්ට පූර්ණ ශීලාචාරත්වයක් කරා සමාජය රැුගෙන යෑමට අවශ්‍ය කරන පැහැදිලි ඉදිරි දැක්මක් හා ඒ සඳහා වන දැඩි අධිෂ්ඨානයක් ඇති බව පෙනෙන්නේ නැත. ඒ නිසා සමාජය තමන් ජීවත් වූ පැරණි ලෝකය ගැන තිබෙන පිළිකුල අත්නොහරින අතර අප එම අශීලාචාර අඳුරු ලෝකයෙන් එළියට ගැනීමට නායකත්වය දුන් නායකයන් හා ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් ගැනද පරීක්ෂාවෙන් හා සෝදිසියෙන් සිටීම වැදගත්ය. සමාජය නායකයන් පසුපස අවිවේචනාත්මකව ගමන් කරන කීකරු බැටලූ රැුලකගේ තත්ත්වයට පත් නොවිය යුතුය.

අශීලාචාර ගල්ගුහාවෙන් එළියට ඒමට හැකිවීම, ඒ සඳහා දැරුණු සමාජ උත්සාහයක ආස්වාදනජනක ඵලයක් වේයැ’යි කිව හැකිය. ඒ උත්සාහය තුළ පොදුවේ එකා වන්ව සිතන ගතියක් සේ ම ඒ සඳහා වන පොදු අධිෂ්ඨානයක්ද තිබුණේය. එහෙත් ඒ සියල්ල සිදුවූයේ ඉවෙන් මෙන් මිස සමාජයට හෝ දේශපාලන නායකයන්ට ගැඹුරු විශ්ලේෂණාත්මක දැනුමක් තිබුණු නිසා නොවේ. සමාජයට දැනුම හා න්‍යාය දෙන ආයතන තිබුණේද දැනුම අහිමි කරගත් බංකොළොත් තත්ත්වයකය. සමාජයට හෝ සමාජ ව්‍යාපාරවලට නායකත්වය දෙන දියුණු ක‍්‍රියාකාරීන් අතර පවා ඒ සියලූදෙනාට පොදු දෘෂ්ටියක් නොතිබුණු අතර මහින්ද රාජපක්ෂ පාලනයට තිබුණු විරෝධය හා විධායක ජනාධිපති ක‍්‍රමයට තිබුණු විරෝධය ඒ සියලූදෙනා එකට බැඳ තබන එකම දෘෂ්ටිමය හුය වීයැ’යි කිව හැකිය. දශක තුනක් අශීලාචාර ගල්ගුහාවක කොටුවී සිටි දීර්ඝ කාලය තුළ සමාජයට දැනුම හා චින්තනය ලබාදෙන පාසල්, උසස් අධ්‍යාපන ආයතන, ජනමාධ්‍ය හා දේශපාලන පක්ෂ සිටියේද සමාජයට දැනුම හා ආලෝකය ලබාදෙන තැනක නොව සමාජ දැක්ම මොට කරන හා අඳුරු කරන තත්ත්වයකය. එම වටාපිටාව තුළ අශීලාචාර ගල්ගුහාවෙන් එළියට ඒමේ සමාජ-දේශපාලන ක‍්‍රියාවලිය සිදුවූයේද දියුණු චින්තනයක ප‍්‍රතිඵලයක් වශයෙන් නොව වෙනත් විවිධ හේතු නිසාය. ඒ නිසා ගල්ගුහාවෙන් එළියට එන අවස්ථාව වන විට ඊළඟට කළයුත්තේ කුමක්ද යන්න පිළිබඳව හරි අවබෝධයක් ඊට නායකත්වය දුන් ව්‍යාපාරවලටද නොතිබුණේයැ’යි කිව හැකිය.

මහජනයාගේ පරමාධිපත්‍යය බලයට ගරු නොකිරීම

ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාදාමය ජයග‍්‍රාහී බලවේගයන්ගේ චින්තනමය දුප්පත්කම පෙන්නුම් කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. නූතන මිනිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ලෙස සලකන්නේ තමන් පාලනය විය යුතු ආකාරය පිළිබඳව ඒ සඳහා තිබිය යුතු ප‍්‍රතිපත්ති හා ආයතන ක‍්‍රම පිළිබඳව ඇතිකර ගන්නා සමාජ ගිවිසුමක් වශයෙනි. මහජනයාට තිබෙන පරමාධිපත්‍ය බලය ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක තිබිය යුතු මූලික අත්තිවාරම ලෙස සැලකිය හැකිය. රාජ්‍ය නායකයා හෝ මැති ඇමතිවරුන්, නියම කරන ලද කාල රාමුවකට මහජනයාගේ එම පරමාධිපත්‍ය බලය නියෝජනය කරන හා ක‍්‍රියාත්මක කරන පුද්ගලයන් පමණය. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් අලූතෙන් හැදීම හෝ ප‍්‍රතිසංස්කරණය කිරීමේදී මහජනයාගේ පරමාධිපත්‍ය බලයට ලැබෙන වැදගත්කම සලකා එම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට මහජනයා ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගැනීම අත්‍යවශ්‍යය. එය නූතන අර්ථයෙන් ඕනෑම ව්‍යවස්ථා සම්පාදනයක තිබිය යුතු අත්‍යවශ්‍ය ලක්ෂණයකි. එය වර්තමානයේ ජාත්‍යන්තර නීතිය විසින්ද පිළිගෙන තිබෙන කාරණයකි. මීට වසර 226කට පෙර සම්පාදනය කෙරුණු ඇමරිකන් ව්‍යවස්ථාව ව්‍යවස්ථා සම්පාදන ඉතිහාසයේ එන ඉතා වැදගත් අවස්ථාවක් ලෙස සැලකෙතත් එහිදී ව්‍යවස්ථාව සම්පාදනය කෙරුණු ආකාරය වර්තමානයේ හොඳ ආදර්ශ මාදිලියක් ලෙස සැලකෙන්නේ නැත. එය ජනපද 12ක නියෝජිතයන් සුළු පිරිසක් එකට එකතු වී සකස් කරගන්නා ලද ව්‍යවස්ථාවකි. එයට මහජනයාගේ ක‍්‍රියාකාරී දායකත්වයක් හෝ සහභාගිත්වයක් තිබුණේ නැත. වර්තමානයේදී ව්‍යවස්ථා සම්පාදනයේදී තෝරා ගත හැකි හොඳම ආදර්ශ මාදිලිය ලෙස සැලකෙන්නේ දකුණු අප‍්‍රිකාවය.

අපේ ඉතිහාසය

ව්‍යවස්ථා සම්පාදන විෂයේදී අප රටට තිබෙන්නේද යහපත් ඉතිහාසයක් නොව අයහපත් ඉතිහාසයකි. සෝල්බරි ව්‍යවස්ථාවේ මුල් කෙටුම්පත ලෙස සැලකිය හැකි අයිවර් ජෙනින්ස්ගේ කෙටුම්පත ඔහු සකස් කරන ලද්දේ ඞී.ඇස්. සේනානායකගේ අභිලාෂයන්ට ගැළපෙන ලෙස නුවරඑළියේ හෝටල් කාමරයක් තුළදීය. එය තමන්ගේ අදහස් ලබාගැනීමෙන් තොරව සකස් කරන ලද කෙටුම්පතක් බව සුළු ජාතීන්ගේ නායකයන් යටත්විජිත ලේකම් කාර්යාලයට පැමිණිලි කිරීම නිසා බි‍්‍රතාන්‍ය ආණ්ඩුවට සෝල්බරි සාමිගේ නායකත්වයෙන් යුත් ත‍්‍රිපුද්ගල කොමිසමක් ලංකාවට එවන්නට සිදුවිය. අයිවර් ජෙනිංග්ස් තමන් වෙනුවෙන් සකස් කර දුන් එම ව්‍යවස්ථා කෙටුම්පත බරපතළ වෙනස් කිරීම්වලට ලක් කිරීමෙන් තොරව තබාගැනීමට ඞී.එස්. සේනානායකට අවශ්‍ය වූ අතර සර් ඔලිවර් ගුණතිලක හා සර් ජෝන් කොතලාවල අතරමැදියන් ලෙස යොදා ගනිමින් සෝල්බරි සාමි සිය ග‍්‍රහණයට ගනිමින් ඒ අරමුණ සපුරා ගැනීමට ඞී.එස්. සේනානායක සමත් විය. ඒ ගැන ඔලිවර් ගුණතිලක කියා තිබෙන දේවලිනුත් සර් ජෝන් කොතලාවල නෙවිල් ජයවීරට කියා තිබෙන දේවලිනුත් අවබෝධයක් ගත හැකිය. අවසානයේ අපට සෝල්බරි කොමිසමෙන් ආණ්්ඩු ක‍්‍රමයක් ලැබුණේ එම ආණ්ඩු ක‍්‍රමයට ඇතුළත් මානව හිමිකම් පිළිබඳ ප‍්‍රඥප්තියක් පවා නැතිවය. ඉතා පුදුමසහගත දේ ඉන්දියාව දේශීය වශයෙන් තනාගත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට ඒ කාලයේ හැටියට ඉතා දියුණු මානව හිමිකම් ප‍්‍රඥප්තියක් ඇතුළත්ව තිබීමය. මා පෙර ලිපියක සඳහන් කර තිබෙන ආකාරයට ඉන්දියානු කොංග‍්‍රසයට 1936 වන විටත් තමන්ගේම වන මානව හිමිකම් ප‍්‍රඥප්තියක් තිබුණු අතර ඊට වෙනස්ව අපේ රටේ මානව හිමිකම් කතිකාව ආරම්භ වන්නේම 1970න් පසුවය.
1972 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව විශේෂයෙන්ම සුළු ජාතීන් මුළුමනින් නොසලකා සමගි පෙරමුණු ආණ්ඩුවට තිබුණු තුනෙන් දෙකේ බලය මත පිහිටා සම්මත කරගන්නා ලද ඒකපාර්ශ්වික ව්‍යවස්ථාවක් වන විට ඉන්පසු 1978 සම්මත කරගන්නා ලද ව්‍යවස්ථාවද එක්සත් ජාතික පක්ෂයට තිබුණු හයෙන් පහේ බලය මත සම්මත කරගන්නා ලද ව්‍යවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මෙම ව්‍යවස්ථා සම්පාදන තුනේදීම මහජනයාට වැදගත්කමක් ලබා නොදෙන ලද අතර ඒ අර්ථයෙන් එම ව්‍යවස්ථා සම්පාදනයන් අඩු ශීලාචාර මට්ටමක් පෙන්නුම් කළ අවස්ථා ලෙස සැලකිය හැකිය. එහෙත් පුදුමයකට මෙන් අශීලාචාර ගල්ගුහාවෙන් එළියට පැමිණීමෙන් පසුව කරන ලද සීමිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වැඩසටහනින්ද ප‍්‍රමාණවත් තරමේ ශීලාචාර තත්ත්වයක් පෙන්නුම් කිරීමට සමත් වූයේ නැති බව කිව යුතුය.

මහජනයාට පොරොන්දු වූයේ ජනාධිපති ආණ්ඩුක‍්‍රම වෙනස් කොට නැවත වෙස්ට්මිනිස්ටර් පන්නයේ පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් ඇතිකරන බවය. එහෙත් ජයග‍්‍රහණයෙන් පසු ඒ වෙනුවට සැලකිල්ලට ගත්තේ විධායක ජනාධිපතිගේ බලතල අඩු කරන ආණ්ඩු ක‍්‍රමයකි. ඊට අදාළ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය සිදුවූයේද මහජනයා ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගැනීමකින් තොරව හා ඒ සඳහා කරන දේවල් මහජනයාට හොඳින් දැකබලා ගත නොහැකි ආකාරයටය.
කෙටුම්පත් සකස් කෙරෙන ක‍්‍රියාවලියේදී කෙටුම්පත සකස් කෙරෙන හැම අදියරයකදීම සකස් වූ කෙටුම්පත මහජනයාගේ දැනගැනීම සඳහා භාෂා තුනෙන්ම ප‍්‍රසිද්ධ කිරීම අත්‍යවශ්‍ය වුවත්, මෙම සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහන තුළ එය එසේ වූයේ නැත.

සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ දර්ශනය තුළද බරපතළ දෝෂ තිබුණි. ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ධුරයට පත්වූයේ 72 ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සංශෝධනයක් මගිනි. එහෙත් 72 ව්‍යවස්ථාව පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමය සඳහා සකස් කර තිබුණු ආණ්ඩු ක‍්‍රම ව්‍යුහය ජනාධිපති ක‍්‍රමයක් සඳහා ප‍්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් නොතිබුණු නිසා ජනාධිපති ජයවර්ධන ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයකට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ඇතිකර ගත්තේය. එහෙත් මෙම සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහන වෙනුවෙන් පෙනී සිටි ව්‍යවස්ථා න්‍යායවාදීහු 78 ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සීමිත සංශෝධනයක් මගින් ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමෙන් තොරවම පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයකට පරිවර්තනය විය හැකියැ’යි විශ්වාස කළෝය.

ජනමත විචාරණයකට බියවීම

මෙම සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහන නිර්මාණය කළ සංවිධානය පමණක් නොව එය ක‍්‍රියාත්මක කිරිමේ වගකීම කරටගත් ජයග‍්‍රාහී පිලේ නායකයෝද ජනමත විචාරණයකින් තොරව එම සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහන සම්මගත කරගත හැකියැ’යි විශ්වාස කළෝය. හැම ව්‍යවස්ථාවකටම මූලික දර්ශනයක් තිබෙන අතර එම දර්ශනයට අනුකූල ව්‍යුහයක්ද තිබෙන්නේය. රාජ්‍යයේ සකලවිධ බලය ජනාධිපති අතට පත් කෙරෙන ජනාධිපති ආණ්ඩු ක‍්‍රමය 78 ව්‍යවස්ථාවේ දර්ශනය වන විට එහි තිබුණේ ඊට ගැළපෙන ආණ්ඩුක‍්‍රම වන ව්‍යුහයකි. ආණ්ඩු ක‍්‍රමයේ මූලික දර්ශනයට හා මූලික ව්‍යුහයට පටහැනි ව්‍යවස්ථා සංශෝධනයකදී පාර්ලි මේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අතිරේකව ජනමත විචාරණයක අනුමැතියද අත්‍යවශ්‍යය. ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ නිර්මාතෘවරු එම සරල සත්‍යය තේරුම් ගැනීමට අසමත් වූහ. ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන වැඩසටහනෙන් ඉවත් වී ජනාධිපතිගේ බලතල අඩු කරන වැඩසටහනක් බවට හරවා ගන්නා ලදි. එහිදීත් ව්‍යවස්ථාවේ මූලික දර්ශනයට පටහැනි අගමැති වෙත සමහර විධායක බලතල පවරා දෙන විධිවිධාන ඇති කරන ලදි. එම විධිවිධාන පසුගාමීවේයැ’යි කිව නොහැකි වුවත් ඒවා ව්‍යවස්ථාවේ මූලික දර්ශනයට පටහැනිව යන නිසා ඒවාද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියට අතිරේකව ජනමත විචාරණයකින්ද අනුමත කරගත යුතුව තිබුණි. ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ නිර්මාතෘවරුන් අධිකරණ තීරණයක් ලැබෙන තෙක්ම විශ්වාස කළේ එහි ඇතුළත් කරුණු සම්මත කරගැනීමට ජනමත විචාරණයකට යෑම අවශ්‍ය නොවන බවය.

ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා නොහැර පරණ පාර්ලිමේන්තුව සමග එකතු වී මෙම ප‍්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා නීති සම්පාදනයකට යෑමේ පිළිවෙතට මා එකඟ නැතත් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන විධිමත් ලෙස කෙටුම්පත් කොට පළමුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට, ජනමත විචාරණයකට ඉදිරිපත් කොට, ජනතාවගේ අනුමැතිය ලබාගැනීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පිළිවෙතක් අනුගමනය කළේ නම් ලැබෙන ප‍්‍රතිඵලය මීට වඩා ප‍්‍රශස්ත වන්නට ඉඩ තිබුණි. ජනතාව ජනමත විචාරණයකින් අනුමත කළ කෙටුම්පතක් පරාජය කිරීමේ සදාචාරමය හැකියාවක් පාර්ලිමේන්තුවට නැත. දැන් අනුගමනය කළ ක‍්‍රමය වෙනුවට ඒ ක‍්‍රමය අනුගමනය කළේ නම් බොහෝවිට අතරමගදී කෑලි නොහැලෙන විකෘතිවලින් තොර ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් නීතිගත කරවා ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ ඒ සඳහා ප‍්‍රතිපාදන තිබියදී එවැනි තීක්ෂ්ණ මාර්ගයක් තෝරා ගන්නවා වෙනුවට අවහිරකම්වලට ලක්වෙමින් කෙටුම්පත විකෘති කිරීමට හේතුවන මාර්ගයක් තෝරා ගැනීමෙන් ඉදිරි දර්ශනයේ තිබූ අවුල්සහගතභාවය හොඳින් පෙන්නුම් කරයි.
මෙම ප‍්‍රතිසංස්කරණ වැඩසටහනින් ලැබී තිබෙන්නේ සුළු වෙනස්කම් කිහිපයකට පමණක් ලක් කෙරුණු පැරණි ජනාධිපති ක‍්‍රමයමය. පාර්ලිමේන්තුව හිතුවක්කාරී ලෙස විසුරුවා හැරීමට ජනාධිපතිට තිබුණු බලය අහිමිකිරීම, වසර හයේ ධුර කාලය වසර පහකට අඩු කිරීම, ජනාධිපතිවරයෙකුට ධුරයේ රැුඳී සිටිය හැකි කාලය ධුර කාල දෙකකට සීමා කිරීම, 17 වන සංශෝධනයේ එන ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමය නැවත ඇති කිරීම යන කාරණාවලට එය සීමාවන අතර ජනාධිපතිවරයාට තිබුණු අන් සියලූ බලතල තවදුරටත් ඒ ආකාරයෙන්ම පවතින්නේයැ’යි කිව හැකිය.

අඩුවෙන් ශීලාචාර කිරීම

ජනාධිපති ක‍්‍රමය ශීලාචාර කිරීමේදී ජනාධිපති නීතියට යටත් තැනකට නොගැනීම මෙම නීති ප‍්‍රතිසංස්කරණයට ආවේණික ලොකුම සීමාසහිතකම ලෙස සැලකිය හැකිය. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අනවශ්‍ය ලෙස පෙනේ පුප්පන්නේ නැති හොඳ අහිංසක ජනාධිපතිවරයකු වන නිසා ඔහු නීතිය ඉදිරියේ යටහපත් පහත් තත්ත්වයකට පත් කළ යුතු නැතැ’යි ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ න්‍යායවාදීන් කල්පනා කළා විය යුතුය. නැත්නම් තමන් දන්නා හඳුනන හොඳ ජනාධිපතිවරයකුට එවැනි යෝජනා ඉදිරිපත් කිරීම සුදුසු නැතැ’යි ඔවුන් කල්පනා කළාද විය හැකිය. එහෙත් අවසානයේ ඒ මගින් සිදුවී තිබෙන්නේ ආණ්ඩු ක‍්‍රමයේ තිබුණු ලොකුම අශීලාචාර ලක්ෂණය වෙනස් නොකොට ඒවා ගල්ගැසුණු තත්ත්වයකට පත්කිරීමය.

ලොව සිටින බලවත්ම ජනාධිපතිවරයා ලෙස සැලකිය හැක්කේ ඇමරිකන් ජනාධිපතිවරයාය. එහෙත් ඔහු නීතියට පටහැනිව කරනු ලබන හෝ දෙනු ලබන ඕනෑම ක‍්‍රියාවක් හෝ විධානයක් බලරහිත කිරීමේ බලය ඇමරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය සතුය. එය ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය ලක්ෂණයකි. ජනාධිපතිවරයා නීතියට ඉහළින් තබන 35 වැනි වගන්තිය අහෝසි කිරීම ලංකාවේ ජනාධිපති ක‍්‍රමය ශීලාචාර කිරීම සඳහා සම්පූර්ණ කළ යුතු අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණද මෙම ප‍්‍රතිසංස්කරණ වැඩසටහනින් එම මූලික කොන්දේසිය වත් සම්පූර්ණ කර නැත. එසේම 80(3) වගන්තියෙන් අධිකරණයට අහිමි කර තිබෙන අධිකරණ සමාලෝචන බලයද අධිකරණයට ලබාදී නැත.

සම්මත වී තිබෙන නීතියක් වුවත් ව්‍යවස්ථා විරෝධී නම් එය අහෝසි කිරීමේ බලය ඇමරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය පමණක් නොව අසල්වැසි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද භුක්ති විඳී. අධිකරණයේ පරීක්ෂාවට ලක් නොව විධායක බලයක් හෝ ව්‍යවස්ථාදායක බලයක් තිබීම සුදුසු නොවනවා සේ ම සමහරවිට භයානක ප‍්‍රතිඵලද ඇති කළ හැකිය. අනෙක් අතට අධිකරණ සමාලෝචන බලයක් නැති අධිකරණය නිසි අධිකරණ බලයක් ඇති අධිකරණයක් ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ ජනාධිපති ආණ්ඩු ක‍්‍රමය යටතේ නීති විමර්ශනයේදී අධිකරණයට ලබාදී තිබෙන්නේ උපදේශාමක බලයක් වැනි නොවැදගත් බලයක් පමණය. ඉතාමත් නපුරු නීති සම්පාදනයකදී පවා අධිකරණයට කිවහැක්කේ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය පමණක් ප‍්‍රමාණවත් නැති නිසා ජනමත විචාරණයක අනුමැතියද අවශ්‍ය බව කියා සිටීම පමණය. නීති සම්පාදනයක් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව යන අවස්ථාවකදී පවා එය අහෝසි කිරීමේ බලය ලංකාවේ අධිකරණයට නැත. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා ලද නීති පවා නිෂ්ප‍්‍රභ කර තිබේ. එහෙත් එවැනි බලයක් ශ‍්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට නැත. මෙම ජනාධිපති ක‍්‍රමයෙන් අධිකරණය තබා තිබුණ යටහත් පහත් තත්ත්වයේ කිසිදු යහපත් වෙනසක් මෙම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයෙන් ඇති කර නැත.

ජනාධිපති අගමැති ගැටුම

මෙම ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ දක්නට තිබෙන තවත් ලොකු දෝෂයක් ලෙස සැලකිය හැක්කේ ජනාධිපති හා අගමැති ප‍්‍රතිපක්ෂ දෙකකින් තේරී පත්වූ අවස්ථාවකදී ඒ දෙදෙනා අතර ගැටුමක් ඇතිවීම වළකා දෙදෙනාට සහයෝගයෙන් වැඩකළ හැකි රාමුවක් සඳහා විධිවිධාන ඇති නොකිරීමය. ලංකාව සඳහා ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයක් ඇති කිරීමේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වැඩියෙන්ම ආදර්ශයට ගත්තේ ඇමරිකන් ජනාධිපති ක‍්‍රමය නොව ඩිගොල් ඇති කරන ලද ප‍්‍රංශ ජනාධිපති ක‍්‍රමයයි. ඩිගොල් ඇති කළ ජනාධිපති ආණ්ඩු ක‍්‍රමය ජනාධිපති ක‍්‍රමය හා පාර්ලිමේන්තු ක‍්‍රමය එකට පූට්ටු කොට තන ලද දෙමුහුන් ආණ්ඩු ක‍්‍රමයක් ලෙස සැලකිය හැකිය. එය ජනාධිපතිගේ ආණ්ඩු ක‍්‍රමයක් සඳහා ආදර්ශයට ගත යුතු හොඳ ක‍්‍රමයක් නොවූවද ලංකාවේ ජනතාව පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයට ඇබ්බැහි වී සිටි තත්ත්වය තුළ රාජ්‍ය සකලවිධ බලය ජනාධිපති අතට ලැබෙන ජනාධිපති ක‍්‍රමයක් සමග පාර්ලිමේන්තු ක‍්‍රමයට ඊට පහළ තත්ත්වයක් ලැබෙන ක‍්‍රමයක් ඇතිකර ගැනීම සුදුසුයැ’යි ජනාධිපති ජයවර්ධන කල්පනා කළා විය හැකිය.

ලංකාවේ ඇති කළ ක‍්‍රමය මුළුමනින් ප‍්‍රංශ ක‍්‍රමයට සමාන තැනක් බොහෝ දේවලින් එය ප‍්‍රංශ ක‍්‍රමයට සමානය. මෙම ක‍්‍රම දෙකටම පොදුවේ ආවේණික අවුල් ඇති කිරීමට හේතුවන ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ ජනාධිපති එක් පක්ෂයකිනුත් අගමැති තවත් පක්ෂයකිනුත් තේරී පත්වන අවස්ථාවකදී මෙම බලවතුන් දෙදෙනා අතර ඇතිවිය හැකි බිහිසුණු ගැටුමය. එම තත්ත්වය ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා 78 ව්‍යවස්ථාව ගැන ලියන ලද ඔහුගේ විවේචනාත්මක විග‍්‍රහයේදී හොඳින් විග‍්‍රහ කර තිබේ. ජනාධිපති එක් පක්ෂයක් නියෝජනය කරන විට ප‍්‍රතිපක්ෂයක් මැතිවරණයකින් බලය ලබාගෙන පාර්ලිමේන්තු ආණ්ඩුවක් ඇතිවන අවස්ථාවකදී සමනය කිරීමට පහසු නැති ගැටුමක් ජනාධිපති හා අගමැති අතර ඇතිවිය හැකිය. ප‍්‍රතිපක්ෂයට ලැබුණු මහජන වරම ජනාධිපතිට ඊට පෙර ලැබී තිබෙන ජනවරම නිෂ්ප‍්‍රභ කරන්නක් ලෙස සලකන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා පෙන්වා දී තිබෙන ආකාරයට එවැනි සංයෝජනයකදී මෙම ආණ්ඩු ක‍්‍රමය තුළ ඇතිවන ගැටුම හුදු මහත් රාජ්‍ය යන්ත‍්‍රයම ක‍්‍රියාවිරහිත කරවන තත්ත්වයක් පවා ඇති කිරීමට හේතුවිය හැකිය.

ප‍්‍රංශයේ ඩිගොල්ගේ කාලයේදී එවැනි තත්ත්වයක් ඇති නොවූවද ඩිගොල්ගේ පසු කාලයේදී අවස්ථා ගණනාවකදීම එවැනි අවුල්සහගත තත්ත්වයක් ඇතිවිය. එහි එවැනි අවුල්සහගත තත්ත්වයක් පළමුවෙන්ම ඇතිවූයේ 1986දීය. අවස්ථා ගණනාවකදී සමාජවාදී ජනාධිපතිවරුන්ට දක්ෂිණාංශික අගමැතිවරුන් පත්කිරීමටත් දක්ෂිණාංශික ජනාධිපතිවරුන්ට සමාජවාදී අගමැතිවරුන් පත් කිරීමටත් සිදුවිය. ඒ නිසා ඇතිවූ ගැටුම් හා අවුල්සහගත තත්ත්වයක් යටතේ ප‍්‍රංශ ජනාධිපති ආණ්ඩු ක‍්‍රම සම්ප‍්‍රදායන්හි ලොකු වෙනස්කම් ඇතිවිය. දැන් එහි ජනාධිපති සන්නද්ධ හමුදාවල ප‍්‍රධානියා වශයෙන් ආරක්ෂක කටයුතුවලට හා විදේශීය ප‍්‍රතිපත්තිවලට සීමාවූ කෙනකු බවට පත්කිරීමට හේතුවී තිබෙන අතර ආණ්ඩුවේ නායකයා ලෙස රාජ්‍ය පාලනය ගෙනයෑමේ අයිතිය ලැබී ඇත්තේ අගමැතිටය.

මෙම පරස්පර විරෝධී තත්ත්වය ප‍්‍රංශයට සීමාවූ දෙයක් ලෙස සැලකිය නොහැකිය. එවැනි තත්ත්වයක් 2001දී ලංකාවේදීද ඇතිවිය. එහිදී අගමැති රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිනිය මගේ ආණ්ඩුව බිඳ දමන්නට පෙර මා ඇය තනතුරෙන් පහ කළ යුතුයි කියා සිතන තැනකට ගියේ නම් මුළු රාජ්‍ය යන්ත‍්‍රයම බිඳවැටෙන තත්ත්වයක් පවා ඇතිවන්නට ඉඩ තිබුණි. අනෙක් අතට අගමැති එසේ කල්පනා නොකිරීම නිසාම පාර්ලිමේන්තුවේ අවුරුද්දේ කාලසීමාව සම්පූර්ණ වීමෙන් පසු බලය අත්හැර යන්නට රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවට සිදුවිය.

තිබෙන ජනාධිපති ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කරන්නේ නම් එවැනි අවුල්සහගත තත්ත්වයන් ඇතිවීම වළකන විධිවිධාන ඇති කළ යුතුය. මෙම ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ න්‍යායවාදීන් ඒ ගැන කල්පනා කළ බව පෙනෙන්නට ඇතත්, සමහර ප‍්‍රතිපක්ෂ න්‍යායවාදීන් එය විග‍්‍රහ කරනු ලැබුවේ ජනාධිපතිවරයාගෙන් විධායක බලය උදුරාගෙන ඒ බලය අගමැති අතට පත් කරන්නට හදන කුමන්ත‍්‍රණයක් ලෙසය. මෙම පුහු තර්කය ඉදිරිපත් කරන ලද්දේ පාර්ලිමේන්තු ආණ්ඩුවක අගමැතිවරයකුට ලැබෙන විධායක බලය හා ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයක ජනාධිපතිවරයකුට ලැබෙන විධායක බලය අතර තිබෙන බරපතළ වෙනස පවා නොසලකාය. අවසානයේ අගමැතිට අතිරේක බලතල පවරන විධිවිධාන ගැන අධිකරණයේ මතය වූයේ ඒ වෙනස්කම් සඳහා ජනමත විචාරණයකද අනුමැතිය අවශ්‍ය බවය. ඒ සමග ප‍්‍රතිපක්ෂ දෙකක් මෙම බලවත් තනතුරු දෙක හිමි කරගත් අවස්ථාවකදී ඇතිවිය හැකි අශෝභන ගැටුම් වළකා සහයෝගයෙන් වැඩ කිරීමට අවශ්‍ය රාමුවක් සඳහා ඇති කරන්නට ගිය සියලූ විධිවිධානයන්ද අත්හැරීමට සිදුවිය.

අවසාන විග‍්‍රහයේදී පාර්ලිමේන්තුවේ මහා එකඟතාවකින් සම්මත කරගන්නා ලද 19 වැනි සංශෝධනයෙන් රටට ලැබී තිබෙනුයේ තිබුණු ජනාධිපති ක‍්‍රමය තරම්ම නපුරු නැති, ජනාධිපතිගේ සමහර බලතල කප්පාදු කෙරුණු එහෙත් පරණ ක‍්‍රමයේ සමහර විසකුරු දත් ඉවත් නොකළ පරණ ජනාධිපති ක‍්‍රමයේම නව සංස්කරණයකි. එවැනි සීමාසහිතකම් තිබියදීත් 19 සම්මත කරගැනීමට සමත්වීම ජයග‍්‍රාහී දේශපාලන බලවේගයන් මහින්ද රාජපක්ෂගේ පරාජිත දේශපාලන බලවේගයන් අබිබවා ලැබූ දේශපාලන ජයග‍්‍රහණයක් ලෙස සැලකිය හැකිය. එහෙත් අවසාන මොහොතේ මහින්දගේ පාර්ලිමේන්තු ආධාරකරුවන් සංශෝධනයට පක්ෂපාතව ඡුන්දය දීම උපාය මාර්ගික අර්ථයෙන් ගත් තීන්දුවක් වශයෙන් මිස ඔවුන්ගේ සටන අත්හැරීමක් හෝ යටත්වීමක් ලෙස සැලකිය නොහැකිය. එය ඔවුන්ගේ උපාය මාර්ගික පසුබැසීමක් පමණය.

19 වැනි සංශෝධනය සම්මත කරගැනීම නිසා රටේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අවශ්‍යතාව සම්පූර්ණවීමක් සිදුවීයැ’යි කිව නොහැකිය. එය විධිමත් ලෙස හා නිසි ගෞරවයකින් යුතුව ඇතිකර ගන්නා නව ව්‍යවස්ථාවක් මගින් සම්පූර්ණ කරගත යුතුය. සමාජයේ පවත්නා වර්ග හා ආගම් භේද තුනී කරන හා කුලභේදයට තිබෙන පිළිගැනීම අහෝසි කෙරෙන ඒ මගින් ජාතික ඒකාග‍්‍රතාවක් ඇති කරන දූෂණයෙන් තොර, මහජන හිතකාමී කාර්යක්ෂම පාලනයක් ඇති කිරීමට හේතුවන නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම මගින් එම ඓතිහාසික අවශ්‍යතාව සම්පූර්ණ කරගත යුතුය. එම ඉලක්කය ඉදිරි මැතිවරණයෙන් පසුව හෝ සම්පූර්ණ කරගත යුතුය.