යහපාලන වෑයම ජයගැනීම

යහපාලන ආණ්ඩුව මෙතැන් සිට උත්සාහ කළයුත්තේ මැද මාවතක ගමන් කරන සමබර ආණ්ඩුවක් බවට පත්වීමටය. ඒ සඳහා සමාජ පන්තීන් අතර අනන්‍ය ස්වශක්තියක් ඇති විය යුතුය. සමාජීය සමබර බව සඳහා ගැළපෙන නායකයන් දෙදෙනකු රටට ලැබී තිබීම මෙහිදී වැදගත්ම කාරණයක් ලෙස දැක්විය හැකිය. පැහැදිලිවම පෙනී යන කරුණ නම් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කුමන අදහසක් පෙරදැරිව සමාජය ආමන්ත‍්‍රණය කළත් ඔවුන් දෙදෙනාගේ අදහස් ජනතාව වෙතට ගලා එන්නේ ධාරාවන් දෙකක් ඔස්සේය.

වීරයෝ

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන එක් අතකින් මෙරට දුප්පතුන්ගේ වීරයකු බවට පත්ව තිබෙන අතරම අගමැති රනිල්ට වෙනදා සේ ම මෙරට ඉහළ මධ්‍යම පාන්තිකයෝ ආකර්ෂණයවෙමින් සිටිති. දින සියය තුළ භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීම, ඉන්ධන මිල අඩු කිරීම මෙන්ම සමාජය තුළ කිසියම් මට්ටමක නිදහස් මානසිකත්වයක් ඇති කිරීම නව ජනාධිපතිවරයාගේ පත්වීමෙන් පසුව සිදුවිය. ඊට පෙර සැබැවින්ම දුප්පතුන් සිටියේ අහිමි වන්නටත් දෙයක් නැති මුළුමනින්ම බලාපොරොත්තු විරහිත තත්ත්වයකය. කොළඹ ජනයා කොයි මොහොතේ තම පැල්පත් ඩෝසර් කරනු ඇත්දැ’යි බියෙන් සිටියහ. අත්තනෝමතිකව දුප්පතුන්ගෙන් ගත් ඉඩම් ඉහළ පන්තියක් නඩත්තු කිරීම සඳහා භාවිත කිරීම පැවති ආණ්ඩුවේ එක් ඊනියා සංවර්ධන මාර්ගයක් වූයේය. කොළඹ අඩු පහසුකම් සහිත නිවාස හිමි, අඩු ආදායම්ලාභී ජනයාට රාජපක්ෂ ආණ්ඩුවෙන් ලද නිරන්තර බිය මෛත‍්‍රීපාල සිරිසේන රජයෙන් මුළුමනින් සමහන් කර දැමූයේය. අනෙක් අතට අගමැති රනිල් ජනපති මෛත‍්‍රීපාල දකින වර්ගයේ බිම් මට්ටමේ ප‍්‍රශ්න තේරෙන නායකයකු නොවන බව ජනතාවගේ හැඟීමය. ඔහු වැටෙන්නේ වෙනම පන්තියකටය. එහි වරදක් නැත. සමස්ත සමාජයට සමබර ආවරණයක් ලැබීම සඳහා මේ සුසංයෝගය වැදගත්ය. රනිල්ට තමන් අනුයන පන්තිකභාවයේ සිට රටෙහි ආර්ථිකයේ මතු මහල ගොඩනැගිය හැකි නම් පන්ති විෂමතා සහිතව එහෙත් පන්තීන් අතර දරාගත නොහැකි පරස්පරයක් රහිතව ආදායම් පවත්වාගෙන යා හැකිය.

මොනර නැටුම් එපා

එහෙත් මේ ධාරාවන් දෙකෙහිම වැරදි අවම කරගැනීම මෙතැන් සිට කළ යුතුය. හෙරොයින් ව්‍යාපාරිකයන්ට, අන්ත සමාජ දුෂකයන්ට, ජාතිභේදවාදීන්ට සංවිධායකකම් හා වෙනත් වරදාන නොදීම ජනාධිපතිවරයාගේ පැත්තෙන් සිදුවිය යුතුය. මහ බැංකුවේ සිදුවූ භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධ වංචාකාරීයැ’යි හැෙඟන ක‍්‍රියාව බඳු සිදුවීම්වලට තිත තැබීම අගමැතිවරයාගේ පැත්තෙන් සිදුවිය යුතුය. එවැනි අකටයුත්තක් සිදුවූ විට තමන්ගේම පරීක්ෂණ මණ්ඩලයක් යොදවා අර්ජුන මහේන්ද්‍රන් සිද්ධියේදී මෙන් ලූහුටා යෑම්වලට ඉඩහැරීම අගමැතිවරයා වැනි තවදුර යන දේශපාලන අනාගතයක් ඇති නායකයකුට තරම් නොවන බවත් කිව යුතුය.

19ට ඉවසීම

දේශපාලනඥයකු ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සති කිහිපය පුරා මුළු මහත් සමාජයටම වැදගත් පාඩමක් කියා දුන්නේය. එය නම් 19 සංශෝධනය සම්මත කරගැනීම දක්වා ඔහු ප‍්‍රකට කළ ධෛර්යයසම්පන්නභාවයයි. ශ‍්‍රීලනිපයේ රාජපක්ෂවාදී මන්ත‍්‍රීවරුන් මෙම ප‍්‍රගතිශීලී සංශෝධනය ආපස්සට අදින්නට වෙර දරන හැම මොහොතකම ජනාධිපතිවරයා හිස නමා ඉල්ලා සිටියේ එසේ නොකරන ලෙසය. දිගින් දිගටම මේ ක‍්‍රියාවලිය රාජපක්ෂගේ බාලයින් කරන විට 19 ගැන උනන්දු බොහෝ දෙනකු රතු ඉර පැන කීවේ ආණ්ඩුව විසුරුවා මැතිවරණයකට ගොස් අලූත් පාර්ලිමේන්තුවකින් 19 වැනි සංශෝධනය සම්මත කර ගනිමු යනුවෙනි. එය දෙවැනි පියවර ලෙස මෛත‍්‍රීපාල මහතාත් සිතාගෙන ඉන්නට ඇත. එහෙත් ඔහු පළමු පියවර ගැන දිගින් දිගටම විශ්වාස කරමින් ඉවසීමෙන් මහින්දගේ ජටිලයන් දමනය කර ගත්තේය. අගමැතිවරයා මේ ප‍්‍රශ්නයේදී පාර්ලිමේන්තුව තුළ කෝපාන්විතව හැසිරෙනු පෙනුණි. විපක්ෂයේ උසිගැන්වීම්වලට රනිල් වැනි නායකයකු හසුවිය යුතු නැත. එහෙත් පාර්ලිමේන්තුවේදී ඔහු එබඳු උපක‍්‍රමවලට හසුවී ව්‍යවස්ථාමය කරුණක් සම්බන්ධයෙන් මතුකර ගතහැකි වැදගත් සාකච්ඡුාමය අවස්ථාවන් මග හැරයනු දක්නට ලැබුණි.

දුකට කියන කවි

19 වැනි සංශෝධනය සම්මත වූ දිනට පසු දින එනම් අපේ‍්‍රල් 29 වැනිදා ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා කීවේ සංශෝධනයේ පිටවැස්ම ආණ්ඩුව වුණත් මදේ විපක්ෂයේ කියාය. ගම්වලත් මේ වගේ වැඩ වෙනවා කියා ප‍්‍රකට කුණුහරුපයක සේයාවක්ද එම හැඳින්වීමට එක් කරන්නට වීරවංස වගබලා ගත්තේ මේ සියල්ල දැන් අයත්වන්නේ දුකට කියන කවි ගණයටය. මන්ද 19 වැනි සංශෝධනය මගින් වීරවංශලා සිය ස්වාමියා වෙනුවෙන් දිව විකාගෙන රැුකගන්නට බැලූ 18 වැනි සංශෝධනය මුළුමනින් නිශේධ විය. දැන් ජනාධිපතිවරයා යාවජීව නැත. ඒ හැරුණු විට ස්වාධීන කමිෂන් සභා මේ හරහා ස්ථාපිත වනු ඇත. එපමණක් නොව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අවබෝධයෙන් ක‍්‍රියාකළ යුතු තත්ත්වයක් උදාවනු ඇත.

ව්‍යවස්ථා සභාවේ සංයුතිය පිළිබඳ ප‍්‍රශ්නයේදී විපක්ෂයේ අදහස කරළියට ආ බව සැබෑය. පාර්ලිමේන්තුවට එනම් මහජන නියෝජිතත්වය පිළිබිඹු කැරෙන තැනට කවුරුත් වගකිව යුතුය යන අදහස ඉතා වැදගත්ය. එහෙත් කුඩු, එතනෝල් කාරයන්ටත්, ¥ෂිතයන් හා මිනීමරුවන්ගෙන් සැදුම්ලත් එකතුවක් වෙතට වගකියන්නට සිදුවනවාට වඩා ව්‍යවස්ථා සභාවක කටයුතු කරන පිළිගත් බුද්ධිමතුන්ගේ එකතුවකට වගකියන්නට අවස්ථාව ලැබීම වඩාත් පිළිගත හැකි කරුණකි. වීරවංශ කියන වර්ගයේ තානාපති කාර්යාලවල සිටි ඩොලර් කාක්කන් හෝ කාක්කියන් පෙර ව්‍යවස්ථා සභාවටත් පත්වූයේ නැත. මේවා ජනතාව මුලා කරන මුසා බස්ය. ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් අතිබහුතරය මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත කරනවාට වඩා කිසියම් විෂය ධාරාවක උගතුන් පිරිසක් ඒ සඳහා පත්කර ගැනීම මහජනයාගේ ඉහළම පිළිගැනීමට ලක්වන්නක් බව කිසිවකුටවත් ප‍්‍රතික්ෂේප කළ නොහැකිය. 19ට සහාය දීම පිළිබඳ වීරවංශ ප‍්‍රශංසා කළ යුතුය. එසේ කරමින් අප ඔහුට කිවයුත්තේ මහජනයා මුලාවේ හෙළන ව්‍යාපෘතියෙන් මිදී සමාජය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය කිරීමේ ක‍්‍රියාවලියේ ඇත්ත කොටස්කාරයකු වන්නට කියාය.

මැද මාවත

ජනාධිපති මෛත‍්‍රී මේ වනවිට ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආයතන මානව නිදහස හා අන්තර් ගරුත්වය අගයන ජනයාගේ ප‍්‍රායෝගික ආදර්ශය බවට පත්වෙමින් සිටී. ඔහුගේ ජාතිය ඇමතීමේ කතාවේ අන්තර්ගත වහල් මානසිකත්වය පිළිබඳ අදහස හා තමන් කිසිසේත්ම බලය අනිසි ලෙස පාවිච්චි නොකරනවා යන්න ලංකාවේ සිවිල් සමාජයට තදින් කා වැදුණේය. මෛත‍්‍රී කියනවා සේ ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අභ්‍යන්තරික ගති ලක්ෂණ මෙරටට නුහුරුය. එය පාකිස්තානයට හමුදා පාලනයක් අල්ලලා යනවා වගෙයි. ඉකුත් ජනවාරි 08 වැනිදා නවත්වා දැමුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිටුදකින මානව නිදහස නැති ෆැසිස්ට්වාදයකට රට ගෙනගිය ගමනය. ඒ ගමන තවදුරටත් ගියේ නම් අනාගතයේ බිහිවන මෛත‍්‍රීපාල වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන නායකයකුට සමාජයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඒත්තු ගැන්වීම මීටත් වඩා අසීරු වනු ඇත. එබැවින් ප‍්‍රශ්න තිබුණත් යුගයේ වීරයා මෛත‍්‍රී යන්නට සැකයක් නැත.

මෙතැන් සිට

නව රජය නව මැතිවරණ ක‍්‍රමයක් ස්ථාපිත කරගැනීමෙන් පසුව ඔවුන් වඩාත් අසීරුම හා සංකීර්ණම කටයුත්ත වන සමාජය සහ ආර්ථිකය ගොඩනැංවීමේ ව්‍යාපාරයට අත ගැසිය යුතුය. එමෙන්ම ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් ලබාදීමේ ක‍්‍රියාවලියට අත ගැසිය යුතුය. ආර්ථික විෂයේදී තම සමීපතමයන් කරන වැරදි සම්බන්ධයෙන් ක‍්‍රියාකිරීමටත් මිතුරන් නොවන අය කරන වැරදි සම්බන්ධයෙන් ක‍්‍රියාකිරීමටත් එකම ප‍්‍රතිපත්තියක් සකස් කරගැනීම වැදගත්ය. මහ බැංකුවේදී මෙන් ලූහුටා ගියහොත් හා දූෂිතයන්ට සංවිධායකකම් දුනහොත් රනිල්-මෛත‍්‍රී අද කොතරම් වීරයින් වුණත් ඉක්මනින් ඒ වීරකම් සිඳී බිඳී යෑමත් නොවැළැක්විය හැකිවනු ඇත.