රාවය

දිස්ත‍්‍රික්ක මට්ටමෙනුත් පක්ෂ ලැයිස්තු?

දිස්ත‍්‍රික්ක මට්ටමෙනුත් පක්ෂ ලැයිස්තු?

සුජාතා ගමගේ

මැතිවරණ ක‍්‍රම සංශෝධන වේදිකාවේ මේ වන විට පැහැදිලි විකල්ප දෙකක් ඉදිරියට පැමිණ ඇත. පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසින් යෝජනා කරන ලද සහ පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස කෙටුම්පත් කර ඇති මිශ‍්‍ර මන්ත‍්‍රී බහුතරවාදී (නැතිනම් MMM හෝ Mixed Member Majoritarian) ක‍්‍රමය මින් එකකි. දෙවැන්න, නවසීලන්තයේ දැනට යොදාගනු ලබන මිශ‍්‍ර මන්ත‍්‍රී සමානුපාත (MMPහෝ Mixed Member Proportional)  ක‍්‍රමය පාදක කර සකස්කරන ලද්දකි.

විකල්ප ක‍්‍රම දෙකෙහි ම දක්නට ලැබෙන විශේෂත්වයක් වනුයේ එක් එක් දේශපාලන පක්ෂය විසින් දිස්ත‍්‍රික් මට්ටමෙන් අමතර නම් ලැයිස්තුවක් ඉදිරිපත් කළයුතු ය යන නව සංකල්පයක් ඒවායේ අඩංගුවී තිබීමයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති MMM ක‍්‍රමය තුළ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ යුතු අමතර නම් ලැයිස්තුව දැක්වෙන්නේ විකල්පයක් වශයෙන් පමණකි. එහෙත්, MMP ක‍්‍රමය පාදක කරගත් විකල්පයේදී දිස්ත‍්‍රික්ක මට්ටමෙන් ඉදිරිපත් කරන අමතර නම් ලැයිස්තුව අතවශ්‍යතාවකි. ‘එල්ලෙන ආසන’ ප‍්‍රශ්නය හෙවත් පක්ෂයකට හිමි සමානුපාතික ආසන සංඛ්‍යාව හා කේවල ක‍්‍රමයෙන් හිමි වන ආසන සංඛ්‍යාව අතර අසමමිතිය MMP ක‍්‍රමයට ආවේණික දුර්වලතාවකි. නවසීලන්තයේ මෙන් නොව දිස්ත‍්‍රික්ක 22 කට බෙදා කෙරෙන ශ‍්‍රී ලංකා මැතිවරණවලදී එම එල්ලෙන ආසන ප‍්‍රශ්නය තවත් සංකීර්ණ වේ. MMP ක‍්‍රමයේ දී දිස්ත‍්‍රික් මට්ටමෙන් අමතර නම් ලැයිස්තුවක අවශ්‍යතාව ඉදිරිපත් කෙරෙනුයේ මෙම අසමමිතිය මඟහරවාගැනීම පිණිස යොදා ගන්නා පිළියම්වල එක් අංගයක් ලෙසය.

අපගේ අනුමානයට අනුව පාර්ලිමේන්තුව සඳහා යෝජිත මන්ත‍්‍රී 255ක මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් 59කට ආසන්න ප‍්‍රමාණයක් හෝ සියයට විසි පහක්ම මෙම පක්ෂ ලැයිස්තු තුළින් පත් කරන කරන ලද මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත විය හැක. පක්ෂ ලැයිස්තු මන්ත‍්‍රී සංඛ්‍යාව මේ අයුරින් ඉහළ නැංවීම මැතිවරණ ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙතෙක් ඇති නොවූ නවතම තත්ත්වයකි. එබැවින්, ඒ සම්බන්ධව සිවිල් සමාජයේ අවධානය යොමුකිරීම වටී.

අප දකින ආකාරයට, නිශ්චිත ක‍්‍රමවේදයකට කෙරෙනුයේ නම්, දේශපාලන පක්ෂවලට අමතර පුද්ගල ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම හොඳ දෙයකි. අපට හොඳින් පළපුරුදු ජාතික ලැයිස්තුව ද ජාතික මට්ටමේ එවැනි පක්ෂ ලැයිස්තුවකි. එම ලැයිස්තුවේ මුඛ්‍ය අරමුණ, තරග කිරීමෙන් ජයග‍්‍රහණය කිරීමට අවශ්‍ය ජනප‍්‍රියතාව නොමැති වුවත් ආණ්ඩුකරණයේදී විශාල දායකත්වයක් ලබාදීමට සමත්කම් ඇති පුද්ගලයන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඉඩ සැලසීමයි. එපමණක් නොව පාර්ළිමේන්තුව තුළ යම් යම් ප‍්‍රජා කොටස්වල නියෝජනයක් ඇතිකිරීම සඳහා ද ජාතික පක්ෂ ලැයිස්තුව භාවිත කළ හැක.

ඇත්ත වශයෙන් ම ව්‍යවස්ථාවේ 99(අ) වගන්තියේ සඳහන් පාර්ලිමේන්තු මන්තී‍්‍රධුර සඳහා තෝරා පත්කර ගැනීම පිණිස එසේ තැනැත්තන් නම් කිරීමේදී සියලූම ජන කොටස්වල නියෝජනය ජාතික ජන සංඛ්‍යා අනුපාතයට අනුකූල වන බව ප‍්‍රායෝගික ව හැකි පමණින් සුරක්ෂිත කරන ලෙසට එම පිළිගත් දේශපාලන පක්ෂයේ ලේකම්වරයාගෙන් හෝ එම ස්වාධීන කණ්ඩායමේ කණ්ඩායම් නායකයාගෙන් ඉල්ලා සිටිය යුතුයඵීයන ඡෙදයෙන් එම පක්ෂ ලැයිස්තුව පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාට යම් අධිකාරී බලයක් ද ලබාදී ඇත.

මෙතෙක් කාලයකට මෙවැනි ඉල්ලීමක් මැතිවරණ කොමසාරිස්වරයා විසින් කරන ලද බව හෝ එවැනි ඉල්ලීමක් සිදු කරන ලදුව ‘ප‍්‍රායෝගිකතා වගන්තිය’ මත පිහිටා දේශපාලන පක්ෂ එම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කළ හෝ නොකළ බව අපි නොදනිමු. කෙසේවෙතත්, පක්ෂ ලැයිස්තු හරහා කාන්තා නියෝජනය ඉහළ නැංවීම වැනි පියවර ක‍්‍රියාත්මක කර වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ සියලූ ජනකොටස් වඩා හොඳින් නියෝජනය වන පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගැනීමට මේ නව අවස්ථාවෙන් අපට ප‍්‍රයෝජනයක් ගැනීමට හැකිවේදැයි යන්න විමසා බැලීම වැදගත් වේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ MMM යෝජනාවට අනුව පක්ෂ ලැයිස්තුව ක‍්‍රියාත්මක වන්නේ කෙසේද?ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කර ඇති මිශ‍්‍ර මන්ත‍්‍රී බහුතරවාදී ක‍්‍රමයේ 20 වැනි සංශෝධනයේ 99(4) වගන්තියට අනුව: පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරුන් තෝරා පත්කරගැනීම සඳහා පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී, පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයන් ලෙස තරගකරන පුද්ගල කණ්ඩායමක් (මෙතැන් සිට ස්වාධීන කණ්ඩායම ලෙස සඳහන් කරනු ලබන) විසින් එක් එක් මැතිවරණ දිස්ත‍්‍රික්කයක් සඳහා එම දිස්ත‍්‍රික්කයෙන් තෝරාගැනීමට අපේක්ෂිත සමස්ත මන්ත‍්‍රී සංඛ්‍යාවට සමාන වන සහ එම දිස්ත‍්‍රික්කය සමන්විත වී ඇති මැතිවරණ කොට්ඨාස නියෝජනය කිරීම සඳහා අපේක්ෂකයන් සංඛ්‍යාවක් සහ එකී මැතිවරණ දිස්ත‍්‍රික්කයේ ඉතිරි ඡන්ද මත සමානුපාත නියෝජන ක‍්‍රමයෙන් තෝරාගැනීම සඳහා අමතර අපේක්ෂකයන් සංඛ්‍යාවක් අඩංගු එක් නාමයෝජනා පත‍්‍රයක් ඉදිරිපත් කළ යුතුය. එක් එක් මැතිවරණ කොට්ඨාසය සඳහා තරගකරන අපේක්ෂකයන්ගේ නම් එකම නාමයෝජනා පත‍්‍රයකින් ඉදිරිපත් කළයුතුය.

උදාහරණයක් ලෙස, මොනරාගල දිස්ත‍්‍රික්කයට මන්ත‍්‍රීවරුන් 5 දෙනෙකු අනුමතයැයි සිතමු. එහෙත්, දිස්ත‍්‍රික්කය බෙදා ඇත්තේ මැතිවරණ කොට්ඨාස 3 කට පමණකි. එහිදී, යම් පක්ෂයක් විසින් ඉදිරිපත් කරන නාමයෝජනා පත‍්‍රය තුළ එක් එක් මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් තරගකරන අපේක්ෂකයන් තිදෙනෙකු සහ අතිරේක පුද්ගලයන් දෙදෙනෙකු අඩංගු කළ යුතුය. (අතිරේක පුද්ගලයන් රහිත ක‍්‍රමයක් ද විකල්පයක් ලෙස සලකා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජිත 20 වන සංශෝධනයේ වගන්තියක ඉදිරිපත් කර ඇති බව මෙහිදී සඳහන් කළ යුතුය.)

දෙවනුව, ඉහත සඳහන් අතිරේක මන්ත‍්‍රී ධුර සඳහා පුද්ගලයන් තෝරාගැනීමේදී අදාළ ආසන සංඛ්‍යාවෙන් සියයට 50 ක් අතිරේක ලැයිස්තුවේ අඩංගු කර ඇති පුද්ගලයන්ට ලබාදීමට පහත දැක්වෙන 99(10) වගන්තිය ඉඩ සලසයි.

‘ඉතිරි ඡන්ද සංඛ්‍යාව මත සමානුපාත නියෝජන ක‍්‍රමවේදය යොදාගැනීමේදී එක් එක් පක්ෂයට ලැබී ඇති හිමිකම අනුව, මැතිවරණ කොට්ඨාසවලට තරගකළ අපේක්ෂකයන් අතුරින් තෝරා පත්කර ගතයුතු මන්ත‍්‍රීවරුන්ගේ නාමලේඛනයක් පක්ෂ ලේකම්වරයා හෝ ස්වාධීන කණ්ඩායම් නායකයා විසින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබාදිය යුතුය. මෙම මන්ත‍්‍රීවරුන්ගෙන් අඩකට නොඅඩු සංඛ්‍යාවක්, මැතිවරණ කොට්ඨාසවලට තරගකර තේරී පත්නොවූ නමුත් සිය මැතිවරණ කොට්ඨාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයන් අතරින් නම් කළයුතු අතර නම් කිරීම වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයාගෙන් ආරම්භ කර අඩුම ඡුන්ද ලබාගත් අපේක්ෂකයා දක්වා යන පිළිවෙලින් සිදුකළ යුතුය. එක් එක් පක්ෂයට ඇති හිමිකමේ ඉතිරි මන්ත‍්‍රී සංඛ්‍යාව මැතිවරණ කොට්ඨාසවලට තරගකර තේරී පත්වීමට අසමත්වූ අපේක්ෂකයන් අතුරින් හෝ මැතිවරණ කොට්ඨාසවලට තරග නොකළ අතිරේක අපේක්ෂකයන් අතුරින් තෝරා පත්කර ගතයුතුය.’
අප විසින් නැවතත් මොනරාගල දිස්ත‍්‍රික්කයේ උදාහරණය A සලකා බැලූවහොත්, යම් ් යන පක්ෂයක් කේවල ක‍්‍රමය යටතේ දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස තුනම ජයග‍්‍රහණය කිරීම හා සහ දෙවන B යන පක්ෂයකට අතිරේක ආසන දෙක ම ලැබීමේ තත්ත්වයක් ඇති වුවහොත් B පක්ෂයට තමන්ගේ පක්ෂයේ හොඳම අනුජයග‍්‍රාහකයන් දෙදෙනකු හෝ එක් හොඳම අනුජයග‍්‍රාහකයකු සහ තම පක්ෂ ලැයිස්තුවෙන් අතිරේක පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට යැවීමේ හැකියාව ඇත. 99(10) වගන්තියට අනුව අමතර පුද්ගලයා නම් කිරීමේ බලය පක්ෂ ලේකම්වරයා සතුය.

විකල්ප MMP යෝජනාවට අනුව පක්ෂ ලැයිස්තුව ක‍්‍රියාත්මක වන්නේ කෙසේද?සමස්ත පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය දැනට පවතින සමානුපාත ක‍්‍රමය යටතේ ම තෝරා ගෙන, දෙවනුව, එක් එක් පක්ෂයේ එම මන්ත‍්‍රීධුරවලට පුද්ගලයන් තෝරා ගැනීම සඳහා කේවල ක‍්‍රමයෙන් ජයග‍්‍රහණය කරන අපේක්ෂකයන් යම් සංඛ්‍යාවකගේ සංකලනයකින් සිදු කිරීම යන සංකල්පය අප විසින් පසුගිය කාලය තුළ MMP-LK ලෙස ඉදිරිපත් කෙරුණු හා සාකච්ඡාවට භාජනය වෙමින් තිබුණකි. මා මීට කලින්ද පෙන්වා දුන් පරිද්දෙන් MMP ක‍්‍රමය තුළ උද්ගත විය හැකි එල්ලෙන ආසන තත්ත්වය සංවාදය ආරම්භ කළ මුල් අවධියේ දී දේශපාලකයන් තුළ මෙන්ම නිලධාරීන් තුළ ද දැඩි අකැමැත්තක් ඇති කළ කරුණක් විය. එහෙත්, ක‍්‍රම ක‍්‍රමයෙන් යම් යම් සංශෝධන තුළින් MMP ක‍්‍රමය වඩා පිළිගන්නාසුලූ එකක් බවට පත්වෙමින් තිබේ.

පාර්ලිමේන්තුවේ දිස්ත‍්‍රික් ආසන 196 තමන් ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව මත, වර්තමානයේ පරිදිම, එක් එක් පක්ෂය අතර බෙදීයෑම සිදුවන හෙයින් සහ ඒ අනුව මැතිවරණ කොට්ඨාස 160 ක් වැනි සංඛ්‍යාවකදී වැඩිම ඡන්ද ලබාගන්නා අපේක්ෂකයන් 160ක් වැනි සංඛ්‍යාවකට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණීමට වරම ලැබෙන හෙයින් දේශපාලන පක්ෂවලට MMP ක‍්‍රමය විශේෂයෙන් ආකර්ෂණීයය. එවිට, බෙදාදීමට ඉතිරිවන අමතර පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 85 කි. ඉතිරිවන ආසන සංඛ්‍යාව ලබාදීමේ වඩා නම්‍යශීලී ක‍්‍රමයක් නොමැති නම් මැතිවරණ දිස්ත‍්‍රික් 22 ටම අනුමත කරන ලද මන්ත‍්‍රීධුර ස්ථිර සංඛ්‍යාවක් ඇති ශ‍්‍රී ලංකාවට මෙම ක‍්‍රමය නොගැළපෙන බව සඳහන් කිරීම පමණක් සෑහේ. යෝජනා කර ඇති MMP විකරණය අනුව ආසන 85න් දළ වශයෙන් තුනෙන් එකක් හොඳම පරාජිතයන්ට ද තුනෙන් එකක් දිස්ත‍්‍රික්ක මට්ටමේ පක්ෂ ලැයිස්තුවෙන් යෝජනා කර ඇති පුද්ගලයන්ට ද තුනෙන් එකක් ජාතික මට්ටටම් පක්ෂ ලැයිස්තුවේ අඩංගු කර ඇති පුද්ගලයන්ට ද ලැබේ.

කෙටියෙන් කිවහොත්, මේ විකල්ප දෙකින් කවරක් තෝරාගත්ත ද පාර්ලිමේන්තුවේ යෝජිත මන්ත‍්‍රීධුර 255 න් 25% කට ආසන්න සංඛ්‍යාවක් පක්ෂ ලැයිස්තුවලින් තෝරාගත් පුද්ගලයන්ගෙන් සමන්විත වනු ඇත.

මේ තත්ත්වය දෙස අපට දෙආකාරයකින් බැලිය හැක. එකක් දේශපාලනඥයන්ගෙන් ලැයිස්තුව පිරී යනු ඇතැයි බියට පත්වීම ය. අනෙක, කේවල අපේක්ෂකයන් ලෙස නාමයෝජනා ලැබීමට ඉඩ නැති, කාන්තාවන් ඇතුළු වෙනත් කොටස්වලට නියෝජනය ලබාදීම තුළින් හා පක්ෂ ලැයිස්තුවේ සන්ධාන පුද්ගලයන් පිළිබඳව වඩා ක‍්‍රමානුකූල ලෙස ජනතාව අතරට තොරතුරු ලබාදීම තුළින් මැතිවරණ ක‍්‍රමය වඩා සාධාරණ හා පාරදෘශ්‍ය වූ ක‍්‍රමයක් බවට පත් කිරීමේ අද්වීතීය අවස්ථාවක් ලෙස දැකීමය.

පක්ෂ ලැයිස්තු වඩා සාධාරණ හා පාරදෘශ්‍ය ලෙස ක‍්‍රියාත්මක කරන්නේ කෙසේද?

අවම වශයෙන් පහත සඳහන් ක‍්‍රමවේද සලකා බැලිය යුතුව ඇත.
(අ) දිස්ත‍්‍රික් මට්ටටම් පක්ෂ ලැයිස්තුවලට කාන්තා නියෝජනය අනිවාර්ය වීම

මා කලින් පෙන්වා දුන් පරිදි, උපරිමයෙන් වාර්ගික හෝ ප‍්‍රජා හෝ වෙනත් කොටස්වලට නියෝජනය ලබාදීම පිණිස ජාතික ලැයිස්තුව යොදාගත යුතු බවට ව්‍යවස්ථාවේ 99(අ) වගන්තියෙහි දැක්වේ. ඉඳුරාම ප‍්‍රකාශවී නැතත්, නියෝජනයක් නැති කුල සහ අනෙකුත් කණ්ඩායම්වලට පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් ලබාදීමට ජාතික ලැයිස්තුව දැනටමත් භාවිතකර තිබේ. මැතිවරණ කොට්ඨාසය කුඩාකිරීම තුළ එක් එක් කුල නියෝජනය වීමට අවස්ථාව සැලසේ යන හෝ (නැතහොත් කුලභේදය දැන් දැන් අහෝසිවෙමින් පවතිතැ’යි අපේක්ෂාවෙන්) පාර්ලිමේන්තුව තුළ අඩුම නියෝජනයක් ඇති ප‍්‍රජාව, එනම් කාන්තාවන් පිළිබඳව අවධානය යොමුකිරීමට කාලය පැමිණ තිබේ. ඒ සඳහා පහත සඳහන් කරුණු 20 වන සංශෝධනයට ඇතුළත් කරන ලෙස අපි යෝජනා කරමු.
99 (4)වගන්තියට යෝජිත එකතුව: මෙසේ (අමතර පුද්ගලයන් ලෙස පක්ෂ ලැයිස්තුවෙන්) නම් කරනු ලබන පුද්ගලයන්ගෙන් සියයට 50 ක් කාන්තාවන් විය යුතුය.
99 (10) වගන්තියට යෝජිත එකතුව: (මන්ත‍්‍රී ධුර සඳහා) නම්කරනු ලබන පුද්ගලයන්ගෙන් සෑම දෙවැනි පුද්ගලයාම කාන්තාවක වියයුතුය.
99 (4) හා 99 (10) යන වගන්ති දෙකම අවශ්‍ය වන්නේ 99 (10) නව වගන්තිය ක‍්‍රියාත්මක කිරීමේදී ලැයිස්තුවට ප‍්‍රමාණවත් කාන්තාවන් සංඛ්‍යාවක් නැති වන තත්ත්වයක් වැළැක්වීම සඳහාය.

(ආ) දිස්ත‍්‍රික් මට්ටමින් මැතිවරණයට ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයන්ගේ ජීවදත්ත ප‍්‍රසිද්ධියේ දර්ශනය කිරීම.

ජාතික මට්ටමින් හෝ දිස්ත‍්‍රික් මට්ටමින් පක්ෂ ලැයිස්තු ඉදිරිපත් කිරීමේ දී ඒවායේ නම්කෙරෙන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ප‍්‍රසිද්ධියට පත්කිරීම වැදගත්ය. ඒ ඒ පක්ෂයෙන් නම්කෙරෙන එක් එක් අපේක්ෂකයා හෝ අපේක්ෂිකාවගේ විශේෂිත ගුණාංග සහ කාර්ය සාධනය හා ඒවායින් රටට හෝ දිස්ත‍්‍රික්කයට ලැබෙන ප‍්‍රතිලාභ පිළිබඳ පැහැදිලි කිරීමක් වචන 500 ක පමණ ජීවදත්ත සටහනක් හරහා සිදුකළ හැක. මෙම ජීවදත්ත භාෂා තුනෙන්ම, (1) මැතිවරණ කොමසාරිස්වරයාගේ වෙබ් අඩවිය තුළින්, (2) සියලූ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ මැතිවරණ ලේකම් කාර්යාලයේ ශාඛා කාර්යාල තුළ කැපීපෙනෙන ලෙස ප‍්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍යය. දිස්ත‍්‍රික් මට්ටමේ පක්ෂ ලැයිස්තු නාම යෝජනා අදාළ එක් එක් ඡුන්ද මධ්‍යස්ථාන තුළ ද ප‍්‍රදර්ශනය විය යුතුය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;