මහින්ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සතුරෙක්

මහාචාර්ය සරත් විජේසූරිය

මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා රටට දුන් පොරොන්දුවක්, අගය කළ හැකි මට්ටමින් ඉටු කිරීමට සමත් වීම රටවැසියන්ගේ භාග්‍යයකි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්දයෙන් අනුමත වූ දිනය ඉතිහාසයට එක් වන්නේ මෛතී‍්‍රපාල සිරිසේන නම් වූ කෘතහස්ත දේශපාලනඥයාගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙමිනි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුමත වන්නේ සත්‍ය වශයෙන්ම අපමණ බාධා මැද, ජනාධිපතිතුමාගේ පරමාදර්ශී කැපවීම නිසා බව නොවළහා කිව යුතුය. දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමට මහජන නියෝජිතයන් සහාය පළ නොකරන්නේ නම් ජනාධිපතිවරයාට නිහඬ වීමට තිබුණි. එනමුත් පාර්ලිමේන්තු නියෝජිතයන්ට ආයාචනා කරමින් තමන් සතු බලය අත් හැරීමට කැපවීමෙන් යුතුව පියවර ගැනීම ඇදහිය නොහැකි කාරණයකි. අසීමිත බලයක් පරිහරණය කිරීමට වරම් ලද නායකයකු සිය බලය අත් හැරීමට සූදානම් වීම සුළු කොට තැකිය යුතු නොවේ. එ් පරමාදර්ශී ව්‍යායාමයට සන්ධානයේ මහජන නියෝජිතයන්ගෙන් ගෞරවනීය සහායක් ජනාධිපතිවරයාට ලබා නොදීම හා බල අරගලයක් ඇති කිරීම ද සුළු කොට තැකිය යුතු නොවේ.

සැබැවින්ම පසුගිය මාස තුනක කාලයක් තිස්සේ අප දුටුවේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිටු පා, නීතිය අවනීතිය බවට පත් කරගෙන අසීමිත බලයක් තමන් සන්තක කර ගත් සාහසික දේශපාලනඥයෙකු බල වියරුවෙන් දියත් කළ අරගලයකට මැදිව, මානව ධර්මතාවලට භක්තිමත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මවලට භක්තිමත්, ශිෂ්ටසම්පන්න දේශපාලනඥයෙකු රට වැසියන් වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් සිදු කළ අකම්පිත මෙහෙවරකි, කැපවුණ මෙහෙවරකි. එ් මෙහෙවර බැලූ බැල්මට නොපෙනේ. මට නම් එ් මෙහෙවර මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට සමත්වීම තරම්ම ප‍්‍රශස්තය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ මහා අපේක්ෂාවන් දල්වා ගැනීමට නොහැකි නමුත් බල උමතුවක් මෙල්ල කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතක් හෙළිපෙහෙලි වීම අගනේය.

රාජපක්ෂ පාලනය අහෝසි කිරීමට සෝභිත හිමියන් ප‍්‍රමුඛව සිවිල් සංවිධාන පෙරමුණ ගෙන සිදු කළ කාර්යභාරයට නොදෙවෙනි කාර්යභාරයක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ගැනීමට ද දියත් කෙරිණි. දේශපාලන ප‍්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුව තුළ වැදගත් අන්දමින් සිදුවේයැයි විශ්වාසයෙන් සිවිල් සමාජය නිහඬ වී නම් කුමන්ත‍්‍රණකාරී බල අරගලය බලවත් වනු ඇත. සිදු වූ සියල්ල ඔස්සේ අප ගැඹුරින් වටහා ගත යුතු කාරණාවක් තිබේ. එය නම් රාජ්‍ය බලය කෙලෙස හෝ තමන් සන්තක කර ගැනීමට මහින්ද රාජපක්ෂ දියත් කළ කුමන්ත‍්‍රණය මහජන බලය ඔස්සේ පරාජය වූ බවයි.

19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ මුල් අවස්ථාවේ සිට දක්නට ලැබුණ කාරණා කිහිපයක් සිහි පත් කිරීමට කැමැත්තෙමි. 1. දේශපාලන ප‍්‍රතිසංස්කරණයක් සිදු වුවහොත් රාජපක්ෂ පවුලට යළි රටේ බලය අහිමිවේය යන භීතිය මුල් කර ගනිමින් සන්ධානයේ මන්තී‍්‍ර කණ්ඩායමක් ගොනු කරගෙන මහින්ද රාජපක්ෂ ගරිල්ලා සටන් දියත් කිරීම. 2. දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඔස්සේ රනිල් වික‍්‍රමසිංහ රටේ නායකයා බවට පත්වේය, එජාපය බලවත් වේය යන විමතිය ඔස්සේ දියත් වුණ බල අරගලය. 3. ඉතිහාසයේ පළමු වරට ව්‍යවස්ථා සංශෝධනයක් මුල් කරගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් බියකින් තොරව පරිහරණය කිරීමට, මහජන නියෝජිතයන්ට කවර සංදර්භයක සිට හෝ මැදිහත් වීමට හැකිවීම හා ශ්‍රේෂ්ඨාධිකරණයට ස්වාධීන තීන්දුවක් ඉදිරිපත් කිරීමට නිදහස උරුම වීම. 4. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මුල් කරගෙන ජන මාධ්‍යවලට විශේෂයෙන් පෞද්ගලික මාධ්‍යවලට අභිමත අන්දමට සංවාද මණ්ඩප ගොඩනැඟීමට ප‍්‍රථම වතාවට ලැබුණ අසීමිත නිදහස. 5. විධායක ජනාධිපති පදවියේ බලය වැඩි කර ගැනීමට දිගින් දිගටම නිවටයන් සේ ඉඩ දී ඡන්දය දුන් මහජන නියෝජිතයන්ගේ ඡුන්දයට වටිනාකමක් ලැබීම හා පාර්ලිමේන්තුව තුළ අගමැති බලවත් චරිතයක් වීම.

මේ කාරණා සමාජ සංවාදයකට ලක් කිරීම අවශ්‍ය වන්නේය. එ් මන්ද? රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය සාධනීය රාජ්‍ය යාන්ත‍්‍රණයක් නිර්මාණය කර ගැනීමට විවෘත වුණ ෙදාරටුව තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට සිවිල් සමාජයට ඉදිරියට විශාල වගකීමක් සහ වගවීමක් තිබෙන බැවිනි. අනවශ්‍ය අන්දමට දේශපාලනඥයන් කෙරේ විශ්වාසය තබා ගෙන සිටින්නට හැකි දේශපාලන සංස්කෘතියක් අපට සැබවින්ම නැත.

19 වැනි සංශෝධනය පරාජය වී නම් මහින්දගේ සටන තවදුරටත් ශක්තිමත් වන්නේය. සන්ධානයේ අනාථ පිරිස බලවත්ව නැඟී සිටින්නේය. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා අවමානයට ලක් කරන්නේ සංවිධානාත්මකවය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් 18 වැනි සංශෝධනය අහෝසි වන බැවින් නැවත වතාවක් මහින්ද රාජපක්ෂට විධායක ජනාධිපති පදවිය උරුම නොවන්නේය. එය රටේ වාසනාවකි.

ජනමත විචාරණයකට අදාළ නොවන සාධනීය ප‍්‍රතිසංස්කරණවලට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණ අවසරය ඔස්සේ 19 වැනි සංශෝධනය අනුමත වීමට ඉඩ නොදී විපක්ෂය හැකි තරම් බාධා කළ බව පැහැදිලි කරුණකි. කෙසේ වෙතත් මහජන නියෝජිතයන්ට ව්‍යවස්ථා සංශෝධනයක දී නිර්භයව මත පළ කිරීමට, සංශෝධන ඉදිරිපත් කිරීමට හැකිවීම අගනේය. එ් ප‍්‍රථම වරට මේ පාර්ලිමේන්තුව තුළ සන්ධානයේ මහජන නියෝජිතයන්ට විධායක හස්තයෙන් නිදහස්ව කටයුතු කිරීමට ලැබුණ එකම අවස්ථාව වේ. එ් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය තහවුරු වීමකි. අභාග්‍යය වන්නේ එ් අයිතිය මීට පෙර නොතිබුණ බව එය තමන්ට මහින්ද රාජපක්ෂ අහිමි කොට තිබුණ බව බොහෝ දෙනෙකු අවබෝධ කර නොගෙන හැසිරීමය.

18 වැනි සංශෝධනය කවරාකාර එකක්දැයි නොදැන නිවටයන් සේ ඡුන්දය පළකළ සන්ධානයේ මහජන නියෝජිතයන්, 19 වැනි සංශෝධනය අරභයා කෙසේ පලන තර්ක ගෙනහැර දක්වමින් ආවේගකාරීව හැසිරීම දකින විට සිනා රසයකි මතු වුණේ. අතීතයේ වහලෙකු නිදහස ලත් අසීමිත සතුට දරා ගත නොහැකිව, අදහාගත නොහැකිව, මුර පල්ලෙකු පරිහරණය කළ අවියක් අසුලා ගෙන එ් අවියෙන් තම ප‍්‍රාණය නසා ගත් කතාවය අපට සිහි වුණේ….!

මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු කිහිප දෙනෙකු 19 වැනි සංශෝධනයට විරුද්ධව කතා කරමින් පවසා සිටියේ මේ සංශෝධනයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොවන බවයි. එ් ප‍්‍රකාශය ද හාස්‍යජනකය. රටම අවබෝධ කර ගත් කාරණාවකි 19 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොවන්නේය යන්න. එහි බලතල අඩුවීම හා වෙනත් සාධනීය ප‍්‍රතිසංස්කරණ පමණක් සිදු වන්නේය යන්න. එ් සාධනීය ප‍්‍රතිසංස්කරණ ගැන කිසිවක් කතා නොකිරීම නීතිය පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරයා මහින්දකරණය වීමේ ඛේදය විදහා දැක්වූයේ සැබවින්ම කම්පාවක් අප තුළ ඇති කරමිනි.

19 සඳහා ඡුන්දය විමසීමට නියමිත දිනය වූ අප‍්‍රියෙල් 28 දින සන්ධානය ඉතා අයුතු බලපෑමක් කරමින් ඡුන්දය නොදී සිටීමට දරුණු තුරුම්පුවක් ගෙන ආවේය. එහිදී ඔවුන් මෙල්ල කර ගැනීමට නම්‍යශීලී තැනකට ආණ්ඩුව යොමුවීම හේතුවෙන් දත්මිටිකාගෙන සියල්ලන්ටම ඡුන්දය දෙන්නට සිදු විය. සැබවින්ම විපක්ෂය විරුද්ධ වී දියාරු කළේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද අනුමැතිය ලත් වැදගත්ම ප‍්‍රතිසංස්කරණයකටය. ස්වාධීන කොමිෂන් සභා මොන අන්දමකින්වත් දේශපාලනිකකරණය නොවීම සඳහා තිබුණ වැදගත් අවකාශයක් මෙහිදී විපක්ෂය මෙහිදී දුර්වල කර ඇත. එ් කුමක් ද?

අපේ රට පාලනය උදෙසා, යහ පාලනය උදෙසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වීම උදෙසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ඉහළම මට්ටමකින් පත් කර ගැනීමට තිබුණ අවකාශය විශිෂ්ටය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව

රටේ යහපාලනයට ඉතා වැදගත්ම ප‍්‍රතිසංස්කරණයේ ද්වාරය විවෘත වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව තුළිනි. එහි සභාපති වන්නේ කථානායකවරයාය. ඊට අමතරව අග‍්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා, ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්, අග‍්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකයා යන දෙදෙනාගේම නාම යෝජනා මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන තැනැත්තන් පස් දෙනෙක් ඇතුළත් වන්නෝය. තවද, අග‍්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ නොවන පාර්ලිමේන්තුවේ නියෝජනය ඇති අනෙකුත් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයන්ගේ බහුතරයේ එකඟත්වය මත නාම යෝජනා කොට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන එක් තැනැත්තෙක් ඇතුළත් වන්නේය.
මේ සංයුතිය විශිෂ්ටය. පාර්ලිමේන්තුවට වගකියන සහ රටට වගකියන ස්වරූපයක් මෙහි පවතින්නේය.

ස්වාධීන පුද්ගලයන් පස්දෙනා

අග‍්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායක විසින් වෘත්තීය සහ සමාජීය විවිධත්වය ඇතුළුව ශී‍්‍ර ලාංකීය සමාජයේ බහුවාර්ගික ලක්ෂණය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවෙන් පිළිබිඹුවන බව සහතික වීම පිණිස, පාර්ලිමේන්තුවේ නියෝජනය වන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයන් විමසිය යුත්තේය. තවද, මේ පස්දෙනා විශිෂ්ටත්වයෙන් හා අවංකභාවයෙන් යුත්, පොදු වෘත්තීය ජීවිතයේ දී කීර්තිය ලත්, කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන තැනැත්තෝ විය යුත්තාහ.

මේ වූ කලි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ ස්වාධීනත්වයට හා ප‍්‍රමිතියට වැදගත් තත්ත්වයකි. මේ පස්දෙනා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් විය යුතුය යන සංශෝධනය විපක්ෂය ඉදිරිපත්කර සිටියේ, සභාව පාර්ලිමේන්තුවට වගකිව යුතුය යන කුතර්කය ගෙනහැර දක්වමිනි. මේ පස්දෙනා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වූ විට සිදු වන්නේ සභාව දේශපාලනිකකරණය වීමයි. එය සිදු වන අන්දම පිළිබඳ අපට පූර්වාදර්ශයන් තිබේ. අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක නෙරපා හැරීම සඳහා ෙදා්ෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේ එ් නෛතික කාර්ය සඳහා පත් කළ උදවිය කව්රුන්දැයි මෙහි සඳහන් කළ යුතු නොවේ. ව්‍යවස්ථාවේ විදිහට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පත්කළේ යයි තර්ක කළ හැකිය. එනමුත් එ් තත්ත්වය ඛේදයකි. එ් පත්වීම් සිදු කළේ දුෂ්ඨ අරමුණක් මුදුන් පත් කර ගැනීමටයි. එය මැනැවින් මුදුන් පත් කර ගන්නට හැකි විය. දුර්දාන්ත පාලකයෙකුට නීතිය සැහැසි අවියක් වන අන්දම මෙයින් ම විශද වේ.

ශිරානි බණ්ඩාරනායකට එරෙහි සාපරාධී ෙදාෂාභියෝගයට අදාළ කමිටුවේ සභාපති ධුරය දැරූ අනුර ප‍්‍රියදර්ශන යාපා, 19 වැනි සංශෝධනය සම්බන්ධව තමන් විරුද්ධ වන්නේ මන් ද යන්න පවසමින් කියා සිටියේ හදිසි ලියැවිල්ලකට අත්සන් කිරීමට මහජන නියෝජිතයන් සූදානම් නැති බවයි. ශිරානි බණ්ඩාරනායකට අදාළ දැවැන්ත හා සාපරාධී මහා කමිටු වාර්තාව රැුයකින් හදිසියෙන් ලියවුණ අන්දම අනුර යාපා මන්තී‍්‍රතුමාට අමතකවීම ඛේදයකි.

19 වැනි සංශෝධනයට සිවිල් සමාජය ඇතුළු ආගමික නායකයන් බහුතරයක් පාරට බැස යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් හඬ නඟන විට සිවිල් සමාජයේ සුළු පිරිසක් ද, සංඝයා වහන්සේලා කිහිප නමක් ද හසරක් නොදැන ජාතිවාදී අදහස් පතුරුවමින් හැසිරුණ අන්දම සංවේගජනකය. එක් තරුණ භික්ෂූන් වහන්සේ නමක් වූ මැදගොඩ අභයතිස්ස හිමියන් පවසා සිටියේ, 19 වැනි සංශෝධනයෙන් සිංහලයාගේ මරණ වරෙන්තුව නිකුත් වන බවයි. බෞද්ධ භික්ෂුවක මේසා දරුණු සාපරාධී කතාවක් පවසන්නේ කෙසේ ද?

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවක්, ජාතික පොලිස් කොමිෂන් සභාවක්, විගණන කොමිෂන් සභාවක්, මානව හිමිකම් කොමිෂන් සභාවක්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවක්, මුදල් කොමිෂන් සභාවක්, ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවක් යනාදියෙන් සිංහලයාගේ මරණ වරෙන්තුව නිකුත් වන්නේ කෙසේද? එක් පුද්ගලයෙකුට මියෙන තුරා රට පාලනය කිරීමට බලයක්, අධිකරණය ඔහු යටතට ගැනීමට බලයක් නැති, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වූ රටක් තුළ සිංහලයෙකුට මරණ වරෙන්තුව නිකුත් වන්නේ කෙසේ ද? අන්ධ භක්තියකින් ජාතිවාදය පැතිරවීම ශිෂ්ටත්වයට පටහැනිය. මනුෂ්‍යත්වයට පටහැනිය.

ජාතිවාදයට විරුද්ධව අවදි විය යුත්තේ, ජනවිඥානය පෝෂණය කළ යුත්තේ සැබවින්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලාය. අවාසනාව බෞද්ධ දර්ශනයට වඩා මහින්ද චින්තනයට බුහුමන් දක්වන බොහෝ භික්ෂූන් වහන්සේලා තවමත් නිර්වින්දනය වී සිටීමයි.
19 හා සම්බන්ධව විරුද්ධ අදහස් පළ කිරීමට මහජන නියෝජිතයන්ට පමණක් නොව සමාජයේ විවිධ කොටස්වලට නිදහසත් තිබීමත්, මාධ්‍යවල සහාය ලැබීමත් උරුම වූයේ ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂගේ පාලනය අවසන් කළ නිසා බව කව්රුත් නිහතමානීව පිළිගත යුතුය. සිවිල් සමාජය සහ සංඝරත්නය රජයට විරුද්ධව හඬ නඟන විට මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනුවට මහින්ද රාජපක්ෂ ජනාධිපති පදවියේ සිටියේ නම් සියලූ හඬවල් තලනු නියතය. සියලූ සිරුරුවලින් ලේ ගලනු නියතය. පෞද්ගලික මාධ්‍ය ආයතන ද උදාසීනව කටයුතු කරනු නියතය.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ රටට, රටේ පුරවැසියන්ට ජීවත්වීමේ නිදහස අද උරුම කර ඇත. අදහස් පළ කිරීමේ නිදහස අද උරුම කර ඇත. දැනඋගත් උදවිය නිදහසට එරෙහි වන්නේ මන් ද? සාධාරණත්වයට එරෙහි වන්නේ මන් ද? නීතිගරුක විනයගරුක රටක ජීවත්වීමට එරෙහි වන්නේ මන් ද? කව්රුත් හෘදය සාක්ෂියට එකඟව තම තමන්ගෙන් මේ පැනයට පිළිතුරු ලබා ගත යුතුය. එමෙන්ම අප සියලූදෙනාම තව දුරටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කර ගැනීමට ඉදිරියට පියවර එසවිය යුතුය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;