රාවය

නේපාල ඛේදය හිගන්නාගේ පාත්තරේට වැටුණු හෙනහුරා

නේපාල ඛේදය හිගන්නාගේ පාත්තරේට වැටුණු හෙනහුරා

පසුගිය 25 වන සෙනසුරාදා නේපාලයේ සිදු වූ භූමි කම්පාවෙන් වූ මරණ සංඛ්‍යාවේ ‘මීටරය’ කරකැවෙන්නේ ඉතා වේගයෙනි. අවසානයේ එය කෙතරම් අගයක නවතීදැයි අවිනිශ්චිත බව නේපාල බලධාරීන් ප‍්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කළේ ය. මෙයට හේතු කිහිපයකි.

ඉන් එකක් නම් මෙවැනි අවස්ථාවක අනතුරට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමේ ඇති අපහසුවයි. මේ සමග සැසඳීමේ දී ක්‍ෂුද්‍ර මාත‍්‍ර ලෙස ගිනිය හැකි මීට මාස කිහිපයකට පෙර අප රටේ මීරියබැද්දේ සිදුවූ පස් කඳු කඩා වැටීමේ දී පවා මෙය අත්දුටුවක් විය.

දෙවන කාරණය ඊට වඩා බරපතළ එකකි. භූමිකම්පා ප‍්‍රදේශයට කත්මණ්ඩු අගනුවර ද ඇතුළත් නිසා මෙහි ජන ඝනත්වය අධික වීම ඊට හේතුවයි. ඒ නිසා සුන්බුන්වලට හිරවූ සහ යට වූ සජීවි සහ අජීවී සිරුරු සංඛ්‍යාත්මක වශයෙන් ඉතා විශාල විය යුතු අතර සොයා ගැනෙන සංඛ්‍යාව අනතුරට පත් සම්පූර්ණ සංඛ්‍යාව ම නොවිය හැකි ය.
මෙහි තුන්වන කාරණයක් ද ඇත. මේ නාගරික පෙදෙසේ ජනලේඛනවලට ඇතුළත් නොවූ විශාල මිනිසුන් සංඛ්‍යාවක් සිටින්නට ඇති බව ය ඒ. මන්දයත් චීනයෙන් විශේෂයෙන් ම තිබ්බතයෙන් සංක‍්‍රමණය වූ ලක්ෂ දෙකක තුනක පමණ පිරිසක් මේ ප‍්‍රදේශයේ සිටින්නට ඇති හෙයිනි. මේ බව රජය ද දැන සිට ඇති නමුත් ඔවුන්ට එරෙහි පියවර ගෙන නොමැති අතර ඊට හේතුව අවිනිශ්චිත ය. මේ නිසා මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවන්නට ඉඩ ඇතැ’යි මතයක් පවතී. 1934 සිදුවූ රිච්ටර් මාපකයේ 8.4 සටහන් කළ මහා භූමි කම්පාවෙන් නේපාල වැසියෝ 8,500 පමණ මරු දුටහ. වැනසුණු ගොඩනැගිලි සංඛ්‍යාව 80,000 ඉක්මැවී ය. මේ වතාවේ අනතුරට පත් මුළු සංඛ්‍යාව මිලියන අටක් පමණ වෙතැයි සැලකේ. ඉන් 140,000 පමණ ළමයි ය.

සෑම අතින්ම ගොඩබිමින් වටවූ නේපාලයේ මායිම් රාජ්‍යයන් වනුයේ ඉන්දියාව හා චීනයයි. මුහුදු මට්ටමේ සිට මීටර් 1,400ක් පමණ ඉහළ පිහිටා ඇති නේපාලයේ අනෙක් පස මායිම වනුයේ හිමාලයයි. වෙනත් ආකාරයකින් කිවහොත් එරට පිහිටා ඇත්තේ එවරස්ට් ද ඇතුළු ලොව උස ම කඳු දහයෙන් අටක පාමුල ය. ඒ නිසා මේ භූමි කම්පාව ඇතැම් තැනක හැඳින්වෙන්නේ ‘හිමාල භූමිකම්පාව’ ලෙසිනි. මේ අනුව හිමාලයට පිවිසුම් මං සියල්ල පිහිටා ඇත්තේ නේපාලයේ වන නිසා බොහෝ සංචාරකයෝ ඒ වෙත ඇදී එති. සිද්ධිය වන අවස්ථාවේ එබඳු සංචාරකයන් 20,000ක් පමණ සිටින්නට ඇති බව හිමාලයන් ටයිම්ස් වාර්තා කරයි. අප අයත් සාක් සංවිධානයේ සාමාජික නේපාලයේ ආර්ථිකය දිළිඳු වන අතර එරට සිටින්නේ ‘පහත් ආර්ථික දර්ශකය’ අනුව ලොව රටවල් 187න් 143 වන ස්ථානයේ ය. නේපාලය ජාතික ආදායමෙන් අඩක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් උපයා ගනු ලබන්නේ සේවා සැපයීමෙනි. මේ සේවා යනු ඉහත සඳහන් සංචාරකයන්ට සැපයෙන විවිධාකාර සේවා ය.
මේ වෙත එන කඳු නගින්නන් සියල්ලන්ගේම අභිප‍්‍රාය එහි මුදුන තරණය නොවේ. හැකිතාක් දුර නැගීම ය. එය දිවා ? වෙනසක් නොමැතිව සැමදා සිදුවන්නකි. පසුගිය 25දා එලෙස එවරස්ට් නගිමින් සිටි පුද්ගලයන් අනතුරට පත්වූ අතර ප‍්‍රකට පුද්ගලයන් කිහිප දෙනෙකු ද මරු දුටු බව වාර්තා වේ. ඨදදටකැ ෑ්රඑය වැනි වැඩසටහනක් සඳහා හිමාලයේ සිතුවම් සකස් කිරීමේ ව්‍යපෘතියක නිරත ව සිටි ගූග්ල් සමාගමේ විධායක ඩෑන් ෆ්‍රෙඞ්න්බර්ග් ද ඒ අතර වෙයි. ඔවුන් හසුවූයේ හිමාල කඳු සැලී ඇද හැලූණු මහා ගිරි හිමපතනයකට ය. මළ සිරුරු 34ක් හමු වූ බව වාර්තා වන අතර තවත් කොපමණක් හිම යට ඇත්දැයි දැකගත හැකිවනු ඇත්තේ ඔවුන් යට කරගෙන සිටින හිම තට්ටුව දිය වී ගිය පසුව ය. හිමාලයන් ටයිම්ස්ට අනුව එම සංඛ්‍යාව සිය ගණනක් වනු ඇත. 200 පමණ දෙනා මේ වනවිට මුදා ගෙන ඇති බව බීබීසී වාර්තාවක දැක්වේ.
ගිරි හිමපතනය උතුරු ඉන්දියාවේ කල්කටා සහ ඇසෑම් ඇතුළු තවත් නගර ගම්දනව් රැුසකට ද බලපා ඇත.

නේපාලයට දිගු ඉතිහාසයක් ඇත. බුදුන් උපන් ලූම්බිණි සල් උයන පිහිටා තිබුණේ ඒ රටේ දේශ සීමාව තුළයැ’යි විශ්වාසයක් පවතී. එරට විස්මයජනක ලෙස අලංකෘත අතීත සංස්කෘතික ස්මාරක පිහිටා තිබේ. ව්‍යසනයට යටවූ වපසරියේ ලෝක උරුම හතක් පිහිටා තිබුණු අතර ඉන් හතරක්් ම මේ නිසා වැනසී ගොස් ඇතැ’යි යුනෙස්කෝ වාර්තාවක දැක්වේ. එනයින් මේ සංසිද්ධිය මුළු ලොවට ම බලපාන්නකි.

භූමි කම්පා වළක්වාලනු සමතුන් ලොව නැත. එහෙත් එවැන්නක බලපෑමෙන් වන හානි පෙර සූදානම් වීමෙන් වළක්වා ගත හැකි ය. ඒ, ඒවා ගැන දැන් කල්තියා අනාවැකි පළ කළ හැකි හෙයිනි. එසේ කළ හැක්කේ පෘථිවිය අභ්‍යන්තරයේ භූ ස්ථරවල චලනය අධ්‍යයනය කරමින් සිටින හෙයිනි. හිමාල පෙදෙස යටින් දිවෙන භූ ස්ථර දෙකක් ඇති බවත් ඒවා වසරකට අ`ගල් 1.8 ප‍්‍රමාණයෙන් ළංවෙමින් සිටින බවත් විද්‍යාඥයෝ දනිති. ඒවා ගැටුණු විට පෘථිවි කබොල්ලේ පිපිරීමක් ඇතිවෙයි. හරියට කොන්සර්ටිකා නම් වාද්‍ය භාණ්ඩය (හාර්මෝනියමක් වැනි එකකි* වැයීමේ දී යටින් එය ළං කෙරෙනවිට උඩින් දුරස් වන්නාක් වැනි ව ය.

භූමිකම්පා යනු ඇත්තට ම එකක් පසුපස එකක් එන සිද්ධිදාමයකි. ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව එදින විශ්ව සම්මත වේලාවෙන් 6.11ට සහ 6.45ට (නේපාල වේලාවෙන් 11.56ට සහ 12.30ට) වශයෙන් භූමිකම්පා දෙකක් සිදුව ඇත. පළමුවන භූමි කම්පාව රිච්ටර් මාපකයේ 7.8 සටහන් කළේ ය. එය, මුහුදු පත්ලේ සිදුවිණි නම් සුනාමියක් ඇති කරන්නට තරම් ප‍්‍රබල ය. දෙවැන්න 6.6ක අඩු අගයක් ගත් එකකි. ඊට පසු දින එම කලාපයේ ම 6.7ක ප‍්‍රබලත්වයෙන් යුත් තවත් කම්පාවක් සිදු වූ බව ද වාර්තා වේ.

මෙයින් වඩාත් සාකච්ඡුාවට ගැනෙන්නේ ඒකක 7.8 වූ පළමුවන භූමිකම්පාව ගැන ය. එක්සත් ජනපද භූවිද්‍යා සමීක්‍ෂණ ආයතනයට අනුව එය IX තීව‍්‍රතාවේ එකකි. එම ආයතනය භූ කම්පාවල තීව‍්‍රතාව I සිට X දක්වා රෝම ඉලක්කම්වලින් සඳහන් කරයි. IX යනු ප‍්‍රචණ්ඩ වන අතර X යනු ඉතා විනාශකාරී ය.
තවත් භූමිකම්පා ගැන කටකතා පැතිර යතත් නේපාල රජය එය ප‍්‍රතික්‍ෂෙප කරන බව එහි සිටින එක්සත් ජාතීන්ගේ මානව සබඳතා සම්බන්ධීකරණ කාර්යාලය (UNOCHA)  27 දින නිකුත් කළ සිය වාර්තාවේ සඳහන් කරයි
ඉදිරියේ දී සිදුවිය හැකි හිමාල භූමිකම්පාවක් ගැන පුරෝකථනයක් 2013 මැයි 21දා නිකුත් වූ UNOCHA පුවත් හසුනේ දැක්වේ. එයට අනුව එම වසරේ අපේ‍්‍රල් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව සබඳතා සංවිධානයේ නිලධාරීන් සහ කත්මණ්ඩු බලධාරීන් සහභාගි වූ සම්මන්ත‍්‍රණයක් පැවැත් වී ඇත. ඉදිරියේ දී සිදුවිය හැකි භූමිකම්පා අනතුරු ඔවුන්ගේ විෂය වී ඇති අතර ඉදිරියේ දී ගතයුතු කි‍්‍රයාමාර්ග ගැන ද සාකච්ඡුා පවත්වා ඇත.

ඒ ලිපියේ මාතෘකාව ‘නේපාලය : කත්මණ්ඩු නිම්නයේ භූමිකම්පාවට සූදානම්වෙමින්’ යනුයි. ඒ අනුව කත්මණ්ඩු පාලනය මෙවැන්නක් සිදුවනු ඇතැ’යි දැන සිට ඇති නමුත් දිනය නිශ්චිතව දැන සිට නැත. විද්‍යාඥයන් පවසා ඇත්තේ එය මේ සියවස තුළ කවදා හෝ සිදුවිය හැකි බව ය.
වර්තමාන තත්ත්වය 1934 සමග එහිදී සසඳන ලදුව පෙන්වා දී ඇත්තේ මේ වනවිට කත්මණ්ඩු නුවර පමණක් ජනගහනය මිලියන 2.5 ඉක්මවන බව ය. එසේම ගොඩනැගිලි සංඛ්‍යාව ද ලක්ෂ තුනක් පමණ වේ. හිමාලය ආශි‍්‍රතව මහා පරිමාණ භූමිකම්පාවක් සිදුවිය හැකි බවත් කත්මණ්ඩු එහි බලපෑමට හසු වුවහොත් එහි පමණක් 100,000 දෙනා මරණයට පත් වී තවත් 300,000ක් පමණ තුවාල ලබා මිලියන 1.8ක් අවතැන් වනු ඇති බවත් පවත්නා ගොඩනැගිලිවලින් 60%ක් පමණ විනාශ වී යාහැකි බවත් ඔවුන් විසින් පෙන්වා දෙන ලදි.

ඉහත තක්සේරු කිරීම් වර්තමාන තත්ත්වය සමග 60%ක් පමණ සැසඳෙන බව පෙනේ. තථ්‍ය ප‍්‍රමාණය ඇතැම් ඒවා ඉක්මවා යයි.
මේ භූමිකම්පාවේ අප කේන්ද්‍රය(epicentre) , එනම් අභ්‍යන්තර පිපිරුම විදාරණය වන පොළොව මත ස්ථානය පිහිටා ඇත්තේ කත්මණ්ඩු අගනුවර සිට කි.මී. 80ක් දුරින් වයඹ දෙසට වන්නට ය. භූ ස්ථර දෙක ගැටී ඇත්තේ පොළව මතුපිට සිට කිමී 15ක් තරම් ගැඹුරේ බව වාර්තාවල දැක්වේ. බලපෑම දැනී ඇති දුර පිළිබඳ ව ඉන්දියාවේ කර්ණාටක ප‍්‍රාන්තයේ පවා ගොඩනැගිලි පුපුරා යාමෙන් සිතා ගත හැකි ය. මෙය නිසා ඉන්දියාවේ 72ක් සහ චීනයේ 25ක් මිනිසුන් මරණයට පත් වූ බව වාර්තා වේ.
මෙතරම් බලපෑමක් ඇති කළ පිපිරුම හිමාලය කඳුවැටිය කෙරේ කරන්නට ඇති බලපෑම අතිවිශාල වනු ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි. මේ නිසා එහි කඳු උසින් අඩුවන්නට පවා ඉඩ තිබේයැ’යි ඔවුහු පවසති. ගිරි හිමපතන ඉදිරියටත් සිදුවිය හැකි බව එක්සත් ජාතීන්ට සම්බන්ධ විද්‍යාඥයන් විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. ඒ සමග ම කඳු කඩා වැටීම් සහ නාය යාම් ද අපේක්‍ෂා කළ යුතු ය. මේ ප‍්‍රදේශය හරහා වේගයෙන් ගලා බසින විසල් ධාරිතාවකින් යුත් ගංගාවලට විශාල පස්කඳු සහ ගල් කඩා වැටෙන්නට ඉඩ ඇති බවත් එයින් නේපාලයටත් වඩා ඉන්දියාවට බලපෑම් ඇතිවිය හැකි බවත් පෙන්වා දෙනු ලැබ තිබේ.
ලොව ඕනෑම තැනක ව්‍යසනයක් සිදුවූ විට සහන කණ්ඩායම් මුහුණපාන තත්ත්ව මෙහි දී ද උද්ගත වී තිබේ. උන්හිටි තැන් අහිමි වන මිනිසුන්ට පිළිසරණ වීම අසීරු කරුණක් වනු ඇත. තවත් අසීරු කටයුත්තක් නම් සුන්බුන් අතර සිරවී තවමත් පණපිටින් සිටිනා පුද්ගලයන් සොයා කෙරෙන මෙහෙයුමයි. මේ සඳහා පුහුණු කළ සුනඛයන් විශාල සංඛ්‍යාවක් මෙහි දී යොදා ගෙන තිබේ.

මෙබඳු අවස්ථාවල ජලය මගින් බෝවෙන රෝගවලින් මිනිසුන් බේරා ගැනීම ඉතාම අසීරු ය. වඩාත් ම විපතට මුහුණ පාන්නේ ළදරුවන් සහ වෘද්ධයන් ය. ගැබිනි මවුන්ට ද මුහුණ දෙන්නට සිදුවනු ඇත්තේ ඉතා අසීරු තත්ත්වවලට ය. විශේෂයෙන් ම ඖෂධ පිළිබඳ ප‍්‍රශ්නය මෙහි දී ඉස්මතු වේ. ඒවා නිෂ්පාදනය කරන්නේ ඒ ඒ රටවල සාමාන්‍ය බර අනුපාතයට බැවින් උසින් සහ බරින් වැඩි ජනතාවක් වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙන ඔසු වෙනත් රටක ජනතාවට නියම කළ නොහැකි වන අවස්ථා තිබේ.