සෝභන නගර, වයස්ගත සමාජ හා බුද්ධි අහේනිය


kusal

 

මීට දෙවසරකට පමණ පෙර වැඩිහිටි සෞඛ්‍යය සම්බන්ධ යෙන් හවුලේ සංස්කරණය කළ වෙළුම් දෙකක් මහාචාර්ය කොල්වින් ගුණරත්න විසින් මා වෙත ලබා දුන්නේය. එහි වූ අලූත් දැනුම හා තොරතුරු සමූහය අතර ශී‍්‍ර ලංකාවේ ජනගහන සංයුතිය සැලකිය යුතු වෙනසකට ශීඝ‍්‍රයෙන් ගමන් ගන්නේයැ’යි දත්ත හා විස්තර ඉදිරිපත් කර තිබිණ. 1930 පමණ උත්පත්තියේදී අපේක්ෂිත ආයු කාලය අවුරුදු 45 ක් වූවත් 1990 වන විට එය අවුරුදු 72ක් යැ’යි එහි සටහන් විය. ඊළඟට එහි කියා තිබුණේ වසර 2000 දී ශී‍්‍ර ලංකාවේ ජනගහනයෙන් සියයට 9.2ක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වූ අතර, මේ ප‍්‍රතිශතය ශීඝ‍්‍රයෙන් වැඩි වන බවය. ඒ අනුව ප‍්‍රක්ෂේපණයක් කරන්නේ නම් 2015 දී ජනගහනයෙන් සියයට 17.8ක් වයස අවුරුදු 60 ට වැඩි පිරිසකි. තවත් අවුරුදු 35කින් එය සියයට 28.5 දක්වා වැඩි විය යුතුය. ඉන් කියැවෙන්නේ අපේ රටේ විශ‍්‍රාමික ජනගහනය ශීඝ‍්‍රයෙන් වැඩි වන අතර, සමාජය නඩත්තු කිරීමේ පලදායී ශ‍්‍රමික ජනගහනය එවැනිම වේගයකින් අඩුවන බවය.

ඒ එක කතාවකි. මේ තවෙකකි. මෙය මා ඇසුයේ මීට වසර 5කට පමණ පෙර, ලින්ක් නැචුරල් සමාගමේ අධිපති ආචාර්ය දේවපි‍්‍රය නුගවෙල මහතා සිය සමාගමේ නව නිෂ්පාදනයක් වෙළෙඳපලට හඳුන්වාදීමේ උත්සවයේදී කළ කතාවේදීය. ඔහු කියූ පරිදි දෙවන ලෝක යුද්ධයෙන් පසු සමාජයන්හි නවීන තාක්ෂණය හා විද්‍යාව විසින් මිනිසාගේ ආයු කාලය වසර 25 කින් 30 කින් පමණ දිග්ගස්සා ඇත. එහෙත් ඒ වැඩි වූ ආයු කාලය නිරෝගීව සිටීම අතිශය දුෂ්කර කාර්යකි. ඊට හේතු ලෙස ඔහු දැක්වූයේ වර්තමාන තරගකාරී ජීවන රටාවේ ඇති ආතතිය සහ ආහාර ගැනීමේ අපිළිවෙලය. එනිසා දැන් වයස අවුරුදු 35 – 40 වන විට අතිබහුතරයක් අධි රුධිර පීඩනය, දියවැඩියාව, අහිතකර කොලෙස්ටරෝල් වර්ධනය, හෘදයාබාධ පමණක් නොව පිළිකාවෙන් පවා පෙළෙන්නේයැ’යි ඔහු කීවේය. මේ වැඩි වූ ආයු කාලය ගෙවා ගැනීමට අපට වෛද්‍ය ප‍්‍රතිකාර හා ඖෂධවල පිහිට පැතීමට සිදුව ඇතැයි ඔහු අවධාරණය කළේය. ඒ වෙනුවෙන් මුළු සමාජය හවුලේ දරන්නාවූ වියදම කෙතරම් විශාලදැ’යි ගණන් බලා නැත.

මේ කාරණා සම්බන්ධයෙන් අපේ රටේ කිසිදු වැදගත් අවධානයක් නැත. එනිසාම සංවර්ධන සැලසුම් මගින් ජනගහන සංයුතියේ වෙනස්වීම රටට වාසි වන ලෙස කළමනාකරණය කර ගැනීමේදී නිරෝගී ජනගහනයක අවශ්‍යතාව ගැන අපට අදහසක් නැත. මහාචාර්ය ගුණරත්න හවුල් වී සංස්කරණය කළ වැඩිහිටි සෞඛ්‍යය පිළිබඳ වෙළුම් දෙකෙහි හැර වෙන කොතැනකවත් එවැනි අවධානයක් මට හමුවී නැත. එනිසා ජනගහනයෙන් සියයට 28කට වැඩි ප‍්‍රතිශතයක් 60 පැනපු අය වන විට, ඊට වයසින් බාල බහුතර ශ‍්‍රමිකයන් පිරිසක් පෙති ගිලින ලෙඩුන් වන රටක අනාගතය කුමක් විය හැකිද? ආචාර්ය නුගවෙල ඇන්දා වූ චිත‍්‍රය නගර ආශි‍්‍රත චිත‍්‍රයකි. සෞඛ්‍යය ගැන වැඩි උනන්දුවක් දක්වන්නේත් ඔහු කියු රෝග වැඩියෙන් වාර්තා වන්නේත් නාගරික සමාජයන්හිය. එවගේම ගමේ වැඩි ප‍්‍රතිශතයක් තවමත් නගරයේ මෙන් විශාල තරගයකට ගොඩ බැස නැත. ගැහැනු පිරිමි ඔවුන් යම් පමණකට ඇ`ග මහන්සි වී වැඩ කරන පිරිසකි. නගරයට ශාරීරික ව්‍යායාම අත්‍යවශ්‍යව ඇත්තේ ගමේ ඇති නිදහස නගරයට අහිමි වී ඇති නිසාවෙනි.

මේ දෙපළගෙන් උපුටා ගත් ඒ කතා එකම තැනකින් සාකච්ඡුාවට ගත යුතු දෙබෑ කතාවකි. ඒ ගැන නැවත අවධානය යොමු කිරීම මොහොතකට කල් තබා මානව ශිෂ්ටාචාරයෙහි නගර බිහිවීම ගැන කතාවට මම මෙතැන් සිට පිවිසෙමි.

මානව ශිෂ්ටාචාරයේ නගර යනු භෞතික ඉදිකිරීම් පමණක් නොවීය. ඈත අතීතයේ භෞතික නගර ඇතිවූයේ සංස්කෘතික ජීවිතයක් සහිත බුද්ධිමය සමාජ ඔසවා ගෙනය. තෙවන සියවසේ සිට ගොඩනැගුණු ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි‍්‍රයාව යෝධ පුස්තකාල සහිතව ගොඩනැගුණකි. ඇලෙක් සැන්ඩි‍්‍රයා මියුසියම්යැ’යි එහි වූ පුස්තකාල කේන්ද්‍රය රෝමන්වරුන් ඇලෙක් සැන්ඩි‍්‍රයාව යටත් කර ගන්නා තෙක් සියවස් 25ක් පමණ විද්‍යාව, කලාව හා දර්ශනය නිරන්තරව අලූත් වූ බුද්ධිමය ක්ෂේම භුමියක් විය. ඇලෙක්සැන්ඩි‍්‍රයා නගරය ඉදිවූයේද එවැනි බුද්ධිමය වර්ධනයක් හා සංස්කෘතික ජීවිතයක් සඳහා වූ සියලූ අවකාශයන් සමගය. එනිසා නැගෙනහිර යුරෝපයේ දාර්ශනිකයෝ එහි පැමිණියහ. ගී‍්‍රක ශිෂ්ටාචාරයේ ඇතැන්ස් නගරය අතිශය දැවැන්ත සංස්කෘතික, දාර්ශනික හා විද්‍යාත්මක ප‍්‍රබෝධයක් තිබූ නගරයකි. ජ්‍යාමිතික ලෝකයේ උත්පත්තිය ඇත්තේ ගී‍්‍රක ශිෂ්ටාචාරයෙහි ය. පෛතිගාරස් ඇතන්ස් නුවර ජ්‍යාමිතික සූත‍්‍රධරයෙකි. ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක‍්‍රටීස් ඇතැන්ස්හි බිහි වූ ප‍්‍රාඥයෝය. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සංකල්පගත කිරීම පමණක් නොව එය කි‍්‍රයාවට නැගීමත් ප‍්‍රථමයෙන් සිදු වූයේ ඇතැන්ස්හිය. ඔලිම්පික් කී‍්‍රඩා තරගය ඇතැන්ස් නගරයෙන් ආරම්භ වූවකි.

අතීතයේ බැග්ඩෑඞ් නගරය පොහොසත් වාණිජ නගරයක් වූවා සේම, සංස්කෘතික හා බුද්ධිමය වශයෙන්ද පොහොසත් නගරයක් විය. චීනය, ඉන්දියාව හා ආමේනියාව වැනි දුර ඈත රටවල් සමග කෙරුණු වෙළඳාමේ සංකීර්ණත්වය නිසාම, බැංකු ක‍්‍රමයක් ගොඩනැගුණු පළමු නගරයද බැග්ඩෑඩයයැ’යි පිළිගැනීමක් ඇත. ලොවට විවෘතවීම නිසාම අලූත් තාක්ෂණය හා ශිල්පීය කුසලතා වර්ධනයටත් බුද්ධිමය අභ්‍යාස සඳහාත් බැග්ඩෑඞ් නගරයේ යෝධ අවකාශ ඇති විය. එනිසාම බැග්ඩෑඩයේ ගෘහ නිර්මාණ ශිල්පය, වෛද්‍ය විද්‍යාව, තාරකා විද්‍යාව, සත්ව පාලනය, දාර්ශනික සංවාද දියුණු විය. ඒ වෙනුවෙන් අධ්‍යාපනික මධ්‍යස්ථාන බිහි විය. සයවන සියවස වනවිට විවිධ භාෂාවලින් වූ පොත් හා ලිපි ලේඛන අරාබි බසට පරිවර්තනය කිරීමත් බැග්ඩෑඞ් නගරයේ සිදුවිය. ගී‍්‍රක ශාස්තී‍්‍රය දැනුම අරාබි බසට පරිවර්තනය කිරීම විශේෂ විය. එවැනි පොත් සඳහා වෙළෙඳපල ඉල්ලූමක් එකල බැග්ඩෑඩයේ තිබුණේයැ’යිද සඳහන් වන්නේය. 8 වන සියවස වන විට ටයිගී‍්‍රස් නදියේ වූ පාවෙන පුස්තකාල සමග පුස්තකාල 800කට වැඩි සංඛ්‍යාවක් බැග්ඩෑඩයේ වූ බව වාර්තා වේ. 13 වන සියවසේදී මොංගෝලියානු ආක‍්‍රමණිකයන් බැග්ඩෑඩය අල්ලා ගත් පසු විනාශ කළ පුස්තකාලවලින් ආරක්ෂා කරගත හැකිවූ අත්පිටපත් සංඛ්‍යාව හාර ලක්ෂයක්යැ’යි වාර්තාවේ.

පැරිසිය බිහිවන්නේද ශාස්ත‍්‍රාලයීය අවකාශය සඳහා වූ අවධාරණයක් සමගින්ය. 11 වන සියවස වන විට පැරිසිය අධ්‍යාපනික නගරයක් බවට පත්ව තිබිණ. ඒ සියවස අවසන් වන විට නොත්‍රෙදාමය නන් දෙසින් දැනුම සොයා පැමිණියවුන්ගේ පාසලක් විය. පැරිසියේ පළමු විශ්වවිද්‍යාලය ආරම්භ වීමෙන් පසු සයින් නදියේ වම් ඉවුර විශාල වශයෙන් ශිෂ්‍යයන් සහ ගුරුවරුන්ගේ නේවාසික ප‍්‍රදේශයක් බවට පත් වන්නේ ය. සෝබෝන් විශ්වවිද්‍යාලය ලෙස වර්ධනය වූ අධ්‍යාපනිත ආයතනය ආරම්භ වන්නේ 1257 දී ය. 14 වන සියවස ආරම්භයේදී පැරිස් සංගීතඥයන්ගේ පළමු සංගමය බිහි විය. ඒ ආසන්නයේදීම නාට්‍ය කණ්ඩායම් දෙකක්ද පැරිසියේ බිහි විය. පැරිසිය සාහිත්‍ය කලා මධ්‍යස්ථානයක් බවට පත් වන්නේ එලෙසිනි. බල්සාක්, ඇලෙක්සන්ද්‍රෙ ඩූමා, වික්ට හියුගො, ගුස්තාවෙ ෆ්ලොබෙයා, සිමොන් දි බුවා, එමිලි සෝලා වැනි අතිශය ජනපි‍්‍රය වාගේම නව මං සෙවූ ප‍්‍රංශ ලේඛක ලේඛිකාවන් විශාල සංඛ්‍යාවක් පැරිසියෙන් බිහිවී ලෝක සාහිත්‍යයද පෝෂණය කළෝය. එවැනි නගර මංමාවත් හා ගොඩනැගිලි වැනි සාමාන්‍ය භෞතික ඉදිකිරීම්වලට අමතරව විශ්වවිද්‍යාල, පුස්තකාල, කෞතුකාගාර, නෘත්‍ය ශාලා වැනි බොහෝ දේ එකතු කරගත් ශාස්තී‍්‍රය වාද විවාද, සාහිත්‍ය කලා රසාස්වාදය හඳුනාගත් යෝධ මානව නගර විය. දාර්ශනිකයන්, බුද්ධිමතුන්, කලාකරුවන්, සාහිත්‍යධරයන් ඒ නගරවල විශේෂිත සක‍්‍රිය සමාජයන් විය. එනිසා ඒවායේ එක තැන ගැට ගැසණු චූල සම්ප‍්‍රදායන් වෙනුවට දියුණු සංස්කෘතියක් සමග අලූත් දැනුම හැම විට නිර්මාණය වුණු මහා සම්ප‍්‍රදායන් වර්ධනය විය. ධනේශ්වර වර්ධනයට හා ලෝක ආර්ථිකයකට හේතු සාධක සැපයුනු ඥාන සම්භාර එක් තැන් වූයේ එවැනි දියුණු නගරවලය. එබැවින් ධනේශ්වර ලෝකයේ කතාව යනු එක පැත්තකින් මානව ශිෂ්ටාචාරයේ දියුණු සංස්කෘතික සත්වයෙකු හැදූ මහා නගර පිළිබඳ කතාවකි.

මේ කතාව 20 වන සියවසෙහි සිට වෙනස් විය. 1929 අගදී දිග හැරුණු දසකයක් පුරා ඇදී ගිය ධනේශ්වරයේ මහා අවපාතයෙන් පසු දෙවන ලෝක යුද්ධය කෙළවර ලෝක දේශපාලන බල තුලනයෙහි සීතල සංහිඳියාවක් ඇතිවූයෙන් නැවත ගොඩ එන ධනේශ්වර ආර්ථිකයෙහි එවැනි පූර්ණ නගර අලූතින් බිහිවීම දැකිය නොහැක. නූතන නගර පාරිභෝගික නගර ලෙස සංවිධානය කෙරුණු නගර විය. ගමනාගමනය, ජලය, සන්නිවේදනය, විදුලිය, අපද්‍රව්‍ය ඉවත් කිරීම වැනි සේවාවන් හා මානව සම්පත වඩා හොඳින් කළමනාකරණය කෙරෙන නගර විය. 80 දසකය වන විට, ඒ ප‍්‍රවණතාව තවදුරටත් අලංකරණය හා මධ්‍යම පංතික ජීවන රටාවෙහි අවශ්‍යතා අනුව සැලසුම් කෙරෙන නගර බවට පත් විය.

ඒ සමග අප අවධානය යොමු කළ යුතු වැදගත් කාරණා දෙකකි. එකක් ජනමාධ්‍ය ය. අනෙක අධ්‍යාපනය ය. අසීමිතව විවෘත කෙරුණු වෙළෙඳපල (නව ලිබරල්වාදී* ආර්ථිකයට ගැළපෙන සමාජ හැදීමේදී මේ සාධක දෙක ප‍්‍රමුඛ සාධක දෙකක් විය. අධ්‍යාපනයේ මූලික වටිනාකම් වෙනස් කරමින් වෙළෙඳපල ආර්ථිකය නිදහස්ව පවත්වා ගැනීමට හැකි තනි පීල්ලේ දුවන විශේෂඥයන්, වෘත්තිකයන් හැදීමත් තාක්ෂණික මෙවලම් සමගින් පරිභෝජනය වෙනුවෙන්ම නිෂ්පාදනයේ යෙදිය හැකි ශ‍්‍රමිකයන් ලබා දීමත් අධ්‍යාපනයේ මුඛ්‍ය පරමාර්ථය බවට පත් කෙරිණ. අද අප නිදහස් අධ්‍යාපනයයැ’යි කතා කරන අධ්‍යාපනයෙන් සිදු කෙරෙන්නේ එය ය.
මේ වෙළෙඳපල ආර්ථිකය වෙනුවෙන් ජනමාධ්‍ය සතු සමාජ වගකීම් ගලවා දැමේ. ඒ වෙනුවට වෙළෙඳපල මත යැපෙන, ලාභ ඉපැයීම ප‍්‍රධාන කාර්යය බවට පත් වන මාධ්‍යයෙහි මාධ්‍යවේදීන් හැදෙන්නේ වඩා සරල සුන්දර අන්තර්ගත සමග ප‍්‍රචාරණවාදී මාධ්‍යයකින් යැපෙන්නන් ලෙසිනි. ඒ වෙනුවෙන් පාරිභෝගිකයන් රඳවා ගැනීම ප‍්‍රමාණවත් වන්නකි. මේ ආර්ථිකයෙහි පාරිභෝගිිකයා ලෙස සැලකෙන්නේද සීනි සියයයි, පරිප්පු පණහයි, හාල් කිලෝවයි හන්දියේ කඩෙන් ණයට ගන්නා පුද්ගලයා නොවේ. මේ ආර්ථිකයෙහි පාරිභෝගිකයායැ’යි නිර් වචනය වන්නේ ගෙදර දොර අත්‍යවශ්‍ය සියල්ල පිරිමසා ගැනීමෙන් පසු වෙනත් දේ සඳහා වියදම් කළ හැකි යම් අතිරික්තයක් අත ගැවසෙනවුන් ය. ඔවුන් බොහෝ සෙයින් අලූත් වේගවත් ජීවන රටාවන් තුළ කොටුවූ නගරයේ මැද පංතිකයන් සහ සල්ලිකාරයන්ය. මේ වෙහෙසකර විවෘත ආර්ථිකයෙහි ඉතා තරගකාරීව ගෙවුණු පසුගිය දසක කිහිපය ඇතුළත සමාජ වටිනාකම්, හර පද්ධතීන් පමණක් නොව, මිනිසාගේ සිතැ`ගි පවා වෙනස් වී ඇත. මේ අලූත් නාගරික මිනිසා නඩත්තු කිරීම වෙනුවෙන් නගර සැලසුම් කිරීම මේ යුගයේ පාලක අවශ්‍යතාව බවට පත්ව ඇත.
පළමුව මා සඳහන් කළ කතාවලට නැවත හැරිය යුත්තේ මෙතැනින් ය.

ඒ කතාවලට පාදක වූ ඔහු(ඇය*ට සුභාවිත කලා රස වින්දනය සඳහා කාලයක් නැත. යන එන අතරවාරයේ විඩාව නිවන්නට, විනෝද වන්නට සරල යමක් තිබුණහොත් එය ඔවුනට ප‍්‍රමාණවත් ය. ඔහු(ඇය*ට පොත පත කියැවීමටද කාලයක් නැත. චිත‍්‍රපටයක් බලන්නේ නම් එය ගෙදර විසිත්ත කාමරයේදී බැලීම ජීවන පොරය සඳහා කාලය ඉතිරි කර ගැනීමකි. ලොකු සල්ලිවලට අත ගැසිය හැකි නම්, නව තාක්ෂණය විසින් ඔහු(ඇය)ට රූපවාහිනි නැරඹීම, චිත‍්‍රපට බැලීම වාහනයේ යන එන ගමන් කිරීමට හැකියාව ලබා දී ඇත. උදය ආහාර ගැනීමට කාලය නැතිනම්, වාහනයේ යන එන ගමන් කෑමට කෙටි කසලාහාර (Junk food)ඇත. ජීවන තෘප්තිය අලංකරණයට යට කෙරුණකි. රූපලාවණ්‍යයත් හැඩට හැඳීමත් විවිධ දේ වැඩි මිලකට කෑමත් යාන වාහන තබා ගැනීමත් වැනි ජීවිතයේ පහසුකම් හා අවශ්‍යතා අතර නතර කෙරුණු මනුසතෙකු අපට හමුවන්නේ එබැවින්ය. රස වින්දනය හා විනෝදය අතර සෞන්දර්යාත්මක වෙනසක් ඇති බව හේ ඉගෙන නැත, පසුගිය අවුරුදු 30ට වැඩි කාලයක් තුළ අපගේ විවෘත ආර්ථිකය විසින් හැදූ මේ මනුසතා අයිති වන්නේ මහාචාර්ය ගුණරත්න සහ ආචාර්ය නුගවෙල කතා කළ වයසට ගිය නොගිය නිරෝගීව සිටීමට පෙති ගිලින ජනගහන එකතුවට ය.

අපේ නගර සංවර්ධනය යනු එවැනි මැද පංතිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අලූතින් සැලසුම් කරන නගර අලංකරණයකි. එනිසා එහි ඇත්තේ ලස්සණ විවෘත උයන්, ව්‍යායාමය සඳහා පාගමන් සහ පාපැදි මංතීරු, වායු සමීකරණය කෙරුණු නවීන අවහන්හල්, පාට පාට ආලෝක ධාරා සමග විහිදෙන වතුර මල්, විශාල රථ ගාල් සහ නවීන පොදු වැසිකිළි වැනි අධිමිලැති සරල ඉදිකිරීම් ය. එපමණින් සෑහීමට පත් වන, ඒ හැමකක්ම නගර සංවර්ධනයට ලඝු කෙරෙන නාගරික මැද පංතියට, මේ සැලසුම් අතර බුද්ධිගෝචර කිසිත් නැති බව නොතේරේ. හරවත් සංස්කෘතියකට අවශ්‍ය බුද්ධිමය වර්ධනයක නව පරිච්ෙඡ්ද සඳහා දියුණු නූතන පුස්තකාල, කියවීම් හා රැුස්වීම් ශාලා, නෘත්‍යාගාර, නවීන කෞතුකාගාර වැනි දේ නැති බව හෝ නොවැටහේ. මේ නගරයේ සාමුහිකත්වය යනු පවුල් ඒකක හා සමීප ආසන්නයන්ගේ ඉඳහිට හැදෙන විනෝදකාමී එකතුන්ය. එනිසා අප ගාල්වන්නේ බුද්ධි වර්ධනයක් නැති භෞතික ඉදිකිරීම්වලට සීමා වන සේවාභිමුඛ නගරවලය. භෞතික පරිසරයකට කොටු කෙරෙන එවැනි නගරවල අලූත් මතවාද, අලූත් දැනුම, අලූත් සංස්කෘතික අත්දැකීම් සඳහා ඉඩක් නැත. එවැනි හිස් නගරවල ඇත්තේ වියපත් වන බුද්ධිමය අහේනියකි. එවැනි සමාජයක හෙට දිනය බාගෙට තලා ගන්නා නීති සම්පාදන මගින් පමණක් ගොඩගත නොහැක. එවැනි සමාජ ගොඩගත හැක්කේ යටිතලයේ ඇති මේ බුද්ධිමය අර්බුදයට පිළියම් සෙවීමෙනි.