විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි | අමාත්‍ය දුමින්ද දිසානායක ශ්‍රීලනිප මහලේකම්


duminda

තරිඳු උඩුවරගෙදර

විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් එජාපය යෝජනාවක් සම්මත කරගත්තත් ඒකෙන් හරියටම ඔවුන්ගේ අදහස පැහැදිලි වුණේ නැහැ. ශ්‍රීලනිපය පැත්තෙන් විධායක ජනාධිපති ක්‍රමය ගැන අදහස මොකක්ද?
විධායක ජනාධිපති ක්‍රමය ගැන ශ්‍රීලනිපයේ අදහස මං හිතන්නේ ගිය පාරත් අපි කිව්වා. ජාතික ආණ්ඩුවක් හදන්න හේතුවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව. පොදු අපේක්ෂකයා බිහිවුණේත් ඒ අරමුණෙන්. ඉතින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතුයි කියන මතයේ අපි ඉන්නවා.

ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ඒ බව කියලා තියෙනවා. හැබැයි ශ්‍රීලපනිපයේ ව්‍යවස්ථාව ගැන අදහස් ඉදිරිපත් කරන්න හැදූ කමිටුවෙන් කියලා තියෙන්නේ බලතල අඩුකිරීමක් ගැන විතරයි. ඒ ගැන හරියටම ශ්‍රීලනිපයේ අදහසක් පෙනෙන්නේ නැහැ නේද?
මේ පිළිබඳව පත්කළ කමිටුවෙන් යෝජනා ඇවිල්ලා තියෙනවා. විවිධ අදහස් තියෙනවා. කෙසේ වෙතත් විධායක බලතල අඩුකළ යුතුයි කියන කාරණාවේ අපි ඉන්නවා.

ජනමත විචාරණයකට නොයන විදියේ සංශෝධන පමණක් කරන බවත් කියලා තියෙනවා. ජනමත විචාරණයකට නොගියොත් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරගන්න බැහැ. එහෙනම් සංශෝධන පමණයි ගෙන ආ හැක්කේ. ජනමත විචාරණයකට නොයන්න එහෙම අදහසක් තියෙනවාද?
ඉතාම පැහැදිලිව ජනමත විචාරණයක් අවශ්‍ය කාරණා ටිකක් තියෙනවා. බලය බෙදීමේදී ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව අපි හිතනවා. ඒත් මේ වෙලාව තමයි ව්‍යවස්ථා සංශෝධනයක් කරගන්නට හොඳම වෙලාව. අපට එළියට ඇවිත් බැලුවාම පෙනෙනවා අනෙක් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කතාකරන දේවල් එක්ක, එයාලා රටේ අවශ්‍යතාව තකා නෙවෙයි තමන්ගේ වුවමනාව වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. රටේ අවශ්‍යතාව වෙනුවෙන් යමක් කරන්න අවශ්‍ය නම් ඒක සුදුසුම වෙලාවේ කළොත් තමයි ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් නමට විතරක් ඔන්න අපි නම් කළා කියලා කියන්න ඕනෑ නම් ඔන්න අපට ජනමත විචාරණය දිනනවාද පරදිනවාද කියන කාරණාව ගැන නොහිතා, මේක සම්මත වෙනවාද කියන එකත් නොතකා ඉදිරිපත් කිරීම පමණක් කරන්න පුළුවන්. සැබෑවටම ශ්‍රීලනිපය ඉන්නේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවීමේ අරමුණ ඉටුකරගන්නයි. තනි පක්ෂයක් විදියට කරන්න බැරි දේවල් ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා කරන්නයි ආණ්ඩුව හැදුවේ. ඉතින් ඒ අතරින් ප්‍රධානම දේ ව්‍යවස්ථාව. ඉතින් ඒක කොහොමහරි ඉදිරිපත් කිරීම පමණක් නෙවෙයි සම්මත කිරීම කරන්න ඕනෑ කියන තැනයි අපි ඉන්නේ. සුදුසු වෙලාවේ තමයි කරන්න ඕනෑ. නුසුදුසු වෙලාවේ කරලා පරාජය කරන්න බැහැ. ඉතින් ජනමත විචාරණයකට යා යුතු වෙලාව බලලා එහෙම යෑම ගැන තීරණයක් ගැනීම තමයි වැදගත් වෙන්නේ.

ඔබේ අදහස පැහැදිලි කරගන්නට මම නැවත මෙහෙම අහන්නම්. ජනමත විචාරණයකට යනවාද නැද්ද කියන එකට වඩා හොඳ ව්‍යවස්ථා සංශෝධනයක් ඇතිකිරීම ගැනයි හිතන්නේ. ජනමත විචාරණයකට යාගන්න බැරි වුණොත් එහෙම නොයා කරන්න පුළුවන් දේවල් කරනවා කියන අදහසේද ඉන්නේ?
ඒ කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ඉතාමත්ම අවශ්‍යයි. අපි හිතමු ජනමත විචාරණයකට ගිහින් පැරදුණා කියලා. එහෙම වුණොත් මේ සියලු උත්සාහයන් අසාර්ථක වෙනවානේ. අපි කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් විය යුතුයි. ජනමත විචාරණයක් අවශ්‍ය නම් ඒකත් පැවැත්විය යුතුයි.

ව්‍යවස්ථා සංශෝධනයක් සහ නව ව්‍යවස්ථාවක් කියන්නේ දෙකක්. පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් විදියට රැස්වෙන්නේ නව ව්‍යවස්ථාවක් ඇති කරන්නට. මේ දෙකෙන් ආණ්ඩුව කරන්න බලාපොරොත්තු වෙන්නේ පැහැදිලිවම මොකක්ද?
පවතින ව්‍යවස්ථාවට ලොකු සංශෝධනයක් ගෙනාවත් ඒක නව ව්‍යවස්ථාවක් විදියට අර්ථකථනය කරන්න පුළුවන්. මේ නිසා විවිධ අයට තමන්ගේ කෝණයෙන් මේක දකින්න පුළුවන්. මේක නව ව්‍යවස්ථාවක්ද සංශෝධිත ව්‍යවස්ථාවක්ද කියලා ඕනෑ අදහසකට එන්න පුළුවන්. මේ දෙකෙන් මොකක් කරලා හරි අවශ්‍ය දේ කරගන්නනේ අපට ඕනෑ. අපි අලුතින්ම ව්‍යවස්ථාවක් ලියන්නත් පුළුවන්. නැත්නම් සියලු අඩුපාඩු ටික සංශෝධන වන විදියට එකින් එක ගෙනෙන්නත් පුළුවන්. ඒක ඉදිරියේදී තීරණය වේවි.

අලුතින් ගෙනෙන්නට සැරසෙන පනතකින් අගමැතිවරයාට බලතල පැවරෙන බව පිරිසක් කියනවා. ආර්ථික සංවර්ධන (විශේෂ) විධිවිධාන පනතෙන් එහෙම දෙයක් වෙනවාද?
ඒ පනත ගැන ඔබට ඉදිරියේදී දැකබලාගන්න පුළුවන්. මේවා පක්ෂ දෙකක් එකතුවෙලා ගන්න තීරණ. හැබැයි මොනම පනතක් සම්මත වුණත් රටට අසාධාරණයක් වෙන, රටට අවැඩක් වෙන පනතක් හෝ වෙන කිසිම දෙයකට ශ්‍රීලනිපය දායක වෙන්නේ නැහැ.

ඔබ අදහස් කළේ මේ පනතට එරෙහි වෙනවා කියන එකද? නැත්නම් මේ පනතින් රටට අවැඩක් වෙන්නේ නැහැ කියන එකද?
නැහැ. මම කියන්නේ මේ පක්ෂ දෙක එකතුවීමේ අරමුණ ජනතාවට ජයග්‍රහණ ලබාදීම. ඒ වෙනුවෙන් ශ්‍රීලනිපය පෙනීසිටිනවා. මේ පනතේ වුණත් නරක පැති දැකලා ඒ ගැන සංවාදයක් ඇතිවුණොත් ඒවා සලකලා බලන්න අපි ලෑස්තියි. මේකේ අයහපතක් තිබුණොත් අපි ඒවාට සහාය දෙන්නේ නැහැ.

ආණ්ඩුවේ ආර්ථිකය බොහෝවිට මෙහෙයවන්නේ එජාපය. ඒවාට විවේචන එල්ලවෙන අවස්ථාත් තියෙනවා. මේ ගැන ශ්‍රීලනිපය ඉන්නේ කොතැනද?
ශ්‍රීලනිපයට ඉතාමත් පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් තියෙනවා. අපි ඒ ආර්ථික ප්‍රතිපත්තිය අනුව මේ ආණ්ඩුවේ ඉන්නේ. හැබැයි මේක ජාතික ආණ්ඩුවක් නිසා සීයට සීයක් ශ්‍රීලනිප ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැහැ. එජාපයේ හොඳ ප්‍රතිපත්ති වගේම ශ්‍රීලනිපයේ හොඳ ප්‍රතිපත්තිත් ක්‍රියාත්මක වෙනවා. සමහර වෙලාවල යම් විවේචන ඉදිරිපත් වෙනවා එජාපයේ මතය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ, මේ ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රීලනිපයේ මතය වගේ දේවල්.

එට්කා ගිවිසුම, හම්බන්තොට වරාය, ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වගේ කාරණාවලදීයි මේ ප්‍රශ්නය වෙන්නේ…
ඇත්තටම එට්කා ගිවිසුම ගැන දීර්ඝ වශයෙන් අපි එජාපයත් එක්ක කතා කළා. ඉතාමත් පැහැදිලිව එහි යම් කාරණා අපි සංශෝධනය කළා. වෘත්තිකයන්ට විශාල බයක් ඇතිවුණා එයාලාගේ රැකියා සුරක්ෂිතභාවය ගැන. අපි හිඟයක් පවතින ක්ෂේත්‍රවලට විතරයි එන්න ඉඩ සලන්වන්නේ. සියලුම දේ විවෘත කිරීම ගැන අපි විරෝධය දක්වලා තියෙනවා. හම්බන්තොට වරාය ගැන දැන් ඔය කතා කරන කවුරුත් පහුගිය කාලේ කිසිම දෙයක් කළේ නැහැනේ. දැන් කියනවා හම්බන්තොට වරාය දිහා බලාගෙන නැව් යනවා. ඒවාට වතුර දුන්නත් ලාභයි කියලා. දැන් මේවා කියන්න කලින් ඒවා ක්‍රියාත්මක කරන්න තිබුණානේ. අපේ ආණ්ඩුව කාලේ තමයි වරාය හැදුවේ. අපේ ආණ්ඩුව කාලේ තමයි වරාය ක්‍රියාත්මක වුණේ. ඔය කියන විදියට ආදායම් උපයන්න තිබුණානේ. කවදද එහෙම ආදායම් ගත්තේ. හම්බන්තොට වරායේ පාඩුව ගෙවන්නේ කොළඹ වරායෙන්. ණය හිලව් වෙන ක්‍රමයකට, රටේ ආර්ථිකය ශක්තිමත් වෙන විදියේ, රටට පාඩුවක් නොවෙන විදියේ දෙයක් කරන්න ඕනෑ. හැබැයි අපි බලන්න ඕනෑ රටට එන ආදායමක් අහිමිවෙනවාද, කුණුකොල්ලෙට විකිණෙනවාද කියන කාරණා.

බදු වැඩියි කියන එක ගැන චෝදනාවක් තියෙනවා නේද?
එහෙම චෝදනාවක් නැහැ කිව්වොත් ඒක බොරුවක්. හැබැයි අපේ ආණ්ඩුව කාලේ රටේ සංවර්ධන වැඩ කළේ රටේ මුදල්වලින් නොවන බව කියන්න ඕනෑ. පාරවල් හැදුවේ ණය අරගෙන. සියල්ල ජනතාවට යහපත් දේවල් වුණත් ඒවා කළේ ණය අරගෙන. මේ ණය අරගෙන කළ ව්‍යාපෘති ආදායම් ලබන ව්‍යාපෘති නෙවෙයි. හයිවේ එක හදලා ඒකට වෙළෙඳ කලාපයක් ඇතිකරලා ආයෝජකයො ගෙනල්ලා කර්මාන්තශාලා ඇතිකරලා එයාලාට පහසුකම් සපයනවා වගේ ව්‍යාපෘති කළා නම් අපට ඒ ණයවලින් ලාභයක් ගන්න තිබුණා. අපි පෞද්ගලිකව ණයක් ගත්තා කියලා හිතමු. අපට කඩයකුත් ඕනෑ ගෙයකුත් ඕනෑ. අපි කඬේ හදන්නේ නැතිව ගේ හැදුවා කියලා හිතමු. කඬේ හැදුවා නම් ගේ හදන්න පුළුවන් කඬේ ආදායමෙන්. හැබැයි ගේ හැදුවාට පස්සේ සල්ලිත් නැහැ ණය ගෙවන්නත් ඕනෑ. අපි අවංකව බැලුවොත් ණය අරගෙන ඒ ණය ගෙවන්න තව ණය අරගෙන රෝලක් ගැහුවේ. දැන් ණය නොගෙන ණය ගෙවන්න නම් අපට සිද්ධවෙනවා අලුත් ආදායම් මාර්ග හදන්න. ආයෝජන ව්‍යාපෘති ඇති කරන්න සහ බදු අයකරන්න. ලංකාවේ බදු අයකිරීම අන්තිම අසාර්ථකයි. එක් ආයතනයක් කියද්දී බදු ෆයිල් මෙච්චරක් තියෙනවා කියලා තව ආයතනයක් කියන්නේ ඊට වඩා වෙනස් සංඛ්‍යාවක්. ආණ්ඩුවම දන්නෑ බදු අයවෙන විදිය. හරි බදු ප්‍රතිපත්තියක් නැහැ. දැන් වෙලා තියෙන්නේ ප්‍රතිපත්තියක් එක්ක බදු අයකිරීමයි. බදු ප්‍රතිපත්තියක් තිබුණේ නැති රටක බදු ප්‍රතිපත්තියක් ආරම්භ වෙද්දී බදු ගෙවන අය චෝදනා කරනවා තමයි, විවේචනය කරනවා තමයි. ඒකට අපි මුහුණදෙනවා. ඉන් පස්සේ හෙට හොඳ ප්‍රතිඵල ලැබේවි. විවේචනයට ලක්වෙලා වුණත් යහපත් දෙයක් කරන්න අපි ලෑස්තියි.

බැසිල් රාජපක්ෂ අලුතින් පක්ෂයක් හදලා දැන් විදේශගත වෙලා. දැන් පක්ෂයේ අභ්‍යන්තර තත්ත්වය කොහොමද?
පක්ෂ එකක් නෙවෙයි සීයක් හැදුවත් අපට අභියෝගයක් වෙන්නේ නැහැ. බැසිල් කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පරාජයේ වගකීම බාරගත්ත පුද්ගලයානේ. ඉතින් ආණ්ඩුව නැතිකරලා, ජනාධිපති ධුරයත් නැතිකරලා දැන් මහින්ද හෝ වෙන කෙනෙක්ව තැනකට ගෙනෙන්න හදන්නේ පක්ෂයත් නැති කරන්නනේ. බැසිල් රාජපක්ෂ කියලා තිබුණා ශ්‍රීලනිපයේ ලක්ෂ විස්සක් සාමාජිකයන්ව ගත්තා කියලා. ඒකෙන්ම තේරෙනවානේ පක්ෂය කඩන්න හදන්නේ කියලා. පක්ෂය කඩන්නේ කවුරු වෙනුවෙන්ද කියන ප්‍රශ්නය ඇහුවොත් උත්තරය තමයි පවුල බලයට ගෙන එන එක. මේ අය හිතන්නේ ඒ පවුල තමයි පක්ෂය කියලා. දැන් ශ්‍රීලනිපය කඩලා පවුලේ පක්ෂය හදාගන්නයි හදන්නේ. ශ්‍රීලනිප පාක්ෂිකයා ගැන නොබලා පවුල ගැනනේ බලන්නේ. මේ පරාද කරන්න හදන්නේ පාක්ෂිකයන්ව. ඒ පවුලක් බලයට ගෙනඒම වෙනුවෙන්. බැසිල් රාජපක්ෂ මේ පක්ෂයට සම්බන්ධ වුණු එක ගැන අපි සතුටුයි. දැන් ශ්‍රීලනිප සාමාජිකයන්ට තේරෙනවා මේකේ අරමුණ මොකක්ද කියලා.

ඉසුර දේවප්‍රිය, ඩිලාන් පෙරේරා වගේ ශ්‍රීලනිපයේ ඉහළ තනතුරු දරන අය කිව්වා එජාප නායකත්වය මහින්ද පිලට සහයෝගය දෙනවා කියලා. පොලිස්පතිවරයාට ආ ඇමතුමෙනුත් මේ කාරණය මතුවුණා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
පක්ෂ දෙකක් එකට ඉන්නකොට අනිත් පක්ෂයේ බලය දුර්වල වෙනවා දකින්න එක් පක්ෂයක් කැමතියි. ඕක තර්කානුකූලව සාමාන්‍ය දෙයක්. ජාතික ආණ්ඩුවක් වුණත් අපි අපේ පක්ෂ දෙකේ අනාගතය ගැනත් තනි තනියෙන් හිතනවා. පාර්ලිමේන්තුවේ ඉන්න ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අසූදෙනාම ජාතික ආණ්ඩුවේ හිටියා නම් ශ්‍රීලනිපයෙයි එජාපයෙයි මන්ත්‍රීවරු ගණන සමානයි. එහෙනම් දෙපැත්තටම සීයට පනහේ කේවල් කිරීමක් ලැබෙනවා. එහෙම ගනුදෙනු කරන්න ලැබුණා නම් දිනන්නේ මේ රටේ ජනතාව සහ ශ්‍රීලනිප සාමාජිකයෝ. එහෙම වෙන්න නොදී මේක බෙදුවේ මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ වාඩිවුණු අය. මේ වගේ වාසනාවක් එජාපයට උදාකර දුන්නේ ඒ අය. පක්ෂය ඇතුළේම ඉන්නවා පක්ෂයට ගහන අය. ඉතින් එහෙම තත්ත්වයක් ආවාම ඒකෙන් ප්‍රයෝජන ගන්න එජාපය කැමති නොවෙන්නේ කොහොමද. මේක නැති කරන්න උත්සාහ කරන්නේ නැහැ එජාපය. වගකියන්න ඕනෑ පක්ෂය දෙකට කැඩූ අයයි.

පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන කතාකරලා දැන් පිරිසක් කියනවා මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ නැහැ කියලා. මේ ගැන දැන් පවතින තත්ත්වය මොකක්ද?
ඒ ප්‍රශ්නය ඉතා වැදගත්. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම කළේ හිටපු ආණ්ඩුව. හැබැයි ඒකෙදී සමහර පක්ෂවලට පාඩු සිද්ධවෙනවා කියලා ඒ පක්ෂවලින්මයි මැතිවරණ ක්‍රමයේ සීමා නිර්ණය වෙනස් කරලා මැතිවරණය පවත්වන්න ඕනෑ කියලා යෝජනා කළේ. ඒ නිසා තමයි සීමා නිර්ණය කොමිසමක් යළි පත්කළේ. ඒ පක්ෂවල නියෝජිතයනුත් සීමා නිර්ණය කොමිසමට පත්කළා. ඉන්පස්සේ අවුරුදු දෙකක් කාලයත් වැය කරමින් ධනය නාස්ති කරමින් මේ කොමිසම දිස්ත්‍රික්කවලට නියෝජිතයන් යවලා වැඩ කළා. එච්චර කාලයක් නිහඬව ඉඳලා මැතිවරණයත් කල් ගියාට පස්සේ, මැතිවරණය කල් දැමීම ගැන අපේ පක්ෂයට චෝදනාත් ආවාට පස්සේ දැන් සීමා නිර්ණය කොමිසමේ වාර්තාව ලැබෙන්න දින කිහිපයක් තියලා කියනවා පරණ ක්‍රමයට යමු කියලා. මේවාගේ වැඩවලින් මේ රට අන්දවන්න හොඳ නැහැ. මිනිස්සුන්ට කිසිම බුද්ධියක් නැති ගානට දාලා කතා කරන්නේ. මේ විදියේ ප්‍රශ්නයක් තියෙනවා නම් කලින්ම කියන්න තිබුණානේ. ඇතැම් පක්ෂවලට මේක අවාසියි කියලා තමයි මේ කතාව කියන්නේ. රටේ යහපතට වඩා පක්ෂය ගැන හිතන අයයි මේක කියන්නේ. අපි කියන්නේ කාගේවත් න්‍යායපත්‍ර අනුව නොගිහින් රටේ මිනිස්සුන්ට ගැළපෙන දේ කරන්න ඕනෑ කියලා.■