නව ව්‍යවස්ථාව, වරදාන සහ දේශපාලනය


sunanda

මෛත්‍රී-රනිල් ආණ්ඩුව ගෙනඒමට නියමිත නව ව්‍යවස්ථාව දැන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සහ සිවිල් බලවේගයන්ගේ ප්‍රධානතම අපේක්ෂාව බවට පත්ව තිබේ. නව ව්‍යවස්ථාව මගින් අඩ සියවසකටත් වැඩි කාලයක් පුරා නොවිසඳී පවත්නා ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදී මෙරට අනාගතය කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇතිකරනු ඇතැයි එම බලවේග අපේක්ෂාවෙන් පසුවෙයි.
දෙමළ ජාතික සන්ධානය ඇතුළු සියලු දෙමළ දේශපාලන පක්ෂ අයවැයට පක්ෂව පාර්ලිමේන්තුවෙහිදී ඡන්දය පාවිච්චි කළේ එම බලාපොරොත්තුව ඇතිව බව ජනවාර්ගික සංහිඳියා ඇමැති මනෝ ගනේෂන් ට්වීට් පණිවිඩයක් මගින් කියා තිබුණි. එසේ නමුත් පසුගිය මාස දෙක තුන පුරා දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචනාත්මක ආකල්පයක් කරා ගමන්කරමින් තිබෙන බව අප අමතක කළයුතු නැත.
දෙමළ ජාතික සන්ධානය මෛත්‍රී-රනිල් ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබමින් කටයුතු කිරීම කම්බියක් උඩ ගමන් කිරීමක් හා සමානය. මන්ද යත් ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබූදා පටන් සිංහල දේශපාලන නායකයන් කර ඇත්තේ දෙමළ දේශපාලන පක්ෂ කඬේ යැවීම සහ පොරොන්දු කඩකිරීම පමණක් නිසාය. මෙවර මෛත්‍රී-රනිල් ආණ්ඩුව කෙරෙහි දෙමළ ජාතික සන්ධානය තබා ඇති විශ්වාසය බිඳ වැටුණහොත් දෙමළ සන්ධානය කම්බියේ ගමනින් ඇදවැටෙනු ඇත්තේ අගාධයකටය. එම හිඩැස පුරවනු ඇත්තේ අප කැමැති වුණත් නැතත් විග්නේශ්වරන්වාදී දේශපාලනයක් විසිනි.
දැනට ඉදිරිපත් වී ඇති කෙටුම්පත් මගින් නව ව්‍යවස්ථාව මෙරට ජනයාගේ සමස්ත මානව හිමිකම් කොතෙක් දුරට ආරක්ෂාකර වර්ධනය කරනු ඇත්ද සම්බන්ධයෙන් කිසිදු අවසාන තීරණයක් අපට ලබාදෙන්නේ නැත. මන්ද යත් එම කෙටුම්පත් යෝජනා හුදෙක් පාර්ලිමේන්තුවේ සලකාබැලීම පිණිස ඉදිරිපත්කරන ලද ඒවා නිසාය.
කෙසේ වෙතත් ජනවාර්ගික ප්‍රශ්නයට සාධාරණ දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමට විශේෂයෙන්ම ජනාධිපති සිරිසේන කැපවී සිටින බව පෙනෙන්නට තිබේ. රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ එවැනි කැපවීමක් පෙන්වා නැත. ඔහුගේ මුදල් ඇමැතිවරයාගේ අයවැය විසින්ද පෙන්වා ඇත්තේ බලය මධ්‍යගත කරගැනීමට ඇති ආශාවයි.
රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ව්‍යාපෘතිය මෙරට ජාවාරම්කාර ධනපති පංතිය ශක්තිමත් කිරීම ඉලක්ක කරන ලද එකක් බව ගතවන සෑම දවසක් පාසාම පෙනීයයි. ඔහුගේ දේශපාලනය අංහකාරපරවශ සහ ජනතාව ගැන නොතකන එකක් බව පාර්ලිමේන්තුවේ ඔහුගේ කතාබහ මගින් පෙන්නුම් කරන යථාර්ථයයි. එමගින් ආණ්ඩුවේ පිරිහීම ඔහු විසින් දැනටමත් දියත් කර තිබේ.
ආණ්ඩුවේ නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙහිදී තුනෙන් දෙකක ඡන්දයක් ගැනීම වළක්වන බවට රාජපක්ෂ බැලයන් දැනටමත් අභියෝග කිරීමට පටන්ගෙන තිබේ. ඔවුන් කියන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් බාගැනීම මගින් තමන් පාර්ලිමේන්තුවෙහිදීම නව ව්‍යවස්ථාව පරාජය කරන බවයි. පරාජිත මහින්ද රාජපක්ෂ මෙන්ම අනාගත නායකයා වීමට පෙරුම් පුරන ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාගේම දේශපාලනයේ නාභිය වන්නේ ජාතිවාදයයි. දෙමළ ජනයාට සාධාරණය ඉටුකැරෙන කවර හෝ පියවරක් සිංහල ජනයාට එරෙහි කූඨ කුමන්ත්‍රණයක් බව බවට හුවාදැක්වීම අයියමලෝ දෙදෙනාම එක දිගට කරගෙන යති.
ජනාධිපතිවරයා ඉඳහිට කරන කතාවක් හෝ ඔහුට පක්ෂපාතී ඇමැතිවරයකු හෝ දෙදෙනෙකු කරන පුවත්පත් සාකච්ඡාවක් හැරුණු විට දේශපාලන විසඳුමක් සහිත නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ කැරෙන දේශපාලන සාකච්ඡාවක් රටෙහි නැත. විවිධ රාජ්‍ය නොවන සංවිධාන සිය ව්‍යාපෘති සම්පූර්ණ කරගැනීම පිණිස කාමරවලට පිරිස් කැඳවා කරන සාකච්ඡා හැරුණු විට සිවිල් සමාජයෙන් දේශපාලන විසඳුමක අවශ්‍යතාව පැහැදිලි කරන මහජන ව්‍යාපාරයක්ද නැත.
මේ සම්බන්ධයෙන් ඉංග්‍රීසියෙන් ලිපි ලියන කුඩා බුද්ධිමත්හු කණ්ඩායමක් සිටිති. ඉංග්‍රීසියෙන් ලියා මහජන මතයක් සෑදිය නොහැකි බව එවැනි පිරිස් නොදන්නවා නොවේ. එවැනි ප්‍රයත්නයක් යහපත් අරමුණින් සිදුවුවද අවසානයේ සේවය කරන්නේ එම ලිපි ලියන අයගේ පුද්ගලික කීර්තිය ඉහළයෑමට පමණය. ලංකාවේ අනාගතය කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් ප්‍රභූ සමාජය ඉංග්‍රීසි බසින් කරන බුද්ධිමය අභ්‍යාස කනගාටුවට මෙන් මෙරට ජනයා වසන පොළවට පතිතවන්නේ නැත.
නව ව්‍යවස්ථාවෙහි සාධාරණ සහ පිළිගත හැකි දේශපාලන විසඳුමක් අඩංගුවනු ඇතැයි උපකල්පනය කළ විට අපට මෙවැනි චිත්‍රයක් දැකගත හැකිය.
ජනාධිපති සිරිසේනගේ කතාබහෙන් පෙනෙන්නේ පාර්ලිමේන්තුවෙහි ශ්‍රීලනිප නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට නොකඩවා වරදාන සැපයීම මගින් එවැනි නව ව්‍යවස්ථාවකට අවශ්‍ය තුනෙන් දෙකක පාර්ලිමේන්තු ඡන්දය ලබාගැනීමට පුළුවන්වනු ඇතැයි ඔහු විශ්වාස කරන බවයි. එය එසේ වීමට බොහෝ දුරටම ඉඩ තිබේ.
ප්‍රශ්නය ඇතිවනු ඇත්තේ එම ව්‍යවස්ථාව ජනමත විචාරණයකට යොමුකළ විටය. රාජපක්ෂ බලවේග අන්ත ජාතිවාදය මගින් සිංහල ජනයා එවැනි ව්‍යවස්ථාවකට විරුද්ධ කරවීමට උත්සාහ දරනු ඇත. ආණ්ඩුව කෙරෙහි වර්ධනය වෙමින් ඇති ජන අප්‍රසාදයද යොදාගනිමින් දේශපාලන විසඳුමක් සහිත නව ව්‍යවස්ථාව සිංහල බහුතර ජනයා ප්‍රතික්ෂේප කළහොත් කුමක් වනු ඇත්ද? එමෙන්ම අප මතක තබාගත යුත්තේ එවැනි විසඳුමක් අඩංගු වුවහොත් නව ව්‍යවස්ථාව දෙමළ ජනයාගේ සියයට 99ක ඡන්දයක් ලබාගනු ඇති බවයි.
එවැනි ජනමත ප්‍රතිඵලයක් විසින් ලෝකයාට දෙනු ඇති නිශ්චිත පණිවිඩය වනු ඇත්තේ ලංකාව බෙදීගිය සමාජයක් බවත් එහි බහුතර සිංහල ජනයා සුළුතර දෙමළ ජනතාවට සමාන අයිතීන් ලබාදීමට විරුද්ධ බවත්ය. දේශීය වශයෙන් එවැනි තත්ත්වයක් විසින් ඇතිකරනු ඇත්තේ ජාතික අසමගිය සහ දේශපාලන අස්ථාවරත්වයයි. පොදු වශයෙන් එවැනි තත්ත්වයත් විසින් ජනවාරි විප්ලවයේ අපේක්ෂා උඩුයටිකුරු කොට යළි භීෂණ සමයකට මඟ පෑදීමට ඉඩ නැතුවා නොවේ.
එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම උදෙසා කළ යුතු සහ කළ හැකි ප්‍රධානතම පියවර නම් සිංහල ජනයා අතර බලය බෙදාහැරීමට පක්ෂව පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ඇතිකිරීමයි. එවැනි ව්‍යාපාරයක් විසින් ආමන්ත්‍රණය කළ යුත්තේ කාමරවලට කැඳවන සියයේ හමාරේ පිරිස්වලට නොව දහස් ගණනින් රැස් කැරෙන මහජනයාටය.
ඇත්ත වශයෙන්ම නම් දැනටමත් වාසිදායක ජනමතයක් ගොඩනැගීමට කල් පසුවී වැඩිවීමට ඉඩ තිබේ. අප කවුරුත් දන්නා දෙයක් නම් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිරිහී ඇති බවයි. එය මෙතෙක් පැවැති සෑම ආණ්ඩුවක්ම මුහුණ දුන් යථාර්ථයයි. පළමු දින සියය තුළ ව්‍යවස්ථාව ගෙන ආවේ නම් ලෙහෙසියෙන්ම ජනමත විචාරණයකින් වුව ජයගන්නට ඉඩ තිබුණි. මහජන මත විචාරණ මගින් ව්‍යවස්ථා හැදීම යනු බොරුවකි. මහජනයා ව්‍යවස්ථා සම්පාදනය ගැන දන්නා දෙයක් නැත. ආණ්ඩුව දැන් වුවත් කළ යුත්තේ විශේෂඥ පිරිස් ලවා ව්‍යවස්ථා කෙටුම්පත අවසන් කර එය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. ඊට සමගාමීව දැවැන්ත මහජන අවබෝධතා ව්‍යාපාරයන් ගෙනයෑමේ ශක්තිය ඇති ප්‍රභූවාදී නොවන පුරවැසි ව්‍යාපාරයන්ට අත දීමයි.
එවැනි සාර්ථක මහජන ව්‍යාපාරයන් පිළිබඳ අත්දැකීම් අප සතුව නොඅඩුව තිබේ.
වරදාන වළඳන මැතිඇමැතිවරුන් මහජනයා අතර නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ දේශපාලන දැනුවත්කිරීම් කරනු ඇතැයි සිතා සිටියහොත් එය එළුවාගේ අහවල් එක වැටෙන තුරු බලාගෙන සිටි නරියාගේ තත්ත්වයට ආණ්ඩුව ඇදවැටීමක් වනවා ඇත. අවශ්‍ය කරන්නේ වරදාන නොවේ. දේශපාලනයයි. ආණ්ඩුව නොකරන්නේද එයමය.
නව ව්‍යවස්ථාවක් ගෙනඒම මගින් මෙරට සෑම ජන කොටසකගේම අපේක්ෂා සැපිරීම ආණ්ඩුවේ අම්ල පරීක්ෂණය බව මතක තබාගැනීම වැදගත්ය. එහිලා ආණ්ඩුව අසමත් වුවහොත් ජනවාරි විප්ලවයේ අපේක්ෂා සුන්නත්දූවිලි වී රට අරාජිකවීමට පවා ඉඩ ඇති බවද මතක තබාගැනීම ඊටත් වඩා වැදගත්ය.■