රාවය

හවුහරණක් නැති රොහිංයා අනාථයෝ

හවුහරණක් නැති රොහිංයා අනාථයෝ

මෙලොව අඩු ම ඉල්ලූමක් ඇති ජනයා කවුරුන්දැ’යි නගන ප‍්‍රශ්නයකට පිළිතුරු දෙන ‘දේශ සීමා නැති වෛද්‍යවරු’ සංවිධානය පවසන්නේ ඒ රොහිංයා ජන කණ්ඩායම බවයි. එසේ ම ලොව වැඩියෙන් ම හිංසාවට බඳුන් වන්නෝ ද ඔවුහු ය.

එසේ කියන්නට බොහෝ හේතු තිබේ. ඉන් ප‍්‍රමුඛතම කාරණය නම් ඔවුන්ට ය කියා ලොවේ බිම් අ`ගලක් හෝ නොමැති වීමයි. ඔවුන් දිවි ගෙවන්නේ අනවසර ඉඩම්වල අහිගුණ්ඨිකයන් මෙන් අටවා ගත් පැල්පත්වල ය. ඔවුන්ගේ සනීපාරක්ෂක පහසුකම් ගන්නේ ඍණ අගයකි. පුදුමය වන්නේ ඔවුන් වඳ නොවී ඉතිරිව සිටීමය.
මේ වනවිට ලොව පුරා රොහිංයා ජනයා මිලියන දෙකකට තරමක් අඩු සංඛ්‍යාවක් සිටිති’යි ගණන් බලා තිබේ. ඔවුන’තුරින් 750,000ක් ඉක්මවන සංඛ්‍යාවක් සිටින්නේ මියැන්මාරයේ ය. සවුදි අරාබියේ, බංග්ලාදේශයේ, පාකිස්තානයේ සහ තායිලන්තයේ පිළිවෙලින් ලක්ෂ 4,3,2, සහ 1 බැගින් සහ මැලේසියාවේ 50,000ක් ද වෙසෙන මොවුන්ගේ මූලාරම්භය ලෙස සැලකෙන්නේ මියැන්මාරයේ රඛිනේ පළාතයි. එහෙත් මියැන්මාර් වැසියෝ එය තරයේ ප‍්‍රතික්‍ෂෙප කරති. ඔවුන් පෙන්වා දෙන්නේ මේ මිනිසුන් දහනම වන සියවසේ මැද භාගයේ බංග්ලාදේශයේ සිට එරටට සංක‍්‍රමණය වූවන් විනා දිගු කලක් එහි පදිංචිව සිටියවුන් නොවන බවයි.
මේ රටවල ඡන්ද හිමි නාමලේඛනවල ඔවුන්ගේ නම් නොමැත ඔවුන්ට හැඳුනුම්පත් නොමැති අතර ඇත්තේ සංචරණය සඳහා වරින්වර අවසර ලැබෙන බල කඩදාසියක් පමණි. බැහැර යන්නට නම් ඔවුන් ප‍්‍රාදේශීය බලධාරීන්ගෙන් අවසර ලබා ගත යුතු ය. එසේ නොමැතිව පිටව ගිය හොත් ආපසු එන්නට නොලැබේ.

මියැන්මාරයේ ජුන්ටා පාලන සමයේ ඔවුහු අතිශය පීඩාවට පත් වූහ. සැමවිට ම පහර දෙන ලදි. ඒ පහරදීම්වලින් කිසිවකු මරණයට පත් වුවත් ගාණක් නැත.
ඔවුන්ගේ ජීවනෝපාය කුලී වැඩයි. රොහිංයා මිනිසුන්ට ගෙවනු ලබන්නේ සාමාන්‍ය කුලීකාරයකුට ගෙවන මුදලින් අඩක් හෝ ඊට අඩු මුදලකි.

රොහිංයා මිනිසුන් ගැන දැන් අලූතින් කතාබහක් ගොඩ නැගී ඇත්තේ සිය සුතනඹුවන් ද කැටිව කඩමාලූ කිහිපයක් පොට්ටනි ගසා ගෙන මියැන්මාර් සිට තායිලන්තය සහ මැලේසියාව බලා බෝට්ටුවලින් යන පිරිසේ බහුල බව නිසා ය. රොහිංයා මිනිසුන් ගෙන එන බෝට්ටු දුටු වහාම තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව වැනි රටවල වෙරළාරක්ෂක හමුදා කරන්නේ වහා කි‍්‍රයාත්මකවී එවුන් තම තමන්ගේ රටවල වෙරළට ළ`ගා වන්නට නොදී දියඹට ම පළවා හැරීමයි. බොහෝවිට එසේ කරන්නේ පහර දීමෙනි. ඒ නිසා ඇතැම්විට ඔවුහු මරණයට පත්වෙති.

2012 වසරේ මියැන්මාර් බෞද්ධයන්ගේ ප‍්‍රහාරය නිසා ඔවුන් ගැන ලොව ඇස් ඇරිණි. දැන් එවුන් ගැන කතාබහ අලූත් වී ඇත්තේ ඔවුන් මියැන්මාරයේ සිට අනාරක්ෂිත බෝට්ටුවලින් පලායන්නට පටන් ගෙන සිටින හෙයිනි.

රොහිංයා ජනයාගේ ආගම ඉස්ලාම් බව පැවසේ. එහෙත් ඔවුන’තරින් බහුතරයකට ආගම අදහන්නට වේලාවක් හෝ ස්ථාන හෝ නොමැති හෙයින් ඔවුහු නමට පමණක් ඉස්ලාමීයයෝ වෙති. ඒ ඉස්ලාම්කම නිසා ඔවුන්ට මියැන්මාරයේ දී ප‍්‍රහාර එල්ල කෙරේ. එහෙත් ඒ නිසා මැද පෙරදිග ධනවත් රටවල්වලින් ඔවුන්ට කිසි පිළිසරණක් ඇති බවක් නම් නොපෙනේ.