රනිල් හැංගූ වැලිකඩ ඝාතන වාර්තාව 4 | ‘අපි ඇවිල්ලා ඉන්නේ ආණ්ඩුවේ පව් හෝදන්න’


rani

අරුණ ජයවර්ධන

එල්’ වාට්ටුව අසළ පාර අයිනේ ජෝ ති පා ල හෙවත් පොන්න කපිල, මාලන් සහ මංජුශ්‍රී හෙවත් නිලමේ එකා පිට එකා මැරී වැටී සිටියෝය. මේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සුරංග ඇතුළු පිරිස විසින් චැපල් වාට්ටුවේ සිට නම් කියා අඬගසා, ‘එල්’ වාට්ටුව පැත්තට රැගෙන ගිය රඳවුවන් තිදෙනාය. වැදගත්ම කාරණය නම්, ඝාතනය කරන ලදුව වැටී සිටි මේ රඳවුවන්ගේ ලේ ගලායමින් තිබෙන මළසිරුරු මුලින් දකින විට ඔවුන් අසළ කිසිදු බාහිර දෙයක්, හරියටම කියනවා නම්, කිසිම ගිනි අවියක් තිබුණේ නැති බවය.
ජෝතිපාල හෙවත් පොන්න කපිලගේ සම්පූර්ණ නම, අසරප්පුලිගේ ජෝතිපාලය. ඔහුගේ ලිපිනය, ෆර්ගියුසන් පාර, කොළඹ 14ය. සිරකරු අංකය එල් 17877ය. ජෝතිපාල මරණීය දණ්ඩනය ලැබූවෙකි. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියමකොට තිබුණු අතර ඊට විරුද්ධව ඔහු ඉදිරිපත් කළ අභියාචනයද අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබිණ. ජෝතිපාල ප්‍රධාන කුඩු ජාවාරම්කරුවෙක් හා පාතාල නායකයෙක්ද විය.
සිරකරු අංක එල් 19844 දරන, කංකානම්ලාගේ මලින්ද නිලේන්ද්‍ර පැල්පොල හෙවත් මාලන් නුගේගොඩ, මිරිහානේ, පරණ කොට්ටාව පාරේ පදිංචිකරුවෙකි. මරණීය දඬුවමට නියමවූවෙකි. කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියමකොට තිබුණු අතර ඊට විරුද්ධව ඔහු ඉදිරිපත් කළ අභියාචනයද අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබිණ. ගෙවල් බිඳීම, පිහියකින් කපා බරපතළ තුවාල සිදුකිරීම වැනි වැරදිවලටද ඔහුට දඬුවම් ලැබී තිබිණ. සොරකම් හා මංකොල්ලකෑම් සම්බන්ධ දරුණු ගණයේ අපරාධකරුවකු ලෙස සැලකුණු මාලන්, පාතාල නායකයෙකි. කප්පම් ගැනීමේද නිරතවූවෙකි. ranil-01
ඝාතනය වුණු හර්ෂ ශ්‍රී මනිකීර්ති පෙරේරා හෙවත් මංජු ශ්‍රී හර්ෂ හෙවත් නිලමේ, මහරගම, පිළියන්දල පාරේ, ශිරෝමනී මාවතේ, පදිංචිකරුවෙකි. ඔහු දඬුවම් ලැබූවකු නොව සැකකරුවෙකි. අංකය සැක662ය. ඔහුට විරුද්ධව තිබුණු චෝදනාව වුණේ රන් කඩුවක් සොරකම් කිරීමේදී කෝට්ටේ රජමහා විහාරයේ භික්‍ෂූන් දෙදෙනකු ඝාතනය කිරීමය. මිනීමරුමට අදාළ මූලික පරීක්‍ෂණය ඒ වනවිට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවැත් වෙමින් තිබිණ.
කළු තුෂාර හෙවත් තුෂාර චන්දනගේ සිර අංකය සැක4230ය. ඔහු මහරගම, නාවින්නේ, පතිරගොඩ පාරේ පදිංචිකරුවෙකි. පාතාල නායකයෙකි. කප්පම් ගැනීමෙහි නිරතවූවෙකි. එමෙන්ම හෙරොයින් ජාවාරම්කරුවෙකි. පානදුර, ගම්පහ හා කොළඹ මහාධිකරණවලද, අවිස්සා වේල්ල හා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණවලද ඔහුට අදාළ නඩු විභාගවෙමින් පැවතිණ.

ranil-02
ඊළඟට විසඳුණේ මේ කියන කළු තුෂාරගේ ඉරණමයි. ජීවිත ආරක්‍ෂාව පතා බන්ධනාගාර නිලධාරීන් සමඟ එකතුවුණු සිරකරුවන් අතර සිටි කළු තුෂාර හමුදා නිලධාරීන් විසින් වයිඕ අංශය වෙත රැගෙන යන ලදි. එසේ ගෙනයන ලද්දේ නාකොටික්ස් සුරංගගේ මෙහෙයවීම පරිදිය. මේ ගෙනයන අතර කළු තුෂාර මහහඬින් කෑගැසුවේය. ‘අනේ සර්, මාව මරන්න එපා. මම වරදක් කළේ නැහැ. ඕනෑ නම් චීෆ් ජේලර් මහත්තයාගෙන් අහන්න.’ කියමිනි. මේ වන විට ඝාතනය වී සිටි සිරකරුවන්ගේ ඉරණම දුටු කළු තුෂාර තමාටත් සිදුවන්නට යන දේ ගැන අවබෝධයකින් එසේ කියන්නට ඇත. එහෙත් සුළු වේලාවකට පසු තුෂාරගේ හඬ නෑසී ගිය අතර, වයිඕ අංශයට ඇතුළුවන දොරටුව ආසන්නයෙන් වෙඩි හඬක් නික්මිණ.
මේ අවස්ථාව වනවිටත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි බන්ධනාගාරය තුළ ප්‍රධාන දොරටුව ප්‍රදේශයේ සිටියේය. ඔහු සමඟ තවත් අධිකාරිවරු කිහිප දෙනෙක්ද එහි සිටියෝය. කළු තුෂාර ගෙනයනු දුටු එතැන සිටි එක් උසස්ම නිලධාරියෙක්, ‘කළු තුෂාරත් ඉවරයි නේද?’ යැයි අන් අයට කීවේය. කළු තුෂාරට අත්වන්නට යන ඉරණම ඔවුන්ද දැනසිටියා වැන්න. එහෙත්, ලැයිස්තුවක් බලාගෙන නම කියා අඬගසමින් හඳුනාගත් නිශ්චිත සිරකරුවන් ඝාතනය කරමින්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් හා යුද හමුදාව ගෙනගිය මේ තිරිසන් ක්‍රියාදාමය නවත්වන්නට එහි සිටි කිසිම ඉහළ බන්ධනාගාර නිලධාරියෙක් සමත් නොවීය. ඒ තරමට ඝාතකයෝ බලවත්ව සිටියෝය.

ranil-03
මේ වන විට හොඳටම එළිය වැටී තිබිණි. වේලාව උදේ 6ට කිට්ටු වන්නට ඇත. වාට්ටුවල සිටි හැම රඳවුවකුම වාට්ටුවල ඉදිරිපිට, ඒ කියන්නේ බන්ධනාගාර අධිකාරිගේ කාමරයේ සිට එල් ශාලාව දක්වා දණ ගසාගෙන සිටියෝය. මැගසින් බන්ධනාගාරයේ ඉහළම නිලධාරියෙක් (ඔහුගේ නියම නම වෙනුවට නිමල් රංජිත් යැයි කියමු.) මැගසින් බන්ධනාගාර අනුඛණ්ඩයේ තවත් නිලධාරියකු සමඟ ගොස් දණගසාගෙන සිටි එක් රඳවුවකු නැගිට්ටුවේය. ඒ ආසන්නයේ මැගසින් බන්ධනාගාරයේ ඉහළ ජේලර්වරයෙක්ද (අපි ඔහුට කමල් නිශාන්ත යැයි කියමු.) සිටියේය. මේ කතාවේදී වැදගත් වන එක් නිලධාරී රැස්වීමක් පවත්වා තිබුණේ මේ ජේලර් කමල් නිශාන්තගේ නිවසේ යැයි තොරතුරු තිබේ.

ranil-04
දණගසා සිටි රඳවුවන් අතුරෙන් නිමල් රංජිත් විසින් නැගිටුවාගත්තේ කොණ්ඩ අමිලය. මලික් සමීර පෙරේරා හෙවත් කොණ්ඩ අමිල, දෙහිවල, කළුබෝවිල, ද සිල්වා පාරේ පදිංචිකරුවෙකි. සිර අංකය කිව්21517ය. කොණ්ඩ අමිල හෙරොයින් ජාවාරම් කරුවෙකි. වෙලේ සුදා නම් ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරුම්කරුවාගේ පාතාල කල්ලියේ සාමාජිකයෙකි. කප්පම් ගැනීම කරන්නෙකි. කොළඹ මහාධිකරණය, වැලිකඩ විශේෂ අධිකරණය, කොළඹ හා ගල්කිස්ස මහේසත්‍රාත් අධිකරණවල ඔහුට එරෙහිව නඩු විභාගවෙමින් පැවතිණ.
නිමල් රංජිත් හා හමුදා නිලධාරීන් කිහිප දෙනකු විසින් කොණ්ඩ අමිල වයිඕ අංශය වෙත ගෙනයන ලදි. අවසානයේ ඔහුගේ ලේ ගලමින් තිබෙන මළසිරුරද දැකගන්නට ලැබිණි.

ranil-05
මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් විසින් රඳවුවන්ගෙන් ලබාගත් ගිනි අවි 28ක් යුද හමුදා සැරයන් තෙන්න කෝන් වෙත භාරදෙනු ලැබ, හමුදා සැරයන්වරයා විසින් ඒවා බන්ධනාගාර අවි අංශයේ නිලධාරියා වන නානායක්කාර වෙත භාරදෙමින් තිබිණ. ඒ ඒ ගිනිඅවියේ අංකය හා වර්ගය විධිමත්ව පොත්වල සඳහන් කරමින් එම භාරදීම ප්‍රධාන ගේට්ටුව ආසන්නයේදී සිදුවිය. ගිනිඅවි නිසි ලෙස භාරදුන් හා බාරගත් බවට අදාළ ලේඛනවල හමුදා සැරයන්වරයාද, ගිනි අවි භාර බන්ධනාගාර නිලධාරියාද අත්සන් තැබූහ. මේ කාර්යය නිරීක්‍ෂණය කරමින් තවත් බන්ධනාගාර නියාමකවරු දෙදෙනෙක්ද එතැන සිටියහ. මේ අවස්ථාවේදී එහි පැමිණි, මැගසින් බන්ධනාගාරයේ ඉහළ නිලධාරි නිමල් රංජිත් බලහත්කාරයෙන් මෙන් ගිනි අවි භාරගනිමින් සිටි නිලධාරියාගෙන් ටී 56 ගිනිඅවි හතරක් අරගත්තේය. ඉන්පසු ඔහු බන්ධනාගාරය තුළට ගියේය. මේ මොහොතේ එක් බන්ධනාගාර කොමසාරිස්වරයෙක්, තවත් නිලධාරියකු අමතා, ‘වයිඕ අංශය ළඟ මැරිලා වැටිලා ඉන්න එකෙක් ළඟ ආයුධයක් නැහැ. එකක් ගිහින් දාපන්’ යැයි කීවේය. සිදුවෙමින් තිබුණු බිහිසුණු අපරාධය ගැන විරෝධය පළකරමින් ඒ නිලධාරියා ඒ අණ පිළිපැදීම වහා ප්‍රතික්‍ෂෙප කර ඉවත්ව ගියේය. මේ යක්‍ෂයාගේ හෝරාවේ දේවල් සිදුවුණේ ඒ ආකාරයටය.
උදේ රඳවුවන් ගණන් කිරීම ඇරඹිණි. ඒ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලිසියේ නිලධාරීන් එතැනට පැමිණ පරීක්‍ෂණ ආරම්භ කර තිබුණේය. බන්ධනාගාර නිලධාරීන් විසින් ගණන් ගැනීමේදී රඳවුවන් 60කගේ අඩුවක් තිබන බව දක්නා ලදි. රෝහල්ගත කරන ලද පිරිසත්, මියගිය ගණනත් සමඟ සැසඳූ පසුද රඳවුවන් දෙදෙනකුගේ අඩුවක් තිබුණි.

ranil-06
පස්වරු 1ට පමණ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 2හි මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ එහි පැමිණියාය. බන්ධනාගාර නිලධාරීහු මහේස්ත්‍රාත්වරියට සිදුවීම පිළිබඳ කරුණු පැහැදිලි කරන්නට වන්හ. සවස බන්ධනාගාර නිලධාරීහු සීඅයිඩීයට කටඋත්තර දුන්නෝය. කටඋත්තර දෙන අතර එක් සීඅයිඩී නිලධාරියෙක්, බන්ධනාගාර නිලධාරියකු අමතා මෙසේ කීවේය: ‘සර් අපි ඇවිල්ලා ඉන්නේ ආණ්ඩුවේ පව් හෝදන්න. ඒ නිසා දෙන කටඋත්තරයක් පරෙස්සමට දෙන්න.’
වාට්ටුව අසළ පාර අයිනේ වැටී තිබුණු ජෝතිපාල හෙවත් පොන්න කපිල, මාලන් සහ මංජුශ්‍රී හෙවත් නිලමේගේ මළසිරුරු පසුව ගොඩනැගිල්ල අයිනට ඇදදමා තිබිණි. එහෙත්, ඒ වන විට මේ මළසිරුරු අසළ ටී56 ගිනි අවි දක්නට ලැබිණ. ඊට අමතරව මැරී සිටි ගුණ්ඩු නමැති රඳවුවා අසළ පිහියක්ද දමා තිබිණි. රඳවුවන්ගේ මළසිරුරු ළඟින් සොයාගත් ගිනි අවිවල අංක පරීක්‍ෂා කරද්දී දැනගන්නට ලැබුණේ ඒවා ඊට පෙර හමුදා සැරයන් තෙන්නකෝන් විසින් බන්ධනාගාර අවි භාර නිලධාරි නානායක්කාරට විධිමත්ව බාරදුන් අවි අතර තිබුණු ගිනිඅවි 4ක් බවයි. ටී56 ස්වයංක්‍රීය ගිනිඅවි වූ ඒවායේ අංක 33278, 34010, 32857 සහ 58631ය. ඒවා බන්ධනාගාර නිලධාරී නිමල් රංජිත් බලහත්කාරයෙන් මෙන් ඉල්ලාගෙන ගිය ඒවාය. සවස පැමිණි සීඅයිඩී නිලධාරීහු මේ ගිනිඅවි නඩුභාණ්ඩ වශයෙන් භාරගත්තෝය.
ඉතා පැහැදිලි කාරණය නම්, ඝාතනය වුණු රඳවුවන් ඝාතනය කැරුණේ ඔවුන් හමුදාවට වෙඩි තැබීමකදී නොවන බවය. එහෙත්, මේ රඳවුවන් හමුදාවට වෙඩි තබන්නට හදන විට ආත්මාරක්‍ෂාව පතා හමුදාව වෙඩිතැබූ බව පෙන්වන්නට කිසිවකුට වුවමනාව තිබෙන්නට ඇත. ඝාතනයවූවන්ගේ සිරුරු අසළ පසුව වුවමනාවෙන්ම ගිනි අවි දමා තිබුණේ ඒ නිසාය. කිසියම් වුවමනාවක් සඳහා නිශ්චිතව තෝරාගෙන ඝාතනය කරන ලද මේ රඳවුවන්ගේ ඝාතන ගැන වෙනත් චිත්‍රයක් මවන්නට වුවමනා වුණේ ඇයි?■
අනෙක් රඳවුවන්ගේ ඉරණම ගැන ලබන සතියේ රාවයෙන් කියවන්න.