Untitled-1

Untitled-1

මම මෙසීට ආදරෙයි


messi

ජගත් ප්‍රේමචන්ද්‍ර

මල් කැකු`ඵ ඉස්සරහා ආදරණීයයන් වෙන අය අපමණයි. ඒ ආදරණීය වීම ජාති ආගම් භේදයෙන් දේශසීමාවන්ගෙන් තොරයි. ලෝකය කොයිතරම් ලස්සන ද, මිනිසුන් කොයිතරම් හැඟීම්බර ද කියලා හිතෙන තරමට ම මේ කතාව ආදරණීයයි. මේ කතාවේ කතා නායකයා ඇෆ්ගනිස්තානේ විසූ මුර්ටාසා අහමඩි. මුර්ටාසාගේ වයස යම්තම් අවුරුදු 5 පැන්නා විතරයි. කතාවෙ අනෙක් කෙනා බොහෝ දෙනෙක් දන්නා ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක 29 හැවිරිදි ලයනල් මෙසි.
මුර්ටාසාගේ ලෝකයේ අංක එක වෙලා හිටියේ ලයනල් මෙසි. ඔහු මෙසීට කෙතරම් ආදරය කළා ද කියනවා නම් ඔහු අම්මා තාත්තාටත් වඩා ආදරය කරලා තියෙන්නේ මෙසීට. මෙසී අනුකරණය කරමින් පාපන්දු ක්‍රීඩාවේ නිරතවීමට කුඩා මුර්ටාසා දක්වා තිබෙන්නේ පුදුම කෑදරකමක්. කොටින්ම කියනවා නම් මුර්ටාසා කියන නමට වඩා ඔහුට මෙසි යැයි ආමන්ත්‍රණය කරනවාට තමයි එයා කැමති.
“මම මෙසීට ආදරෙයි. එයා තමයි මගේ වීරයා” මුර්ටාසා මෙහෙම කියන්නේ පසුගියදාක මෙසීගේ ඔඩොක්කුවේ හුරතල් වෙමින්. ආජන්ටිනාවේ පාපන්දු සූරයා වන ලයනල් මෙසීට ඇෆ්ගනිස්තානේ ඉතා අඩුපහසුකම් සහිත ගාස්නි ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩා කළ මුර්ටාසා අහමඩි මුණ ගැහෙන්නේ සමාජ ජාලා වෙබ් අඩවිවල මේ වසරේ මුල් කාර්තුවේ සංසරණය වූ ඡායාරූපයක් නිසා.
යුද්දෙන් බැටකමින් ජීවත් වූ මුර්ටාසාලා ජීවිත සටනෙන් ද බැටකමින් සිටි අය. රටේ යුද්ධයක් පැවැතිය ද, මේ කුඩාවුන්ගේ ලෝකයේ යුද්ධයක් තිබුණේ නැහැ. ඔවුන්ගේ යුද්ධය වුණේ අඩුපහසුකම් මැද පාපන්දු ක්‍රීඩා කිරීම. කොතරම් අඩුපාඩු තිබුණත් වාසනාවකට වගේ ඔවුන්ට ක්‍රීඩා කිරීමට පාපන්දුවක් තිබුණා. ඔවුන්ගේ ලෝකය වෙලා තිබුණේ මේ පාපන්දුව.
දිනක් පාපන්දු ක්‍රීඩා කරද්දී මුර්ටාසාගේ සහෝදරයෙකුට හරි අපූරු අදහසක් මතු වෙනවා. ඒ මුර්ටාසාට ඔහුගේ වීරයාගේ අංකය සහිත ජර්සියක් ලබා දෙන්න. එම අවස්ථාවේදී ඔහු ඉතා ම නිර්මාණශීලි වෙනවා. ඔහු අපි කවුරුත් දන්න ෂොපිං බෑග් එකක් ගෙන ඒකෙන් ජර්සියක් නිර්මාණය කරනවා. ඒකෙ මෙසිගේ අංකය වන 10 සටහන් කරනවා.
මේ ජර්සිය තමාට ලැබුණ ඉතාම වටිනා ත්‍යාගය ලෙසයි මුර්ටාසා දුටුවේ. ඒ සතුටු මුහුණ ඡායාරූපය නගන්න මුර්ටාසාගේ සහෝදරයා අමතක කරන්නේ නැහැ. ඊට පසුව එය සමාජජාල වෙබ් අඩවිවලට මුදා හැරෙනවා.
ඇෆ්ගනිස්තානේ ඉතා දුෂ්කර පළාතක ජීවත් වූ මේ අපූරු කොලු පැටියාගේ ඡායාරූපය කාගේත් අවධානයට ලක්වෙන්න ගන්නේ ක්ෂණික වේගයෙන්. මේ අතිසංවේදී පිංතූරය සෑම රටකම පාහේ සංසරණය වෙමින් ලොකු කුඩා කා අතරත් කතාබහට ලක්වෙනවා. මේ සම්බන්ධයෙන් මුර්ටාසාගේ පියා අරිෆ් අහ්මඩි මාධ්‍ය වෙත පවසා තිබුණේ තමන්ගේ පුංචි පුතා ෆුට්බෝල්වලට වගේම මෙසීටත් ඉතාම කැමැත්තක් දක්වන බවත් ඔහු අනුකරණය කරමින් ක්‍රීඩාවේ යෙදෙන්නත් ඉතා කැමැති බවත් ය.
“මම දුප්පත් ගොවියෙක්. අපිට එයා වෙනුවෙන් ජර්සියක් මිලදී ගන්න වත්කමක් නැහැ. මේ බව අවබෝධයෙන් සිටි අපේ ලොකු දරුවා මුර්ටාසා වෙනුවෙන් ප්ලාස්ටික් බෑග් එකකින් ජර්සියක් හදලා දීලා තිබුණා.”
මේ ඡායාරූපය අන්තර්ජාලය මගින් සහ විවිධ සමාජ ජාල මාධ්‍ය මගින් සංසරණය වෙද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානය (යුනිසෙෆ්) මුර්ටාසාට ලයනල් මෙසීගේ අත්සන සහිත ජර්සියක් ලබාදීමට කටයුතු කර තිබුණා. මෙසී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා අරමුදලේ කීර්තිනාම තානාපතිවරයෙකු ලෙසද කටයුතු කරනවා. ඒක ඇඟලාගත් මුර්ටාසා කියලා තිබුණේ ‘මම මෙසීට ආදරෙයි. මට මෙසීගේ ජර්සියක් එවලා තියෙන්නේ මෙසීත් මට ආදරේ නිසා” කියායි.
මේ සිදුවීමෙන් අනතුරුව පුංචි මුර්ටාසාට විවිධ ආරාධනා ලැබී තිබුණා. ඒ ඇරයුම් අතර මෙසීගේ ආරාධනාවකුත් තිබුණා. එහෙත් විවිධ හේතූන් නිසා ඔවුන් හමුවුණේ නැහැ. මෙසීගේ ආරාධනාවන් මග ඇරුණත් මුර්ටාසා විවිධ අවස්ථාවන්ට සහභාගි වුණා. ඇෆ්ගනිස්තානේ කාබුල් නගරයේ පිහිටි ඇෆ්ගනිස්තාන පාපන්දු සංගම් මූලස්ථානයේ පාපන්දු පුහුණු සැසියකට සහභාගි වූ මුර්ටාසා එහිදී පවසා තිබුණේ තමන් මෙසී හමුවීමට නොඉවසිල්ලෙන් ඉන්නා බවයි.
කෙසේ වෙතත් පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් මුර්ටාසා ඇතුළු පවුලේ සැමට ඇෆ්ගනිස්තානයෙන් පලායෑමට සිදුවෙනවා. ඔවුන්ගේ වර්තමාන වාසස්ථානය වෙන්නේ පාකිස්තානය. පාකිස්තානයට පලා ආවද මුර්ටාසාගේ සිහින ලෝකය වෙනස් වෙන්නේ නැහැ. දේශසීමාවක් නොමැති මේ සිහිනයට ජීවය දෙන්නට 2022 වසරේදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සංවිධායකයෝ පසුගියදා කටයුතු කර තිබුණා.
ඒ කටාර් කණ්ඩායම සහ බාසිලෝනා කණ්ඩායම අතර කටාර්හි පැවැති සුහද පාපන්දු තරගයකදී. එම තරගයේ පළමු පා පහර එල්ල කිරීමේ අවස්ථාව කුඩා මුර්ටාසාට හිමිවෙනවා. ඒ තමන්ගේ සුපිරි වීරයා වන ලයනල් මෙසී සමඟින්. ඒ හමුව සම්බන්ධයෙන් කුඩා මුර්ටාසා පවසන්නේ “මගේ වීරයා හමුවීම සතුටක්. එය මගේ තිබූ හීනයක්” බවයි.
“මුර්ටාසා තමයි මගේ අලුත්ම යා`ඵවා. ඇත්තටම අපිට මීට කලින් හමුවෙන්න තිබුණා. ඒත් ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. මම හිතනවා මම එතැනදි වරදක් කළා කියලා. මුර්ටාසා ඇෆ්ගනිස්තානේ ඉඳලා පාකිස්තානය දක්වාම එයාගේ සිහිනය කර තියාගෙන ඇවිත් තිබුණා. මම මගේ යා`ඵවාගේ ඒ බර එච්චර කාලයක් දරා ඉන්න සලස්වපු එක වරදක්. ඒත් අදින් පස්සේ එහෙම වැරදි මගෙන් සිදු වෙන්නේ නැහැ.” ලයනල් මෙසී පවසා තිබුණා.
මේ සොඳුරු අවස්ථාවට මුර්ටාසාගේ ෂොපිං බෑග් ජර්සියේ නිර්මාතෘ සහෝදරයාද සහභාගි වී සිටියා. “මම මෙසීට කැමැතියි. ඔහු ඉතා දක්ෂයි. හොඳින් ක්‍රීඩා කරනවා. ඔහු මගේ මල්ලිට ඉතා හොඳ යා`ඵවෙක් වේවි. ඔහු ඉතා හොඳ මහත්මයෙක්.”
මුර්ටාසාගේ සහෝදරයා පමණක් නොවේ පියා ද මේ අවස්ථාවට සහභාගි වී සිටියා. ඔහු මාධ්‍යයට පවසා තිබුණේ තමන්ගේ පුතා ‘ඇෆ්ගනිස්තානේ මෙසී’ වෙනවා නම් තමන් කැමැති බවයි.
එහෙත් කුඩා මුර්ටාසාට එවැනි හැඟීමක් තිබී නැහැ. ඔහු තමන්ට මෙසී සහ මෙසීගේ යහ`ඵවන්ගෙන් ලැබුණ තෑගි බෝග අතර අතරමං වෙලා ඉඳලා තියෙන්නේ. ඒක ඉතිං කුඩා දරුවෙක්ගේ සිරිත. ඒත් සමුගන්නා අවස්ථාවේ කවුරුත් අමන්දානන්දයට පත්කරමින් මුර්ටාසා පවසා ඇත්තේ තමන් නැවත මෙසී හමුවීමට 2022 පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගය නැරඹීමට එන බවයි. ඒ සඳහා අවසර පත් දැනටමත් මුර්ටාසාට ලැබී අවසන්.■