රාවය

තඹ සන්නසක් ඔස්සේ වළව්වකට ගියෙමි

තඹ සන්නසක් ඔස්සේ වළව්වකට ගියෙමි

කේ. සංජීව

මේක තඹ සන්නසක් ගැන කතා වක්. ඒ සන්නසේ අකුරුත් එක්ක ඇමිණෙන අතීතයක් ගැන කතාවක්. මම කලින් හිතුවේ නැති සතුටක් විනෝදයක් මේ සොයාගෙන යෑම අස්සේ තිබුණා.
මේක වැඩවසම් ක්‍රමය ගැන නැවත ලිවීමක්. කුල රේඛාවේ ඉහළින්ම හිටිය මිනිස්සු ගැන කතාවක්. ඉතිං වළව්වලට කඬේ යනවා, වැඩවසම් ක්‍රමය විඳිනවා වගේ කතා තොගයක් අපේ සමහරුන්ගේ ඔළුවේ හැදෙන්න පුළුවන් කතාවක් මේක. හැබැයි මේක අතීත ලංකාව ගැන තියෙන ඉතිහාස ප්‍රබන්ධ මල්ලෙන් එක කතාවක් වෙන්නත් පුළුවන්.
මේ සන්නස ගැන තොරතුරු මුලින්ම දකින්නේ සපරගමුවේ පැරණි ලියවිලි කියන පොතේ. මේක රත්නපුරේ වැඩ වාසය කළ කිරිඇල්ලේ ඤාණවිමල හාමුදුරුවෝ ලියපු පොතක්. ඈත මෑත කාලේ සපරගමුව ගැන ඒ ඉතිහාසය ගැන හොඳටම ඇවිස්සුවේ මේ හාමුදුරුවෝ කියලා කිවුවොත් ඒක හරියටම හරි. ඊට පස්සේ සපරගමුව ගැන ලියූ ගොඩක් අය කළේ හාමුදුරුවෝ ලියපු අතීතය කොපි කරලා අතින් පොඞ්ඩක් දාලා පොත් ගෙඩි උපද්දපු එක.
මේ කතා අස්සේ සන්නසේ කතාව අහක යනවා. මම මේ කියන සන්නසට එලමල්පේ සන්නස කියලා තමයි කියන්නේ. හාමුදුරුවන්ගේ පොතේ 231 පිටට ගියොත් මේ සන්නසේ කතාව තියෙනවා. මගෙන් ඒ කතාවට එච්චර බරක් වැටෙන්නේ නැහැ. මේ තඹ සන්නසේ දැන් අයිතිය හොයාගෙන මම ගියා. ඒ එලමල්පේ ගමට.

එලසමුණු බමුණා සහ එලමල්පේ
‘ඉන්දියාවේ උත්තර භද්‍ර කියන පළාතේ ඉඳලා එලසමුණු බමුණායි, එයාගේ බැමිණියයි, මල්ලියි, තව ආවතේව වැඩවලට හයදෙනෙකුයි ලංකාවට ඇවිත් තියෙනවා පන්සල් වැඳගන්න. ඔවුන් මේ වැඬේ ඉවරවෙලා ගමරටට යන්න රජ්ජුරුවන්ගෙන් අවසර ගන්න මාලිගාවට ගිහිං තියෙනවා. එහෙම ගියාම රජ්ජුරුවෝ, යන්න එපා මෙහේ ජීවත්වෙන්න කියලා නින්දගමක්, නැත්නම් බඩවැදඩිල්ලක් දීලා තියෙනවා. ඒ සපරගමුවේ අටකලන් කෝරලේ ගොනාදෙණිය කියන ගම. එලසමුණු බමුණාට ගරු කරන්න රජ්ජුරුවෝ මේ ගමේ නම ගෝනාදෙණිය කියන එක එලමල්පේ කළා.’
තඹ සන්නස ඔහුගේ අතේ. ඔහු මා ළග. අපි සිංහල උළු සෙවිලි වහලක් යට. අඩි එකහමාරක් ගානට බැන්ද බිත්ති, මී පැණි එක්ක මුසුවෙලා කපරාරු වුණ බිත්ති, අපි දිහා බලාගෙන… අනේ උඹලාගේ සන්නස් කියන්නැහේ විරිත්තනවා. තඹ සන්නසේ සිංහල බැඳි අකුරු නුවර යුගය ගැන කියවූ දෑ මතකයට අරගෙන එනවා. ‘මොකෝ මේ ඉංගිරීසියෙන් පොඩි නෝට් එකක් දාලා තියෙන්නේ.’ තඹ සන්නස අතට ආවාම මගේ හිතට එන කෝටියක් ප්‍රශ්න මේ.
‘මේකයි, මේ සන්නස් පුස්කොළ සේරම ඉංගිරීසි ආණ්ඩුවට දෙන්න වුණා. එහෙම දුන්නාම සුද්දෝ අපිට මේවා ආයෙත් දුන්නේ මෙහෙම ලකුණු කරලා.’
මා ඉස්සරහ ඉන්න මනුස්සයා මට කියනවා.
මේ සන්නස්, වෙනස් වෙන්නේ නැතුව ගල් ගැහිලා බලාගෙන ඉන්න වළව්ව, වළව්ව ඇතුළේ යෝද පෙට්ටගමක් අස්සේ නිදිසුව විඳින ඉතිහාසය, මේ සේරම ආරක්ෂා කරන්නේ මේ පුංචි මිනිසා. ඔහුගේ බිරිඳ. ගාමිණි සරත් දෙල්ගොඩ තමයි ඔහුගේ නම. එලසමුණු බමුණා හැදුවායැයි කියන මේ විසල් නිවසේ දැන් උරුමකරුවා තමයි ගාමිණි සරත් දෙල්ගොඩ. ඉතිං දැන් තමයි හොඳම වෙලාව තඹ සන්නසේ අකුරු අස්සේ ලෝකයට රිංගන්න.

සන්නස ගැන
සිද්ධස්ථාන වැඳපුදා ගෙන බාරහාර ඔප්පුකිරීමට උත්තර භද්‍රා දේශයේ ඉඳලා ලක්දිවට ආ නව දෙනාගේ කණ්ඩායමෙන් මෙහි නතරවූ තිදෙනාගේ නායකයා වන එලසමුණු බමුණාට ලක්දිව නතරවී ජීවත්වීම සඳහා බඩවැඩිල්ලක් විදියට නුවර රජකළ රජෙක් ශක වර්ෂ 1508දී (ක්‍රිස්තුවර්ෂ 1586) මේක දුන්නයි කියලා තමයි මේ තඹ සන්නස ගැන ලියන හාමුදුරුවෝ ලියන්නේ. හාමුදුරුවෝ ඊට පහළින් ඉතිහාසය ගැන ප්‍රාමාණික බුද්ධිමතුන් උපුටලා මේ අවධිය පළවෙනි විමලධර්ම සූරිය රජුගේ කාලේ කියලාත් කියනවා. ඒ හාමුදුරුවන්ගේ කතාව. මේ පරපුරේ දැන් උරුමකරුවාට මේ ගැන පවුලෙන් උරුමවෙච්ච කතාව මොකද්ද?..
‘මේ බමුණායි, බැමිණියයි, මල්ලියි තමයි මේ නින්දගමේ පදිංචි වුණේ. මේ යුවළට දුවෙක් ලැබෙනවා. දුව විවාහ කරලා දෙන්න තරුණයෙක් හොයනවා. බමුණු දුවෙක් නිසා බමුණු පෙළපතක් වෙන්න ඕනෑ. ඔන්න හොයනකොට සපරගමුවේ කලවානේ දෙල්ගොඩ ඉන්නවා බමුණු පරපුරක්. ඒ තමයි ඉන්දියාවේ මදුරාපුරෙන් ආ විජේරාම කියන බමුණා. මේ දෙන්නා විවාහ වෙනවා. මෙතැනින් තමයි අපේ දෙල්ගොඩ පරම්පරාව පටන්ගන්නේ. කලවානේ දෙල්ගොඩ මේ බමුණාගේ නංගිගේ පුතා තමයි දෙල්ගොඩ විජේතුංග මුදලි. මේ මුදලිට ක්‍රිස්තුවර්ෂ 1726දී තඹ සන්නසකින් විශාලම නින්දගමක් දෙනවා. ඒකට කියන්නේ දෙල්ගොඩ තඹ සන්නස. අනික තමයි එලසමුණු බමුණාගේ මල්ලීටත් රජ්ජුරුවෝ මේ ගමට එහා ගමෙන් නින්දගමක් දෙනවා. ඒ මොකටද මිනිහා දක්ෂ නැකත් හදන්නා හින්දා. මිනිහා තමයි රිට්ටාව සොයාගත්තා කියන්නේ.’
දෙල්ගොඩ මහත්ත යාගේ කටින් පවුලේ වංහුං එළියට පනිනවා ඕසේට. මේ නින්දගම්වලින් බොහොමයක් ඉඩම් මේ පරපුරු උරුමකරුවන් අතේ තවමත් ගැවසෙනවා. ඒ හින්දා මේ තඹ සන්නස් කතා බොරු නෙවෙයි. ලංකාවේ එක අවධියක මිනිස්සුන්ගේ ජීවිතවල වැඩි පදාසෙකට වගකිව්වේ මේ උරුමේ. අනික් පැත්තෙන් අපි තඩි සිංහල, අපි කොහාටවත් නැහැ වගේ කතා කියන මිනිසුන්ට මේ පරපුරවල මේ ආකාරයෙන් ඉන්දියාවට පූට්ටු වීම කියාදෙන්න වටිනවා. අද ඉන්දියා විරෝධයක ගිලිලා ඉන්න මිනිස්සු අතීතයේ තමන්ගේ ජාන මේ විදියට මාත්තු කරගත්තා.

ඉතිං ඊට පස්සේ
එලමල්පේ මේ සන්නසෙන් උරුම වුණු ඉඩම් කොටස අක්කර 400ක්. එතකොට දෙල්ගොඩ තඹ සන්නසෙන් උරුම කොටස අක්කර 16000ක්. මේවා රාජකාරි කරන දුප්පතුන්ගේ පංගුවලට වෙන්වුණාට පස්සේ ඉතිරිවෙන බිම් කොටසත් සෑහෙන්න විශාලයි. එදා පංගු ක්‍රමයට වළව්වට රාජකාරි කළ මිනිස්සු අද ඒවා අතඇරලා. ඒ මිනිස්සුන්ට තමන්ගේ බිම ලැබිලා තියෙනවා. වළව්ව සුද්ද පවිත්‍ර කරන්න ගොම ගාන්න විතරක් නෙවෙයි වළව්වේ ලොක්කා රාජකාරියට හරි දේවකාරියට හරි යනකොට දෝලාව කරේ තියාගෙන යන්නත් පංගුවක් මේ නින්දගම්වලින් වෙන්වුණා. මේක ගොඩක් පරණ වළව්වක්. ලන්දේසි ගෘහ නිර්මාණ කලාවේ කුලුනු, ජනෙල්, කුස්සියේ චිමිනිය වගේ දේවල් වැඩි පරිණාමයක් නැතුවම මේ වලව්වේදී දකින්න පුළුවන්. මම කලින් කිව්වානේ කරේ තියාගෙන යෑමක් ගැන. මේ ගෙදර හිටිය රටේ මහත්තයා, ඒ කියන්නේ අපේ කතානායකයාගේ සීයාගේ තාත්තා රාජකාරිවලට ආ ගිය පල්ලැක්කිය තවමත් මේ ගෙදර සුරක්ෂිතයි. තඩි පෙට්ටගමේ තියෙන පැරණි කාලේ භාණ්ඩ අස්සේ පොසිලේන් පිඟන් කෝප්ප, හිසට ගහන පනා, ඇත්දළ පනාව, තඹ ගිරය හරිම සුවිශේෂයි. ඒ වාගේම දෙල්ගොඩ මහත්තයා සුරක්ෂිත කර තියාගෙන ඉන්න කාසි ගොන්නේ පනම, තුට්ටුව, කුට්ටි කාසි වගේ දේවල් හරිම වටිනවා.
‘අපි මුලින්ම කිව්වේ මේ පරම්පරාව පටන්ගත්ත හැටි. එලසමුණු බමුණාගේ දුව බැන්දාට පස්සේ එයාට දරුවෝ පහයි. එක්කෙනායි ගැහැනු. එයා තමයි රඹුක්පොත කුමාරිහාමි කියන්නේ. පිරිමි හතරයි. බාලයා තමයි පුංචි බණ්ඩාර. එයා තමයි එලමල්පේ නතරවුණේ. එයා ඉංගිරීසි කාලේ කුකුළු කෝරලේ රටේ මහත්තයා. ඊළගට දිසාවේ තනතුරකුත් ලැබුණා.’
මේ තමයි අපේ කතානායකයාගේ පවුල ගැන කතාව. මෙහෙම අතුඉති දාලා නගින දෙල්ගොඩ පවුල් ගහ ගැන ලියන්න ගියොත් අකුරු කන්දක් යයි. ඒ හින්දා ඒක පැත්තකට විසිකරලා අපි මේ ලිපිය අවසානෙකට ගෙනෙන්න හිතුවා.
මේ විදියට තමයි ඉන්දියාවේ භද්‍රා පුරයෙන්, මදුරා පුරයෙන් ආ බමුණෝ දෙන්නෙක් තමන්ගේ පවුල් ගහ නිර්මාණය කළේ. අද වෙනකොට මේ ගහේ සමහර ශාකා මැරිලා සමහර ශාකා දිරලා වැටෙන්න ඔන්න මෙන්න. මේ ගහේ සමහර මල්වල පරාග නන්නාඳුනන මල්වල පැටලිලා අලුත් ගස් හටගෙන. මේක තමයි එක පැත්තකින් ඉතිහාසය කියන්නේ.
දෙල්ගොඩ පරපුර ඉදිරියටත් මේ විදියට පවතිවී. මම අපේ කතානයකයාගෙන් එක වේලාවක ඇහැව්වා, උඩරට මහා කැරැල්ලට දෙල්ගොඩ පරපුර සම්බන්ධයිද කියලා. ඔහුගේ පිළිතුර වුණේ ‘නැහැ’ කියන එක. මම හිතනවා මෙතැනින් මේ කතාව නතර කරන එක හොඳයි කියලා. ■