කොළඹ නගර සභා ඉතිහාස රස


coombo

රේඛා නිලුක්ෂි හේරත්

අපි කොටුව කඩවීදි දිගේ ඇවිද යමින් සිටියෙමු. කඩවීදි අතර අතරින් පතර පැරණි ගොඩනැඟිලි දකින්නට ඇත. පැරණි කොටුවට අයත් අංග දිරාපත් වෙමින් කොළඹ කට්ට අව්වේ වේලෙමින් සිටින්නේ ‘අපේ වටිනාකම දකින්නට කවුරුවත් නැද්දෝ’ යැයි අසමින් මෙන්ය. ඒ සියල්ල පසුකරමින් කෙළින් වීදියට ඇතුළු වූ අපි කෙළින් වීදිය දිගේ ගමන් කළෙමු. කයිමන් දොරකඩත් පසු කළෙමු. කයිමන් දොරටුව හෙවත් කිඹුල් දොරටුව ගැන පසුව ලියන්නට ඉටාගෙන අපි පැරණි ගොඩනැඟිල්ලක් අසළ නතර වුණෙමු. කෙළින් වීදිය දිගේ එන අපට මුණගැසෙන්නේ පැරණි නගර ශාලාවයි. ගිනි නිවන වාහන කිහිපයක් එය ඉදිරිපිට නවත්වා ඇත.
ලංකාවේ පැරණිතම පළාත් පාලන ආයතනයට අයත් වන ගොඩනැඟිල්ල වන මෙයයි. ගොඩනැඟිල්ල ඉදිරිපිට කොළඹ නගර සභාවට අයත් ලාංඡනය තිබුණි. ගොඩනැඟිල්ලෙන් ඇතුළුවෙද්දී අප අසා ඇති දේවල් සිහිපත් කරගත්තෙමු. ගොඩනැඟිල්ලෙන් පිටතට පැමිණි අපි කොළඹ නගර සභාවේ ඉතිහාසයෙනුත් විකිපීඩියා වෙබ් අඩවියෙන් මෙන්ම කොළඹ නගරයේ ඉතිහාස කතා ලියන බ්ලොග්කරුවෙකු වන කොළොම්පුරේ සවාරියක් බ්ලොග් අඩවියේ අසංග රණසිංහ ආරච්චිගෙනුත් සහාය ලබාගෙන පැරණි නගර සභා ශාලාවේ මතකයන් එකතු කරගන්නට උත්සාහ කළෙමු.
පැරණි නගර සභාවේ තවමත් කොළඹ නගර සභා ලාංඡනය ඇත. 1873දී සිට 1928 මැයි මාසය දක්වා වසර පනස්පහක පමණ කාලයක් තිස්සේ පැරණි නගර සභා ගොඩනැගිල්ල කොළඹ නගරය පාලනය කළ අතර 1979දී ආර්. ප්‍රේමදාස මහතාගේ අදහසක් අනුව මෙම නගර සභා ගොඩනැඟිල්ල තුළ කෞතුකාගාරයක් තනා 1984 දෙසැම්බර් මාසයේදී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් මහජන ප්‍රදර්ශනයට විවෘත කළ බව එක් පරම්පරාවකට අයත් පිරිසකගේ මතකයක් බවට පත්ව ඇත. නව පරම්පරාවේ බොහෝ දෙනෙක් මේ කෞතුකාගාරය ගැන හෝ පැරණි නගර සභා ගොඩනැඟිල්ල ගැන දන්නේ නැත.
මහජන ප්‍රදර්ශනයට විවෘත කළත් මේ කෞතුකාගාරය දකින්නට එන්නේ අතරින් පතර විදේශිකයෙකු සහ උනන්දුවක් දක්වන ලාංකිකයෙකු දෙන්නෙකු පමණකි. ලාංකිකයන් පැරණි නගර ශාලාව බලන්නට පැමිණීම පුදුමයක් විය හැකිය. අප පැරණි පල්ලියක් සේ දිස්වන ගරාවැටීමට නියමිත ගොඩනැගිල්ල දෙස බලමින් එබිකම් කරද්දී ඉදිරිපිට ත්‍රීවීලර් නැවතුම්පලක සිටි දෙන්නෙකු ‘අරාබි රටකින් ආ දෙන්නෙක් වෙන්න ඇති’ කියා කීවේ ඒ නිසා විය හැකිය.
නගර ශාලාවේ කෞතුකාගාරයේ ඇත්තේ කොළඹ නගරයේ මුලින් භාවිත කළ යන්ත්‍ර, උපකරණ ආදි දේවල්ය. කොළඹ නගර සභා පුස්තකාලයේ ජංගම පුස්තකාලය ලෙස මුල්වරට භාවිත කළ වෑන්රිය, මුල්ම ගල් තලන යන්ත්‍රය, පැරණි බෝක්කු, මුලින්ම ළමා උයනක් වෙනුවෙන් භාවිත කළ සීසෝවක්, මුලින්ම කොළඹ නගරයේ කුණු අදින්නට භාවිත කළ කරත්තයක්, පැරණි ලොරියක්, පැරණි මඟ සලකුණු කණු, ජලාපවහනය වෙනුවෙන් භාවිත කළ උපකරණ මෙහි තැන්පත් කර ඇත.
මේ සියල්ල පැරණි කොළඹ කෙසේ වීදැයි අපට අතීතකාමී හැඟීමක් ඇති කරවන සංකේතයි. අපි මේ කෞතුකාගාරයේ සිට පැරණි කොළඹ මවාගත්තෙමු.
කොළඹ ගෝල්ෆේස් පිටිය මුලින්ම විවෘත කළ අවස්ථාවේ එහි තැබූ සමරු ඵලකය අද ඇත්තේද පැරණි නගර ශාලාවේ ඇති කිසිවෙකු නොදකින කෞතුකාගාරයේය. එමෙ න්ම නව නගර ශාලාව වෙනුවෙන් සර් එස්. ජේ. එඞ්වර්ඞ්ස් විසින් සකස් කළ සැලැස්මේ අනුරුවක්ද මෙහි ඇත. මුලින්ම නගර සභා ක්‍රීඩා තරගාවලි වෙනුවෙන් භාවිත කළ පදක්කම්ද මෙහි ඇත.
මේ කෞතුකාගාරය ඉදිකරන්නට හේතුව ඒ වනවිට නගර පැරණි ශාලා ගොඩනැගිල්ල දිරා පත්වෙමින් පැවති නිසාය. එහෙත් කෞතුකාගාරයක් බවට පත්වීමෙන් පසුව මේ ගොඩනැගිල්ල දිරාපත්වීමේ වේගය වැඩි වී ඇතිදැයි සිතේ. බුරුමයෙන් මේ ගොඩනැගිල්ල සඳහාම ගෙන්වූ ලීවලින් තැනුණු දොර ජනෙල් සහ භාණ්ඩ දිරාපත් වෙමින් තිබේ. ගොඩනැගිල්ලේ ඇති ලී පඩිපෙළ කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇත. මෙය වසරකට වරක් තීන්ත ගා අලුත්වැඩියා කළ යුතු වුණත් මේ වසරේ තවමත් අලුත්වැඩියා කර නැත. පැරණි යන්ත්‍ර සූත්‍ර පවා දිරාපත්ව ඇත. කොළඹ බලන්නට චාරිකා එන්නෝ ගෝල්ෆේස් පිට්ටනියත්, ග්‍රහලෝකාගාරයත්, සත්තුවත්තත් බලා කොළඹින් යන්නේ මේ වටිනා තැන දැකබලා ගන්නේ නැතිවමය.
පැරණි නගර ශාලාවේ සිට වසර විසිහයක් තිස්සේ නගරාධිපතිවරුන් විසිහය දෙනෙකු කොළඹ නගරයේ පරිපාලන කටයුතු සිදුකර ඇත. ඒ සියලුදෙනාම ඉංග්‍රීසි ජාතිකයෝ වූහ. සියල්ලන් අතරින් පළමුවැන්නා ගැන මඳක් කතා කළ යුතුය. පළමුවැනි නගරාධිපතිවරයා වන්නේ කීර්තිමත් පරිපාලකයෙකු ලෙස නමක් දිනාගනිමින් පසුව නයිට් පදවියෙන්ද පිදුම් ලැබූ චාල්ස් පීටර් ලෙයාඞ් මහතායි. ඔහුගේ පුත්‍රයා වන චාල්ස් පීටර් මහතා ලංකාවේ දහසය වැනි අගවිනිසුරුවරයා බවට පත්විය. ඔහුගේ පියා යාපනයේ සේවය කළ රාජ්‍ය නිලධාරියෙකි. ලෙයාර්ඞ් පරම්පරාවම ලංකාවේ සිවිල් සේවයට කැපවී සිටි අතර සී.පී. ලෙයාර්ඞ් නම් පළමු නගරාධිපතිවරයා ලන්ඩන යේදි මියගිය පසුව ඔහුගේ අවසන් කැමැත්ත වූයේ ලංකාවේ තමන්ව මිහිදන් කරනු දැකීමයි. ඒ අනුව ඔහු කොළඹ කොටුවේ ඇති, 1801 දී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මුලින්ම රැස්වූ ගොඩනැඟිල්ලෙහි දැන් පවතින ශාන්ත පීටර්ස් පල්ලියේ මිහිදන් කර ඇත.
මේ නගර සභාව ජේ.ජී. ස්මිනර් විසින් සැලසුම් කළ ගොඩනැගිල්ලක් වුණත් එය සැලසුම් කිරීම මුලින්ම භාර වුණේ ජී. බර්ටන් මහතාටයි. ඒ 1850 දී කොළඹ නගරයට නගර සභාවක් අවශ්‍ය බවට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාවක් සහ ඒ අනුව 1865දී ප්‍රසිද්ධ කළ නිවේදනයක් අනුවයි. කොළඹ නගර සභාව ආරම්භ වූයේ 1865 අංක 17 දරන පනතනි. ජී. බර්ටන් ගිනි පනහක් අයකොට ඉදිකළ සැලසුම ගොතික් ක්‍රමය අනුව සැකසුණු ගොඩනැගිල්ලකි. නගර සභාවේ සභා ගර්භය හා කාර්යාල උඩුමහලත්, පුස්තකාලය සහ මහේස්ත්‍රාත් කාමරයත් ඉන් එහා පැත්තේ එඩින්බරෝ වෙළෙඳ සැලත් ඔහු සැලසුම් කර තිබුණු අතර සම්පූර්ණ සැලැස්මට පවුම් 15,000ක වියදමක් ඇස්තමේන්තුගත කොට තිබුණි. එහෙත් එම සැලසුම වියදම් අධික බව පෙන්වා දුන් නිසා ජේ.ජී. ස්මිනර් මහතාගේ දෙවැනි සැලැස්මක් අනුව නගර සභාවේ ඉදිකිරීම් ආරම්භ විය. වසර තුනකින් පවුම් හත්දාහක් වියදම් කරමින් ඒ අනුව මේ ගොඩනැගිල්ල ඉදිවිය. මේ ගොඩනැගිල්ලත් සමඟම ඉන් එහා පැත්තේ එඩින්බරෝ වෙළෙඳසැලත් ඉදිවිය.
මෙසේ ඉදිවූ නගර සභාවේ පළමු වරට නගර සභාව රැස්වුණේ 1866දී පැවති නගර සභා මැතිවරණයෙන් පසුවයි. නගර සභාවට කොල්ලුපිටිය, කොම්පඤ්ඤ වීදිය, කොටුව, ශාන්ත බස්තියම, පිටකොටුව, ශාන්ත පාවුලු, කොටහේන, නිව් බසාර්, මරදාන නියෝජනය කරමින් එක් නියෝජිතයෙකු බැගින් සීමිත ඡන්දයෙන් තෝරාගෙන තිබුණි. ඊට අමතරව ආණ්ඩුකාරවරයා විසින් තවත් නියෝජිතයෙකු පත් කරගෙන තිබුණු අතර පළමු නගර සභා රැස්වීම 1866 ජනවාරි 12 වැනිදා රැස්ව ඇත. නගර සභාව වසර එකසිය පනහක දීර්ඝ ඉතිහාසයක් පසු කරද්දී ඉන් වසර පනහක් නගර සභාව ලෙස පැවතුණේ මේ ඓතිහාසික ගොඩ නැගිල්ලයි.
ඒ ඉතිහාසයෙහි රසය විඳිමින් කොළඹ පාලනය කළවුන් ආ ගිය ලී පඩිපෙළෙහි පහළට අපි බසින්නට පටන් ගත්තෙමු. ඒ තව වසර කීයක් යන තෙක් මේ රසය විඳින්නට හැකිවේද යන්න කල්පනා කරමින්ය. කිසිවෙකුට වැදගත් නැතිනම් මේ වටිනා ඓතිහාසික සාක්ෂිය අකාලයේ මියැදෙනු ඇත.■