Saturday, 19/8/2017 | 5:27 UTC+0
රාවය

දුන්හිඳ අද්දරට පස්සේ මම ටෙලිනාට්‍ය බැලුවේ නෑ | පත්තර තට්ටුවකින් අදහසක්

නිමල් අබේසිංහ

ඔබ පුවත්පත් අලෙවියට යොමුවෙලා කොපමණ කාලයක් වෙනවාද?
එක්දාස් නමසිය අනූහතරේ ඉඳලා මම බොරැල්ලේ පත්තර තට්ටුව කරන්නේ. මේ වෙනකොට අවුරුදු විසි දෙකක්.

එදා පත්තරවල අන්තර්ගතය ගැන මොනවද හිතෙන්නේ.
ඒ කාලේ තිබුණ පත්තර ගැන අර්ථ දැක්වුවොත් සාරගර්භ ලිපි තිබුණු ඥාන ගබඩාවක්. ඉස්සර පත්තර කර්තෘවරු තමන්ගේ පත්තරවල හැම පැතිකඩක් ගැනම ලීවා. කලාවද, සාහිත්‍යයද, ඉතිහාසයද, දේශපාලනයද, ආර්ථිකයද මේවා කොයිකත් ගැඹුරු විදියට ලියවුණා. ලිපි පළකළා. ඒවා තුළ බුද්ධිමය සංවාදයකට ඉඩහසර තිබුණා. යම් කිසි කෙනෙක් පත්තරයක් ගන්න මුදලක් යොදවනවානේ. ඒ මුදලට සරිලන විදියට, පාඨකයාගේ කියවීමට සරිලන විදියට, පාඨකයාගේ කියවීමට අවශ්‍ය දේ එදා පත්තරවල අන්තර්ගතවෙලා තිබුණා.

අද ඒ තත්ත්වය වෙනස් වෙලා කියලාද ඔබ කියන්නේ.?
ඔව්. එදා පුවත්පත් හා සසඳද්දී අද පත්තරවල විශාල පරස්පරතාවක් මට නම් දකින්න තියෙනවා. ඉස්සර පත්තර ගැති වුණේ සමාජයට. අද ඒකේ විරුද්ධ පැත්ත. දේශපාලනඥයන්ගේ මෝඩ කතාවලින් පුවත්පත් පිටු පුරවලා. සමාජය ඉල්ලන්නේ ඒවා නොවෙයි. දේශපාලන විග්‍රහ පුවත්පත්වලට ඕනෑ තමා. දැන් වෙන්නේ ඒක නෙමෙයි. සියලු දේවල් වෙන්නේ දේශපාලනය මුල් කරගෙන. කර්තෘවරුන් තමන්ට අවාසියක් වෙනවා නම්, තමන්ගේ දේශපාලන මතයේ නොවේ නම් ඒ වාගේ ප්‍රවෘත්ති පත්තරවල පළකරන්නේ නෑ. කොටින්ම අද පත්තර කර්තෘවරුනුත් මුදලට අලෙවි වෙනවා. එතකොට ඒ අයගේ පෞරුෂය බිඳවැටෙනවා. පුවත්පතේ ගුණාත්මකභාවය අඩුවෙනවා. මම මේක වගකීමක් ඇතිවයි කියන්නේ. එහෙම නොවී ඉන්නේ එක්කෙනායි දෙන්නායි.

ඔබ මේ තත්ත්වය තවදුරටත් විග්‍රහ කරන්නේ කොහොමද?
කාගේ හරි උවමනාවන්ට අනුව තමන්ගේ පෑන හසුරුවනා වනම් ඒ අය පත්තර කර්තෘවරු නොවෙයි. යම් කිසි කෙනෙක් පත්තරයකට මුදල් යොදවනවා නම් එයාට ඕනෑ විදියට තමා පත්තරේ ගෙනියන්නේ. මේ ඔය කතාවේම තව දිගුවක්. එහෙම වෙනකොට පත්තරයක අන්තර්ගතය හොඳ වෙන්නේ කොහොමද? ඒ නිසාම මිනිස්සුන්ට හොඳ අර්ථවත් දෙයක් කියවන්න තිබෙන අවස්ථාව අහිමිවෙලා. ඒ අතරේ හොඳ පත්තරවල හොඳ ලිපිත් තිබෙනවා. කරුමේ කියන්නේ ඒවා මිනිස්සුන්ට කාන්දු වෙන්නේ නෑ. ඉතින් මිනිස්සුත් ඔල්මොරොන්දන් වෙලා ඉන්නේ.

ඒ කියන්නේ මිනිස්සු පත්තර කියවන්නේම නැතිද?
නෑ. මිනිස්සු පත්තර බලනවා. කියවීමයි. බැලීමයි දෙකක්නේ. ඒකනේ ගාංචු බොලොක්ක වාගේ පත්තරත් විකිණෙන්නේ. ඒ අතරේ සමහර අය පත්තර ගන්නවා කොළ වැඩියෙන් තියෙන ඒවා. තව සමහරු වෙළෙඳ දැන්වීම් බලන්න. ඒ කියන්නේ කාර්, ඉඩම්, ගෙවල් දොරවල් ගැන බලන්න. තව කට්ටියක් පත්තර ගන්නවා අද කොහෙද මරලා තියෙන්නේ, දූෂණය කරලා තියෙන්නේ කව්ද කියලා බලන්න. ඒවාගේ ලිපි ලියලා තියෙන්නේ කුණු රස විඳින විදියටමයි. ඉතින් රටේ තවත් අපරාධ වැඩිවෙනවා.

මේ තත්ත්වය තවදුරටත් පැවතීම ඔබ දකින්නේ මොන විදියටද?
ඇත්තම කියනවා නම් දැන් පත්තර අලෙවියත් අඩුවෙමින් යන්නේ. වගකිවයුත්තන්ට සිද්ධවෙනවා පත්තර කියවන සමාජයත් ඇති කරන්න. එතකොට මේ අපරාධත් අඩුවේවි. මොකද කියවීමෙන් තමයි මිනිස්සුන්ගේ මනස හැදෙන්නේ. මේක ආරම්භ කරන්න ඕනෑ වැඩිහිටි මිනිස්සුන්ගෙන් නෙවෙයි. දරුවන්ගෙන් පාසලෙන්. පත්තර විතරක් නොවෙයි. සඟරා පොත් කියවන්න දරුවන් හුරුකරවන්න ඕනෑ. හැම විෂය ධාරාවකම ඉගෙන ගන්න ළමයින්ට සාහිත්‍යය ගැන, කලාව ගැන දැනුමක් අවබෝධයක් ලබාදෙන කාලපරිච්ඡේදයක් කාලසටහනට ඇතුල් කරන්න ඕනෑ. සිනමාව නාට්‍යය ගැන ඒ අයට කියලා දෙන්න ඕනෑ. අපේ දෙමාපියොත් මෙතැනදී වැරදියි. ඒ අය ළමයින්ට කියවන්න දෙන්නේ විභාගයට ඕනෑ පොත්පත් විතරයි. ඒක වැරදියි. ඉස්සර අපි සෝවියට් දේශය පොත් ගෙන්නාගෙන කියෙව්වා. රටේ ලෝකේ තොරතුරු දැනගත්තේ ඒවායින්.

කාන්තාවන්ට වෙන්වූ පුවත්පත් ගැන ඔබේ අදහස මොන වාගේද?
ඉස්සර කාලේ කාන්තා පුවත්පත්වල කොච්චර ගැඹුරු දේවල් තිබුණාද? ඒවායින් කාන්තාවන්ගේ දැනුම වැඩිවුණා. ඒ අය හොඳ ගෘහණියෝ මව්වරු පමණක් නොවෙයි. සමාජයේ යහපත් සාමාජිකයෝ වුණා. අද තියෙන කාන්තා පත්තරවලින් කරන්නේ කාන්තාවන් චූන් කරන එක. එයිට වඩා දෙයක් ඒවායේ නෑ.

ඔබ කියන විදියට මුද්‍රිත මාධ්‍යයෙන් පමණක් ඔය කියන සමාජ වින්නැහිය නතර කළ හැකිද?
ඇත්ත ඉස්සර වාගේ නොවෙයි දැන් විද්‍යුත් මාධ්‍ය මඟින් සමාජයට විශාල බලපෑමක් සිදු කරනවා. ඉස්සර රූපවාහිනි තිබුණේ දෙකයි. ගුවන්විදුලිත් එහෙමයි.
නිර්මාණකරන්න දස්කම් තියෙන අය ඕනෑ තරම් ඉන්නවා. ඒ අයට අතදෙන්න ඕනෑ. දුන්හිඳ අද්දර නාට්‍ය බැලුවාට පස්සේ මම ටෙලිනාට්‍ය බැලුවේ නෑ. මොනවද දැන් තියෙන විකාර. රටක් හදන්න නම් ඉස්සෙල්ලාම මිනිස්සුන්ගේ මනස උසස් තැනකට ගේන්න ඕනෑ. ඒක කරන්න පුළුවන් හොඳ පුවත්පත්වලින්, පොත් සඟරාවලින්, කලා නිර්මාණවලින්ම තමයි.■