එකසිය එක හරි යන්න ඉඩ තියෙනවා| කේ.කේ. සමන් කුමාර


k-k

ටිරන් කුමාර බංගගම ආරච්චි

කංකානම් කපුගේ සමන් කුමාර එහෙම නැත්නම් කේ.කේ. සමන් කුමාර. වඩා දන්නා නම සර්පයා. සර්පයා කියන්නේ මෙරට සාහිත්‍යයේ සලකුණක්. මේ සාහිත්‍යය පිළිබඳ නොව සර්පයාගේ ජීවිතය පිළිබඳ කෙටි කතාබහක්. එයත් සැබැවින්ම සාහිත්‍යයක්.

තමන්ගේ පැටිවිය කොහොමද?
මට තියෙන්නේ ඉතාම අමිහිරි ළමා අවධියක්. ඒ ගැන ලියනවා ඇරෙන්න කතා කරන්නවත් කැමති නැති තරම්.
ළමා අවධිය සුන්දරයි, පාසල් ඇඳුමෙන් දකිනකොට මල් වගේ, එවැනි කතා ගොඩයි. ඒත් මගේ ළමා විය තුළ ඒ කිසිම සුන්දරත්වයක් නැහැ.

ඇයි එහෙම වුණේ.
එහෙම වෙන්න හේතුව මගේ අම්මා මානසික රෝගී අයෙකු වීමයි. ඒ ගැටලුවත් එක්ක ඇය මාව පුංචි කාලේ ඉඳලාම දැඩිව ප්‍රතික්‍ෂේප කළා. කෙනෙක් අපිව වාචිකව ප්‍රතික්‍ෂේප කරන්නවා නම් අපිට දරාගන්න පුළුවන්. එතකොට අපිට එක තර්කානුකුලව වටහා ගන්න පුළුවන්. ඒත් මගේ අම්මා මාව ප්‍රතික්‍ෂේප කළේ ඉතාම තුච්ඡ ආකාරයටයි.
අම්මා කියන සංකල්පය ඇතුළේ මට පෙන්නන්නම බැරි දෙයක් තමයි මව් ගුණ ගී. මව් ගුණ ගීත ඇහෙනකොට මගේ ඇඟේ මොනවාද ගෑවෙනවා වගේ. එක්තරා අවධියකදී මම වටහා ගන්නවා හොඳ මව් ගුණ ගීත. ඒ වාගේම මම මගේ යාළුවන්ගේ අම්මලාටත් අසීමිතව ආදරය කරලා තියෙනවා. ගැබ්බර ගැහැනු දැක්කාම සුන්දර චිත්‍ර මැවෙනවා. ඒ නිසා කියන්න ඕනෑ මට අම්මා එක්ක තියෙන වෛරය සමාජයේම වෛරයක් බවට හැරුණේ නෑ. ඒත් මම මගේ අම්මාට වෛර කළා. කොටින්ම මට මගේ අම්මාව මරන්න තරම් හිතුණා.
ඒ තරමට එයාම මට එයාව එපා කරලා තිබුණා. එයා උයන්න ගියත් දෙස් දෙවොල් තිය තියා තමයි උයන්නේ. එයාටම අවේණික වචන සෙට් එකක් තිබුණා. ඒවා තේරුම් ගන්න ශූද්ධම සිංහල අකාරාදියට යන්න ඕනෑ. වහන්තරාව, විල්ල, හත්තට්ටුව වගේ වචන එයාට තිබුණා. කොටින්ම එයා හැම තිස්සේම මට කෙළ ගහනවා.
මේක මට පුංචි එකෙක් විදිහට වටහාගන්න බැරි වුණා. අම්මාට තියෙන්නේ මානසික අවුලක් කියන එක මට තේරුම් ගන්න බැරි වුණා.
මට මතකයි අම්මා හැමදාම උදේට තාත්තට බත් ගෙනියන්න උයනවා. ඒ හැමදාම මිරිස් අඹරනකොට ඇය මතුරන ටිකක් තිබුණා. “මේ තොපේ මළදානේ උයන්නේ.”

එතකොට තාත්තා?
කොටින්ම මේක කතා කරපු මඟුලක්. අම්මාට ලෙඩ කියලා තාත්තා දැනගන්නේ බැන්දාට පස්සේ. ඒ දැනගත්තා කියලා තාත්තා වෙනස් වුණේ නැහැ. තාත්තා කියන්නේ සන්සුන් මනුෂ්‍යයෙක්. තාත්තා කවමදාවත් අම්මාට බැන්නේ නෑ. රණ්ඩු වුණේ නැහැ. වචනයක්වත් කිව්වේ නැහැ. තාත්තා මේ සියලු දේ උරුමය විදිහට බාර ගත්තා මිසක් එරෙහි වුණේ නැහැ.
හැබැයි මොකද්දෝ කරුමයකට තාත්තා නැවත කරගත්තා දෙවැනි මගුලක්. ඒකත් කතා කරපු එකක්. අර වගේමයි. ඒකත් එයා උරුමය විදියට බාරගත්තා මිසක් එරෙහි වුණේ නැහැ. මම හිතන්නේ මේ දෙකේම කරුමයට කර ගැහැව්වේ මම. ඒකෙන් විඳෙව්වේ මම.

සමන්ගේ අම්මාට මොකද වුණේ.
අම්මා නැති වෙනකොට මට අවුරුදු දොළහයි. ඒ මරණයත් හරි පුදුම මරණයක්. අම්මා මැරුණේ හෝතම්බුවෙක් කාලා. පිස්සු හැදිච්ච හෝතම්බුවෙක්. එයා වෙලේ ඕවිටේ පලා නෙළමින් ඉන්නකොට මේ පිස්සු හෝතම්බුවා පැනලා මෙයාව කාලා. ඌව ගලවා ගන්න බැරිව මෙයා ඌවත් එල්ලාගෙන කෑ ගහගෙන වෙල පුරා දුවලා. මේ හරියටම හෝමාගම හන්දියේ. අද ඒ පරිසරය වෙනස් වෙලා. මගේ උපන් ගම.
මේ කෑගැහිල්ලට අහළ පහළ මිනිස්සු ඇවිල්ලා මෙයාව අල්ලගෙන අර හෝතම්බුවාව ගලෝගෙන ඌව මරලා මසුත් කාලා. ඔළුව අහක් කරලා මස් කාලා.

එතකොට අම්මා?
අම්මාව හෝමාගම රෝහලට අරගෙන ගිහිල්ලා. ඉස්පිරිතාලේ ඒ වේලාවේ ඉඳලා තියෙන්නේ දෙමළ ඩොක්ටර් කෙනෙක්. එයා සතාගේ නම අහපුවාම අම්මාව අරගෙන ගිය අය කියලා හෝතම්බුවා කියලා. එයා තේරුම් අරගෙන නෑ. එයා පිටගැස්මට බෙහෙතක් විදලා එවලා. ඉතින් ජලභීතිකාවට ආවා. හරි පුදුම වැඬේ කියන්නේ මාව පෙන්නන්න බැරිව හිටපු අම්මා මට කිව්වා පපුව රිදෙනවා, තවන්න කියලා. මම ගම්මිරිස් කොළවල තෙල් ගාලා තැව්වා. තාත්තා එනකොට මම තවනවා. අම්මාට හුස්ම ගන්නත් අමාරුයි. තාත්තා ඒ ගමන්ම එක්කරගෙන ගියා හෝමාගම ඩීඑම්ඕ ගාවට. එතකොට එයා ළඟ ෆෑන් එක වැඩලු හොඳටම. අර සාමාන්‍ය මිනිස්සු කියනවා වගේම පිස්සු බල්ලෙක් කෑවාම ඒ විදියට හැසිරෙනවා කියන කතාව වගේම අම්මත් උඩ පැන පැන දැඟලුවාලු. ඉස්පිරිතාලෙන් කියලා ජීවත් කරන්න බෑ කියලා. ඉස්පිරිතාලෙන් එහෙම කිව්වාට තාත්තා ඒක පිළිගත්තේ නෑ. එතකොට පිටිපන, මාවතගම සර්ප වෙදකමට වගේම පිස්සු බල්ලන් කාපු අයට බෙහෙත් කරන්නත් ප්‍රසිද්ධයි. එතැනට එක්කගෙන ගියා. එහෙම එක්කගෙන යනකොට නිමිති සාස්තරේ බලලා ඈත එනකොටම කියලාලු ඊයේ ගෙනාවා නම් හොඳ කරනවා කියලා. ඒත් බේත් කළා. මට මතකයි ගම්මු එකතු වෙලා බෙහෙත් හෙව්වා. ගෙනාවා. කොටනවා. රස්සාවලට යන්නේත් නෑ. ඒක සාමූහික ජීවිතයක්. දවස් දෙකින් අම්මා නැති වුණා.

මේ ප්‍රශ්නය අහන එක හරි නෑ. දුක හිතුණාද?
නෑ. අම්මාගේ පීඩනයත් එක්ක මම ගෙදර හිටියේ නෑ. මම අම්මා දකින්නවත් ආස වුණේ නෑ. මම වෙලේ ඕවිටේ ඒදණ්ඩ උඩ තාත්තා එනකම් හිටියේ. තාත්තා හවස ගෙදර එනකොට තමයි මාත් ගෙදර එන්නේ. අම්මා මැරෙන කොටත් අම්මා එක්ක කිසිම සබඳකමක් මට නැති නිසා මට ප්‍රශ්නයක් වුණේ අම්මා මැරුණු එක නෙමෙයි. අම්මා මැරුණු නිසා මට තාත්තාගෙන් මිහිර, නවයුගය පත්තර ගන්න සල්ලි ඉල්ලා ගන්න බැරි වුණ එකටයි. මට දුක හිතුණේ ඒකට. එහෙම ඇරෙන්න අම්මාගේ මරණය ගැන දුකක් මට තිබුණේ නැහැ.

ඔබට අම්මා කෙරෙහි තිබුණු වෛරය විශාලයි.
ඒක එන්නේ මම අත්විඳි පීඩනය එක්කයි. මට මතකයි ඒ කාලේ මට මිහිර පත්තරේ ඩබ්ලිව්.එම්.ටී. මහින්දරත්නගේ අධිකරණ වෛද්‍ය වාර්තා කියවනවා. වෙන මොහොකටවත් නෙමෙයි. අම්මාව මරන්නේ කොහොමද කියලා ක්‍රමයක් සොයාගන්න.

මව පුතු අරගලය දරුණුම තැනක තිබිලා තියෙන්නේ.
මම පසුකාලීනව තමයි දන්නේ අම්මා තාත්තාව බැඳපු ගමන්ම කියලා තියෙනවා, ළමයි හදන්න බෑ කියලා. ඒ වාගේ බැඳලා අවුරුදු දහයකට පස්සේ තමයි මම ඉපදෙන්නේ. එකම ළමයා. ඒ හම්බ වුණ ගමන් එයා කියලා තියෙන්නේ කබරයන්ට කන්න දානවා කියලාමයි.

පුංචි කාලේ යාළුවෝ හිටියේ නැද්ද?
හිටියා. ඒ අයත් අනෙක් අය ආශ්‍රය නොකළ යුතුයි කියලා කොන් කරන අය. හෝමාගම මිනී කපන කෙනාගේ පුතා මගේ හොඳ යහළුවා. මම ඒ ගෙදර යනවා. කනවා. බොනවා. තව කුල ගැන කියලා සමහර ගෙවල්වලට යන්න එපා කියනවා. මම ඒ ගෙවල්වලට යනවා. කනවා. බොනවා. මේ මහා ලොකු තේරුම් ඇතිව කළ දේවල් නෙමෙයි. ඒත් ඒ අය මගේ හොඳ යාළුවෝ.

ඔබ සාහිත්‍යකාරයෙකු වන තල්ලුව එන්නේ කාගෙන්ද?
මට හිතෙන්නේ තාත්තාගෙන්. තාත්තා තුනේ පන්තියට විතරක් පාසල් ගිය කෙනෙක්. ඒත් ස්වඋත්සාහයෙන් ලොකු දැනුමක් හොයාගත්ත කෙනෙක්. තාත්තා කම්කරුවෙක්. ඉංග්‍රීසි පවා තනිව ඉගෙනගත්ත කෙනෙක්. ඔහු වාමාංශික දේශපාලනයේ නියැලුණා. ඒ කාලේ තිබුණු සිංහල, ඉංග්‍රීසි පත්තර සියල්ලම වාගේ පත්තරත් ගෙනාවා. අලුතින් එන පොතුත් ගෙනාවා. කියවීමට පෙළඹෙන්නේ මම එතැනින්.

කුඩම්මාත් ඔබට හරහට හිටියාද?
ඇය තමයි මගේ ජීවිතය ලොකු කොටසක් විනාශ කළ චරිතය. ඇයත් අම්මා වගේම දෙස් දෙවොල් තියන්නියක්. අම්මාගේ අරගලයේදී නිහඬව හිටි තාත්තා මෙතැනදී කුඩම්මාගේ පැත්තේ හිටගත්තා. මට අම්මා වගේම තාත්තාත් නැති වුණා.
එක අතකට මේ එකකටවත් මේ මිනිස්සු වගකියන්න බෑ. ඒ මොකද ඒ මිනිස්සුන්ට තමන්ටවත් වගකියන්න බැරි මිනිස්සු. විවිධ චරිත ස්වභාවයන් මානසික තත්ත්වයන් නිසායි මෙහෙම වෙන්නේ. මේවා මනෝ විශ්ලේෂණයෙන් විසඳන්න පුළුවන් ගැටලු නෙවෙයි. විසඳන්න ගියොත් විසඳන්න වෙන්නේ පෙර කර්ම.. ඒ වගේ තැනකින් විතරයි.
මේ තිබුණු කටුක අමිහිරි අත්දැකීම් එක්ක මම පවුල කියන එක ඇතුළෙන් සම්පූර්ණයෙන් විතැන් වුණා.

ඔබට තාත්තාව අත හරින්න අපහසු වුණේ නැද්ද?
අදටත් අපහසුයි. මම තාත්තාට අඬගැහැව්වා. ඒත් ඒ පැත්ත ගත්තා. තාත්තා ඒ කාලේ කොළඹට ආ හැම සිංහල, දෙමළ, ඉංග්‍රීසි චිත්‍රපටයක්ම බැලුවා. තනියම නෙමෙයි මාත් එක්ක. මම පහේ පන්තියේ ඇති. මට කියලා යනවා, රිගල් එකේ අහවල් චිත්‍රපටිය පෙන්නනවා, හවසට රීගල් එක ගාවට ඇවිත් ඉන්න කියලා. මම බස් එකේ ගිහින් වේලාවට ඉන්නවා. එහෙම බැම්මක් අපි දෙන්නා අතරේ තිබුණා. මට අදටත් හිතෙනවා ඔහුට සාධාරණයක් කරන්න මට බැරි වුණා කියලා.

එතකොට පාසල් ජීවිතය.
මම ඉගෙන ගන්න දක්‍ෂයෙක්. හැබැයි මම කැමති විෂයන් විතරයි. මට විභාග ජය ගන්න පිස්සුවක් තිබුණේ නැහැ. හැබැයි මම කැමති විෂයන් හොඳින්ම කළා. ඇත්තටම මම පාසල් ගියේ ඉගෙන ගන්න නෙමෙයි. නාට්‍ය කරන්න. මගේ වැඬේම පාසලේ කට්ටියක් එක්ක එකතුවෙලා නාට්‍ය කරන එක. එතකොට මම නළුවෙක්. නාට්‍යය ඇතුළෙන් තමයි මම සාමූහිකත්වය කියන එන ඉගෙන ගත්තේ. පාසලේ නාට්‍යවල වගේම ගමේ කොට උඩ කරන නාට්‍යවලත් මම රඟපෑවා. පාසලෙන් අයින් වෙලා මම කළේ කොළඹට ඇවිත් නාට්‍ය කරන එක. ඒ ගමන් ට්‍රොට්ස්කිවාදී දේශපාලනයටත් සෙට් වුණා. ඒත් තාත්තාගේ නැඹුරුවත් එක්ක කියලායි මට හිතෙන්නේ.

ඔබේ වීරයා කවුද?
මගේ වීරයා තාත්තා. ඒත් මට ඒ වීරයාට සලකන්න බැරි වුණා. භෞතිකව ඔහුට කළ යුතු යුතුකම් ඉටු කරන්න මට බැරි වුණා. ඒකට කුඩම්මා තමයි ලොකුම බාධාව වුණේ. මොකද ඇය සමඟ ගෙවූ ජීවිතයේ මට පාලනය කරගන්න බැරි හැලහැප්පීම් තිබුණා. ඒ අවස්ථාවේ තාත්තා ඒ පැත්ත ගැනීමත් එක්ක මම තාත්තාව අතඇරියා. මගේ පළමු පොත පුදන්නේ තාත්තාට. ඒත් ඒවා වචන. මනුෂ්‍යයකුට කරන්න පුළුවන් දේ වචනවලින් නෙමෙයි භෞතිකවයි වෙන්න ඕනෑ. සාමාන්‍ය සමාජය තුළ අම්මාට තාත්තාට සලකනවා කියලා ඉගෙන ගන්න දෙයක් තියෙනවානේ. ඒ දේ කරන්නම ඕනෑ. ඒ දේ කරන්න බැරි වුණාම ඒකේ විඳවිල්ල එන්නේ ඒ අය නැති වුණාමයි. ඒක කවදාවත් මොනම දේකින්වත් පස්සේ පුරවන්න බෑ.

පසුකාලීනව ඔබගේ විවාහයනුත් දෙදරනවා නේද?
ඔව්! මගේ පළමු විවාහය තුළ මම මගේ අම්මාව හොයනවා. අවුරුදු 28දී මම බඳින්නේ. ඒ වෙනකම් මට ආදර සබඳතාවක්වත් තිබුණේ නෑ. කොටින්ම ගැහැනු යහළුවෙක්වත් හිටියේ නැහැ. මම පළමු විවාහයෙන් අම්මාව හොයලා හෙම්බත් වෙනවා. ඊළඟට මම එතැනින් විස්ථාපනය වෙලා දුවලාව හොයන්න ගත්තා. ඇත්තටම එතැනදී මට අම්මා කියන එක සම්පූර්ණයෙන්ම හම්බ වුණා. ආයේ දෙකෙන් එකක් නෑ, හම්බ වුණා. මම එතැන ඉඳලා තාත්තාගේ චරිතයට ආවා. මේ විදියට යුද්ධ දෙකකට මුහුණ දෙනකොට මට හිතුණා මේ හත්ඉලව්ව හරියන එකක් නෙමෙයි කියලා. ඊළඟ යුද්දේ ඇතුළේ මම තනිකරම සැමියෙක් වුණා. අවුරුදු දොළහක් විතර කුටුම්බ ජීවිතය ඇතුළේ වගකීම් දරාගෙන හැම දෙයින්ම අයින් වෙලා සතුටින් හිටියා. ඒත් ඒකෙනුත් හෙම්බත් වුණා. අවසානයේ ඒකෙනුත් හෙම්බත් වුණා. අවසානයේ ඒකෙනුත් මාව පැත්තකට විසි වුණා. මගේ ජ්‍යොතිෂ්‍ය යාළුවෝ කිව්වා මට විවාහ හරියන්නේ නැහැ කියලා. උඹ තව සීයක් බැන්දත් ඒ ඔක්කොම යනවා කියලා. ඒ අය එහෙම කිව්වාට මම උත්සාහය අත අරින්නේ නැහැ. මොකද සමහර විට එකසිය එක හරි යන්න ඉඩ තියෙනවා. (හිනා)

එතකොට සාහිත්‍යකාරයෙක් වෙන්නේ කොහොමද?
මම අටේ පන්තියේ ඉඳලා ලියනවා. කෙටිකතාව කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ ලියනවා. කවි ලියනවා.
මගේ වැඬේ කියවනවා. පාසලේ පුස්තකාලය මාස දෙකෙන් ඉවර කළා. මම පාසල් තුනකට ගියා හෝමාගම කනිටු විදුහල, කොට්ටාව කන්ද උඩ විදුහල, මහරගම මධ්‍ය මහා විද්‍යාලය. කොහොම හරි අටේ පන්තියේදී විතර මම නවකතාවක් ලියනවා. පස්සේ ඒක කියවනකොට මට තේරෙනවා, මේ වගේම කතාවක් තියෙනවා නේද කියලා. මම නැවත ලියන්නේ මායා රන්ජන්ගේ ‘මගේ රාජ්‍යය’ කියන පොත. ඇයි අරවා කියවලා කට පාඩම්නේ. ඉතින් ඒවාම ලියනවා. මට හයේ පන්තියේදී ආතර් සී ක්ලාක්ගේ ‘ගැඹුරු මුහුද’ සම්පූර්ණයෙන්ම කටපාඩමින් කියන්න පුළුවන්. කොහොම හරි මම පාසලෙන් අයින් වෙනකොටම පොතක් කළා. ඒක තමයි ‘සර්පයකු හා සටන් වැද.’

ඒක ඔබව උඩට ඔසවනවා නේද?
ඔව්! ඒ පොත ගැන විචාර ගොඩක් ලියැවෙනවා. මා ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒ නිසා මට අනන්‍යතාවක් හැදෙනවා. අදටත් මට කවුරු හරි පාරේදී සමන් කීවොත් මට බැලෙන්නේ නෑ. ඒත් සර්පයා කීවොත් බැලෙනවා. ඒ වගේම දුරකථනයෙන් මම කාට හරි මම සමන් කිව්වොත් අඳුනන්නේ නෑ. සර්පයා කිව්වොත් දන්නවා. ඒ තරමට සර්පයා කියන නමත් මට බද්ධවුණා. ඒ ගැන සියුම් සතුටක් අදටත් තියෙනවා. ඒක නිරාමිස සතුටක්.
ඒ වුණත් ඇත්තටම මට වෙන්න ඕනෑ වුණේ නාට්‍යකාරයෙක් හරි සිනමාවේදියෙක්. වුණේ සාහිත්‍යකාරයෙක්.

ඉතින් ඔබ දැන් සාහිත්‍යකාරයෙක්ද?
හා …. හා… ඇත්තටම මම සාහිත්‍යයේ දිගටම නිරතවෙලා නෑ. ඒත් හැරිලා බැලුවාම මම පොත් ගොඩක් ලියලා තියෙනවා. හිතලා ආ ගමනක් නෑ. ඒත් ගොඩක් දුර ඇවිත් තියෙනවා.

සමන්ගේ ජීවිතයට බලපෑ පොතක් තියෙනවාද?
ඔව්! තදින් බලපෑ පොතක් තියෙනවා. ජෝර්ජ් ඊ. වීරකෝන්ගේ ‘පුතේ උඹේ මාලිගාව’ කියන පොත. ඒ පොතේ තියෙන්නේ කොහොම හරි ආණ්ඩුවේ ඒජන්තයෙක් කරන්න හදන ළමයෙක් ගැන කතාවක්. මේ ළමයා තමන්ටම කියලා හදාගත්ත පැන්ටසි ලෝකයක ඉන්නේ. එයාගේ පැන්ටසි යාළුවා මුගටියා. තමාට කරදර කරන ආච්චිගේ ඇස් ගලවාගෙන එන්න කියලා මේ ළමයා මුගටියාව යවනවා. මුගටියා කටේ ලේ පෙරාගෙන එනවා. ඉතින් එයාට සතුටුයි. එයා ලන්දක් උඩට ගිහිල්ලා පොඩි කජු පැලයක් උඩ නැගලා එක හපාගෙන අතේ කටුස්සා පුම්බලා බලනවා.
මමත් පොඩි කාලේ ඉඳලාම ශාරීරික දුර්වලතා සහිත ළමයෙක්. උපදින කොටත් ඉතාම සුළු බරක් තිබිලා තියෙන්නේ. මාස හයක් වීදුරු පෙට්ටියේ ඉඳලා. ඒත් හරි නොගිය තැන දොස්තරලා කියලා වෙන ළමයෙක් ආවොත් මෙයාව අයින් කරලා එයාව දාන්න කියලා. ඒ වාගේම වෙන ළමයෙන් ඇවිත් මාව අයින් කරලා එයාව දාලා. මම අඬ අඬා ඉන්නකොට නර්ස් කෙනෙක් මට අනුකම්පා කරලා බලාගෙන. ආයේ වීදුරු පෙට්ටියක් ලැබුණාම ඒකට දාලා කොහොම හරි ගොඩ අරගෙන තියෙනවා. මමත් අර පොතේ ළමයා වගේමයි. මනෝ ලෝකවල හිටියේ. ඒ වගේමයි මටත් ගස් නගින්න බෑ. පැළ උඩ නැඟලා මමත් කටුස්සා පුම්බලා බලනවා. අදටත් මම ශාරීරික වශයෙන් දුර්වලයෙක්. ශරීරය වෙහෙසලා වැඩක් කරන්න බෑ. මම අදටත් ජීවත් වෙන්නේ මනේ ලෝකයක. මම මනෝ ලෝකය ඇතුළේ කසාද බැඳලා දරුවොත් හදාගෙන ලස්සන ජීවිතයක් ගෙව්වා. ඒත් ඇත්තට ඒ දේ කරගන්න තවම බැරි වුණා. මට දැන් අවුරුදු පනහේදී මුහුණ ගැසෙනවා පෙම්වතියක්. මට හිතෙනවා. ඇය හරහා මගේ සිහිනය පලදරයි කියලා.

සමන් දැන් තෘප්තිමත්ද?
දැන් නම් මාර තෘප්තිමත්. ලොකු බලාපොරොත්තු නෑ. ගහ කොළ සපිරි පරිසරයක ගෙයක් හදා ගැනීමේ ආසාවක් තියෙනවා. එහෙම කරගන්න බැරි වුණත් දුකක් නෑ. හැබැයි මේ තත්ත්වයට එන්න අවුරුදු හතළිස් ගාණක්ම ජීවිතය එක්ක අප්‍රමාණ විඳවන්න වුණා. දැන් සියල්ල තේරුම් අරගෙන තියෙන්නේ. දැන් සාහිත්‍යය තුළ තියෙන විදියට ජීවත් වෙන්නේ නෑ. ජීවත් වීමම සාහිත්‍යයක්.

ජීවිතයත් ප්‍රබන්ධයක් නේද?
සත්තකින්ම. මගේ අදහස ජීවිතය ප්‍රබන්ධයක් හැටියට ගොඩ නොනගන්නාවූ කවුරුන් හෝ මනුෂයෙක් නෑ. එකම දේ සමාජයෙන් දුන් ප්‍රබන්ධයක් ඒ විදියටම පවත්වාගෙන යනවාද, නැත්නම් තමන්ම තමන් වෙනුවෙන් ප්‍රබන්ධ හදාගන්නවාද කියන එකයි. කාටවත් සමාජයෙන් දෙන ප්‍රබන්ධ ඒ විදියටම කරන්න බෑ. එහෙම කරනකොට අකරතැබ්බ එනවා. ඒවා තමයි පොත්වලට සාහිත්‍යයට එන්නේ. එහෙම නැත්නම් පත්තරවල නිවුස්, මිනීමැරුම්, සියදිවි නසාගැනීම් හරහා එන්නේත් ඒවාම තමයි.

ආපස්සට හැරිලා බලනකොට ඔයාට ඔයා ගැන මොකද හිතෙන්නේ.
සාහිත්‍යයත් ජීවිතයත් කියලා දෙකක් මට නෑ. මේ දෙකම එකයි මට. මගේ ලියවිලි කියන්නේම මගේ විඳවිලිවලින් මරණයෙන් ගොඩඑන්න ලියපුවා. ඒ විඳවිලි ලිවීම නිසා මරණයට ප්‍රතිකාරයක් වුණා මිසක ඒවා ශූද්ධ සාහිත්‍ය කෘති නෙමෙයි. සයිකෝතෙරපි ටිකක්. මගේ ජීවිතය ගත්තොත් සාහිත්‍යයක් වගේ. පොතක් වගේ. අද මම ජීවිතය ගොඩනගන්නේම සාහිත්‍යයක් හැටියටයි. එදා ජීවත් වුණේ සාහිත්‍යයට අනුවයි. මගේ ජීවිතය ලියන්නම දිපු ජීවිතයක්■