Saturday, 19/8/2017 | 5:26 UTC+0
රාවය

ආසියානු රටවල ගැහැනිය සහ පිරිමියා අතර ඇති ගැටුම තවමත් දරුණුයි |දකුණු කොරියානු සිනමාකරු කිම් කි ඩුක්

සුභාෂිණී චතුරිකා

දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂ, කිම් කි ඩුක් විරල ගණයේ පුද්ගලයෙකි. කලාව හෝ සිනමාව පිළිබඳ කිසිදු අධ්‍යාපනික ඇසුරක් නොලත් ඔහු, පාසල් ගමන නතරවීමෙන් පසු හමුදාවේ සහ කර්මාන්තශාලාවල වැඩකරමින් කාලය ගතකළ අතර පසුකලෙක ජාත්‍යන්තර සිනමා උළෙලවලදී වැඩිමනත් කතාබහට ලක්වූ සිනමාකරුවෙකු බවට පත්විය.
තම පළමු චිත්‍රපටය ලෙස, සෝල් නුවර ‘හන්’ නදියට පැන සියදිවි නසාගන්නා අයගේ මළසිරුරු එක්කාසු කරන අද්භූත මිනිසෙකු වටා ගෙතුණු, Crocodile නම් වෘත්තාන්ත චිත්‍රපටය, 1996 වසරේදී ඔහු තනා නිමකළේය.
කොරියානු සමාජය පිළිබඳ ඔහුගේ නව්‍ය සහ රැඩිකල් යථාදෘෂ්ටිය විසින්, බොහොමයක් ප්‍රේක්ෂකයන් ඔහුගෙන් දුරස්කොට තැබූ නමුත්, ඒ වෙනුවට නිර්මාණවලට පෙම්බැඳි උද්යෝගිමත් කුඩා කණ්ඩායමක් ඔහු වටා ගොඩනැඟුණේය. පසුකලෙක ඔහු නිර්මාණය කළ චිත්‍රපටවල විශේෂයෙන් ආන්තිකරණය වූ ජනයා සහ අවකාශ මෙන්ම ප්‍රධාන දහරාවට ප්‍රතිපක්ෂ සෞන්දර්යය පිළිබඳ ඔහු අවධානය යොමුකිරීම පැහැදිලිව දක්නට තිබුණි.
ඔහුගේ සෑම සිනමා නිර්මාණයක්ම දකුණු කොරියාව තුළ ආදායම් ඉපැයීම අතින් අසාර්ථක වුවද එම සිනමා නිර්මාණ චිත්‍රපට උළෙලවලදී නොකඩවා තිරගත වූයේ, පෙර කී ලෙස ඔහුගේ නිර්මාණ හඹා යන කුඩා කණ්ඩායමක් යුරෝපය තුළ නිර්මාණය කරමිනි.
1998දී නිර්මාණය කළ Birdcage Inn චිත්‍රපටය, ඔහුගේ සිනමා නිර්මාණයක් ජාත්‍යන්තර අවධානයට ලක්වූ පළමු අවස්ථාව වූ අතර ඉන් අනතුරුව වසර 2000දී නිර්මාණය කළ The Isle නම් චිත්‍රපටයද සිනමාලෝලීන් අතර කිසියම් ආන්දෝලනයකට තුඩුදුන් සිනමාපටයක් බවට පත්විය. පිරිමියා සහ ගැහැනිය අතර තිබෙන ‘සාර්වත්‍රික යුද්ධය’ පිළිබඳ කර තිබූ දරුණු විමසුම සන්ඩාන්ස් සහ වැනිසියානු චිත්‍රපට උළෙලවල ප්‍රේක්ෂකයන් දැඩි කම්පනයට පත්කළේය. එහෙත් එකී මොහොතේම, අනුපමේය සෞන්දර්යය, අධිතාත්වික රූප සහ අව්‍යාජ කාව්‍යමය සුන්දරත්වය නිසා එම සිනමාපටය බොහෝ සේ ඇගයීමටද ලක්විය.
ඉන් අනතුරුව අධ්‍යක්ෂණයේ සකල ශිල්පයම කැටිවුණු, මිනිසෙකුගේ සැබෑ හෝ මනඃකල්පිත මිනීමැරීම් සවාරියක් ගැන කියාපාන, විනාඩි 200ක් තුළ, එකවර චලන චිත්‍ර කැමරා 10ක් සහ ඩිජිටල් වීඩියෝ කැමරා 2ක් යොදා ගනිමින් රූගත කළ Real Fiction සිනමාපටය එළිදැක්විණි.
Address Unknown (2001) කිම් කි ඩුක්ගේ මේ තාක් වඩාත් කතාබහට ලක්වූ දේශපාලනික චිත්‍රපටය වන අතර එය කොරියානු යුද්ධය විසින් සමාජය මත ඉතිරි කරන ලද කැළැල් සහ එමඟින් ඇමරිකානු හමුදා කඳවුර තුළ ඇතිකළ තත්කාලීන නින්නාදය ගැන කියාපාන සිනමා නිර්මාණයකි.
ඉන් අනතුරුව තිරගත වුණු Bad Guy චිත්‍රපටය අන්තර්ජාතිකව ජනප්‍රිය වුණු, දකුණු කොරියානු සිනමාකරුගේ නිර්මාණයක් තම මව්බිමෙදී සාර්ථක වුණු මුල්ම වතාවය. එම සිනමාපටය මහත් ජනප්‍රියත්වට පත්වූවා සේම එය කොරියානු සමාජය තුළ කිසියම් අන්දෝලනයක් ඇතිකිරීමටද සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ‘කොරියානු සිනමාවේ නරක හාදයා’ නම් අන්වර්ථ නාමයක්ද ඔහුට පටබැඳුණේය.
Bad Guy”, ගොලු මැරයකු අහිංසක පාසල් සිසුවියක පැහැරගෙන ගොස් ඇයට ගණිකා වෘත්තියේ යෙදීමට බලකරන කතා වස්තුවක් පාදක කරගත් චිත්‍රපටයකි. එහි නාරිද්වේෂී ස්වභාවයත්, රූපරාමුවල ඇති ප්‍රබලතාව මඟින් ඇතිකරවන හිස කකියන කඨෝරභාවයත් නිසා සමහර සිනමාලෝලීන්ගේ අප්‍රසාදයටත් එම චිත්‍රපටය හේතුවිය.
හදිසි වෙඩි තැබීමකින් පසුව ආධුනික සෙබළෙකු තුළ ඇතිවන සන්තාපය කුළුගැන්වෙන The Coast Guard (2002) චිත්‍රපටය, ඔහුගේ නාවික සෙබළ දිවියෙන් අත්දැකීම් උකහා ගැනීමක් ලෙස සැලකිය හැකිය.
Spring, Summer” Fall” Winter, And Spring නම් 2003 වසරේ එළිදැක්වුණු චිත්‍රපටය සිනමා විචාරකයන්ට අනුව කිම් කි ඩුක්ගේ කලාත්මක එළිදැක්වීම්වල පුදුම එලවනසුලු හැරවුම් ලක්ෂ්‍යයකි. චමත්කාරජනක වටපිටාවක දිග හැරෙන, එම සිනමාපටය බෞද්ධ භික්ෂූන් දෙදෙනෙකුගේ ජීවිත සහ සැනසුමක් සොයා ඔවුන් වෙත එන මං මුලාවූ ආත්මයන් පිළිබඳ විදහා දැක්වෙන නිර්මාණයකි. ඔහුගේ පෙර සිනමාත්මක පරිශ්‍රමයන්ට වඩා මහත් පරිණත බවක් ඉසිලූ මෙම චිත්‍රපටය මිනිස් ස්වභාවයේ මඟහැරිය නොහැකි ම්ලේච්ඡත්වය ගැන සෝදිසි බැල්මක් හෙළයි. එය අසංවර, අතත්‍යන්තයෙන්ම සැබෑ ලෙස කුසලතා පිරි සිනමාකරුවෙකුගේ වෘත්තීය ජිවිතයේ නව අවධියක් සලකුණු කිරීමකි. ඔහු මේවනවිට සිනමානිර්මාණ විශාල ප්‍රමාණයක් නිමවා ඇත. එම නිර්මාණ බොහෝමයක් වැනිස්, කාන් වැනි සිනමා සම්මාන උළෙලවල ඇගයීමට ලක්ව ඇත.

මේ එම විරල ගණයේ සිනමාකරුවා සමඟ කරන ලද පිළිසඳරකි.

ඔබ විවිධ වස්තූන් සහ චරිත ඇසුරෙන් කඨෝර යථාර්ථයන් (රළු පරළු බව නිසාම නිතරම මඟහරිනු ලබන වර්ගයේ යථාර්ථයන්) මතට අධිතාත්විකවාදී මූලිකාංග එක් කරනවා. මෙය ප්‍රේක්ෂාගාරය උදාසී නත්වයෙන් මුදාගෙන, සැබෑව සහ මායාව අතර ඇති සීමාව බොඳකරමින් ඔවුන් කම්පනයට පත්කරවන ඉතාමත් චිත්තා කර්ෂණීය සංකලනයක්. ඔබ හිතන්නේ, අප මේ මානයන් දෙකම සංයෝජනය කරමින් ලෝකය දෙස බැලිය යුතු කියලාද? එසේම ඒ පිටුපස ඇති දාර්ශනික සහ ආගමික තත්ත්වයන්ද සලකා බැලිය යුතුද?
නවීන සමාජය කියන්නේ හරියට, දකින දේ ගැන පමණක් විශ්වාසයට ගනිමින්, ධනය සහ කීර්තිය පසුපස අනවබෝධයෙන් හඹායන කෝච්චියක් වගේ. ගොඩක් මිනිසුන් දුර්වලයාව මඟාරිනවා. ඒ වගේම හිතනවා ඔවුන්ට මුදල්වලින් ඕනෑම දෙයක් මිලදී ගන්න පුළුවන් කියලා. ඔවුන් සීමාන්තිකව දේශානුරාගය හා බැඳෙනවා, නැත්නම් ඉතාමත් සුළු දේවල් නිසා එකිනෙකාට වෛර කරනවා. මේ සියලු සංසිද්ධීන් මාව අපහසුතාවටත් බියටත් පත්කරනවා. දැන් සීමාව ඉක්මවා තනි පුද්ගල මතයයන් නොසලකා හැරීම සහ ඒවා පරිභවයට ලක්කිරීම සිදුවෙනවා. එය සැබැවින්ම ඉතාමත් කනගාටුදායක කාරණයක්. සංයුක්තත්වය නොනැසී පවතිනවා, වියුක්තනය නැතිවෙනවා. බලා පොරොත්තුවක් ඇතිකර ගන්න පුළුවන් මේ ද්විත්වයේ සහජීවනයෙන් විතරයි.

ඔබගේ සිනමා නිර්මාණවල නිතරම දකින්නට ලැබෙන්නේ, අමනාපයට පත්වූ, සමාජයෙන් දුරස්වූ, හුදෙකලා මෙන්ම සමාජය තුළ ‘අනෙකා’ බවට පත්වුණු චරිත. එහෙත් ඔබ අපිට හැඟීම් මාත්‍රයක් ලබාදෙනවා, ඔවුන්ගේ අභ්‍යන්තරය තුළ කිසියම් නිදහස් බවක සහ ආත්ම විශ්වාසයක සේයාවක් තැන්පත්වී ඇති බවට. ඔබ හිතනවාද ඔබගේම වචනවලින් හඳුන්වා දෙනවා නම්, ‘හීලෑවුණු’ අය එනම්, වැඩිපුර කතාකරන, ජීවිතේ කිසිම අවධියකදී වේදනාවකට පත්නොවුණු අයට වඩා ඒ චරිත උසස් කියලා, නැත්නම් ඔබ විශ්වාස කරනවාද ඒ වාගේ අයට කිසියම් සැලකීමක් අවශ්‍යයි කියන එක?
මම උසස් හෝ පහත් චරිත පිළිබඳ කතා කියන්න උත්සාහ කරන්නේ නැහැ. මම හිතන විදියට අපි එකිනෙකාට දැනෙනවා අපිට අපි වටිනවායි කියන එක. අන් අය මත ඇති කළ හැකි කෲරත්වයේ ස්වරූපයක් තමයි යම් පුද්ගලයෙකු මේ ලෝකෙ ශෝචනීයම ජීවියා බවට පත්කිරීම. අනෙකාව නොසලකා හැරීම, පරිහාසයට ලක්කිරීම එවැනි කෲරත්වයන් ඉස්මතු කරන ආකාරයේ හැසිරීම්. අනෙක් අයගේ අයථා සැලකීම්වලට හෝ ස්වයංපීඩනයට ගොදුරුවූ අය ලෝකය පිළිබඳ පුළුල් දැක්මක් ඇතිව වැඩනවා. එහෙත් දැන් වෙද්දි, මිනිසුන්ට ඕනෑ නැහැ අනික් අයගෙන් හෝ තමන්ගෙන් හෝ වේදනාවට පත්වෙන්න. ඒ වෙනුවට ඔවුන් වදවෙන්නේ, කොහොමද තමන් අනික් අයව වේදනාවට පත්කරන්නේ කියන එක ගැන.

ඔබගේ චිත්‍රපටවල ශෛලිය තීරණය වෙන්නේ, කැමරාව භසුරුවන ආකාරය අනුව නොවෙයි. ඔබ අවධානය යොමු කරන්නේ, කැමරාව තබා ඇති ස්ථානය ගැන නොව, රූපරාමු තුළ තිබෙන දේවල්, එනම් වස්තූන්, නළු නිළියන් ඒ ඒ රූප රාමු තුළ ස්ථානගතවීම සම්බන්ධව. ආකෘතිවාදය නියෝජනය වුණු මෙම ශෛලිය සැබැවින්ම සිනමාව ආරම්භයේ මුල්කාලීනව භාවිතයට ගැනුණක්. එහෙත් අද වන විට, කිසියම් ශෛලියක් නිර්මාණය කිරීමට ප්‍රබල ලෙස නැඹුර වෙලා තියෙන්නේ කැමරාව භාවිත කරලා. ඒ අනුව ඔබ අලුත් විදියක් නිර්මාණය කළ කෙනෙක් බවට පත්වෙනවා. ඔබ මේ වෙනස ඇති කළේ හිතාමතාද? වෙනත් වචනවලින් කියතොත් එය ඔබ සැලසුම් කළ එකක් ද?
මම එක් කලෙක උත්සාහකළා ප්‍රේක්ෂා ගාරයට රූපරාමු තුළ ඇති දේ පෙන්වන්න. මම වඩවඩාත් වැඩකරන විට මට ඕනෑ වුණා, ඔවුන් තිරය දෙස බලාසිටින අතරවාරයේම තිරයෙන් පිටත දේ දකින්න ඉඩ සලස්සන්න. මුල් කාලයේ මම චිත්‍රපට හැදුවේ දැකීම යනු නිතරම විශ්වාසයට ගැනීම නොවේ යන තේමාවට අනුව. ඒත් දැන් සහ අනාගතයේදී මට ඕනෑ, වඩාත් අභව්‍ය නමුත් භව්‍ය සේ පෙනෙන චිත්‍රපට නිර්මාණය කරන්න. මම වර්ණ හෝ දර්ශන කැමරාවෙන් නිරූපණය කරන හෝ ප්‍රකාශ කරන තාක්ෂණය එතරම් වැදගත් යැයි සිතන්නේ නැහැ. වඩාත් වැදගත් දෙය මගේ පරිකල්පනය කෙතරම් දුරට විහිද යනවා ද කියන එක විතරයි.

මම ජීවිතය සම්බන්ධ ඔබගේ ප්‍රවේශය ඇසුරින් (ඔබගේ ීSpring, Summer, Fall, Winter And Spring චිත්‍රපටයේ මෙන්, ඔබ විවිධ සෘතු දකින්නේ මිනිස් ස්වභාවයේ විවිධ සංවර්ධන අවධීන් විදියට) මේ ප්‍රශ්නය අහන්න හිතුණා. ඔබගේ සිනමාකරණය ගැන හිතුවොත්, ඔබගේ සිනමා නිර්මාණ ඔබගේ කිනම් ජීවිත සෘතු කියාපානවද?
මගේ හැම සිනමා නිර්මාණයක් ම කියන්නේ මගේ ජීවිතය සම්බන්ධයෙන් කිසියම් සටහන් තැබීමක්. එය මගේ ජීවිතේ සුවිශේෂි කාලවකවානුවක දින සටහන. එහෙයින් එය මට මකා දැමීමටවත්, නොසලකා හැරීමටවත් හැකියාවක් නැහැ. මට මගේ අතීතය මතක් වන විට මම මගේ චිත්‍රපට නරඹනවා. මම දැන් ජීවත් වෙන්නේ සිසිර සෘතුවේ. ඒත් මම හිතනවා, සිසිරය නිම වූ වහාම ග්‍රීෂ්ම සෘතුව උදාවෙයි කියලා.

ඔබ Bad Guy චිත්‍රපටයෙන් ලෝකය පිළිබඳ ගවේෂණය කිරීමට උත්සාහ කළේ කුමක්ද?
මම ඇසීමට උත්සාහ කළ ප්‍රශ්නය නම්, අපි එක සමානව, සමාන අයිතීන් සහ සමාන ගුණාංග සහිතව ඉපදුණත්, අපි වයසින් වැඩෙද්දී අපි එකිනෙකා වර්ගීකරණය කරගනිමින් බෙදෙන්නේ ඇයි කියන එක. අපේ හැඩරුව, පෙනුම අනුව ඇයි අපි විනිශ්චයට ලක්වෙන්නේ? අපි ලස්සන හෝ අවලස්සන වීම, අපිට මුදල් තිබීම හෝ නොතීබීම කොහොමද වැදගත් වෙන්නේ? අප ඉපදුණාට පසුත් අප වැඩෙන විටත් අප මත පැටවෙන මේ ආකාරයේ ප්‍රමිතීන් නිසා අපට කිසිසේත් අදාළ නොවන තත්ත්වයන් සහ සමාජ පංතීන් අනුව අප බෙදෙනවා. මට අවශ්‍යවුණා අහන්න, ඇත්තටම මේ සමාජ පංතිවලට අයත් අයට එකිනෙකා හා හොඳින් ජීවත්වීමටත්, එකිනෙකා හා පෑහීමටත් ඇත්තටම බැරිද කියන එක.

ඔබට ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණාද?
මගේ පිළිතුර තමයි, මිනිස් වර්ගයා, පංතිය පෙනුම හෝ සල්ලි නොසලකා එකිනෙකාට ගරුකළ යුතුයි කියන එක. එය මගේ පිළිතුර වුණත්, මගේ අභිප්‍රාය තමයි එම ප්‍රශ්නය ප්‍රේක්ෂකයන්ට සම්මුඛ කිරීම සඳහා චිත්‍රපට නිර්මාණය කිරීම. මට හොඳටම විශ්වාසයි, හැමකෙනාම එකිනෙකාට අවේණික උත්රයක් සොයාගනීවි කියන එක.

ඔබේ චිත්‍රපටවල නිතර සිදුවෙන ආකාරයෙන්, Bad Guy  චිත්‍රපටයේ ප්‍රධාන චරිතය, පිම්පියා, හැන්ග් ජි (චෝ ජේ හයුන් විසින් රඟන) නිහඬ පුද්ගලයෙක්, ඔහුට අදහස් හුවමාරු කරගන්නවත් තමන්ව ප්‍රකාශයට පත් කරන්නවත් හැකියාවක් නැහැ. ඔහුගේ එකම භාෂා විධිය තමයි ප්‍රචණ්ඩත්වය. මේ නිහඬතාවට හේතුව කුමක්ද?
මගේ චිත්‍රපටවල කතා නොකරන චරිතවලට හේතුව තමයි, ඔවුන් කිසිවක් නිසා ගැඹුරින් වේදනාවට පත්වෙලා කියන එක. පොරොන්දු කඩවීම් නිසා මානව වර්ගයා කෙරේ ඔවුන් තුළ තිබූ විශ්වාසය නැතිවෙලා. ඔවුන්ට ‘මම ඔයාට ආදරෙයි’ කියා කීවත්, ඒ කියූ අය එසේ කියාඇත්තේ සැබෑම හැඟීමකින් නොවෙයි. එසේ ඔවුන් මුහුණ දුන් බලාපොරොත්තු දෙදරායෑම් නිසා, ඔවුන් තුළ තිබූ විශ්වාසය පළුදුවී, මුළුමනින්ම කතාකිරීම අත්හැර දමන්න ඇති. ඔවුන් ප්‍රචණ්ඩත්වයට නැඹුරුවීම.. මම කැමතියි එය එක්තරා ආකාරයක සිරුරු භාෂාවක් කියලා හඳුන්වන්න. එය හුදු අවපස ප්‍රචණ්ඩත්වයක් ලෙස සලකනවාට වඩා මම ඒ ගැන හිතන්නේ ශාරීරීක ප්‍රකාශනයක් විදියට.
මගේ චරිතවල ඇති තුවාල සහ කැළැල් කියන්නේ, තරුණ පිරිස් සැබැවින්ම පිටතින් ඇතිවන මානසික ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්විය නොහැකි වයසකදී ලත් අත්දැකීම්වල සලකුණුයි. ඔවුනට ශාරීරික අපයෝජනයෙන්, උදා හරණයක් ලෙස ඔවුන්ගේ මව්පියන්ගෙන්, වාචික අපයෝජනයෙන් හෝ ඔවුන්ගේ මව්පිය ගැටුම්වලදී ඔවුන්ව ආරක්ෂා කරගන්න බැරුව යන්නැති. නැතිනම් ඔබ මාවතේ ඇවිද යන විට කිසිවකු ඔබට පහර දෙන්නැති. එවැනි දේ සිදුවන විට, ඒ ගැන ඔබට කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. මේ අත්දැකීම් හරියට තුවාල කැළැල් වගේ ඒ මිනිසුන්ගේ මනසේ තැන්පත්වෙලා තියෙනවා. මම පෞද්ගලිකව එවැනි අත්දැකීම්වලට මුහුණදීලා තියෙනවා. උදාහරණයක් ලෙස, මට වඩා බාල එහෙත්, මට වඩා ශාරීරිකව ශක්තිමක් කොල්ලන් පිරිසක් මට පහරදීලා තියෙනවා. මට ඉන් වැළකෙන්න කිසිම දෙයක් කරන්න බැරිවුණා. ඒ වාගේම, නාවික හමුදාවේදී සමහර අය මට වඩා ඉහළ තනතුරුවල ඉන්න නිසාම, කිසිම හේතුවක් නැතිව මට තඩිබාලා තියෙනවා. මේ වගේ අත්දැකීම් දාමයක් මම විඳිමින් යද්දී මම තනියෙන් හිතන්න වුණා, ඇයි මේ දේවල් මෙහෙම වෙන්නේ කියන එක. ඒ ප්‍රශ්නය මම චිත්‍රපට අධ්‍යක්ෂකයකු වනතුරුම හිතට වදදුන්නා, ඒත් මම හිතන දේ සහ ඒ ගැන මට දැනෙන දේ මම දැන් ප්‍රකාශ කරමින් ඉන්නවා.

The Isle, Address Unknown, Bad Guy චිත්‍රපටවල දක්නට ලැබෙන ස්ත්‍රී රූප, ඔබ කැමතිම සිත්තරුවා ඒගොං ශීලෙ විසින් චිත්‍රයට නඟන ලද ගණිකාවන් සහ එවැනි වෙනත් කාන්තා රූප (Fallen women) වලට සමානයි. එක් විදියකින් හෝ වෙනත් ඕනෑම විදියකින් තම සිරුර විකිණීමට බල කෙරෙන ස්ත්‍රීන් පිළිබඳ ඔබගේ සිත ඇඳබැඳගන්නා දේ කුමක්ද?
මම කාන්තාවන් ගැන සිතන්නේ ඔවුන් පිරිමින්ට වඩා උසස් ගණයේ සත්වයන් හැටියට. ඔවුන් සතුව තියෙනවා, පිරිමියාට ප්‍රදානය කරන්න ඔහු නිතරම ඉල්ලා සිටින යමක්, ඔවුන් ඒ වෙනුවෙන් ගෙවීමක් කළා වුණත්. ගොඩක් අය මාත් එක්ක එකඟ නොවෙන්න පුළුවන්, මම ඒ ගැන හිතන විදිය සම්බන්ධව. මට අනුව ගැහැනියක් සහ පිරිමියෙක් අතර ඇති සම්බන්ධය එක්තරා විදියක ලිංගික සේවා සැපයීමක්, මුදල් ගනුදෙනුවක් සිදුනොවුණත්. එය පොදු ගැටුමක්, නමුත් එය සංස්කෘතික වෙනස්කම්ද පිළබිඹු කරනවා. මම හිතන්නේ යුරෝපයේ දේවල් ස්ථාවර වෙලා ටික කාලයක් නිසා ලිංගිකතාවන් අතර වැඩි ආරවුල් නැහැ. ඒ නිසා ඔබ යුරෝපීය චිත්‍රපට සැලකිල්ලට ගතහොත්, ඒ චිත්‍රපට තුළ එම තත්ත්වය හොඳින් පිළිබිඹු වෙනවා, එහි ඇත්තේ හික්මුණ ස්වභාවයක්. එහෙත් ආසියානු චිත්‍රපට තුළ එම තත්ත්වය වඩාත් ගතිකයි සහ ප්‍රචණ්ඩයි, මොකද එම කලාපයේ ගැහැනු සහ පිරිමි අතර වන ගැටුම තවමත් දරුණුයි. ්‍

kimkiduk.com වෙබ් අඩවියේ ඔබගේ චිත්‍රපට ගැන සඳහන් වෙන්නේ ඒවා ‘අර්ධ වියුක්ත’ සිනමා නිර්මාණ ලෙස. මෙහි තේරුම කුමක්ද?
මගේ චිත්‍රපට නිර්මාණය කිරීමේ අර්ධ වියුක්ත සංකල්ප කියන්නේ, යථාර්ථය නිරූපණය කරනවාට වැඩි යමක් කිරීමයි. අප දකින ලෝකයට මම මගේ සිතිවිලි සහ හැඟීම් එක් කරන්න උත්සාහ කරනවා.■

About