Untitled-1

Untitled-1

එළාර සොහොන මත දුටුගැමුණු පිළිරූ තැනීම ඉතිහාසයට කරන සැහැසිකමකි


e

කේ.ඒ. කුලතිලක

ආචා ර් ය ජේම්ස් ටී. රත්නම්ගේ ‘The Tomb of Elara at Anuradhapura නමැති කෘතියේ සිංහල පරිවර්තනය වන ‘අනුරාධපුරයේ එළාර සොහොන’ නමැති රාවය ප්‍රකාශය ගැන කෙරෙන විග්‍රහයකි.
1948 දී මහාචාර්ය පරණවිතාන විසින් දැන්වීම් පුවරුවක් සවිකිරීමෙන් ‘දුටුගැමුණු සොහොන’ යයි නම් කරන ලද දක්ඛිණ ථූපය නමින්ද හැඳින්වූ අනුරාධපුර දකුණු දොරටුවේ පිහිටි ගොඩැල්ල අනාදිමත් කලක සිට ‘එළාර සොහොන’ ලෙස හැඳින්වූ ස්ථානය බවට ජනප්‍රවාද හා වංශකතා මෙන්ම බි්‍රතාන්‍ය යුගයේ ගවේෂක යන්ගේ වාර්තා තුළින් සනාථ වී ඇත. දුටුගැමුණු සමඟ කළ සටනින් එළාර මියගිය ක්‍රි.පූ. 161 සිට ක්‍රි.ව 1818 දක්වා උඩරට කැරැල්ල පැවති වකවානුව දක්වාම මෙම ස්ථානයට ගෞරව දැක්වූ බවට සාක්‍ෂි ඇත. වසර 2000කට වැඩි ඉතිහාසයක් තනි තීරණයක් මත වෙනස් කිරීමට මහාචාර්ය පරණවිතාන පෙළ ඹුණේ ඇයිද යන්න බරපතළ ගැටලුවකි. එහි බරපතළකම වන්නේ බෞද්ධ ජාතිකවාදය පිනවීම කෙසේ වෙතත් ඉතිහාසය උඩු යටිකුරු කිරීමක් ඉන් සිදුවන බැවිනි.
එළාර සිරුර දවන ලද ස්ථාන පිළිබඳවත් එතැනට දැක්වූ බුහුමන් පිළිබඳවත් හමුවන ඵෙතිහාසික සාක්‍ෂි බොහොමයකි. මහා වංශ කතුවරයා ඒ ගැන මෙසේ විස්තර කරයි. ‘නගරයේ දකුණුදිග දොරටුව අසළදී රජවරු දෙදෙනා සටන් වැදුණාහ. ඔහු සටනින් ජයගෙන අගනුවර බලා ගමන්කළේය. නගරය තුළ බෙර වාදනය කිරීමට සැලැස්වූ ඔහු නගරය වටා යොදුනක දුර විසූ ජනතාව අගනුවරට කැඳවා එළාර රජු වෙනුවෙන් අවමඟුල් චාරිත්‍ර උත්සවාකාරයෙන් පැවැත්වීය. එළාර සටනින් ඇදවැටුණු ස්ථානයේම ඔහුගේ සිරුර අවමඟුල් දෙන සමඟ දවාලීය. එහි ස්මාරකයක් ඉදිකරවූ ඔහු එයට වැඳුම්පිදුම් කිරීමට නියමකළේය. තවද අද දක්වාම (මහාවංශය ලියා ඇත්තේ මේ සිද්ධියෙන් වසර 700ක් පමණ ගිය තැනය) ලංකාවේ රාජ කුමාරුවරු මේ ස්ථානය අසලින් ගමන්කරන විට ගරුබුහුමන් දැක්වීමේ අවශ්‍යතාව නිසා ඔවුන්ගේ තුර්යවාදන නතර කිරීමට පුරුදුව සිටිති. (මහාවංශය 25 පරි.) චේතියම් යන්න මහාවංශයේ ගෛගර් පරිවර්තනයේදී ස්මාරකය ලෙස යොදා ඇත.
මහාවංශයට ලියන ලද ටීකාවක් වූ වංසත්ථප්පකාසිනියෙහි අනුරපුර දකුණුදිග දොරටුව අසළ එළාර ප්‍රතිමාඝරය පැවති බවත් රාජ කුමාරවරුන් මේ ස්ථානයේදී තූර්යවාදන නතර කර චේතිය පැදකුණු කර පූජා පැවැත්වූ බවත් සඳහන්වේ. මෙකී ග්‍රන්ථය ලියන ලද අවධිය වන විට එළාර මියගොස් වසර 1000කට ආසන්න කාලයක් ගතවී තිබුණි. 14 වන සියවසේ ලියැවී ඇති සද්ධර්මාලංකාරයේ ‘මේ දක්වා (14 වන සියවසේදීද) රාජ කුමාරවරුන් මේ ස්ථානයට පැමිණි කල බෙර යනාදිය වාදනය කරනු නොලැබේ.’ යනුවෙන් සඳහන්ය.
බි්‍රතාන්‍ය ආධිපත්‍යය පැවති යුගයේදී වල්බිහිව පැවති රජරට නටබුන් පිළිබඳ වාර්තා තැබූ ඉංග්‍රීසි ජාතිකයෝ කිහිප දෙනෙක්ම වෙති. වල්බිහි ව නටබුන්ව පැවති වෙහෙර විහාර වංශකතා හා සසඳා අපට පෙන්වා දුන්නේ ඔවුන්ය. ඒ අය අතර එළාර සොහොන පිළිබඳව වාර්තා තැබූ අයද වෙති.
මේජර් ෆෝබස් ‘එළාරගේ මරණින් සියවස් 20ක් ගතවී ඇති නමුදු මිථ්‍යාදෘෂ්ටිකයෙකුගේ නටබුන්වූ සොහෙන් ගැබ පූජනීය මන්දිරයකින් ශේෂව පවතින්නක් ලෙස බොහෝ බෞද්ධ වන්දනාකරුවන් සලකති’යි සඳහන් කරයි. 1818 කැරැල්ලෙන් පැරද පලායන පිළිමතලාව මෙම ස්ථානයේදී දෝලාවෙන් බැස අමාරුවෙන් වුවද බොහෝ දුරක් පයින් ගමන් කළ බවද ඔහු සඳහන් කරයි.
ජෝර්ජ් ටර්නර් (1837) ‘එළාරගේ සොහොනට දැක්වූ මේ ගරුබුහුමන් කන්ද උඩරට පළාත බි්‍රතාන්‍යයන් වාඩි ලා සිටි කාල පරිච්ඡේදය දක්වාම අඛණ්ඩව පවත්වා ගෙන යනු ලැබීය’යි සඳහන් කරයි.
එමර්සන් ටෙනන්ට් සඳහන් කරන්නේ ‘එළාරගේ නිර්භීතභාවය ගැන දැක්වූ ප්‍රංශසාව කොතරම් නම් අව්‍යාජවීද යත් ඔහුගේ ප්‍රතිවාදියා ජීවිතක්ෂයට පත් ස්ථානයෙහි ඔහුට ගෞරව පිණිස ස්මාරකයක් ඉදි කරවීය. එහි නටබුන් අද දක්වාම පවතින අතර සිංහලයා තවමත් එයට ගෞරවයෙන් හා පූජනීයත්වයෙන් සලකති.’ යනුවෙනි.
බරෝස් සඳහන් කර ඇත්තේ පශ්චාත්තාපයට පත් දුටුගැමුණු තම ප්‍රතිවාදියාවූ එළාරට ගෞරව පිණිස ස්මාරකයක් ඉදිකළ බවත් ඒ අසළින් ගමන්කරන විට ගෞරව දැක්වූ බවත්ය. බරෝස්ගේ අනුරාධපුර නගර සිතියමේ නරගයේ දකුණු සීමාවෙහි එළාර සොහොන සලකුණු කර ඇත.
එච්.සී.පී. බෙල් එළාර සොහොන නගරයේ දකුණුදිග දොරටුව ආසන්නයේ දක්ඛිණ විහාරයට යාබදව තිබුණු බව කියයි.
මෙවන් කරුණු අනුව නිගමනය කළ හැකි වන්නේ, එළාර දැහැමි යුක්තිගරුක පාලකයෙකු වූ බවත් ඔහුගේ මරණය ගැන දුටුගැමුණු බෙහෙවින් පසුතැවුණු බවත් ඔහු වෙනුවෙන් දුටුගැමුණු තමාගේ ඉහළම ගෞරවය දැක්වූ බවත්ය. සිද්ධිය සිදුවූ ක්‍රි.පූ. 2වන සියවසේ සිට මහාවංශකරු ජීවත්වූ 6වන සියවස දක්වා එළාර සොහොනට ගෞරව දක්වන ලද බව මහාවංශ සාධකයෙන් පෙනේ. මහාවංශ අටුවාකරු ජීවත්වූ මෙම සිද්ධියෙන් වසර 1000ක් ගතවූ පසුත් ඒ තත්ත්වය එසේම විය. 14 වන සියවස වනවිටත් එම ගෞරවය එසේම පැවති බව සද්ධර්මාලාංකාරයේ සාක්ෂිවලින් පැහැදිලිය. අනතුරුව බි්‍රතාන්‍ය යුගයේ මේ පිළිබඳව ඇති සාක්‍ෂි අනුව 19වන සියවස වනතුරු එම ගෞරව දැක්වීමේ චාරිත්‍රය නොකඩවා පවත්වාගෙන ආ බව පෙනේ. පරණවිතාන එළාර සොහෙන (දක්ඛිණ ථූපය) දුටුගැමුණු සොහොන ලෙස නම් කරන තුරුම ගෞරවනීය තත්ත්වය එසේම පැවතුණි. මෙසේ සාක්‍ෂි සහිතව ඔප්පුවී ඇති ඵෙතිහාසික ස්මාරකයක් එක් පුද්ගලයෙකුගේ අත්තනෝමතික තීරණයක් මත වෙනස්කිරීම කෙතරම් සාධාරණද යන්න සලකා බැලිය යුතුව ඇත. හාස්‍යජනක කරුණ වන්නේ මේ සිද්ධියෙන් පසු ශතවර්ෂ ගණනාවක් එළාර සොහොනට දැක්වූ ගෞරවය දුටුගැමුණු සොහොනට දැක්වීමට කිසිවෙකු කටයුතු නොකිරීමයි.
එළාර සොහොන ලෙස ශතවර්ෂ ගණනාවක් තිස්සේ හඳුන්වාඇත්තේ අනුරාධපුර දකුණු දොරටුවේ (එළාර මියගිය ස්ථානයේ) පිහිටි දක්ඛිණ ථූපය ලෙස හැඳින්වූ ගොඩැල්ලයි. බි්‍රතාන්‍ය යුගයේදී ඉංග්‍රීසි ජාතික ගවේෂකයන් විසින් තම සිතියම්වල මෙම ස්ථානය නගරයේ දකුණු දොරටුවේ එළාර සොහොන ලෙස සලකුණු කර ඇත. වංශකතාවල අනුරාධපුරයේ දක්ඛිණ ථූපයක් ගැන වරින්වර සඳහන්වී තිබීම සොහොන නිශ්චය කිරීමේදී ගැටලුවක් වූ බව පෙනේ. දීපවංශයට අනුව කනිෂ්ඨ තිස්ස (ක්‍රි.ව. 165-193) සමයේ දක්‍ෂිණාරාමයේ ඉදිකළ ථූපයක් ගැන කියැවේ. මහාවංශ සාධක අනුව වට්ටගාමිණි සමයේ උත්තිය නමැත්තකු විසින් දක්ඛිණ විහාරයක් ඉදිකරන ලද බවක් කියැවේ. මේ ගැටලුවට මුහුණ දුන් එච්.සී.පී. බෙල් ඔහුගේ වාර්තාවක සඳහන් කර ඇත්තේ එළාර සොහොන දක්ඛිණ ථූපයම වීමට හෝ ඒ අසල පිහිටීමට හෝ ඉඩ ඇති බවයි. ඉතිහාසයේ මුල් නිර්මාණ නැවත නැවත ප්‍රතිසංස්කරණය කර ඇති අතර දක්ඛිණ ථූපයද (මුල් එළාර සොහොන) කනිෂ්ඨ තිස්ස හා වට්ටගාමිණි සමයේ පිළිසකර කෙරෙන්නට ඇත. බොහෝ වෙහෙර විහාර පිළිසකර කළ තැනැත්තා එය ඉදිකළ අය ලෙස සඳහන්වූ අවස්ථා දැකිය හැකිය.
ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැවත එන ජනප්‍රවාද හා ඵෙතිහාසික සාධකවලින් සනාථවී ඇති දක්ඛිණ ථූපය හෙවත් එළාර සොහොන පරණවිතාන් විසින් අත්තනෝමතිකව දුටුගැමුණු සොහොන ලෙස නම් කිරීම ඉතිහාසයට කළ සැහැසිකමකි. වංශකථා හෝ වෙනත් ඵෙතිහාසික සාධක අනුව දුටුගැමුණු සොහොනක් හෝ ථූපයක් ගැන දැනගැනීමට නැත. ‘මහාථූපය දැකිය හැකිව තිබෙන ආගමික වතාවත් සඳහාම වෙන් වූ සීමාමාලකයක සහෝද රත්වයේ සේවකයාවූ මාගේ සිරුර පුළුස්සනු ලබත්වා!’ යනුවෙන් දුටුගැමුණු අවසාන කාලයේ ප්‍රකාශ කළ බව වංශකතාව කියයි. ඒ අනුව රජුගේ සිරුර මහා විහාර මළුව තුළම ආදාහනය කරන්නට ඇත. දක්ඛිණ ථූපය මහා විහාර සීමාව තුළ පිහිටා නොමැත. දුටුගැමුණු සොහොනට කිසිම අවස්ථාවක පුදපූජා කළ බවක් හෝ එසේ කළ යුතුයයි ආඥා පැනවීමක් හෝ සිදුවී නැත. මේ අනුවද සනාථ වන්නේ දක්ඛිණ ථූපය නම්වූ එළාර සොහොන හා දුටුගැමුණු සොහොන දෙතැනක පිහිටි බවයි.
දක්ඛිණ ථූපය දුටුගැමුණු සොහොන යයි දැන්වීම් පුවරු සවිකළ පරණවිතාන පසුකාලයේදී ඒ ගැන අවධානය යොමුකළ බව නොපෙනේ. දැන්වීම් පුවරුව ගලවා ඉවත්කිරීම ගැන ඔහුගේ විරෝධතාවක් එල්ලවී නැත. එසේම දක්ඛිණ ථූපයෙන් ලැබුණු දුටුගැමුණුගේ යයි ඔහු නම් කළ භෂ්මාවශේෂ වසර තිස්ගණනක් අනුරපුර කෞතුකාගාරයේ කිසිදු සැලකිල්ලක් නොමැතිව තැබීමට ඉඩහැරියේ ඇයිද යන්න ප්‍රශ්නයකි. තමාගේ අතින් සිදුවූ වරද කාලය විසින් විසඳෙනු ඇතැයි ඔහු අපේක්‍ෂා කළේද?
1978 දී දුටුගැමුණු භෂ්මාවශේෂ ගැන සොයාබැලීමට කමිටුවක් පත්කෙරුණු අතර කමිටුවේ නිගමනයන් ව්‍යාකුලය. දොළොස් දෙනෙකුගෙන් යුත් කමිටු වාර්තාව මුලදී ප්‍රසිද්ධියට පත් නොවුණි. ‘දක්ඛිණ ථූපය දුටුගැමුණු සොහෙන නොවේ.’ යනුවෙන් පරණවිතාන මතයට එරෙහි ආන්දෝලනාත්මක මතයක් සාධක සහිතව ඉදිරිපත් කළ පුරාවිද්‍යා කොමසාරිස්ව රයෙකු වූ ආර්.එච්. ද සිල්වා කමිටුවට පත්කරනු ලැබ තිබූ නමුත් ඔහු එයට සහභාගි නොවීය. කමිටුව අවසානයේදී තර්ක විතර්කවලින් තොරව පරණවිතාන මතය ස්ඵුට කරමින් ලිස්සාගිය බවක් පෙනෙන්නට ලැබේ. කෙසේවුවද ඉතිහාසය විසින් ධාර්මික නීතිගරුක රජකු වශයෙන් නම්කළ ඔහු (එළාර) බෞද්ධ ජාතිකවාදය විසින් නැවත වළලා දැමීම බරපතළ ඵෙතිහාසික වරදකි.
ඉතිහාසය යනු, ඉතිහාසකරණයේ යෙදෙන පුද්ගලයාගේ හෝ ඔහුගේ සමකාලීන ප්‍රජාවකගේ හෝ ආත්මීය සිතැඟියාවන්, අභිලාෂයන්, පක්ෂපාතීකම් ප්‍රකාශ කිරීමේ එසේත් නැත්නම් අගතීන් (වාර්ගික, භාෂාමය, ආගමික, පන්ති යනාදි) ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් නොවේ. විද්‍යාත්මක ඉතිහාසකරණය ඉහත කී කවර හෝ ප්‍රවණතාවකට සතුරුය. සැබෑ ඉතිහාසඥයාගේ පක්‍ෂපාතීත්වය පවතින්නේ වෛෂයික කරුණු, සාධක හා සාක්‍ෂි කෙරෙහිය. ඔහු ඵෙතිහාසික නිගමනවලට පැමිණීමේ දී තමන් සලකා බලන ඵෙතිහාසික සිද්ධියට හෝ කරුණට අදාළ සියලුම වර්ගයේ වෛෂයික සාධක හා සාක්‍ෂිවලට අදාළ කාල පරිච්ඡේදය සමඟ පවතින අපෝහක සම්බන්ධය සීරුවෙන් විශ්ලේෂණය කරයි. එක් එක් සාධක හා සාක්‍ෂි අතර පවත්නා අන්තර් සම්බන්ධය විභාගකරයි. අනුරාධපුරයේ එළාර සොහොන දුටුගැමුණු සොහොන ලෙස නම් කිරීමේදී මහාචාර්ය පරණවිතාන අනුගම නය කර ඇති පිළිවෙත මීට ඉඳුරාම පටහැනිය. ඔහු සිංහල-බෞද්ධ ජතිකවාදී අභිලාෂයන් හා අගතීන් චිරස්ථායී කිරීම වෙනුවෙන් ප්‍රබල වෛෂයික සාධක හා සාක්‍ෂි බැහැර කරයි.
එළාර සොහොන පිළිබඳ ගැටලුව විමසුමට ලක්කරමින් ආචාර්ය ජේම්ස් ටී. රත්නම් ඔයැ ඔදපඉ දf ෑක්ර් ්එ ්බමර්ාය්චමර්’ නමින් ඉදිරිපත් කර ඇති පර්යේෂණය මේ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරයි. සරලව වුවද ලබාගත හැකි බොහොමයක් සාක්‍ෂි ඔහු ගොනුකර ඇත. එය විමසිල්ලෙන් කියවද්දී වසර 2000කටත් අධික කාලයක් ජනහදවත් තුළ නිදන්ව පැවති එළාර සොහෙන අනෙකක් නොව අනුරාධපුර දක්‍ෂිණ ද්වාරයේ පිහිටි දක්ඛිණ ථූපයම බව පැහැදිලිවනු ඇත. ආචාර්ය රත්නම්ගේ ග්‍රන්ථය සේපාල විජේසේකර විසින් ‘අනුරාධපුරයේ එළාර සොහොන් ගැබ’ යන නමින් සිංහලට පරිවර්තනය කර ‘රාවය’ ප්‍රකාශනයක් ලෙස එළිදක්වා ඇත.■