Untitled-1

Untitled-1

මාක්ස්වාදී කලා විචාරයේ ශක්‍යතාව වෙනුවෙන් | එරික් ඉලයප්ආරච්චිට පිළිතුරු


marx

ජස්ටින් පියරත්න

මා ඇතුළු බොහෝ දෙනෙකු තමා ව්‍යුහවාදියකු ලෙස නම් කිරීම ගැන ඉලයප්ආරච්චි විස්සෝප වෙයි. දැන් ඔහු සපථ කර කියා සිටින්නේ තමා පශ්චාත්-ව්‍යුහවාදය පිළිගන්නා බව යි. මේ කරුණ ඒ බොහෝ දෙනාට නොපෙනීම අරුමයක් හා කරුමයක් බවයි ඔහු සඳහන් කරන්නේ. ඔහු අශෝක හඳගමට ලියූ විවෘත ලිපියෙන් පළ කළ එක් මුඛ්‍ය අදහසක් නම් කලාව විනාශයෙන් ගලවා ගැනීමට ව්‍යුහවාදය විසින් දරන ලද අවසාන උත්සාහය ද පශ්චාත්-ව්‍යුහවාදය මඟින් සපුරා විනාශ කරන ලද බව යි. (ඒ අනුව හෙනහුරා පශ්චාත්-ව්‍යුහවාදයයි) ඊට පසු වැකියක පශ්චාත්-ව්‍යුහවාදී ඩෙරීඩාගේ විසංයෝජනය ඉමහත් විචාර ශක්‍යතාවක් හා වියමන් කියවීමේ හැකියාවක් ඇත්තක් ලෙස ඔහු වගවර්ණනා කරයි. මෙම වැකි දෙක පරස්පරය. මේ සම්බන්ධයෙන් ගත් කල්හි, ඇත්ත කරුමය නම් පිටු 62ක පොත් පිංචක් ලියාත් ඉන් පසු දිග හැරුණු සංවාදයේ දී දීර්ඝ ලිපි ගණනාවක් ලියාත් මේ පරස්පර විරෝධී වැකි දෙකෙන් ඇති වූ පැටලිල්ල පාඨකයාට පැහැදිලිව ඉදිරිපත් කොට ලිහා දමන්නට ඉලයප්ආරච්චිට බැරිවීමය. ඉලයප්ආරච්චි මහතාණෙනි, එම වරද පාඨක අපේ හිස් මත කඩාපාත් කිරීමට වඩා ප්‍රඥාගෝචර වන්නේ එය තමන්ගේ ව්‍යාකුල චින්තනයේත් එහිම ප්‍රතිඵලයක් වන අපැහැදිලි සන්නිවේදනයේත් ඵලයක් බව තේරුම් ගැනීම නො වේ ද?
කෙසේ වෙතත්, අන්තිමේ දී මට ලියූ පිළිතුරු ලිපියෙන් යට කී පරස්පරය ඉලයප්ආරච්චි පැහැදිලි කොට තිබේ. ඔහුට අනුව, ‘පසුගිය දශක කීපය තුළ ව්‍යුහවාදය හා පශ්චාත්-ව්‍යුහවාදය ඇතුළු සාහිත්‍ය න්‍යායවේදය ඔස්සේ සාහිත්‍ය කලා විචාරය’ ඉමහත් ‘අභිවර්ධනයක්’ ලබා ඇත. එතකුදු වුවත් ඔහු උභතෝකෝටිකයකට මුහුණ දී සිටී. ඔහු ප්‍රශ්න කරන්නේ පශ්චාත්-ව්‍යුහවාදය නො ව, මෙරට පශ්චාත්-ව්‍යුහවාදය සාහිත්‍ය විචාරයේ දී වැරදි භාවිතයක යෙදීම ගැන ය. එනම්, විසංයෝජනය හා මනෝ විශ්ලේෂණය විචාර විධි ක්‍රම ලෙස ඒවායේ ඇති ශක්‍යතාවට පමණක් සීමා නො වී, සෞන්දර්යවේදී තක්සේරුව ඉක්මවා ගොස් දාර්ශනික වීම ගැන ය. අපේ ලිපියේ අරමුණ පශ්චාත්-ව්‍යුහවාදී සාහිත්‍ය විචාරකයන්ගේ අභ්‍යන්තර මැසිවිලි හෝ හොට පටලවා ගැනීම් හෝ විසඳාලීම නො වේත ඔවුන්ගේ ක්‍රීඩා පිට්ටනිය ශුද්ධ කර දීම අපේ වැඩක් නො වේ. අපේ අදහස වන්නේ එය උපන්ගෙයි දී ම වල් වැදී ඇති බව ය. මාක්ස්වාදී කලා විචාරකයකුගේ වගකීම වන්නේ එරික් ඉලයප්ආරච්චි හෝ අන් කවරකු හෝ වුවත් පශ්චාත්-ව්‍යුහවාදී දැරැහැව කරේ තබාගෙන, ඔවුන්ගේ සිතැඟි පරිදි මොනතරම් නිවැරදි භාවිතයක යෙදුවත් ඒ සාහිත්‍ය විචාරය කලාව සහ යථාර්ථය අතර ඇති සැබෑ සබඳතාව විකෘත කොට පාඨක සමූහයා අවමංගත කරන බව පැහැදිලි කිරීම ය.
සිය පිළිතුරු ලිපිය අවසන් කරමින් ඉලයප්ආරච්චි මෙසේ කියයි: ‘එබැවින් ජස්ටින් පියරත්නගේ අවිචාරාත්මක පශ්චාත්-ව්‍යුහවාදී භීතිය සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් නව වර්ධනයන් පිළිබඳව විචාරාත්මක ආස්ථානයක් නොගැනීමේ ප්‍රතිවිපාකයකි. එයින් ආරක්ෂාවීමේ පළිහක් ලෙස මාක්ස්වාදය භාවිත කිරීමට වඩා ප්‍රඥාගෝචර වන්නේ විවේචනාත්මක ලෙස යාවත්කාලීනවීමයි.’ ඔහුගේ මෙම යෝජනාව සරලවම විහිලුසහගතය. මන්ද විචාරාත්මක ආස්ථානයක් නැත්තේ ඔහුටම බැවිනි. සාරසංග්‍රහවාදියකු වන ඉලයප්ආරච්චිට විසං යෝජනය වේවා ලැකානියානු මනෝ විශ්ලේෂණය වේවා වෙනත් න්‍යායක් හෝ වේවා හුදෙක් සාහිත්‍ය විචාරයේ දී හරඹපෑමට යොදාගත හැකි තවත් හුදු බුද්ධිමය මෙවලම් කීපයක් පමණිත විචාර විධික්‍රම කීපයක් පමණි. ඒවායේ දාර්ශනික මූලයන් සෙවීම ඔහුට අරහං ය. පසුගිය ලිපියේ දී මෙම ප්‍රති-මාක්ස්වාදී, ප්‍රතිගාමී අසාර දර්ශනයන් උපත ලැබුවේ කෙබඳු ඓතිහාසික ගර්භාෂයකින් ද යන්න කෙටියෙන් විභාග කළෙමි. ඒ ගැන ඉලයප්ආරච්චිට වගේ වගක් නොතිබීම අරුමයක් හෝ අහම්බයක් හෝ නොවේ. කම්කරු පන්තික දෘෂ්ටි ආස්ථානයෙන් එම න්‍යායන් අවසාන විග්‍රහයේදී සේවය කරන්නේ ධනපති පන්තියේ පැවැත්ම තවදුරටත් තහවුරු කිරීමට යැයි මාක්ස්වාදියකු ඔහුට කීවද සුළු ධනේශ්වර සාරසංග්‍රහවාදී බුද්ධි ජීවියකු වන ඔහුට ඉන් කම් කිම්? ඔහු මහත් සේ අගයන විසංයෝජනයට පදනම් වී ඇත්තේ නීට්ෂේ, හයිඩෙගර් ආදින්ගේ ප්‍රති-මාක්ස්වාදී අන්ත ප්‍රතිගාමී මතිමතාන්තර බව ඔහු සරලවම නොතකා හරියි. ඉතින් අවිචාරාත්මකව මේ පශ්චාත්-ව්‍යුහවාදී කුණප යන් වැලඳ ගෙන ඇත්තේ කවුද?
මාක්ස්වාදීහු සකලවිධ ධනේශ්වර දෘෂ්ටිවාදයන්ට එරෙහි ව අරගල කරති. ඒ එම දෘෂ්ටිවාදයන් පිළිබඳ ව ඇති භය භීතිකාවකින් නොවේ. එම දෘෂ්ටිවාදයන්ට එරෙහි අරගලය ධනේශ්වර ක්‍රමය පෙරළා දැමීම සඳහා අත්‍යවශ්‍ය බැවිනි; කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත මහජනතාව තුළ සමාජවාදී විඥානය එසවීම සඳහා අත්‍යවශ්‍ය බැවිනි. අපට සාහිත්‍ය විචාරය වූකලි අහසේ ලඹ දෙන්නක් නො වේ. එය ධනේශ්වර ක්‍රමය මිහිමතින් අතු ගා දමා සමාජවාදී සමාජයක් ගොඩනැඟීමේ විප්ලවවාදී භාවිතයට සම්බන්ධ වූ එහි අවියෝජනීය කොටසකි. දේශපාලනය හා කලාව අනන්‍ය නොවන බව සත්‍ය ය. එහෙත් ඉන් අදහස් වන්නේ කලාව හා දේශපාලනය අතර චීන මහා ප්‍රාකාරයක් ඇති බව නො වේ. මාක්ස්වාදී සාහිත්‍ය විචාරය කලාකරුවා මෙම යථාර්ථය ඥානනය කිරීමෙහි ලා දරන ලද ප්‍රයත්නය විස්තර විභාග කරන්නේ අපෝහක භෞතිකවාදී විධික්‍රමය මත පාදක වෙමිනි. එය පවතින තත්ත්වය වෙනස් කිරීම අරමුණු කොට ගත්තකි; එහෙයින් ම විප්ලවවාදී භාවිතයකි. මාක්ස්වාදි සාහිත්‍ය විචාරය ඕනෑම කලා කෘතියක් වටහා ගන්නේ ප්‍රතිපක්ෂයන්ගේ ගැටුමෙන් යුත් එකමුතුවක් හැටියටය. පන්ති සමාජයීය කලාකරුවා නිරන්තරයෙන් ධනේශ්වර දෘෂ්ටිවාදයන්ට විවෘත වෙයි. එම දෘෂ්ටිවාදයන් කලා කෘතියෙන් හිස ඔසවනු අපට පෙනේ. අනෙක් අතට නිර්ව්‍යාජ සහ සංවේදී කලාකරුවන් විඥානිකව හෝ අවිඥානිකව හෝ මෙම ධනේශ්වර දෘෂ්ටිවාදයන් පල්ලට යවමින් යථාර්ථය විනිවිදියි. කෘතියේ අන්තර්ගතය හා රූපය අතර ද ඇත්තේ ගැටුමෙන් යුතු එකමුතුවකි. කලාකරුවා සිය නව අන්තර්ගතය ප්‍රකාශයට පත්කිරීමට සුදුසු කලා රූපය ගොඩනඟනු ලබන්නේ ද අරගලයකිනි. කලාත්මක භාවය යනු අන් කිසිවක් නොව කලා කෘතියේ අන්තර්ගතයට එහි රූපය කෙතරම් දුරට අනුරූප ද යන්න ම යි. එහෙයින් කලා කෘතියක් පිළිබඳ සමස්ත සෞන්දර්යාත්මක තක්සේරුවක් කිරීමෙහිලා මාක්ස්වාදී කලා විචාරය අතිශයින් පොහොසත් වෙයි.
වටවංගු ගැහීමේ ඔහුගේ ශෛලිය අනුව ඔහු කියා සිටින්නේ මාක්ස්වාදී කලා විචාරයේ ශක්‍යතාව සීමිත බවයි. ප්‍රති-මාක්ස්වාදී නව විචාරවේදයන්ගේ අභිව ර්ධනය ගැන ඔහු උදම් අනන්නේ ඒවා මඟින් මාක්ස්වාදී විචාර මූලධර්ම අතික්‍රමණය කර ඇතැයි ඔහුට හැඟෙන බැවිනි. සාහිත්‍ය විචාර ක්ෂේත්‍රය තුළට වැද ගැනුණු මේ ඊනියා අභිවර්ධනය වූකලි අපේක්ෂාභංගත්වයට පත් වාම මධ්‍යම පන්තික තට්ටූන්ගේ විවිධ අසාර දර්ශනයන් හා බැඳී පවතින්නක් බව ඉලයප්ආරච්චිට නොතේ රෙන්නේ ඔහු ද එම සමාජ ස්ථරයේ ම නියෝජිතයකු වන බැවිනි. ඉලයප්ආරච්චි මාක්ස්වාදී සාහිත්‍ය විචාරයේ සීමාවන් ජය ගැනීමේ මහා ශක්‍යතාවකින් හෙබි යැයි වගවර්ණනා කරමින් වැළඳ ගෙන ඇත්තේ මෙන්න මේ ප්‍රති-මාක්ස්වාදී ප්‍රතිගාමී ධනේශ්වර දෘෂ්ටිවාදාත්මක අසාර දර්ශනයන් ය.
ඉලයප්ආරච්චි සිය සමකාලීන සාහිත්‍ය විචාර: සුචරිත දීප්ති සමන් (2014) කෘතියෙහි ලා මෙසේ ලියයි: “ෆ්‍රොයිඞ්වාදය මෙන්ම එය නැවත කියවීමක් හා ආත්මය නමැති අගාධයට පැනීමක් වූ ලැකාන්වාදය ද, ඒ මත බොහෝ දුරට පදනම් කෙරුණු දීප්ති කුමාර ගුණරත්නගේ හා සමන් වික්‍රමාරච්චිගේ සාහිත්‍ය හා කලා විචාර පිළිගැනීමට මාක්ස්වාදය බැඳී නැතත් අතිසරල හා අඥාන ලෙස ඒවා ප්‍රතික්ෂේප කිරීමෙන් ෆැමුසොව්වාදය කරා පල්ලම් නොබසිනු පිණිස විචාරවත් වීමේ වගකීම මාක්ස්වාදය සතු ය. (කි)මිදුම්කරුවන් විසින් ආත්මය නමැති සාගරයෙන් උඩට රැගෙන එනු ලබන අද්භූත මත්ස්‍යයන්ගේ ඡායාරූප ප්‍රදර්ශනයක නරඹන්නන් බවට පත්වී සිටින මාක්ස්වාදී විචාරය, ධනපති පංතියේ ප්‍රහාරවලින් කලාව ආරක්ෂා කරන අතරේ හා කලා නිර්මාණයෙහි අනන්‍යතාව වෙනුවෙන් කටයුතු කරන අතරේ මනුෂ්‍යයාගේ ද්‍රව්‍යමය ජීවිතය සහ ආත්මය අතර මේ වන විට බිඳී ගොස් ඇති සමතුලිතතාව යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට ප්‍රයත්න දැරිය යුතු ය.” පි.147
මෙම උපදේශාත්මක වැකියෙන් පසු මාක්ස් වාදීන්ට මනෝවිශ් ලේෂණයේ සාරගර්භභාවය පෙන්වාදීමට ඉලයප්ආරච්චි ප්‍රයත්න දරයි. මෙහි අතිශය කුණකටු ස්වරූපය වන්නේ මෙම ප්‍රතිගාමී මෙහෙවර සඳහා ඔහු ලියෝන් ට්‍රොට්ස්කිගේ ලිපි ලේඛන අවුස්සමින් ඒවා උපුටා දැක්වීම යි. එකී සමස්ත කෘතිය පුරා අපට දක්නට ලැබෙන්නේ ට්‍රොට්ස්කිට උපරිම ප්‍රශංසාව පුද කරමින් ඔහුගේ බැතිමතකු ලෙස රැඟුම් පාන ඉලයප්ආරච්චි කෙනෙකි. පාඨකයාට ඔහු ඇඟවුම් කිරීමට තැත් කරන්නේ සිය සාහිත්‍ය විචාරාත්මක අදහස්වලට කවුරු නැතත් ලියෝන් ට්‍රොට්ස්කි සිය ආශීර්වාදය පුද කොට ඇති බවක් ය.
යාවත්කාලීන වන ලෙස මාක්ස්වාදීන්ගෙන් ඉලයප්ආරච්චි කරන ඉල්ලීම සාහිත්‍ය විචාරයේ ලා මාක්ස්වාදය සහ ප්‍රති-මාක්ස්වාදී පශ්චාත්-ව්‍යුහවාදය අතර විවාහයකට කෙරෙන ඉල්ලීමකි. කම්කරු පන්ති දෘෂ්ටි ආස්ථානයෙහි පිහිටා අපි එම යෝජනාව පන්ති වෛරයෙන් යුතු ව ප්‍රතික්ෂේප කරමු. එහෙයින්, ලෙනින් අනුයමින් අපි ඉලයප්ආරච්චිට හා ඔහු වැන්නන්ට මෙසේ කියමු: “ඇත්ත තමයි, මහත්වරුනිෟ අපට ආරාධනා කිරීමට පමණක් නො ව ඔබට උවමනා අතකට යාමටත්, මඩ වගුරට වුව ද යාමටත් ඔබට නිදහස තිබේ. ඇත්ත වශයෙන් ම ඔබට සුදුසු තැන මඩ වගුර බව අපි අදහස් කරමු. එහෙත් අපගේ අත් පමණක් අත් හරින්න.”
අප සාහිත්‍ය කලාවන්හි වර්තමාන අර්බුදය ධනේශ්වර ක්‍රමයේ වත්මන් අවධියේ උග්‍රව ඇති පොදු අර්බුදයෙහි ම ප්‍රකාශනයක් ලෙස දැක ගැනීමේ අනිවාර්යතාව මතු කළෙමු. මෙම ඓතිහාසික ප්‍රවිෂ්ටය අත් හළ සැණින් කෙනකු වැටෙන්නේ ආත්මීය ප්‍රවිෂ්ටයකට ය. ඉලයප්ආරච්චිට වූයේ එම සන්තෑසිය යි. සාහිත්‍ය ක්ෂේත්‍රයට සීමා වෙතොත් ඔහු එහි නියෝජනය ලෙස අමරකීර්ති තෝරා ගත්තේ කුමන වෛෂයික නිර්ණායකයන් මතදැයි පැහැදිලි කළේ ද? එය අහඹු තෝරා ගැනීමක් ද? ඒ සඳහා සුනේත්‍රා රාජකරුණානායක හෝ මොහාන් රාජ් මඩවල හෝ ටෙනිසන් පෙරේරා හෝ තෝරා නොගත්තේ ඇයි? ඔහු ලියූ සමස්ත ලිපි මාලාවම ආත්මීයත්වයෙහි කළු පැල්ලම්වලින් ක්ලුශිත වී තිබුණේ නැත් ද? සාහිත්‍යකලාවන්හි නිර් මාණය හා විචාරය යන දෙඅංශයෙහි ම පැන නැඟ ඇති අර්බුදයේ සැබෑ මූලයන් වටහා ගැනීමට අවශ්‍ය ඓතිහාසික භෞතිකවාදී ප්‍රවිෂ්ටය මඟ හැර යන ඔහු ඊට පිළිතුරු දෙන්නේ තමා උත්සුක වන්නේ “කලාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ සම්බන්ධයෙන් බව” කියමිනි. වචන පෙළ ගස්වා ඇති ආකාරයෙන් පාඨකයනට පෙනී යන්නේ කොහොමටත් ධනේශ්වර ක්‍රමයේ අර්බුදය ගැන ඔහු ඒ හැටි මායිම් නො කරන බව ය. එක් පසෙකින් ධනේශ්වර ක්‍රමයේ අර්බුදය පුපුරායනසුලු මට්ටමකට සේන්දු වීම හා අනෙක් පසින් කම්කරු පන්තිය දේශපාලනික ව පක්ෂාඝාත වී සිටීම යන සන්දර්භයෙන් බැහැර ව කලාකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ ගැන කතා කළ හැකි ද? පන්ති අරගලයේ රාමුවෙන් පිටස්තර ව කෙරෙන එබඳු සාහිත්‍ය විචාරයන් පවතින ක්‍රමය තහවුරු කිරීමට සේවය නො කරන්නේ ද?
මෙලෙස ප්‍රශ්නය මතු කිරීම ඉලයප්ආරච්චිට පෙනී යන්නේ මා අමරකීර්ති හා රාජිත දෙදෙනා සමස්තය තුළ නැති බව උපකල්පනය කළ බව යි. කලාවේ නිදහස වෙනුවෙන් පෙනී සිටින බොරු වීරයකු වෙමින් ඔහු කියා සිටින්නේ මා එලෙස උපකල්පනය කිරීම මඟින් අමරකීර්තිගේත් රාජිතගේත් නිර්මාණ නිදහස පැහැර ගත් බව යි. මෙය සාහසික අභූත චෝදනාවකි. මා කියා සිටියේ සාහිත්‍යකලාවන්හි පරිහානිය ධනේශ්වර ක්‍රමයේ පොදු අර්බුදයේ ප්‍රකාශනයක් බව වටහා ගැනීමෙන් තොර ව ඒ හෝ මේ දෘශ්‍යමාන හුයපටවල එල්ලීමෙන් ඵලක් නොවන බව යි. අමරකීර්තිගේ සාහිත්‍ය විචාරය පිළිබඳ මගේ උග්‍ර විවේචනය තිබිය දී ම “ඔහුගේ නිර්මාණයන් පිළිබඳ ව සෞන්දර්යාත්මක විනිශ්චයක් කළ යුත්තේ” කෙසේ දැයි මම එම ලිපියේ ලා පැහැදිලි කළෙමි. “සිය දෘෂ්ටිවාදය තිබියදීම සංවේදී කලාකරුවකුට යථාර්ථය නිරූපණය කළ හැකි” යැයි ද “කෘතියක් සෞන්දර්යාත් මක ඇගයීමකට ලක් කිරීමේ දී කතුවරයාගේ දෘෂ්ටිවාදයත් යථාර්ථය ඥානනය කිරීමත් අතර ඇති සම්බන්ධය එළිමහනට ගත යුතු යැයි ද එහි ලා මම පැවසුවෙමි. මොන තත්ත්වය මත වුවත් අමරකීර්ති-රාජිත දෙපළ කලාකරුවෝ වෙති යි දැන් ඉලයප්ආරච්චි ලියයි. ඒ වැකිය ලියද්දී ඔහු තමාට ම වැරෙන් ටොකු ඇන ගන්නට ඇත. මන්ද මෙම කලාකරු දෙපළට “නිර්කලාකරුවන්”, “පොට්ටකාසි නිපද වන්නන්” වැනි අනේක ගැරහුම් පද පාවිච්චි කළේ මා නො ව ඔහු ම බැවිනි.
දිග්ගැස්සුණු ඉලයප් ආරච්චි-අමරකීර්ති සාහිත්‍ය සංවාදයේ පැවති ගර්හිත ආත්මීය කා කොටා ගැනීම ගැන පළමු ලිපියෙන් මම කතා කළෙමි. ඉලයප්ආරච්චි දැන් කියන්නේ එදෙස සිම්පෝසියානු අර්ථයකින් බැලිය යුතු ය කියා ය. එනම්, ඔවුන් බැහැර වී සිටියේ “පරමාදර්ශී කාරණා පිළිබඳ මධුපැන් පානය කරමින් හා ග්‍රීක සමරිසි ඇලුම්කම් පාමින් රෑ පුරා නිදිවර්ජිතව සංවාද කිරීමෙහි” යෙදුණු ප්ලේටෝගේ සිම් පෝසියම්හි අනුකරණයක බව යෟ පණ්ඩිතමානී වචන හරඹ කරමින් ඔහු මේ කියන්නේ කුමක් ද? සංවාදයේ දී අප ඔය කියා කරගන්නා දේවල් ගණන් ගන්නේ කවු ද? ඒවා බොහොම සාමාන්‍ය, පුංචි දේවල්. කොහොම වුණත් අපි අපි එකතු යි. පොඩි පොඩි වෙනස්කම් තිබුණත් (පළමුවැන්නා මාක්ස්වාදය නාමික ව පිළිගනී. දෙවැන්නා මාක්ස්වාදය ප්‍රතික්ෂේප කරයි.) දෙදෙනා ම පශ්චාත්-ව්‍යුහවාදී දෘෂ්ටියේ සහකරුවන් බව, එක ම කඳවුරේ සිටින්නවුන් බව දැන් හොඳ හැටි හෙළි වී ඇත.
මෙතතු යටතේ, ඉලයප්ආරච්චිගේ ‘සාරයේ පැවැත්ම’ නම් පිළිතුර කියවීමෙන් පසු මගේ සිතට එකවරම නැඟුණේ චිරප්‍රසිද්ධ කොමියුනිස්ට් ප්‍රකා ශනයේ හැඳින්වීමෙහි එන ආරම්භක ඡේදය යි: “අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි- එය කොමියුනිස්ට්වාදයේ අවතාරය ය. පාප්වහන්සේ සහ සාර් රජු ද, මෙටර්නිහ් සහ ගීසෝ ද, ප්‍රංශයේ රැඩිකල්වරු සහ ජර්මන් ඔත්තුකරුවෝ ද යන මේ පැරණි යුරෝපයේ සියලු බලවේග, මෙම අවතාරය පලවා හැරීම පිණිස ශුද්ධ වූ ගිවිසුමකට එළඹ සිටිති.” දේශපාලනයේ දී පමණක් නො ව, සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයේ දී ද එය එසේ ය. නුදුරේ දී ම මාක්ස්වාදී සාහිත්‍ය විචාරයට එරෙහි ව පොඩි පොඩි මතභේද පසෙකලා ශුද්ධ වූ ගිවිසුමකට ඔය සියලු ප්‍රතිගාමී බලවේග ඒකරාශී වනු පාඨකයනට දැක බලා ගත හැකි වනු ඇත.■

මෙම සංවාදය මෙතැනින් අවසාන වන බව කරුණාවෙන් සලකන්න.