යුද්ධයකට අවසානයක් මිස ජයග‍්‍රහණයක් නොමැත |අලූත් පරපුර සමග සංවාදයක්

තරිඳු උඩුවරගෙදර

යුද්ධය අවසාන වූ පසුව මහින්ද රාජපක්ෂ පාලනය විසින් වාර්ෂිකව මැයි 19 වැනිදා යුද්ධාවසානය සේ සමරනු ලැබීය. විශාල ජීවිත හානි සමග අවසාන වූ යුද්ධය දේශපාලන අවශ්‍යතා මත රාජපක්ෂවරුන්ගේ ප‍්‍රතිරූපය නැංවීම සඳහා යොදාගැනීමට බොහෝ බුද්ධිමත්තු විරුද්ධ වූහ. රාජපක්ෂ පාලනය අවසන් වූ පසුව ප‍්‍රථම වතාවට අලූත් පරපුර සංවිධානය විසින් යුද්ධයකට අවසානයක් මිස ජයග‍්‍රහණයක් නැතැයි තේමා පාඨය කරගනිද්දී දේ්ශපාලන අවකාශයේ නොසිටි යුද්ධය සමග හැදී වැඩුණු අලූත් පරපුර යුද්ධය, ජාතිවාදය සහ යුද්ධයෙන් පසු උතුරේ ජනතාව ගැන දැක්වූ අදහස්ය මේ.

ශ‍්‍රී ලාංකික ජාතියක් විදියට සිතිය යුතුයි |කෞශල්‍ය කුමාරසිංහ

පසුගිය කාලය අඬන්න තහනම් කළ කාලයක් උතුරට. අපි දන්නවා මොකක් හෝ ව්‍යසනයක් වුණාට පස්සේ ව්‍යසනයට ලක්වෙන මිනිස්සුන්ට ඒක දරුණු ක්ෂතිමය අත්දැකීමක්. එතකොට ලොකු අහිමි වීම් ගොඩක්. අපට කවුරුහරි නැති වුණාම කරන අවමංගල චාරිත‍්‍ර ටිකක් තියෙනවා. චාරිත‍්‍ර කියන්නෙම වැලපෙන විදිහක්. මැරුණ පුද්ගලයා සිහිකරමින් කරන චාරිත‍්‍ර සහ වැළපීම් ඇතුළේ තමයි දුක තුනී කරගන්න පුළුවන්. මිනිස් සමාජය බිහි වූ දා ඉඳන් අවමංගල්‍ය චාරිත‍්‍ර කියන ඒවා ගොඩක් වැදගත්. ෆ්‍රොයිඞ්ගේ අදහසක් තියෙනවා දුක සහ දොම්නස මිනිස්සු ලෙඩ කරනවා. පසුගිය කාලේ උතුරේ ඉතුරු වුණේ දොම්නසින් ලෙඩ වෙච්ච මිනිස්සු පිරිසක්. මිනිස්සුන්ට තමන්ගේ අහිමි වෙච්ච සමීපතමයන් සමරන්න ඉඩදුන්නේ නැහැ. දුක්වෙන්න ඉඩදුන්නේ නැහැ. පසුගිය කාලේ මානසික උපදේශකවරු පසුගිය කාලේ උතුරේ වැඩ කළේ රහසේ හැංගිලා. මිනිස්සුන්ගේ මානසික සුවය සඳහා වැඩ කළෙත් හැංගිලා. දෙමළ මිනිස්සුන්ට තියෙන්නේ අවමංගල්‍ය චාරිත‍්‍ර අතිශය වැදගත් සංස්කෘතියක්. ඒ මිනිස්සු අසරණ වුණා. සමීපතමයන් සමරන්න බැරිවුණා.

අනික් පැත්තෙන් දකුණේ ආණ්ඩුව යුද ජයග‍්‍රහණයක් සැමරුවා. ජයග‍්‍රාහකයෙක් බිහිවීමත් සමගම පරාජිතයෙක් ඉන්නවා. යුද්ධ කිරීම ගැන තියෙන මතවාදය පැත්තකට තියලා ඒක ඉවරයි දැන් කළ යුතු දේ ගැන හිතුවොත් අපට කරන්න තිබුණේ සියලූ දෙනා එකතු වෙලා මේකට දුක් වෙන්න. දකුණෙත් උතුරෙත් මියගිය මිනිස්සු වෙනුවෙන්. ඒක පටන් ගන්න තිබුණේ මැයි 19 වැනිදා. එහෙම වුණා නම් අපට ශ‍්‍රී ලාංකික ජාතියක් විදිහට හිතන්න පටන් ගන්න තැනක් එතැන තිබුණා. ඒ වෙනුවට දැන් පවා වෙන්නේ එක පිරිසක් වෙනුවෙන් විජයග‍්‍රහණය හෝ රණවිරුවන් කියලා නාමකරණය කරමින් යුද්ධය සැමරීම.

පරාජිතයන් හෝ ජයග‍්‍රාහකයන් අවශ්‍ය නෑ |ශ‍්‍රීනාත් චතුරංග

අපිට එල්ලවෙන චෝදනාවක් අපි උතුරට නොයා දකුණේ ඉඳන් මේ වගේ වැඩ ප‍්‍රදර්ශනකාමීව කරනවා කියලා. ඒත් දකුණේ කවුරුහරි දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටියොත් එන්ජී ඕ සල්ලිවලින් කරනවාය කියලා හැඟීමක් තමයි ඇති කරලා තියෙන්නේ. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරද්දී ඔය වගේ දෘෂ්ඨිවාදයන් ඇතුළේ සංවිධානය වෙලා තියෙනවා මිනිස්සුන්ගේ මනස. අපි උත්සාහ කරන්නේ මේ ආලේපයට ආමන්ත‍්‍රණය කරන්න. අපි දකුණේ වැඩ කරන්නේ දකුණේ ජනයා ඇතුළෙත් හැඟීමක් එන්න ඕනෑ නිසා.

අලූත් පරපුර හිතන්නේ දකුණේ ජාතිවාදයට විකල්ප අදහසක් හදන්න. අපි ප‍්‍රධාන ගැටලූව විදියට හඳුනාගන්නේ උතුරේ තියෙන ජාතිවාදය නෙවෙයි. ඒක දෙවැනි ප‍්‍රශ්නයක්. ජාතිවාදී මහ අනෙකා නිසා තමයි සුළුතර ජාතිවාදීන් ප‍්‍රතිචාර දක්වන්නේ. අපේ දේශපාලනයට පදනම ඒක.

මේක සිංහල බෞද්ධ ජාතිවාදය කියන එකට වඩා ‘සිංහල’ ජාතිවාදය කියන එක තමයි තියෙන්නේ. ‘බෞද්ධ’ කියන එක තියෙන්නේ ‘මේක බෞද්ධ රාජ්‍යයයි. මේක රැුකගන්න ඕනෑ’ කියන සිංහල ජාතිවාදී තේමා පාඨයට සහයෝගය ලබාදීම සඳහා.

මේ සිංහල ජාතිවාදයට අපි තුන්වැන්නෙක් විදිහට මැදිහත් වෙනවා. අපි කරන්නේ මනෝ විශ්ලේෂකයාගේ කාර්යභාරය. දකුණේ තරුණයෙකුට දේශපාලනය ගැන උනන්දුවක් එන පළවෙනි තැන තමයි ජාතිය පිළිබඳ අදහස. ස්වභාවිකව ජාතිවාදී වෙලා තමයි දේශපාලනයට එන්නේ. පෞද්ගලිකව මමත් එහෙමයි. පස්සේ තමයි මේ පිළිබඳ ව හැදෑරීම කරලා විකල්ප පද්ධතීන් එක්ක ඉඳලා ජාතිවාදී දෘෂ්ඨීවාදයෙන් කැඩෙන්නේ. මේක අනෙක් තරුණයන්ටත් සිද්ධ වෙන්න ඕනෑ කියලායි හිතන්නේ. අහිමි වීම සිද්ධ වුණා. ඒ පිළිබඳව කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ඒත් යුද්ධයේ තවත් පැති තියෙනවා.

ලංකාවේ පහුගිය කාලයේ දරුණුවට පාවිච්චි වෙච්ච වචනයක් යුද විජයග‍්‍රහණය කියන එක. ප‍්‍රගතිශීලීන් පවා ඒක කියනවා. අපට අවශ්‍ය පරාජිතයන් හෝ ජයග‍්‍රාහකයන් නෙවෙයි. එක්ව නැගිටින සමාජයක්.

අනෙක් මනුස්සයාට ආදරය කළ යුතුයි | චින්තන ධර්මදාස

අලූත් පරපුර විදිහට අපි විවිධ සමාජ ක‍්‍රියාකාරකම් කරගෙන යනවා. සිංහල, ඉංග‍්‍රීසි, දෙමළ කතා කරන සමාජ පන්ති අතර පාලමක් හදන්න, මේ හැමෝටම එකට ඉන්න පුළුවන් විදියේ. හේතුව තමයි පසුගිය වසර දහයක කාලයේ පුදුමාකාර විදිහට අපි අනිත් කෙනාව සැක කරන තත්ත්වයකට පත්වීම. මේ වගේ පොඩි රටක අපි එහා පැත්තේ එකාවත් ආශ‍්‍රය නොකරනවා කියන්නේ අපි එන්න එන්න පුංචි වෙනවා. ඒකෙන් වෙන්නේ ලෝකය තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනකොට ඒක තේරුම් ගන්න මතවාදීමය අවබෝධය වෙනුවට අපි අනෙකාට වඩා අභිමානයක් තියෙන පිරිසක්ය කියලා හිතනවා වගේ පුංචි තැනකට ළඟා වෙනවා.

අපිට අනෙක් මිනිහාව විශ්වාස කරන්න පුළුවන් වෙන්න ඕනෑ. අනෙක් සංස්කෘති වර්ගයක හැම මනුස්සයෙක්ම, ඔවුන්ගේ ප‍්‍රකාශනයන් පිළිගන්න ඕනෑ. ඔවුන් අපට විරුද්ධව වැඩ කරනවා කියලා හිතනවා නම් ඒක මානසික ආබාධයක්. ඒක කොච්චර දරුණු ද කියනවා නම් සිංහල දෙමළ යුද්ධය ඉවර වුණාම මුස්ලිම් මිනිස්සු එක්කත් යුද්ධ කරන්න ගත්තා. ඊට පස්සේ තරුණ පරම්පරාව මෙහෙයවන අදහස විදිහට බොදු බල සේනාව වගේ සංවිධානත් එන්න ගත්තා. මේ තත්ත්වයේ කෙළවරක් තමයි පසුගිය ජනවාරි අටවෙනිදා බොහොම අමාරුවෙන් නතර කරගත්තේ.

අපේ ඔළු ජාතිවාදයෙන් හෝදලා තියෙන්නේ. මේ එක්කම තමයි ඊළඟට එන්නේ හදි හූනියම්, යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්, මිනී මරාගැනීම් වගේ ඒවා. මේවා තමයි අපි සංස්කෘතිය විදිහට නඩත්තු කරන්නේ.

අපි අනෙක් මනුස්සයාට ආදරය කරන්න ඉගෙනගන්න ඕනෑ. අනෙක් මිනිස්සුන්ගේ ප‍්‍රකාශනයක් දරාගන්න, ඒ ප‍්‍රකාශනය සමග අපේ අදහස් ගොනු කරන්න.
මේ සංස්කෘතීන් අතර පාලමක් හදන එක අපේ බලාපොරොත්තුව. අපේ පරපුර නාකි වැඩිවෙන්න පුළුවන්. අලූත් තාක්ෂණය පාවිච්චි කරන පරපුරට මීට වඩා පුළුල් විදියට දකින්න පුළුවන් මතවාදයක් ගොඩනගන්න ඕනෑ. සංගීතය, චිත‍්‍රය හෝ සිනමාව වෙන්න පුළුවන් මේවා සීමිත වැට මායිම්වලින් එළියට යන්න ඕනෑ.
අපි පසුගිය කාලේ දැක්කේ එහෙම තත්ත්වයක් නෙවෙයි. උදාහරණයක් විදියට එළාර දුටුගැමුණු කතාව සිනමාවට නැඟුණු විදිය ගන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් එළාර කියන්නේ ඔය කියන විදියට නෙවෙයි. ඔහු ධර්මිෂ්ඨ රජෙක්. ඔහුව මරණයට පත් කළාට පස්සේ දුටුගැමුණු රජතුමාට නින්ද යන්නේ නැති වුණා. ඔහුට මිනිස්සුන්ගේ අඳෝනා හීනෙන් පේන්න පටන් ගත්තා. ඒකෙන් ගැලවෙන්න ඔහු හදනවා රුවන්මැලි සෑය. රජෙක් විදිහට ඒ මනුස්සයා කරපු දේ හොඳයි. යුද්ධයෙන් පස්සේ ඔහු පෙන්වන්නේ වෙහෙරක්. ආයේ දෙමළ මිනිස්සු එළවා එළව යන එක නෙවෙයි.

දැන් වෙන්නේ යුද්ධය ඉවර වුණාම ප‍්‍රචණ්ඩත්වයට ගියේ. සිනමාව, සංගීතය තිබුණෙත් ඒ වගේ තැනක. විනෝදාස්වාදය සමාජයට ගෙනගිය එක ආණ්ඩුව බාරගත්තා. එහෙම සමාජයක සංස්කෘතික පරිචයක් තරුණ පරපුරට තියේවි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. මෝදි ඇඳුම් ඇන්දත් අතිශය ගෝත‍්‍රික තැනක ඉන්නේ. ජාතික කොඩියේ පටි ටික පවා ගලවන්න ට‍්‍රයි කරන්නේ. එහෙම පරපුරක් එක්ක අපට ගනුදෙනු කරන්න වෙන්නේ. බලාපොරොත්තුව තියාගන්න වෙන්නේ මීට පස්සේ එන පරම්පරාවක් ගැන.

වෙනස්කම් කරගන්න අවස්ථාවක්  |කසුන් චන්ද්‍රනාත් පතිරණ

යුද්ධයට දෙමළ ජාතිවාදය හේතු වුණා කියන මතය අප දකුණේ බහුතරය දරන්නේ. එහෙත් ජාතිවාදය කියන කාරණයේදී අපි දකින්නේ උතුරේ දෙමළ ජාතිවාදයක් වර්ධනය වීම දක්වා සිංහල ජාතිවාදය ගෙනිච්චා. උතුරේ ජාතිවාදය යුද්ධයක් දක්වා එන තැනට සිංහල ජාතිවාදය පෝෂණය කළා. මෙතැන ජාතිවාදීන් අතර ගැටුමක් තමයි සිද්ධ වුණේ.

අපි 56 ඉඳන්ම බැලූවොත් සිංහල ජාතිවාදය සහ දෙමළ ජාතිවාදය දේශපාලන ක‍්‍රීිඩාවක් විදියට වර්ධනය වුණේ. දේශපාලන උපක‍්‍රමයක් විදියට දේශපාලනඥයන් පාවිච්චි කරනවා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ, ඔය යුද සැමරුම, ඥානසාර වැනි හිමිවරුන්ගේ ව්‍යාපෘති වගේ ඒවා දේශපාලන උපක‍්‍රම.

නැත්නම් ලංකාවේ සමාජය ඇතුළේ ජාතීන් අතර අර්බුදයක් ඇතිවෙන්න අවශ්‍ය විෂබීජ ටික තිබුණේ නැහැ. හොඳම උදාහරණය ගන්න පුළුවන් අපේ පරම්පරාවට ජීවිත කාලයේදී දකින්න පුළුවන් වුණා මුස්ලිම්-සිංහල ගැටුම් දේශපාලනය විසින් ඇතිකරපු හැටි. මේක උපරිමයට කළේ මහින්ද රාජපක්ෂ.

අලූත් පරපුර විදියට අපි මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයා මුණගැහුණේ මහින්ද පන්නලා ඔහුව බලයට ගේනවා වගේ හැඟීමක් ඔළුවේ තියාගෙන නෙමෙයි. මේ රජය සහ පාලන තන්ත‍්‍රය අපි දකින්නේ අපිට අවශ්‍ය වෙනස්කම් කරගන්න අවස්ථාවක් විදියට. ඒ අවස්ථාව පාවිච්චි කරන්න හැමවෙලාවෙම උත්සාහ කළා.
මෛත‍්‍රීට අපි යුද සැමරුම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කළා. පළවෙනි කාරණාව අද වෙනකම් යුද අවසානය නම් කරලා තියෙන්නේ යුද විජයග‍්‍රහණය විදිහට. යුද්ධය කියන්නේ විනාශයක්. මේ විජයග‍්‍රහණයේ කරන්න එපා කියලා අපි ඉල්ලූවේ. ජාතීන් අතර සහයෝගිතාව වර්ධනය කරන්න කියලා අපි යෝජනා කළා. ඒ සඳහා අපට යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණේ.

අපි කළ තවත් යෝජනාවක් තමයි දේශපාලන සිරකරුවන්ට නීතිමය පදනමක් හදන්න. බොහෝ අය නීතියෙන් චෝදනා නැතිව රඳවාගෙන ඉන්නේ, චෝදනා නැති අය නිදහස් කරන්න, චෝදනා තියෙන අයට නඩු පවරන්න කියලා.

යුද සැමරුම සහ ජාතිවාදය දේශපාලන උපක‍්‍රමයක් විදියට යොදාගැනීම සම්බන්ධව මෛත‍්‍රී දරන මතය අපට මේ වෙලාවේ බොහෝ දුරට එකඟවෙන්න පුළුවන් මට්ටමක තියෙනවා.

රජය යහපත් ප‍්‍රතිචාර දැක්වූවත් මූලික ප‍්‍රශ්නය තමයි, දේශපාලන අධිකාරියක් විදියට මේ සම්බන්ධයෙක් මැදිහත් වන ස්වරූපයේ තියෙනවා ගතානුගතික ලක්ෂණ. මෛත‍්‍රිපාල සිරිසේනටත් සිද්ධ වෙලා තියෙනවා යුද සැමරුම ඒ විදියට කරන්න. මෙතැනදි තමයි සමාජයක් විදියට සහ සංවිධාන විදියට අපට වගකීමක් තියෙන්නේ සිවිල් සමාජයට බලපෑම් කරන්න. පසුගිය කාලේ යුද්ධය මාකටින් ටූල් එකක් බවට පත්වුණා. ඉතිහාසය පුරා මිනිසුන්ගේ ඔළුගෙඩි නිර්මාණය කළා මේකට අනුව වැඩ කරන්න. දේශපාලන උපක‍්‍රමයක්, බෙදා වෙන්කර පාලනය කිරීම. අපි එකතු වුණොත් පාලනය කිරීම අමාරු වැඩක්. ජාතීන් එකිනෙකා මරාගැනීම මිසක් රජය සමග ගනුදෙනු නොකරන තැනක පාලනය පහසුයි. අපට තියෙන වගකීම මේ ගැටය පෙන්නලා දීලා සමාජයක් විදියට එකතු වෙන්න. ඒ සඳහා වැඩ කරන්න.

ජාතිවාදයෙන් තොර නූතන මිනිහෙක් |සමනලී ෆොන්සේකා

යුද්ධය අවසන් වීම යුද්ධය ජයග‍්‍රහණය කිරීමක් ලෙස සලකන එකම අවුලක් කියලයි මම හිතන්නේ. අපේ රටේම ඉන්න මිනිස්සු කොට්ඨාසයක් තමයි නැති වුණේ. ඓතිහාසික ප‍්‍රශ්නයක් එක්ක තමයි යුද්ධය ඇති වුණේ. ඒ වරදකාරී හැඟීමෙන් කාටවත් මිදෙන්න බැහැ. රාජපක්ෂලා යුද්ධය ඉවර කළා නම් යුද්ධයෙන් පස්සේ ජාතීන් අතර සමගිය සඳහා ඔවුන් මොනවද කළේ සහ දැනුත් කරමින් ඉන්නේ මොකක්ද කියන එක ප‍්‍රශ්නයක්.

යුද්ධය අත්දැකීමක් කරගෙන අපි දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නවලට ඇහුම්කන් දීලා ඔවුන් එක්ක ජීවත්වෙන්නේ කොහොමද, රට ඇතුළේ සහජීවනය ගොඩනගන්නේ කොහොමද කියන එක අපට තියෙන අභියෝගය. මැයි 19 වැනිදා යුද්ධයෙන් මියගිය හැම මනුෂ්‍යයෙක්වම සිහි කිරීමක් කරන්න ඕනෑ. සිංහල ද දෙමළද කියන එක නෙවෙයි. බිරින්දෑවරුන්ට, දරුවන්ට අහිමි වුණ තමන්ගේම මිනිසුන්. ජයග‍්‍රහණය වෛරය උපදවනවා. අලූත් පරපුර විදියට අපි යුද්ධයෙන් මියගිය සියලූ දෙනාම සිහි කරන්න කල්පනා කළේ අර සංකල්පය සමාජගත කිරීම සඳහා.

කලාකරුවන් ලෝකය දකින්න ඕනෑ අතිශය වෙනස් විදියට. මොකද ඔවුන්ට හැකියාව තියෙනවා සමාජය හිතන විදිය වෙනස් කරන්න. කලාකරුවා තමන්ව පෝෂණය කරගන්න ඕනෑ. ඉතිහාසය බැලූවොත් ශ්‍රේෂ්ඨ කලාකෘති මේ රාමුවෙන් ක‍්‍රමයෙන් එළියේ ඔබ්බට දැකපු නිර්මාණ. ඒ හින්දා ලංකාවේ මේ මොහොතේ තියෙන ප‍්‍රශ්න නිසා වෙනස් ඇහැකින් බලන්න පුළුවන් පිරිසක් ඉන්නවා නම් විශේෂයෙන් කලාකරුවන් අතරේ මේ වෙලාවේ ලංකාවේ සමාජයට වෙන්න ඕනෑ ඒක.
මේ වෙනකොට අපට කලාව හරහා සමාජය වෙනස් කරන්න අවශ්‍ය අවකාශයක් ලැබිලා තියෙනවා. මෙච්චරකල් ආණ්ඩුවේ අභිමතයට පිටින් කලාවට ඉඩක් දුන්නේ නැහැ. අලූත් පරපුර විදියට අපි කටයුතු කරන්නේ කලාකරුවන්ට ඒ අවකාශය නිර්මාණය කරන්න. අපි ප‍්‍රතික්ෂේප කරන්නේ මැදමුලනෙන් නිර්මාණය කරපු ජාතිවාදය. ජාතිවාදයෙන් තොර නූතන මිනිහෙක් නිර්මාණය කිරීමයි අරමුණ.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;