මිස්ටර් ප්‍රෙස් (i)

මිස්ටර් ප්‍රෙස් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බව මට දැනගන්නට ලැබුණේ කොළඹ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන මා දන්නා හඳුනන හෙදියකගෙනි. ඊට පෙර දින රාත‍්‍රියේද රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා ඔස්සේ කතා කරනවා මා දැක හෝ අසා තිබුණු නිසාත්, එහිදී මොනයම් ආකාරයක හෝ රෝගී බවක් ඔහු තුළ පෙනෙන්නට නොතිබුණු නිසාත් හෙදියගෙන් අසන්නට ලැබුණු එම ප‍්‍රවෘත්තිය මාගේ පුදුමයට හේතුවීයැ’යි කිව හැකිය. මා තුළ ඇතිවූ විස්මය ඇයට පෙනුණු නිසාදෝ ලෙඩාගේ තත්ත්වය හොඳ නැති බවත් ඔහු ජීවත්වන්නේ මැෂිමේ බලයෙන් බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය. ඔහුට වැළඳී ඇත්තේ කුමන රෝගයක්දැ’යි මා ඇසූ විට ඇය කීවේ එය මීට පෙර අසා නැති ලෙඩක් බවත්, බාහිර පෙනුම හොඳින් තිබියදී මුළු අභ්‍යන්තරයම කුණුවීම එම ලෙඬේ මූලික ලක්ෂණය බවත්, එය සාමාන්‍ය පිළිකා තත්ත්වයකට වෙනස් බවත්, මිස්ටර් ප්‍රෙස්ට අතිරේකව එම රෝගය වැළඳුණු රෝගීන් දෙදෙනකු හඳුනාගෙන තිබෙන බවත් එම තිදෙනාම දැඩි සත්කාර ඒකකයේ අතුරු ඒකකයක ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් ඇය කීවාය.

මිස්ටර් ප්‍රෙස් බැලීමට මට අවසර ලබාගත හැකිදැ’යි විමසූ විට එම ඒකකයේ රෝගීන් බැලීමේ අවසරය ඇත්තේ අවසර පත් ලබාගෙන ඇති පවුලේ සමීප පුද්ගලයන් දෙදෙනකුට පමණක් බවත් මට එහි යෑමට අවශ්‍ය නම් ඒකකයේ ලොක්කාට කතා කොට විශේෂ අවසරයක් ලබාදිය හැකි බවත් ඇය කියා සිටියාය.

ගෝඞ් ෆාදර්

වෘත්තීයමය අර්ථයෙන් ගත්විට මගේ ලොක්කා ලෙස සැලකිය හැක්කේ මිස්ටර් ප්‍රෙස්ය. සංකේතාත්මක අර්ථයෙන් ලංකාවේ සියලූ ජනමාධ්‍යවේදීන්ගේත් ජනමාධ්‍ය ආයතනවලත් ගෝඞ් ෆාදර් ලෙස සැලකිය හැක්කේ ඔහුය. ශ‍්‍රී ලංකා රාජ්‍යයේ නිල මුරපල්ලා ඔහුය. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ඇතුළු රාජ්‍යයේ සමස්ත ආයතන ක‍්‍රමයේ ක‍්‍රියාකාරිත්වයේ හොඳ නරක ගැන අදහසක් ඇතිකර ගැනීමට අවශ්‍ය තොරතුරු මහජනයාට ලබාදීමේ ඒකාධිකාරී වගකීම පැවරී තිබෙන්නේ ඔහුටය. ජනමාධ්‍යවේදියකු වශයෙන් මට මිස්ටර් ප්‍රෙස් ගැන යහපත් හෝ විශ්වාසදායක හැඟීමක් තිබුණේම නැති තරම්ය. එහෙත් ඔහුට වැළඳී තිබෙන විශේෂ රෝගයක් නිසා ඔහු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින්නේයැ’යි කියන පුවත මා තුළ කම්පනයක් ඇති කිරීමට හේතුවී තිබුණි.
මා ඔහු බැලීමට එදින සවසම දැඩි සත්කාර ඒකකයේ ඔහු රඳවා තිබූ අතුරු ඒකකයට ගියෙමි.

හෙදිය කියන ලද කතාව හරියටම හරිය. එම අතුරු ඒකකය රෝගීන් තිදෙනකුට සීමා කොට තිබුණි. ඔවුන් අතරින් මැද ඇඳේ සිටි මිස්ටර් ප්‍රෙස් පහසුවෙන්ම හඳුනාගත හැකිවිය. ඇඳේ උඩුබැලි අතට බහා තිබූ ඔහුගේ දැවැන්ත ශරීරය ඇඳ අසල තබා තිබූ පරිගණකයකට හා වෙනත් යන්ත‍්‍රයකට රැුහැන්වලින් සම්බන්ධ කර තිබුණි. ඔහුගේ නොවැසුණු ඇස් දෙකේ කළු ඉංගිරියාව ඉහළට නෙරා තිබුණේ මුහුණට බිය උපදවන ආකාරයේ පෙනුමක් ලැබෙන ආකාරයටය. වෙනදා මුහුණේ දකින්නට ලැබෙන ප‍්‍රතාපවත් කපටි පෙනුම වෙනුවට දකින්නට තිබුණේ අවලස්සන විකෘති පෙනුමකි. ඔහු මියගොස් නොතිබුණා විය හැකි වුවත් ඔහුගේ පෙනුම මියගිය පසු පිළිවෙළකට සකස් නොකළ මළ මිනිසකුගේ පෙනුමට සමාන විය.

මිස්ටර් ජස්ටිස් හා මිස්ටර් පොලිටික්ස්

මා මොහොතකට මිස්ටර් ප්‍රෙස්ගේ දර්ශනයෙන් මගේ ඇස් දෙක ඉවතට ගෙන ඔහුගේ දකුණු පස ඇඳේ සිටින රෝගියා වෙත මගේ ඇස් දෙක යොමු කළෙමි. පුදුමයකි! ඒ ඇඳේ සිටියේ මිස්ටර් ජස්ටිස්ය. ඉන්පසු තුන්වැනි ඇඳේ සිටි රෝගියා මා තුළ ඇතිවී තිබුණු විස්මය දෙගුණ කිරීමට හේතුවිය. පුදුමයට මෙන් එහි සිටියේ මිස්ටර් පොලිටික්ස්ය.

රටේ සිටින බලවත්ම ත‍්‍රිත්වය ලෙස සැලකිය හැකි මේ තිදෙනා එකම අවස්ථාවකදී එකම රෝගයකට ගොදුරු වූයේ කෙසේද? මාගේ ඔළුව කැරකෙන්නට වූ අතර වාට්ටුවෙන් පිටවී ඉක්මන් ගමනින් ගෙදර ආවෙමි. ඔළුවේ ඇතිවී තිබෙන හිසරද තත්ත්වයෙන් නිදහස්වීම පිණිස දිය නාගෙන බීර බෝතලයක් බොන්නට වීමි. බීර බෝතලය අවසන් වන විට රාත‍්‍රී ප‍්‍රවෘත්ති වේලාව පැමිණ තිබුණෙන් මම වහා ප‍්‍රවෘත්තියට සවන්දීම පිණිස රූපවාහිනිය වෙත ගියෙමි. එහෙත් පුදුමයකට මෙන් රටේ ප‍්‍රබලතම පුද්ගල ත‍්‍රිත්වය ලෙස සැලකිය හැකි මේ තිදෙනා විශේෂ රෝගී තත්ත්වයක් නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන්නේය කියන ප‍්‍රවෘත්තිය කිසිදු නාලිකාවකින් පළ නොවීය. ඊටත් වඩා මගේ පුදුමයට හේතුවූයේ ඉතාමත් අසාධ්‍ය තත්ත්වයකින් දැඩි සත්කාර ඒකකයේ සිටි මිස්ටර් ප්‍රෙස් කිසිවක් සිදු නොවූවකු ලෙස හැම නාලිකාවකම සුපුරුදු භූමිකාව රඟපාමින් සිටිනු දක්නට ලැබීමය. මෙය කිසිසේත්ම විය හැකි දෙයක් නොවීය. ඔහුගේ නියම තත්ත්වය මම මගේ ඇසෙන් දුටුවෙමි. මෙම කෙටි කාලය තුළ නැවත ප‍්‍රකෘති තත්ත්වයට පත්වීමේ හැකියාවක් තිබිය නොහැකිය. මෙහි තේරුම එකම පුද්ගලයකු නියෝජනය කිරීම සඳහා පෙනුමෙන් එක සමාන පුද්ගලයන් දෙදෙනකු සිටින බවද? ඒ නැතිනම් ඒ දේ තේරුම් ගත යුතුව තිබෙන්නේ කෙසේද?

මා නින්දට යනවිට මට උණ ගැනී තිබුණු අතර උණ විකාරයෙන් මට නොයෙකුත් දේ පෙනෙන්නට විය. උණ විකාරයෙන් පෙනුණු ඒ සියලූ දර්ශන ජනමාධ්‍යවේදියකු වශයෙන් ජනමාධ්‍ය විෂයෙහි මට අත්දකින්නට ලැබුණු අප‍්‍රසන්න හා අවලස්සන අත්දැකීම්වීයැ’යි කිව හැකිය.

ස්ත‍්‍රී දූෂක මහේස්ත‍්‍රාත්

ලෙනින් රත්නායක නමැති මහේස්ත‍්‍රාත්වරයා අතින් අපයෝජනයට ලක්වී කුඩා දරුවකු වඩාගෙන ඇගේ නැන්දණිය සමග මා සොයාගෙන පැමිණි කාන්තාවගේ දර්ශනය මට මැවී පෙනුණි. ඇගේ ස්වාමිපුරුෂයා රන්කරුවකු වූ අතර ව්‍යාජ ලෙස රන් බඩු තනා ඒවා රන් භාණ්ඩ උකස් ගන්නා ආයතනවලට උගස් තබා මුදල් උපයාගන්නා ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම හේතු කොටගෙන මේ දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගත්තේය. මහේස්ත‍්‍රාත්වරයා ස්වාමි පුරුෂයා හා බිරිඳ යන දෙදෙනාම රිමාන්ඞ් භාරයට පත් කළේය. පසුව මහේස්ත‍්‍රාත්වරයා බිරිඳට ඇපදී නිදහස් කළද ස්වාමිපුරුෂයාට ඇප ලබාදීම දිගින් දිගට ප‍්‍රතික්ෂේප කළේය. විත්තිකරුගේ බිරිඳ සිය ග‍්‍රහණයට ගැනීමේ අරමුණ ඇතිව මහේස්ත‍්‍රාත්වරයා එසේ කරන ලද බව පෙනේ. මේ කතාවේදී මහේස්ත‍්‍රාත්වරයාගේ පිම්පියා ලෙස ක‍්‍රියාකරන්නේ මෙම විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයාය. ස්වාමි පුරුෂයා මත මුළුමනින් යැපෙන දරුවකු සිටින බිරිඳට ස්වාමි පුරුෂයා නැතිව ජීවත්වීම ඉතා දුෂ්කරය. ස්වාමි පුරුෂයා නිදහස් කරගැනීම අවශ්‍ය නම් මහේස්ත‍්‍රාත්වරයා හමුවී ඔහු ඒ සඳහා එකඟ කරවා ගැනීම අත්‍යවශ්‍ය බව නීතිඥයා ඇයට උපදෙස් දුන්නේය. මහේස්ත‍්‍රාත්වරයාගේ දුරකතන අංකය ඇයට දී ඒ අංකයට මහේස්ත‍්‍රාත්වරයාට කතා කරන ලෙසත් ඇය හමුවීමට දිනයක් හා වේලාවක් දුන් විට නොවරදවාම මහේස්ත‍්‍රාත්වරයා හමුවන ලෙසත් ඔහු ඇයට කීවේය. ඒ අනුව කාන්තාව මහේස්ත‍්‍රාත්වරයාට කතා කළාය. හමුවීමට දිනයක් වේලාවක් හා ස්ථානයක් ඔහු ඇයට දුන්නේය. ඇය එහි ගිය විට ඔහු ඇය සිය නිල මෝටර් රථයෙහි නංවාගෙන ගම්පොළ තානායමට රැුගෙන ගොස් එදින රාත‍්‍රී ඇය තානායමේ කාමරයක නවතාගෙන සිව් වරක් දූෂණය කළේය.

මෙම සිද්ධියෙන් පසුව රිමාන්ඞ් සිරකරු උසාවියට ගෙනා පළමු දිනයේදී බිරිඳගේ හැසිරීමේ අමුතු වෙනසක් දැක ඇය ගැන සැක සිතී ඔහු ඇයට පහර දුන්නේය. පහර කෑ ඇය හඬා වැළපෙමින් මහේස්ත‍්‍රාත්වරයාගෙන් සිදුවූ වැරැුද්ද ඔහුට හෙළි කළාය. රිමාන්ඞ් සිරකරුවා ඊළඟ උසාවි දිනයේදී උසාවි ආවේ අසූචි පුරවන ලද පොලිතින් බෑග් දෙකක්ද සිය ඇෙඟ් සඟවාගෙනය. ඔහුගේ නඩුව අඬගැසුණු අවස්ථාවේදී රිමාන්ඞ්කරු විත්ති කූඩුවෙන් බිමට බැස එක් අසූචි බෑගයක් මහේස්ත‍්‍රාත්වරයා වෙත දමා ගැසුවද එය විදුලි පංකාවේ එතී උසාවි ශාලාවේ සිටින අය වෙත අසූචි විදින යන්ත‍්‍රයක් ලෙස ක‍්‍රියා කළේය. ඒ සමග උසාවි ශාලාවේ ඇතිවූ අවුල්සහගත තත්ත්වය ප‍්‍රයෝජනයට ගනිමින් රිමාන්ඞ් සිරකරු මහේස්ත‍්‍රාත් අසුනේ අසුන්ගෙන සිටි මහේස්ත‍්‍රාත්වරයාගේ ඔළුවට ඉතිරි අසූචි බෑගයෙන් පහර දුන්නේය. ඒ නිසා මහේස්ත‍්‍රාත්වරයාගේ දේහය අසූචිවලින් නැහැවිණ. ඒ සමග මහේස්ත‍්‍රාත්වරයා උසාවි භූමියෙන් පලා ගිය අතර මහේස්ත‍්‍රාත්වරයා දිය නාගෙන අලූත් ඇඳුමකින්ද සැරසී පිස්තෝලයක්ද අතේ ඇතිව නැවත උසාවි බිමට එන අවස්ථාව වන විට අසූචි ගැසූ රිමාන්ඞ් සිරුකරු අල්ලාගෙන මෙල්ල කිරීමට එහි සිටි පොලිස් නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන් හා උසාවි සේවකයන් සමත්ව තිබුණි. මහේස්ත‍්‍රාත්වරයා රිමාන්ඞ් සිරකරුට පහර දෙන ලෙස නියෝග කරන ලද අතර ඉන්පසු ඔහුගේ අත්පා කැඩෙන තෙක් පොලූ මුගුරුවලින් පහරදීමේ ක‍්‍රියාදාමයට මහේස්ත‍්‍රාත්වරයාද ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධ විය. එම මහා පහරදීමෙන් පසු අත්පා කැඩුණු සිරකරුවා බෝගම්බර බන්ධනාගාරයට භාර දුන්න ද ඔහු සිටි අසාධ්‍ය තත්ත්වය නිසා බන්ධනාගාරය ඔහු භාර නොගෙන මහනුවර රෝහලට භාර දුන්නේය.

උසාවියේ අසූචි ගැසීම වාර්තා නොවීම

ඉතාමත් වැදගත් දේ ප‍්‍රාදේශීය උසාවියක සිදුවූ මේ බිහිසුණු සිද්ධි දාමය විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් වාර්තා කිරීමෙන් වැළකී සිටීමය. ඕනෑම උසාවියක උසාවියේ කටයුතු ආවරණය කිරීම සඳහා වාර්තාකරුවෝ් කිහිපදෙනෙක් හෝ සිිටින්නෝය. එහෙත් ඒ කිසිවෙක් උසාවියක ඉතාමත් කලාතුරකින් සිදුවිය හැකි මහා සිද්ධියක් ලෙස සැලකිය හැකි මෙම සිද්ධිය වාර්තා නොකළේය. වාර්තා කිරීමක් සිදුවී නම් ඒ ගැන පරීක්ෂණයක්ද පැවැත්වෙන්නට ඉඩ තිබුණි. ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වී නම් මෙම දූෂිත මහේස්ත‍්‍රාත්වරයාට ගෙදර යන්නටද සිදුවන්නට ඉඩ තිබුණි. මෙතරම් බරපතළ සිද්ධියක් ඔවුන් වාර්තා කිරීමෙන් වැළකී සිටින්නට ඇත්තේ මෙම ස්ත‍්‍රී දූෂක මහේස්ත‍්‍රාත්වරයාගෙන් ඔවුන්ට එල්ල වූ බලපෑම් නිසා විය හැකිය. එසේ නැත්නම් මහේස්ත‍්‍රාත්වරයා මත යැපෙන ප‍්‍රාදේශීය වාර්තාකරුවන් මෙම සිද්ධිය වාර්තා කිරීමෙන් මහේස්ත‍්‍රාත්වරයාට සිදුවිය හැකි අයහපත වැළකීමේ අරමුණ ඇතිව එසේ කළා විය හැකිය. මේ සිද්ධියේදී ජනමාධ්‍ය මහජනයාට සත්‍ය වසන් කළ පළමු අවස්ථාව එය විය.

රිමාන්ඞ් සිරකරු රෝහල් ගතකිරීමෙන් පසු ඔහුට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරයා මෙම පහරදීමට බලපෑ හේතු එම සිරකරුගෙන් දැනගත්තේය. මෙම සිද්ධිය ගැන සොයා බලන ලෙස වෛද්‍යවරයා එවකට තිබූ මානව හිමිකම් කොමිසමේ මහනුවර ශාඛාවේ ප‍්‍රධානියාගෙන් ඉල්ලා සිටියේය. මානව හිමිකම් කොමිසමේ මහනුවර ශාඛාව පහරකෑමට ලක්වූ සිරකරුගෙන් කටඋත්තරයක් ලබාගනිමින් ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කළේය. පරීක්ෂණය භාර නිලධාරියා ගම්පළ තානායමට ගොස් මහේස්ත‍්‍රාත්වරයා කාන්තාවක සමග එම තානායමේ රාත‍්‍රියක් ගතකර තිබේද යන්න සොයා බලා එසේ සිදුවී තිබෙන බව තහවුරු කරගත්තේය. මේ සිද්ධිය පිළිබඳව විධිමත් පැමිණිල්ලක් අගවිනිසුරු හා අධිකරණ සේවා කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙසට ඔහු එම කාන්තාවට උපදෙස් දෙමින් ඒ සඳහා මානව හිමිකම් ක‍්‍රියාකාරිකයකු වූ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගේගේ ආධාර ඇයට ලබා දුන්නේය. කල්‍යානන්ද තිරාණගම දිවුරුම් පෙත්සම් ලබාගෙන මහේස්ත‍්‍රාත්වරයාට එරෙහිව අගවිනිසුරුවරයාට හා අධිකරණ සේවා කොමිසමට විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එහෙත් ඉන්පසුව හෝ ඒ ගැන සොයා බැලීමක් සිදු නොවීය. මානව හිමිකම් කොමිසමේ මෙම පරීක්ෂණය භාරව ක‍්‍රියා කළ නිලධාරියා මහේස්ත‍්‍රාත්වරයා අතින් දූෂණයට ලක්වූ කාන්තාව මා වෙත එවන ලද්දේ ඉන්පසුවය. එහෙත් මේ කාන්තාව මා වෙත එන අවස්ථාව වන විට ඇය ඔහු විසින් එවන ලද බව දැන නොසිටියෙමි.

මම ඇය කියන ලද කතාවට සවන් දුන්නෙමි. සත්‍යය තහවුරු කරගැනීම සඳහා ඇය ප‍්‍රශ්න කිරීමකටද ලක් කළෙමි. ඇය කියන කතාව අව්‍යාජ කතාවක්ය යන්න මාගේ නිගමනය විය. ඉන්පසු ප‍්‍රවෘත්ති කර්තෘ මගින් මහේස්ත‍්‍රාත්වරයාටද කතා කොට ඔහු කියන ලද කතාවද ලබාගත්තෙමි.

මා මේ සිද්ධිය මුල් පුවතක් වශයෙන් පළකිරීමෙන් අපේක්ෂා කළේ මෙම සිද්ධියට බලධාරීන්ගේ අවධානය යොමු කරවා මෙම ස්ත‍්‍රී දූෂක විනිසුරුවරයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීමය. ඒ දේ වෙනුවට සිදුවූයේ අධිකරණ බලධාරීන් සමග අවසානයක් නොපෙනෙන මහා ගැටුමකට මා තල්ලූවීමය. ඒ තත්ත්වට හේතුවූයේ ජනමාධ්‍ය පවුරක් ලෙස ඉඳිමින් මෙම දූෂිත මහේස්ත‍්‍රාත්වරයාද ඉන්පසු එම ගැටුමට ඈඳුණු ප‍්‍රබලම චරිතය ලෙස සැලකිය හැකි පළමුව නීතිපති ධුරයටද ඉන්පසු අගවිනිසුරු ධුරයටද පත් සරත් නන්ද සිල්වාද ආරක්ෂා කරන පිිළිවෙතක පිහිටා ක‍්‍රියාකිරීමය.

දූෂිතයන්ට රැකවරණය දෙන ජනමාධ්‍ය

මාගේ එම වාර්තාකරණයට එරෙහිව ස්ත‍්‍රී දූෂක මහේස්ත‍්‍රාත්වරයාගේ ආරක්ෂාව සඳහා ප‍්‍රථම වෙඩි මුරය එල්ල කරන ලද්දේ ඉංග‍්‍රීසි භාෂාවෙන් පළවෙන සති අන්ත පුවත්පතක් මගිනි. මාගේ එම මුල් පුවත ඇතුළත් පුවත්පත පළවූ නිල දිනය 1997 අගෝස්තු 17 වැනිදාය. එය එසේ වූයේ රාවය නිකුත් කෙරෙන දිනය වශයෙන් අගෝස්තු 17 සඳහන් වුවත් එය කොළඹ වෙළෙඳපොළට නිකුත් කෙරුණේ අගෝස්තු 15 වැනිදා නිසාය. පිළිතුරු ලිපිය පළවී තිබෙන ශීඝ‍්‍රගාමී ස්වභාවය ඉන් තේරුම් ගත හැකිය.

මෙම ස්ත‍්‍රී දූෂක මහේස්ත‍්‍රාත්වරයාගේ ආරක්ෂාව සඳහා පිටුවක් තරම් විශාල එම ලිපිය ලියා තිබුණේ ‘මුඞ්ලියර්’ යන අන්වර්ථ නාමයෙන් එම පුවත්පතට කොලමක් ලියමින් සිටි ප‍්‍රසිද්ධ නීතිඥයකු විසිනි. ඒ අර්ථයෙන් ඔහු හැඳින්විය හැක්කේ නීතිවේදී ජනමාධ්‍යවේදියකු වශයෙනි. මහේස්ත‍්‍රාත්වරයා පිළිබඳ රාවයේ පළවූ එම වාර්තාකරණය ඔහු හඳුන්වා දී තිබුණේ ‘රිමාන්ඞ් භාරයේ සිටි ඇතැම් පුද්ගලයන්ද බන්ධනාගාර නිලධාරියකු ද මැදිහත්වීම මගින් හා අපරාධ කිරීමෙන් තොර ජීවිතයක් ගතකිරීමට අපරාධකරුවන් පොළඹවා ගැනීමෙන් ඔවුන් පුනරුත්ථාපනය කිරීමට මහේස්ත‍්‍රාත්වරයා කළ අතිවිශාල සේවය ප‍්‍රිය නොකළ උසස් තැන්වල සිටි වෙනත් පුද්ගලයන් දෙදෙනකුද විසින් කරන ලද නිර්ලජ්ජිත කුමන්ත‍්‍රණයක්’ ලෙසය.

එය මෙම ස්ත‍්‍රී දූෂක මහේස්ත‍්‍රාත්වරයාගේ ආරක්ෂාව සඳහා පෙළගැසෙමින් තිබූ මහා ජනමාධ්‍ය පෙරහැරක ආරම්භය පමණය. දෙවැනි වෙඩි මුරය එල්ල වූයේ සිංහල භාෂාවෙන් පළවෙන පුවත්පතක් මගිනි. මෙම මහේස්ත‍්‍රාත්වරයාගේ ආරක්ෂාව වෙනුවෙන් වයඹ භික්ෂු බලවේගය නමින් පළකරන ලද නිවේදනයක් මෙම පුවත්පතේ පළකර තිබුණේ ප‍්‍රමුඛ ජාතික වැදගත්කමක් ලැබෙන ආකාරයට එහි මුල් පිටුවේය. පුවත්පතේ පළවූ එම දීර්ඝ නිවේදනයෙන් උපුටා ගත් කොටසක් මෙසේය.
‘තවද මහව දිසා විනිසුරුතුමා යුක්තියත් නීතියත් ඉටුකරන විනිසුරුතුමෙකු පමණක් නොව එතුමා මානව හිතවාදී ගුණයෙන් යුතු යුග පුරුෂයෙකි. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් වයඹ ජනතාවට දුන් දායාදයකි.

මෙම පින්බර පුත‍්‍රයා විනාශ කර දැමීමට රටේ නමගිය අපරාධකරුවකු දඩමීමා කරගෙන පුවත්පත ගෙන ඇති නිහීන ක‍්‍රියාව මාධ්‍ය නිදහසත් උත්තරීතර පුවත්පත් කලාවත් නිගාවට ලක්කිරීමට කළ ක‍්‍රියාවක් බවත් එබැවින් මේ රටේ ජාතික පුවත්පත් හා අනෙකුත් මානව හිතවාදී මාධ්‍යවේදීන් හා ජනතා සංවිධාන විසින් මෙම කළු බැටළුවා කොන්කර තැබිය යුතු බවත් අපි ප‍්‍රකාශ කරන්නෙමු.’

ලෙනින් රත්නායක මහේස්ත‍්‍රාත්වරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ක‍්‍රියාත්මක වූ ජනමාධ්‍ය පෙරහැරට ඉන්පසු වෙනත් මුද්‍රිත ජනමාධ්‍ය පමණක් නොව විද්‍යුත් ජනමාධ්‍යද එකතු විය. සමහර විද්‍යුත් ජනමාධ්‍ය අඩුම වශයෙන් සතියකට වතාවක්වත් ඔහුට ගෞරවය හා පිළිගැනීමක් ලබාදෙන වාර්තා පළ කළේය. ඔහු ලොකු බලවතකු නොවී නම් මේ ආකාරයෙන් ජනමාධ්‍යවල සහාය ලබාගන්නේ කෙසේද යන්න අද දක්වා මට තේරුම් ගැනීමට අමාරුය.

ජනමාධ්‍යවලින් එල්ල වූ ඒ සියලූ අවහිරකම් තිබියදීත් ලෙනින් රත්නායකට එරෙහිව කෙරෙන පරීක්ෂණයක් දිනාගැනීමට අවසානයේ මම සමත් වීමි. අගවිනිසුරුවරයා පත් කළ ත‍්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ අභියාචනාධි කරණ විනිසුරු වරුන් තිදෙනෙකුගෙනි. මෙම මහේස්ත‍්‍රාත්වරයාට එරෙහිව පරීක්ෂණ කමිටුවක් පත් කෙරෙන අවස්ථාව වන විට පළමු ස්ත‍්‍රී දූෂණ චෝදනාවට අතිරේකව ඊට පසු සිදුවී තිබූ තවත් ස්ත‍්‍රී දූෂණ චෝදනාවක් මම ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබුණි. ඔහු එම වගඋත්තරකාරිය දූෂණය කර තිබුණේ උසාවි චේම්බරයේදීය. එම පරීක්ෂණ කමිටුව ඉදිරියට එම ස්ත‍්‍රීන් දෙදෙනා හා ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් දෙදෙනා පමණක් නොව එම උසාවියේ නීතිඥයන් තිදෙනකු හා වෙනත් පුද්ගලයෝ් ගණනාවක්ද සාක්ෂි දුන්නෝය. මහේස්ත‍්‍රාත් ලෙනින් රත්නායකද ලොකු නීතිඥ කණ්ඩායමකගේ සහාය ඇතිව පරීක්ෂණ කමිටුව ඉදිරියේ පෙනී සිටියේය. එම පරීක්ෂණයේදී ඔහුට එරෙහිව මා ඉදිරිපත් කර තිබූ ප‍්‍රසිද්ධ චෝදනා හතරටම ඔහු වැරදිකරු විය. ඉතාමත් පුදුමසහගත දේ වනුයේ මෙම පරීක්ෂණය පවත්වන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ ශාලාවක වුවත් කිසිදු ජනමාධ්‍යයක් එය ආවරණය නොකිරීමය. එම පරීක්ෂණයෙන් එල්ල වී තිබුණුු චෝදනා හතරටම ලෙනින් රත්නායක වරදකරු කරන ලද බව වාර්තා කරන ලද්දේද එක ඉංග‍්‍රීසි පුවත්පතක් පමණය.

අගවිනිසුරුගෙන් කප්පම් ලබාගැනීම

මාගේ එම අරගලය ආරම්භ වූයේ ස්ත‍්‍රී දූෂක මහේස්ත‍්‍රාත්වරයකු මුල් කොටගෙන වුවත් එම සටනේ මැද හරියේදී සටනේ කේන්ද්‍රගත පුද්ගලයා බවට පත්වූයේ නීතිපති සරත් නන්ද සිල්වාය. ලෙනින් රත්නායක සිද්ධියේදී එම මහේස්ත‍්‍රාත්වරයා නීතිපතිගේ උපදෙස් මත මට එරෙහිව සාපරාධී අපහාස නඩුවක් ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය. එම පැමිණිල්ල මත ආරම්භ වූ පොලිස් පරීක්ෂණයේදී ලෙනින් රත්නායක අධිකරණ සේවයට එකතු වන්නට පෙර රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු ලෙස සේවය කර ඇති බවත්, ඔහු විසින් සිදුකර ඇති මහා මුදල් වංචාවක් නිසා ඔහු සංස්ථා සේවයෙන් පහ කරන ලද පුද්ගලයකු බවත්, ඔහුට එරෙහිව ඉදිරිපත් වී තිබෙන ස්ත‍්‍රී දූෂණ චෝදනාවද පිළිගත හැකි තත්ත්වයක පවත්නා බවත් මෙම පරීක්ෂණයෙන් තහවුරු වී තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණ ලිපිගොනුව වැඩිදුර උපදෙස් පතා නීතිපති වෙත යවා තිබුණු අතර නීතිපති එම පරීක්ෂණ වාර්තාව තමන් ළඟ තබාගෙන මෙම ස්ත‍්‍රී දූෂක මහේස්ත‍්‍රාත්වරයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය. මෙම තත්ත්වය මත නීතිපතිට එරෙහිවද බරපතළ චෝදනා එල්ල කරමින් ඔහු සමග ගැටෙන තැනකට යන්නට මට සිදුවිය. ලෙනින් රත්නායක පිළිබඳ පරීක්ෂණයෙන් ඔහුද ඊට අතිරේකව මා විසින් ප‍්‍රසිද්ධ චෝදනා එල්ල කරන ලද දිසා විනිසුරුවරයකු වූ උපාලි අබේරත්න පිළිබඳ පරීක්ෂණයෙන් ඔහුද වරදකරු වූ පසු මා හා මේ ගැටුමට සම්බන්ධ තවත් පුද්ගලයකු වෙන් වෙන්ව නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව දූෂණ චෝදනා මත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කරන ලදි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලූ විනිසුරුවරුන් රැුස්වී මෙම පැමිණිලි දෙක මත නීතිපතිවරයාට අදාළව පරීක්ෂණයක් ආරම්භ කළ යුතුද නැද්ද යන්න ගැන අදහස් විමසීමක් කළේය. පරීක්ෂණයක් ආරම්භ කරනවාට විරුද්ධ වූයේ විනිසුරුවරුන් තිදෙනකු පමණය. අනෙක් සියලූදෙනා පරීක්ෂණයක් ආරම්භ කරනවාට පක්ෂ විය. පරීක්ෂණ දෙකේ කටයුතු සුපරීක්ෂාව සඳහා මාක් ප‍්‍රනාන්දු විනිසුරුවරයාද, පරීක්ෂණ දෙක භාරව ක‍්‍රියාකිරීම සඳහා අමීර් ඉස්මයිල් හා ශිරාණි බණ්ඩාරනායක යන විනිසුරුවරුන් දෙදෙනාද පත් කරන ලදි.

මේ වනවිට නීතිපති සරත් නන්ද සිල්වා සිටියේ ගැලවිය නොහැකි තරමට හිරවූ තත්ත්වයකය. අගවිනිසුරු ධුරයේ සිටි ජී.පී.එස්. ද සිල්වා මහතා විශ‍්‍රාම යන්නේද මේ මොහොතේය. ඒ වනවිට සරත් නන්ද සිල්වා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ විශ්වාසවන්ත සගයකු වූ අතර ජනාධිපතිට තම විශ්වාසවන්ත සගයා ඔහු අසුවී සිටි උගුලෙන් බේරාගැනීම සඳහා තමන්ගේ නීති උපදේශකයන්ගෙන් එල්ල වී තිබූ විරෝධතා නොසලකා අගවිනිසුරු ධුරයට පත් කළේය. ඒ සමග මට මගේ අරගලය රටේ අගවිනිසුරුවරයාට එරෙහිව කෙරෙන අරගලයක් බවට හරවා ගැනීමට සිදුවිය.

ජනමාධ්‍ය භූමිකාව

එම විශේෂ අවස්ථාවේදී දුෂ්කර තත්ත්වයක සිටි අගවිනිසුරුවරයාට දුර්වර්ණ වී තිබූ තම ප‍්‍රතිරූපය ඔප් නංවා ගැනීමට ජනමාධ්‍යවල සහාය අවශ්‍ය වූ අතර ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන්ගෙන් වැඩි පිරිසක් අගවිනිසුරුගේ එම අවශ්‍යතාව තේරුම් ගනිමින් තමන්ට තිබෙන නඩුහබ තමන්ගේ වාසියට හේතුවන ලෙස බේරුම් කරගැනීමට එය අවස්ථාවක් කරගත්තෝය. අගවිනිසුරුවරයා ඔවුන්ගේ තෘප්තියට හේතුවන ලෙස ඔවුන්ට අවශ්‍ය හැම දෙයක්මත් කරදෙන ලද අතර අගවිනිසුරුගේ ආධාර උපකාර ලබාගත් ජනමාධ්‍ය හිමිකරුවන්ද අගවිනිසුරුගේ බොඳවී තිබූ ප‍්‍රතිරූපය වර්ණවත් කිරීම සඳහා උපරිම මට්ටමේ මාධ්‍ය ආවරණයක් අගවිනිසුරුට ලබාදෙන ලදි. එක් නාලිකාවක හිමිකරුවෙකු පමණක් ඔහුගේ වාසියට හේතුවන ලෙස බේරා ගත් නඩු ගණන 17කි.

මාගේ අධිකරණ අරගලය කෙළවර වූයේ ජය පරාජයෙන් තොර තත්ත්වයකිනි. අඩුම තරමින් ලංකාවේ ජනමාධ්‍ය මට අවහිර කිරීමකින් හෝ ආධාර කිරීමකින් වැළකී නිහඬව බලාගෙන සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් එම අරගලය ජයගැනීමේ හැකියාව මට තිබුණි. එය එසේ වී නම් අධිකරණ යාන්ත‍්‍රණයේ බැඳී තිබෙන මලකඩ කඩන තත්ත්වයක් ඇතිවී රටේ ඉදිරි ගමනට ඵලදායී ලෙස දායක වන මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අධිකරණ ක‍්‍රමයක් ඇතිවන්නට ඉඩ තිබුණි. ඒ තත්ත්වය වළකන ලොකුම තිරිංගය ලෙස ක‍්‍රියා කළේ ජනමාධ්‍යයි.

එක සිද්ධියකට අදාළ ජනමාධ්‍යවල හැසිරීම පිළිබඳ මගේ අත්දැකීම් මට මේ ආකාරයෙන් විස්තර කිරීමට අවශ්‍ය වූයේ ලංකාවේ ජනමාධ්‍යවල හැසිරීම පිළිබඳ දළ අදහසක් පාඨකයන්ට ලබාදෙමින් ජනමාධ්‍යවල වර්තමාන භූමිකාව විග‍්‍රහ කිරීමට මට අවශ්‍ය වූ නිසාය. ලංකාවේ ජනමාධ්‍ය රඟපාමින් තිබෙන භූමිකාව විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය රඟපාමින් තිබෙන භූමිකාවටත් වඩා ප‍්‍රතිගාමී වනවා සේ ම පසුගාමීද වේ. මේ රටේ තිබෙන පසුගාමී තත්ත්වයට ජනමාධ්‍ය දේශපාලකයන්ටත් වඩා වගකිව යුතුය. අවාසනාවකට මෙන් සමාජයට දේශපාලකයන් ගැන විවේචනයක් ඇතත්, ජනමාධ්‍ය ගැන විවේචනයක් ඇත්තේම නැති තරම්ය. ඊළඟ කලාපයෙන් වර්තමානයේ ලංකාවේ ජනමාධ්‍ය රඟපාමින් තිබෙන භූමිකාව ගැන මගේ විග‍්‍රහය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.