මහින්දගේ සහායත් ලබාගන්නවා | පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතීඥ සුසිල් පේ‍්‍රමජයන්ත්

තරිඳු උඩුවරගෙදර

ජනාධිපති කියලා තිබුණා සැප්තැම්බර් විතර වෙනකොට ඡන්දය පවත්වනවා කියලා. ඒත් ඔබේ සන්ධානය මේ වෙනකොට ඉන්නේ දැඩි බෙදීමක. මේ වෙනකොට රටේ තියෙන ප‍්‍රතිවිරුද්ධ දේශපාලන මත කිහිපයක්ම දරන අය සන්ධානයේ ඉන්නවා නේද?

පක්ෂයේ විවිධ මන්ත‍්‍රීවරුන් විවිධ මත ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් පක්ෂයේ මතය ඉදිරිපත් කරන්න පක්ෂයේ වගකිව යුතු කෙනෙක් වෙන්න ඕනෑ. සන්ධානයේ මහ ලේකම් සහ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස මම කියනවා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයා කර තිබෙන ප‍්‍රකාශයත් සමග ශ‍්‍රීලනිපයේ අදහස තමයි, විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනයත් සම්මත කරගෙන මැතිවරණයකට යා යුතුයි කියන එක. ඒ මතයේ ඉඳන් තමයි අපි දහනවවෙනි සංශෝධනයට සහාය දුන්නේ.

එජාපය සහ දේශපාලන සමාජයේ මතයක් තියෙනවා මේ පාර්ලිමේන්තුව දැන් කල් ඉකුත් වෙලා, ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනෑ කියලා. මේ ගැන ඔබේ මතය මොකක්ද?

මේ පාර්ලිමේන්තුව කල් ඉකුත් වෙලා කියලා අපි පිළිගන්නේ නෑ. ඒක නෛතිකව වැරදියි. 2010 දී මේ පාර්ලිමේන්තුව බලයට ආවේ 2016 වෙනකන්. ඒ ජනවරමින් තමයි අපි ඉන්නේ. එජාපයට කහටක් ඇති එයාලාට 2010දී ලැබුණු අඩු ජනවරමින් රට පාලනය කරන්නට සිදුවීම නිසා.

සන්ධානයේ කොටසක් මහින්දව අගමැති අපේක්ෂකයා කළ යුතුයි කියලා නගරයෙන් නගරයට යනවා. මීට පෙර පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් අරන් තිබුණා පක්ෂයේ අයට රැලිවලට යන්න බැහැ කියලා. ඒත් කට්ටිය යනවා. පක්ෂයේ මේ බෙදීම ඡන්දයකට ගියත් දිනන්න බාධාවක් වෙන්න පුළුවන්.

එහෙම අවාසියක් වෙන්නේ නැහැ. එජාපයේත් පසුගිය කාලේ මතභේද තිබුණානේ. තාමත් ඒවා තියෙන බව පේනවා. ශ‍්‍රීලනිප ඉතිහාසයේත් එහෙමයි. ඒක මැතිවරණය දිනන්න බලපාන්නේ නැහැ. ශ‍්‍රීලනිපය හැටියට අපි මොන තරම් ජනතාව එක්ක ඉන්නවාද කියන එක මත ප‍්‍රතිඵලය තියෙන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති කියන්නේ ශ‍්‍රීලනිපයේ අනු ශාසකවරයෙක්. ඔහු ආගමික උත්සවවලට යමින් ජනතාව අතර ඉන්නවා. එවැනි කෙනෙක්ට ජනතා ප‍්‍රතිචාර තියෙනවා නම් මහින්දගේ සහායත් ලබාගන්නවා. තමන්ට කෙතරම් වාසියක් තියේවිද කියන එක තක්සේරු කරමින් තමයි ඔය විවිධ ප‍්‍රකාශ කරන්නේ. අපේ අරමුණ සියලූම නායකයන්ගේ ශක්තිය ලබාගෙන සන්ධාන රජයක් පිහිටුවීම.

මැතිවරණ ක‍්‍රමය ගැන තවමත් අවසාන එකඟතාවක් නැහැ.

පසුගිය සතියේ ඉදිරිපත් කළ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශය කැබිනට් අනුකමිටුවේ නිර්දේශ එක්ක ඉදිරිපත් වෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා කරනවා. ඇත්ත වශයෙන්ම ඡුන්ද ක‍්‍රමය වෙනස් කළ යුතුයි. ප‍්‍රධාන කරුණු දෙකක් සම්බන්ධයෙන් ජනතාවගේ දැඩි අපේක්ෂාවක් තියෙනවා. මනාප නැතිව මැතිවරණ බල ප‍්‍රදේශයකට වගකිව හැකි නියෝජිතයන් පත් කරගන්න. ඒත් සරල බහුතර ක‍්‍රමයට යන්න බැහැ. ඒ සඳහා තමයි ජනාධිපති තුමාගේ මැතිවරණ ප‍්‍රකාශනයට මේක ඇතුළත් වෙලා, ඊට පස්සේ ශ‍්‍රීලනිපය මේක සම්මත කරගන්න දැඩි උත්සාහයක් ගන්නේ. අපි එකඟයි මේ ප‍්‍රධාන කොන්දේසි තුන ඉටු කෙරෙන ඡන්ද ක‍්‍රමයකට.

ශ‍්‍රීලනිපය කීවේ දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තා මත පදනම් වූ ක‍්‍රමයක් සුදුසුයි කියලා.

ඔව්, එනිසා තමයි සුළු පක්ෂවලටත් අසාධාරණයක් නොවන ආකාරයට වෙනස්කම් කිහිපයක් යෝජනා කර තිබෙන්නේ.

ඒත් තවමත් සුළු මතවාදී සහ සුළු ජාතික පක්ෂ මේකට පස්ස ගහනවා.

ඒකට මූලික හේතුව අපට පැහැදිලි නැහැ. ඒත් අපි පසුගිය මැතිවරණ කිහිපයක ප‍්‍රතිඵල මේ ක‍්‍රමයට ආදේශ කළොත් සුළු පක්ෂවලට අවාසියක් වෙන්නේ නැහැ.
ඔබ හිතන්නේ ලංකාවට වඩාත් ගැළපෙන්නේ විවිධාකාර ජාතීන් හෝ මතවාදයන් නියෝජනය කරන සුළු පක්ෂ තියෙන බහුපක්ෂ ක‍්‍රමයක්ද? ද්වි පක්ෂ ක‍්‍රමයක්ද?
නැහැ. දේශපාලන පක්ෂ අතර සැකැස්මේ වෙනසක් වෙන්නේ නැහැ. බහු පක්ෂ ක‍්‍රමයට ඉඩකඩ සැලසෙනවා මේ ක‍්‍රමයෙන්. මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව වැඩි වෙනවා. සුළු පක්ෂවලට දිස්ත‍්‍රික්කයෙන් ලබාගන්නා ප‍්‍රතිශතය මත මන්ත‍්‍රීධුරයක් ලබාගත හැකියි.

සන්ධානය පැත්තෙන්ම පාර්ලිමේන්තුවේ ආසන ගණන වැඩි කිරීමට විරෝධයක් ආවා. එය පක්ෂයේ මතයද?

නැහැ. ඕනෑම කෙනෙක්ට එපා කියන්නත් පුළුවන්. මතක තියාගන්න ඕනෑ මෙවැනි ක‍්‍රමයක් යෝජනා කරද්දී සියයට සියයක එකඟතාව ගන්න බැහැ කවදාවත්. අපට අවශ්‍ය ව්‍යවස්ථා සම්මත කරගැනීමට අවශ්‍ය බහුතරය ලබාගැනීමයි.

ලංකාවේ ආණ්ඩු ක‍්‍රමය වෙනස් විය යුතුයි කියලා සියලූ දෙනාම පාහේ විශ්වාස කරනවා. දැන් නව ආණ්ඩු ක‍්‍රමයක් ගෙන ඒම සඳහා ශ‍්‍රීලනිපයේ උනන්දුව මොන වගේද?

ව්‍යවස්ථාව වෙනස් කිරීමේ ක‍්‍රමවේදයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා. අගමැතිවරයා කියනවා ඊළඟට පත්වෙන පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරනවා කියලා. එහෙම කරන්න බැහැ. පාර්ලිමේන්තුව ආණ්ඩුවක් නෙවෙයි. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කළ හැකියි. 70දී ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කළේ ඒ ආකාරයට ජනවරමකින් මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කරලා. නැතිනම් තේරීම් කාරක සභාවකින් පුළුවන්. මගේ මතය එළැඹෙන පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් කරලා එය කමිටුවලට බෙදිලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදන්න පුළුවන්. එය සිදුවන්නේ 78 ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදනවලට යටත්ව.

ප‍්‍රථම ජනරජ ව්‍යවස්ථාවේදී වගේ එතෙක් තිබුණු ව්‍යවස්ථාව නොසලකා ජනතාවගෙන් බලය ඉල්ලාගෙන අලූත් ව්‍යවස්ථාවකට යා හැකියි නේද?

නැහැ, 72දී එහෙම කරන්න වුණා. ඒ වෙලාවේ මූලික ප‍්‍රශ්නය වුණේ බි‍්‍රතාන්‍යයෙන් ඉවත් වීම. පෙර ව්‍යවස්ථාවට ලංකාවේ ජනතාවගෙන් ලැබුණු බලයක් නෙවෙයි. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ලැබුණු බලයක් තිබුණේ. ඒ නිසා ජනවරමක් ගත්තා ජනතාව විසින් දෙන බලය උපයෝගී කරගෙන ව්‍යවස්ථාව සම්පාදනය කරනවා කියලා. ඒ ව්‍යවස්ථාව පදනම් කරගෙන තමයි 78 ව්‍යවස්ථාව හැදුණේ. ඒක පදනම් කරගෙන තමයි ඉදිරි ව්‍යවස්ථා නිර්මාණය විය යුත්තේ.

දහනවවෙනි සංශෝධනයෙන් පසුව තියෙන තත්්ත්වය රටට ගැළපෙනවා කියලා හිතෙනවාද?

නැහැ, දහනවයෙන් කළේ විධායක ජනාධිපතිගේ බලතල සීමා කරලා තුනෙන් දෙකක බලයෙන් කළහැකි සංශෝධවලට විතරක් සීමා වීම. ජනමත විචාරණයකට යන්න බැරි නිසා එළැඹෙන පාර්ලිමේන්තුවේදී සිද්ධ වෙනවා ජනමත විචාරණයකට යන්න අවශ්‍ය ඉඩකඩ ලබාගන්න. ජනමත විචාරණයකට යන්න ඕනෑ.

එහෙනම් මේ කාරණයේදී ප‍්‍රධාන පක්ෂවලට එකඟතාවකින් කටයුතු කරන්න වෙයි.

අනිවාර්යයෙන්ම. ඊළඟ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඕනෑ ජනමත විචාරණයකට යන්න. එහෙම කරන්න නම් එකඟතාවකින් අඩුම තරමේ ව්‍යවස්ථා සම්පාදනයේදී වත් කටයුතු කරන්න වෙනවා. මේ රටේ පොදු ජනතාව සිහිතබා ගත යුතු දෙයක් තියෙනවා. ව්‍යවස්ථා සම්පාදනය කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ.

වඩා සුදුසු බුද්ධිමත් අපේක්ෂකයන්ට නාම යෝජනා ලබාදෙන්න ඕබේ පක්ෂය කටයුතු කරන්නේ කොහොමද?

අපි මෙවර ඒ සඳහා සුදුසු පුද්ගලයන්ට නාම යෝජනා ලබාදීම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වනවා. බුද්ධියත් අවශ්‍යයි, දැනුමත් අවශ්‍යයි, ජනතාවගේ ප‍්‍රසාදයත් අවශයයි.

පක්ෂයට චෝදනා එල්ලවෙලා තිබුණා නුසුදුසු අයට නාමයෝජනා දුන්නා කියලා.

මෙවර අපි ගොඩක් පරිස්සම් වෙනවා ඒ කාරණයේදී. හොඳ නියෝජිතයන් පත් කරගන්න කටයුතු කළ යුතුයි.

අපි අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අබියස නම් ඉන්නේ ප‍්‍රධාන පක්ෂ ඒ සම්බන්ධව කතා කරලා එකඟතාවක් ඇති කරගත යුතුයි නේද?

එහෙම සාකච්ඡුාවක් සිදුවෙලා නැහැ තවම. සන්ධානය විදියට අපේ අදහස ව්‍යවස්ථා සම්පාදනයේදී විතරක් ශ‍්‍රීලනිපය සහ එජාපය එකතු වෙන්න පුළුවන්. 19 දී වගේ. හැබැයි ආර්ථික සමාජ වශයෙන් අපි ප‍්‍රතිපත්ති දෙකක ඉන්නේ. ඒ නිසා අපට සියලූ කාරණාවලදී එකඟවෙන්න බැහැ. ඒත් ව්‍යවස්ථා සම්පාදනයේදී එකඟවෙන්න පුළුවන් වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුව ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට බාධාවක් විය හැකියි. ජනාධිපතිවරයා ඡන්දයේදි ලබාදුන්නු ප‍්‍රධාන පොරොන්දුවක් තමයි රාජපක්ෂවරුන්ගේ දූෂණ සොයා බැලීම. ජනවරම ලැබුණේ ඒකට.

ජනවරම සම්බන්ධ ප‍්‍රශ්නයක් නෙවෙයි. දූෂණ සම්බන්ධ පරීක්ෂණ කළාට ගැටලූවක් නැහැ. ඒත් එහෙම සෙවීමේදී නීතියෙන් පිළිගන්න ක‍්‍රමවේදයක් තියෙනවා. තර්කය වෙන්නේ එම ක‍්‍රමවේදය වෙනස් කරලා කෙනකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන විදිහටයි තමයි ඒක සිද්ධ වෙන්නේ. පොලිස් ආඥා පනතේ 56 වෙනි වගන්තියේ තියෙන්නේ කෑම දෙන හැටි, ඇඳුම් අඳින හැටි වගේ දේවල්. ඒ වගන්තිය උඩ කැබිනට් අනුමැතියක් අරන් පොලිස්පති ලවා ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඒකෙ හතරවෙනි උප වගන්තිය අනුව අගමැති ඇතුළු කැබිනට් අනුකමිටුවක් මගින් තමයි පැමිණිලි බලා යොමු කළ යුතුද නැතිද කියලා තීරණය කරන්නේ. පොලීසියට පැමිණිලි දෙපාර්ශ්වයකින් ලැබුණොත් දෙපැත්තෙන්ම පැමිණිලි විභාග කරනවා. ඒත් මේකට එහෙම නෙවෙයි. මෙය අයිතිවාසිකම් උල්ලංඝනය කරලා අසමානව සැලකීමක්. මෙතැන මහබැංකු අධිපතිවරයාට පරීක්ෂණ නොකරන්නේ ඇයි. අධිකරණයෙන් කීවේ මෙතැනින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙයි කියලා. තීන්දුවක් ලැබුණාම ඒක විවේචනය කරන එක අගමැතිවරයකුට, විශේෂයෙන්ම මේ කමිටුවේ ප‍්‍රධානියා විදියට වගඋත්තර කරුවකුට වටින්නේ නැහැ. කාට හරි නඩු තීන්දුවක් විවේචනය කළ හැකි බව ඇත්ත. හැබැයි රටේ අගමැති වගේම නඩුවේ වගඋත්තරකරුවා නඩු තීන්දු විවේචනය කිරීම ප‍්‍රශ්නයක්. හැම වගඋත්තරකරුවකුම මේ ආදර්ශය ගත්තොත් අධිකරණ ස්වාධීනත්වයට වෙන්නේ මොකක්ද? ජනාධිපතිතුමා කීවේ අධිකරණයේ ස්වාධීනත්වය මේ සිදුවීමෙන් පේනවා කියලා.

ඉතින් බහුතරය තියාගෙන අගමැතිවරයා සහ ආණ්ඩුව ආරක්ෂා කරන්නේ ඔබේ පක්ෂයමනේ. ගැටලූවක් තියෙනවා නම් විශ්වාසභංගයක් ගෙන ආ හැකියි.

ඔව්, ඒත් අපට සහතිකයක් ලැබෙනවාද විශ්වාසභංගය අවසාන වෙනකල් පාර්ලිමේන්තුව විසුරුවන එකක් නැහැයි කියලා. එහෙම නම් අපි ගේන්න ලෑස්තියි.
මහබැංකු අධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ වෙලාවේ එසේ රාජ්‍ය නිලධාරීන්ව ඉවත් කිරීමට යෝජනා ගෙන ආ හැකිද කියන ප‍්‍රශ්නය මතු වුණා.
පක්ෂ නායක රැස්වීමේදී මේ කාරණය සාකච්ඡුා වුණා. මහබැංකු අධිපතිවරයා මහ බැංකුවේ ඇති වූ තත්ත්වය පිළිබඳව වගකිව යුතුයි. ඒ නිසා ඔහු තනතුරෙන් ඉවත් කළ යුතුයි කියලා ඉල්ලීමක් කරන්න තමයි යෝජනාව ඇවිත් තියෙන්නේ. ඔහුගෙන් ඉල්ලීමක් කරන්න තමයි යෝජනාව ගෙන ආවේ. අපි ගන්නේ පුද්ගලයා නෙවෙයි සිදුවීම. විශේෂයෙන් අගමැතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව සලකා බැලූවත් වංචාවක් සිදුව තිබෙන බව පේනවා.

මේ සිදුවීම සම්බන්ධයෙන් රවී කරුණානායක ඇමතිවරයාට විශ්වාසභංගයක් ගේන්නේ ඇයි?

ඉස්සෙල්ලා මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් යෝජනාව ගෙනල්ලා ඊළඟට ගන්න පියවර සම්බන්ධයෙන් සාකච්ඡුා කරනවා. ඊට පස්සේ තමයි පක්ෂය තීරණය කරන්නේ විශ්වාසභංගයක් ගේනවාද කියලා.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;