අමෙරිකානු පොලීසියට සීමා

 

ඇමෙරිකානු පොලීසියේ හමුදා අම්පන්න භාවිත කිරීම් සීමා කරන්නට ජනාධිපති බරක් ඔබාමා පියවර ගනිමින් සිටියි. මීට හේතු වශයෙන් පෙන්වා දෙන්නේ පොලීසිය භාරයට පත්වන සහ ප‍්‍රශ්න කිරීම්වලට ලක්වන සිවිල් පුරවැසියන් විශේෂයෙන් කල්ලන් අනපේක්‍ෂිතව මරණයට පත්වීමත් ඉන් පසු ඒවා නිසා මහජන උද්ඝෝෂණ හා විරෝධතා පැන නැගීමත් ය.

හමුදා යුද ටැංකි මෙන් දිස්වන ට‍්‍රැක්වීල් සහිත පුපුරන ද්‍රව්‍ය ප‍්‍රතිරෝධ වාහන භාවිතාව පොලීසියට සම්පූර්ණයෙන් ම තහනම් කරන්නට යයි. ඊට අමතරව බිම් බෝම්බවලින් වැළකෙන ආරක්‍ෂක පලිහ සහිත කැරලි මර්දන භාවිතයේ දී සීමා පැනවෙනු ඇත.

කලක සිට අමෙරිකානු පොලීසියට හසුවන අයගේ කල දසාව එතරම් හොඳ නැත. පොලිස් භටයන් සමග තර්ක කළ. බහින්බස් වුණු නාහෙට නාහන පන්නයේ එහෙත් නිරායුධ තරුණයන් කිහිප දෙනෙකු ම ඒ ඒ අවස්ථාවල රාජකාරිවල යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් මරා දමනු ලැබූ බවට පසුගිය දෑවුරුද්දක තරම් කාලයක වරින්වර අසන්නට ලැබිණි. එසේ ම ඇතැම් පොදු උද්ඝෝෂණවල දීි සෙනග විසුරුවා හරින්නට පොලීසිය විසින් ගන්නා ලද කි‍්‍රයාමාර්ග නිසා තිබිය යුතු ප‍්‍රමාණය ඉක්මවා බරපතළ තුවාල සිදු වූ අවස්ථා ද වාර්තා විණි.

අදාළ නිලධාරීන්ට එරෙහිව නඩු පවරනු ලැබූ විට ප‍්‍රමාණවත් සාක්‍ෂි නොමැති වීම නිසා ඔවුන් නිදහස් වන අවස්ථා විරල නොවන අතර එයින් සිදු වන්නේ ජනතාව තුළ අසහනයක් ගොඩ නැගීමයි.

පසුගිය අගෝස්තු මාසයේ මයිකල් බ‍්‍රවුන් නමැති කළු ගැටවරයා වෙඩි තබා ඝාතනය කිරීම ගැන පොලිස් නිලධාරියකුට චෝදනා එල්ල වූ අතර නඩු විභාගයේ දීි ඔහු නිදහස් විය. තමා වෙඩි තැබුවේ ආත්මාරක්‍ෂාව උදෙසා බව ඔප්පු කරන්නට සාජන් ඩැරන් විල්සන් සමත් විය. එහෙත් බ‍්‍රවුන් අඩු තරමින් ලීි කැබැල්ලක් හෝ තිබී නැත.
උතුරු කැරොලිනා පොලිස් නිලධාරියකු විසින් මාර්ග සංඥා පුවරුවක් අසල දී වෝල්ටර් ස්කොට් (50) නමැත්තෙකුට වෙඩි තබා මරා දමන ලද අතර ඔහුද පසුව නිදහස් විය. පසුගිය මාසයේ බැල්ටිමෝර් පොලිස් අත්අඩංගුවේ සිටි ෆ්‍රෙඞ් ගේ‍්‍ර (32) නමැත්තකු ද අධික පහර දීම් නිසා කශේරුවට හානි සිදු වී මරණයට පත්විය. මීට අදාළ නඩුව මෙතෙක් අවසන් නැත. මේ මරණය නිසා එක්දහස් නමසිය හැටේ දශකයේ පැවැති ආකාරයේ සුද්දන්ට එරෙහි කල්ලන්ගේ විරෝධතාවක් පැන නැගි අතර නිවා දමන්නට මහත් වෙහෙසක් ගන්නට සිදු විය.

බැල්ටිමෝර් සිද්ධියේ දී මෙන් මයිකල් බ‍්‍රවුන් සිද්ධියේ දීි ද පොලිසියට එරෙහිව දින කිහිපයක් ම ප‍්‍රචණ්ඩ විරෝධතා පැවැතිණි. ජනාධිපතිවරයාගේ පෙර සඳහන් තීරණයට හේතු මේවා විය හැකි ය. පසුගිය සතියේ ජනාධිපතිවරයා මේ ප‍්‍රදේශවල සංචාරය කරමින් රැස්වීම් පවත්වමින් ජනතාවට කරුණු පැහැදිලි කරමින් පොලිසිය සමග මහජන සබඳතා ගොඩ නැගෙන ආකාරයේ වැඩ පිළිවෙලක නිරත ව සිටි බව වාර්තා වෙයි.

පොලිස් අත්අඩංගුවේ දී මිනිසුන් මියයාම ආණ්ඩුවලට එරෙහිව නැගෙන බලවත් චෝදනාවක් වෙයි. තුන්වන ලෝකයේ තුන්වන ලෝකයේ රටවල සහ රුසියාව වැනි රටවල එවැන්නක් සිදුවුවහොත් ප‍්‍රමුඛ මාධ්‍ය සතියක් පමණ ඒවා වාර්තා කරනු අප දැක තිබේ. එහෙත් මේ සිද්ධිවල දීි අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ පවා ප‍්‍රමුඛ මාධ්‍ය වාර්තා කළේ්් නැති තරම් ය.