මිස්ටර් ප්‍රෙස්

ප්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ක‍්‍රමයක ජනමාධ්‍ය (විද්‍යුත් හා මුද්‍රිත) සපුරාලිය යුතු සමාජ වගකීම් සමුදායක් තිබෙන්නේය. ජනතාවගේ පරමාධිපත්‍ය බලය උද්දීපනය කරමින් එය ආරක්ෂා කරන මුරපල්ලකු ලෙස ක‍්‍රියාකිරීම ප‍්‍රධානතම වගකීමකි. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක‍්‍රියාත්මක කෙරෙන ආයතන ක‍්‍රමවල ක‍්‍රියාකාරීත්වය නිරන්තර සෝදිසියට ලක් කරමින් ඒවාහි ක‍්‍රියාකාරීත්වය ප‍්‍රශස්ත තත්ත්වයක පවත්වාගෙන යෑමට සහායවීම ඒ වෙත පැවරී තිබෙන තවත් වගකීමකි. සමාජයේ දැනුම රසඥතාව හා විචාර බුද්ධිය පෝෂණය කරමින් සමාජය දැනුවත් හා බුද්ධිමත් තත්ත්වයක තබාගැනීමට ආධාර කිරීම තවත් වැදගත් වගකීමකි. ජාතික රාජ්‍යයේ යහපත් පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය ජාතික සමඟිය හා ඒකාග‍්‍රතාව සඳහා ජනතාව දැනුවත් කිරීම ඒවා වෙත පැවරී තිබෙන තවත් වැදගත් වගකීමක් ලෙස සැලකිය හැකිය.

ජනමාධ්‍ය භූමිකාව

එහෙත් ලංකාවේ ජනමාධ්‍ය රඟපාමින් තිබෙන භූමිකාව ඉහත විස්තර කරන ලද මූලික අරමුණුවලට මුළුමනින් පටහැනිය. මහජන පරමාධිපත්‍ය බලය ආරක්ෂා කරන මුරපල්ලකු ලෙස ක‍්‍රියා කරනවා වෙනුවට බලයට පත්වන පාලක පක්ෂ සමග කල්ලි ගැසී වාසි ලබාගැනීමේ අරමුණින් එම පාලක පක්ෂ ආරක්ෂා කරන මුරපල්ලකු ලෙස ක‍්‍රියාකරමින් තිබෙන්නේයැ’යි කිව හැකිය. ජනතාවගේ දැනුම රසඥතාව හා විචාර බුද්ධිය පෝෂණය කරනවා වෙනුවට ඒ සියල්ල මොට කරමින් ජනතාව මිථ්‍යාව වෙත තල්ලූ කරන ව්‍යාපාරයක් ලෙස ක‍්‍රියාකරමින් තිබෙන්නේයැ’යි ද කිව හැකිය. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක‍්‍රියාත්මක වන ආයතනවල තිබෙන විකෘතීන් ජයගැනීමට ආධාර කරන පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුවට එම විකෘතීන් උග‍්‍ර කිරීමට අනුබල දෙන, ජාතික සමඟිය හා ඒකාග‍්‍රතාව ඇති කරන ව්‍යාපාරයක් ලෙස ක‍්‍රියා කරනවා වෙනුවට ක‍්‍රියාකරමින් සිටිනුයේ ජාතික සමඟිය හා ඒකාග‍්‍රතාව අවුල් කරන ව්‍යාපාරයක් ලෙසය. කොටින්ම ලංකාවේ ජනමාධ්‍ය තමන් වෙත පැවරී තිබෙන සමාජ වගකීම් ඉටුකරනවා වෙනුවට තමන්ට ලැබී තිබෙන බලය ප‍්‍රයෝජනයට ගනිමින් පාලකයන් සමග කල්ලි ගැසී ඔවුන්ගේ පටු දේශපාලන වුවමනා එපාකම් ඉටුකරදෙමින් උපරිම වශයෙන් ආර්ථික වාසි ලබාගන්නා ව්‍යාපාරයක් ලෙස ක‍්‍රියාකරමින් තිබෙන්නේයැ’යි කිව හැකිය.

නාලිකා අතර යුද්ධය

ලංකාවේ ප‍්‍රධාන නාලිකා දෙකක් අතර විකාශන අවකාශයේ කෙරෙන මහා සංග‍්‍රාමයක් මේ දිනවල දැකිය හැකිය. එක් නාලිකාවක් කියන්නේ ප‍්‍රතිනාලිකාවේ අයිතිකාරයා කොටස් වෙළෙඳපොළේ සිදුවූ මහා වංචාවට සම්බන්ධ බවය. අනෙක් නාලිකාව කියන්නේ තමන්ට අභූත චෝදනා එල්ල කරන නාලිකාවේ හිමිකරුවා යුද්ධය පැවති කාලයේදී කොටි සංවිධානයට අනියම් ලෙස ආධාර කළ පුද්ගලයකු බවය. ඔවුන් තවදුරටත් කියන්නේ එම නාලිකාවේ අයිතිකාරයා මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවා කප්පම් ලබාගන්නා මාධ්‍ය ත‍්‍රස්තවාදියකු බවය.

මෙම නාලිකා හිමිකරුවන් දෙදෙනා අතර කෙරෙන සංග‍්‍රාමය සඳහා මෙම නාලිකා දෙකම ප‍්‍රවෘත්ති විකාශන අවකාශයෙන් කැපී පෙනෙන තරමේ කාලයක් වෙන්කර තිබෙන බවද පෙනේ. මෙම සංග‍්‍රාමයේදී තම නාලිකාවේ හිමිකරුවාට එල්ල වී තිබෙන චෝදනාවලින් ඔහු ආරක්ෂා කරගන්නා අතර ඔහුට අතිවිශාල ජාතික වැදගත්කමක් ලබාදෙමින් ප‍්‍රතිපක්ෂ නාලිකාවේ හිමිකරුවාට චෝදනා එල්ල කරමින් ඔහු අවඥාවට ලක් කරන්නට සිදුවී තිබෙන්නේ එම නාලිකා දෙකේ නිවේදකයන් ලෙස සැලකිය හැකි ජනමාධ්‍යවේදීන්ටය. එහිදී ඔවුන්ට තම හිමිකරුවාගේ භූමිකාවේ කොතරම් අවලස්සන දේවල් තිබුණද ඒ සියල්ල නොසලකා හිමිකරුවා පිරිසිදු ගරුකටයුතු ජාතියේ ප‍්‍රගතියට නැතුවම බැරි පුද්ගලයකු ලෙස හුවා දක්වන්නට සිදුවී තිබෙන අතර ඔවුන් එම කාරිය මහත් අභිරුචියකින් යුතුව කරන බවද පෙනෙන්නට තිබේ.

දැනටම ජනමාධ්‍ය ආයතන තුනක හිමිකරුවන්ට එරෙහිව පොලිිසියේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. අසන්නට ලැබෙන ආකාරයට ඔවුන්ට එල්ල වී තිබෙන චෝදනා ද ඉතාමත් බරපතළය. එක් හිමිකරුවකුගේ විමර්ශනයකට අදාළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකට එරෙහිව හිතවත් නාලිකාවක් මහජන මතයක් ඇති කිරීම සඳහා ක‍්‍රියා කළ බවක් ද පෙනෙන්නට තිබුණි. දැනටමත් එහි හිමිකරුවකු තමන් අත්අඩංගුවට ගැනීම වළකන අතුරු තහනමක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඉදිරිපත් කර තිබේ. තිබෙන තොරතුරුවලට අනුව මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ පරීක්ෂාවට ලක්විය හැකි ජනමාධ්‍ය හිමිකරුවන්ගේ සංඛ්‍යාව ඊටත් වැඩිවිය හැකිය. ඉන් පෙනෙන්නේ පසුගිය පාලන යුගයේ සිදුවී තිබෙන වස්තු කොල්ලයට සමහර ජනමාධ්‍ය හිමිකරුවන්ද ක‍්‍රියාකාරී ලෙස සම්බන්ධ වී තිබෙන බවය.

රස කතා

රටේ ජනමාධ්‍ය රඟපාමින් තිබෙන අවලස්සන භූමිකාව තේරුම් ගැනීමට ප‍්‍රයෝජනවත් සංකේතාත්මක වැදගත්කමක් ඇති, මට අසන්නට ලැබුණු විශ්වාසදායක කතා කිහිපයක් මෙසේය.

පළමු කතාව නාලිකා දෙකක හිමිකරුවන් දෙදෙනකු එකට හමුවූ අවස්ථාවකදී කෙරුණු කතාබහකි.
එක් නාලිකාවක හිමිකරු අනෙකා අමතා මෙසේ කියා තිබේ.
‘ඔයා කරන්නේ බලයට එන ඕනෑම ආණ්ඩුවකට එකතුවෙලා තමන්ගේ අවදානම්සහගත ව්‍යාපාර ආරක්ෂා කරගන්නා අතර ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් කීයක් හෝ හම්බකර ගැනීම.’

තමා ඊට වෙනස් බව කියමින් ඔහු මෙසේද කියා තිබේ. ‘මට අල්ලාගෙන සිටීමේ ශක්තිය හා ධෛර්යය තිබෙනවා. මගේ ඉලක්කය මගේ ජනාධිපති වරයෙක් බලයට ගැනීම. ඒ වෙනුවෙන් මම වියදම් කරනවා. නොකඩවා වැඩ කරනවා. මගේ ඉලක්කය හරිගිය දිනයක ඔක්කොම ගනුදෙනු මගේ ජනාධිපතිගෙන් බේරගන්නා අතර මම අනියම් ලෙස රටද පාලනය කරනවා.’

දෙවැනි කතාව පසුගිය ජනාධිපතිවරණයට ටික කලකට පෙර ජනමාධ්‍ය හිමිකරුවකු තමාගේ ජනාධිපතිවරණ ගේම් ප්ලෑන වෙනත් ජනමාධ්‍ය ආයතනයක උසස් නිලධාරියකුට විස්තර කළ අයුරුය. මේ දෙදෙනා එකිනෙකා කෙරෙහි විශ්වාසයක් ඇති සමීප මිතුරන් ලෙස සැලකිය හැකිය.
‘අපි මේ පාර රනිල්ව යුඑන්පී අපේක්ෂකයා කරලා ඔහුව කොහොමහරි පරාජය කරනවා. ඒ මගින් රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් කරලා අපට ගනුදෙනු කළ හැකි කෙනකු පක්ෂ නායකත්වයට ගේනවා. ඒ නිසා මහින්ද තවත් අවුරුදු හයක් බලේ ඉඳීවි. ඊට පස්සේ අපි යූඑන්පීය බලයට ගේනවා.’

එම හිමිකරුවා විසින්ම මෙහි සඳහන් අනෙක් පුද්ගලයාට ජනාධිපතිවරණය ආසන්නයේදී කියන ලද කතාවක් මෙසේය.
ඔහු කියන ලද ආකාරයට ජනාධිපතිවරණය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කිරීමේ හැකියාව ඇති පුද්ගලයන් තිදෙනකු බලාගැනීමේ වගකීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඔහු වෙත භාරදී තිබේ. එක් පුද්ගලයකු ප‍්‍රබල භික්ෂූන්වහන්සේ නමකි. දෙවැනි පුද්ගලයා වාමාංශික පක්ෂයක නායකයෙකි. තුන්වැන්නා එජාපයේ ප‍්‍රබලයෙකි. ඔහු කියා තිබෙන ආකාරයට මෙම ප‍්‍රබල චරිත තුන බලාගැනීමේ වගකීම ජනාධිපතිවරයා විසින් ඔහුට භාරදී තිබෙන්නේ ඔවුන් අනියම් ලෙස පාලනය කිරීමේ ශක්තිය ඔහුට තිබෙන බව ජනාධිපතිවරයා දන්නා නිසාය. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදී ඒ කිසිවකු ඔහුට අවශ්‍ය විදියට ඇදීමට ඔහු සමත් වූයේ නැත.

තුන්වැනි කතාව තමන් වෙත ගෙන්වා ගත් නාලිකා දෙකක හිමිකරුවන් සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ කතාබහකි. මෙම කතාබහ සිදුවී තිබෙන්නේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක අර්බුදයේදී අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට ගල්කිස්සේදී පහරදීමක් සිදුවූ දිනට පෙර දිනය. අගවිනිසුරු ප‍්‍රශ්නයේදී මෙම ලේකම්වරයා රඟපාමින් තිබෙන භූමිකාව ගැන විස්තරයක් කිරීමෙන් පසු මෙම ලේකම්වරයා ගල්කිස්සේදී පහරදීමකට ලක්වනු ඇති බව කියා සිටිමින් ඒ සිද්ධිය වාර්තා කිරීමේදී සිද්ධිය සිදුවන ස්ථානය අසල ඇති මසාජ් පාලරයද රූපරාමුවලට හසුකරගන්නා ලෙස කැමරාකරුවන්ට උපදෙස් දෙන මෙන් මෙම හිමිකරුවන් දෙදෙනාට ජනාධිපතිවරයා කියා තිබේ. පුදුමයකට මෙන් මේ නාලිකා දෙකම සිද්ධිය වාර්තා කර ඇත්තේ මසාජ් පාලරයේ රූප රාමුද ඇතුළත් වන ආකාරයටය. මෙම ලේකම්වරයා නොහොබිනා තැනකට ගොස් ආපසු එමින් සිටියදී මෙම පහරදීම සිදුවී ඇති බව නරඹන්නන් තුළ අදහසක් ඇති කිරීම එහි අරමුණ වූවා විය හැකිය. මෙම කතාව සත්‍යයක් නම් ඉන් පෙනෙන වැදගත්ම දෙයක් වනුයේ කරන්නට සැලසුම් කර තිබුණු අපරාධකාරී වරදක් කල් තියා කියන්නට තරම් මේ නාලිකා දෙකේ හිමිකරුවන් ජනාධිපතිවරයාගේ විශ්වාසවන්ත සගයන් වී සිටීමය. රටේ කටයුතු සිදුවී තිබෙන අවලස්සන ස්වභාවය පිළිබඳ යම් අදහසක් එම කතාවෙන් ඇති කරගත හැකිය.

විකාශන බලපත‍්‍ර

මුලදී ගුවන්විදුලි හා රූපවාහිනී විකාශනය පැවතියේ රජයේ ඒකාධිකාරයක් ලෙසය. ඒ ප‍්‍රතිපත්තිය ලිහිල් කොට පුද්ගලික අංශයට එම ක්ෂේත‍්‍රයට ඇතුළුවීමේ නිදහස ලැබුණේ අසූව දශකයේ මුලදීය. මුද්‍රිත ජනමාධ්‍ය මෙන් නොව විද්‍යුත් ජනමාධ්‍ය ගුවන් තරංග මත පදනම් වී විකාශනය කෙරෙන ජනමාධ්‍ය විශේෂයකි. සීමිත සම්පතක් වන ගුවන් තරංග සැලකෙනුයේ මහජනයාට අයිති පොදු සම්පතක් ලෙසය. සාමාන්‍යයෙන් ශීලාචාර රටවල විද්‍යුත් ජනමාධ්‍ය සඳහා විකාශන බලපත‍්‍ර දෙනුයේ වෙන්දේසි ක‍්‍රමයට විකාශන තරංග පාවිච්චිය සඳහා වැඩිම මිලක් ගෙවන ඉල්ලූම් කරුවන්ටය. ඒ සමග එම තරංග පොදු යහපතට හේතුවන ලෙස පාවිච්චි කරන බවට මිලදී ගන්නා හා ආණ්ඩුව අතර ප‍්‍රතිපත්තිමය ගිවිසුමක්ද ඇතිකර ගනී.

ලංකාවේ විකාශන බලපත‍්‍ර නිකුත් කිරීම සිදුවන්නේ ඉතාමත් දූෂිත හා අවිධිමත් ක‍්‍රමයකටය. මේ වන විට ලංකාවේ රූපවාහිනී ආයතන 22ක්ද, ගුවන්විදුලි ආයතන 19ක් ද ඇතත් ඒවා අතුරින් විධිමත් ලෙස බලපත‍්‍ර නිකුත් කිරීමක් සිදුවී ඇත්තේ එකකට පමණය. අනෙකුත් සියලූ ආයතන බලපත‍්‍ර ලබාගෙන ඇත්තේ ඍජු ලෙස නොව අනියම් ලෙස දේශපාලන ගජමිතුරන් මගිනි. දේශපාලන ගජමිතුරන් තමන්ගේ නමට මෙම බලපත‍්‍ර ලබාගන්නේ ගුවන් තරංග සඳහා අයවිය යුතු විශාල මුදල් රජයට ගෙවා නොව විදුලි සංදේශ නියාමන කොමිසමට නාමික මිලක් ගෙවීම මගිනි. එහිදී ගෙවන නාමික මිල රුපියල් ලක්ෂයක් වේ නම් තරංගවල නියම වටිනාකම රුපියල් ලක්ෂ 1000ක් පමණ විය හැකිය. නිදර්ශනයක් වශයෙන් ජනාධිපතිනි චන්ද්‍රිකාගේ පාලනය අවසානයත් සමග විදුලි සංදේශ නියාමන කොමිසමේ ප‍්‍රධානියා ගෙදර ගියේ තමන්ගේ නමටද විකාශන බලපත‍්‍රයක් ලියාගෙනය. ඔහු එම බලපත‍්‍රය නාමධාරී සමාගමකට විකුණන ලද්දේ ඩොලර් මිලියන දෙකක් හෝ ඊට තරමක් වැඩි මිලකටය. විකාශන බලපත‍්‍ර අලෙවි කෙරෙන විධිමත් ක‍්‍රමයක් තිබුණේ වී නම් එම ඩොලර් මිලියන දෙක ලැබිය යුත්තේ ඔහුගේ සාක්කුවට නොව මහා භාණ්ඩාගාරයටය. එහෙත් දැන් තිබෙන ක‍්‍රමය අනුව භාණ්ඩාගාරයට ලැබෙනුයේ නාමික මිල පමණය. නියම මිල යන්නේ ගජමිතුරන්ගේ සාක්කුවලටය.

මෙම තත්ත්වය තේරුම් ගැනීම සඳහා දැක්විය හැකි තවත් නිදර්ශන දෙකක් මෙසේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2005 ජනාධිපතිවරණයට තමන්ට ආධාර කළ දේශපාලන පක්ෂ කිහිපයකට විකාශන බලපත‍්‍ර ලබා දුන්නේය. ඒ සමග දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති එහෙත් ජනාධිපතිවරණයේදී තමන්ට ආධාර කළ භික්ෂූන් වහන්සේ කෙනෙකුටද විකාශන බලපත‍්‍රයක් ලබා දුන්නේය. එම හිමිනම එම බලපත‍්‍රය රුපියල් මිලියන හතළිස් ගණනකට ජනප‍්‍රිය තේ සමාගමක හිමිකරුවකුට විකුණුවේය. ඊට අතිරේකව ජනාධිපතිවරයා තමන්ගේ වැඩිමහල් පුතු නාමල් රාජපක්ෂගේ සමාගමකටද විකාශන බලපත‍්‍රයක් ලබාදී රූපවාහිනිය සතුව තිබු ලෝක ක‍්‍රිකට් තරග විස්තර විකාශනය කිරීමේ අයිතියද එම පුත‍්‍ර සමාගමට ලබාදෙන ලදි. වර්තමාන ආණ්ඩුව ගණන් බලා තිබෙන ආකාරයට එම ගනුදෙනුවෙන් පමණක් රජයට සිදුවී තිබෙන අලාභය රුපියල් මිලියන 4000කි.

ජනමාධ්‍ය හා කළු සල්ලි

විද්‍යුත් ජනමාධ්‍ය කර්මාන්තයට ආවේණික ඊළඟ වැදගත් ලක්ෂණය වනුයේ එම කර්මාන්තකරුවන්ගෙන් වැඩි පිරිසක් සාමාන්‍ය ධනපතියන්ට වෙනස් කළු සල්ලිකාරයන් වීමය. ඔවුන්ට ජනමාධ්‍ය විෂය ගැන හෝ ඊට අදාළ ආචාර ධර්ම හෝ සමාජ වගකීම පිළිබඳ අවබෝධයක් ඇත්තේම නැති තරම්ය. ලංකාවේ විද්‍යුත් ජනමාධ්‍ය ආයතනවලින් වැඩි හරියක් පවත්වාගෙන යන්නේ පාඩු පිටය. එම ආයතන පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන වියදම් උපයන තත්ත්වයක නොපවතී. ඒ නිසා ඒවා පවත්වාගෙන යෑමට සිදුවී තිබෙන්නේ ආයතනයේ හිමිකරුවා තමන්ගේ වෙනත් ආදායම් මාර්ගවලින් ආයතනයට පොම්ප කරන මුදල්වලිනි. මෙම විශේෂ තත්ත්වය මෙම ආයතනවල සේවය කරන ජනමාධ්‍යවේදීන්ගේ මානසි කත්වය කෙරෙහිද අහිතකර ලෙස බලපා ඇතැ’යි කිව හැකිය. තමන් ජීවත්වන්නේ ආයතනය උපයන මුදල්වලින් නොවන බව හා ආයතනයේ හිමිකරුවා වෙනත් මාර්ගවලින් ආයතනයට පොම්ප කරන මුදල්වලින් බව ඔවුහු දනිති. ඒ තත්ත්වය ජනමාධ්‍යවේදීන් වශයෙන් ඔවුන් තුළ තිබිය යුතු අදීනත්වය නැති කොට හිමිකරුවා කෙරෙහි අනවශ්‍ය ගැතියාවක් ඇති කිරීමට හේතුවී තිබේ.

බොහෝ හිමිකරුවන් තමන් පවත්වාගෙන යන ජනමාධ්‍ය ආයතන නොකඩවා පාඩු ලබන තත්ත්වයක තිිබියදී ඒවා නොවසා පවත්වාගෙන යන්නේ ජනමාධ්‍ය ආයතන නිසා ලැබෙන වෙනත් වාසි සලකාය. වෙනත් ව්‍යාපාරිකයකුට වඩා ජනමාධ්‍ය ව්‍යාපාරිකයකුට රටේ දේශපාලන නායකයන් වෙත සමීප විය හැකිය. දේශපාලන නායකයන්ටද ජනමාධ්‍යවල සහාය නැතිව පැවතිය නොහැකිය. එහිදී මේ දෙපක්ෂය අතර සිදුවන ගනුදෙනුවෙන් දෙපක්ෂයම උපරිම වාසි ලබා ගනී. ජනමාධ්‍ය හිමිකරුවන් බලයේ සිටින දේශපාලන නායකයන්ට අවශ්‍ය කරන ජනමාධ්‍ය සහාය උපරිම මට්ටමෙන් ලබාදී තමන් පවත්වාගෙන යන ජාවාරම්වලට අවශ්‍ය රැකවරණය හා අනුග‍්‍රහය ලබාගනී. මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී ලක්ෂපතියන්ගේ තත්ත්වයක සිටි සමහර ජනමාධ්‍ය හිමිකරුවෝ ප‍්‍රකෝටිපතියන් බවට පත්වූහ.

පරිහානියේ තරම

ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන්ගේ පසුබිම හා දේශපාලන හැසිරීම මුළුමනින් අමතක කළද ජනමාධ්‍යවලට පැවරී තිබෙන සමාජ වගකීමේ අර්ථයෙන් ගත් විට ජනමාධ්‍ය තිබෙන්නේ ප‍්‍රගතියට බාධා කරන ඉතාමත් පසුගාමී තත්ත්වයකය. විද්‍යුත් ජනමාධ්‍ය මගින් විකාශනය කෙරෙන වැඩසටහන්වලින් අතිවිශාල බහුතරයක් පිළිගත හැකි ප‍්‍රමිති තත්ත්වයක පවතින්නේයැ’යි කිව නොහැකිය.

ලංකාව දශක හතරකට ආසන්න කාලයක් ජීවත් වී තිබෙන්නේ ඉතාමත් අශීලාචාර වටාපිටාවකය. සිංහල දකුණෙන්, දෙමළ උතුරෙන් ඇතිවූ තරුණ කැරලි නිසාත්, ඒවා මර්දනය කිරීම සඳහා කරන ලද ප‍්‍රයත්නයන් නිසාත් රටට අහිමි වූ ජීවිත සංඛ්‍යාව ලක්ෂයකටත් වැඩිය. මරණයට පත් නොවී වදහිංසාවන්ට ලක්වූ අයගේ ප‍්‍රමාණය ඊටත් වඩා වැඩිය. මිනිසුන්ට ජීවත් වන්නට සිදුවී තිබුණේ භීතියෙනි. මෙම අශීලාචාර සමාජ-දේශපාලන වටාපිටාව පුරුෂාර්ථ අහිමි කරගත් මානසික වශයෙන් රෝගී සමාජයක් ඇති කළේය. එවැනි සමාජයකට ප‍්‍රතිකාර කිරීමේ වැඩිම ශක්තියත් ඇත්තේ ජනමාධ්‍යවලටය. එහෙත් ලංකාවේ ජනමාධ්‍ය එම රෝගී මනස්වලට ප‍්‍රතිකාර කරනවා වෙනුවට සමාජ මනස වැඩි වැඩියෙන් විකෘති කරන පිළිවෙතක් අනුගමනය කළේය.

දැන් හැම නාලිකාවක්ම පාහේ දවස ආරම්භ කරන්නේ සමාජයට ඒ දවසේ සුබ නැකත හා ඒ දවසේ මරුවා සිටින දිසාව කියාදෙමින්ය. ජනමාධ්‍ය වැඩිම ඉඩක් වෙන් කරන්නේද සාත්තර කාරයන්ට, පේනකාරයන්ට, කොඩිවිනකාරයන්ට, භූතයන්ට හා අපරාධකාරයන්ටය. ජනමාධ්‍ය විසින් ශ‍්‍රී ලංකා සමාජය මිථ්‍යා විශ්වාසයන් පසුපස හඹායන සමාජයක් බවට පත්කර තිබෙන්නේය. එහිදී සමාජය ඇදවැටී තිබෙන හාස්‍යජනක තත්ත්වයේ තරම පෙන්නුම් කරන හොඳම නිදර්ශනය වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය.

ජනමාධ්‍ය විසින් පවත්වාගෙන යන දේශපාලන සංවාද තිබෙන්නේ ඉතාමත් අවලස්සන තත්ත්වයකය. තමන්ගේ නාලිකාවල සේවය කරන නිවේදකයන් ආශ‍්‍රයෙන් මන්ත‍්‍රීවරුන් තනන නාලිකාද තිබෙන්නේය. සමහර නිවේදකයෝ මන්ත‍්‍රීවරුන් බවට පත්වීමෙන් පසුත් එම නාලිකාවල නිවේදකයන් ලෙස සේවය කරති. දේශපාලන සංවාදවලට පුද්ගලයන් තෝරා ගැනීමේදී ප‍්‍රමුඛතාව ලබාදෙනුයේ නාලිකාවේ දේශපාලකයන්ට, නාලිකාවේ වැටුප් ලැයිස්තුවේ සිටින දේශපාලකයන්ට, නාලිකාවට හිතවත් දේශපාලකයන්ට හා නාලිකාව අල්ලා ගත යුතුයැ’යි කල්පනා කරන දේශපාලකයන්ටය. දේශපාලන සංවාදවලදී වැඩි කැමැත්තක් දක්වන්නේද බුද්ධිමය නිම්වළලූ පුළුල් කරන දේශපාලන සංවාදයන්ට නොව ත‍්‍රාසය හා සරල විනෝදය ගෙන දෙන කුකුල් පොර ගණයෙහිලා සැලකිය හැකි සංවාදයන්ටය. රටේ දැවෙන ප‍්‍රශ්න ගැන කෙරෙන ගැඹුරු සංවාද ඇත්තේම නැති තරම්ය. කලාව හා සාහිත්‍යයේදීද සමාජයේ රසඥතාව දියුණු කිරීමට හේතුවන වැඩසටහන් ඇත්තේම නැති තරම්ය.

කුමක් කළ හැකිද?

අපේ රටේ පවත්නා දූෂිත, අකාර්යක්ෂම, අනුවණ අවුල් හා ගැටුම්වලින් පිරුණු තත්ත්වයට දේශපාලකයන් තරමටද ජනමාධ්‍ය වගකිව යුතුය. ඉතාමත්ම අවාසනාවන්තම දේ වනුයේ සමාජයට දේශපාලනය ගැන විවේචනයක් ඇතත් ජනමාධ්‍ය ගැන විවේචනයක් නොතිබීමය. රටට යහපත් ඉදිරි ගමනක් අවශ්‍ය නම් රටේ දේශපාලන ආයතන ක‍්‍රමය පමණක් නොව ජනමාධ්‍ය ආයතන ක‍්‍රමයද ප‍්‍රතිසංස් කරණයට ලක් කළ යුතුය.

අපේ රටේ ජනමාධ්‍ය ක‍්‍රියාකරන වගකීමෙන් තොර තත්ත්වයට සමාන තත්ත්වයක් දෙවැනි ලෝක යුද්ධ කාලය වන විට ඇමරිකාවේද තිබුණි. ඒ කාලයේ ඇමරිකාවේ පුවත්පත් තිබුණේද දඩාවතේ යන තත්ත්වයකය. පුවත්පත්වල ආයතන හිමිකරුවෝ පුවත්පත් නිසා තමන්ට ලැබී තිබුණු අතිවිශාල බලයෙන් අයුතු ප‍්‍රයෝජන ලැබුවෝය. ඔවුහු තමන්ගේ පුවත්පත්වලින් තමන්ගේ මත ප‍්‍රචාරය කළ අතර තමන් කැමති නැති මතවලට පහරදෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළෝය. හිමිකරුවෝ පුවත්පත්වල අන්තර්ගතය කෙරෙහි බලපෑවෝය. එසේම පුවත්පත් යහපත් සමාජ වෙනස්කම්වලට බාධා කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය.

එහෙත් ලංකාවේ මෙන් නොව ඇමරිකන් පුවත්පත්වල එම හැසිරීම ඇමරිකන් සමාජයේ උණුසුම් කතාබහට හේතුවී තිබුණි. ඇමරිකන් සමාජයේ මතුවී තිබූ එම සංවාදය 1942 දෙසැම්බරයේදී Encyclopaedia Britannica අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී සාකච්ඡාවට බඳුන් වී ටයිම් සඟරාවේ කර්තෘ හා ප‍්‍රකාශකයා ලෙස ක‍්‍රියා කළ හෙන්රි ලූස් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ඇමරිකන් පුවත්පත් කර්මාන්තයේ තත්ත්වය හා අනාගතය ගැන සොයා බැලීම සඳහා කොමිෂන් සභාවක් පත්කිරීමට තීරණය කළේය. එම කොමිෂන් සභාවේ සභාපති ලෙස ක‍්‍රියා කළේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස ක‍්‍රියා කළ රොබට් හචින්ස්ය. ටයිම් සඟරාව එම කොමිසමේ බර පැන ඉසිලූවේය. ඇමරිකන් පුවත්පත් කර්මාන්තය කෙරෙහි අතිවිශාල බලපෑමක් ඇති කළ මෙම කොමිසම ප‍්‍රකට වූයේ ‘මාධ්‍ය නිදහස පිළිබඳ කොමිසම’ වශයෙනි. මෙම කොමිසම ඉදිරියේ මහජනයා හා ශාස්ත‍්‍රාලයීය උගතුන් පමණක් නොව ජනමාධ්‍යවේදීහුද සාක්ෂි දුන්නෝය. කොමිසමේ සාක්ෂි විභාගයන් ජනමාධ්‍යවල විස්තරාත්මකව පළවීම නිසා ඇමරිකන් පුවත්පත්වලට දඩාවතේ යන ගමන වෙනස් කොට සමාජ වගකීමෙන් යුතු නව ගමනක් සඳහා ප‍්‍රතිපත්ති ඇතිකර ගැනීමට සිදුවිය. ජනමාධ්‍යවලට බලපාන සමාජ වගකීම් න්‍යාය (Social Responsibility Theory) හඳුන්වා දෙන ලද්දේ මෙම කොමිෂන් සභාවේ සභාපති විසිනි. ඔහු එම න්‍යාය ගැන ඒ නමින්ම ඉතා වැදගත් පොතක්ද ලියා පළ කළේය.

මේ මොහොතේ ලංකාවටද ජනමාධ්‍ය ගැන කරුණු සොයා බලන එවැනි කොමිෂන් සභාවක් අවශ්‍යවේයැ’යි මම තරයේ විශ්වාස කරමි. ලංකාවේ ජනමාධ්‍ය තිබෙන අවලස්සන තත්ත්වය නියම ලෙස හඳුනා ගනිමින් ඇති කළ යුතුව තිබෙන ප‍්‍රතිසංස්කරණ මොනවාද යන්න තේරුම් ගැනීමට හැකිවනු ඇත්තේ එවිටය. එවැනි කොමිෂන් සභාවක අරමුණ විය යුත්තේ ජනමාධ්‍ය නිදහසට රජයෙන්ද, හිමිකරුවන්ගෙන්ද, වෙනත් ආකාරවලින්ද එල්ල වී තිබෙන හානිකර බලපෑම් නැති කොට සමාජ වගකීමෙන් ක‍්‍රියාකරන ජනමාධ්‍ය සංස්කෘතියක් සඳහා අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ නිර්දේශ කිරීමය.