රාවය

ජාතික ආණ්ඩුවක් හා නව ව්‍යවස්ථාවක් හදනවා | තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

ජාතික ආණ්ඩුවක් හා නව ව්‍යවස්ථාවක් හදනවා | තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

 

මුලින්ම දැනගන්න කැමතියි වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සහ දින සියයේ වැඩපිළිවෙළ ගැන ඔබගේ අදහස.

දින සියය ඇතුළේ අපි ගොඩාක් ජයග‍්‍රහණ මේ රටට ජනතාවට ලබාදුන්නා. යම් යම් දේවල් කරන්න බැරිවුණා. ජනතාව එක දෙයක් තේරුම් ගත යුතුයි. ඒකට හේතුව තමයි මේ පාර්ලිමේන්තුවේ අපේ ආණ්ඩුවට බහුතරයේ කැමැත්ත නැතිවීම. මේ පාර්ලිමේන්තුව තමයි 18 වැනි සංශෝධනය හඳුන්වා දීලා මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුලා දාන්න තීරණය කළේ. එවැනි පාර්ලිමේන්තුවක් සමග අපි ගනුදෙනු කරලා 19 වැනි සංශෝධනය ගෙන ආවා. ඒක ජනතා ජයග‍්‍රහණයක්. එක පැත්තකින් ඒක ජනතාවගේ බලය පෙන්වීමක්. මේ ජනතා බලය නිසාම ප‍්‍රජාතන්තවාදය විනාශ කළ පාර්ලිමේන්තුවකට නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරන තැනකට යන්න වුණා.
අනෙක තමයි වංචාවට දූෂණයට විරුද්ධව කටයුතු කිරීම. මීට පෙර බලයට ආ කිසිම ආණ්ඩුවක් පසුගිය ආණ්ඩුව කළ වැරදි සොයන තැනකට ගියේ නැහැ. එහෙත් අපේ රජය ඒ ස්ථාවරය වෙනස් කරලා රටේ සම්පත් තමන්ගේ සාක්කුවලට දාගත් පසුගිය රජයේ ප‍්‍රබල පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරලා තියෙනවා. සමහරුන්ට විරුද්ධව පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා. මේක රටක් වෙනුවෙන් අනාගතය වෙනුවෙන් හොඳ පියවරක්.

ඔබ කොහොම කීවත් පසුගිය ජනාධිපතිවරණයේදී පොරොන්දු වුණ විදිහට රාජපක්ෂ පවුල පිළිබඳව පරීක්ෂා කිරීම කෙරෙනවා පෙනෙන්න නැහැනේ.

වැරදිකරුවන්ට විරුද්ධ පරීක්ෂණ සහ ඔවුන්ට විරුද්ධව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම කියන මේ කාරණා පසුගිය රජයන් හා සසඳන කොට වෙනස්. අපි මේ සියලූ ක‍්‍රියාමාර්ගයක්ම පවතින නීතියට යටත්ව තමයි කරන්නේ. එහෙම කළාම පොඩි මන්දගාමී බවක් සහ කිසි දෙයක් වෙන්නේ නැහැ වගේ ගතියක් පේනවා. එතකොට ඔබ ඔය කියන චෝදනාව ජනතාවගේ පැත්තෙන් සාධාරණයි. පසුගිය රජය කළා වගේ මේ දේවල් පවත්නා නීති උඩින් ඉඳගෙන කළොත් ඒක ජනතාව පිළිගන්න එකක් නැහැ. මගේ පුද්ගලික විශ්වාසය නම්, රටක් සංවර්ධනය කරන්න අවශ්‍ය නම් ඒ රටේ වංචාව දූෂණය තුරන් කළ යුතුයි. වංචාව දූෂණය තුරන් කිරීමට ඒ රටේ අදාළ නීති පද්ධතිය බලාත්මක කරන ගමන්ම අදාළ ක‍්‍රියාවලට වැරදිකරුවන් වන පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුයි. නැතුව කවදාවත් මේ රට දියුණු කරන්න බැහැ.

පසුගිය ජනවාරි 8 මෛත‍්‍රීපාල මහත්තයා දිනනවා. එහෙත් ඔහු පරාජිතයකු වගේ තමයි හැසිරෙන්නේ. ඊට ප‍්‍රතිපක්ෂව මහින්ද රාජපක්ෂ ජයග‍්‍රාහකයකු වගේ හැසිරෙනවා. රටේ සිද්දවෙමින් යන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ආපසු හරවන්න ඔහු උත්සාහ කරනවා.

ඔව්, පැහැදිලිවම. අපි මේ මහින්ද රාජපක්ෂ යාන්ත‍්‍රණය ඇතුළේ තියෙන දේශපාලනික කතාව තේරුම්ගත යුතුයි. පසුගිය රජය කාලේ මේ පවුල වටේ, ඇමතිවරු වටේ එකතුවෙලා නොයෙක් වරදාන වරප‍්‍රසාද ලබාගත්ත විශාල පිරිසක් හිටියා. ඔවුන් ඔය රාජ්‍ය යාන්ත‍්‍රණය හරහා ධනය වගේම බලයත් ගොඩනඟා ගත්තා. මේ කිසි කෙනෙක් කල්පනා කළේ නැහැ, 8 වැනි දා තමන් පරාජයට පත්වෙයි කියලා. මෙයාලා හැමදාම බලයේ ඉන්න තමයි පිඹුරුපත් සකස් කළේ. හීන දැක්කේ ඒ වෙනුවෙන්. ඒ නිසා මෙයාලට අද ධනය සහ බලය නැතුව පවතින්න බැහැ. ඒ නිසා මෙයාලා ජනවාරි 9 වැනිදාම නැවත කොහොම හරි නැතිවුණ බලය ගන්න ඕනෑ කියලා ව්‍යාපෘතියක් හැදුවා. ඒක තමයි ඔය ක‍්‍රියාත්මක වෙන්නේ. අනික මේ පිරිස අතේ පසුගිය කාලයේ එකතු කරගත්ත සල්ලි ඕනෑ තරම් තියෙනවා. අද ඒවා පොම්ප කරමින් මේ ජනතා ජය ආපස්සට හරවන්නයි මේ හදන්නේ. අනික ඔවුන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක වීම වළක්වා ගැනීමේ අරමුණත් මේ ව්‍යාපෘතියේම කොටසක්.

නව රජය යටතේ ඔබ සතු අමාත්‍යාංශය පසුගිය කාලයේ පාලනය වුණේ ඩලස් ඇමතිවරයා යටතේ. ඔහු කියන විදිහට ඇත්තටම ඔහුගේ දෑත් පිරිසිදු ද?

පසුගිය කාලයේ නිල් බලකාය කොහේද තිබුණේ? කවුද තරුණ සේවා සභාව පාලනය කළේ? මේ ප‍්‍රශ්න ගැන හිතනකොට සහ දැන් මට මේ අමාත්‍යාංශයේ වෙලා තියෙන දේවල් ගැන දැනගන්න ලැබෙනකොට මට හිතෙනවා පසුගිය කාලයේ ඔය කියන අමාත්‍යවරයා කොහේද හිටියේ කියලා. මේක සම්පූර්ණයෙන්ම යොදවලා තිබුණේ කුමාරවරුන්ගේ ප‍්‍රතිරූප ගොඩනගන්න. ඔවුන් පුම්බන්න. මේකේ තියෙන සම්පත් ධනය සේරම වැයකරලා ලොකු ලොකු මාධ්‍ය සංදර්ශන පවත්වමින් තරුණයන්ට කියලා කරලා තියෙන්නේ කුමාරවරුන්ගේ තාරුණ්‍යයට හෙටක් හදන එක. ඒ කාලේ තරුණ සමිති ඇතුළේ තරුණ සේවා සභාව ඇතුළේ වෙනස් මතයක් දරන තරුණයකුට තරුණියකට අවස්ථාවක් තිබුණේ නැහැ. මේ වෙනකොට මගේ අමාත්‍යාංශයේ විශාල ප‍්‍රමාණයක් දූෂණ වංචා සිද්දවෙලා තියෙනවා කියලා මට පැමිණිලි ලැබිලා තියෙනවා. මම විෂය භාර අමාත්‍යවරයා විදියට ඒ පැමිණිලි අදාළ අංශවලට යොමු කරලා තියෙනවා. විගණන වාර්තා වගේ දේවල් ඇවිත් තියෙනවා. මේ හැමදෙයක් ගැනම ඉදිරියේදී විමර්ශන සිද්ධවෙයි. පවතින චෝදනා සත්‍ය නම් ඒවාට විරුද්ධව නිසි නීති ක‍්‍රියාමාර්ග ගන්නවා. එතකොට තේරෙයි දෑත් පිරිසිදු කාගෙද, නැත්තේ කාගෙද කියලා.

තරුණයන්ට වැඩකරන්න ඔවුන්ගේ තරුණ ජීවිතය නගා සිටුවන්න පිහිටුවා තිබෙන ඔබේ ආයතනය පසුගිය කාලයේ කළේ කුමාරයන්ගේ ජීවිත නගා සිටුවන එක. දැන් කරන්නේ මොනවද?

දැන් අපි මේ ආයතනය දේශපාලනයෙන් මුදවලා තරුණ ප‍්‍රශ්න ගැන වැඩකරන ආයතනයක් බවට පත් කරමින් යන අවස්ථාවක ඉන්නේ. මේ වෙනකොට ගමේ තරුණ සමිති 10,000ක් අපි නැවත ආරම්භ කරලා තියෙනවා. පසුගිය ආණ්ඩුව කාලයේ මේවා නැවතිලා තිබුණේ. එහෙමත් නැතිනම් එක්තරා පිරිසකට සීමාවෙලා තිබුණා. අපි අද වෙනකොට විරැුකියාව, නායකත්වය, අධ්‍යාපනය වගේ දේවල් කේන්ද්‍ර කරගත්ත දිගුකාලීන වැඩපිළිවෙළක් තරුණයන් වෙනුවෙන් සකස් කරමින් ඉන්නවා. මේ වැඩපිළිවෙළේදී යොවුන් පාර්ලිමේන්තුව වගේම යොවුන් සේනාංකයත් ගොඩාක් වැදගත් මෙහෙවරක් කරයි. දින සියය වැඩපිළිවෙළ ඇතුළෙත් අපි යොවුන් පාර්ලිමේන්තුවට මිලියන 200ක් වෙන් කළා. යම් රටක් දියුණු වෙන්න ඒ රටේ තරුණ පිරිස වගේම ඒ අයගේ සෞඛ්‍යය, අධ්‍යාපනය සහ තාක්ෂණික ඥානය සංවර්ධනය කළ යුතුයි. තරුණ තරුණියෝ කියන්නේ එකම සමාජ මට්ටමක එකම අරමුණුවල එකම අධ්‍යාපන මට්ටමක සිටින අය නෙවෙයි. අපි තරුණයන්ගේ ප‍්‍රශ්න ගැන කල්පනා කරන කොට මේ ගැන අනිවාර්යයෙන් සිතිය යුතුයි. අනෙක තමයි අද සමහර පරාජිත දේශපාලකයන් රටේ තරුණයන් ජාතිවාදී ආගම්වාදී උමතුවකට දක්කමින් දේශපාලන වාසි ලබාගන්න උත්සාහ කරනවා. අපි ඒකටත් තිත තැබිය යුතුයි. ඒකීය ශ‍්‍රී ලංකාවක් ඇතුළේ අපි ජනවර්ග සියල්ලම සාමයෙන් සහෝදරත්වයෙන් ඉන්න තරුණයන් දිරිගැන්විය යුතුයි.

යුද්ධයෙන් විනාශ වුණ උතුරුු-නැගෙනහිර තරුණ ජීවිත නැවත ගොඩනගන්නට අමාත්‍යාංශයේ මැදිහත් වීම මොකක්ද?

කියන්න සතුටුයි, අපි මේ වෙනකොට මේ ප‍්‍රදේශවල අපේ තරුණ සමිති ආරම්භ කරලා තියෙනවා. පසුගිය යුද්ධ කාලයත් සමග මේ ප‍්‍රදේශවල තරුණ සේවා සභාව වැඩ කරලාම නැහැ. පසුගිය දවසක අපි සමරන ලද තරුණ දිනයටත් මේ පළාත් දෙකෙන්ම විශාල තරුණ ප‍්‍රජාවක් සහභාගි වුණා. ඔවුන්ට තියෙන මූලික ගැටලූ තමයි විරැුකියාව, තාක්ෂණික දැනුම මදිකම වගේ දේවල්. අපි ඒවාට පිිළිතුරු සෙවිය යුතුයි. අගමැතිවරයාත් කියලා තියෙනවා ඉදිරි කාලයේදී රැුකියා අවස්ථා ලක්ෂ 10ක් අලූතින් ඇති කරනවා කියලා. එතකොට දැන් අපේ ආමාත්‍යාංශයේ ප‍්‍රතිපත්තිය විය යුත්තේ තරුණ තරුණියන් මේ සඳහා සූදානම් කිරීම. ඒකට පක්ෂ පාට ආගම් සීමා බේදයක් නැහැ. අපි ඒකීය ලංකාවක තරුණයන් විදිහට කටයුතු කළ යුතුයි. රටක අනාගතය රඳා පවතින්නේ ඒ රටේ තරුණ තරුණියන්ගේ ජීවිත ගොඩනගන ක‍්‍රමය මත. දැන් අපි තරුණයා නිසි පදනමක පිහිටුවන්න කටයුතු කරමින් යනවා.

20 වැනි සංශෝධනයේදී ආණ්ඩුව විශේෂයෙන් එජාපය අනුගමනය කරන්නේ දෙබඩි පිළිවෙතක් කියලා චෝදනාවක් තියෙනවා.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂයක් විදියට අපි කැමතියි. එහෙත් අපි මේකත් තේරුම්ගත යුතුයි. අපි හිතනවා නම් 20 වැනි සංශෝධනය සම්මත කරගත් පමණින් අපේ දේශපාලකයෝ හැසිරෙන විදිහ නිවැරදි වෙයි කියලා, ඔවුන් සල්ලි වියදම් කරන ප‍්‍රමාණය අඩු කරයි කියලා, අපි වැරදියි. අපි මෙතැනදී බලන්න ඕනෑ මේ ක‍්‍රමය හරියටම දෙන්න. සුළු පක්ෂවලට අවාසියක් නොවෙන විදියට ඔවුන් දේශපාලනයෙන් ඉවත් නොකරන විදියට වැඩ කරන්න. අපිට මතකයි මෑත ඉතිහාසයේ පක්ෂ තහනම් කළාට පක්ෂ දේශපාලනයෙන් ඉවත් කළාට මොකද වුණේ කියලා. එහෙම තහනම් වුණ සමහර දේශපාලන ව්‍යාපාර ඊට පස්සේ ත‍්‍රස්තවාදය තමයි අනුගමනය කළේ. එක ප‍්‍රශ්නයක් විසඳන්න ගිහින් ප‍්‍රශ්න කෝටියක් ඇති කරගත යුතු නැහැ. අපිට කල් තියෙනවා. මේකට අවශ්‍ය කාලය අරගෙන සීමා නිර්ණය කරලා රටේ සියලූ පක්ෂ සමග සාකච්ඡුා කරලා ඒ සියලූ පක්ෂ එකඟ වන යෝජනාවකට යෑම තමයි රටක් විදිහට අප කළ යුත්තේ.

අද බොහෝ දෙනකුට වර්තමාන දේශපාලන තත්ත්වය පේන්නේ ව්‍යාකූල විදිහට. සමහරු කියනවා රට අස්ථාවරයි කියලා. සමහරු කියනවා වහාම පාර්ලිමේන්තුව විසිරවිය යුතුයි කියලා. ඒ අතර තවත් සමහරු කියනවා අගමැති තනතුර සන්ධානයට ලබා දී පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි කියලා.

ඔව්. රට අස්ථාවරයි කියනවා, රජයේ අගමැතිට මැති ඇමතිවරුවන්ට විරුද්ධ දෝෂාභියෝග ගේනවා කියනවා. මේ සේරම කතා එන්නේ ජනතාව බලයෙන් ඉවත් කළ අය අතරින්. මම මුලින් කියුවා වගේම මොවුන්ට බලය නැතිව ජීවත්වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ අසහනය තමයි මේ එළියට එන්නේ නොයෙකුත් විරෝධතා විදිහට. අද මේ අසහනය කොච්චර ඔඩුදුවලාද කියනවා නම් සමහර මන්ත‍්‍රීවරුන්ට අද පාර්ලිමේන්තුව අමතක වෙලා තියෙනවා. ඔවුන් අද මෙරටේ දෙවෙනි පුරවැසියා අමතන්නේ කුණුහරුපෙන්. පාර්ලිමේන්තුවේ කතා නායක ඊට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නේ නැහැ. පූර්වාදර්ශ අනුගමනය කරන්නේ නැහැ. ඔහේ බලාන ඉන්නවා.
අපි ජනතාවට කියුවේ මේ ආණ්ඩුව අපේ‍්‍රල් 23 විසුරුවනවා කියලා. අපි දැනටත්් ටිකක් ප‍්‍රමාදයි. මම හිතන්නේ පසුගිය ජනවාරි 8 වැනි දා ජනමතය සමග 2010 මේ පාර්ලිමේන්තුවත් අහෝසි වුණා කියලා.

හිටපු ජනාධිපති අගමැති අපේක්ෂකයා කළ යුතුයි කියලා කියන මන්ත‍්‍රීවරු අද හැසිරෙන්නේ මේ ජනවාරි 8 වැනිදා ජනමතයට පිටුපාලා. අද රට අස්ථාවර වෙලා නම් ඒකේ ලොකුම වැරදිකරුවන් මේ කියන අයමයි. මේ කියන අය 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනා වෙලාවේ හැසිරුණේ කොහොමද කියලා මේ රටේ ජනතාව දන්නවා.

මම හිතන්නේ නැහැ, මේ බලය ගැන අධික තණ්හාවකින් කටයුතු කරන, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ කරන්න බලාගෙන ඉන්න අයගේ අදහස් අපේ ජනපතිතුමා අහයි කියලා. දැන් තියෙන්නේ මොවුන්ගේ මේ නාටක පැත්තකට කරගන්න කියලා පාර්ලිමේන්තුව විසුරුවන එක. එතකොට ජනතාවට පුළුවන් තමන් කවුරු විසින් ඉදිරි කාලයේදී පාලනය කළ යුතුයි ද කියලා තීරණය කරන්න. අනික අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි පාර්ලිමේන්තුවේදී 19 වැනි වාරයක් සංශෝධනය කරගත්ත මේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා රටට හිතකර නව ව්‍යවස්ථාවක් හදන්න. ඒ වගේම රට දියුණු කළ යුතුයි රට සංවර්ධනය කළ යුතුයි කියලා හිතන පක්ෂ විපක්ෂ සියල්ලම එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් හදලා අඩුම තරමින් අවුරුදු 4ක් වත් එකට වැඩකරලා මේ රට දියුණු කරන්න. ජනතාවත් නව පාර්ලිමේන්තුවට පත්කරන මන්ත‍්‍රීවරුන් ගැන දෙවරක් සිතා බැලිය යුතුයි. අනෙක් පැත්තෙන් පක්ෂවල නායකයන්ටත් යම් වගකීමක් තියෙනවා ලබන ඡුන්දයේදී හොඳ විනයගරුක බුද්ධිමත් වැදගතුන්ට නාම යෝජනා දීලා රටේ ගොඩනැගෙමින් තිබෙන මේ ජනතා මතයට ගරු කරනවා කියලා පෙන්වන්න.