රාවය

ඡන්දෙට පෙර විස්ස

ඡන්දෙට පෙර විස්ස

අජිත් පැරකුම් ජයසිංහ

මේ දිනවල රටේ සිදු වන දේශ පාලනික සං වර්ධනයන් ඔස්සේ සිවිල් සමාජයත්, දේශපාලන පක්ෂත් අතර වෙනස ඉතා පැහැදිලිව සලකුණු වෙමින් තිබේ. 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු සමාජයේ පුළුල් කතිකාවකට ලක් වූ යෝජනා මාලාවකි. රාජපක්ෂ පවුල වැනි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බලවේග අතළොස්සක් හැර මේ රටේ බහුතරයක් දේශපාලනඥයන් හා බුද්ධිමත් ඡුන්දදායකයන් අතර දහනමයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා ගැන පුළුල් එකඟත්වයක් තිබිණි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට නො වේ නම්, එහි අත්තනෝමතික බලතල අවම කිරීම සම්බන්ධයෙන් සමාජයේ එකඟතාවක් තිබිණි. ස්වාධීන කොමිෂන් ඔස්සේ අධිකරණය, පොලිසිය, රාජ්‍ය සේවය ස්වාධීන කිරීම සම්බන්ධයෙන් ද, දූෂණය නැති කිරීම හා නීතියේ ආධිපත්‍යය පිහිටුවීම සම්බන්ධයෙන් ද සමාජයේ පොදු එකඟතාවක් තිබිණි. සිවිල් සමාජය මේ වෙනුවෙන් වූ අරගලයට උර දුන් අතර, අවසානයේදී එය හිටපු ජනාධිපතිවරයාගේ තුන්වන වර තේරී පත්වීම වැළැක්වීමට හා අලූත් ජනාධිපතිවරයකු පත් කර ගැනීම ඔස්සේ මෘදු ප‍්‍රජාතාන්ත‍්‍රික විප්ලවයක් දෙසට ද යොමු විය.

ජනවාරි 8දා මුල පුරන ලද විප්ලවය සත්තකින් ම දේශපාලන පක්ෂවලට වඩා සිවිල් සමාජය බලවත් වීමෙන් ඇති කරන ලද්දක් ලෙස සැලකීමෙහි වරදක් නැත. මෛත‍්‍රීපාල සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන් වී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව තරග කිරීමේ තීරණාත්මක අභියෝගය භාර ගැනීමට පෙළඹුණේ ද, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති තරගයෙන් ඉවත් වී මෛත‍්‍රීපාල සිරිසේනට එම අවස්ථාව ලබා දුන්නේ ද පක්ෂ දේශපාලනය ඉක්මවා ක‍්‍රියාත්මක වූ මෙම සිවිල් සමාජ දේශපාලන ක‍්‍රියාකාරිත්වයේ ප‍්‍රතිඵලයක් ලෙසයි.

එහෙත්, දහනමය ඇත්තෙන් ම ක‍්‍රියාත්මක කරන්නට කටයුතු කරද්දී නැවතත් පක්ෂ දේශපාලනයේ, පවුල්වාදයේ හා පසුගාමිත්වයේ බලපෑම ඉස්මතු විය. ප‍්‍රජාතාන්ත‍්‍රිකයකු ලෙස එක් කලෙක කීර්තියක් දිනා සිටි මහාචාර්ය ජී.එල්. පීරිස් හා පාර්ලිමේන්තු කේන්ද්‍රීය දේශපාලනය පිළිබඳ හසලයකු වූ දිනේෂ් ගුණවර්ධන වැනි අය යූ අකුරේ හැඩයට ආපසු හැරෙමින් මහින්ද රාජපක්ෂගේ ප‍්‍රතිගාමී දේශපාලන අරමුණු සමග එක් වූ ආකාරය මේ සඳහා කදිම නිදසුනක් ලෙස සැලකිය හැකි ය. 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දීප්තිය හැකි තරම් අඩු කරන්නට මෙම ප‍්‍රතිගාමී බලවේග උපරිමයෙන් දායක වූ හ. ඒ වනාහි පවත්නා දේශපාලන ව්‍යුහය හා සිවිල් සමාජය අතර වෙනස පෙන්නුම් කළ එක් අවස්ථාවකි.

දැන් මේ වෙනස පෙන්නුම් කරන තවත් අවස්ථාවක් උදා වී තිබේ. ඒ 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙනි. වසර 35කට වැඩි කාලයක් තිස්සේ මෙරට ක‍්‍රියාත්මක වූ සමානුපාතික හා මනාප ඡුන්ද ක‍්‍රම ඔස්සේ නැවත වතාවක් මැතිවරණයක් නො පැවැත්විය යුතු බවට සිවිල් සමාජය ප‍්‍රබල හඬක් නගමින් සිටියි. මේ වන විට 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් කෙටුම්පත් කර ද තිබේ. එහෙත් ඒ හා සම්බන්ධ ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල උනන්දුව ප‍්‍රමාණවත් නැත.

පසුගිය දශක තුනක අත්දැකීමෙන් පෙන්නුම් කරන දෙයක් වන්නේ සමානුපාතික නියෝජනය හා මනාප ක‍්‍රමය ලංකාවට නො ගැළපෙන බවයි. 2010 මහ මැතිවරණය වන විට තත්ත්වය කෙතරම් නරක අතට හැරී තිබුණා ද යත්, එක්තරා මාධ්‍ය ආයතනයක් ද එම මැතිවරණයට තරග කළේ ය. පක්ෂවලට ප‍්‍රචාරය ලබා දීම වෙනුවෙන් අල්ලස් ලෙස අපේක්ෂකත්වයන් ලබා ගත් අතර, තමන්ගේ අපේක්ෂකයන් වෙනුවෙන් වැඩි ප‍්‍රචාරයක් ලබා දී ඔවුන් මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරවා ගන්නා ලදි. එසේ පාර්ලිමේන්තුවට පත් වූ මාධ්‍යකරුවෙක් තමන්ට ඡුන්දය දුන් පාක්ෂිකයන්ට පැය ගණනාවක් ඇතුළත පිටුපාමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එකතු වූයේ ය. මෙකී මාධ්‍ය ආයතනය නැවතත් සිය සුපුරුදු සෙල්ලම ආරම්භ කර තිබේ. ඔවුන්ගේ නියෝජිතයෝ දේශපාලන පක්ෂ ගණනාවක් ඔස්සේ මීළඟ මහ මැතිවරණය වෙනුවෙන් සූදානම් වෙමින් සිටිති. දවල්ට පාර්ලිමේන්තු යන ඔවුහු හැන්දෑවට මාධ්‍ය ආයතනයේත්, ? දෙගොඩහරියේ දේශපාලන නායකයන්ගේ අගුපිල්වලත් ලගිති. මේ වනාහි ගමේ චණ්ඩියා හා බල්ලන් මරා හෝ සල්ලි සොයා ගත් ලොකු ම ධනවතා පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමේ ක‍්‍රමයේ එක් කූටප‍්‍රාප්තියකි.

ප‍්‍රධාන දේශපාලන පක්ෂ කිසිවක් 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන උනන්දුවක් දක්වන්නේ නැත. ජනාධිපතිවරයා පවා පසුගිය සමයේ සිටියේ ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂවල සහයෝගය ලබා ගැනීම දුෂ්කර වනු ඇත යන ස්ථාවරයේ බව දැනගන්නට ලැබිණි. එහෙයින් නැවත වතාවක් පවත්නා ක‍්‍රමය යටතේ ම මහ මැතිවරණයක් පවත්වා, තේරී පත් වන මන්ත‍්‍රීවරුන්ගේ සහයෝගය ලබාගෙන මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබිණි. මෙහිදී එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අලූත් ක‍්‍රමයකට හැඩගැසීමට තදබල අකැමැත්තක් දක්වන බව පෙනේ. මෙම පක්ෂවල වත්මන් සංවිධාන ව්‍යුහයන් නිර්මාණය වී තිබෙන්නේ මනාප ක‍්‍රමය ඔස්සේ ඉදිරියට ආ පුද්ගලයන්ගෙන් වීම එයට ප‍්‍රධාන හේතුවයි. ඔවුන් දේශපාලනය ලෙස තේරුම් ගන්නා දෙයත්, නවීන ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණත් අතර සැලකිය යුතු පරතරයක් තිබේ.

20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා අනුව පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත‍්‍රී සංඛ්‍යාව වැඩි වන අතර සුළු පක්ෂ හා සුළුතර ජාතීන්ට අසාධාරණයක් වන්නේ නැත. එසේම, කාන්තා නියෝජනයට වැඩි අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාව ද එහි තිබේ. හොඳම තරගයක් දුන් පරාජිතයන්ට ද පාර්ලිමේන්තුවට තේරී පත් වීමේ අවස්ථාව හිමි වේ. ආසන නියෝජිතයෙකු තේරී පත් වන නිසා මන්ත‍්‍රීවරුන්ගේ වගවීම සම්බන්ධ තත්ත්වයන් ද වඩා හොඳ පැත්තට වෙනස් වේ. කළුතරින් පාර්ලිමේන්තුවට පත් වී කළුතර පැත්ත පළාතේ නො එන අර්ජුන රණතුංග වැනි දේශපාලකයන් ඒ ඔස්සේ බිහි වන්නේ නැත. මෙහි තිබෙන හොඳම දෙය වන්නේ මහා ධන කුවේරයන් හා චණ්ඩින් වෙනුවට වෘත්තීය දේශපාලනඥයන්ට පාර්ලිමේන්තුවට තේරී පත් වන්නට අවස්ථාවක් මේ ඔස්සේ උදා කර ගැනීමට හැකි වීමයි. නව ක‍්‍රමය අනුව මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම මාස කීපයක් තුළ සිදු කළ හැකි බව විශේෂඥයෝ පවසති. ගැටලූ මතු විය හැකි ය. එහෙත්, ඒ ගැටලූ ඊළඟ මහ මැතිවරණයකට පෙර විසඳා ගැනීමට පුළුවන. දැන් තිබෙන මූලික ගැටලූව වන්නේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමයි. ඒ ඔස්සේ මහජන නියෝජනය විධිමත් කර ගන්නට පුළුවන. එය සුවිසල් සමාජ ජයග‍්‍රහණයකි. ඒ සඳහා අතේ තිබෙන අවස්ථාව ඉවත දැමිය යුතු නැත.

එහෙත්, මේ අතරතුර රටේ දේශපාලන පක්ෂවල අවධානයට යොමු වී තිබෙන්නේ ඉදිරි මහමැතිවරණය ජයගන්නා ආකාරය පමණි. ඒ වෙනුවෙන් උපායමාර්ග තෝරාගන්නා ආකාරය හා සන්ධාන ගොඩනගා ගන්නා ආකාරය කෙරෙහි අවධානය යොමු කරන ඔවුහු 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නො තකා හරින්නට උත්සාහ කරති.

රාජපක්ෂ පවුලේ ප‍්‍රතිගාමී අරමුණු නැවත වතාවක් සමාජයට සුවිසල් බලපෑමක් කිරීමට සමත් වී තිබේ. ඔවුන්ගේ මූලික අවශ්‍යතාව වී තිබෙන්නේ තමන්ටත්, තමන්ගේ ගෝලබාලයන්ටත් එල්ල වන දූෂණ චෝදනා වළක්වා ගැනීමයි. ඒ වෙනුවෙන් දූෂණ චෝදනා තිබෙන වෙනත් දේශපාලනඥයන් සමග හා ජාතිවාදයට, ඒකාධිපතිවාදයට ලොල් පිරිස් සමග සන්ධාන නිර්මානය වෙමින් තිබේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ රාජපක්ෂ පවුල විසින් ඇති කරන ලද දූෂිත ක‍්‍රමයේ බලපෑම මුල් බැස තිබේ. ඒ නිසා ජනවාරි 8දා ඇති කරන ලද වෙනසට වඩා තවමත් පක්ෂය තුළ නැඹුරුව තිබෙන්නේ සුපුරුදු දූෂිත දේශපාලනයට ය.

මෙම සන්දර්භය තුළ ජනවාරි 8 ඉලක්ක මත ශ‍්‍රීලනිපය දෙකඩ විය යුතු ය. එය සමාජය විෂයෙහි ප‍්‍රගතිශීලී ඛණ්ඩනයකි. මහින්ද රාජපක්ෂ කෙතරම් විශාල පංගුවකට උරුම කියනවා ද යන්න මෙහිදී එතරම් වැදගත් වන්නේ නැත. කෙතරම් විශාල වුවත්, දූෂණයට පක්ෂ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි, රාජාණ්ඩුවාදී, ඒකාධිපති බලවේගයකට ලංකාවේ ස්ථිර පැවැත්මක් නිර්මාණය කර ගත නො හැකි ය. ඔවුන්ට ද එක්කෝ වෙනස් වන්නට හෝ නැතිනම් ස්වාභාවික විනාශයක් තෝරා ගන්නට සිදු වනු ඇත.
මෙට්ටය මත තබන්නට බැරි කූඩැල්ලන් වැනි වූ ශ‍්‍රීලනිපයේ ඉදිරි පෙළ නායකත්වයට මහින්ද සමග එක් වන්නට ඉඩ දී, සාපේක්ෂව දුබල වුවත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී, නවීන ශ‍්‍රීලනිපයක් නිර්මාණය කරන්නට නායකත්වය දීමේ හැකියාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඉදිරියේ තිබේ. ඒ නිමල් සිරිපාලලා සේ කුමන හෝ ආකාරයකින් ආණ්ඩුව පෙරළා බලය අල්ලා ගැනීමට ප‍්‍රමුඛත්වය දීමෙන් හා ඒ ඔස්සේ දූෂණ විමර්ශන වළක්වා ගැනීමෙන් නො වේ. එහෙමත් නැතිනම් එක්සත් ජාතික පක්ෂය සේ වත්මන් සමානුපාතික ක‍්‍රමයෙන් පැරණි දූෂිත ආකාරයට ම මීළඟ මහමැතිවරණයට මුහුණ දෙන්නට සූදානම් වීමෙන් නො වේ. 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ නවීන තත්ත්වයන්ට හැඩගැසීමෙනි. මෙය සෙසු දේශපාලන පක්ෂ විසින් ද තේරුම් ගත යුතුව තිබෙන තත්ත්වයකි.

සිවිල් සමාජ බලවේග නැවත වතාවක් ප‍්‍රබල මැදිහත්වීමකට මුල පුරා තිබේ. ඒ 20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවධාරණය කිරීම ඔස්සේ ය. මේ මොහොතේ ජනතාව බලමුළුගැන්විය යුත්තේ පැරණි ස්වරූපයෙන් පක්ෂ දේශපාලනය මත පදනම් වූ මහ මැතිවරණයකට යන්නට නො වේ. මැතිවරණ ක‍්‍රමය වෙනස් කරමින් මහජන නියෝජනයේ ගැඹුරු වෙනසක් ඇති කරන්නට ය. එය අදම කළ යුතු ය. මේ අධම ක‍්‍රමයට හෙටක් අවශ්‍ය නැත.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;