Untitled-1

Untitled-1

රාජපක්ෂවාදය ස්තී‍්‍ර දූෂණ හා රටේ දේශපාලනය


kusal

 

ජේ‍යා්ති සිං පාණ්ඬේ යන නම මතකදැයි නොද නිමි. මීට වසර දෙක හමාරකට පමණ පෙර 2012 දෙසැම්බරයේ දී නවදිල්ලියේ පෞද්ගලික බසයක ගමන් කරමින් සිටියදී තරුණන් කිහිප දෙනෙකු විසින් අතිශය කුරිරු වධ බන්ධනයන්ට ලක් කර දූෂණය කෙරුණු අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යාව ඇය විය. දූෂණයට ලක් වන කාන්තාවන්ගේ නම් මාධ්‍යයෙහි ප‍්‍රසිද්ධ කිරීම ඉන්දියාවේ නීතියට අනුව තහනම් ය. එනිසා ඇය හඳුන්වනු ලැබූයේ ‘නිර්භයා’ ලෙසින් ය. සමූහ දූෂණයට ඇය ගොදුරු කෙරුණු පුවත් ඉන්දීය මාධ්‍යයෙහි පළ වූ වහා දිල්ලියේ යෝධ විරෝධතා පැවැත් විණ. විරෝධතාවලදී ඔවුහු පොලීසිය සමග ගැටුණහ. ඉන්දීය ආණ්ඩුව මැදිහත් වී නිර්භයා ඇයගේ දෙමාපියන් සමග සිංගප්පූරු රෝහලක ශල්‍යකර්ම හා විශේෂ ප‍්‍රතිකාර සඳහා යවනු ලැබූවත් දින දෙකකදී ඇය මිය ගියාය. ඉන්දියාවේ හැම ප‍්‍රධාන නගරයකම ඒ පුවත සමගින් විශාල විරෝධතා පෙළ ගැසිණ. ස්තී‍්‍ර දූෂණ වැළැක්වීම සඳහා විශේෂ නීති පැනවීමටත් නඩු ඉක්මන් කිරීමටත් වරදකරුවන්ට මරණ දණ්ඩනය ලබා දීමටත් ලක්ෂ ගණනින් පාරට පැමිණි ජනතාව ඉල්ලා සිටියහ.

පසුගිය මැයි 13 වන දින සමූහ දූෂණයට ලක්කර වධ දී ඝාතනය කරනු ලැබූ යාපනය පුංකුඩුතීවු උසස් පෙළ ශිෂ්‍යාවක වන විත්‍යා සිවලෝගනාදන්ගේ සිරුර පසුදින සොයා ගනු ලැබුවේය. නිතර ගමට යන එන ස්විට්සර්ලන්තයේ පදිංචි රාසලිංගම් සසිකුමාර් නැමැත්තා ද එම දූෂණයට හා ඝාතනයට සම්බන්ධයැයි අසල්වාසීන් විසින් අල්ලා පොලීසියට බාර දුන් පසු ඔහු පොලිසියෙන් නිදහස්වී කොළඹට පලා ගියේය. පුංකුඩුතීවු ග‍්‍රාමයේ ජනතාව කුපිත විය. ඔවුහු පාරට බැස විරෝධතා පැවැත්වූහ. ඒ විරෝධතා අතර කොළඹට පැමිණි සසිකුමාර් වැල්ලවත්තේ දුම්රියපළ පාරේ නිවසක දී අත්අඩංගුවට ගනු ලැබිණ. සැකකරුවන් උසාවියට ඉදිරිපත් කරනු ලැබූ මැයි 20 වන දින විරෝධතා උත්සන්න විය. ප‍්‍රචණ්ඩ විය. ඔවුන්ට පොලීසියේ කි‍්‍රයා කලාපය ගැන කිසිදු විශ්වාසයක් නොතිබිණ. උසාවියට හා පොලීසියට ගල් ගැසීම පිළිබඳ අනතුරුව විවිධ කතා ඇති විය.

එහෙත් නිර්භයා දූෂණය කිරීම සමග ඉන්දියාවේ හැම නගරයකම පාරට පැමිණි මහා විරෝධතා මෙන් විත්‍යා දූෂණය කර මරා දැමීමට විරුද්ධව විරෝධතා මෙරට පැතිර ගියේ නැත. දෙසතියකට පසු ලජ්ජාවට මෙන් කොළඹ විරෝධයක් සංවිධානය වූයේ ගුරු සංගමයක මැදිහත්වීමෙනි. උතුරෙන් වාර්තා වූ පළමු එවැනි සිදුවීම විත්‍යා දූෂණය කර මරා දැමීම නොවේ. පසුගිය මාර්තුවේදී 16 හැවිරිදි සෙල්වරාසා සාරන්‍යා ද සමූහ දූෂණයට ලක් වී රෝහලේදී මිය ගියාය. ඒ සම්බන්ධ පරීක්ෂණ නිසියාකාරව නොකිරීම පිළිබඳව පොලීසියට කෙරෙන චෝදනා ඇත. ඊට වසරකට පමණ පෙර 11 හැවිරිදි දැරියක දූෂණය කළේ යැයි නාවික භටයෙකුට විරුද්ධව චෝදනා නැගිණ.
නිල වශයෙන් නොවුණද, දළ වශයෙන් උතුර හා වන්නියත් නැගෙනහිරත් ඇතුළු ශී‍්‍ර ලංකාවේ දිනකට තරුණියන් 18කු දූෂණය වන බවට ගණන් හදා ඇත. ඒ කිසිවකින් මේ සමාජය අවදිව නොකිපුණේ, මේ සමාජය සතු හෘදය සාක්ෂියක් නැති නිසාය. කාන්තා සංවිධාන මේ සියලූ සිදුවීම් හමුවේ ඔවුන්ගේ කොළඹ කේන්ද්‍රීය න්‍යාය පත‍්‍රවලට සීමාවී සිටින්නේද ඒ අවසරය සමගය. විත්‍යා සිසුවිය වෙනුවෙන් කොළඹ පළමු මැදිහත්වීම සංවිධානය කෙරුණේද කාන්තා සංවිධානවල මූලිකත්වයෙන් නොව, ළමා කටයුතු ඇමතිනියගේ කැඳවීමෙනි.

මේ සමාජයේ සංස්කෘතිය විසින් තරුණියන්ගේ ආරක්ෂාව බාර දෙන්නේ තරුණියන්ටම ය. නිදහස් අධ්‍යාපනයේ ව්‍යාප්තියත් පසුව විවෘත වෙළඳපළත් සමග නිවාසගත වූ ගෘහ සේව්‍ය භාර්යාවගෙන් මිදී බොහෝ තරුණියන් රැුකියාවල නිරත වූවත් තවමත් සමාජ මානසිකත්වය වෙනස්ව නැත. පිරිමින්ගෙන් නොකෙළසී ආරක්ෂාවීම කවමත් කාන්තාවන්ගේ දක්ෂකමය. බීමතින් එන සැමියාගෙන් ගුටි කෑමේ සිට මේ සමාජයේ ප‍්‍රචණ්ඩත්වය අපේ සිංහල සංස්කෘතිය විසින් වැඩි සද්දයක් බද්දයක් නැතිව රැුක ගන්නකි. එවැනි කාරණා පොලීසියේ වාසියටද බොහෝ විට ගැනෙන්නේය. විත්‍යා සිසුවිය සිද්ධියේ සැකකරුවන් පොලීසියට රැුගෙන එනවිට යාපනයේ පාරට පැමිණි විරෝධයේදී උසස් පොලිස් නිලධාරියෙකු වැඩිමහල් දෙමළ කාන්තාවකට එවැනි තරවටුවක් සිංහලෙන් කරනු යූ-ටියුබ් හි ජනපි‍්‍රය වූ කෙටි විඩියෝ පටයකින් ඇසිය හැකි විය. ඔබලාගේ පිරිමි හරියට හදා ගත යුත්තේ ඔබලා යැයි ඔහු ඒ වැඩිමහල් කාන්තාවට කීවේය. එහි ඇත්ත අරුත වන්නේ ‘හරියාකාරව’(??) පිරිමි හදා ගන්නට කාන්තාවන්ට බැරි නම්, පොලිසිය ඊට වග නොකියන බව ය.

මේ පොදු සමාජ පිළිගැනුම මාධ්‍ය විසින්ද ඔසවා ගෙන යන්නකි. පසුගිය දූෂණ හා ස්තී‍්‍ර ඝාතන පිළිබඳ මාධ්‍ය වාර්තාකරණ සියල්ලෙන් එවැනි අවාසනාවන්ත සිදුවීම් හොඳින් අලෙවි කළ හැකි ලෙස අසුරා ඉදිරිපත් කෙරුණා මිස සමාජය ඊට එරෙහිව දැනුවත් කිරීමේ වුවමනාවකින් ඉදිරිපත් කෙරුණා නොවේ. එනිසාම එවැනි සිදුවීම් පිළිබඳව ඉන්දීය මාධ්‍යයෙහි මෙන් පසු විපරම් වාර්තා හෝ ගවේෂණාත්මක ලිපි හා සංවාද අපේ මාධ්‍යයෙහි නැත. නිර්භයාගේ සමූහ දූෂණයෙන් පසු ඉන්දීය මාධ්‍ය ස්තී‍්‍ර දූෂණ සම්බන්ධ සමාජ කතිකාවක් ඇරඹුවේය. ඔවුහු පොලිසියේ ඉහළම නිලධාරීන්, රටේ පිළිගත් නීතිවේදීන්, ප‍්‍රධාන පෙළේ කර්තෘවරුන්, සිනමා අධ්‍යක්ෂවරුන්, කාන්තා කි‍්‍රයාකාරීන් පමණක් නොව, ඇතැම් සාකච්ඡුා සඳහා ස්වේචඡුාවෙන් ඉදිරිපත් වූ දූෂණයට ලක් වූ තරුණියන්ද සහභාගි කරවා ගත්හ. අපේ මාධ්‍යයට එවැනි සමාජ වගකීමක් නැති හෙයින් ඔවුන් හවුල් වන්නේ තිබෙන්නාවූ අන්ධ විශ්වාස හා මෝඩ වටිනාකම් සහිත ඉතිරිව ඇති වැඩවසම් සමාජීය හර පද්ධතිය හා ඇවතුම් පැවතුම් අලෙවි කරගැනීමට ය.

රාජපක්ෂ දේශපාලනයට අන්ත සිංහල ජාතිවාදය සමගින් සමාජය පුරා යළි කරක් ගහන්නට ඉඩ ඇත්තේද එබැවිනි. තිව්‍යා සමූහ දූෂණය හා ඝාතනය වැනි දෙමළ අභාග්‍යයන් අසාධාරණයන් රාජ පක්ෂලාට අත හැර යන්නට හැක්කේද එබැවින් ය. එවැනි අමනුස්සකම්වලට එරෙහිව සාධාරණය ඉල්ලා පාරට එන විරෝධයෙහි කොටි පැටව් සෙවීම අදාළ කරගත හැක්කේත් එබැවින්ම ය. එවැනි සිංහල අන්තවාදයකට යථාවාදී තර්ක අවශ්‍ය නැත. එනිසා මහින්ද රාජපක්ෂට අනුව අතීතයේද ‘‘ඊළාම් කොටි’’ ඉස්මතු වූයේ පොලිසිවලට උසාවිවලට ගල්මුල් ගැසීමෙනි. මේ ආණ්ඩුව යටතේ දැන් නැවත කොටි සංවිධානය වනවා විය හැකි යැයි ඔහු පරණ බිල්ලා ම ඔසවා ගන්නේද මෙහි ඇති අන්ධභාවය හේතුවෙනි. ඔහුගේ ඒ තර්කයම ගතහොත් ඊට දෙදිනකට පෙර හම්බන්තොට පොලිස් වාහනයකට පහර දෙනු ලැබුවේ 87-88 ආරම්භයේ මතු වූ ත‍්‍රස්ත කි‍්‍රයාවල යෙදුණු ජ.වි.පෙ හැසිරුණු ලෙසින්ම ය. එබැවින් දැන් යළි හම්බන්තොටින් ඒ ත‍්‍රස්තවාදය ඉස්මතු වන්නේ යැයි ඔහු කියන්නේද? රාජපක්ෂ දිග හැර ගන්නා අතාර්කික එහෙත් විනාශකාරී සිංහල අන්තවාදය එවැනි මන්දබුද්ධික ප්‍රෝඩාවකි. එහෙත් එය ප‍්‍රශ්න නොකෙරෙන්නේද මාධ්‍ය විසින් සමාජ සාධාරණය හා තර්කානුකූල තේරීම් අනුව තොරතුරු හා වාර්තා නොකරන හෙයිනි.

තිව්‍යා සමූහ දූෂණය හා ඝාතනය සමග එතෙක් කිසිදු එවැනි අපරාධයකදී අප නොදුටු විරෝධයක් යාපනයේ වීදි බැසීමේ අරුමයක් විස්මයක් යැයි හේතු සෙවීම ආරම්භ වූයේ ඒ විරෝධය හුදකලා විරෝධයක් ලෙස පෙනුණු හෙයිනි. වෙනත් කිසිදු විරෝධයක් කොළඹ හා අවට අප නොදුටු හෙයිනි. කොළඹ මානව හිමිකම් කි‍්‍රයාධරයන්, ස්තී‍්‍රවාදීන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ කි‍්‍රයාධරයන්, වෘත්තීය සමිති හා පාසල් ප‍්‍රජාවද ඉන්දියාවේ මෙන් තිව්‍යා වෙනුවෙන් පාරට පැමිණියේ නම්, රාජපක්ෂට යාපනයේ කොටි ගැන කතා කරන්නට ඉඩක් නොලැබෙනු ඇත. එහෙත් සිදුවන්නේ රාජපක්ෂගේ දේශපාලනය අභියෝග කිරීම වෙනුවට ඔහුගේ කතාව ඔස්සේ කුමන්ත‍්‍රණ සෙවීමට සීමා වීමය.

මේ රටේ කුමන්ත‍්‍රණ තිබිය හැක. එල්ලයක් ඇති ස්ථාවර ආණ්ඩු පාලනයක් දකින්නට නොහැකි වන විට, රාජ්‍ය නිලධරය අඩියක් පස්සට තබා ඊළඟ මැතිවරණයෙන් ස්ථාවර ආණ්ඩුවක් ඇතිවන තෙක් වගකීම් බාර ගැනීමෙන් ඉවත්ව සිටීම සාමාන්‍ය තත්ත්වයකි. එවැනි විටෙක රාජපක්ෂ විසින් වසර 9 ක් පුරා හැදූ ඔහුගේ හිතවාදීන්ගෙන් පිරි රාජ්‍ය නිලධරයෙහි ඔහු වෙනුවෙන් කටයුතු කරන්නන්ද සිටිය හැක. එනිසා විත්‍යා දූෂණය හා ඝාතනයට එරෙහිව යාපනයේ පාරට පැමිණි විරෝධයෙහි ප‍්‍රචණ්ඩත්වය පිටුපස සංවිධානාත්මක කුපිත කිරීම් නැතැයි කිව නොහැක. එනමුත් එතැනින් පමණක් මේ රාජපක්ෂ දේශපාලනයට උත්තර දිය නොහැක. උත්තර දිය යුත්තේ දෙමළ විරෝධී රාජපක්ෂ දේශපාලනයටය. දෙමළ ජනතාව සඳහා සාධාරණය ඉටු කිරීමේ දේශපාලන අවශ්‍යතාව සිංහල සමාජයේ නිරෝගී සංවාදයකට තැබීමෙනි. එය රාජපක්ෂ විරෝධී දකුණේ දේශපාලන නායකත්වයෙහි මූලික වගකීමකි.

වත්මන් දෙමළ සමාජයෙහි ඇත්ත ජීවිතය අප තේරුම් ගත යුතුය. තිස් අවුරුද්දක් පැවති යුද්ධය නිසා එහි පාරම්පරික සමාජ ව්‍යුහ බිඳී ඇත. ජීවත් වූ පොළොවෙන් කිහිප වර උදුරා දැමුණු පසු පරම්පරා ගණනාවක් පුරා තහවුරු කරගත් පොදු සම්ප‍්‍රදායන් බැඳීම් හා හවුල් ලිහී යන්නේ ය. එවැනි සමාජයක් ඊළඟට යටත් වන්නේ පිටතින් පටවන අධිකාරී බලයකට ය. දෙමළ සමාජය ඒ අනුව යටත් කර තැබුණේ පොලීසියේ සහ හමුදාවේ අධිකාර බලයකට ය. උදුරා දැමුණු හෙයින් ලිහී ගිය සමාජ ව්‍යුහ අතර, එල්.ටී.ටී.ඊයේ බලහත්කාරය මත ලිහා දැමුණු කුල ධුරාවලියද වන්නේය. පාරම්පරික සම්මත කුල ධුරාවලියක් විසින් ස්ථාපිත කෙරෙන සමාජ මානසිකත්වය බලහත් කාරයෙන් අහෝසි කළ නොහැකි නිසාම සහ හමුදා පොලිස් අධිකාර බලයට ඉහළ කුල ස්ථාවරත්වය හිසරදයක් නොවන නිසාද, පසුගිය අවුරුදු කිහිපයේ විශේෂයෙන් යාපනයෙහි යළි වෙල්ලාල ආධිපත්‍යය ඇතිව කුල ධුරාවලිය ගොනු වන්නට පටන් ගෙන තිබිණ. එවැනි සංකීර්ණ ගරා වැටීමක පීඩනයට හසුවන සමාජයක බොහෝ අනවශ්‍ය අසාධාරණ දේ සිදු වන්නේය.

එවැනි බිඳ වැටීමක් භුක්ති විඳි යාපනය සමාජයෙහි බාහිර පාලනයක් ලෙස ජනතාව අත්විඳි හමුදා සහ පොලිසි සමග සන්නද්ධ කල්ලි පැවතීම, නීතිය හා සාධාරණත්වය සමග වන පාලනයක් නොවීය. එහි හැමවිටම නීතිය ක‍්‍රියාත්මක වන්නේ අධිකාර බලය හා ගනුදෙනු කරන්නන්ට අවශ්‍ය තේරීම් අනුවය. එනිසා කොළඹ මාධ්‍යයන්හි වාර්තා නොවන හා සොයා නොබැලෙන නිසා අපට හමු නොවන, විවිධ වූ අපරාධ හා දූෂණ සඳහා උතුරු නැගෙනහිර සාර භූමියක්ව පැවතිණ. මේ අතර සුනාමියේදී සිදුවූ අයුරු නිකරුණේ දවස ගත කරන්නට හැකි ආදායම් විදේශගතව ඉන්නා පවුලේ සාමාජිකයන්ගෙන් ලැබෙන තරුණන් බොහෝමයක් මේ අපරාධ හා ¥ෂණ සමග ගැට ගැසෙති.

උතුරු පළාත් මහ ඇමති සමග පළාත් සභාවද ඊට සැලකිය යුතු අයුරු වගකිව යුතුව ඇත. පසුගිය උතුරු පළාත් සභාව සඳහා මැතිවරණය පැවැත් වූ පසු දෙමළ ජනතාව අතර තමන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ දේශපාලකයන් විසින් අවම වශයෙන් මූලික කාරණා හෝ ඉටු කෙරෙනු ඇතැයි අතිශය විශාල බලාපොරොත්තුවක් පිබිදිණ. එහෙත් උතුරු පළාත් සභාවේ නායකත්වය හා දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ පළාත් පරිපාලනමය ගැටලූ කොළඹ ආණ්ඩුව සමග ඇති දේශපාලන මතභේදයක් ලෙස පමණක් ගොනු කර ගැනීමේ බරපතළ උපායික වරදකට කොටු විය. එනිසා ලිහී ගොසින් ඇති දෙමළ සමාජය නැවත ව්‍යුහගත කළ හැකි සමාජ ආර්ථික සැලැස්මක් උතුරට ඉදිරිපත් කිරීමක් නොවිණ. පළාත් සභාවක් ලෙස තම බල ප‍්‍රදේශයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් පාසල්, රෝහල්, සමාජ සුභ සාධනය, නිවාස ඉදිකිරීම්, ජීවනෝපා වැඩසටහන් වැනි දෛනික ජීවිතයට සෘජුව බලපාන්නාවූ ක්ෂේත‍්‍ර වෙනුවෙන් කෙටි කාලීන හා දිගු කාලීන පූර්ණ සැලැස්මක් පළාත් සභාවෙහි සාකච්ඡුා කර සම්මත කළ බවක් බලය ලබා ගැනීමෙන් අවුරුදු දෙකකට ආසන්න වී හෝ අසන්නට නැත. ඒවාද ඔවුන් කොළඹ ආණ්ඩුව හා විසඳා ගැනීමට තවමත් ඉතිරිව ඇති දේශපාලන උත්තරයට යටත් කරන්නකි. එනිසා පළාත් සභාව පවතින්නේ දේශපාලන යෝජනා සම්මත කිරීමේ ආයතනයක් ලෙස පමණි.
හැම පැත්තකින්ම මෙවැනි විශාල අතහැරීමකට හසුව ඉන්නා සමාජයක දෙමළ දේශපාලන නායකත්වයද ආසන්නය නොබලා දුරස්ථ වූ උත්තර සොයන විට, විත්‍යා, සාරන්‍යා වැනි අහිංසක දැරියන් අමනුස්ස තිරිසන් දෑත් අතින් දූෂණය වී මිය යනවා පමණක් නොව, ඔවුහු අවසානයේදී දකුණේ තක්කඩි දේශපාලනයකටද ගොදුරු වන්නාහ. එවැනි අන්තවාදී දේශපාලනයකින් දකුණේ සිංහලයන්ටද කවමදාකවත් සෙතක් වන්නේ නැත. එනිසා අද ජාතික නායකත්වයක පමණක් නොව, සමාජයේ විද්වත්, උගත්, වෘත්තික ප‍්‍රජාවගේ හා විවිධ ක්ෂේත‍්‍රයන්හි කි‍්‍රයාධරයන්ගේ වගකීම වනුයේ රාජපක්ෂලාගේ අන්තවාදී දේශපාලනය අභියෝග කළ හැකි අවරුදු 67 ක් පුරා අතහැර දමා ඇති එක්සත් ජාතියක් එකමුතු රටක් ගොඩනැගීමේ අතිශය වැදගත් දේශපාලනයට මුල පිරීමය.