රාවය

අවුන් සාන් සූ කීගේ මානව හිමිකම්

අවුන් සාන් සූ කීගේ මානව හිමිකම්

 

බුරුම විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී මානව හිමිකම් කි‍්‍රයාධාරිනියක ලෙස ප‍්‍රකට ය. හමුදා රජය පැවැති සමයේ බුරුම ජනයාගේ මානව හිමිකම් වෙනුවෙන් සටන් කිරීම උදෙසා ඇයට 1991 දී නෝබල් සාම ත්‍යාගය පවා පිරිනැමිණිි.

මානව හිමිකම් වෙනුවෙන් සටන් කොට ඒ නිසා ඇය තරම් දුක් විඳි කාන්තාවක තවත් ලොව නැති තරම් ය. බුරුම හමුදා පාලනය විසින් 1989 ජුලි 20දා මුල්වරට නිවාස අඩස්සි ගත කරන ලද ඕ 2010 නොවැම්බර් 13දා සම්පූර්ණ නිදහස ලබන තෙක් නම වතාවක් නිවාස අඩස්සි ගත කරන ලද අතර දෙවතාවක් හමුදා රැුඳවුම් කඳවුරුවල ද තබනු ලැබුවා ය. නෝබල් ත්‍යාගයට අමතරව ඇය ජවහර්ලාල් නේරු ත්‍යාගය, සිමෝන් බොලිවර් ත්‍යාගය, රෆ්ටෝ ත්‍යාගය, හකාරොව් ත්‍යාගය, වොලන්ඩර්ස් පදක්කම, අමෙරිකානු කොංග‍්‍රස් පදක්කම, අමෙරිකානු ජනාධිපති පදක්කම ඈ සම්මාන රාශියකින් පිදුම් ලැබූ තැනැත්තියකි.

1991 වසරේ ඇයට සාම ත්‍යාගය පිළිගැන්වීමට නෝබල් පදනම පළ කළ හේතු පාඨයේ මෙලෙස සඳහන් විණි. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයට. මානව හිමිකම්වලට සහ වාර්ගික සංහිඳියාවට සාමකාමී ලෙසින් එළැඹෙන්නට වෙර දරන ලොව පුරා වැසියන්ට සහාය වශයෙන්, දුෂ්ට පාලකයන්ට එරෙහිව නැගී සිටින අරගලවල ප‍්‍රමුඛ සංකේතයක් බඳු මේ කාන්තාවට මෙවර නෝබල් සාම ත්‍යාගය පිරිනමන්නට කමිටුව තීරණය කරයි.’

එහෙත් මේ දිනවල මානව හිමිකම් ගැන උනන්දුවක් දක්වන සහ ඒවා ආරක්ෂා කරන්නට වෙර දරන රාජ්‍ය, රාජ්‍ය නොවන සහ අන්තර්ජාතික සංවිධානවල කි‍්‍රයාධරයන් මහත් සේ වෙහෙසෙන රොහිංයා අනාථයන්ගේ ප‍්‍රශ්නය ගැන ඇය වගේවගක් නැතිව සිටින්නේ මන්ද යන්න දැන් බොහෝ දෙනාගේ විමතියට බඳුන් ව තිබේ.
මේ ඇගේ රටේ ජනයා ය. ඇය ඒ රටේ විරුද්ධ පක්‍ෂ නායිකාවයි. ඉතින් ඇය ඔවුන් ගැන කතා නොකරන්නේ නම් ඔවුන් ගැන කතා කරන්නේ අනෙක් කවුරුන් ද? එහෙත් මෙතැන ගැටලූවක් තිබේ. ගැටලූ එකක් නොව කිහිපයක්. පළමු කොට ම ඔවුනට ඡුන්ද බලය නැත. ඔවුහු පුරවැසියෝ ද නොවෙති. ඒ සමග ම ඔවුහු බෞද්ධයෝ ද නොවෙති. එසේ නම් ඒ ගැන වෙහෙසෙන්නේ කුමට? සූ කී මුව පියා සිටින සඳ ‘මොවුන් පුරවැසියන් නොවන නිසා එය මැතිනියගේ විෂය පථයෙන් බැහැරය’යි ඇගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජාතික ලීගයේ ප‍්‍රකාශකයකු පැවසූ බව ගාඩියන් වාර්තාවක දැක්වේ.

2012 රඛිනේ ගැටුමේදී ද ඇය මෙලෙස මුව පියා සිටියා ය. එවිට ඇගේ ප‍්‍රකාශකයකු මාධ්‍ය හමුවේ පවසා තිබුණේ ඇය කිසිවක් බිණුවා නම් තත්ත්වය වඩාත් නරක අතට හැරෙන්නට ඉඩ තිබූ බවයි.

එහෙත්් මේ අවස්ථාවේ එවැනි අවදානමක් ද නැත. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප‍්‍රධානීන් සමග සාකච්ඡුා කරන්නට ඇයට අවශ්‍ය නම් හැකි ය. එහෙත් ඇය එසේ නොකරයි. මන් ද, තව වසරක් යන්නට මත්තෙන් මහ මැතිවරණයක් එන නිසා ය. එහි දී ඇයට වැදගත්වන්නේ ඡුන්ද බලයවත් නැති රොහිංයා අනාථයන් නොව එරට ජනගහනයෙන් 92% පමණ වන බෞද්ධයන් වන නිසා ය.