රාවය

ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියෙහි සුගත් නොසිටියේ ඇයි?

ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියෙහි සුගත් නොසිටියේ ඇයි?

මලල ක‍්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස සුගත් තිලකරත්න මුහුණ දුන් පළමු තරගාවලිය ලෙස ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය හැඳින්විය හැකිය. එය සුගත් තිලකරත්න පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක් ලෙසද අර්ථ ගැන්විය හැකිය.

දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ සිව් දිනක් පුරා පැවති ජාතික කනිෂ්ඨ ශූරතාවලිය පැති ගණනාවකින් කතා කළ හැකි මාතෘකා ගණනාවක් බිහි කළේය. එය ක‍්‍රීඩාව අරබයාද සුබ නිමිති පළ කළ තරගාවලියක් විය. නව තරග වාර්තා 23ක් අලූත් කළ මෙවර ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය අනාගතයට බලාපොරොත්තු දැල්විය හැකි යහපත් පසුබිමක් ඒ හරහා උදා කළා නියතය. නව තරග වාර්තා බිඳ වැටීම හරහා කියාගනුයේම නව බලාපොරොත්තු දැල්වෙන බවය. මෙය ඉදිරියට ගෙන යෑම පරිපාලනය සතු අත්‍යවශ්‍ය වගකීමකි. පරිපාලනයේ දක්ෂතාව විය යුත්තේ මේ දක්ෂයන් හැලී නොයන ලෙස ඉදිරියට ගෙනයෑම සිදුවිය යුතු බැවිනි. මෙවර තරග වාර්තා අබිබවා ගිය විසිතුන් දෙනාගෙන් ලබන වසරේදී බහුතරයක් ක‍්‍රීඩාව අතහැර තිබිය හැකිය. මේ යන රටාව අධ්‍යයනය කරන කල්හි එය මනාව තහවුරු වී ඇත. පරිපාලනයෙහි නිපුණකම අවශ්‍ය වන්නේ මේ නිසාය. දමයන්ති දර්ශා පිහිටුවා තිබූ කනිෂ්ඨ තලයේ වාර්තා අබිබවා යන්නට මෙවර රුමේෂිකා කුමාරිට හැකි විය. මේ දක්ෂතා මුදුනට රැුගෙන ඒම ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවේ. දෙවන පෙළක් නැතැ’යි කාලාන්තරයක සිට නැගෙන හඬ දෙවැනි පෙළක් නිර්මාණය නොකර සිටියා ලෙස නිවැරදි විය යුත්තේ හිටපු පරිපාලකයන් ඒ තත්ත්වයන් හඳුනාගෙන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉහළට නොගෙනා බැවිනි. මෙරට මලල ක‍්‍රීඩාව කඩා වැටීමට හේතුවූයේ පරිපාලනයම බව නොරහසකි. මෙරට දක්ෂතා සපිරි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සිටියද ඔවුහු මුල් අවධියේදී පෙන්වන දක්ෂතා ඉන්පසු හකුළුවා ගනිති. දක්ෂතා යන්න නිරන්තරයෙන් වැඩි දියුණු කරගත යුතුව ඇත්තකි. කනිෂ්ඨ මට්ටමේදී ඔවුන් පෙන්වනුයේ සහජ දක්ෂතාය. එවන් කුසලතාය. එම මුල් අවධියේදී හඳුනාගත් ඔවුන්ගේ පුහුණුකරුවන් ඔවුන් ඔප දමා ඉහළට ඔසවන මුත් ඉන්පසු ඒ දෙපළටම ලොකු ශක්තියක් හයියක් අවශ්‍ය වේ. මලල ක‍්‍රීඩා සංගමය ඉදිරියට ආ යුත්තේ මෙවන් වටපිටාවකය. සුගත් තිලකරත්න මෙන්ම සුගත් බිහිකළ සුගත්ගේ පුහුණුකරුද අද එකම තලයේ සිටින නිසා මේ තත්ත්වය අවබෝධ කරගැනීම පහසුය.
නව ක‍්‍රීඩා ඇමතිවරයාගේ නීතියට අනුව සිව් වසරක නීතිය කරළියට ඒමත් සමග සුගත් තිලකරත්නට සභාපතිකමට දොරගුළු විවර වූයේ සුගත් ඒ තැන සිටිය යුතු කෙනෙකු ලෙස සැලකූ නිසා නොව විකල්පයක් නොවුණු නිසා බව සුගත් තිලකරත්න සිතිය යුතුය. හෙට මෙම නීතිය වෙනස් වුවහොත් ඊළඟ වාරයේදී සිදුවන මුල්ම දේ පැරණි හොල්මං අවතාර සුගත් බියගන්වා පන්නා දමන එකය. මේ පැහැදිලි කිරීම අප සුගත් වෙනුවෙන් කරනුයේ සුගත් තිලකරත්න යනු සැබැවින්ම දක්ෂ ක‍්‍රීඩකයකු වන බැවිනි. දක්ෂතා මත ඉහළට ආ සුගත් ඒවා අලෙවි කර ගොඩ ගිය අයෙක්ද නොවීය. ඒ නිසා සුගත් තිලකරත්න කෙරෙහි ගෞරවයක් අපට ඇත.
ඒ නිසාම ක‍්‍රීඩකයකු ලෙස ගොඩ නගා ගත් ගරුත්වය පරිපාලකයකු ලෙස රැුකගැනීමට සුගත්ට විශාල වෙහෙසක් දැරීමට සිදුවේ. එය මුල්වටයේ තරගයකින් මයිකල් ජොන්සන් පරද්දපු තරම් සතුටු විය හැකි කාරණයක් නොවන බවද කිව යුතුය. සුගත් කරළියට ගෙනාවේ, ගෙනැවිත් මලල ක‍්‍රීඩා පුටුවේ ඉන්දවූයේ ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දුය. එයට සුගත් කළගුණ සැලකීමක් වශයෙන් මෙවර ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේ සියලූ වැඩ පාලිත පාර්ශ්වයට ඕනෑ ලෙස කරන්නට ඉඩදී තිබුණි. ඒ නිදහසින් නිමල් පෙරේරා සහ අනිල් වීරසිංහලා සුගත්ටත් වඩා ලොක්කන් වී තිබුණි. දක්ෂයාට නිසි තැන දීම ගැන සුගත්ට අමුතුවෙන් කිවයුතු නැත. එසේ නම් සුගත් මෙවර වැඩ ගත්තේ දක්ෂයන්ගෙන්ද?

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නව තරග වාර්තා බිහිකරමින් ඇති කළ ප‍්‍රගතිය නොවන්නට තරගාවලියේ සංවිධානය අට පේල්ය. හැම අංශයකම පුස්සන් වැඩ බදාගෙන තිබුණි. මේ තත්ත්වයන් හරහා හෑල්ලූවන්නේ සුගත්ය. කවුරු කෙසේ පිස්සු නැටුවද අවසානයේ එය බැරවන්නේ සුගත්ගේ ගිණුමටය. සුගත් තිලකරත්නට දුර ගමනක් යා හැකිය. එයට නිසි, රිසි මිනිසුන් හඳුනාගත යුතුය. සාර්ථක රිලේ තරගයකට නම් සිව්දෙනාම දක්ෂයන් විය යුතුය. එය උසේන් බෝල්ට් පමණක් වූ පමණින් ගොඩගත නොහැකිය. එබැවින් පැරණි පරිපාලකයන් යනු (මෑත කාලයේ) හොර තක්කඩින්ය. මේ අය කළ කී දෑ අපටත් වඩා හොඳින් සුගත් දන්නා බව ස්ථිරය. එසේ නම් සුගත් නිවැරදි පිරිස් සමග නිවැරදි තීරණ ගත යුතුය. එය ක‍්‍රීඩාවේ යහපතට මෙන්ම සුගත්ගේ නමටද හොඳය.

ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා උළෙලේ අකටයුතුකම් තොගයක් තිබියදී අප එය නොලියුවේ සුගත්ගේ පළමු වෑයම නිසාය. සුගත් තිලකරත්න නම් ක‍්‍රීඩකයාට ඇති ගෞරවය නිසාය. සුගත් මහන්සියෙන් උත්සාහයෙන් රට මෙන්ම ලෝකය දිනූ අයෙකි. එසේ නම් එවන් ඔහු පරිපාලකයකු ලෙස බංකොළොත් විය යුතු නැත. මේ ජෙනරල් පාලිතගේ පාලනය නොවේය. එය හෙට සිට හෝ සුගත්ගේ පාලනය විය යුතුය. ඒ තුළ අනිල් වීරසිංහලා, නිමල්සිරිලා පුහු වීරයන් නොවිය යුතුය. අප එසේ කියනුයේ තවමත් ඇත්තේ ජෙනරල් පාලිතගේ අණ සහ වැඩ බැවිනි. සුගත්ට හැකි දේ කර ඇන ගැනීම වෙන දෙයකි. එහෙත් පාලිතලාට අවැසි දේ කරන රූකඩයක් නොවීම යහපතකි.