ඉන්දු නදී නිම්නයේ සුන්දරියෝ

 

තාර් (Thar Desert) කාන්තාරය තියෙන්නේ ඉන් දියාවේ ඉන්දු නදී නිම්නයේ. ලෝකයේම එවැනි පරිසර කලාප අතර තාර්ට හිමිවන්නේ 17 වැනි ස්ථානය. තාර් කතර අයිති ඉන්දියාවේ රාජස්ථානයටය. ඉන්දියාවේ ප‍්‍රාන්තවල භූමි ප‍්‍රමාණය සැලකුවොත් රාජස්ථානය පළමු තැන ගන්නවා. ඉන්දියාව සතු මුළු භූමියෙන් රාජස්ථානයට 10.4%ක් වෙන්වෙනවා. රාජස්ථානයට රජුන්ගේ නිම්නය කියලත් කියනවා. රජුන්ගේ මේ නිම්න භූමිය අතීත මානවයන්ගේ මුල්ම ජනාවාසවලින් එකක්. ඉන්දු නදී නිම්නයේ නැතිනම් සරස්වතී නදී නිම්නයට මානවයෝ ඇවිල්ලා දැනට කොච්චර කාලයක් වෙනවාද? ඊජිප්තුවේ නයිල් නදී නිම්නය, ඉරාකයේ දෙගං දෑල නිම්නය, ඉන්දු-පකිස්ථානයේ ඉන්දු නදී නිම්නය ලෝකයේ මුල්ම මානව ක්ෂේම භූමි. එහෙම අතීතයක් තියෙන රාජස්ථානයේ තාර් කතරට සමීප පුෂ්කාර් (Pushkar) නගරයට යමු. ඊට කලින් තව කතා ගොඩාක් තියෙනවා. රාජස්ථානය රජ්ජුරුවන්ගේ නිම්නය කියුවට මට නම් හිතෙන්නේ මේ භූමිය අයිති බ‍්‍රහ්මයාට ට. බ‍්‍රහ්මයා (Brahama) කියන්නේ හින්දු සංස්කෘතියට අදාළ දෙවි කෙනකුට, හින්දුන් ත‍්‍රිමූර්තියක් ගැන කතා කරනවා. එතකොට ඒකට අයිති වෙන්නේ මේ කියන බ‍්‍රහ්ම (Brahama), ශිව (Shiva) සහ විෂ්ණු (Vishnu). මේ බිමේ බ‍්‍රහ්ම්ම දෙවිඳුන්ගේ දෙවොල් විශාල ප‍්‍රමාණයක් තියෙනවා. ඒවා මේ බිම තරම්ම පැරණි නැහැ. ඒ මොකද පෙරදිග මුස්ලිම්වරුන් මේ භූමියට සංක‍්‍රමණය වුණාට පස්සේ ගොඩාක් හින්දු සංස්කෘතියට අදාළ පන්සල් විනාශ කළා. බ‍්‍රහ්ම්මගේ දේවිය නැතිනම් බිරිඳ තමයි කලාවට අධිපති සරස්වතිය. ඒ නිසාම වෙන්න ඇති මේ බිමෙන් බැස යන නදියටත් සරස්වතී නදිය කියලා හින්දුන් කියන්නේ.

නිල් මහනෙල් මල්

නිල් මානෙල් මල් නගරය. ඒක තමයි පුෂ්කාර් (Pushkar)කියන වචනයේ තේරුම. රාජස්ථානයේ අතීතය තරම්ම මේ නගරයත් පැරණියි. විසිතුරු තාර් කතරේ සංස්කෘතික ජීවිතය කැඩපතකට වැටෙන්නේ මේ නගරයේදී කියුවොත් ඒක තමයි හරියටම හරි. විචිත‍්‍ර පන්සල්, ඔටුවන්ගේ සංදර්ශන වීදි සරන ජටා බැඳි ජීවිත. අතේ වළලූ නදදෙන දිගැසි නෙතු ළඳුන්ගේ ඔමරි බැලූම් මේ නගරයේ විචිත‍්‍රත්වය තව තවත් වැඩි කරනවා. පන්ජාබ්, හරියානා, උත්තර ප‍්‍රදේශ්, මධ්‍ය ප‍්‍රදේශ්, ගුජරාටි වගේ ප‍්‍රාන්තවලට මැදිවෙලා තියෙන මේ රාජස්ථානය සහ අප මේ කතාකරන පුෂ්කාර් නගරය ඉන්දියාවට අයිතිවෙලා තියෙන විචිත‍්‍ර ජන විවිධත්වයේ තවත් එක පැහැයක්. ඒක ගොඩාක් ලස්සන පැහැයක්. අතීත රජ්ජුරුවන්ගේ නටඹුන් අතීත මතක සිතුවිලි මතින් දෙවියන්ගේ කඳුළු අතරින් සරස්වතී නදියෙන් දිය දෝතක් ගෙන තාර් කතරේ සුන්දරියන් සොයා යමු.

සුන්දරියෝ

ඔහු රවිකිඤ්ඤාවක් හඬවනවා. මේක රවිකිඤ්ඤාවක් කියුවට එස්්රාජ් එක් වගේ. නයි නළාවක ගීතවත් හඬ වගේම ඈතින් තාලයට මිණි ගෙජ්ජි හඬක් ද වාතලයට මුසු වෙලා අපේ් කන ඇතුළේ නින්නාද දෙනවා. ඔවුන් තාලයට ගායනය කරනවා. භාෂාව හින්දිවලට ටිකක් ළඟින් යන ආර්ය පවුලටම අයිති රාජස්ථානී. ඇය දම් පැහැ සේද සළුවකින් ගොතන ලද ගවුමක් හැඳ සිටිනවා. දම් පැහැ සේලයකින්ම නළලත පමණක් පෙනෙන්නට කෙස්ස සඟවලා. මම තව තවත් මේ වාර්තා චිත‍්‍රපටයට බැඳෙනවා. කතාව ගෙතෙන්නේ තාර් කතරේ රාජිනියන් ගැන. ඔවුන් ජිප්සි යුවතියන්. අපි නම් ජිප්සි කියන වචනය පෙරළන්නේ අහිකුණ්ඨික කියලා. තැන තැන ඇවිදන. ස්ථීර වාසස්ථානයක් නැති, නයි රිලා නටවන ජනවර්ගයක් ගැන මතකයක් තමයි ජිප්සි කියපු ගමන් අපේ ඇස්මානයට එන්නේ. එහෙත් රාජස්ථානයේ පුෂ්කාර් නගරයේ තාර් කතරේ උණුසුමින් දිවිගෙවන බොප (Bopa)සහ කල්බෙලියා (Kalbeliya) කියන ජනවර්ග එහෙම නැහැ. රාජස්ථානය ලස්සන කරන්නේ ගීතවත් කරන්නේ මේ අය. ඔවුන්ට පොහොසත් ජන නැටුම් විලාසයක් වගේම පොහොසත් ගැමි සංගීත ආරක් ද තියෙනවා. හින්දු කුළ ක‍්‍රමයට අනුව බැලූවොත් මේ ජනවර්ග ඉන්නේ පහළින්ම. මේ අය ඉන්දියාවේ මහරාජාවරුන් හා සමතැන් වුණේ නැහැ කවදාවත්. මහත්මා ගාන්ධිගේ ඉන්දියාවේවත්, නේරුගේ ඉන්දියාවේවත් ඒ හැමතැනකම මෙයාලා කුළ පීඩිතයෝ. හැබැයි අපේ අහිකුණ්ඨික ජනවර්ගයට වගේම මෙයාලටත් ස්ථීර නිවාස නැහැ. තාවකාලිකව අටවා ගත්ත කූඩාරම් තමයි තාර් කාන්තාරය ගෙන එන වියළි සුළඟින් මෙයාලව ආරක්ෂා කරන්නේ. ඉන්දියාවේ පොහොසතුන් නම් මෙයාලා කේන්තිකාර හිඟන්වෝ විදිහට තමයි සලකන්නේ. කලින් කලට එසේ වාසේ මාරු කරන තරු වියන් නිරුවත් අහස යට ගුලි ගැහෙන මෙයාලගේ ජීවිතය යම් තරමකට හෝ සරු කරන්නේ ඔවුන් පරපුරෙන් පරපුරට රැගෙන එන සංගීතය නැතිනම් නැටුම.

ඔවුන්ගේ නැටුම් ගැයුම් චිත‍්‍රයි වගේම ඔවුන්ගේ ඇඳුම් කැඩුම් වුණත් හරිම ලස්සනයි. රත්ක වර්ණය හෝ ඊට සමීප වර්ණ රටා තමයි හැමතැනම දකින්නට තියෙන්නේ. සුදු පාට සරොම බැනියම කහපාට ජටාව වුණත් ඒ අතරේ දකින්න පුළුවන්. ගැහැනුන්ගේ සේද සළු ටාන් ටාන් නඳ දෙන දෑත බැඳි වළලූ දිගැසි නෙතු පියන් තාර් කතරේ දාහය සැනෙකින් මකලා දානවා. ඔටු ක‍්‍රීඩා තියෙන උත්සව කාලයට පුෂ්කාර් නගරය ලස්සන කාන්තාර මල් ගොමුවලින් වැසිලා යනවා. තැනින් තැන නයින් නටවනවා. තැනින් තැන කාන්තා නර්තනයේ ලලිත බව නගරය තව තවත් අලංකාර කරනවා. කාන්තාරයේ දාහය සැනෙකින් මකලා දානවා. දෙවියෝ ගොඩාක්ම අඬලා කඳුළු සාගරය මුහුදට ගලලා තාර් කතරක් වෙලා. මේ අදහස එන සින්දුවක් ඇය ගයනවා. ඔහු තාලයට එස්රාජය වයනවා. තැනින් තැන හා හෝවක් තාලයට අල්ලලා ඔහු සින්දුව තව තවත් වර්ණ ගන්වනවා. මේ විදිහට සමූහයක් ආලප්දාන සින්දු තමයි මේ ජනවර්ග දෙකටම පොදු සංගීතයේ ගොඩාක් වෙලාවට ඇහෙන්නේ.

මේ විදිහට තාර් කාන්තාරයේ සුන්දරියෝ තමන්ගේ ජීවිතය සින්දුවකට හරවලා ගායනා කරනවා. හිසට සෙවනක් නැහැ. බොහෝ දරුවන්ට අධ්‍යාපනය නැහැ. අවුරුදු 12-13 වෙනකොට කසාද බැඳලා ළමයිනුත් හදන මේ යුවතියන්ට අන්තිමට පිහිට වෙන්නේ තමන්ගේ මුතුන් මිත්තෝ පරපුරෙන් පරපුරට උරුම කරපු විචිත‍්‍ර සංස්කෘතිය විතරයි. තරමක් දුරට හරි ඉගෙනගත්ත එකකු නම් කියන්නේ තමන්ගේ ජීවිතයට එළියට පනින්න ඉඩක් දෙන්නේ නැති ඉබි කට්ට මේ කාලකණ්ණි සංස්කෘතිය කියලා. දුප්පත්කම, අධ්‍යාපනය නැතිකම වගේ ගොඩාක් හේතු හින්දා අද වෙනකොටත් මේ ලස්සන සංස්කෘතිය සුරැුකිලා. ඉන්දියාව වේගයෙන් දියුණු වෙනවා. අනාගතයේ දවසක මේ ලස්සන සංස්කෘතියත් වියැකිලා යාවි. ඒක තමයි ලෝක ස්වභාවය. ඒත් මෙයාලගේ නාද රටාවන්, සුළලිත රඟ සේයාවන් සුමියුරු ආහාර රටාවන් වගේ දේවල් ගැන ලෝකය තව සියවස් ගණනාවක් කතා කරයි. පුෂ්කාර් නගරයට එන සංචාරකයකු ඉස්සරහා නයෙකු නටවලා හරි හම්බ කරන මුදලින් කොටසක් දරුවන්ගේ කෑමට වෙන්කරලා තවත් කොටසක් හෂීස් වගේ මත්ද්‍රව්‍යකට වියදම් කරලා මොවුන් ජීවිතය දෛනිකව ගෙවා දමනවා. නිරුවත් අහස යට තරුවියනට යමින් ගුලි වෙන්න කලින් ඔහු රවිකිඤ්ඤය වයනවා. ඇය ගයනවා. දරුවන් වටවෙලා තාලයට ආලප් අල්ලනවා. කාන්තාරය වෙනදා වගේම යත් එක්කම සුළඟ අරගෙන එනවා. අසල තවත් කූඩාරමක ඉදෙනෙ කුකුල්මස් වෑංජනයක සුවඳ ඒ සුළෙඟ් දැවටිලා එනවා සමහර විටෙක… දෙවියෝ ගොඩක් අඬලා.. දැන් වහින්න කඳුළු නැහැ.. තාර් වියැලිලා.. ඇය ගයනවා.