රාවය

දුර්ගුණ මකා නරියාට ආදරය දුන් දරුවෝ

දුර්ගුණ මකා නරියාට ආදරය දුන් දරුවෝ

නිමල් අබේසිංහ

හා නේ, මේ අපේ මුවහාමි නොවැ. මොකද යාළුවේ කරදරයක්ද? ‘අනේ යාළුවේ මං මේ අර නපුරු දඩයක්කාරයාගේ උගුලක හිරවෙලා ඉන්නෙ. අනේ ඔයාට පුළුවන් නම් මාව බේරාගන්න.’

නරිහාමි ටිකක් වෙලා කල්පනා කළා. කාටහරි කරදරයක් වෙලා තියෙන වෙලාවට උදව් කරන්න ඕනෑ නෙ.’ ලස්සන ශක්තිසම්පන්න නරිහාමි මුවහාමිව උගුලෙන් බේරා ගත්තේ තමන් යන්න ගිය ගමනත් අතරමග නතර කරලයි. පසු දවසක අකරතැබ්බයකට මුහුණ දී කැලේ අතරමංවූ නරිහාමිව සිය නිවෙසට ගෙන ගොස් ඇරලූයේද මුවහාමියි. මේ යාලූකම ඔවුන් දිගින් දිගටම පවත්වාගෙන යන්නටත් අමතක කළේ නැහැ.

මේ ‘නරිහාමිගේ යාළුවා’ නිර්මාණයේ අන්තර්ගතයයි. නිර්මාණකරුවා පණ්ඩුලගම මහා විද්‍යාලයේ ජේ. සුජිත් ප‍්‍රියංකර සිසු දරුවායි.
එකමුතුකම, යාළුවන්ගෙ වටිනාකම ගැන කියන්නයි මම මේ කතාව ලීවේ. ඔක්කොම අය නරියා දුෂ්ඨ සතෙක් විදියටනෙ දකින්නෙ. මම මේකට කැමති නෑ. අපි කොහොමද නරියා ඒ වගෙ සතෙක් කියන්නේ. නරියා විතරද කපටි අනෙක් සත්තු කපටි නැත්ද? මම නම් කැමති නැහැ නරියට හරි වෙනත් සතෙකුට හරි මනුස්සයකුට හරි සැමදාම එකම ලේබලය ගහන්න. ඒක වැරදියි. ඒ නිසා මට ඕන වුණේ නරියා ගැන අපේ හැමදාම තියෙන අදහස වෙනස් කරන්න.’
සුජිත් ප‍්‍රියංකර දරුවාගේ කතාවෙහි සත්‍යයක් ඇතැ’යි සිතෙන්නේ නරිනාවන කපටින් සිටිනුයේ මිනිස් වර්ගයා අතරේ බැවින්ය. කිසිම කතාවතක නරියා දියනාන සතෙකු බව සඳහන්ව නැත්තෝය. එහෙත් සුජිත්ගේ කතාවේ නරියා අපූරුවට දියනායි. දරුවාගේ නිදහස් මනසට පිටතින් සිට කුණු කන්දල් පුරවන්නේ අප නොවේද? එසේ නොවන විටෙකදී ඔවුන්ගේ පිරිසිදු නිදහස් චිත්ත සන්තානයෙහි උත්පාදනය වන නිර්ව්‍යාජ සිතිවිලි ඔස්සේ කොතරම් අපූර්ව උසස් නිර්මාණ ඔවුන් වෙතින් බිහිවිය හැකි නොවන්නේද?

අ/දිගත් හල්මිල්ල වැව විද්‍යාලයේ මහේෂිකා දිල්රුක්ෂි දිසානායකගේ නිර්මාණයට නම් තබා ඇත්තේ ලස්සන නරියා යන්නයි.
කැලෑවක වෙසෙන ලස්සන නරියකු කැලේ ඇවිදයත්දී මුණගැසෙන හා පැටියකු පසුපස හඹා ගියද ඌ අල්ලා ගන්නට නරියා අසමත් වෙයි. වෙහෙසට පත් නරියා තවත් ඉදිරියට යනවිට මිදි වැලක්ද හමුවෙයි. මිදිවැල දෙස බලා සිටීමෙන් පළක් නොවන බව අවබෝධ කරගන්නා නරියා කැලේ මැදින් තවත් ඉදිරියට ඇදෙයි. ඔහුට මුණ ගැසෙන්නේ නරි ධේනුවකි. දෙදෙන එක නිවහනක වෙසෙති. කලෙකදි දැඩි වර්ෂාවකට හසුව ඔවුන්ගේ නිවහන කැඞී බිඳී යයි. වැස්සේ තෙමෙමින් ඇවිදින නරි යුවළට නිවහනක් සපයන්නේ සිංහයෙකි.

සිංහයා හා නරියා සමග බැඳුණු ගෙතුන කතා අප කොතෙකුත් අසා ඇත. ඒ කතාවලදී බොහෝ විට නරියා සිංහයාට ළෙන්ගතුකම් පාන්නේ ඌගේ දඩයමින් යැපීමේ චේතනාවෙනි. මේ සුලබ කතාවක් නමුදු මහේෂිකා දැරිය සිය කතාව තුළින් නරියා හෝ සිංහයා ගර්හිත චරිත බවට පත් නොකරයි.

ඇගේ සිය කතාවතෙහි මෙබඳු අදහසකි. අසරණ වූවන්ට පිහිටවීමේ ගුණය ගැන අපි ඕනෑතරම් කතා කරනවා. එහෙත් නරියකු කතාවකට සම්බන්ධ වූවොත් නම් ඌ කොතරම් අසරණ තත්ත්වයක සිටියද නරියාට ආවේණිකයැ’යි කියන දුර්ගුණ ඉදිරියට දමා ඌව තව තවත් අසරණ තැනකට ඇද දමන්නයි, ඒ කතාවලින් උත්සාහ කරන්නේ. ඒක දිගින් දිගටම එහෙමම වෙන්න ඕනේ නෑ කියන එකයි මගේ අදහස. නරියා කිඳුරකු වූ හැටි අ/කෝන්වැව විද්‍යාලයේ ආර්.ඇම්. විශ්මි සුපුල්සරා රාජකරුණා ශිෂ්‍යාවගේ නිර්මාණයයි.

ඔටුනාය ගමේ අලංකාර කැලෑවක සිටි පියකරු නරියකු තමන් දන්නා මිදිවැලක් හා ජම්බු ගසක් සොයාගෙන යද්දී සොඳුරු දිය ඇල්ලක් අසල ගී ගයමින් සිටින දියකිඳුරියක දකී. දිය කිඳුරියකගේ රූප ස්වභාවයට වශී වෙන ඌ ඇයව විවාහ කරගන්නට සිතයි. ඒ අතරේ කිඳුරියගේ රිදී වළල්ල දිය ඇල්ලට වැටෙයි. නරියා දිය යට කිමිදී රිදී වළල්ල ගෙන දියේ සිටිත්දී කිඳුරිය නරියාට දියෙන් ගොඩ ඒමට සිය අත පෑ විට කිඳුරියගේ ස්පර්ශයත් සමග නරියාද කිඳුරු කුමාරයකු බවට පත්වෙයි. ඉන්පසු මේ යුවළ සතුටින් දිවි ගෙවයි. කතාවේ සංක්ෂිප්තය එලෙසය.

සුරංගනා කතා ආරෙන් ලියවී ඇති මේ නිමැවුම ඔස්සේ සුපුල්සරා දියණිය. නරියා පිළිබඳ පවතින ජන සම්මත බිඳීමට අතිශය සාර්ථක මෙහෙවරක යෙදී ඇති බව අපගේ විශ්වාසයි, නරියා සම්බන්ධ ජනකතා මෙන්ම නූතන කතාකරුවන්ගේ නිර්මාණ තුළ වුවද නරියා යොදා ගැනෙන්නේ අවලස්සන දුර්ගුණ සහිත අවමන් කටයුතු සතකු ලෙසටය. මේ සම්මතයෙන් බැහැර වෙන්නට සියලූදෙනා අපොහොසත් වෙද්දී ඒ බලගතු නියර හෝ වැහැර බිඳින්නට සූලක්ෂණා සිසුවිය බිඳින්නේ කිසිදු චකිතයකින් තොරවය, අනාගතයේදී නිර්මාණාත්මක බවින් මෙන්ම භාවපූර්ණ විශිෂ්ට නිර්මාණයකට දායකවීමේ ප‍්‍රභාවත් මේ නිමැවුම තුළින් දිස්වෙයි.

කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලයේ ඞී.එම්. ජීවන්ති උදේශිකා චන්ද්‍රසිරි ශිෂ්‍යාවද මෙම නිර්මාණ සංග‍්‍රහයට නිර්මාණ දායකත්වය සැපයූ සිසුවියකි. ඇය කියන්නී. නිර්මාණකරණයෙහිලා තමන්ව දිරිගැන්වීම සේ ම ඒ සඳහා අවශ්‍ය මග නිසි ලෙස ලැබේ නම් මෙවැනි නිර්මාණකරණයන් තව තවත් එළිදැක්වීමට තම සිත බලකරන බවය.

මේ දරුවන්ගේ නිර්මාණ සරණියෙහි බබලන නිර්මාණ අතර නරියා සහ අපූරු ගස්බෙනය, අසරණ නරියා, පාසල් ගිය නරියා, නරියා හාවා සහ මුවපැටියා, සතුටින් ජීවත් වුණු නරි පැටියා නරි දුක වැනි නිර්මාණද විශේෂිතවන්නේ සාම්ප‍්‍රදායිකත්වයෙන් බැහැරව සිතන්නට නිර්මාපකයන් සමත්වීම තුළිනි.
මේ දරුවන් මෙකී නිර්මාණකරණයන්හි ව්‍යාප්ත වනුයේ මින් මාස කීපයකට ඉහතදී අනුරාධපුර කහටගස් දිගිලය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දරුවන් වෙනුවෙන් පැවැත්වුණු නිර්මාණකරණ වැඩමුළුවකට සහභාගිවීමෙන් අනතුරුවය. ජාතික අධ්‍යාපන ආයතනය විජය ළමා පුවත්පත හා ප්ලෑන් ශ‍්‍රී ලංකා ආයතනයේ අනුරාධපුර ශාඛාව වැඩසටහනෙහි හවුල්කරුවෝය.

සහභාගිවුවන් එදිනම ස්වයං නිර්මාණකරණයෙහි යොමු කරනු ලදුව වැඩිදෙනාගේ නිර්මාණවලට නරියාගේ චරිතය අන්තර්ගත කරගෙන තිබීමද වෙසෙස්ය. ඉන් බැහැර වූ නිර්මාණ ද අතළොස්සකි.

ඩබ්ලිව්.එම්. චන්ද්‍රලතා වීරකෝන් මහත්මිය කහටගස් දිගිලිය මැදි විදුහලේ සිංහල විෂය භාර ආචාර්යවරියයි.
ළමයින්ගේ නිර්මාණ කරණයේදී ඔවුන් දිරිගැන්වීම අත්‍යවශ්‍යයි. සමහරවිටෙක ඒවා සාමාන්‍ය තත්ත්වයේ ඒවා විය හැකියි. එහෙත් ඔවුන් නැවත නැවත නිර්මාණ අභ්‍යාසයෙහි යෙදවීමට නම් ඒ ප‍්‍රයෝගය කළ යුතුයි. ඒ වාගේම බාහිර සම්පත්දායකයන් කියන්නේ සාහිත්‍යකරුවන් ලවා මගපෙන්වීම් උපදෙස් ලබාදීමටත් අත්‍යවශ්‍යයි. සම්පත්දායකයාට රටේ තිබෙන පිළිගැනීමත් ප‍්‍රසිද්ධියත් ළමයින් ඒ කෙරෙහි වඩාත් පෙළඹීමේ ප‍්‍රවණතාවන් වැඩිවෙනවා. ඒ කොහොම වෙතත් කලබල වූ ළමා මතයට නිර්මාණකරණය ඖෂධයක් වාගෙයි. ඉහළ තලයේ සිටින උදවිය පාසල්වල ප‍්‍රගතිය මනින මිනුම් දණ්ඩ වනුයේ විභාග ප‍්‍රතිඵලයි. ඉන් බාහිරව කොතෙක් උසස් වැඩසටහන් දියත් කර විශිෂ්ට ප‍්‍රතිඵල අත්කර ගත්තද මේ අය ඒවාට වටිනාකමක් නොදෙති. පාසල් පද්ධතිය තුළ නිර්මාණාත්මක ක‍්‍රියාකාරකම් පවත්වාගෙන යෑමේදී ඉහත තත්ත්වයෙන් ඇතිවනුයේ බාධාවකි. මේ බැරියර් එක ඉවත් කරගැනීමද ලෙහෙසි පහසු නොවේ. එනිසාම විදුහල්පතිවරුන්ට සේ ම ගුරුවරුන්ටද දුර්මුඛ සිටීම හැර වෙන කළහැක්කක්ද නැතිය යන අදහස දරනුයේ කහටගස්දිගිලිය මැදි විදුහලේ විදුහල්පතිවරයා වන එච්.එම්.ඒ. ගුණසිංහ මහතාය.

නිර්මාණාත්මක දරුවකුට විභාගයකට ලියත්දී ඔහුගේ නිර්මාණාත්මක හැකියාව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගැනීමට ඉවහල් කර නොගන්නේද? යන ප‍්‍රශ්නය මෙහිදී පැන නැගීම ස්වාභාවිකය. අපූරු කුසලතාවන්ගෙන් පිරිපුන් මේ රජරට දරුවන්ට ඒවා වඩාත් ඔප් නංවා ගැනීමට අවශ්‍ය දිරිය ලැබෙනුයේ නම් මෙවැනි වැඩසටහන්වලින්ම පමණක් බවට විවාදයක් නැත. එවැනි දරුවන්ගේ විභව ශක්තීන්ද ඉස්මතු කරගැනීමට අවශ්‍ය පදනම සකස් නොකර ඒකතානයකින් හැඩගස්වන පවතින ඉගෙනුම් ක‍්‍රියාවලියේ අවසන් ප‍්‍රතිඵලය වනුයේ මානුෂීය ගුණාංගයන්ගෙන් හීන වූ සාමාජිකයකු ලෙසින් මහා සමාජයට පිවිසීමයි. සහජීවනයෙන් විතැන්වුණ ප‍්‍රචණ්ඩත්වය අරාගත් සමාජ වටාපිටාවක් වත්මනෙහි බිහිව ඇත්තේ එනිසා නොවේද යන පැනය අප මුවවිටටම පැමිණ ඇතත් පිළිතුරු සොයන්නෝද නැතිවීම අපේ අවාසනාව මිසක වෙන කුමක්ද?

මේ දරුවන්ගේ නිර්මාණ මුද්‍රණයට සූදානම් කර ඇතිමුත් ප‍්‍රකාශනයට අතදෙන්නකු නොසිටීම ඔවුන්ගේ දුර්භාග්‍යයකි. එනිසා අනුග‍්‍රාහයකුගේ අතදීම කෙරෙහි මේ දරුවෝ නෙත් අයාගෙන බලා සිටිති.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;