රාවය

ස්වභාව අධ්‍යයනය පාඩම කාවයියෙක් අල්ලාගෙන කළා |නීතිඥ පියදාස රන්පත්විල

ස්වභාව අධ්‍යයනය පාඩම කාවයියෙක් අල්ලාගෙන කළා |නීතිඥ පියදාස රන්පත්විල

නිමල් අබේසිංහ

නීතීඥ පියදාස රන්පත්විල පුහුණු ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹුවෙකි. සම්මානලාභී නවකතාකරුවෙකි. කෙටිකතාකරුවෙකි. මානව හිමිකම් ක‍්‍රියාධරයෙකි. ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥයෙකි.

ඔබ නුවර කලාවියේ කෙනෙක්. කොහොමද ගමේ ගෙවුණු අතීතය?

අනුරාධපුරයේ, නුවර කලාවියේ රන්පත්විල මගේ උපන්ගම. ගමේ පාසලේ අටවැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තා. ඉන් ඉහළට උගන්වන්න පාසලේ ගුරුවරු හිටියේ නෑ. වෙනත් පාසලකට යන්න තරම් අපට වත්කම් තිබුණෙත් නෑ. මම කුඩා කලම පියා මියගිය නිසා හැදුණේ අත්තම්මගේ රැුකවරණය යටතේයි. ඒ නිසා ගමේ කොලූ ?න එක්ක වැව්පිටිවල ඇවිදිමින් මාස හයක්ම කාලය ගත කළා. නියඟයට වැව්වල වතුර හිඳිලා යනකොට වතුර බොන්න එන හරක් වැවේ මඬේ එරිලා මිය යන්න ගිය අවස්ථාවල් එමටයි. ඒ වගේ හරක් ගොඩට අරගෙන ඇවිත් වතුර ගෙනත් බොන්න දීලා වෙහෙස වැඩිකමට අපිත් ඒ වතුරම බීපු අවස්ථාවල් තියෙනවා. පාසල් නොගිය කාලේ කළ ඒ වැඩ ගැන අදත් සතුටක් දැනෙනවා. කොහොම හරි මාස හයකට පසුව මම නැවතත් කහටගස්දිගිලිය පාසලට යනවා. අපොස සාමාන්‍ය පෙළ සමත්වනවා කියන එක ඒ කාලේ හිතුවේ නෑ. එහෙම වුණොත් ගමේ අනෙක් ළමයි කරනව වගේ ගමේම හේන්වල කුඹුරුවල කුලීවැඩට යන්න මගේ කිසිම කැමැත්තක් තිබුණේ නෑ. ඒ නිසා මගේ බලාපොරොත්තුව තිබුණේ ති‍්‍රකුණාමල වරායේ වැඩට ගිහින් නැවක සේවකයෙක් වෙලා කොහොම හරි රට යන්නයි. ඒත් අපොස සාමාන්‍ය පෙළ ඉතාම ඉහළින් සමත් වුණා. හැබැයි ඒ කාලේ උසස් පෙළ පන්ති අනුරාධපුර දිස්ත‍්‍රික්කයේම තිබුණේ පාසල් දෙකකයි. ඒ අනුරාධපුර හා කැකිරාව සෙන්ට‍්‍රල්්. හීනෙකින්වත් මට ඒවට යන්න හැකියාවක් තිබුණේ නෑ. ඒ හින්දා මට උසස් පෙළත් නෑ.
ඉතින් මම ගුරු අභ්‍යාස විදුහලට ඇතුල්වීමේ විභාගයෙන් සමත් වෙලා පුහුණු ගුරුවරයෙක් වුණා. පසු කාලෙක පේරා දෙණියෙන් බාහිර උපාධියක් ලබාගත්තේ පුහුණු ගුරු සහතික සුදුසුකමක් කරගෙනයි.

ඔබේ මුල්ම වෘත්තීය ගුරු ජීවිතය ගෙවෙන්නේ කොහොමද?

මුල් අවුරුදු දහය තුළ පාසල් දාහතරකට මාරුවීම් ලැබුණා. මේ හැම මාරුවක්ම ප‍්‍රශ්න නොකරම බාර අරන් මම මගේ කාර්ය ඉටුකළා. කිසිම තැනක ඉගැන්නුවේ නැතැයි කියන චෝදනාව නම් මට ආවේ නැහැ. එහෙත් නිලධාරීන් හා විදුහල්පතිවරුන් සමග ගැටුම් ඇතිකරගැනීමයි මට තිබුණු චෝදනාව.
හැබැයි මම අදත් වඩාත් තෘප්තිමත් වෙන්නේ ගුරු වෘත්තියේ යෙදුන කාලයටයි. පාඩමක් උගන්නලා ලබන තෘප්තිය ඊට පසු මා කළ කිසිම රැුකියාවකින් ලබන්න බැරි වුණා.

ඔබේ ගුරු දිවිය තුළ කළ අමතක නොවන අත්දැකීම් ඇතිනේ.

අධ්‍යාපනයේ ‘ක‍්‍රියාවෙන් අවබෝධය’ සංකල්පය හඳුන්වා දෙන්නටත් කලින් ඒ හා සමාන අන්දමින් මගේම අදහස් අනුව ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සපයාදෙමින් පාඩම් ඉගැනීමට මම දරුවන්ට අවස්ථාව ලබාදුන්නා. එක් පාසලකදී ස්වභාව අධ්‍යයනය පාඩමකදී වැවෙන් අල්ලාගත් කාවයියෙක් යොදාගෙන පාඩම කළා. පාඩම සාර්ථක වුණත් ළමයින්ට වැවේ මාළු අල්ලන්න පොළඹවනවා කියා උපාසකයෙක් මට බරපතළ චෝදනාවක් එල්ල කළා.

කල්ලංචිය මහා විද්‍යාලයේ පහේ පන්තියේ පිරිමි ළමුන් පමණක් සිටි පන්තියක ස්වභාව අධ්‍යයනය පාඩමක් උගන්වන්න ගිහින් ලොකු අකරතැබ්බයකට මුහුණ පෑවා. පී.රූබන් පීරිස්ගේ විෂය නිර්දේශිත පොතේ කටුස්සා පාඩම. මම ළමයින්ට කීවා හෙට කටුස්සෙක් පණ පිටින් අල්ලන් එන්න. පහුවදා උදේ මට පන්තියට ඇතුලූවෙන්න බැරි තරමට පන්තියේ කටුස්සෝ ගැටගහලා තිබුණා. මේ සත්තු පොරකන හැටි බලන්න අනෙක් පන්තිවල ළමයිනුත් ඇවිත්. කටුස්සෝ පොර කනකොට අනිත් ළමයි අත්පුඩි ගහනවා. හරියට පොර කුකුල් පිටිය වගේ. කොහොම හරි කටුස්සෝ ළමයින් ලව්වාම එළියට අරන් ගිහින් කැලේට මුදාහැරවලා දෙන්නෙක් විතරක් තියාගෙන පාඩම කළා.

ගුරුවරයා විසින් ශිෂ්‍යයා නිවැරදිව තේරුම්ගෙන ඔහුට ඉගැන්විය යුතු බව අධ්‍යාපන විද්‍යාවේ ඇති නිගමනයන් අභියෝගයට ලක්වුණු සුන්දර මතකයකුත් තියෙනවා. තුන්වැනි පන්තිය භාර ගුරුවරයා ලෙසට උගන්වනකොට. ඒ පන්තියේ හිටියා කීර්තිසේන කියලා දරුවෙක්. ඒත් මේ ළමයා අනෙක් අයට වඩා තරමක් වයසිනුත් වැඩියි. ඒත් කිසිම කතා බහක් නෑ. ඒ කාලේ වතුවැඩ කියලා විෂයක් තිබුණා. ඉතින් පන්තියේ ළමයින්ට වගා කරන්න පාසල් වත්තෙත් බිම් ප‍්‍රමාණයක් ලබා දෙනවා. ඒ විදිහට පන්තියේ ළමයි තුන්දෙනකුට එක පාත්තිය බැගින් බෙදා දෙනකොට අර කීර්තිසේන කියන ළමයා ඇවිත් එයාට පාත්ති තුනක්ම ඉල්ලූවා. මේ නිශ්ශබ්ද ළමයගෙ ඉල්ලීම මම බොහොම උවමනාවෙන් ඉටුකළා. පහුවදා මම පාසලට එනකොට අර පාත්ති තුනේ වෙන ළමයි තුන්දෙනෙක් උදලූ ගානවා. කීර්තිසේන පේන්න නෑ. අනෙක් ළමයින්ගෙන් ඒ ගැන අහපුවහම ළමයි හිනා වුණා මිසක පිළිතුරු දුන්නේ නෑ. පස්සේ එක ළමයෙක් මගේ ළඟට ඇවිත් සිද්ධිය කීවා. බලනකොට කීර්තිසේන අර ළමයි තුන්දෙනාට පාත්ති තුන ශත තිහකට විකුණලා.

දැනුවත් පුරවැසියකු බිහිකිරීමෙහි ලා මෙරට අධ්‍යාපන ක‍්‍රමය සමත් යැයි ඔබ සිතනවාද?

එදා අපේ ගැමියෝ අධ්‍යාපනය හැටියට සැලකුවේ බෙහෙත් සීට්ටුවක්, විදුලි පණියුඩයක් කියවගන්න තරමට අකුරු සාස්තරේ ඉගෙන ගත්තහම හොඳමට ඇතිය කියන එකෙනුයි. රජයේ තනතුරක් දරන්නට ඒ කාලේ සාමාන්‍ය ජනතාවට වරම් තිබුණෙත් නැහැ. පනස් හයේ පෙරළියෙන් පස්සේ මේ තත්ත්වය සීඝ‍්‍රයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. බෙහෙත් සීට්ටුව, විදුලි පණිවුඩය කියන විටම අපේ ගැමියෝ නිර්මාණය කරගෙන තිබුණේ ලෝක ව්‍යවහාරයේ සාක්ෂරතාව කියන යෙදුමට සමාන අර්ථයක් දෙන්නටයි.

අධ්‍යාපන ක‍්‍රියාවලිය මෙහෙයවිය යුතු නිවැරදි දිසාව තීරණය කළ යුත්තේ අධ්‍යාපඥයන් විනා සාමාන්‍ය ජනතාව හෝ දේශපාලකයන් නොවෙයි. ඒත් අපේ රටේ අධ්‍යාපනඥයන් මේ තත්ත්වය එදා මෙන්ම අදත් නිවැරදිව තේරුම්ගෙන ක‍්‍රියා කළ බවක් පෙනෙන්නට නැහැ. ආණ්ඩු මාරුවෙන හැම විටෙකම අධ්‍යාපනයට එකිනෙකට වෙනස් අර්ථ ආරෝපණය කරන්න දේශපාලකයෝ උත්සාහ කළා. සාමාන්‍ය ජනතාව පමණක් නෙවෙයි, දේශපාලකයන්ගේ මතවාද ඉක්මවා යන්නට අධ්‍යාපනඥයන් යැයි කියාගන්නා අයවත් එඩිතර වුණේ නැහැ. ඒ තත්ත්වය යටතේ දැනුවත් පුරවැසියන් බිහිකිරීමේ වගකීම කාටත් නොදැනීම වාගේ අධ්‍යාපන කාර්යයෙන් ගිලිහී ගියා කියලයි මට නම් සිතෙන්නේ. අද වනවිට අධ්‍යාපනය ප‍්‍රසිද්ධ විභාග දෙක තුනකට සීමාවෙලා තියෙන්නේ ඒ නිසයි.

ලේඛකයකු ලෙස ඔබේ ආගමනය සිද්ධවෙන්නේ කොහොමද?

මා ජීවත්වෙන රජරට වියළි කලාපයේ ජන ජීවිතය පිළිබඳව හදවත සසල කළ අත්දැකීම් සමූහයක් ටිකෙන් ටික එකතුවෙමින් තිබුණා. ඒවත් සමග මා මුලින්ම ලිවීම ආරම්භ කළේ ඇත්ත පුවත්පතටයි. ඒ නවසිය හැත්තෑව දශකයේ මුල් භාගයේදි. පසුව මා කල්පනා කළා පුවත්පතක් මගින් හෙළිදරව්වකට වඩා නිර්මාණාත්මක ලේඛනය මගින් පාඨකයන්ගේ සිතට ගතට වඩාත් කාවදින ලෙස දනවන්නට වඩාත් සුදුසු බව. ඒ අනුවයි ළමා කතා, කෙටිතතා, නවකතා ආදී ග‍්‍රන්ථ කීපයක් මා අතින් එළිදැක්වුණේ. නිර්මාණ කරණයට අතගැසූ ලේඛකයන්ගේ ප‍්‍රමාණයට සරිලන විචාරකයන් සංඛ්‍යාවක් මෙන්ම අපක්ෂපාතී විචාර කලාවක් මෙරටෙහි බිහි නොවීම මෙරටෙහි ලේඛන ක්ෂේත‍්‍රයට ප‍්‍රවිශ්ට වූ මා මෙන් බොහෝ ආධුනිකයනට සිදුවූ අසාධාරණයක් ලෙසටයි මා දකින්නේ. එනිසාම කියවීමේ සංස්කෘතිය අභාවයට පත්වෙමින් පවතින සමාජයක කොටස්කරුවන් ලෙස අද අපට ජීවත්වෙන්න සිදුවී තිබෙනවා.

මානව හිමිකම් ක‍්‍රියාකාරිකයකු මෙන්ම ප‍්‍රවර්ධකයකු හා ආරක්ෂකයකු ලෙස ඔබේ අත්දැකීම් කොහොමද?

කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යාපනික වැඩසටහන් සැලසුම් කර ක‍්‍රියාත්මක කිරීමට සම්බන්ධ වීමත් සමගයි මා මානව හිමිකම් ක්ෂේත‍්‍රයට පිවිසුණේ. මේ මගින් දිවයින පුරා පිහිට වූ ප‍්‍රජා මධ්‍යස්ථාන පාසල් හා අධ්‍යාපන විද්‍යාපීඨ ඔස්සේ ප‍්‍රජාව දැනුවත් කළා. මානව හිමිකම් සංකල්පය අපට බටහිරින් පැටවූ දෙයක් නෙවෙයි, අපේ සංස්කෘතිය තුළ මුල්බැස තිබූ බවත්, බෞද්ධ දර්ශනයේ මානව හිමිකම් සංකල්පය ගැබ්ව ඇති බවත් පැහැදිලි කිරීමට මේ වැඩසටහනේ දී හැකියාව ලැබුණා. රාජපක්ෂ පාලනය නම් බුල්ඩෝසරයට අප ගත් උත්සාහය 2005 සිට පොඩි පට්ටම් වී ගිය බවත් කිව යුතුයි. මානව හිමිකම් ක්ෂේත‍්‍රයට නීති වෘත්තිකයකු ලෙස පිවිසියත් පාසල් ශිෂ්‍ය අවධියේදී පවා සමාජ සාධාරණත්වය සුරැුකීම සඳහා යම් උත්සාහයක් ගතයුතු බව මට අවබෝධ වී තිබුණා. ඒ නිසා අදටත් සමාජ සාධාරණත්වය ඇති කිරීම පිිණිස යොදාගත හැකි ප‍්‍රතිසංස්කරණ හා මෙවලමක් ලෙසිනුයි මම මානව හිමිකම් ගැන දකින්නේ. ඒත් අදටත් අපේ රට මානව හිමිකම් පිළිබඳව දක්වන්නේ කුඩම්මගේ සැලකිලි. බලන්නේ වපරැසින්.

අධ්‍යාපනඥයකු ලෙසින් යෙදුණු භූමිකාවේ අත්දැකීම් මොන වගේද?

ජාතික අධ්‍යාපන ආයතනයට සම්බන්ධවීමත් සමගයි මගේ අධ්‍යාපනඥ භූමිකාව ඇරඹෙන්නේ. මා සම්බන්ධ වුණේ එහි නොවිධිමත් හා තාක්ෂණික අධ්‍යාපන දෙපාර්ත මේන්තුවට. ජාතික අධ්‍යාපන ආයතනයට වෙනත් ආයතනවල අධ්‍යාපනික වැඩසටහන් සැලසුම් කිරීමේ හා මෙහෙයවීමේ අවස්ථාත් ලැබෙනවා. එක් කාලෙක විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් අපේ දෙපාර්තමේන්තුවට වැඩ සටහනක් ලැබුණා. ඒ විදේශගත වන කාන්තාවන් දැනුවත් කිරීමටයි. අපි එහිදී කාන්තාවන් විදේශගත වීම නිසා ඒ පවුල්වල දරුවන්ට අත්වන ඉරණම වගේ දේවල් ගැනත් විදේශගත වීමට අපේක්ෂා කරන කාන්තාවන්ට ලබාදුන්නා. ප‍්‍රතිඵලය වුණේ කාන්තාවන් විදේශගතවීම අඩුවීම. ඒ නිසාම අපට නැවත විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඒ පුහුණු වැඩසටහන ලබාදුන්නේ නෑ. කාන්තාවන් විදේශගත වීම නිසා ඒ පවුල් බොහොමයකට අත්වන ඉරණම ගැන පුවත්පත්වලින් දැකගත හැකියිනේ.

ඔබේ දිවියේ වඩාත්ම කැමති වෘත්තීය භූමිකාව කුමක්ද?

කෙටිම පිළිතුර ගුරු වෘත්තිය යන්නයි. ගුරු වෘත්තිය හා අධ්‍යාපන ක්ෂේත‍්‍රය මුළුමනින්ම අතහැරදා නීති වෘත්තියේ යෙදෙන්නට පටන්ගත් තැනදී තමයි මට ඒ බව හොඳින් තේරුම් ගියේ. සාර්ථක නීතිඥයෙක් විය හැක්කේ ගුරු වෘත්තිය භූමිකාව තුළින් මා තුළ උපන් සානුකම්පිත මනුෂ්‍යත්වය මරා දැම්මොත් පමණක් බව මට තේරුම් ගිහින් තියෙනවා. ඒ අපරාධය මා විසින් නොකළ යුතු බව මේ වනවිට නිගමනය කර හමාරයි.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;