රාවය

වේදිකාවේ දිරිය මව බැස ගියාය

වේදිකාවේ දිරිය මව බැස ගියාය

ප‍්‍රසන්නජිත් අබේසූරිය

ප්‍රතිභාන්විත රංගන ශිල්පිනියක, නාට්‍ය රචිකාවියක, නාට්‍ය අධ්‍යක්ෂවරියක, රංගකලා ආචාර්යවරියක, රංගායතන අධ්‍යක්ෂිකාවක, නාට්‍ය හා රංගකලා අධ්‍යාපන ක්ෂේත‍්‍රයෙහි උපදේශිකාවක වශයෙන් හා විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරියක වැනි නන් වැදෑරුම් අංශයන්ගෙන් දෙස් විදෙස් හි ඉටු කළා වූ සුවිශේෂී මෙහෙවර හේතුවෙන් සිංහල නාට්‍ය කලාවෙහි කාන්තා නියෝජනය තුළ අද්විතීය නාමයක් සෝමලතා සුබසිංහ නාට්‍යවේදිනියට හිමිවන්නේ ය.

සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත නාට්‍යයන්හි නාට්‍යධර්මී ශෛලියෙන් රංගනය ආරම්භ කළ ඇය, ස්වභාවිකත්වයට ළංවූ යථාර්ථවාදී ශෛලියෙන් නිර්මිත නාට්‍යවල ලෝකධර්මී ශෛලියෙන් ද එක සේ සාර්ථකව රංගනයේ යෙදුණේ සිංහල නාට්‍ය කලාවට අමරණීය චරිත රැුසක් එක් කරමිනි.

එලොව ගිහින් මෙලොව ආවා නාට්‍යයේ කළුහාමි, මූදු පුත්තු නාට්‍යයේ සරා, දිරිය මව නාට්‍යයේ දිරිය මව, චෙරි උයන නාට්‍යයේ රැුනවෙස්කයා ආර්යාව, බර්නාඩාගේ සිපිරිගෙය නාට්‍යයේ බර්නාඩා වැනි සංස්කෘතික, භූගෝලීය හා යුගයන් වශයෙන් හා රංග ශෛලියෙන් එකිනෙකට පරස්පර වූ චරිත රැුසක් ඇය වේදිකාව මත ප‍්‍රතිනිර්මාණය කළේ ඇයටම සුවිශේෂ වූ රංග මාධුර්යයක් හා රංග පෞරුෂයක් ද එක් කරමිනි.

ශී‍්‍ර ලංකාව තුළ සැබෑ ළමා නාට්‍ය කලාවක් ස්ථාපිත කිරීමට ඇය තම පෞද්ගලික ධනය, ශ‍්‍රමය හා කාලය කැපකොට ළමා හා යොවුන් නාට්‍ය ආයතනය ආරම්භකර විශිෂ්ට ගණයේ ළමා නාට්‍ය රැුසක් නිර්මාණය කිරීමෙන් ද, අනාගතයේ ශ‍්‍රී ලාංකේය නාට්‍ය කෙත අස්වැද්දීමට දැනුමින් හා දක්ෂතාවයෙන් සන්නද්ධ ශිල්පීන් රැුසක් බිහි කිරීමෙන් ද ඇය සිංහල නාට්‍ය කලාවට සිදු කළ මෙහෙවර අපිරිමිත ය. වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය යන ත‍්‍රිවිධ මාධ්‍යයන්හි නිර්මාණ දායකත්වය සඳහාත්, අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ හා සාමාජයීය කාර්යයන්හි ද සිදු කළ මෙහෙවර වෙනුවෙන් ඇය දෙස් විදෙස් හි ගෞරව සම්මානයට හා උපහාරයට ලක් වූ අවස්ථා ගණනාවකි.
දශක හයකට ආසන්න කාලයක් පුරාවට ශ‍්‍රී ලාංකේය නාට්‍ය කලාවට සිදුකරන ලද අනුපමේය මෙහෙවර වෙනුවෙන් සෞන්දර්ය කලා විශ්විද්‍යාලයීය නර්තන හා නාට්‍ය කලා පීඨය මඟින් නම් කොට එකී විශ්වවිද්‍යාලයීය සනාථන සභාව හා පාලක සභාව විසින් ගෞරවනීය ලෙස පිළිගෙන අනුමත කරන ලද සෝමලතා සුබසිංහ මහත්මියට දර්ශනසූරී සම්මාන උපාධිය 2013.12.23 දින පිරිනමන ලදි.

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලින් ආරම්භ කළ ඇයගේ රංගනයෙන් ඔපවත් වූ නාට්‍ය සියල්ලම සිංහල නාට්‍ය ක්ෂේත‍්‍රයේ කඩඉම් නාට්‍ය ලෙස ඉතිහාසගත වී ඇත. දයානන්ද ගුණවර්ධනගේ ”නරිබෑනා” සිදත් ශ‍්‍රී නන්ද ලෝචනගේ ”අත්තක මල් පරව ගියා” සරච්චන්ද්‍රයන්ගේ ”පබාවතී”, ”කදාවළලූ” ගුණසේන ගලප්පත්තිගේ ”මූදු පුත්තු”, ”ලියතඹරා” ධම්ම ජාගොඩගේ ”වෙස්මුහුණු” හෙන්රි ජයසේනගේ ”දිරිය මව” රංජිත් ධර්මකීර්තිගේ ”හිරු නැති ලොව”, ”චෙරි උයන”, ”අන්ගාරා ගඟ ගලා බසී” චූලා කාරියවසම්ගේ ”සිරිත් විරිත්” රංජනි ඔබේසේකරගේ ”බර්නාඩාගේ සිපිරි ගෙය” ෆ‍්‍රිට්ස් බෙනවිට්ස්ගේ ”ආඬි රැුලේ නාඩගම” ආදී නාට්‍ය අතුරින් මූදු පුත්තු නාට්‍යයේ සරාගේ භූමිකාව හා දිරිය මව නාට්‍යයේ දිරිය මවගේ භූමිකාව ඇයගේ වේදිකා නාට්‍ය රංගන ජීවිතයේ සදානුස්මරණීය සිහිවටනයන් වේ. එතෙක් සිංහල වේදිකාවේ දැක නොතිබූ අපූර්වතම චරිතයක් වූ සරාගේ චරිතය රඟමින්, එතෙක් ශෛලිගත නැතහොත් නාට්‍ය ධර්මී ශෛලියෙන් නිර්මාණය වූ නාට්‍යයන්හි නර්තනය හා ගායනය බහුලව භාවිත කරමින් රඟපෑමේ යෙදී සිටි සෝමලතා සුබසිංහ ලෝකධර්මී ශෛලියේ යථාර්ථවාදී රංගනයට ද එකසේ දක්ෂතාව දක්වන්නියක බව සනාථ කිරීමට සමත් වූවා ය.

වේදිකා නාට්‍යයේ රංගනයට පමණක් සීමා නොවූ ඇය, සරච්චන්ද්‍රයන්ගේ ”මහාසාර”,”කදාවළලූ”, ”වෙස්සන්තර” වැනි නාට්‍යයන් හි රංග වින්‍යාස නිර්මාණකරණයට ද දායක විය. විවිධ නර්තන සම්ප‍්‍රදායයන් පිළිබඳ වසන්ත කුමාර, කේ. ඇස්. ප‍්‍රනාන්දු වැනි ගුරුවරුන් යටතේ නර්තනය හැදෑරීමෙන් හා ආනන්ද සමරකෝන්, ඩබ්. ඞී. අමරදේව, රොම්ලස් මාස්ටර් වැනි ගුරුවරුන්ගෙන් සංගීතය ඉගෙනීමෙන් ඇය සතු වූ ප‍්‍රායෝගික දැනුම ඵලදායී ලෙස ඒ සඳහා යොදා ගත හැකි විය.
සිංහල වේදිකා නාට්‍යයේ මහා යුග පුරුෂයා වූ සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයයෙන් වේදිකාවට ප‍්‍රවේශ වූවා සේම, සිංහල සිනමා රංගනයට සෝමලතා සුබසිංහ එක්වන්නේ සිංහල සිනමාවේ මහා යුග පුරුෂයා වූ ලෙස්ටර් ජේම්ස් පීරීස්ගේ ”මඩොල් දූව” චිත‍්‍රපටයෙනි. එතැන් සිට සුනිල් ආරියරත්නගේ ”සිරිබෝ අයියා” තිස්ස අබේසේකරගේ ”මහගෙදර”, ”විරාගය”, ”ගුරුගෙදර” ටී. අර්ජුනගේ ”වසන්තයේ දවසක්” අශෝක හඳගමගේ මේ ”මගේ සඳයි” වැනි ඉතාමත් සීමිත වූ චිත‍්‍රපට ගණනක ඇය රඟපෑ චරිත සියල්ලම සදා මතකයේ රැුඳෙන පේ‍්‍රක්ෂක ප‍්‍රසාදය දිනාගත් රංගනයන් විය. හොඳම සහය නිළිය ලෙස වසන්තේ දවසක් චිත‍්‍රපටයේ, රංගනය සඳහා ජනාධිපති සම්මානයත්, විරාගය චිත‍්‍රපටයේ රංගනය සඳහා ස්වර්ණ සංඛ සම්මානයත් ඇය දිනාගත්තා ය.

සිංහල නාට්‍ය කලාවේ පුරෝගාමී නාට්‍යකරුවන්ගේ නිර්මාණවලට දායකත්වය ලබාදීමෙන් ද චෙකොස්ලෝවැකියාව, හංගේරියාව, බල්ගේරියාව, රුසියාව, නැගෙනහිර ජර්මනිය, එංගලන්තය වැනි ළමා නාට්‍යය කලාව ඉතා උසස් මට්ටමින් පවතින රටවලින් ලද දැනුම ද අත්දැකීම් ද ඇතිව 1980 වසරේදී ”ළමා හා යොවුන් රංග පීඨය” ආරම්භ කළ සෝමලතා සුබසිංහ තමන් ලද දැනුම අනාගත පරපුරට දායාද කරනු වස් තම රංගපීඨය මඟින් නාට්‍ය වැඩමුළු පැවැත්වීමටත් එම ශීල්පීන්ගෙන් නාට්‍ය නිෂ්පාදනය කිරීමත් ආරම්භ කළාය. විශේෂයෙන්ම ළමා නාට්‍ය කලාව පිළිබඳ මෙරට කිසිවකුගේ අවධානය යොමු නොවූ කාලයක ළමා මනස වඩාත් හොඳින් අවබෝධ කොටගෙන ළමා මනෝ විද්‍යාවට අනුකූලව සැබෑ ළමා නාට්‍ය කලාවක් බිහිකිරීමට ඇය ඇයගේ රංගන ජීවීතයත්, පෞද්ගලික ජීවිතයේ බොහෝ දේත් කැප කළාය.
”පුංචි අපට දැන් තේරෙයි”, ”තොප්පි වෙළෙන්දා”, ”රත්මලී”, ”ගමරාළ දිව්‍ය ලෝකෙට”, ”හිමකුමරිය”, ”වළස් පවුල”, ”පාර හරහා” වැනි ළමා නාට්‍ය ගණනක් ඇය රචනා කොට නිෂ්පාදනය කළ අතර කතන්දර දෙකක් නමින් 1980 දශකයේ සිට අද දක්වා රඟදැක්වෙන ”පුංචි අපට දැන් තේරෙයි” හා ”තොප්පි වෙළෙන්දා” මෙරට ළමා නාට්‍ය කලාවේ පරමාදර්ශී නිර්මාණ ලෙස විචාරක හා පේ‍්‍රක්ෂක අවධානය දිනාගත් නාට්‍ය දෙකකි. ”හිම කුමරිය” ඇයගේ ළමා නාට්‍ය නිෂ්පාදන අතර විශිෂ්ටතම නිර්මාණය වේ.

ඇයගේ නාට්‍ය නිර්මාණ අතර වඩාත් විචාරයට බඳුන් වූ හා ජනපි‍්‍රයත්වය දිනාගත් නාට්‍යය වූයේ ”විකෘති” නාට්‍යයයි. 1982 වසරේදී නිර්මාණය වූ ”විකෘති” මෙරට යොවුන් තේමාත්මක නාට්‍ය අතර විශිෂ්ටතම වූත් සර්වකාලීන වූත් නිර්මාණයක් ලෙස 1982 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව රඟදැක්වේ. මෙම නාට්‍ය සියල්ල ඉංගී‍්‍රසි බසින් ද මෙරට මෙන්ම විදේශ රටවල් ගණනාවක ද රඟ දැක්වීමට ද අවස්ථාවක් උදාවීමෙන් ඇය මෙරටට ඉමහත් කීර්තියක් අත්කර දුන්නා ය.

අතළොස්සක් වූ සිංහල නාට්‍ය අධ්‍යක්ෂවරියන් අතර ප‍්‍රමුඛයෙකු වූ සෝමලතා විදේශීය නාට්‍ය අනුවර්තන හා පරිවර්තන කෘතීන් ද නිෂ්පාදනය කරමින් සම්මානයට පාත‍්‍ර විය. ඒ අතර නුගුගිවා තියන්ගො ගේ The Trial fo Dedan Kimathi නාට්‍යය ඉංගී‍්‍රසි භාෂාවෙන් හා එහි සිංහල පරිවර්තනය ”යදම්” නමින් ද නිර්මාණය කළ අතර 1993 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ දී වසරේ හොඳම නාට්‍ය ඇතුළු සම්මාන රැුසක් එයට හිමිවිය. සොෆොක්ලීස්ගේ ”ඇන්ටිගනී” නාට්‍යයේ සිංහල පරිවර්තනය නිෂ්පාදනය සඳහා 1994 රාජ්‍ය නාට්‍ය උළෙලේ දී හොඳම නාට්‍ය සඳහා නිර්දේශ වූ අතර සම්මාන කිහිපයක් ද හිමිවිය. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ”දිරිය මව” සිංහල පරිවර්තනය ”මවකගේ සංග‍්‍රාමය” නමින් නිෂ්පාදනය කරමින් එහි මවගේ භූමිකාව රඟ දැක්වී ය. ඉකුත් 30 වැනිදා ජීවිතයෙන් සමුගත් ඇය සැබැවින්ම සිංහල වේදිකාවේ දිරිය මව වූවාය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;