රාවය

භූමිකම්පා සිදුවීමට හේතු

භූමිකම්පා සිදුවීමට හේතු

 

පසුගිය 05 සිකුරාදා අග්නිදිග ආසියාවේ උසම කඳුවලින් එකක් වන මැලේසියාවේ සබා පළාතේ කිනබාලූ කන්දේ භූමි කම්පාවක් සිදුවිය. රික්ටාර් මාපකයේ 6.4 සටහන් කළ එහි ප‍්‍රතිඵලයක් ලෙස මරු මුව පත් 16ක් පමණ දෙනාගේ සිරුරු සොයා ගත් බව වාර්තා වී තිබිණි. මේ අතර අධ්‍යාපනික චාරිකාවක් සඳහා කන්දට නගිමින් සිටි සිංගප්පූරුවේ ටැංජොං කැටොං ප‍්‍රාථමික පාසලේ සිසුන් 6ක් ගුරුවරයෙක් සහ ඔවුන්ගේ මාර්ගෝපදේශකයා ද වෙති.

විපත සිදුවන අවස්ථාවේ එම සිංගප්පූරු ජාතිකයන්ට අමතර ව චීනය, ජපානය, එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය, පිලිපීනය, තායිලන්තය, තුර්කිය සහ ජපානය යන දේශවලින් පැමිණි සංචාරකයෝ කිනබාලූ කන්දේ වූහ.

06දා සිංගප්පූරුව සහ මැලේසියාවේ සබා පළාත් ආණ්ඩුව ශෝක දිනයක් ප‍්‍රකාශයට පත් කළේ ය. මුහුණු පොතේ සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී සෙයින් යූගේ පිටුවේ චාරිකාවට සහභාගි වූ ශිෂ්‍ය කණ්ඩායමේ ඡුායාරූපයක් සමග ශෝකය පළ කොට තිබෙනු දැකිය හැකි ය.

මේ අතර සබාහි නියෝජ්‍ය ප‍්‍රධාන අමාත්‍ය ජෝශප් පයිරිං කටිංගන් භූමි කම්පාවට හේතුව ප‍්‍රකාශයට පත් කොට ඇත. ඔහුට අනුව කිනබාලූ කන්දේ සිට සංචාරකයන් කණ්ඩායමක් නිරුවත් ඡුායාරූප ගැනීිම මෙම ආපදාවට හේතු කාරක ය.

කිනබාලූ කන්ද යනු පූජනීිය ස්ථානයකි. ඒවායේ අපේ මුතුන්මිත්තන්ගේ ආත්ම සැරිසරති. ඈත අතීතයේ සිට ම අපි මේ කන්දට වන්දනාමාන කළෙමු. එහෙත් දැන් බටහිරින් පැමිණෙන සංචාරකයන්ට ඒවායේ වගක් නැත. ඔවුහු ඒ පූජනීය ස්ථානයේ ගෞරවයට හානි පැමිණෙන පරිද්දෙන් හැසිරෙති. ඒ නිසා සොබා දහම කිපී මේ ව්‍යසනය පමුණුවා ඇත.

මෙසේ කියන්නට මූලික හේතුවක් වී ඇත්තේ මැලේසියාවට භූමිකම්පා විරල අත්දැකීමක් වීමයි. වර්තා වන ආකාරයට පසුගිය සියවසට ම 6.0 ඉක්මවන භූමිකම්පා එරටින් වාර්තාවී ඇත්තේ තුනක් පමණි. ඒවා 1923, 1951 සහ 1976 ය. එනිසා මෙබඳු අවස්ථාවක ඇතිවන කම්පනය පිිටවන්නේ එයාකාරයෙනි.

අපේ‍්‍රල් 26 සිට මැයි 12 දක්වා නේපාලයේ සිදුවූ භූමිකම්පාවලට හේතුව එළුවන් සහ ගවයන් දහස් ගණනක් ඝාතනය කරමින් පැවැත් වූ බිලි පූජාව බව ප‍්‍රචාරය විය. ප‍්‍රචණ්ඩ ගණයට අයත් එම භූමි කම්පා මාලාවෙන් 8,800ක් දෙනා ජීවිතක්‍ෂයට පත් ව 25,000 අධික සංඛ්‍යාවක් බරපතළ තුවාල ලදහ.

පාකිස්තානයේ ජමිට් උලෙමා-ඉ-ඉස්ලාම් පක්‍ෂයේ නායක මවුලානා ෆස්ලූර් රෙහ්මාන්ට අනුව භූමිකම්පාවලට හේතුව ජීන්ස් අඳින ස්තී‍්‍රන් ය. ඔහු මාධ්‍ය හමුවේ ඒ බව පවසා ඇත්තේ දැඩි කෝපයෙන් බව ද වාර්තා වෙයි. ‘මොනවද මේ ගෑනු අඳින ඇඳුම්? ගෑනියක් වුණාම අඳින්න ඕනෑ ගෝනියක් වගේ ඇඳුමක් මිසක් ඇ`ගපත කැපී පෙනෙන පිරිමි කුප්ප කරවන ඇ`ගපත කැපී පෙනෙන ඇඳුම් නෙවෙයිනේ. ඒවා අඳින ගෑනු මිසයිල් වාගේ. අපේ රටේ ප‍්‍රධාන නගරවල ඒ වාගේ මීසයිල් සිය ගණන් තිබෙනවා.’

මේ සියල්ල අවිද්‍යාත්මක බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් මේවා ඉතා ජනපි‍්‍රය ය. මොවුන් මේවා ප‍්‍රකාශ කරන්නේ තමන්ගේ ලබ්ධියට අනුව ය. එහෙත් ඔවුන් කියන දේ හිස් මුදුනින් ගන්නා මනැස් අන්ධයෝ සිටිති. ඒ අනුව ඇතිවන ප‍්‍රතිඵල ඇතැම්විට භයානක විය හැකි ය.