Saturday, 19/8/2017 | 5:21 UTC+0
රාවය

ලියුමට උත්තර එව්වේ ලතා මංගේෂ්කාර් විතරයි | ප‍්‍රවීණ සංගීතවේදී ටියුලින් ජයරත්න

ටියුලින් ජීවිතේ ටියුන් කරගත්තු විදිහ මොකක්ද?

චිත‍්‍රපටය තමයි මට කුතුහලය දැනෙව්වේ. අපි චිත‍්‍රපට බැලූවේ කඩුගන්නාවේ කීර්ති හෝල් එකේ. ඒකෙ ප‍්‍රාජෙක්ටර් එක බලන්න මට පුදුම ආසාවක් ඇතිවුණේ. ඒත් එහෙම යන්න දෙන්නෙ නැහැනේ. මම කොහොම හරි ප්‍රොජෙක්ටර් රූම් එකේ ඉන්න මිහිහත් එක්ක හිතවත් වුණා. දවස් දෙකතුනකට පස්සේ සිගරට් දෙකකුත් ගිහින් දුන්නා. වැඬේ හරි ගියා. මිනිහා ඉතින් මට රීල් දැමීමේ ඉඳලා රූප රාමු තිරයේ පතිත වීම දක්වා කියලා දුන්නා. මං ගෙදර ගිහින් නිකම් හිටියේ නැහැ. ප්‍රොජෙක්ටර් එකක් තනියම හදන්න පහුවදා ඉඳලම ලෙන්ස් හෙව්වා. අවුරුදු කීපයක් නුවර පීර පීර ලෙන්ස් හෙව්වා. හම්බවුණේ නැහැ. බැරිම තැන අතහැරලා දැම්මා. හැබැයි ඉතින් ඒ කුතුහලයයි, මං ගත්තු මහන්සියයි නිසා තමයි මට යම් මගක් පෑදුනේ.

මගක් පෑදුනා කිව්වේ

අපෙ ගෙදර ග‍්‍රැමර්ෆෝන් එකකුයි, තැටි ගොඩකුයි තිබුණා. තැටියෙන් අවසානෙදි ඉරක් යනවනේ. ඒ ඉර රවුමට යනවා මිසක් ඉවර වෙන්නේ නැත්තේ ඇයි කියන එක මට ප‍්‍රශ්නයක් වුණා. පස්සෙ කාලෙක ගුවන් විදුලියට ආවට පස්සෙයි මට ඒක තේරුණේ. මමත් තැටි හැදුවා. ටික්කි ටිකිරි මගේ පුතා කොළ අරගෙන කුරුටු ගාණ සින්දුවෙ තැටිය කැපුවෙ මම. ප්‍රොජෙක්ටර් එක හදාගන්න බැරිවුණාට තැටියෙ ඉර ගැන කුතුහලය මම කොහොම හරි ජයගත්තා.

කඩුගන්නාවෙන් එපිටට පැනගත්තේ කොහොමද?

කඩුගන්නාවේ ඉස්කෝලේ අපේ සංගීත ගුරුවරයා තමයි කේ.එම්.සුගතපාල මහත්මයා. එයා ගෝලයන්ට උගන්වන්න යනකොට මාව තබ්ලා ගහන්න ගන්නවා. මම තබ්ලා ගහන්න පුරුදු වුණේ තබ්ලාව ගහලා නෙමෙයි. අපේ ගේ ඉස්සරහා පොඩි පාලමක් තියෙනවා. පාලමේ යකඩ ඇන්දට මුද්දකුත් දාගෙන ගහලමයි මම තබ්ලා ගහන්න පුරුදු වුණේ. හින්දි සිංදුයි අපේ තැටිවල සංගීතයයි සේරම ඔළුවට අරගෙන තමයි මම පාලම් ඇන්දට ගැහුවේ. වික්ටර් රත්නායක, සෝමපාල රත්නායක දෙන්නත් අපේ ඉස්කෝලේ. ඔය කාලේ කුරුණෑගල මලියදේව කොල්ලෙක් ගීත ගායනයෙන් නැගලා ආවා. මම ඉස්කෝලෙ යන කාලෙම එයාටත් තබ්ලා ගහන්න ගියා. ඔහු තමයි ටී.එම්.ජයරත්න. ඔය කාලේ දවසක් පත්තරේ දාලා තිබුණා චිත‍්‍රපටවලට පසුබිම් වාදකයන් ඕනේ කියලා දැන්වීමක්. ඉන්ටවීව් කළේ පී.වී.නන්දසිරි. මාව තේරුණා. එක සිංදුවකට රුපියල් 40/= ක් ගෙව්වා.

මොනවද ඒ චිත‍්‍රපට

සුදෝසුදු. සැමියා බිරිඳගේ දෙවියාය. ඒකේ ජෝති කියපු කොතැනක සිටියත් ඔබ මෙලොවේ ගැහුවේ අපි. ලස්සන රත්තරං බබෝ වගේ සිංදු, රුක්මනී දේවි එතැනදි අපට දකින්න ලැබුණා. බුරුත අල්මාරියක් වගේ. ඒ වගේ සුන්දර නිළියක් ෂහ්.. කියලා වැඩක් නැහැ. මට හිතාගන්න බැහැ හරි පුදුමාකාර හොඳ ගතිගුණ තිබුණු කෙනෙක්. ඔහොම ඉන්නකොට අපට වැඩ නැති වුණා. මං කැකිරාවේ ගියා. කැකිරාව සෙන්ට‍්‍රල් එකේ මගේ යාළුවෙක් සංගීතය ඉගැන්නුවා. උඹ ඔන්න ඔහේ් මොකුත් කාලා හිටපන් මල්ලි කියලයි මිනිහා කිව්වේ. ඒත් මට ටික දවසකින් ගෙදර එන්න හිතුනා. ඒ කාලේ අපි සෙට් වෙන තැනක් තිබුණා නුවර රජ වීදියෙ රේඩියෝ ෂොප් එකක්. වික්ටර් එහෙමත් එතනට එනවා. ඒ වෙනකොටත් මට ටෙලිග‍්‍රෑම් හතරක් ඇවිල්ලා ටොරිංටන් එකට වාර්තා කරන්න කියලා. මම සේන වීරසේකරලගේ ගෙදර ඇවිත් වයලීන් එකකුත් ඉල්ලගෙන පහුවදා උදේම එස්.එල්.බීසී ගියා. සෝමදාස ඇතුල්විටිගල මම ගිය ගමන් ඔයාගේ ඉතින් මොනවා බලන්නද කියලා කිව්වා. ඒ වේලාවෙම ෂෙල්ටන් පෙරේරා හදමින් සිටි සිංදුවකට වයලීන් ගැහුවා. හැබැයි ස්ථීර සේවයෙ නෙවෙයි. මට ඔය රස්සාවට එන්න උදව් කළේ දැන් බීබීසි එකේ වැඩ කරන එල්මෝ ප‍්‍රනාන්දු. ඔය 1969 දී.

එතන කාලය ගෙවුනේ කොහොමද?

මම හැම දෙයක් ගැනම ස්වයං අධ්‍යයනයක් කරමින් හිටියේ. දවසක් රූපා ඉන්දුමතීගේ සරල ගී වැඩසටහනක් තිබුණා. එදා පියානෝ වාදනයට ඉන්න රොක්සාමිගේ අයියා කෙනෙක් ජෝලාසරස් කියලා. මිනිහා ආවේ නැහැ. දැන් රූපා සින්දු දෙකක් කියලා අනිකට පියානෝව ඕනේ. අන්තිමට මම පියානෝව ගැහුවා. මියුසික් කළේ මොහොමඞ් සාලි. සිංදුව පිය හිමියනි මා හදවත කුසුමේ රොන් මෙනිි. ඔය වගේ ‘මහවැලි’ ගීත නාටකයට වයිබ්‍රොෆෝන් කියලා ඉන්ස්ටෘමන්ට් එකක් ගෙනාවා. ගලන ගඟකි ජීවිතේ සිංදුවට මුලින්ම ගහන්නෙත් ඒක. ඒකත් මම අතපත ගාලා ඉගෙන ගත්තේ. නාග සළඹ වැයෙන පදට සොඳුරු ලියක රඟ මැවේ, ටී.එම් ගේ පුංචි පන්තිවල සැබෑම සුරතල් වගේ සිංදුවල මෙලඩි හැදුවෙත් මම.

ඔබ සංගීතය මෙහෙය වූ පිබිදෙන ගායක පරපුර වැඩසටහනට අත ගසන්නට වුණේ කොහොමද?

මට ඒක දවසක් හදිස්සියේම පටන් ගන්න වුණු වැඩක්. වැඬේ බාර වෙච්ච ගමන් මට ගායනයට නියමිත සිංදු දහයකටම නොටේෂන් ලිව්වා. තැටි ගබඩාව පැත්තෙවත් යන්න වේලාවක් නැහැ. බයි හාට් කරපු වැඩක් ඒක. නිවේදක කරුණාරත්න අබේසේකර. එයා මුලින්ම අප්සට් ගියා මම හදිස්සියේම මියුසික් ඩිරෙක්ට් කරනවා කිව්වම. යූ.ආරියවිමල් තමයි සවුන්ඞ් බැලන්ස් කරන්නේ. මිනිහා බොන්න ගිහින් ඉඳලා දුවගෙන ආවා. ආරි කිව්වා අත්පුඩි බැලන්ස් එක බැලූවා. තීම් මියුසික් බැලන්ස් එක බැලූවා. දෙකම එකපාරින් හරි. කරූ අයියාටත් පුදුමයි. මොකද වෙනදට දෙතුන් පාර ටෙස්ට් කරනවා. සිංදු දහය ඉවර වුණා විතරයි කරූ මට කිව්වා අයෑම් වෙරි සොරි ටියුලින්, මම මේ ගුවන් විදුලියෙදි කරපු ලස්සනමම වැඩසටහන මේක කියලා.

පිබිදෙන ගායක පරපුරෙන් පිබිදුණු ගායකයෝ කවුද?

ඇයි එඞ්වඞ් ජයකොඩි, රෝහණ බෝගොඩ. තව කට්ටිය ඉන්නවා. ඒ්ත් ඉතින් අපි සේවයේ ස්ථීරත් නැහැ. ප්‍රොග‍්‍රෑම් එකට ගෙව්වේ 3.50යි. 69 ඇතුළට ගියාම 82දි තමයි මාව ස්ථීර කළේ. අමරසිරි පීරිස්, ඞී.ඞී. ගුණසේන දෙන්නත් මාත් එක්ක හිටියෙ. මම මනෝහරන්, රත්නදේවි, කලාවතී, මුත්තලගේ වගේ අය සමග දෙමළ සිංදුවලටත් මම මියුසික් කළා.

ගුවන් විදුලියේ ජනප‍්‍රිය වැඩසටහනක් වූ අම්බිගා ගීතයෙන් ගීතය ගැන අදහස එන්නේ සහ ඊට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද?

ආරියදාස පීරිස් දවසක් මට කිව්වා මෙහෙම වැඩක් පටන්ගන්න යනවා උඹ නවත්වන අකුරෙන් කියන සිංදුව ගහන්න ඕනේ කියලා. මොන පිච් එකේ කියනවද කියලා හිතාගන්නවත් බැහැනේ. අන්තිමට ඕනි තැනක සිංදු ගහලා මගේ මියුසික් තව හැදුනා. මම තමයි ඒකේ පළමු සංගීත අධ්‍යක්ෂ. මම සර්පිනා ගහනවා. රංජිත් බෝගොඩ තබ්ලාව ගැහුවා. තබ්ලා වාදකයා කරන්නේ මාව ෆලෝ කරන එක. ඇහැලියගොඩ වැඩ සටහනකදි ඒ හෝල් එකේ ඉඩ නැතුව හැතැම්ම ගාණක් පාර දිගේ ලව්ඞ්ස්පීකර් බඳින්න වුණා. ගල්මුවේ ඉස්කෝලෙදිත් ඒ වගේ.

අම්බිගා ජුවලරි ෂොප් එකෙත් බිස්නස් දියුණු වුණාද?

ගීතයෙන් ගීතය පටන් ගන්නකොට අම්බිගා ජුවලර්ස් පොඩි පටියක් වගේ කෑල්ලක තිබුණු පොඩි ෂොප් එකක්. මේ වැඩෙන් පස්සේ ඒගොල්ලො සාප්පු විස්සක් දැම්මා. අයිතිකාර මහත්තයා දවසක් කියනවා උදේ පාන්දර දොර අරිනකොට දුර බැහැරින් ආපු අම්මලා, දුවලා දොරකොඩ නිදියගෙන ඉන්නවලූ රත්තරං බඩු ගන්න. සිංදුයි, රත්තරනුයි ඒ තරම් බද්ධ වුණා. ඕක අහපු නැති එකෙක් නැහැ.

ජීවිතේ අමතක නොවන දේවල් මොනවාද?

දවසක් මම වැඩසටහනක් ඉවර වෙලා එනකොට ස්ටූඩියෝ ෆයිව් එකේ වික්ටර්ගේ සරල ගී ප්‍රෝගෑම් එක. මම ඔළුව දාලා බලනකොට ආරියවිමල් තමයි සවුන්ඞ්ස් බැලන්ස් කරන්නේ. රෙකෝඞ් කරමින් හිටියේ තොටුපල අයිනේ. හබල් පාරට එන වතුර හඬ එන්නේ නැහැ. පොඞ්ඩක් හිටපං කියලා මම කැන්ටිම පැත්තට දුවලා ගිහින් ගස්ලබු බටයක් කඩාගෙන ඇවිත් වතුර භාජනේට දාලා උඩට ඇද්දා. හබල් ගහනකොට වතුර පාර යටින් එන ගැඹුරු හඬ ඒකෙන් ආවා. රේඩියෝ නිව්ස්වල පැත්තෙන් බි‍්‍රජ් මියුසික් කෑල්ලක් යන්නේ, ඒකත් ගැහුවේ මම. ජමුනා රාණි ආවත් ජික්කි ආවත් ඒ දවස්වල මගේ ඉන්ටලූඞ් එක ඕනෙමයි. මම ඉතින් මුල් කාලෙ ලතා මංගේෂ්කාර්ට ආශා බොන්ස්ලේට ලියුම් හිටං ලියනවා. ලතා විතරයි උත්තරයක් එවලා තියෙන්නේ.

හවසට හවසට අඩියක් පුඩියක් එහෙම ගහන පුරුද්දක් තිබුණද?

හවසට නෙවෙයි අපේ සමහර එවුන් උදේ ඉඳලම ගහනවා. හැබැයි වැඬේ හරියට කරනවා. සමුළුව කාලේ දවස පුරාම නිව්ස් පැනල් එකේ සේරම බීලා. නිව්ස් බුලටින් එක එන්නෙත් ඉංග‍්‍රීසියෙන්. නිව්ස් රීඩර් සිංහලට ට‍්‍රාන්ස්ලේට් කරගන්න ඕන. සේරම රන්දෝලි එකට ගිහින් බීලා ඇවිත් හයට ඔන්න මෙන්න අහනවා කවුද යකෝ දැන් නිව්ස් කියන්නේ කියලා. හැමෝම කියනවා මම නෙමේ උඹ උඹ කියලා. අමරබන්දු රූපසිංහ අම්බානට ගහනවා. ඉස්සරහා දත් දෙකෙන් පපුව කහන සයිස් එකට නැමිලා ඉන්නේ. ඇවිත් ඔරලෝසුව දිහා බලලා මියුසික් එක දාගෙන වෙලාව හයයි මේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි කියලා මෙන්න බොලේ ඉංග‍්‍රීසියෙන් ලියලා තියෙන කොළ ටික බලාගෙන උක්තය අඛ්‍යාතය දසමයකින් වරද්දන්නේ නැතුව සිංහලෙන් කියනවා. ඒ කාලේ විනාඩි 15 ක් විතර නිව්ස්. කොච්චර දක්ෂ මිනිස්සුද? ඉවර වෙච්ච ගමන් කොළ ටික බෝලයක් වගේ ගුලි කරලා වීසි කරන ගමන් යමු ආපහු ගහන්න නමේ වෙනකම් වෙලා තියෙනවා කියලා නැගිටිනවා.