ප‍්‍රතිප‍්‍රණාමය

මගේ කාර්යභාරය විවේචනාත්මක ඇගැයීමකට ලක් කෙරෙන ලිපි එකතුවක් පොතක් වශයෙන් පළකරන්නට රාවය සහයෝගිතාව සැලසුම් කර තිබෙන බව මට පළමුවෙන්ම අසන්නට ලැබුණේ කුසල් පෙරේරාගෙනි. ලියන්න තෝරාගෙන සිටින ලේඛකයන් ගැනත් පොත එළිදක්වන්නට තෝරාගෙන තිබෙන ස්ථානය හා දිනය ගැනත් කියා ඒ අවස්ථාවට මා අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු බවද ඔහු කියා සිටියේය.

මෙම වැඩසටහන මගේ උනන්දුවට හා කුතුහලයට හේතුවූ බවද කිව යුතුය. මා කර තිබෙන දේවල් හා මා අන්‍යයන්ට පෙනෙන්නේ කෙසේද යන්න දැනගැනීමේ කුහුලක් මා තුළ ඇතිවූ බවද කිව යුතුය. මා පොත් ලියා ඇතත් දොරට වැඞීමක් කර ඇත්තේ එකම අවස්ථාවකදී පමණය. එයද උපායමාර්ගික හේතු මත කරන ලද දෙයක් විය. මේ දොරට වැඩුම කරන්නට යන්නේ මා ලියන ලද පොතක් සඳහා නොව මා ගැන ලියන ලද පොතක් සඳහාය. එය අලූත් අත්දැකීමක් ලෙස සැලකිය හැකිය.

මා එම වැඩසටහනේ කථිකයකු බවට පත්කර නොගන්නා ලෙසද මා නරඹන්නකුගේ තත්ත්වයෙන් තබන ලෙසද පුද්ගලිකව කෙරෙන ආරාධනා ඉතාමත් සුළු පිරිසකට පමණක් සීමා කොට පුවත්පතින් කෙරෙන විවෘත ආරාධනාවකට බර තබන ලෙසද කුසල්ගෙන් ඉල්ලා සිටියෙමි. මෙම අවස්ථාවට මාගේ බිරිඳ ද අනිවාර්යයෙන් සහභාගි කරවිය යුතු බව රාවය කාර්ය මණ්ඩලයේ අපේක්ෂාව බව විමලනාත් වීරරත්න කුසල්ට දැනුම් දෙන ලදුව පසුව කුසල් ඒ ගැනද මා සමග කතා කළේය. ඒ නිසා මට ඒ අවස්ථාවට සහභාගි වන්නට සිදුවූයේ බිරිඳද සමගය.

ඒ දිනයේ හැම දෙයක්මත් හොඳින් පිළිවෙළකටද චාම් ලෙසද සිදුවූවේය. ඒ ගැන හා ඒ ආශ‍්‍රයෙන් ඇතිවූ ප‍්‍රශ්න ගැන කතාබහකට යන්නට පෙර එම වැඩසටහන සංවිධානය කළ රාවය සහයෝගිතා ව්‍යාපාරයටත් පොතේ සංස්කාරක හා පොතට ලිපි සැපයූ ලේඛක ලේඛිකාවන්ටත් දේශන හා කතා පැවැත්වූ සියලූදෙනාටත්, රාවය කර්තෘ ඇතුළු රාවය කාර්ය මණ්ඩලයටත් ඒ අවස්ථාවට සහභාගිවීම සඳහා විවිධ ප‍්‍රදේශවලින් පැමිණි පාඨකයන් සියලූදෙනාටත් මාගේ ගෞරවය හා ස්තුතිය හිමිවිය යුතුය.

ආරාධිත කථිකයන් කරන ලද කතාවලටත් වඩා මා සිත් ගත්තේ අනාරාධිතව පාඨකයන් පූර්ව සූදානමකින් තොරව කරන ලද කතාය. රාවය පාඨකයන්ගේ උද්යෝගිමත් දායකත්වය හා සහයෝගය නොවන්නට මට මෙවැනි දුර ගමනක් එන්නට බැරිවෙන්නට ඉඩ තිබුණි. සමහරවිට මේ විෂය එපාවන්නට ඉඩ තිබුණි. ඒ අර්ථයෙන් රාවයේ ලේ නහර ලෙස සැලකිය හැක්කේ රාවයේ ස්ථිර පාඨකයන්ය.

එහි කතා කළ පාඨකයන් සියලූදෙනාම පාහේ ව්‍යක්ත ලෙසත්, බුද්ධිමත් ලෙසත් අදහස් පළකරන්නට සමත් වී යැයි කිව හැකිය. එක් පාඨකයෙකු පමණක් අදහස් පළකිරීමේදී අවුලක් ඇති කරගත් බව පෙනෙන්නට තිබුණි. ඔහු තමාගේ කතාව සංක්ෂිප්ත ලෙස කිරීමට අසමත්වීම නිසා සභාව මෙහෙයවූ ආචාර්ය උදාන් කතාව කෙටි කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඔහුට කතාව කියන්නට ඉඩ දෙන ලෙස සභාවේ කිහිපදෙනකු හඬ නගා ඉල්ලා සිටියද ඔහුට කතාව අවසන් කරන්නට සිදුවූයේ කියන්නට අදහස් කරගෙන සිටි බව පෙනෙන කතාව නොකියාය.

මම එම පුද්ගලයා හඳුනමි. ඔහු පැමිණ තිබුණේ මහියංගණයෙනි. ඔහුගේ නම බන්දුල ගුණතිලකය. ඔහු 71 අපේ‍්‍රල් කැරැුල්ලට සම්බන්ධ පුද්ගලයෙකි. ග‍්‍රාමීය සමාජයේ ප‍්‍රගතිය සඳහා අරගල කරන අය අතුරින් බන්දුල ගුණතිලකට ලැබිය යුත්තේ ප‍්‍රමුඛ ස්ථානයකි. ඔහුට කරන උපහාරයක් වශයෙන්ද, ඒ සමග සමාජයේ උනන්දුවට හේතුවී නැති බරපතළ සමාජ දේශපාලන ප‍්‍රශ්නයක් කෙරෙහි පාඨක අවධානය යොමු කිරීමේ අදහසින්ද ඔහුගේ කතාව නැතහොත් යුක්තිය වෙනුවෙන් ඔහු කරන ලද කීර්තිමත් සටන ගැන මේ මොහොතේ කතා කිරීම ඉතා සුදුසුයැ’යි මම සිතමි.

බන්දුල කිසියම් දිනක මා හමුවන්නට මගේ කාර්යාලයට පැමිණියේ ලොකු ලිපිගොනුවක්ද අත ඇතිවය. පළමු කොට ඔහු අතපත ගාමින් සිටි ප‍්‍රශ්නය සැකෙවින් මට විස්තර කළේය. ඔහු මට කීවේ මහියංගණය රජ මහා විහාරයේ ඉඩම් බදුකරුවන් බවට පත්ව සිටි පවුල් 1260ක කතාවකි. රජමහ විහාරය මේ ඉඩම්වල පදිංචිකරුවන් තමන්ගේ බදුකරුවන් ලෙස සලකා ඔවුන්ගෙන් බදු ලබාගත්තා වුවද ඔවුන් පදිංචි ඉඩම් රජ මහා විහාරයට අයත් නැති බවත් ඞී.එස්. සේනානායක ගොවි ජනපද ව්‍යාපාර ඇති කරන කාලයේදී ජනපද ඉඩම් ලබාගැනීමේ අරමුණින් සංක‍්‍රමණය වී ජනපද ඉඩම් ලබාගැනීමට නොහැකිවීම නිසා රජයේ ඉඩම්වල පදිංචි වූ පිරිසක් බවත් බන්දුලගේ මතය විය. කෙසේ හෝ රජ මහා විහාර ඉඩම් ලෙස සලකා එහි පදිංචිකරුවන්ගෙන් බදු අයකර ගන්නා බවත් විහාරයේ අධිපති ස්වාමීන් වහන්සේ ඒ ඉඩම්වල ඇති වටිනා ගස් කපා ගෙනයන බවත් තමන් අකමැති පදිංචිකරුවන් පලවා හැර අලූත් අයට බදු දෙන බවත් කියා සිටියේය. 2003 වසරේදී ඒ ආකාරයට ඉඩමක දීර්ඝ කාලයක් පදිංචි වී සිටි පවුලක් බලහත්කාරයෙන් පලවා හැර අලූත් බදුකරුවකුට එම ඉඩම ලබා දුන් බවත් මේ තත්ත්වය ඉවසාගත නොහැකිව ඉඩමේ පදිංචි වී සිටි පුද්ගලයා අලූත පදිංචි කරවූ පුද්ගලයා මරා දමා ඒ සමග සියදිවි හානි කරගත් බවත් එම ඛේදජනක සිද්ධිය ප‍්‍රදේශවාසීන් අතර මහත් කම්පනයක් ඇති කිරීමට හේතුවූ බවත් කියා සිටියේය.
බන්දුලට අනුව මේ ඉඩම්වල පදිංචි වී සිටින පවුල් 1260කම ඔවුන්ගේ පදිංචිය අවුරුදු 50කට වැඩිය. එම ඉඩම්වල තිබෙන නිවාස එම පදිංචිකරුවන් විසින්ම ගොඩනගා ගන්නා ලද පරණ නිවාස වන අතර ඉඩම්වල තිබෙන වටිනා ගස් කොළන්ද ඔවුන් විසින්ම වගාකර ගන්නා ලද ගස් කොළන් ලෙස සැලකිය හැකිය.
බන්දුල මේ ඉඩම්වල අයිතිය හා භුක්තිය පිළිබඳව හොඳ පරීක්ෂකයකු කරන ආකාරයටම ගැඹුරු අධ්‍යයනයක යෙදී තිබුණේය. රජමහා විහාරයට අයත් පැරණි සන්නස් පරීක්ෂා කොට මෙම පවුල් 1260 භුක්ති විඳින ඉඩම් එම සන්නස්වලින් විස්තර කෙරෙන ඉඩම් නොවන බවද සොයාගෙන තිබුණි. මීට අතිරේකව ඉඩම් ලේඛන පරීක්ෂා කොට එම ඉඩම්වල ඉතිහාසයද සොයාගෙන තිබුණි.

මෙම කරුණු සොයා බැලීමෙන් පසු බන්දුල එම පවුල් 1260 දැනුවත් කොට ඔවුන් ජාලගත කිරීමේ වැඩසටහනක්ද දියත් කොට තිබුණි. පවුල් 1260ම එක කණ්ඩායමකට පවුල් 10ක් වැටෙන ලෙස කණ්ඩායම් ගත කර තිබුණු අතර හැම දහයේ කණ්ඩායමකටම නායකයකුද පත්කරගෙන තිබුණි. සටනක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සියලූ පූර්ව කොන්දේසි ඔහු සම්පූර්ණ කර තිබුණේයැ’යි කිව හැකිය.

බන්දුල මා හමුවන්නට පැමිණ තිබුණේ මෙම ඉඩම්වල අයිතිය දිනාගැනීම සඳහා නෛතික වශයෙන් කළ හැකි දෙයක් ඇත්දැයි දැනගැනීම සඳහාය. මා හමුවන්නට පෙර ප‍්‍රදේශයේ ජේවීපී, යූඑන්පී හා ශ‍්‍රී ලංකා ප‍්‍රාදේශීය නායකයන් සමගද වෙන් වෙන්ව මේ ප‍්‍රශ්නය කතා කර තිබුණි. රජ මහා විහාරය සමග ප‍්‍රශ්න ඇතිකර ගැනීමට හේතුවන කිසිවකට සම්බන්ධවීමට ඒ කිසිවකු කැමති වී නැත. ඉන්පසු ඔහු කොළඹ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සමගද සාකච්ඡුා කර තිබේ. ඒවායින්ද ඔහුට පිළිසරණක් ලැබී නැත. නීතිඥයන් කිහිපදෙනකු සමගද කතා කර ඇති අතර ඒ සියලූදෙනාගේ පොදු මතය වී ඇත්තේ ඒ ඉඩම්වල නීත්‍යනුකූල අයිතිය පිළිබඳ ප‍්‍රශ්නය කුමක් වුවත් ඒ ඉඩම් විහාර දේවාලගම් පනතට වැටෙන ඉඩම් ලෙස සැලකෙන නිසා නීතිමය වශයෙන් කළ හැකි දෙයක් නැති බවය.

බන්දුලගේ පෙර සූදානම මගේ සිත් ගත්තේය. ඔහු ග‍්‍රාමීය සටන්කරුවන්ට හොඳ ආදර්ශ මාදිලියක් ලෙස සැලකිය හැකිය. ඔහුට ධෛර්යය ලබාදීමේ අරමුණින් මම මාගේ මතය ඔහුට පහදා දුන්නෙමි. විහාර දේවාලගම් පනත බලවත් වුවද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඊට වඩා බලවත් බව මම කියා සිටියෙමි. ගාල්ලේ මට භුක්තියේ අයිතිය හිමි නම් මහියංගණයේ ඔබටද ඒ අයිතිය හිමි බව කියා සිටියෙමි. එක් පිරිසකට හිමි අයිතිවාසිකමක් තවත් පිරිසකට හිමි නොවේ නම්, එය අධිකරණය මගින් අර්ථ නිරූපණයක් ලබාගත හැකි ප‍්‍රශ්නයක් බවට පත් කරගත හැකි බවද මම කියා සිටියෙමි.
මාගේ පිළිතුරෙන් ඔහු කුල්මත් විය.
(තවත් කොටසක් ලබන සතියේ)