Sunday, 20/8/2017 | 4:11 UTC+0
රාවය

නාථ දේව කල්ලියේ අමූලික තර්ක හා ග්ලයිෆොසේට් විරෝධය

 

ග්ලයිෆොසේට් සහ ඊට හේතුවන ‘සීකේඩියු’ යන යෙදුම් දෙකම මේ දිනවල වැඩියෙන් භාවිත වන්නේ ඉංගී‍්‍රසි මාධ්‍යයෙහි ය. සිංහලෙන් ගතහොත් ග්ලයිෆොසේට් යනු කෘෂි ක්ෂේත‍්‍රයෙහි අතිශය ජනපි‍්‍රය වූ ‘රවුන්ඞ්අප්’ වල් නාශකයේ රසායනික නාමයයි. ‘සීකේඩියු’ යනු ‘හඳුනානොගත් බරපතළ වකුගඩු රෝගය’ යන්නට ඉංගී‍්‍රසි බසින් යෙදෙන කෙටි නාමයයි.

දැනට යොදා ගන්නා දත්ත විසින් එය මහා විනාශයක්යැ’යි මවා ඇත. නිල දත්ත ලෙස 2013 වසරෙහි අනුරාධපුර හා පොළොන්නරුව දිස්ති‍්‍රක්ක දෙකෙහි වකුගඩු රෝගීන් සංඛ්‍යාව 16,442 ක් යැයි වාර්තා කෙරුණි. ඉන් 12,000කට වැඩි සංඛ්‍යාව අනුරාධපුර දිස්ති‍්‍රක්කයෙහි ය. එනමුත් ඒ මුළු සංඛ්‍යාව සීකේඩියු රෝගීන්යැයි කොතැනකවත් නොකි යැවේ. දියවැඩියාව සඳහා නිසියාකාරව ප‍්‍රතිකාර නොගැනීම හේතුවෙන්ද වකුගඩු නරක්වීම නියත රෝගී තත්ත්වයකි. එය ග‍්‍රාමීය සමාජයේ එක ගැටලූවකි. අධිරුධිර පීඩනය හේතුවෙන්ද වකුගඩු රෝග ඇතිවිය හැක. එහෙත් එවැනි වර්ගීකරණයක් මේ දත්ත සතු නැත. සෑම දිනෙකම බරපතළ වකුගඩු රෝගයෙන් ශී‍්‍ර ලංකාවේ මරණ 20ක් වාර්තා වේයැ’යි ද පැවසේ. එහෙත් ඒ සීකේඩියු බහුල ප‍්‍රදේශවලට පමණක් සීමා වූ දත්තයක් නොවේ. එය සීකේඩියු රෝගය ගැන කතාකිරීමේ දත්ත අතර සඳහන් කිරීමෙන් මතු කෙරෙන චිත‍්‍රය වැරදිවූවත් පෙනුම භයානක ය. එලෙසින්ම සීකේඩියු සම්බන්ධයෙන් ඇති තත්ත්වය භයානකයැයි කීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරක් වන ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝගීන් 1,50,000ක් වේයැ’යි යන දත්තයද යොදා ගැනේ. එයද සමස්ත ශී‍්‍ර ලංකාවට අදාළ දත්තයක් වන අතර, එයද සීකේඩියු රෝගයට සීමා වූවක් නොවේ.

සීකේඩියු රෝගය දැනට භයානක ලෙස මතුව ඇතැයි වාර්තා කෙරෙන්නේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේත් කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ උතුරු මායිමට ආසන්න මහව, පොල්පිතිගම, ගිරිබාව වැනි ප‍්‍රා.ලේ කොට්ඨාස සහ පොළොන්නරුව දිස්ති‍්‍රක් කයත් ආවරණය වන හා ඊට ආසන්න භූමි ප‍්‍රදේශයන්හි ය. සීකේඩියු සඳහා වන පදනම ගැන කතාව ගොඩනැගෙන්නේ මේ ප‍්‍රදේශ ප‍්‍රධාන වශයෙන් කුඹුරු ගොවිතැන් කරන ප‍්‍රදේශයැ’යි හදාගන්නා ප‍්‍රධාන සාධකය සමගය. කෘෂි වගාව සඳහා ‘රවුන්ඞ්අප්’ නමින් ග්ලයිෆොසේට් ලංකාවට එන්නේ 80 දසකයේ මුලදීය. සීකේඩියු නමින් නොවුණත් සාමාන්‍යයෙන් වකුගඩු ආබාධ ඇති විය හැකි හේතු නැතිව වකුගඩු ආබාධ ඇතැ’යි වෛද්‍ය අවධානයට රෝගීන් හසු වන්නේ 90 දසකයේ මැද භාගයේ පමණ සිටය. එබැවින් රසායනික කෘෂි යෙදවුම් ඊට හේතු වනු ඇතැයි අනුමාන තිබිණ.
අපනයන හා ආනයන සඳහා කිසිදු වගවිභාගයක් නැතිව 1978 සිට වෙළෙඳපල විවෘත කළ පසු අනෙක් සියලූ ආනයන මෙන්ම කෘෂි වගා වෙනුවෙන් රසායනික පොහොර, කෘමි නාශක, වල් නාශක වැනි දේ බහුලව ආනයනය කෙරුණු බව සැබෑ ය. මේවා ගෙන්වූ ආනයනකරුවන් ඒවා තරගකාරී ලෙස අලෙවි කිරීමට යෑම නිසා අනවශ්‍ය භාවිතයක්ද ඇති විය. එහෙත් රසායනික කෘෂියෙදවුම් එලෙසින් යොදා ගනු ලැබුවේ කුඹුරු ගොවිතැනෙහි පමණක් නොවේ. මධ්‍යම හා සබරගමුව තේ වැවිලිකරයේද රසායනික කෘෂියෙදවුම් කිසිදු අඩුවක් නැතිව භාවිත විය.

ග්ලයිෆොසේට් භාවිතය ලොව අනෙක් රටවල වාගේම ලංකාවේද ශීඝ‍්‍රයෙන් ජනපි‍්‍රය වන්නේ එය අඩු ශ‍්‍රමයකින් වල් වැඩියෙන් විනාශ කිරීමට හැකි රසායනික යෙදවුමක් වූයෙනි. එනිසාම අඩු ශ‍්‍රමය මත ලාභ ලබන්නාවූ මහ පරිමාණ වාණිජ වගාවක් වන තේ වැවිලිකරයේ ග්ලයිෆොසේට් භාවිතය අතහැරිය නොහැකි ආර්ථික සාධකයක් බවට පත් වන්නේ ය. ග්ලයිෆෝසේට් භාවිතය එලෙසින් අනිවාර්ය කරගත් මධ්‍යම පළාතේ දිස්ති‍්‍රක්ක 3හි සීකේඩියු සම්බන්ධ තවමත් වාර්තා නැත. සබරගමුව පළාතේ තේ වැවිලිකරය වන රත්නපුර, පැල්මඩුල්ල, බලංගොඩ වැනි ප‍්‍රදේශවලද සීකේඩියු වාර්තා කිසිත් නැත. බණ්ඩාරවෙල ද නැත. බදුල්ල දිස්ති‍්‍රක්කයේ සීකේඩියු වාර්තා වන්නේ තේ වැවිලිකර ප‍්‍රදේශයේ නොව, උතුරු මැද පළාතට යාබද දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශයෙහි පමණය. මධ්‍යම පළාතේ මහ පරිමාණ වාණිජ තේ වගාව සඳහා අවුරුද්ද පුරා යොදා ගන්නා ග්ලයිෆොසේට් තොග ප‍්‍රමාණය අනුරාධපුර හෝ පොළොන්නරුවෙහි ගොවී න්ට කන්න දෙකකදී භාවිත කළ නොහැක.

ග්ලයිෆොසේට් භාවිත කෙරෙන එහෙත් ආවේණික සීකේඩියු ප‍්‍රදේශයක් ලෙස තවමත් ලේඛනගත නොවන දිස්ති‍්‍රක්කයක් වන්නේ අම්පාර දිස්ති‍්‍රක්කයය. යල සහ මහ කන්න දෙකෙහි වී වගාව ගතහොත් ලංකාවේ වැඩිම භූමි ප‍්‍රමාණයක වී වගා කෙරෙන්නේ අම්පාර දිස්ති‍්‍රක්කයෙහි ය. දැනට සංඛ්‍යාලේඛන දෙපාර්ත මේන්තුවෙහි ඇති දත්තවලට අනුව 2010 වසරෙහි අම්පාර දිස්ති‍්‍රක්කයෙහි යල-මහ වී වගා කෙරුණු භූමි ප‍්‍රමාණය හෙක්ටෙයාර් 74,069 කි. එය පොළොන්නරුවෙහි හෙක්ටෙයාර් 58,691 ක් වන විට අනුරාධපුරයෙහි හෙක්ටෙයාර් 40,589 ක් පමණි. එනිසාම පසුගිය අවුරුදු 30ට වැඩි කාලයෙහි අම්පාර ගොවීන් යෙදූ ග්ලයිෆෝසේට් ටොන් ප‍්‍රමාණය අනුරාධපුරයෙහි හෝ පොළොන්නරුවෙහි ගොවීන් යොදා තිබෙන්නට නොහැක. එහෙත් අම්පාර දිස්ති‍්‍රක්කයෙන් සීකේඩියු රෝගී දිස්ති‍්‍රක්කයක් නොවේ.
ග්ලයිෆොසේට් බහුලව භාවිතකරන තේ වගා ප‍්‍රදේශයන්ගෙන් හා වැඩි භූමි ප‍්‍රමාණයක් වී වගා කෙරෙන අම්පාර දිස්ති‍්‍රක්කයෙන් සීකේඩියු රෝගීන් හමු නොවන්නේ නම්, රජරට ගොවීන්ට පමණක් ග්ලයිෆොසේට් විනාශයක් වන්නේ කෙසේදැයි ඇසිය යුතු නොවේද? එනිසාම ග්ලයිෆොසේට් තහනමට පෙර සීකේඩියු රෝගය සඳහා වෙනත් හේතු ඇතිදැයි ඉතා ප‍්‍රවේසමෙන් පරීක්ෂා කළ යුතු නොවේද?

එසේ වූවත් දසකයක කාලයක පමණ සිට සීකේඩියු රෝගයට උත්තර සොයනු වෙනුවට එය දේශපාලනයට යොදා ගැනීමක් අපි දුටිමු. මීට වසර 5කට පමණ පෙර කැලණිය විශ්වවිද්‍යාලයෙහි මහාචාර්ය නලින් ද සිල්වා ඇතුළු පිරිසක් මුල් වී රජරට සීකේඩියු රෝග නිදානය ගැන වාර්තාවක් ඉදිරිපත් කළහ. එහි තර්කය වූයේ සීකේඩියු සඳහා හේතුවන්නේ කෘෂි රසායනික පොහොරවල ඇති ආසනික සංයුතීන්ය යන්නයි. එනමුත් එහි ඉදිරිපත්කර ඇති කරුණු සතු කිසිදු විද්‍යාත්මක පදනමක් නැතැයි අනෙක් විශ්වවිද්‍යාලවල විද්‍යා ඇදුරන් හා විශේෂඥයන් වාද කළ පසු ඒ වාර්තාව අතහැරුණි. අනතුරුව ඒ පිරිස් නතර වූයේ නාථ දෙවියන් ළ`ගය.
ග්ලයිෆොසේට් සාධ කයක් කරගැනෙන්නේ ඉන් පසුවය. ග්ලයිෆොසේට් ගැන පරීක්ෂණ වාර්තාවක්යැ’යි වාර්තාවක් හැදෙන්නේ 2013 දී ය. එහි වගකීම පූර්ණ ලෙස බාරගන්නේ ශී‍්‍ර ලාංකිකයන් තිදෙනෙකි. ඉන් අයෙකු ඇමෙරිකාවේ කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයයෙහි ආචාර්ය සරත් ගුණතිලක නැමැත්තෙකි. අනෙක් දෙදෙනා නලින් ද සිල්වා සහ රතන හිමි සමග නාථ දෙවියන්ගේ සරණ පතා ගිය දෙදෙනෙකි. ඉන් පළමුවැන්නා ආසනික විරෝධී ව්‍යාපාරයේද සිටි රජරට විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයේ ඇදුරෙකු වන වෛද්‍ය චන්න ජයසුමනය. දෙවැන්නා නාථ දෙවියන් ප‍්‍රමුඛ දෙවියන්ගෙන් ලබා ගත්තේයැ’යි හෙළ කැඳ වට්ටෝරුවකට අනුව කොළඹ රාජකීය විදුහල ඇතුළු පාසල්වලට කැඳ අලෙවි කරන ‘හෙළ සුවය’ සංවිධානයේ ප‍්‍රධානී පි‍්‍රයන්තා සේනානායකය.

මෙවර ග්ලයිෆොසේට් තහනම් කිරීම සඳහා සාක්ෂියට යොදා ගන්නා ඔවුන්ගේ අධ්‍යයන වාර්තාවයැ’යි සඳහන් ලියැවිල්ල සතු විද්‍යාත්මක අධ්‍යයන පදනම අතිශය දුර්වල ය. එය පාරිසරික පර්යේෂණ සහ මහජන සෞඛ්‍ය සම්බන්ධ ජාත්‍යන්තර සගරාවෙහි (International Journal of Environmental Research & Public Health / ISSN 1660-4601; CODEN:IJERGQ; ISSN 1661-7827 for printed edition) සම්පූර්ණයෙන් පළකර ඇත. එය අවශ්‍ය පුද්ගලයෙකුට අන්තර්ජාලයේ http:// www.mdpi.com/ 1660- 4601/ 11/2/ 2125/htm සම්බන්ධතාවෙන් ලබාගත හැකිය. සාමාන්‍යයෙන් එවැනි අධ්‍යනයක සඳහන් විය යුතු අදාළ කරගත් අධ්‍යයන විධි ක‍්‍රමය එහි සඳහන්ව නැත. අධ්‍යයනයට බඳුන්වූ නියැදි ප‍්‍රදේශය හෝ ප‍්‍රදේශ කිහිපය කවරේද යන්න සහ ඒවා තෝරාගත්තේ ඇයිද යන කිසිදු තොරතුරක් එහි නැත. රජරට ප‍්‍රදේශයේ ජලය ගැන කෙරෙන සඳහන් කිරීම් සනාථ කිරීමට ජලය ලබාගත් ප‍්‍රදේශ හෝ ස්ථාන ගැන කිසිදු විස්තරයක් නැත. එවගේම ඔවුන්ගේ අධ්‍යයනයට බඳුන් කෙරුණු පුද්ගලයන් ගැනද කිසිදු තොරතුරු සඳහන් කිරීම් නැත. එහෙත් ඔවුන් බොහෝ නිරීක්ෂණ සහ නිගමනවලට පැමිණ ඇත.

නිදසුනක් ලෙස අංක 1.2, ‘සීකේඩියු සහ භූගත ජලයේ කඨිනතාව’ යන සිරස්තලය යටතේ ඔවුහු මෙවැන්නක් කියති. ‘…..සීකේඩියු සහ පානීය ජලයේ කඨිනතාව පිළිබඳව පහත සඳහන් නිරීක්ෂණ කර්තෘවරුන් විසින් ඉදිරිපත් කරනු ලැබේ. (අ) සීකේඩියු ආවේණික ප‍්‍රදේශවල ජලයේ කඨිනතාව පසුගිය දසක දෙකක කාලයේ ක‍්‍රමානුකූලව ඉහළ ගොසින් ඇතැයි පැමිණිලි කරන ප‍්‍රදේශවාසීන් සංඛ්‍යාවක් ඇත. (ආ) පානීය හා වෙනත් අවශ්‍යතා සඳහා යොදා ගැනුණු ඇතැම් නොගැඹුරු ළිං (මී. 2ත් 5ත් අතර) කඨිනතාව ඉහළ යෑම හා අමිරස හේතුවෙන් අත හැර ඇත. (ඇ) සීකේඩියු ආවේණික ප‍්‍රදේශවල කඨිනතාව ඉතා අඩු ස්වාභාවික ජල උල්පත් ස්වල්පයක් ඇත. මේවායේ ජලය භාවිත කරන ජනතාව අතර මෙම රෝගයෙන් පෙළෙනවුන් නැතැයි නිගමන ඇත.’

එනමුත් ඒ නිරීක්ෂණවලට ඔවුන් එළැඹියේ කෙසේදැයි තොරතුරු කිසිත් නැත. දසක දෙකක කාලයේ කඨිනතාව ඉහළ ගියේයැයි පැමිණිලි කරන පුද්ගලයන් ඔවුන්ට හමුවූයේද? ඒ කවර ප‍්‍රදේශවලින්ද? උත්තර නැත. කඨිනතාව ඉහළ යෑම හා අමිරසය නිසා අතහැර දැමුණු නොගැඹුරු ළිං පිහිටි ප‍්‍රදේශ ගැන හෝ ගම්මාන ගැන කිසිදු තොරතුරක් නැත. ස්වාභාවික පිරිසිදු ජල උල්පත් ඇත්තේ කොහේද? ඒ ගම්මානවල ජනතාව නිරෝගීයැ’යි නිගමන හමුවූයේ කොහෙන්දැයි කිසිදු තොරතුරක් ඔවුන්ගේ අධ්‍යයනයෙහි නැත. කොතැනින් හෝ කඩා ගන්නා සාක්ෂි නොමැති එවැනි නිරීක්ෂණ ඔවුන්ගේ අධ්‍යයනයෙහි බහුලව ඇත. එවගේම එම අධ්‍යයන වාර්තාවෙහි කොතැනකවත් ග්ලයිෆොසේට් වල්නාශකය ‘සීකේඩියු’ රෝගයට මුලයැ’යි සනාථ කිරීමට කිසිවක්ද නැත. ඒ සම්බන්ධයෙන්ද ඔවුන්ට ඇත්තේ නිසියාකාරව සාක්ෂි ගොනු නොකෙරුණු අධ්‍යයනයකට යොදාගත් ලිපි තොගයක් මත ගොඩ නගන කල්පිතයක් වෙනුවෙන් තර්කයක් පමණි.

ඒ ගැන ඔවුන්ගේ අධ්‍යයන වාර්තාවෙහි සංක්ෂිප්තයෙන් කියන්නේ මෙය ය.‘රෝග ආවේණික කලාපයෙහි බහුලව භාවිත කරන වල්නාශකය වන ග්ලයිෆොසේට් සතු ලෝහ බද්ධකර ගැනීමේ ලක්ෂණය ඇසුරෙන් අපි මෙම කල්පිතයට පැමිණියෙමු.’

ඔවුන්ගේ කල්පිතය සඳහා තර්කය ගොනුකෙරෙන්නේ මෙලෙසින් ය. ‘බරපතළ වකුගඩු රෝග වසංගතයකට ග්ලයිෆොසේට් පමණක්ම හේතු නොවන අතර, ප‍්‍රාදේශීයගත භූ පාරිසරික සාධකයක් (කඨිනතාව) සහ වකුගඩු හානි කෙරෙන ලෝහ සමග එකතුවීමෙන් එය හදාගන්නා සංයුතීන් හේතුවෙන් දහස් ගණන් ගොවීන්ගේ මුත‍්‍රාශයේ ෙසෙල විනාශ කිරීමේ හැකියාවක් ග්ලයිෆොසේට් ලබාගෙන ඇතැයි සිතිය හැක.’(අවසාන නිගමනයෙහි අවසන් පරිච්ෙඡ්දය)
ඊට ඉහතින් වන පරිච්ෙඡ්දයෙහි කියන්නේ ‘ලෝංබීච්හි කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයයෙහි දැනට සිදුකරන අධ්‍යයනය විසින් ලැබෙන ප‍්‍රතිඵල මෙම කල්පිතයට අතිශය විශාල ආධාරකයක් වනු ඇත.’ යන්න ය. අවසන් නොවුණු අධ්‍යයනයක ප‍්‍රතිඵල ලැබෙන්නටත් පෙර එය තම කල්පිතය සනාථ කරනු ඇතැයි නිගමනය කළ හැකි නම්, ඒ අධ්‍යයනය කෙරෙන ආකාරය ගැනත් කල් ඇතිවම ගැටලූ මතුවන්නේ එය කෙරෙන්නේද මෙම අධ්‍යයනයට හවුල් වූ ආචාර්ය සරත් ගුණතිලක සේවය කරන විශ්වවිද්‍යාලයයෙහිම වන බැවිනි.

මේ තිදෙනාගේ අවර ගණයේ අධ්‍යයනයට බෙහෙවින් වෙනස් වූ පූර්ණ පරීක්ෂණයක් 2011වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මාස 3 ක් පුරා රජරට පළාතේ මිනිසුන් හා පාරිසරික සාධක සමගින් සම්පූර්ණ කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයත් අදාළ අනෙක් ආයතනත් හවුල් වූ එම පරීක්ෂණයට ග‍්‍රාම සේවා නිලධාරි කොට්ඨාස 22ක නිවාස 2,200ක වයස අවුරුදු 15ත් 70ත් අතර පුද්ගලයන් 4,941ක් සක‍්‍රියව සහභාගි වී ඇත. ඊට අමතරව විවිධ ස්ථානවලින් පස්, ජලය, ශාක වර්ග, මිරිදිය මසුන් ඇතුළු ආහාර බෝග පරීක්ෂණයට ලක් කර ඇත. ඉන් සොයාගත් තොරතුරු මෙවැනි ය.

‘වකුගඩුවලට හානිදායි ලෝහයක් ලෙස තහවුරුව ඇති කැඞ්මියම් පැවතිය යුතු මට්ටමට වඩා වැඩියෙන් සීකේඩියු රෝගීන්ගේ මූත‍්‍රාවලත් නියපොතුවලත් තිබිණ. පානීය ජලයේ කැඞ්මියම් සහ ආසනික් පැවතියේ මනුෂ්‍ය භාවිතයට ගත හැකි උපරිම මට්ටමට වඩා අඩුවෙනි. විශේෂයෙන් භුගත ජලය භාවිත කෙරෙන ප‍්‍රදේශවල සීකේඩියු රෝගය බහුලය. මෙම පළාත්වල භූගත ජලයේ ෆ්ලෝරයිඞ් සහ කැල්සියම් අධිකය. මෙම පළාත්හි ජනතාව අතීතයේ සිටම භාවිත කර ඇත්තේ භූගත ජලයයි. අතීතයේ ඔවුන්ට මෙවැනි රෝග එතරම් නොතිබුණැයි වාර්තා විය. ඒ කෙසේමුත්, ෆ්ලෝරයිඞ් අධික ඉහළ කඨිනතාවක් ඇති ජලය භාවිතය, පිරිසිදු පානීය ජලය හි`ගකම, ගී‍්‍රෂ්ම කලාපයක ජලය අඩුවෙන් පානය කිරීම, බැර ලෝහ හේතුවෙන් වකුගඩුවලට හානි වීමේ වැඩි විභවයක් ඇති කරයි. මෙම පළාත්හි එළවළුවල කැඞ්මියම් සහ ඊයම්ද මිරිදිය මසුන්ගේ කැඞ්මියම්ද මනුෂ්‍ය භාවිතයට ඔරොත්තු දෙන ප‍්‍රමාණයට වැඩියෙන් තිබිණ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත්ව කළ මෙම පරීක්ෂණයෙන් පසු ඔවුන් විසින්ම ඔවුන්ගේ ජිනීවා මූලස්ථානයෙහි සේවයේ නියුතු බරපතළ රෝග නිවාරණ උපදේශිකා වෛද්‍ය ශාන්තිනි මෙන්ඩිස් මගින් ප‍්‍රගති වාර්තාවක් 2012දී ලබා ගෙන ඇත. එයට අනුව, සීකේඩියු රෝගීන් අතුරින් සියයට 15ක ආසන්න පවුල් පරම්පරාවට අයත් කිසිවකුට හෝ වකුගඩු රෝග තිබූ ඉතිහාසයක්ද ඇත. එවගේම වකුගඩුවලට හානිදායක කෘෂි රසායන, කැඞ්මියම් සහ ආසනික් යන ති‍්‍රත්වය එකතුව වකුගඩු රෝගයට බලපාන්නාවූ පොදු සාධකයක් වන්නේ ය. එවැනි සියලූ පරීක්ෂණ වාර්තා තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබියදීත් චන්න ජයසුමන ප‍්‍රධාන වූ ස්වාධීනත්වය හා අපක්ෂාතීත්වයත් වෘත්තීය අවංකත්වයත් බරපතළ ලෙස ප‍්‍රශ්න කළ හැකි පුද්ගලයන් විසින් අඩාලෙට නගන තර්ක මත පැලකරන කල්පිත යොදා ගෙන ජාතික ප‍්‍රතිපත්ති සඳහා තීන්දු ගැනීමේ බරපතළකම දෙආකාර ය. එකක් නම්, එය ග‍්‍රාමීය ආර්ථික පැවැත්මට හා වැවිලි ආර්ථිකයට අතිශය අහිතකර බලපෑම් ඇති කරන්නක් වීම ය. දෙවැන්න එවැනි තීන්දු හේතුවෙන් සීකේඩියු සම්බන්ධ ඇත්ත සාධක අත හැරෙන අතර, මේ රටේ මෑතකාලයේ අප මුහුණ දෙන බරපතළ රෝගයක් වෙනුවෙන් සැබෑ ප‍්‍රතිකාර හා එය නිවාරණය කිරීමේ පිළිවෙත්ද වැරදි තැන්වලට තල්ලූ වනු ඇත.

එහෙත් ඉන් විශාල වාසි ලබනවුන් දැනටත් රජරටට ගොඩවී ඇත. විශේෂිත (Reverse Osmosis) ජල පෙරණ කට්ටල් චීනෙන් සහ ඉන්දියාවෙන් ගෙන්වා අලෙවි කරන ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ඉන් ප‍්‍රමුඛය. සෑම නිවසකටම මෙවැනි ජල පෙරණ අත්‍යවශ්‍යයැ’යිද එසේ පෙරන ලද ජලය භාවිත නොකිරීමෙන් වකුගඩු රෝගය වැළඳෙන්නට බෙහෙවින් ඉඩ ඇතැයි යන බියද ඒ සමාජයේ දැන් පැතිරෙන්නකි. එයද රුපියල් 50,000ට වැඩි මෙම ජල පෙරණ කට්ටල් ගැනීමට නිවැසියන්ට බල කරන්නකි. එහෙත් ඒවා මිලදී ගැනීමට අතිබහුතරයකට අතමිට හයියක් නැත. ඔවුන්ට ඉතිරි වන්නේ රෝගයට ඇත්ත හේතුවක් නොමැති උත්තර සමගින් ජීවිත හා පොර බැදීම පමණි.

About

Journalist and political commentator